6 December, 2021

Blog

නිර්මාල් – රාමු කරගත නොහැකි ලාංකීය චරිතයක්

උදන් ප්‍රනාන්දු

ආචාර්ය උදන් ප්‍රනාන්දු

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ වනවිට එක්තරා ලාංකීය සමාජ කොටසක සෙලිබ්‍රිටි චරිතයකි. එක්තරා සමාජ කොටසක යී මා කියන්නේ ඔහුගේ රසික සමාජයේ (මෙහි නිර්දය විවේචකයින් ද ඇතුලත් ය) හෙවත් කොන්ස්ටිටුඑන්සියේ සමාජ, ආර්ථික, දේශපාලන හා ජනවාර්ගික (සමහර විට භූගෝලීය ද විය හැක) පසුබිම සලකා බලා ය. එහි අඩු වැඩි වශයෙන් ලාංකීය දකුණු (උතුරු නැගෙනහිර හැර) සමාජයේ ආන්තිකත්වය (ආර්ථික වශයෙන් ම නොවේ. බොහෝ විට දේශපාලන හා සමාජීය වශයෙන්) නියෝජනය යම් තරමකට වෙතැයි මට සිතේ. මේ කොටස තුල නිර්මාල් වඩාත් ම කතා බහට ලක් වනවා පමණක නොව ඔහු ද ඒ කතා බහ නිරතුරු ව ම නොනවත්වා ඕනෑම මට්ටමේ කෙනෙකු සමග කරන බව කිව යුතු ය. කබ්බන් ෆෝම් කිරීමේ පිකාසෝ සම්මානය තම රසික සමාජය විසින් ම නිර්මාල්ට කිහිපවරක් ම ප්‍රදානය කෙරුණේ මේ නිසා විය හැක.

මා ළඟකදී පරණ පොටෝ ඇල්බම් කිහිපයක් තිබූ පෙට්ටියක් අවුස්සන විටක දී නිර්මාල්ගේ 1990 හෝ 1991 වසරේ ගැණුනු පොටෝවක මට හමු විය. එය මා එකල “රුහුණ” පිලිබඳ බද්දේගම ප්‍රදේශයේ සංවිධානය කළ වැඩමුළුවක ගත්තකි. ඒ කාලයේ නිර්මාල් ශිෂ්‍ය දේශපාලන ක්ෂේත්‍රය තුල අනන්‍ය වී තිබුණ ද ඔහුට අද තරම් පිළිගැනීමක තිබුණේ නැත. ඔහු වැඩමුළු කථිකයෙකු හෝ සම්පත් දායකයෙකු ලෙස ද එතරම් ප්‍රසිද්ධියක ඉසිළුවේ නැත. බොහෝ දුරට අප අතර එකල තිබු සුහදකම ආරාධනය කිරීමටත් පිළිගැනීමටත් හේතු විය යුතුය . විශ්ව විද්‍යාල වසා තිබෙන කාලයේ අහම්බයෙන් මෙන් ලද රැකියාවක ය මා එකල කළේ. මාඒ වන විට කථිකයින් මහා ප්‍රමාණයක් දැන සිටියේ ද නැත. එහෙත් යම් අර්ථවත් විශ්ලේෂණයක් අදාළ විෂය සම්භන්දයෙන් නිර්මාල්ට කළ හැකි බවත් ඔහු මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන බවත් යන විශ්වාසය මට තිබිණ. බද්දේගමට කොළඹ සිට ගිය ටොයෝටා හයිඒස් (ඩිලිවරි රථයක අපිළිවෙලට අසීමිතව සීට් ගහන ලද) රථයේ බර ගණනක් ගමන් කළ හ. ඒ අතර නිර්මාල් ද, පසු කලෙක ඔහුගේ බිරිඳ වූ ශිරානි ද පොදි වී සිටි බව මට අද මෙන් මතක ය.

නිර්මාල් මා මුලින් ම දැන හඳුනා ගත්තේ 1986 වසරේ විය යුතු ය. ඒ මා උසස් පෙල කළ වසරයි. මා එකල ජීවත් වූයේ මොරටුවේ ය. මගේ මිතුරෝ බොහෝමයක උගත්තෝ, නිර්මාල් ද උගත්, වේල්ස් කුමර විදුහලේ ය. යමක් කමක් දන්න කියන කෙනෙකු ලෙස අපගේ යම් ගෞරවයක තිබූ වේල්ස් කුමරෙකු වූ ප්‍රිමාල් මගිනි අප මුලින් ම නිර්මාල් ගැන දැන ගත්තේ. ප්‍රිමාල් ද කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හැදෑරුවේ ය. එකල දේශපාලන හා ඉතිහාස අධ්‍යන පොදු දෙපාර්තමේන්තුවක ලෙස ය සංවිධානය වී තිබුණේ. නිර්මාල් පසු කලෙක මට කීවේ ඒ වසරේ ඉතිහාසය විශේෂ උපාධිය කළේ ඔවුන් දෙදෙනා බවත්, එක ‘කාඩ්’ කියමනක් වූයේ බැච් ට්‍රිප් එක යන්න මහාචාර්ය සෝමරත්න මොවූන් දෙදෙනාට තම හොන්ඩා 100 cc මොටෝ සයිකලේ දෙන බව ය. කෙසේ හෝ ඒ විෂයේ ඇති තරමක බරසාර ගතිය ද බොහෝ දෙනා ඉතිහාසය වැනි විෂයක් නොකිරීම ද ඉතා කෙසඟ හා වැඩි ආකර්ශණයක් එකල නොතිබුණ නිර්මාල් අප අතරේ යම් පමණක අවධානයකට ලක් විය.

මා එකල සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයක ජාතික කාර්යාලය පිහිටා තිබුණේ කොටුවේ බ්‍රිස්ටල් වීදියේ YMCA ගොඩනැගිල්ලේ ය. අඩි 12 x 20 පමණ වූ ඒ කාර්යාලයේ පොඩි ලියන මේස තුනක්, රෝනියෝ සයික්ලොස්ටයිල් ප්‍රින්ටරයක් හා පහළොවකට විස්සකට පමණ වටේට වාඩි වී සාකච්චා කළ හැකි මේසයක් ද විය. මේ මේසය වටා ය නිර්මාල් අපට ක්‍රමයෙන් හඳුනාගන්න ලැබුණේ. එකල අප ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ස්වාධීන ශිෂ්‍ය සංගමය සමග සමීප වී සිටියේ ය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ එකල නායකයෙකු වූ සී.ඒ. චන්ද්‍රප්‍රේම හෙවත් ප්‍රියන්ත (පසු කලෙක තඩි ප්‍රියන්ත ලෙස ද නම් කෙරුණු, දැන් ජෙනීවා හී ලාංකීය නිත්‍ය නියෝජිත තානාපති) නැවතී සිටියේ YMCA ගොඩනැගිල්ලේ ම පිහිටි බෝඩින් කාමරයක ය. ප්‍රියන්ත නිතර ම කාලය ගත කළේ අප කාර්යාලයේ ය. ඔහු සමග සාකච්චා කරන්න නිතර ම ආ ගිය අයෙකි තිසරණී ගුණසේකර. තිසරණී එකල ආර්ථික විද්‍යා විශේෂ උපාධිය හදාරමින් සිටියා ය. හැම දේම නොතේරුන ද අප ද ඒ මේසය වටා සිටි බව මතක ය. නිර්මාල් ද නිතර ම අප කාර්යාලයට යන්න එන්න ගත්තේ ය. මහජන පුස්තකාලයෙන් ගත් පොතක් ද හැම විට ම තනියට තබාගෙන සිටින නිර්මාල් එකල වැඩිය කතා බහ කළේ නැත. ඒ මේසය වටා සාකච්චා බොහෝ විට අරක් ගත්තෝ ප්‍රියන්ත හා තිසරණී ය. ප්‍රියන්තගේ දඬු සිරුර ද තිසරණීගේ දැඩි න්‍යායාත්මක තර්ක අභියස නිර්මාල් යම් ආකාරයක බයාදු (timid) ගතියකින් සිටි බව මට දැන් වැටහේ. එහෙත් ලද අවසරයකින් නිර්මාල් තම අදහස සෙසු අය සමග බෙදා ගැනීම මග හැරියේ ද නැත. දයා පතිරණ ඝාතණයෙන් පසු කාගේ කාගේත් අප කාර්යාලයට යාම් ඊම් අඩු විය.
ඉන් පසු නිර්මාල් මට හමුවන්නේ මර්ජ්, යුක්තිය හා ඉන්ෆොර්ම් වැනි රාජ්‍ය නොවන සංවිධාන හරහා ය. එකල මේ සංවිධාන තුල චාල්ස් අබේසේකර, ජයදේව උයන්ගොඩ, සුනිල් බැස්ටියන්, සුනිලා අබේසේකර වැනි අය ක්‍රියාකාරී මට්ටමින් වැඩ කළ හ. ඒ හා ගොඩනැගුණු ගැඹුරු වූ අවබෝධය නිසාදෝ නිර්මාල් ‘ප්‍රවාද’ වාර ප්‍රකාශනයේ (සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් ප්‍රකාශිත) සිංහල භාෂිත ප්‍රකාශනය ලෙස ඒ නමින් ම පළ ප්‍රකාශනයේ සම සංස්කාරවරයෙකු ලෙස චාල්ස් අබේසේකර හා ජයදේව උයන්ගොඩ සමග ක‍ටයුතු කළේ ය. අපගේ සුහදකම මේ අතරතුර අඛණ්ඩ ව පැවතිණ. එක්ස් කණ්ඩායමට පසු කලෙක එකතු වුණු නිර්මාල් සමාජීය හා දේශපාලනික වශයෙන් අධි ප්‍රසිද්ධියක ලද්දේ එම කණ්ඩායමේ වරෙක තියුණු තවත් වරෙක සාහසික විවේචන ප්‍රවේශය නිසා ය. මගේ පුද්ගලික මතය වූයේ නිර්මාල්ට සමාජයේ හා දේශපාලනයේ ස්ථානගත වන්නට එක්ස් නමින් අමතර අත්වැලක් අනවැසි බව ය. එවන් ඇක්ටිවිසමයක් නිසා නිර්මාල් තම (සම්ප්‍රදායානු අර්ථයෙන්) ඇකඩමික් මුවහත තරමක් කොම්ප්ප්‍රොමයිස් කර ගත්තා ද යී මට සිතුන වාර අනන්ත ය. ඇත්තෙන් ම, එක්ස් කණ්ඩායමේ මූලාරම්භක නායකයින්ට වඩා නිර්මාල් බොහෝ අතින් වෙනස් ෆොර්මේශනයක් ඇත්තෙකු ලෙසයි මා සිතුවේ. ඉන් අදහස් කරන්නේ යට කී නායකයින් අවර ඝනයේ බුද්ධිමතුන් බව නොවේ. නිර්මාල් එක්ස් කණ්ඩායමෙන් අවසානයේ විසි වීම හා ඉන් පසු ඔහුට පටබැඳුණු අමාරිස් අයියා වැනි කොචෝක් ම ය නම් ගම් වලින් මා තේරුම් ගත්තේ නිර්මාල් එහි මුල සිට ම මිස්ෆිටයෙකු ව සිට ඇති බවයි. එක්ස් කණ්ඩායම සමග මා විශේෂ අරෝවක හෝ ඇයිහොඳය්යක නොතුබුණ ද, ඉන් නිර්මාල් ඛණ්ඩනය වීම ගැන මට ඇති කළේ සතුටකි.

නිර්මාල් එක්ස් එකෙන් වෙන් වෙන්නට පෙර ද අපේ ආශ්‍රය නැවත කිට්ටු විය. ඒ අප දෙදෙනාම අපගේ ආචාර්ය උපාධි අධ්‍යනය සඳහා ඕලන්දයට යෑම නිසා ය. නිර්මාල් ඕලන්දයට ගියේ 2001 අග වගේ ය. මා ඕලන්දයට ගියේ 2002 අප්‍රේල් මාසයේ ය. නිර්මාල් සිටියේ තමාගේ විශ්ව විද්‍යාලය පිහිටි ලෙයිඩන් නුවර ය. මට ඇම්ස්ටර්ඩෑමයේ නවාතැනක් ලැබෙන තෙක් තාවකාලික ව සිටියේ තරමක දුර බැහැර හෝරන් නම් පළාතේ ය. මා ඕලන්දයට ගොස් වැඩි කලක් යන්නට මත්තෙන් නිර්මාල් මා බලන්නට හෝරන් වෙත ආ ගමන මා තවමත් සිහි කරන්නේ තරමක භාවාත්මක කාංසාවකිණි. හෝරනයේ හුදෙකලා ව සමාජ ආශ්‍රයක නොමැති ව සිටි මා හට නිර්මාල්ගේ පැමිණීම මහා අස්වැසිල්ලක විය. අප දෙදෙනාගේ ම ඇකඩමික මාන්නය නිසා දෝ එවන් හැඟීම් බෙදාගැනීමෙන් අපි වැළකී සිටියෙමු.

වැඩිකල් නොගොස් මා ඇම්ස්ටර්ඩෑමයේ ස්ථාපිත වීමි. අප විසු දෙනුවරට එකිනෙකින් පැය භාගයකින් පමණ දුම්රියකින් ලඟා විය හැකි ව තිබිණ. ඒ නිසා අප නිතර නිතර හමු වුනෙමු. මා අධ්‍යනය කළ ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මාගේ බැචයේ සිටි අය ඉතාමත් වෙනස් පර්යේෂණ තේමාවන් හා විෂයන් ය කළෝ. එහෙත් ලෙයිඩන් හි නිර්මාල්ගේ බැචයේ සිටියේ වීඕසී හෙවත් ඊස්ට් ඉන්ඩියා කොම්පැනි නම් ඕලන්ද යටත් විජිත සමාගමේ ඉතිහාසය ගැන විවිධ ඕලන්ද යටත් විජිත රටවලින් පැමිණි සිසු සිසුවියන් පිරිසකි. බැචයක ලෙස ඔවුන් එකිනෙකා හා සමීප ව සිටිය හ. නිතර සාමුහික ඉවීම් පිහීම් ද සාජ්ජ ද කෙරිණ. බොහෝ විට මේ කටයුතු සඳහා නිර්මාල් මට ද ආරාධනා කරනට සිරිතක කරගෙන සිටියේ ය. එහි ප්‍රතිඵලයක ලෙස නිර්මාල්ගේ මිතුරු සමාජය සමග මට ද ඇසුරු කරනට ඉඩ හසර ලැබිණ.

නිර්මාල්ගේ බැචයේ අපූරු චරිත සිටිය හ. තරුණ ම නැති ඉන්දුනීසියානුවෙක් ඒ අතර විශේෂයෙන් මතක ඔහු තම ‘වෙල්-රෙඩ්’භාවය ගැන නිතර ම පාරම්බාන බැවිණි. තමන් ඇල්බෙයා කැමූගේ පිටත්තරයා ගිය සති අන්තෙත් ප්‍රංස බසින් කියැවූ බව, ‘ප්‍රංස බසින්’ යන්න දැඩි අවධාරණයකින්, කීමේ දී සෙසු බැචයෝ තම දෑස්වලින් සන්නිවේදනයේ යෙදෙති. කලකට පසු මොහු අකාලයේ මළ බව නිර්මාල් මට කී විට දැනුණේ ශෝකයකි. මේ ඉන්දුනීසියානුවා සුකර්නෝ සමයේ ප්‍රකට ප්‍රධාන පෙලේ ශිෂ්‍ය නායකයෙකු ව සිටි අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ජීවිතය, දේශපාලනය හා ශාස්ත්‍රීය කටයුතු අළලා ෆෙලිසිටෂණ වෙළුමක පළ කෙරිණ. ශිෂ්‍ය දේශපාලනය පොදු සාධකය වීම නිසා දෝ නිර්මාල් ඉන්දුනීසියානුවාගේ කිට්ටු ම බඩියා විය. ලෙයිඩන් බැචය අතර නිර්මාල් ඉතා ජනප්‍රිය චරිතයක විය. ඉතා ක්‍රියාශීලී සමාජ ජීවිතයක ගත කළ නිර්මාල් අන් අයගේ ඕනෑම ප්‍රශ්නයකදී — ශාස්ත්‍රීය හෝ පුද්ගලික — ඉදිරියෙන් ම සිටි බව මතක ය. බැච-බැචියන්ගේ නොමඳ ගෞරවයට හා ආදරයට නිර්මාල් පත්වනු මා අත්දැක ඇත. ඒ ඔහුගේ බුද්ධිමය ගැඹුර හා මුවහත්කම නිසා ම නොවන බව නිසැක ය. මෙය සාමාන්‍යයෙන් ලාංකීය ප්‍රගතිශීලී හා වාමාංශික නැඹුරුව ඇත්තන්ගේ නැති ගුණයක බව කිව යුතු ය.

දින වකවානු හරියට ම මතක නැතත් (බොහෝ විට 2003 විය හැක), කෙටි කාලයකට නිර්මාල් මගේ ඇම්ස්ටර්ඩෑම නිවසේ නැවතී සිටියේ ඔහුගේ නවාතැනේ යම් ගැටළුවක නිසාවෙනි.මා නිදාගත්තේ සොල්දරයේ පිහිටි ඇටික් කාමරයේ ය. නිර්මාල් සාලයේ සෝපාවේ නිදා ගත්තේය. මේ නිසා අපට අවැසි විටෙක ආශ්‍රය ද එසේ නැති විට පෞද්ගලිකත්වය ද තිබිණ. නිර්මාල්ගේ පිටින් පෙනෙන (අඩු ගානේ මට) අපිළිවෙල හා අසංවිධානාත්මක බව ගෘහස්ත ජීවිතයේ නොමැති බව මට පැහැදිලි විය. ඒ කාලයේ (දැන් වුව ද) මා ආහාර කල් ඉකුත් වන දින ගැන ඒ හැටි තකන්නේ නැත. මගේ ශීතකරණයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ආහාර පවා තිබේ ! මා සිතුවේ ඉතිහාසඥයෙකු වූ නිර්මාල් ඒ ගැන සහකම්පිත වනු බවයි ! ශීතකරණයේ ඇති හැම්, පෑන් කේක්, චීස් පැකැට්ටු තම කන්නාඩිය කිට්ටුවට ගෙන නිර්මාල් කීවේ අපොයි මේවා කාලා මැරෙන්න ද යන්නේ කියා ය. ඔහු විවේචකයෙකු පමණක නොවන බව මා තේරුම් ගත්තේ නිර්මාල් මාවත් ඇද ගෙන නිවසින් වැඩි දුරක නොපිහිටි ඩර්ක්-වන්-ද-බෘක් සුපර් මාරකැට්ටුවට ගොස් සතියයකට පමණ අවැසි ග්‍රොසරි අයිතම රැගෙන ඒම නිසා ය. නිර්මාල්ගේ මේ පිළිවෙල මා ද කෙටි කලකට හෝ පිළිවෙලක් කළේ ය. එක් සෙනසුරාදා දිනෙක මගේ ඕලන්ද මිතුරියක දිවා ආහාරයට එන බැව් කීවා ය. මා ලාංකීය ක්‍රමයට කටලිස් සාදන බවට ඈට වහසි බස් දෙඩුවේ ය. අවසානයේ පදම වැරදී බදින විට කටලිස් පිපිරී මුළු ව්‍යාපෘතිය ම අඩාළ විය. මගේ මිතුරිය ද ළඟ එන බැව් කීවා ය. මා අමාරුවේ වැටී ඇති බව තේරුම් ගත් නිර්මාල් මගේ ගැලවුම්කරු විය. ඔහු තම බැචියක වන ඉන්දියානු ජාතික අන්ජානාගෙන් ඉගෙන ගත් රෙසිපියක වහා ක්‍රියාවට නැගී ය. කටු රහිත කුකුල් මස්, කටලිස් හදන්නට ගෙන ආ පාන් කුඩු අල්ලා, ඉතා ප්‍රණීත ආහාර වේලක් නිර්මාල් සදා දුන්නේ තමා න්‍යායාචාර්යවරයෙකු පමණක නොවන බව ඔප්පු කරමිණි.

නිර්මාල් තම අධ්‍යන කටයුතු කරේ යුරෝපා මට්ටමෙනුත් ඉතා පැරණි ම විශ්ව විද්‍යාලයක වන ලෙයිඩන් විශ්ව විද්‍යාලයේ ය. එහි ආරම්භය සිදු වූයේ දහසය වැනි සියවසේ ය. ලෙයිඩන් පරිසරය නිර්මාල් වැනි ඉතිහාසඥයෙකුට ම ගැලපෙන එකකි. නිර්මාල්ගේ ආචාර්ය උපාධි පර්යේෂණය අධීක්ෂණය කළෝ ප්‍රකට ඉතිහාස ශාස්ත්‍රඥ කණ්ඩායමකි. ඉන් දෙදෙනෙකු ඕලන්ද ජාතිකයින් වූ අතර තෙවැන්නා ශ්‍රී ලාංකික සම්භවයක ඇති, ප්‍රංශයේ මූලික අධ්‍යාපනය ලද, සොබෝර්න් හි මූලික උපාධි හා ඔක්ස්ෆර්ඩයේ ආචාර්ය උපාධි ලදු ව, පසු ව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරිය වූ නිරා වික්‍රමසිංහ ය. මේ අධීක්ෂකයින් තිදෙනා ම නිර්මාල් ගැන මහත් ගෞරවයක් තිබූ බව මා නිරීක්ෂණය කර ඇත්තේ ඔවුන් සමග මා යම් ආශ්‍රයක කර ඇති බැවිනි. නිරා (ඈ මෙලෙස අමතනවාට තකන්නේ නැත. ඈට ලාංකික ගෞරව-නාම-පූජා රෝගය කොළඹ සිටි කාලයේ පවා ආසාධනය වූයේ නැත) මගේ ද අධීක්ෂකවරියක වූවා ය. කුමන හේතුවකට හෝ නිරා නිර්මාල්ට ඇමතුවේ ‘රංජිත්’ කියා ය. නිර්මාල් ට වඩා රංජිත් හි යම් රෙට්‍රෝ හෝ එක්සෝටික ගුණයක ඈට දැනුණා ද යී මට නිකමට සිතේ. වමා නමින් බහුතරය නිර්මාල් අමතන අතර, මුල් කාලයේ සරසවියේ ගැහැණු ළමුන් තමන්ට කතා කළේ රංජිත් කියා බව නිර්මාල් මට පවසා ඇත. එක්ස් කණ්ඩායමට එකතු වූ පසුව ලු නිර්මාල් යන නම භාවිතා වෙන්න ඇරඹුණේ. සියල්ලන් ම දැන් වමා හෝ නිර්මාල් කියා අමතන නමුත් නිරා පමනක් තවමත් සුපුරුදු ‘රංජිත්’ නමින් ඇගේ සුවිශේෂ හා හුරුබුහුටි ප්‍රංශ-සිංහල උච්චාරණයෙන් අමතන්නී ය.

නිර්මාල් රංජිත් යන නම නිර්මාල්ට උපතේදී ලැබුණ හැටි ඔහු මට කීවේ කුමන පසුබිමක ද යී මට මත නැත. එහෙත් පසුබිම් කතාව මතක ය. නිර්මාල් උපන් කාලයේ ජනප්‍රිය නව කතාවක වී ඇත්තේ ලෙටීෂියා බොතේජුගේ ගඟ අද්දර ය. 1980 සුමිත්‍රා පීරිස් ඉතා ජනප්‍රිය වූ චිත්‍රපටයක කළා මේ නව කතාව ඇසුරිණි. කෙසේ හෝ, ඒ ජනප්‍රිය නව කතාවේ ප්‍රධාන චරිතයක වූ ‘රංජිත් අයියා’ හෙවත් නිර්මලාගේ අහිමි පෙම, එකල දැඩි සහකම්පනයකට පාත්‍ර වූ චරිතයක බව කියැවේ. නිර්මලා (වසන්ති චතුරානි, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය) පෙම්වතිය ය. අපේ කතානායකයාට මේ පෙම් යුවලගේ ම නම් යෙදිණ ! නිර්මලා, නිර්මාල් වූ අතර රංජිත්, රංජිත් ම විය. හූනු වසුරක ද අධි කියැවීමකට භාජනය කළ හැකි නිර්මාල්ගේ ෆේස්බුක් මිතුරන්ට මේ ස්ත්‍රී-පුරුෂ ධ්‍රැවීකරණය අතික්‍රමණය කළ නම ගැන තීසිසයක සම්පාදනය කළ හැක.

නිර්මාල් මා දන්නා තරමට ඒ හැටි ඇඳුම් පැළදුම් ගැන වැඩි සැලකිල්ලක දැක්වූයේ නැත. ඩ්‍රෙස්-සෙන්සයක තිබුණේ ම නැත. එහෙත් උත්ප්‍රාසය වූයේ මෙය ය. කලින් කී පරිදි, ලෙයිඩන් සරසවිය පෞරාණික එකකි. ආචාර්ය උපාධි අවසන් ඩිෆෙන්සයේ (බ්‍රිතානයේ මෙන් මෙය සීමිත පිරිසක අතර කෙරෙන ‘වයිවා’යක නොවේ; ප්‍රසිද්ධියේ තම නිබන්ධනයට එරෙහිව තර්ක කරන හා ප්‍රශ්න කරන ශාස්ත්‍රඥ පැනලයක සමග කෙරෙන විවාදය) ලෙයිඩන් හි අනුගමනය කළයුතු අභිචාර කිහිපයකි. ඉන් එකක් වන්නේ නිශ්චිත ඩ්‍රෙස්-කෝඩයකි. වරලක සහිත කළු කබායක් (ටේල් කෝට්) – කොලරය කළු සැටින් රෙද්දෙන් නිමැවුණු, අළු පැහැති ලෝ-කට් වෙස්ට් කෝටයක්, කළු සපත්තු, රැලි සහිත විශේෂිත සුදු කමිසයක හා එක්තරා අකාරයකට බැඳ ගත යුතු සුදු සිල්ක් බෝ-ටයිපටය ය. මේ සියල්ල කට්ටලයක ලෙස කුලියට ගත හැකි ස්ථාන ඇත. 2006 දී සිදු වූ මේ චිත්තාකර්ෂණීය අභිචාරාත්මක හා ශාස්ත්‍රීය අවස්ථාවට මම ද සහභාගී වුනෙමි. ඇම්ස්ටර්ඩෑමයේ ජීවත් වූ රාම් මානික්කලිංගම් හා රමනි මුත්තෙට්ටුවේගම ද එහි වූ හ. අප තිදෙනා පුල පුලා බලා සිටියේ 16 වැනි ශත වර්ෂයේ කොස්ටියුමයකින් සන්නද්ධ නිර්මාල් එවැනි ම ඇඳුම් ආයිත්තම් ඇඳි ශාස්ත්‍රඥන්ගේ පෙරහැරකින් පැමිණෙන තුරු ය. අදාළ පිරිස තමන්ගේ ආසන වල හිඳ වැඩකටයුතු අරඹන දසුන යම් හෙයකින් මොහොතකට කැටි කරගන්න (ෆ්‍රීස්) හැකි වුවා නම් එය රෙම්බ්‍රාන්ඩ්ට්ගේ පින්තාරුවක සිරි ගත හැකි ව තිබිණ.
මොහොතකින් අපගේ අවධානය ඇඳුම් පැළඳුම් ආදී පරිබාහිර කාරණාවලින් අපගමනය වී ශාස්ත්‍රීය කලාපයකට යොමු වුණේ නිර්මාල්ගේ තීසිසය ලද ප්‍රහාරාත්මක අදහස් හා ප්‍රශ්න කිරීම හා ඒවාට නිර්මාල් කළ ප්‍රතිචාර නිසා ය. නිර්මාල්ගේ පර්යේෂණයට පාදක වූයේ ඕලන්ද ආගමනයත් සමග ප්‍රවර්ධනය කෙරුණ කුරුඳු වගාව ආශ්‍රිත ව මෙරට එකල සිදු වූ සමාජ දේශපාලන පරිවර්තන මාලාවන් පිලිබඳ ව ය. සාමාන්‍යයෙන් ආචාර්ය උපාධි පර්යේෂණයක විෂය සංකල්පීය වශයෙන් විශ්ලේෂණය වන්නේ කෙලෙස ද යන්න ඉතා වැදගති. මේ සඳහා නිර්මාල් භාවිතා කළ සංකීර්ණ සංකල්ප රාමුව තම ප්‍රතිවාදීන් තරමක වංකගිරි ගමනක යැවී ය. වාද විවාද අවසානයේ නිර්මාල්ට ආචාර්ය උපාධිය පිරිනැමීමෙන් අනතුරු ව අදාළ ශිෂ්‍යාගේ අධීක්ෂකයෙකු විසින් කෙරෙන කෙටි දේශනයේ මෙය අපූරුවට මතු කෙරිණ. එය කළේ ආචාර්ය ලුඩෝවයික් වාහෙනාර් විසිනි. ඔහු ඇම්ස්ටර්ඩෑම් ඓතිහාසික කෞතුකාගාරයේ ප්‍රධාන අභිරක්ෂක ද විය. ශේක්ස්පියර නාටකයක චරිතයක සිහි ගන්වන රුවක හා කතා ශෛලියක ඇති වාහෙනාර් තම දේශනය අවසන් කළේ මෙලෙස ය. “නිර්මාල්ගේ න්‍යායාත්මක ප්‍රවේශය අප මහා අවුලක පටලවයි. එය මාක්ස්වාදීත් වන අතර මාක්ස්වදීත් නොවේ. පශ්චාත් මාක්ස්වාදීත් වන අතර එසේත් නොවේ. පශ්චාත් යටත් විජිත ම ත් නොවේ (ආදී අවසන් විවිධ ප්‍රවේශ ලැයිස්තුවක ම සදහන් විය)….. මට කියන්න තියන්නේ මෙපමණයි. මේ ඒ කිසිවක නොවේ. මෙය තනිකර ම නිර්මාලියානු ප්‍රවේශයකි. අද අප වාද කළ තීසිසයේ සුවිශේෂත්වය එයයි”.

අළුත පැළඳුන ආචාර්ය උපාධි හිස් වැස්මේ බර හා නුහුර නිසා දෝ තරමක නැවුණු නිර්මාල්ගේ මුහුණේ ලජ්ජාශීලී සිහින් සිනහවක කෙමෙන් ඇඳී යනු මට තවම මතක ය.

*අදට උපන් දිනය යෙදෙන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ගැන පුද්ගලික ආවර්ජනයක්

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    අපේ ජනතාවගෙන් 90% කට වැඩි ප්‍රමාණයක් රූපවාහිනිය මත යැපෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ, ඔවුන් පිටුපස සිටින ඔවුන්ගේ වැටුප් ස්වාමිවරුන්ගෙන් නිදහස් වීමයි.

    අපේ මිනිසුන්ගේ ඇස් ඇරීම සඳහා මාධ්‍ය සහ ආගමික පූජකයන් සහ වෘත්තිකයන් එකතු විය යුතු කාලය පැමිණ තිබේ. මිනිස්සු ලේසි දේශපාලනඥයින්ගේ ගොදුරු බවට පත් වෙති. අපි ජනතාවගේ පොදු මානසිකත්වය වැඩිදියුණු කරන බලවේගයක් ගොඩ නැගිය යුතුයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.