26 April, 2024

Blog

තෙවැනි බලවේගයක හපන් පැදුර 

උදන් ප්‍රනාන්දු –

ආචාර්ය උදන් ප්‍රනාන්දු

මට පෙර පරම්පරාවේ කුඩා දරු දැරියන්ගේ දස්කම් විස්කම් පුබුදුවාලීමට කැපවුණු ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක වූයේ ‘හඳ-  මාමා’ බව මා අසා ඇත. පසු කලෙක දිවයිනේ ප්‍රමුඛත ම ගායිකාවක වූ නන්දා මාලිනිය කුඩා දැරිවියක ලෙස තම කුසලතාව ප්‍රදර්ශනය කළේ හඳ-මාමා තුලින් බව ඈ නිතර ම කියන්නී ය. මගේ පරම්පරාවේ ඊට තරමක සමාන ළමා වැඩසටහනක වූයේ ගුවන් විදුලි රඟමඬල ය. දැන් මුනුපුරු මිනිපිරියන් ද සිටින සමන් අතාවුදහෙට්ටි ගැටවරයෙකු ලෙස ගුවන් විදුලි නාට්‍ය ක්ෂේත්‍රයට ආගමනය කළේ ගුවන් විදුලි රඟමඬල තුලිනි. ඊට පසු ය රූපවාහිනී ප්‍රචලිත වූයේ. රූපවාහිනි මාධ්‍ය තුල         

පෑයූ  හඳ-මාමා වන් වැඩසටහන වුයේ ‘හපන් පැදුර’ ය. කුඩාවන්ගේ සුරු විරු කම් අපට කනින් පමණක නොව ඇසින් ද දැක ගැන්මට හපන් පැදුර ඉඩ සලසයි. මට හපන් පැදුර හදිසියේ ම මතක් වුනේ පසු ගිය දිනෙක කොළඹ මායිමක පිහිටි වෝටර්ස් එජ් නම් තරු පහේ මහේශාක්‍ය හෝටලයක පැවති උත්සවයක වීඩියෝ පට දුටු විට ය. 

ඔතෙන්ටික ප්‍රංශ ක්‍රිස්ටල් වීදුරුවලින් සුසැදී මනස්කාන්ත චැන්ඩලියර වියනක් යට හා කුරුළු පිහාටුවක සනීපය දෙන අනර්ඝත ම බෙල්ජියම් බුමුතුරුණු මත උත්සවය දිග හැරිණ. චැන්ඩලියර දීප්තිය පරදවන නළු නිලි හා සෙසු කලාකාර තරු වියනක් ම උත්සව ශාලාවේ ඉදිරි පෙළ අසුන් ගත ව සිටියේ තම දෑස් අපේක්ෂාවකින් දල්වා ගනිමිනි. ඉදිරි පෙළ ම සිටි තරමක වයසක මහතෙක් යොවුනෙකුටත් වඩා ජවයකින් ක්ලැසිකල් ගිටාර පීසයක් වැයී ය. අනතුරු ව දක්ෂත ම නිළිය සාම්මානයෙන් පුද ලද කාන්තාවන් දෙදෙනෙක් තවත් දෙදෙනෙක් සමග ඔපෙරා පන්නයේ හාමනියක ගයමින් අතුරුදහන් වීම මැයින් ඉතා නිර්මාණාත්මක රංගනයක ඉදිරිපත් කළෝ කිමෝනාවන් සළුපිලිවලින් සැරසී. ප්‍රවීන මාධ්‍යවේදියෙකු ලෙස හැඳින්වෙන උනන්දු සහගත තරුණයෙක් මාස්ටර් ඔෆ් සේරමනි භූමිකාව ඉටු කළේ ය. ඔහු වැඩසටහන ඉදිරිපත් කල ආකාරය ඉතා මනරම් ය. මනා ව තෝරා බේරාගත් සාහිත්‍යම ය හා ප්‍රගතිශීලී වදන් මාලාව ගලා ගියේ වෝටර්ස් එජ මායිමේ ගලන ගඟුලටත් වඩා ලලනාත්මක ව ය. මෙය වැඩිහිටි හපන්-පැදුරක් ද යී මට වරෙක සිතුණේ වැඩසටහන පුරා විවිධ අයිතම ඉදිරිපත් කළ අයවළුන්ගේ ප්‍රතිභාව හා ජ්වලිතභාවය නිසා ය.      

මගේ සිහින බුබුල බිඳ දමමින් නාගරීක ප්‍රභූ සිවිලෙකු මට කීවේ ඉහත උත්සවය ජනතා විමුක්ති පෙරමුණේ මූනත්තහඩුවක වන ජාතික ජනතා බලවේගයේ සංස්කෘතික ප්‍රතිපත්තිය එලි දැක්වූ අවස්තාව බව යි. අනූව දශකයේ මැද භාගයේ සිදු වූ ආන්දෝලනාත්මක හා කුප්‍රකට ඉඩම් මංකොල්ලයකින්  අනතුර ව ඉදි වුණූ මේ මහේශාක්‍ය වෝටර්ස් එජ හෝටලයේ අයිතිකාර සමාගම තම අනෙකුත් ව්‍යාපාර අතර යුධ ආයුධ සැපයුම ද කළ බව කියැ වේ. ඒ ගැන අප කරදර විය යුතු නැත. ‘සංස්කෘතික මිනිසා’ බිහි කරන ගැබ වන ජාජබය ට එම බිල දැරිය හැකි බව හැඟේ. ඊට අවු කාෂ්ටකේ කැට සෙල්ලීම අවැසි නැත. එසේත් නොමැති නම් එම හෝටලයේ වෘත්තීය සමිතියට සම්භන්ධ ජවිපෙ කොම්රඩයෙකු සූටි වට්ටමක පක්ෂයට ගෙන දුන්නා විය හැක.  කෙසේ වුනත් මේ සාදයේ බිල ගෙවුනේ බදු මුදලින් නම් නොවේ.  

ජවිපෙ තම කෙඩෑරී-කාඩරය කැඳවන සුපුරුදු පිටි වලින් වෝටර්ස් එජයට විතැන් වීම සාධනීය ය. එසේ නොමැති නම් පක්ෂය ලක්ෂ පහේ තම ස්ථාවර හර්ඩ්-කෝර  ජන්ද කුට්ටියට පමණක හිර වේ. කලක් තිස්සේ මේ ලක්ෂ පහ වැඩි පොළියක නොගෙවන ඉතුරුම් ගිණුමක හිර කිරීමෙන් පලක් නැති බව ජවිපෙට ඒත්තු ගැනුනේ 2015 පමණ ය. තම කේඩෑරී කාඩරයන් පමණක නොව පුෂ්ටිමත් මධ්‍යම පාංතිකයින් ද පක්ෂයට ආකර්ෂණය කර ගැන්ම ජවිපෙ ආරම්භ කරන්නේ එබැවිණි. සුපුරුදු ඩොග්මැටික ස්ථාවරයෙන් මිදී එක්තරා ‘සමාජ ප්‍රජාතන්ත්‍ර’ රාමුවක ජවිපෙ ස්ථානගත වීම පැහැදිලි ය. පැලවත්තේ හෝ තලවතුගොඩ කොෆි ෂොපයක කපුචිනෝවක් තොල ගාන පිරිසක දැන් ‘අයි-සපෝර්ට්-ඒකේඩි’ කියන මට්ටමකට දැන් තත්ත්වය පරිනාමය වී ඇත. පශ්චාත් දේශපාලන තත්ත්වය පිරික්සන නව සමාජ ව්‍යාපාර න්‍යාය මීට කියන්නේ ලයිෆ් ස්ටයිල් මූව්මන්ට්ස් හෙවත් ජීවන විලාසිතා  ව්‍යාපාර කියා ය. ඇත්තෙන් ම, ජවිපෙ මුලස්ථානය පිහිටි පැලවත්තට වඩා සමීප වෝටර්ස් එජ් මිසක ද මැල් පිටිය නොවේ.       

මෙවන් පසුබිමක ජාජබ බළලා ලවා ජවිපෙ විසින් බවා ගන්නා සංස්කෘතික කොස් ඇට දේශපාලනික ව වැදගත් ය. සෙමින් නමුත් ස්ථාවර ව කෙදිනක හෝ සැමදා හිර වී සිටි තෙවැනි ස්ථානයෙන් ඉහලට ප්‍රමෝට් වීමට එය නිසැක ව පිටිවහලක වේ. වෝටර්ස් එජය තරම් පොස් නැති මහරගම පැත්තේ ජාජබය සංවිධානය කළ  රැස්වීමක මෙම සංස්කෘතික ක්‍රියාධර පිරිස ඉංග්‍රීසියෙන් පෝඩියමක නාමකරණය වී තිබුනේ මෑස්-ගයිඩින්-ආර්ටිස් (ජනතාවට මග පෙන්වන කලාකරුවන්) ලෙසිනි. තමන්ගේ විවිධ කලා මාධ්‍ය තුලින් දැන් මේ මෑස්-ගයිඩ් ආටිස්වරුන්ට ජනතාවට ‘ටිඅක් කල්පොනා කොර්ලා බ්ලාන්න’ පන්නයේ රංගන, ගීත, කවි, කෙටි චිත්‍රපට  ඉදිරිපත් කළ හැක. එමගින් අන්ධ බිහිරි මුග්ධ ජනතාව නිසි මගට ‘ගයිඩ්’ කළ හැක. මේ සඳහා කදිම ලෝගෝවක ද ඇත. එය මාලිමාව ය.  

මෙලෙස ‘ගයිඩ්’ වූ ‘මෑස්වරුන්’  ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන පසුබිමක වුව ද ‘ලෙඩා මලත් සඟිස්කුරුතේ සුද්දයි’ කියමින් සිටිනු අපට සමහර විටෙක නුදුරු අනාගතයේ දිටිය හැක. මෙම නව දේශපාලන අවකාශය පිහිටන්නේ බයි හන්දියත් ටොයි හන්දියත් අතර ය. මෙම ගයිඩිත සංස්කෘතික උභය ජීවී කොට්ඨාශය ඒකාධිපති දේශපාලන පසුබිමක වුව ද පොහොණි කිරීමට සැදී පැහැදී සිටින ජාජබයේ හයි-මොරල් අශ්වාරෝහක සේනාංකය දැන් ම පෙළ ගැසී සිටින අයුරු අපට දැක ගත හැක. වෝටර්ස් එජය නුදුරු දිනයක ‘දියවර අද්දර සංස්කෘතික අවකාශය’ ලෙස නම් කෙරෙන්නට ඉඩ ඇත. එම  අවකාශයෙන් බිහිවන නව දේශපාලන මොහොත ජ්වලිත කරනට පසුබිමෙන් නැගෙන ක්ලැසිකල් ගිටාර් වාදනයක මියුරු තත් හඬ හා මුසු වන කිමෝනා හාමනියක සිසිලස ඔබ මොබ යන සුදු-වෑන් පෙළෙහි ඝෝර නාදය යටපත් කරනට නිසැක ව සමත් වන බව නම් සහතික ය.      

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    A completely jealous, vindictive article of a holier than thou Sajithite. Shame on you.
    If Sajith wants to win, let him fight and win.
    If Gota wants to win let him fight and win.
    JVP/NPP votes are not slave votes of either of the above. JVP is not the Vote Nanny of either. They must fight the fight an look after their votes.
    This is a democracy.
    All 35 candidates who are running have every right to win.
    This article is all about pure inferiority complex of a weak man who has written this.

  • 1
    0

    අය්යෝ ආචාර්යතුමෝ ඔබගේ අර්ටිකලය තෙවරක්ම කියෙව්වේ එහි වැදගැම්මකට ඇති දෙයක් ඇතියි සිතාය। මේ දෙස් තිවීම මොකක්ද? මෙතන කියන දේශපාලන වරද මොකක්ද? රටට ජනතාවට අහිතකර ප්‍රතිපත්තිය මොකක්ද? ජවිපෙ ගැනත්, කාඩර්වරුන් ගැනත්, මැද පන්තිය ගැනත් ඔබ දන්නා කෙහෙල් මලක් නැති බව තමයි මෙයින් පෙනෙන්නේ! එන්න ජවිපෙ/ජාජබ ලඟින් ඇසුරු කර අඳුනගන්න। මොකද? ජාජබ ඉදිරි ගමනට නොහිස් විවේචන අතාවශ්‍යි!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.