Colombo Telegraph

නවනීදන් පිල්ලේ ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි?

උදය ගම්මන්පිල​

උදය ගම්මන්පිල

පසුගිය සතියේ ලංකාවේ සංචාරය කළ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මැතිණිය දෙමළ බෙදුම්වාදින්ට නම් තමන්ව බේරා ගැනීමට පැමිණි ගැලවුම්කාරියකි.  විපක්ෂයට නම් තමන් වෙනුවෙන් ආණ්ඩුවට බැට දෙන සුර දූතියකි.  අපට නම් ලංකාව දඬු කඳේ ගැසීමට පැමිණි මර දූතියකි.  සමහර ඇමතිවරු ඇය සිය වාර්තාවේ පළමු අකුර ලිවීමටත් පෙර ඇය ලබා දෙන්නේ සාධාරණ වාර්තාවක් බව පවසමින් ලංකාවේ අනාගතය බරපතල අවදානමකට හෙලා ඇත.  එවැනි පසුබිමක අප මර දූතියක ලෙසින් පිල්ලේ මැතිණිය ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි ජාතිය හමුවේ තැබීම අපගේ යුතුකමකි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් යනු ලංකාව යුද අපරාධ කළ බවට චෝදනා කරමින් 2012 දී සහ 2013 දී යෝජනා සම්මත කළ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ ප්‍රධාන විධායක නිළධාරිනියයි. මේ වසරේ සම්මත වුණු යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කර මෙරට මානව හිමිකම් තත්වය පිළිබඳ ලබන මාසයේ පැවැත්වෙන 24 වන සැසිවාරයට වාචිකව ද 2014 මාර්තු මාසයේ පැවැත්වෙන 25 වන සැසිවාරයට ලිඛිත වාර්තාවක් ලෙස ද කරුණු වාර්තා කිරීම ඇයට භාර විය.  එබැවින් ඇය පැමිණෙන්නේ ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමටයි.

ශ්‍රී ලංකාව කොටි විරෝධි යුද්ධයේ අවසාන සමයේ දී මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂික නීති උල්ලංඝණය කරමින් යුද අපරාධ සිදු කළ බවට ඉහත යෝජනාවන්ගෙන් චෝදනා එල්ල කර තිබිණි.  මෙකී චෝදනාවන්ට පදනම වූයේ එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මූන් විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ වාර්තාවයි.  මර්සුකි දරුස්මාන්, යස්මින් සූකා සහ ස්ටීවන් රැට්නර් සාමාජිකත්වය දැරූ මෙම කමිටුව විසින් යුද සමයේ දී අපගේ හමුදා විසින් අහිංසක දෙමළ ජනතාව 40,000ක් මරා දැමුවා වැනි බරපතල චෝදනා එල්ල කර තිබිණි.  එකී චෝදනාවන්හි ඇත්ත නැත්ත පිළිබඳ ද පිල්ලේ මැතිණියට වාර්තා කිරීමට සිදුවනු ඇත.

පිල්ලේ මැතිණිය දකුණු අප්‍රිකාවේ හුදෙක් නීතිඥවරියක පමණක් නොව හිටපු විනිසුරුවරියකි.  එබැවින් ඇය නීතියේ එන ස්වභාවික යුක්ති මූලධර්ම පිළිබඳ හොඳින් දනියි.  ඒ අතර ප්‍රමුඛතම නීති සංකල්පයක් වන්නේ ලතින් බසින් Nemo iudex in cause sua  ලෙස දැක්වෙන “තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුය“ යන්නයි.  තමන්ට යම් සම්බන්ධයක් තිබෙන අයගේ නඩු තමන් නොඇසිය යුතු බව එයින් අදහස් කෙරේ.  නවි පිල්ලේ මැතිණිය දෙමළ ජනතාවට යුද අපරාධ සිදුවුණි දැයි පරික්ෂා කිරීමට පැමිණීමෙන් මෙම සංකල්පය උල්ලංඝණය වන්නේ කෙසේදැයි අපි දැන් විමසා බලමු.

පිල්ලේ මැතිණිය දෙමළ ජාතික කාන්තාවකි.  එපමණක් නොව දෙමළ ජනතාව කෙරෙහි ඇයට ඇත්තේ හෘදයාංගම බැඳීමකි.  1960 දී ඇය සරසවියට තේරුණු නමුත් ඊට අවශ්‍ය මුදල් වියදම් කිරීමට රියදුරෙකු වුණු ඇයගේ පියාට හැකියාවක් නොතිබුණි.  එබැවින් ඇයගේ කලා උපාධියට මෙන්ම නීති උපාධියට ද අවශ්‍ය බර පැන දැරුවේ ඩර්බන් නගරයේ විසූ දෙමළ ජනතාවයි.  එබැවින් සමස්ත දෙමළ සමාජයටම තමන් ණයගැති යැයි හැඟීමක් අනිවාර්රයෙන්ම ඇයට ඇති වනු ඇත.  පසුකාලීනව ඇය නීතිඥවරියක ලෙස පීඩිත ජන කොටස් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළාය.  හැඟීම්බර දෙමළ කාන්තාවක ළෙස කටයුතු කරමින් දෙමළ ජනතාවට යුද අපරාධ සිදුවුණි දැයි පරික්ෂා කිරීමට පැමිණෙන විට කිසිවෙකුට ඇය අපක්ෂපාති වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.

1949 දී බහුතර කළු ජාතිකයින් විසින් දකුණු අප්‍රිකාවේ වසන ඉන්දියානුවන්ට එරෙහිව ජාතිවාදී හිංසනයක් මුදා හල විට ඇය අට හැවිරිදි දැරියකි.  2002 අගෝස්තු 11 දින දී විනෝද් රෙඩ්ඩිට ලබා දුන් ගුවන් විදුලි සාකච්ඡාවේ දී ඇය එම ජාතිවාදි කෝලහාලයේ ගොදුරක් වුණු අයුරු ඉතාම හැඟීම් බරව විස්තර කළාය.  ඇය ලාංකික දෙමළ ජනතාව දකිනු ඇත්තේ තමන් වැනිම බහුතර ජාතියේ හිංසනයට ගොදුරු වුණු සහෝදර පිරිසක් ලෙසයි.

දකුණු අප්‍රිකානු ආණ්ඩුව නිර්ලැජ්ජිත ලෙස වර්ණභේදවාදය නීතිගත කර තිබිණි.  ඒ අනුව සුදු (යුරෝපීයන්), කළු (අප්‍රිකානුවන්), දුඹුරු (ඉන්දියානුවන්) සහ මිශ්‍ර ලෙස සමස්ත ජනතාව වර්ග කර ඔවුන්ට වෙන වෙනම අයිතිවාසිකම් සහ වරප්‍රසාද නියම කර තිබිණි.  පිල්ලේ මැතිණිය අයත් වූයේ දුඹුරු කණ්ඩායමට බැවින් අධ්‍යාපනික, වෘත්තීය සහ සමාජීය යන සෑම ක්ෂේත්‍රයකම ඇයට දොරගුළු වැසුණු අතර දැඩි පීඩාවන්ට ලක්විය.

සුළු ජනවාර්ගිකාවක ලෙස ඇය විඳි දුක විසින් ඇය සුළු ජනවර්ගයන් කෙරෙහි අනුකම්පාවෙන් බලන පුද්ගලයෙකු බවට පත් වී ඇත.  ලංකාව කිසි කළක දකුණු අප්‍රිකාව වැනි ජාතිවාදි නීති සම්මත කර නැතත් ඇයට ලංකාණ්ඩුව සිහි ගන්වන්නේ දකුණු අප්‍රිකානු ආණ්ඩුවයි.  අහිංසක දෙමළ ජනතාව 40,000ක් මැරූ බව පවසන විට ඇයට සිහි වන්නේ 1949 ජාතිවාදි කලබලයයි.  එමෙන්ම පීඩිත ජනවර්ගයන්හි අයිතින් වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් ඇය කළ අරගලයයි.  එබැවින් ඇයගේ ජීවන අත්දැකීම් විසින් දෙමළ ජනතා ප්‍රශ්න වල දී ඇයට අපක්ෂපාතිත්වය අහිමි කර ඇත.

පිල්ලේ මැතිණියගේ සැමියා වන ගැබි පිල්ලේ 1967 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 1971 දී අත්අඩංගුවට ගන්නා ලදී.  ඇය බිරිඳක් ලෙස හඬා වැලපීමෙන් නොනැවතී සිය සැමියා නිදහස් කර ගැනීමට නීතිඥවරියක ලෙස නඩු මගට පිවිසියාය.  ඇය අවසානයේ දී නඩුව ජය ගත්තේ එකී පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු උසාවි නියෝගයකින් නිදහස් වුණු පළමු පුද්ගලයා බවට සිය සැමියා පත් කරමිනි.  ඉන්පසු ත්‍රස්තවාදියෙකු ලෙස යමෙකු අත්අඩංගුවට ගත් සැණෙන් ඔහුගේ පවුලේ අය නීතිඥ සහය සොයා ආවේ නවි පිල්ලේ වෙතටයි.  ඇය ත්‍රස්තවාදි සැකකරුවන් සිය ගණනකට නීති සහය ලබා දී ඇත.  ඇය ත්‍රස්තවාදින් ලෙස අත්අඩංගුවට පත් වුණු අයගේ ශෝචනීය කතා පසුකාලීනව හැඟීම්බරව මාධ්‍යයට හෙලි කර ඇත.  මෙම පසුබිම හේතුවෙන් ඇය ත්‍රස්තවාදින් තුලින් දකින්නේ තමන්ගේ සැමියාය.  නැතහොත් තමන් නිදහස් කර ගැනීමට උසාවියේ සටන් වැදුණු ත්‍රස්තවාදි සැකකරුවන්ය.  වර්ණභේද ආණ්ඩුවකට එරෙහිව ඔවුන් කළ අරගලය සමහර විට සාධාරණ වනු ඇත.  නමුත් මානව හිමිකම් කොමසාරිස් ධූරය දරමින් ඇයගේ අත්දැකීම් සාමාන්‍යකරණය කළොත් එයින් හානි වන්නේ ලොව පුරා දරුණු ත්‍රස්තවාදයන්ට එරෙහිව සටන් වැදී සිටින ජාතින්ටයි.

මූන් කමිටුවේ සාමාජිකාවක වූ යස්මින් සූකා ද නීතිඥවරියකි.  මානව හිමිකම් පිළිබඳ දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයන්හි සිටි ප්‍රමුඛතම නීතිඥවරියන් වූයේ පිල්ලේ සහ සූකාය.  එබැවින් මේ දෙදනා ප්‍රාණ සමාන මිතුරියන් බවට පත්විය.  සූකා විධායක අධ්‍යක්ෂවරිය වන මානව හිමිකම් පිළිබඳ සූකා මධ්‍යස්ථානයේ අනුශාසිකාව වන්නේ පිල්ලේය.  එමෙන්ම සූකා සංස්කරණය කරන “ට්‍රාන්ස්නැෂනල් ජස්ටිස්“ සඟරාවට පිල්ලේ නිතරම ලිපි සපයන ලේඛිකාවකි.  මූන්ගේ කමිටුව සඳහා සූකාගේ නම නිර්දේශ කලේ පිල්ලේ යැයි ජනප්‍රිය මතයක් පවතියි.  මේ අනුව පිල්ලේ මැතිණිය ලංකාවට පැමිණ ඇත්තේ සිය සමීපතම මිතුරිය සැපයූ වාර්තාවේ නිවැරදි බව සෙවීමටයි.  මෙය සමාන කළ හැක්කේ හොරාගේ අම්මාගෙන් වෙනුවට හෙරගේ මිතුරියගෙන් පේන ඇසීමටයි.

පිල්ලේ මැතිණිය විසින් යුද සමයේ දී මෙන්ම යුද්ධයෙන් පසුව ද ඇගේ දෙමළ ගැති මානසිකත්වය හෙලි වන අයුරින් කටයුතු කර ඇත.  2009 වසරේ යුද්ධයේ අග දී සටන් විරාමයක් ප්‍රකාශ කරන මෙන් බටහිර රටවල් ලංකාවට බල කරන විට මානව හිමිකම් කොමසාරිස් ලෙස ඇය ද එයට සහය පල කළාය.  2009 මාර්තු 13 දින ඇය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මීට කදිම සාක්ෂියකි.  ඊට අනුව ඒ වෙනවිටත් සාමාන්‍ය වැසියන්ගේ මරණ සංඛ්‍යාව කම්පනයක් ඇති කරන මට්ටමට පැමිණ ඇති අතර වහාම සටන් විරාමයක් ප්‍රකාශ නොකළොත් දැවැන්ත ව්‍යසනයක් සිදුවනු ඇත.  කිසිවක් නොදුටු නමුත් හමුදාව විසින් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නම් කර ඇති යුද මුක්ත කලාපයන්ට කාලතුවක්කු වෙඩි මුර එල්ල කරමින් යුද අපරාධ සිදුකර ඇතැයි අඇය ඉතාම විශ්වාස‍යෙන් සඳහන් කළාය.

ජනවාරි 19 සිට මාර්තු 13 දක්වා කාලය තුල දෙදහසකට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් මිය ගොස් හත්දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ඇය සිය නිවේදනයේ සඳහන් කළාය.  තමන්ට මෙම දත්ත ලැබුණේ ඉතාම විශ්වාසනීය ආරංචි මාර්ගයකින් බව සඳහන් කළත් එම විශ්වාසනීය ආරංචි මාර්ගය කුමක්දැයි ඇය මෙතෙක් හෙලි කර නැත.  මෙම තත්වය යටතේ පදනම් විරහිත කරුණු වලින් පිරුණු ඇගේ මෙම නිවේදනයේ නිවැරදි බව තහවුරු කිරීම සඳහා මෙම සංචාරය භාවිතා කිරීමට පුළුවන.

ඉහත කරුණු මත ලංකාව යුද අපරාධ කළාදැයි සෙවීමට ඇයට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.  එමෙන්ම ඇය යුද අපරාධ පිළිබඳ අවංකවම උනන්දු නම් ඇය යා යුත්තේ ලංකාවට නොව ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, ටියුනීසියාව හෝ ඊජිප්තුවටයි.  බටහිර හමුදා විසින් ටොන් ගණනින් බර බෝම්බ ගුවනින් හෙලමින් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ පමණක් සාමාන්‍ය වැසියන් දශ ලක්ෂයකට වැඩි පිරිසක් මරා දමා ඇත.  ඇයට “අවාසියා කර්ණාබාධා“ රෝගය වැළඳී නැතිනම් මේ පිළිබඳ ක්ෂණික පරීක්ෂණයකට යොමු විය යුතුය.

බටහිර ආශිර්වාදයෙන් ආණ්ඩුව පෙරලූ ඊනියා ලිබියානු විමුක්තිකාමින් එරට ජනපතිව සිටි මුවම්මර් ගඩාපි මරා දැම්මේ දෙනෝ දහක් සෙනඟ මැද පාර දිගේ ඇදගෙන ගොස් කාණුවකට දමා පොලු වලින් තැලීමෙනි.  එමෙන්ම ඔහුගේ කාන්තා ශරීරාරක්ෂක භටයින් දූෂණය කර පණ පිටින් පුළුස්සා මරා දමන ලදී.  මේවා ප්‍රසිද්ධියේම වුණා පමණක් නොව ඒ පිළිබඳ වීඩියෝ පට අන්තර්ජාලයේ දක්නට ඇත.  නමුත් මේ පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්තුමිය කිසිම පියවරක් නොගත්තේ එම මැරයින් බටහිරට හිතවත් බැවිනි.

මෑතක දී ඊජිප්තුවේ අධිකරණය සහ හමුදාව කුමන්ත්‍රණය කර මහජනතාව පත්කර ගත් බටහිර විරෝධි ජනාධිපති වන මොහොමඩ් මෝර්සි බලයෙන් පහ කරන ලදී.  එය සමස්ත ජාතියේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමකි.  නමුත් මේ පිළිබඳ කිසිවක් කිරීමට මෙතෙක් මානව හිමිකම් කොමසාරිස්තුමිය වෙර දරා නැත්තේ එය ද බටහිර කුමන්ත්‍රණයක් හෙයිනි.

ඇත්තෙන්ම මානව හිමිකම් කොමිසම අද ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල බළල් අතක් ලෙසය.  බටහිරට කීකරු නොවන ආණ්ඩු දමනය කිරීම මානව හිමිකම් සභාවේ රාජකාරිය වී ඇත.  ඉහත තොරතුරු කියා පාන්නේ සිය ජාතිය වෙනුවෙන් හැඟිම්බර සිය මිතුරියගේ බලපෑමට යටත් නවි බටහිර වෙනුවෙන් සේවය කරන පිල්ලේ මැතිණියට පමණක් නොව කිසිම මානව හිමිකම් කොමසාරිස්වරයෙකුට ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

*උදය ගම්මන්පිල බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙකි. ඉහත ලිපිය ඔහුගේ නිල වෙබ් අඩවවියෙනි

Back to Home page