Colombo Telegraph

වමේ පටු හදවතට පුළුල් පථයක් අවැසිය

උදය ආර්. තෙන්නකෝන්

උදය ආර්. තෙන්නකෝන්

ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන් හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා ගැනීමට යෑමේ දී ඇතිවන ගැටුම, විඝඨනය හා විරුද්ධාභාෂයන් අතර ඇති සහසම්බන්ධයන් හා ප්‍රතිවිරෝධයන් අඩසිය වසකට වඩා අධික කාලය තුල දී අප අත්දැක ඇත්තෙමු.  දකුණ සහ උතුර වෙනුවට දකුණ සහ වම යන්නෙහි අර්ථයත්, ඉතිහාසයත්, ලාංකීය භාවිතාවත් පිළිබඳ  ඇති උභතෝකෝටිකය විසින් මෙකී ප්‍රශ්නය සංකීර්ණ කර ඇත. එසේම එය මානව ප්‍රගතිශිලී දේශපාලනයේ ඓතිහාසික යුතුකම පැහැර හැරීමට ක්‍රියාකරමින් සිටී. මෙම තත්වය අනාගතය සඳහා ද විනාශයක්ම යෝජනා කරන බැවින් වම දකුණ පිළිබඳ වෙනස හා දාර්ශනික සන්දර්භය සාකච්ඡා කිරීම මෙහි අපේක්ෂාව වන්නේය.

වම දකුණ- ප්‍රතිගාමීත්වය සහ ප්‍රගතිශිලීත්වය

මතවාදීමය හා සංකල්පිය තලයේදී දකුණට ප්‍රතිමුක වන්නේ වම ය. එනම් දක්ෂිණාංශයට(Right wing)විරුද්ධාර්ථය වන්නේ වාමාංශයයි(Left Wing). වාමාංශය නම් සංකල්පයට පුද්ගලයා මැදිහත් විමේදී, ඔහු හෝ ඇය වාමාංශිකයා හෝ වාමාංශිකාව වන්නේය. දක්ෂිණාංශයෙන් වෙන් වෙන පුද්ගලයා වාමාංශික වන්නේ නම් එහි අර්ථය කුමක් දැයි කල්පනා කළ යුතු වේ. වාමාංශිකයෙහි විරුද්ධාර්ථය දක්ෂිණාංශය වීමේදී එයට ප්‍රතිගාමීත්වය යන්න එකතු වන විට වාමාංශයට ප්‍රගතිශිලීත්වය යන්න එකතු වේ. එබැවින් වාමාංශිකයෙකු වීම යන්න තුල ඇති අර්ථය වන්නේ ප්‍රගතිශීලී යන්නය.

වම දකුණ යන්න දේශපාලන ශබ්ධකෝෂයේ අර්ථයට පැමිණීම සිදුවන්නේ ප්‍රංශ විප්ලවයේ දී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී  වාතාවරණය තුලදීය. ප්‍රංශ ව්‍යස්ථාපිත සභාවේ දී ඇති වන රාජකීය නිශේධ(Royal Veto) බලය හා රජු වෙත ගොණු වූ බලය සම්බන්ධ ගැටලුවකදී, රැඩිකල් අදහස් දැරූ පුද්ගලයන්( 1789- 91) කායික වශයෙන් රාජ සභාවෙහි චේම්බරයෙහි(Chamber) ප්‍රධානියාගේ අසුනේ සිට බැලිමේ දී වම් පැත්තෙහි අසුන් ගත් අතර කොන්සරවේටිව් නැතිනම් සම්ප්‍රධායික අදහස් දැරූ පිරිස් දකුණු පස අසුන් ගන්නට විය. ඉන්පසුව මෙම ස්ථානගතවීම ‘‘වම,, හා ‘‘දකුණ,, බවට පත් වූ අතර ශක්තිමත් ප්‍රජාතාන්ත්‍රීය ආස්ථානයකින් යුක්තව සිටි වම් පස කණ්ඩායම, ඒකාධිපති බලය විසින් දූෂිත කරන තනි හිතුවක්කාර තීන්දු තීරණ හා නීතිවලට එරෙහිව පෙනී සිටීමෙන් හා ක්‍රියාකිරීමෙන් පසු  වම යන්න ප්‍රගතිශීලී යන අදහසත් වම් පස සිට ගැනීම හා එහි සිට නියෝජනය කරන ලද අදහස්වල ඇති අර්ථයන් ප්‍රසාරණය වන්නට විය. ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන සටන් පාඨ තුන වන නිදහස, සමානාත්මතාව සහ  සහෝදරත්වය යන්න බිහි වූයේ ද මෙකී ප්‍රජාතාන්ත්‍රිකයන් විසිනි. සහෝදරත්වය යන්න පොදුවේ සමාජ සහයෝගිතාවය  නියෝජනය වෙත් දී සමානාත්මතාවය යන්න වාමාංශිකයන්ගේ දාර්ශනික කේන්ද්‍රය බවට පත් විය. මෙලෙස නිර්මාණය වූ වම ප්‍රංශ විප්ලවයට පදනම් වූ සංකල්පවල ඇති ගුණය හේතුවෙන් ප්‍රගතිශිලීත්වය යන්න වමෙහි ආත්මය වන්නට විය. එබැවින් ප්‍රගතිශීලීත්වය යන්න ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව හා සහෝදරත්වයේ ආත්මීය ගුණයක් වන අතර එය සමාජ සංවර්ධනයේ හා මනුෂ්‍යත්වයේ කොටසක් ද වන්නේය.

එහෙත් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදීන් චේම්බරයේ දකුණු පස ඉඳගනු ලැබුවේ නම් සිදු වනු ඇත්තේ දකුණ ප්‍රගතිශීලී විමය. එසේ වූ වේ නම් යන උපකල්පනය අනුව සිදුවන සංකේතමය මාරුවීම සිතාගත හැකි වුවත්, අද දවසේ ලාංකීය උතුර දකුණ දේශපාලනයේ දී මෙම ස්වභාවය වරෙක විරුද්ධාභාෂයක් බවට පත් වීමෙන්, වම නියෝජනය කරන ප්‍රධාන දහරාවේ දේශපාලන කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව සහෝදරත්වය යන ප්‍රගතිශීලිත්වයේ වාමාංශික කාර්ය දක්ෂිණාංශයේ ආස්ථානයේ සිට ප්‍රතිගාමීත්වය ශක්තිමත් කිරීම සිදුවනුයේ උතුරට දේශපාලන අර්ථයක් තවමත් නොමැතිකම හේතුවෙනි. උතුරේ වෙසෙන දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් තේරුම් ගැනීමට හා එයට භූමිය පදනම් කරගත් විසඳුමකට යෑමට ප්‍රගතිශීලීත්වය නියෝජනය කරන්නනට නොහැකි වීම හා දක්ෂිණාංශය නියෝජයනය කරන්නන් යම් පිරිස් හට ජාතික ප්‍රශ්නයට අවම හෝ විසඳුමක් සෙවීමට හැකියාවක් ඇති වී තිබීම තුල ප්‍රශ්න කළ යුතු කාරණය වන්නේ වාමාංශික පථයේ ඇති පටුකමය. මේ නිසා දක්ෂිණාංශකයින් වාමාංශිකයින් වීම හා වාමාංශිකයින් දක්ෂිණාශිකයින් වීමේ මිශ්‍රණය සිදුවීම ජාතීනිගේ ප්‍රශ්නයේ දී මෙන්ම බොහෝ කාරණාවල දී එලියට පැමිණීම, ප්‍රශ්නයේ ගැටලුවක් පමණක් නොව ප්‍රගතීශීලි දර්ශනය වැරදි ලෙස භාවිත කරන්නන්ගේ ද ගැටලුවකි.

එහෙත් වාමාංශිකවිම යුරෝපයට,  බටහිරට  අනුව ලංකාවට ආදේශ කිරීමේ දී විශාල වෙනසක් ඇත.එනම් යුරෝපයේ වාමාංශික වීම යනු  පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.මාක්ස්වාදී, ලෙනින්වාදී, මාවෝවාදී යන සමාජවාදී අදහසම පමණක් නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් ද ගැනෙනුයේ වාමාංශික කොටස්වලටය.එනම් ප්‍රංශ විප්ලවයේ බලපෑම හා යුරෝපීය දේශපාලන දර්ශනයේ වර්ධනීය ස්වභාවය ඊට හේතුකාරක විය ඇත. යුරෝපීය වාමාංශිකයන්ගේ පරාසය පුළුල් වි ඇති අතර එක ධහරාවක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ද, අනෙක් දහරාව මාක්ස්වාදය ඔස්සේ ද, මාක්ස්වාදය හා සමාජවාදය පදනම් වූ උප දහරාවන් ගණනාවක්ම සෙසු රටවල මෙන් ලෙනින්වාදි, ට්‍රොට්ස්කිවාදී, මාවෝවාදී, ස්ටැලින්වාදී ලෙස වර්ග වී වාමාංශික වී ඇත. දක්ෂිණාංශය හා වාමාංශය යන බෙදීම ඇති වන්නේ සම්ප්‍රදායික හා නූතන යන ප්‍රතිවිරෝධයන් පදනම්ව  වුවද පසුව මාක්ස්වාදයේ බලපෑම විසින් වාමාංශයේ දාර්ශනික පදනමට ශක්තිමත් විප්ලවීය ස්ථානයක් හිමිකර දෙන්නට විය. එනම් සමානාත්මතාවය යන්න සමාජ සාධාරණයක් බවට පත්වීමට සිදුවිය යුතු වෙනස සමාජ ක්‍රමයක් වෙනස් කිරීම දක්වා වන පිම්මක් පැනිය යුතුය යන්න ආර්ථික විග්‍රහයකින් පෙන්නුම් කළ මාක්ස් වාමාංශික පථය අතික්‍රමණය කළ පුද්ගලයා බවට පත්වීම එතෙක් පැවැති දර්ශන මතවාදයන් අඟුටු මිට්ටම් කර දැමීම වැන්නකි. දර්ශනයේ මෙකී සුසමාදර්ශය වාමාංශික පථයේ කෙළවර සිට ගනිද්දී, සමාජය තවමත් ප්‍රංශ විප්ලවිය තත්වය තුල එහෙ මෙහෙ යමින් සිටී. එනම් නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය  සහෝදරත්වය මෙන්ම යුක්තිය යන්න සෑම සමාජ ක්‍රමයකම ඇති මූලධාර්මික ඉල්ලිම්ය. වැඩවසම් සාමජ ක්‍රමය තුල සිට පැන නැඟුනු ඉල්ලීම් ධනේෂ්වර ක්‍රමය තුල දි ද එයම වන විට, ඊට ඇති විසඳුම වන්නේ සමාජවාදය යැයි මාක්ස් සහ එංගල්ස් විසින් පවසද්දී සමාජයට ඒ වෙත ගමන් කිරීමට ඇති ශඛ්‍යතාව තීරණය වනුයේ එහි  ආර්ථිකය පමණක් නොව සංස්කෘතිය මත බව උගන්වන ලද්දේ ලෙනින් විසිනි. ඒ ඔක්තෝබර් විප්ලවයෙන් පසුව සොවියට් සමාජයේ චලනය හා අසාර්ථකත්වය දෙස බලමිනි.

වාමාංශික පථයේ කෙළවර සිටගත් මාක්ස්ගේ තැනට ගෙන ඒමට වැඩවසම් සමාජයක්ව පැවැති රුසියාව, ලෙනින් විසින් සමාජවාදී රුසියාවක් බවට පත් කළ සුසමාදර්ශී වෙනස සංස්කෘතියක් වශයෙන් ජය ගැනීමට නොහැකි බව 1920 ගණන්වලදිම ලෙනින් විසින් තේරුම් ගන්නට විය. ස්වල්පයක් හොඳය නමුදු වඩා හොඳට(Better Fewer, But Better) යන ලිපිය තුලින් කියනු ලබන්නේ මාස්ගේ තැන සිට සිටගෙන  ප්‍රංශ විප්ලවයේ දිශාව දෙස බලාගෙනය. එනම් ප්‍රගතිශීලීත්වයේ පථය දෙස බලමිනි. අපගේ වාමාංශික මූලධර්මවාදීන් ලෙනින්ගේ සිංහල දොළොස් වැනි වෙළුම කට පාඩම් කළ ද එම යථාර්ථය සාක්ෂාත් කර ගත් බවක් දක්නට නොමැත.

1883 දී කාල් මාක්ස්ගේ අභාවය වන විට යුරෝපය තුල සමාජවාදී සංවිධානය  ව්‍යාප්තව පැවතුණු අතර එක්සත් සමාජවාදී කම්කරු පක්ෂය  ජර්මනියේ ද,  ඩෙන්මාර්ක් සහ නෙදර්ලන්ත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතාවන්, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව තුල කුඩා පක්ෂ ද ප්‍රංශ සමාජවාදී  ෆෙඩරේෂණය, පෘතුගාලය හා ස්පාඥ්ඥය තුල වූ ජාල ගත සංවිධාන  වලින් යුතුව යුරෝපය පුරා සමාජවාදයේ ව්‍යාප්තිය ඇති වී තිබිණි. මෙම කාලයේදී කාල් මාක්ස්ගේ ජිවිතකාල සගයා වූ ෆෙඩ්රික් එංගල්ස්ගේ අභාවය සිදුවෙද්දී (1895) මුළු යුරෝපයේ ජර්මානු භාෂාව කතාකරන මධ්‍යම යුරෝපීය රටවල  ද පහත රටවල් වූ ස්කැන්ඩිනේවියාව,  පෝලන්තය ක්‍රොඒෂියාව හා අලුතින් බිහි වූ බෝල්කන් රාජ්‍යයන් තුලද වූ ව්‍යාප්තිය වැදගත් විය. ඉන්පසුව ඉතා සීග්‍රෙයන් මෙම ව්‍යාප්තිය යුක්රේනය ෆින්ලන්තය, ලැතිවියාව හා රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය වශයෙන් රුසියාව තුල වැඩෙන්නට විය. 1900 මුල් කාලය තුල දි යුරෝපා සිතියම මුලුමනින්ම අරක්  ගැනීමට සමාජවාදී පක්ෂවලට හැකි වු අතර ඔවුන්ගේ ප්‍රමුඛතම හඬ වූයේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙම සංකල්පය නිකම්ම නිකං වචනයකට වඩා පුළුල් අර්ථයක් නියෝජයන කරමින් මිනිසාගේ නිදහස හා අයිතිවාසිකම්  සමානාත්මතාව සඳහා වූ අරගලකාරි සංකල්පයකි. ලෝක මට්ටමින් විවිධ ඓතිහාසික ස්වරූප ගනිමින් ස්ථානගත වු වාමාංශික ධාරාව ලංකාවට පැමිණීමේ දී අත්කර ගත් ස්ථානය කුමක් ද හා වාමාංශික සංජානනය තුල ගම්‍යමාන අර්ථය සොයා යා යුතුය.

යුරෝපීය වාමාංශික පථය හා ලාංකීය වාමාංශික පථය

මගේ තේරුම් ගැනීම නිවැරදි නම්, යුරෝපීය වාමාංශික ධහරාවේ හා ලාංකීය ධහරාවේ ඉතිහාසය  හා සන්දර්භය දෙකක් වීම තුල යුරෝපීය වාමාංශයට පුළුල් පරාශයක් ඇත. ලිබරල්වාදියාගේ සිට නව මාක්ස්වාදියා දක්වාත් හෝ වෙනත් අවකාශයක් දක්වා විහිදුණු පථයක් ඇත. මේ තුල මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය අගයයන් අයිතිවාසිකම් හා නිදහස මූලික කරගත් විවිධ විෂයයන් අඩංගු වී ඇත. එබැවින් ප්‍රෙතෙස්තන්ත්‍ර පල්ලියේ සිට ස්ත්‍රීවාදී ව්‍යාපාර, පරිසර, සිවිල් සංවිධාන  ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කතාකරන ජනයා හා ව්‍යාපාර වාමාංශික වී ඇත. ඒ තුල මාක්ස්වාදී රුඩිකල් දේශපාලනික මතයන් එක් අතකින් ආන්තික ලෙස සැලකුව ද එය වාමාංශික පථයේ කෙළවර වන්නේ නම්, ඊට මෙහා සිට ක්‍රියාත්මක වන ප්‍රගතිශීලි සමාජයක් යුරෝපයට ඇත. සමාජවාදය හා මාක්ස්වාදය පසු බෑමකට ලක් වුවද බටහිර මිනිසාගේ නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට හා ගෞරවයට ඇති නිසි ගෞරවය පාලනය වී ඇත්තේ වාමාංශික පථයේ ඇති පුළුල් කම නිසාය. මොවුන්ගේ හඬ නොතිබෙන්නට ධනේශ්වර ක්‍රමයේ නරුම හස්තය විසින් මිනිසා චප්ප කිරීම නග්න විය හැකි ය. මනුෂ්‍යාට පමණක් නොව තිරිසන් සතාගේ හා ස්වභාව ධර්මය සඳහා ද සටන් කරනු ලබන්නේ මෙම වාමාංශිකයන්ය. එහෙත් සම්භාව්‍ය මාක්ස්වාදි අර්ථයෙන් හා විප්ලවිය අර්ථයෙන් වාමාංශික පථයේ කෙලවර සිටින්නන් විසින් පථයේ මෙහා සිටින කොටස ධනේශ්වර ක්‍රමයේ පැලැස්කර කරුවන් හා විප්ලවයට බාධා කරන්නන් ලෙස නගන චෝදනාවට උත්තරය ලෙනින් විසින් හා අනෙකුත් සමාජවාදී රාජ්‍යයන් විසින් උගන්වා ඇතත් වැදගත් වනුයේ ලෙනින් විසින් වර නැගූ පළමුව ඉගැනිම දෙවැනුව ඉගැනීම තෙවැනුව ඉගැනීම යන අදහස තුල ඇති පුළුල් අර්ථයය. ලෝක මට්ටමෙන් වර්ධනය වී ව්‍යාප්ත වූ සමාජවාදී දර්ශනය විශාල වශයෙන් පරිහානියට පත්වීමට වූ හේතු ධනවාදයේ ආශ්චර්යයක් නොව ප්‍රගතිශීලී වාමාංශික පථය මාක්ස්වාදී මූල ධාර්මිකයින් විසින් හැකිලිමය. අන්තයක සිට අත වැනුවද සමාජයක් ලෙස මිනිසුන් ලෙස ඒසඳහා පැමිණීම පිණිස ඇති මාර්ගයේ වැඩ නොකිරීමය. වැරදි සහගතව වැඩ කිරීමය. ආත්මාර්ථකාමිත්වය, බල ලෝබය හා අබුද්ධිකභාවයය.

ලංකාව විශයෙහි දී අඩුම තරමින් බෞද්ධ සංඝයා විසින් පන්සිල් පද පහවත් ආරක්ෂා නොකරන යථාර්ථයක් සේ, මාක්ස්වාදය වර නගමින් එය ජීවත්විම පිණිස රස්සාව කරගෙන සිටින්නන් මාක්ස්වාදයේ මූලික හරය වත් පිළි පදින්නේ නැත. ලෙනින් මාවෝ, චේ හා සෙසු විප්ලවාදීන් අනුව යන්නන් වුවද එම තත්තවයමය. චේගේ රැවුල හා තොප්පියට පටු කරගත් ආත්මය තුල ඔහුගේ දාර්ශනික විප්ලවීය ගුණය අඩංගු වී නැති විම තුල තව තවත් විමල් විරවංශ පන්නයේ නිමැවුම් අප සමාජයට දායාද වනු ඇත.මුහුණට කටට ඇඳුමට රැවටෙන සමාජයක බුද්ධිය යට ගොස් ඇත. ඉස්ලාමීය වීම යනු මූලධාර්මික විම වී ඇත්තේ ආගමේ වැරදි භාවිතාවන් නිසා වන්නාසේම මාක්ස්වාදී වීම යනු මුල ධාර්මික වී ඇත්තේ මාක්ස්වාදය ආගමක් විම තුල දිය.   බුදුන් පිරිනිවන් පාන අවස්තාවේදී, හඬා වැලපුණු භික්ෂූන් හා භාවනා යෝගිව සිටි භික්ෂුව සම්බන්ධයෙන් බුදුන් කළ විග්‍රහය වාමාංශිකයින් මෙන්ම මාක්ස්වාදීන්ට ඇති පාඩමකි. එමෙන්ම අවධාරණාත්මකව මාක්ස්වාදීන් අවබෝධකරගත යුත් වන්නේ එංගල්ස් විසින් මාක්ස්ගේ සොහොනේදි කළ කතාව යට කියැවෙන කාරණාවය. මාක්ස්වාදය යනු පොතේගුරුවාදයක් නොව, එසේම මාක්ස් ආවරණය නොකළ ක්ෂේත්‍ර තහනම් කලාප ද නොව. ධනවාදයේ මෙම සියවස වනාහි ලෝකය අතටගත් කාලයකි. නූතන තාක්ෂණය, සංනිවේදනය එක් අතකින් ඉගිලෙද්දී, දේශපාලනික අදහස් මතවාද හා සංවාද ද මනුෂ්‍යත්වය සඳහා සිදුවනු අයුරු දැක ගත හැකිය. මාක්ස්වාදයේ ලෝක දාෂ්ටියට සාධාරණය කරන විප්ලවාදියා යනු කොමියුනිස්ට් ප්‍රකාශනය කිහිල්ලේ ගසා සිටින්නා නොව එය නිර්මාණශීලීව භාවිතයට නගන්නාය. ධනවාදය යනු ලාදුරු රෝගියෙකු නොව. නිර්මාණශීලී මෙන්ම සිතිවිලි වේගයට ගමන්කරන දයලෙක්තික සමාජ ක්‍රමයකි. එය එසේ වන විට වාමංශිකයා හෝ මාක්ස්වාදියා සිටිය යුත්තේ ඊටත් වඩා එහා තැන නියොජනය කරනා දාර්ශනික නිර්මාණශීලී මනුෂ්‍යත්වය තුලය. එහෙත් එම සන්දර්භයේ දී අපහට හමු වන්නේ එහි විරුද්ධාභාෂයය. මුග්ධත්වය, කුහකත්වය, වෛරය, අදූරදර්ශීත්වය, ජාතිවාදය, ගෝත්‍රිකත්වය යන විරුද්ධ සංකල්පයන් කරතියා ගත්තවුවන්ය. මෙම අගයන් හා ධර්මතාවන්වල ඇත්තේ ප්‍රබල පසුබෑමකි. එම නිසාම ලාංකීය වාමාංශිකයා  යනු අතීතය තුල සිටි සත්වයා යහපත් වීමකි. එනම් වර්තමානයේ සිට බලන විට අද සිටින වාමාංශිකයින්ට වඩා ඇන් ඇම් පොරේරාලා කොල්වින්ලා යහපත්ය යන අදහස අප තුල ඇතිවීමය. ඔවුන්ව විවේචනය කරන්නන්ට වඩා දස ගුණයකින් සාපේක්ෂකව හොඳය. විය යුත්තේ එය නො වුවද යථාර්ථය එයය. එසේ නම් අනාගතයේදී, විමල් වීරවංශ වාසුදේව රාජිත  වැන්නන් හොඳ වුවහොත් අපගේ සමාජයේ දිශාව හා වාමාංශය තේරුම් ගත හැකිවනු ඇත.එය දැන් දැන් සිදු වෙමින් යන බව වාමාංශිකයින් යැයි සිතා සිටින්නන් අමතක නොකළ යුතුය. ජවිපෙන් වෙන් වූ පෙරටුගාමීන් හා ජවිපේ යන මෑත අතිතය සැසඳීමේ දී, සිදුවන ගැටුම් තුල දී, ගැලවෙන සාමාජිකයන් පවසන්නේ ජවිපේ මීට වඩා හොඳය, ඊටත් වඩා විමල් වීරවංශ හොඳය යන්න නම්, වමට කිව යුත්තේ දෙවි පිහිටයි. ඔබලා බබලාගේ වැඩක් බලා ගන්න අනාගතය රවටන්නේ නොමැතිව යන්නය.

දයලෙක්තිකය හෙවත් ගැටලුව හඳුනාගැනීම

ප්‍රගතිශීලිත්වයේ පථය පටු වීමේ හා වාමාංශයේ ගැටළුව පුද්ගලයාට හා සමාජයට ප්‍රත්‍යාවර්තක වන්නාසේම භාහිරයට ද ප්‍රත්‍යාවර්තිකය. එබැවින් මූලික හා මූල ධාර්මික සංකල්පයන් වන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සහොදරත්වය යන ප්‍රංශ විප්ලවිය සංකල්ප අපගේ සමාජයට ගැට ගැසෙනුයේ කෙසේ ද යන්න සලකා බැලිමේ දී බටහිර සමාජ සංවර්ධනයේ දිශාව හා වර්ධනයට සාපේක්ෂකය. අපගේ සමාජ සැකැස්ම හා සංවර්ධනය වෙනස් සේම සංකල්පවල ඇති අර්තය ද වෙනස්ය. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යන්න අදට පවා අපගේ සමාජයට වැටහෙන්නේ නැත. එනිසාම එම සංකල්පවලට අර්ථයක් නැත. අඩුම වශයෙන් බෞද්ධ රටක් ලෙස සැලකෙන්නේ උවත් එම දර්ශනයෙන් පෙන්වාදෙන අර්ථයන් පිළිබඳ මූලික හෝ වැටහීමක් ප්‍රධාන වශයෙන් සංඝායා ප්‍රමුකකොට ගත් බෞද්ධ සමාජය සතුව නැත. අවම වශයෙන් පන්සිල් පද පහෙහි අර්ථයවත් දන්නේ නැත.මෙනිසා අපගේ දර්ශනයේ පථය බටහිරට වඩා ඉතාමත් පටුය. දූපතක් වීම නිසා ඊටත් වඩා පටුය. සුළු ජන එහෙත් ඊනියා ආර්ය වර්ගයක් වීම නිසා මුග්ධත්වය හා  අහංකාරත්වය වෙලාගැනීමෙන් පටුය. දක්ෂිණාංශිකයන්ටත් වඩා වාමාංශිකයන් පටුය(   බුද්ධිමත් ප්‍රගතිශීලී ශුද්‍ර වූ පිරිස් අපට සිටී. එම පිරිස පිළිබඳ නොව ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයේ සිටින සමාජ වෙනසේ බල වේග පිළිබඳ බව සලකන්න)වම මෙතරම් පිරිහිමටත් අඟුටුමිටි වීමටත් ප්‍රමුඛ හේතුව නම් වම නියෝජනය කරන්නාගේ ඇති පටු කමය. නිදර්ශනයකින් කිවහොත් ගණිතය විද්‍යාව අසමත් හෝ අදක්ෂ වූවකු කලා විෂයයන් තෝරා ගන්නාක් මෙන්  නැති කම හා පීඩනය වාමාංශිකයාගේ ආයුධය නොවන බව අපට තවමත් තේරෙන්නේ නැත. සිද්ධාර්ධගේ සිට දුප්පත් කමට පැවිදි වන සංඝයාගේ මෙන්ම පිඩිතයාට මාක්ස්වාදියෙකු හෝ වාමාංශිකයෙකු විමට ශූද්ධ වූ අයිතියක් ඇතත්, නැතිකම ඇතිකර ගත් කල ප්‍රගතිශීලිත්වයට පයින් ගැසීමට හැකිනම්, සමානාත්මතාවයෙහි අනෙක් අන්තයට වැටෙන්නේ නම්, එම වාමාංශිකත්වය කුමක් දැයි වටහා ගත යුතුය. මීට වසර දහයකට පහළවකට පෙර කමිසයක් නැතිව සිටි වමෙකු කෝටි පතියෙකු වීම යනු හිටගෙන මිය යුතු ගැටලුවක් බව අවබෝධකර ගත යුත්තේ, එසේ වීම නොව එසේ වීමට හේතුවය.

උතුරේ පීඩිතයාට ප්‍රශ්නයක් ඇති බවත් වෙනත් ජාතියක් හා ප්‍රෙදේශයක් විම හේතු කොට ගෙන පැන නැගී ඇති දේශපාලනය සිංහලත්වයට ආගමට හා ජාතිවාදයට පටු කිරීමට තරම් දේශපාලනික හිතක් ඇත් නම් ඔහුගේ හෝ ඇයගේ ඇති දේශපාලනයේ ඇති ප්‍රගතිශිලී දිග පළල කෙබඳුදැයි නැවතත් සිතිය යුතුය. දෙමළා ලැබිය යුතු නිදහස අයිතිය අධිරාජ්‍යවාදයට බටහිරට ලඝු කරමින් ලබා ගන්නා වාසියේ සතුට කුමක් ද. එය වම ද දකුණ ද යැයි වාමාංශිකයින් කල්පනා කළ යුතු වේ.

දයලෙක්තිකය හඳුනා ගැනීම භෞතික වාදීන්ගේ මෙන්ම වාමාංශිකයින් හට ඇති ප්‍රමුඛතම කාරණය වුවත් වැරදී ඇත්තේ ද දයලෙක්තිකය පිළිබඳ ඇති අසංවේදී කමය. සමාජ අපෝහකය නැතිනම් දයලෙක්තිකය රෙඩි මේඩ් එකක් ලෙස බන්දේසියක් මත තබා විප්ලවය සඳහා නොදෙන්නාසේම සමාජවාදය උදෙසා සුසැදුණු අපෝහකයක්  හිරු උදාවන්නාක් මෙන් උදා වනු නොමැත. අරගල පැන නගිනු ඇත්තේ සමාජයේ තරා තිරමත් කාලයත් අවකාශයත් අනුව මෙන්ම ප්‍රතිවිරෝධය සාධනීය හෝ නිශේධනීය වනු ඇත්තේ සංසිද්ධියෙහි පවත්නා වෙනස ද තුලය. අප වැනි රටක වාමාංශයේ කාර්ය වී ඇත්තේ තම පථය පුළුල් කර ගැනීම පිනිස අවශ්‍ය ලෝක දැක්ම හා මතවාදය ශක්තිමත්ව විශ්වාස වන්තව තබා ගැනීමය. ප්‍රගතිශීලීන්ගේ සටන් පාට දක්ෂිණාශිකයන්ට සිය වාසියට ගැනීමට අවැසි පරිසරය ඇති කරනු වෙනුවට එම සටන් තමන් අතට ගැනීමට තරම් විවෘත බවක් හා ගැඹුරක් තිබිය යුතුය. එවිට සමාජ ප්‍රජිතන්ත්‍රවාදීන්ගෙන්ද ලිබරල් වාදීන්ගෙන්ද ප්‍රයෝජයක් ලැබෙනු ඇත. මන්ද ඓතිහාසිකවම ඔවුන්ද වාමාංශික හා ප්‍රගතිශීලීන්ය. ඹවුන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අගය කරන්නෝය. සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගැනීමට ඇත්තේ බුරුෂුවා ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිස ගෝත්‍රිකයන්ගෙන් හෝ ම්ලේච්ඡයන්ගේ පාවහන් තුලට තමන්ගේ දෙපා දමා ගැනීමෙන් නොවන බවට අවබෝධ කර ගැනීමට නම් සිය පථය ප්‍රංශ විප්ලවය දක්වාම පුළුල් කළ යුතු වේ. එවිට වමට ඇති වැඩ බිම යනු සමාජවාදය හැර සෙසු සියල්ලය. රූසෝ හෙගල් නොව බටහිර දර්ශනයේ අඳුරු යුගයට පසු බැසිය යුතු වන්නේය. ලෙනින් පරමාදර්ශය වන්නේ නම් කෙරෙන්ස්කි කෙනෙක් කළ වැඩ කොටස කෙරෙන්සි කෙනෙකු නොවී කිරීමට වගබලා ගැනීම ලෙනින් කරා ලඟා වීමකි. ලාංකික වම යනු ධනේෂ්වර ප්‍රතිසංස්කරණ බැවින් ඇත්ත ප්‍රතිසංස්කරණ වලට බිය නොවිය යුතුය. කටින් බතල හිටවන විප්ලවවාදීන්ට වඩා ප්‍රතිසංස්කරණවලින් සමාජය වෙනස් කරන්නා සිය ගුණයකින් ප්‍රගතිශීලීය. අපගේ සමාජය ඇත්තේ වල්මත් වූ දයලෙක්තිකයක බැවින් විහිදී විසිරෙන අපෝහකයන් සමග පොර බැදිය යුතුය. විප්ලවය නොවුනත් සමාජයට යහපත් දෙයක් ලැබෙනු ඇත. දෙමළා සිංහල වමෙහි   ඉරණම තීරණය කරන්නාය. පාඩම් ගණනාවකින් කීව ද නොතෙරුණු පාඩම නැවත ඉගෙන ගැනීමට නම් දෙමළාගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයට ඇති බිය තැති ගැන්ම පලවා හැරිය යුතුය. මාක්ස්වාදියෙකු වීමට නොහැකි නම් අඩුම වශයෙන් ලිබරල් වාදියෙකුවත් වන්න. එය ගෝත්‍රිකයෙකුට වඩා දහයෙන් සම්පතකි. එහෙත් එම ලිබරල් වාදීයා යනු දයාන් ජයතිලක, රජීව විජේසිංහ පන්නයේ තක්කඩි පොත් උගතුන් ‍නොව සැබෑ ලිබරල් වාදයේ අගය දන්නා අයය. එවන් අයෙක් රාජපක්ෂ ගෝත්‍රෙයෙන් පිට ඇත්නම් මේ මොහොතට ප්‍රගතිශීන්ය. 

Back to Home page