Colombo Telegraph

සත්‍ය වශයෙන්ම, රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා දේව හාස්කමක් අත්‍යවශ්‍යය:එජාප

රාජපක්ෂ ආණ්ඩුවේ නාස්තිකාර සහ අත්තනෝමතික පාලනයට තවත් එක් උදාහරණයක් වන්නේ නොබෝදා යෙදුණු ජනාධිපතිවරයාගේ තිරුපති සංචාරයයි. ජනාධිපතිවරයා තිරුපති සංචාරයේ යෙදෙන්නට තීරණය කළේ මැතිවරණ උණුසුම උච්ඡස්ථානයකට පැමිණෙන මොහොතකදී මෙන්ම තනි පවුලක් විසින් රජයේ සියලු දේපල මංකොල්ලකන මෙම පවුල් පාලනයට එරෙහිව රටට හිතැති සියලු බලවේග කඳවුරු බඳින මොහොතකදීය.

සත්‍ය වශයෙන්ම, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා දේව හාස්කමක් අත්‍යවශ්‍යය. ඒ තමන් ගැන පමණක් සිතන, තම ගජමිතුරන්ට පමණක් සළකන මෙම දූෂිත පාලනය ගැන රටේ පොදු ජනතාව දැඩි ලෙස කළකිරී සිටින බැවිනි. කෙසේ වුවද, ජනාධිපතිවරයාගේ මෙම තිරුපති සංචාරය සඳහා මුදල් පැමිණියේ කෙසේදැයි ප්‍රශ්න කිරීම විපක්ෂය වශයෙන් අපගේ වගකීමකි. ජනාධිපතිවරයා සහ ඔහුගේ ගෝලබාලයන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් තිරුපති බලා ගිය ගමනේ අසීමාන්තික වියදම් අවසානයේ දැරිය යුත්තේ කවුද යන්න බරපතල ප්‍රශ්නයකි.

මෙම විශේෂ ගුවන් යානයේ වියදම්වලට අමතරව, සාමාන්‍ය ගමන්වාර වලින් මෙම ගුවන් යානය බැහැර කරලීමට සිදු වූ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට මෙයින් බරපතල අලාභයක්ද සිදුවේ.මුදල් දී ගුවන්ගමන් වල යෙදෙන මගීන් විශාල පිරිසකට නොයෙකුත් ගුවන්තොටුපළවල සිය කාලය නාස්ති කිරීමට සිදු වූ අතර එහි පාඩුවද අවසානයේ ගෙවන්නට සිදුවන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමටය. මෙම ගුවන් සේවය රටේ ජාතික ගුවන් සේවය නොවී, රාජපක්ෂ පවුලේ ගුවන් සේවය වූයේ නම් අපට මේ ගැන මුනිවත රැකීමට හැකියාව තිබිණි. නමුත් ප්‍රශ්නය වන්නේ රටේ ජාතික ගුවන් සේවය තම පුද්ගලික බූදලයක් ලෙස රාජපක්ෂ පවුල පරිහරණය කරන විට එම වියදම්වල මෙන්ම අලාභයන්හිද බර පැටවෙන්නේ රටේ බදු ගෙවන ජනතාවට වීමයි. සමස්ත මැතිවරණ ව්‍යාපාරයේම අවධානය මෙම ආණ්ඩුවේ වංචාව, දූෂණය සහ නාස්තිය වෙත යොමු වී ඇති වටපිටාවක මොවුන් මේ අන්දමින් කටයුතු කිරීමෙන්ම පෙනී යන්නේ පොදුජන මතය ගැන වත්මන් රජය තඹ සතයකුදු මායිම් නොකරන බවයි. එළඹෙන  ජනාධිපතිවරණයේදී රටේ පොදු ජනතාව විසින් පැරදවීමට අදිටන් කරගෙන සිටින්නේ මෙම ක්‍රියාදාමයයි.

ශ්‍රී ලංකාවේ සාඩම්බර ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය 2008 වසරේදී එහි සිටි ජාත්‍යන්තර සහකරුවන් පන්නා දමා රාජපක්ෂ පවුල සිය අතට ගත් මොහොතේ සිට මේ වන තුරුම බරපතල ලෙස මූල්‍ය අලාභ ලබමින් සිටියි. 2013 වන විට පමණක් මෙම ගුවන් සේවය ලබා ඇති අලාහය රුපියල් බිලියන 91 කි. 2014 වසර සඳහාද මෙය ඉක්මවා යන ‘වාර්තාවක්’ තැබීමට රාජපක්ෂ පවුල  කටයුතු කරන බව නියතය. සුදුසුකම් සහ හැකියාවන් අභිබවා ගොස් ඥාතිත්වයට සහ මිතුරුකමට පමණක් තැන දෙන වත්මන් පාලනය තුළ අනෙකුත් සියලු ආයතන මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයද කඩා වැටීම පුදුමයක් නොවේ.

ලබන ජනවාරි මාසයේ තමන්ගේ අතින් බලය ගිලිහී යාම වැළක්වීම සඳහා රාජපක්ෂ පාලනය ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියක් දියත් කොට ඇති බව පැහැදිලිය. මේ වන විට ක්‍රියාත්මක වන  ප්‍රචාරක  ව්‍යාපෘති  මෙන්ම  අතොරක් නැති  කටවුට්ද  රාජපක්ෂ  රෙජීමයේ  මෙම  අසීමිත  “වැය ශක්තිය” සඳහා කදිම උදාහරණයකි. මෙම මුදල් පැමිණෙන්නේ කොතැනින්ද? මෙම මෙගා ව්‍යාපෘති සඳහා වියදම් කරන්නේ කවුද? මෙම මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් පැමිණෙන්නේද? එසේත් නැත්තන් රාජපක්ෂ පවුලේ පුද්ගලික මුදල් මේවා සඳහා වියදම් කෙරෙනවාද? එලෙස පුද්ගලික මුදල් වියදම් කරනවා නම්, රාජපක්ෂ පවුලට මේ සා විශාල ධන සම්භාරයක් එකතු කරගැනීමට ලැබුණේ කෙසේද? ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට සිය වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත්  කරනු ලැබ තිබේද? විපක්ෂයේ පොදු අපේක්ෂකයාට එලෙස වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැකි නම්, ජනාධිපතිවරයා එසේ කිරීමට අපොහොසත් වී ඇත්තේ මන්ද? මේ ජනාධිපතිවරයා විසින් රටේ ජනතාවට පිළිතුරු බැඳිය යුතු ප්‍රශ්න වැලකි.

ජනාධිපතිවරයාට මෙම ප්‍රශ්න වලට උත්තර බැඳීමට නොහැකි නම්, රුපියල් බිලියන ගණනින් වැය කෙරෙන ඔහුගේ මහා පරිමාණ ප්‍රචාරක ව්‍යාපාරයම වසර නවයක් තිස්සේ ඔහුගේ පාලනය විසින් සිදු කරගෙන ගිය දැවැන්ත මංකොල්ලකෑමට උදාහරණයක් වීම වැළැක්විය නොහැක.එම කාරණයම පමණක් ලබන ජනවාරි 08 වැනිදා රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල ගෙදර යැවීමට ප්‍රබල හේතුවක් වේ.

දැන් මේ සංදර්ශන නැවැත්වීමේ කාලයයි. දැන් මෙම කොල්ලකරුවන් ගෙදර යැවීමේ කාලයයි. ජනතාවට දැන් මෙම පාලනය එපා වී ඇති අතර වෙනසක අවශ්‍යතාව ඔවුන්ට ප්‍රබලව දැනෙමින් තිබේ.

අපක්ෂපාතිව සහ කාර්යක්ෂමව සිය රාජකාරි ඉෂ්ඨ කරන මෙන් අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමු. එසේම ජනාධිපතිවරණයට තරග කරන සියලුම අපේක්ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන මෙන් අපි මැතිවරණ මහලේකම් කාර්යාලයෙන්ද ඉල්ලා සිටිමු. මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන කරන ඕනෑම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට නුසුදුස්සෙකු කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ව්‍යවස්ථාවෙන්ම පැවරී තිබේ. නාමයෝජනා කාල සීමාව අවසන් වී දින තුනක් ගෙවුණත් ජනාධිපතිවරයාගේ පෝස්ටර් සහ කටවුට් මුළු රටම අපවිත්‍ර කරමින් තවමත් පවතින අයුරු ඕනෑම කෙනෙකුට දැකගත හැකිය. මෙය සමස්ත ජනතාව තුළම අප්‍රසාදයක් ජනිත කරවන කරුණක් බවට පත්ව තිබේ. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ ඇයි? තමන් ප්‍රකාශ කරන දේ සැබවින්ම ක්‍රියාත්මක කිරීමට ඔහු මැලි වන්නේ ඇයි?

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස ජනතාවගෙන් බලවත් හඬක් නැගෙමින් තිබේ. නමුත් නිදහස් හා සාධාරණ මැතිවරණයක සලකුණු දැනටමත් බොඳවෙමින් පවතී. මැතිවරණ කොමසාරිස්තුමනි, මේ ඔබට ක්‍රියාත්මක වීමට කාලයයි. ජනතාව දැනටමත් තීරණය ගෙන ඇති අතර හැම පැත්තෙන්ම ඒ සඳහා සාක්ෂි දක්නට ලබේ. ජනමතයට බාධා කිරීමට සහ එය වැළක්වීමට කටයුතු කරන අපේක්ෂකයන්ට සහ පක්ෂවලට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඔබෙන් ඉලා සිටිමු. මෙම දුර්දාන්ත පාලනයට එරෙහිව නැගෙන ජනරැල්ල කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අතර  මැතිවරණ දෙපාර්තමේන්තුව එයට බාධාවක් වෙන අන්දමට කටයුතු කරන්නේ නම් ජනතාව එය අමතක නොකරනු ඇති අතර එම ක්‍රියාවලිය තරයේ හෙලා දකිනු ඇත.

පවතින පාලනයේ එහෙයියකු වෙනවාද ජනතාවට සැබෑ ලෙසම සේවය කරන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සැබෑ රාජ්‍ය සේවකයෙකු වෙනවාද යන්න ඔබම තීරණය කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය

Back to Home page