Colombo Telegraph

සජිත්, කරුට යැවූ ලිපිය එජාප දේශපාලන ඉතිහාසය ලියන්නෙකුට මගහැරිය නොහැක

චාමර ලක්ෂාන් කුමාර –

ජනවාරියේ,  ජනාධිපතිවරණය පැවැත්වෙන  බව දැන් ස්ථීරය.  ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා තරඟ කරන බව ද සහතිකය.  දැන් කෝටියක් වටිනා ගැටළුව වී ඇත්තේ  ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ කවුරුන් ද කියාය.  ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ,  පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි,  කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස වැනි නම් කිහිපයක් පිළිබද දේශපාලන ක්ෂේත්‍රයේ කථා බහට ලක් වෙමින් තිබේ.   

මතුපිටින් පෙනෙන්නට ඇති අන්දමට හා දේශපාලන සමීකරණය මේ වන විට සැකසී ඇති ආකාරය අනුව ඉදිරි ජනාධිපතිවරණය උණුසුම් අවසානයක් කරා ගමන් කිරීමට වැඩි ඉඩක් පවතී.  එම තරගය කොතෙක් ද කියා පැවසුවහොත් ජනාධිපතිවරණයට ප්‍රබල තුන්වැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවහොත් ඉතිහාසයේ පළමු වතාවට දෙවෙනි වරණය ගනන් කිරීමේ ඉඩකඩක් මෙවර දැක ගැනීමට ද ඉඩ තිබේ. නමුත් ඒ සදහා එක් කොන්දේසියක් සම්පූර්ණ විය යුතු බව මේ ලියුම්කරුගේ අදහසයි. ඒ,  මහින්ද රාජපක්ෂට සටනක් දීමට නම් පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්  විය යුතු බවය.  එසේ නොවුනහොත් පසුගිය වතාවේ මෙන් මෙවරත් දැක ගත හැක්කේ තනි අශ්වයෙකුගේ තරගයක්ම ය.

මහින්ද රාජපක්ෂට සටනක් දිය හැකි විපක්ෂයේ හොඳම අපේක්ෂකයා කවුරුන්ද?  ඔහු  රනිල් ද ? කරු ද? සජිත් ද? සෝභිත හිමි ද? යන්න පිළිබඳව අවධානය යොමු කිරීම ඒ පිළිබදව සොයා බැලීමක් සිදු කිරීම දේශපාලනය පිළිබද උනන්දුවක් දක්වන්නෙකුට පාඩුවක් නම් නොවේ. මේ ලියුම්කරුගේ අදහස නම් පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂය නියෝජනය කරමින්  ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ දැනටමත් දේශපාලනයේ නිරත සක්‍රීය චරිතයක් මිස ඒ වෙනුවෙන්ම හදිසියේ  ආනයනය කළ චරිතයක් නොවේ. මෙබදු ඉහළ වගකීමක් දරමින් ඊට සාධාරණයක් ඉෂ්ට කළ හැක්කේ දේශපාලනික චරිතයකට මිස ක්ෂණිකව දේශපාලනික කරළියට රැගෙන විත් අතාරින ආනයනික චරිතයකට නොවේ. එබැවින්,  පසුගිය වතාවේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළාක් මෙන් “අත්වැරැද්දක්” මෙවර සිදු නොකිරීමට විපක්ෂය වගබලා ගත යුතුය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ යුතු උපාය උපක්‍රම පිළිබද එකගතාවක් එම පක්ෂයට තවමත් නොමැති බව පෙනෙන්ට ඇත.  පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේ දී තරඟ කළ යුතු බවට අදහසක් ඇතැමුන් මතු කළත් පක්ෂයේ අභ්‍යන්තර බල ව්‍යුහයන් හි එකඟතාව තවම ඒ සම්බන්ධයෙන් පළ වී නොමැත. එබැවින්, තවමත් එය එක් අදහසක් පමණි.

රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්ව හැකියාව පිළිබඳව අවධානය යොමු  කරන කල් හි වත්මන් ජනාධිපතිවරයාට සාපේක්ෂව ඔහු ක්‍රීඩා කරමින් සිටිනුයේ අතිශය දුර්වල වූ විකට්ටුවකය. ජනතාවගේ හදගැස්ම හා කටගැස්ම හඳුනා ගත් භෞතික තලයේ  ජනප්‍රිය නායකයෙකු වීමට නොහැකිකමින් බරපතල ලෙස පීඩා විදින රනිල් ට, මහින්ද ට තරගයක් ලබා දී අවසාන ජයග්‍රහණය කෙසේ වෙතත් සැනසිලි ත්‍යාගයක් හෝ ජනාධිපතිවරණයේ දී හිමිකර ගැනීමට හැකි වෙතැයි අනුමාන කළ නොහැකිය. ඒ බව රනිල් ද නොදන්නවා විය නොහැකිය. නමුත් තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් අකැමැත්තෙන් හෝ සටන ට පිවිසීමට ඔහුට දැන් සිදුව තිබේ.

රනිල්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය “පුම්බන” ප්‍රධාන එජාප දේශපාලනඥයා වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ය. මීට මාස කිහිපයකට පෙර සජිත් දැරූ දේශපාලන ස්ථාවරයන් හා සලකා බලන විට ඔහුගේ මේ වෙනස අංශක 360 කට එහා ගිය වෙනසකි. ඒ නිසාම එහි ස්වාභාවිකත්වයට වඩා ඇත්තේ කෘතිම බවකි. ඇත්තකට වඩා ඒ තුල ඇත්තේ මවා පෑමකි. රනිල් වික්‍රමසිංහගේ දුර්වල නායකත්වය ප්‍රශ්න කරමින් ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මීට වසර තුනකට ඉහත එජාප අභ්‍යන්තරයේ ඇති වූ කැරැල්ලේ මහා මොළකරු වූයේ සජිත් ය. 2011 වසරේ දෙසැම්බර් 03 වෙනිදා සජිත්, කරු ජයසූරියට යැවූ ලිපිය එජාප දේශපාලන ඉතිහාසය ලියන්නෙකුට මඟ නොහැරිය මට්ටමේ එකකි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව තරග කරන ලෙස ඉල්ලමින් සජිත් ඒ ලිපිය යවා තිබුණි.  බිදුණු පක්ෂය යළි එක්සත් කිරීමේ අභියෝගය ජය ගත හැකි එකම පුද්ගලයා ලෙස කරු ජයසූරිය ව හදුන්වමින් රනිල්ට එරෙහි පක්ෂ නායකත්ව තරගයට ඉදිරිපත් වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඉල්ලා තිබුණි.

සජිත් අද රනිල්ව ප්‍රවර්ධනය කරමින් සිටිනුයේ කිසිසේත්ම සද් භාවයෙන් නොවේ. ඒ තුල ඇත්තේ පැහැදිලි සැඟවුනු දේශපාලන අරමුණකි. ජනාධිපතිවරණයට රනිල්ව ඉදිරිපත් කර 65 හැවිරිදි වත්මන් එජාප ජාතික නායකයාගේ දේශපාලන ආයු කාලය නිම කිරීම සජිත්ගේ සිහිනය ය. ඒ සිහිනය ඇත්තක් බවට පත්වීමට නම් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් ව  පරාද විය යුතුය. ඉන් අනතුරුව එජාප නායකත්ව භාර ගැනීම සජිත්ගේ අරමුණය. එසේ නායකත්වයට පත් ව 2020 දී රාජපක්ෂ ජනාධිපතිවරයාව ගෙදර යැවීම සදහා සජිත් ගණන් හදමින් සිටී.

මෙහිදී,  පැන නගින ගැටළුව වනුයේ රනිල් මේ අටවා ඇති උගුලේ පැටලෙනවා ද නැත්ද කියාය. ඒ අනුව ඔහුට තීරණය කිරීමට ඇත්තේ ඉතාම සරල කාරණයකි.  එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කර ඉදිරි ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවට රනිල් හොදාකාරවම දනී.  රනිල් තියා අලියා ලකුණින් පොල්පිත්තක් තරගයට දැමුවද ඔහුට හෝ ඇයට යූ.එන්.පී කාරයින්ගේ ඡන්ද හිමි වන බව සැක නැත.  විශේෂයෙන්ම ජනාධිපතිවරණය වැනි ප්‍රධාන ජාතික මැතිවරණයක දී කැපුවත් කොළ පාක්ෂිකයන්,  එජාපයෙන් වියෝවීමක් පිළිබදව සිතා ගත නොහැකි තරම් ය. ඔවුන් ඒ බව ශ්‍රීමා දිසානායක මහත්මිය ජනාධිපතිවරණයට තරග කළ 1994 වසරේ දී පවා පෙන්වන ලදී.  නමුත් එය පමණක් අවසාන ජයග්‍රහණයට ප්‍රමාණවත් නොමැත.   ඒ සන්දර්භය තුල ඉදිරි ජනාධිපතිවරණයේ දී “දිනුම” ලබා ගැනීමට නම්  පොදු ලකුණක් යටතේ පොදු වැඩ පිළිවෙලක් තිබිය යුතු බව පරිණත දේශපාලනඥයෙකු වන රනිල් නොදැන සිටින්නට හේතුවක් නොමැත.  නමුත්,  එම පොදු ගොනුව නිර්මාණය කිරීම රනිල් ට පහසු කටයුත්තක් නොවේ.  ඒ,  විවිධ දෘෂ්ටිවාදිමය වෙනස්කම් සහිත විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් අතර,  රනිල් ජනප්‍රිය ආකර්ශනීය නායකයෙකු නොවන බැවිනි. රනිල් ට නොහැකි නම් එය කළ හැකි එජාප නායකයා කවුද? මෙහිදී අපට විනිශ්චය කිරීමට ඇත්තේ, පුද්ගල චරිත දෙකක් පිළිබඳ පමණි. ඒ සජිත් හා කරු ය.

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ගත් විට ඒ තුල පැහැදිලිවම දැක ගත හැක්කේ ජාතික මට්ටමේ නායකයකුගේ ප්‍රතිරූපයක් නොවේ. විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් එකට එකතු කිරිම කෙසේ වෙතත්,  තම පක්ෂය තුල එකමුතුවක් ඇති කිරීම පවා ඔහුට පහසු කටයුත්තක් නොවේ. ඔහුගේ ක්‍රමවේදය වෙනම රංචු නිර්මාණය කිරීම බව පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී දැක ගත හැකි විය. අනෙක් අතට සජිත් දිගින් දිගට ම අවධාරණය කරමින් සිටිනුයේ එජාපයේ අලියා ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කළ යුතු බවය.

එම සටන් පාඨය සිහි ගන්වනුයේ 1993 තීරණාත්මක මැතිවරණ අවස්ථාවක එදා අනුර බණ්ඩාරනායක අනුගමනය කළ ක්‍රියා මාර්ගය ය. රට තුල පැහැදිලි සුසමාදර්ශීය වෙනසකට මඟ විවරව තිබිය දී අනුර ඇතුළු ශ්‍රී.ල.නි.පයේ කණ්ඩායමක් එදා “අත” ලකුණ බදා ගෙන සිටියේය.  නමුත්,  චන්ද්‍රිකා කුමාරණතුංග ඉතා සාර්ථකව ශ්‍රී.ල.නි.ප ය තුල තම පදනම තහවුරු කර ගත් බැවින්, අනුරලාගේ සෙල්ලම එදා හරි ගියේ නැත. ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරමින් විසි වසරකට පසු අද සජිත් මේ සිදු කරමින් සිටිනුයේ එදා අනුර කළ දේ ම නොවේ ද?  ජාතික නායකයෙකු ලෙස සජිත්ගේ භූමිකාව ප්‍රශ්න කරන තවත් කාරණයක් වනුයේ තීරණාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහුට පැහැදිලි ස්ථාවරයක් නොමැති වීමය. ජාතික ප්‍රශ්නය, ආර්ථික ප්‍රතිපත්තිය,විදේශ ප්‍රතිපත්තිය වැනි ජාතික මට්ටමේ වැදගත් මාතෘකා පිලිබද කථා කිරිම වෙනුවට සජිත් නිතරම කට අරිනුයේ ක්ෂුද්‍ර මට්ටමේ ගැටළු පිළිබද අවධානය යොමු කිරීමට ය.  එය ජාතික මට්ටමේ ප්‍රතිරූපයක් ලෙස මතුවීමේ දී සජිත්ට  පරහට සිටින කාරණයකි.

පොදු අපේක්ෂකයා කළ යුතු වැදගත්ම කාර්යය විපක්ෂය එක්සත් කිරීම නම් එය කළ හැකි හොදම පුද්ගලයා කරු ජයසූරිය ය. අධිවේගි ධාවකයන් නොඑසේ නම් ගාල කඩා ගෙන යන්නන් බහුල එජාපය තුල පක්ෂයේ සමබරතාව පවත්වාගෙන ගිය පුද්ගලයා ඔහුය.  කරු සජිත් ට වඩා ජාතික මට්ටමේ ප්‍රතිරූපයක් ලෙස ගව් ගණනක් ඉදිරියෙන් සිටී.    සාධක කිහිපයක්  නිසාවෙන් වඩාත් පුළුල් දේශපාලන වපසරියක් එකවර ආමන්ත්‍රණය කිරීමේ හැකියාව කරු ට තිබේ.  අප මුලදී සඳහන් කළාක් මෙන්  ඉදිරි ජනාධිපතිවරණයට ජවිපෙ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් දෙවැනි වරණය ඇතැම්විට තීරණාත්මක සාධකයක් විය හැකිය.  දෙවැනි වරණය සඳහා එවන් වැදගත්කමක් හිමිවුවහොත් ජවිපෙ අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කරන්නන්ගේ දෙවැනි කැමැත්ත දිනා ගැනීමේ වැඩි හැකියාවක් ඇත්තේ මහින්ද, රනිල්, සජිත්, කරු අතරින් ඇත්තේ ජයසුරියට ය.  සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක දී ඉහළ ඡන්ද පාවිච්චියක් දැක ගත හැකි අතර,  ඉදිරි ජනාධිපතිවරණයේ දී 75% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුවහොත් දෙවන වරණයකින් තොරව ජය ගැනීමට නම් ඡන්ද ලක්ෂ 55 කට වඩා අපේක්ෂකයෙකු ලබා ගත යුතුය. අවසන් වරට පැවැති පසුගිය පළාත් සභා මැතිවරණ නවය තුල මහින්ද රාජපක්ෂ ලබා ගෙන ඇත්තේ ඡන්ද 4944572 ක් පමණි.  එබැවින්, දෙවන වරණය පිලිබදව සැලකිලිමත් නොවී පළමු වටයෙන්ම ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නම් තවත් ඡන්ද 555429 ක් වත්මන් ජනාධිපතිවරයා ලබා ගත යුතුය.  පසුගිය එකදු ජනාධිපතිවරණයක දී හෝ දෙවන වරණයට වටිනාකමක් නොලැබුණේ යම්තම් හෝ 50% සීමාව ඉක්මවා යෑමට ජයග්‍රාහකයා සමත් වූ බැවිනි.  1982 පළමු ජනාධිපතිවරණයේ දී ජේ.ආර් ජයවර්ධන  ඡන්ද 189738 කින් 50% සීමාව පැන්නූ අතර, 88 දී රණසිංහ ප්‍රේමදාස ඉන් ගොඩ වූයේ ඡන්ද 21810 කිනි.  1999 දී ඡන්ද 94280 කින් චන්ද්‍රිකා මේ අභියෝගය ජයගත් අතර, මහින්ද රාජපක්ෂ මහතා 2005 දී මේ අභියෝගය ජයගත්තේ ඡන්ද 28633 කිනි. ජනාධිපතිවරණය තනි අශ්වයකුගේ තරගයක් බවට පත් වූ 1994 හා 2010 දී දෙවෙනි වරණය වැදගත් සාධකයක් නොවුණි.

ජනාධිපතිවරණයක දී  සජිත්ට යමක් කළ හැකි බව විශ්වාස කරන්නන් එසේ කල්පනා කරන ප්‍රධානතම කාරණය වී ඇත්තේ ඔහුට තරුණ ඡන්ද ආකර්ශනය කර ගැනීමේ  විභවතාවක් ඇති බව සිතමිනි.   ජනතා විමුක්ති පෙරමුණ තුල තරුණයකු වූ අනුර කුමාර මෑතක දී කළ “විප්ලවය”  හා හරීන් ප්‍රනාන්දු ඌවේ දී ලැබූ සාර්ථකත්වය ඊට සාක්ෂි ලෙස ඇතැමුන් ඉදිරිපත් කරති.  එහි යම් ඇත්තක් නැත්තේ නොවේ. ලංකාව වැනි රටක තරුණයෙකුට නොඑසේනම් අලුත් මුහුණකට කළ හැකි බලපෑම ඉහළ මට්ටමක පවතිනමුත්,  මේ කාරණයේ දී විශාල චිත්‍රය පැහැදිලිවම ඊට එහා ගිය එකකි.  අනෙක් අතට ජවිපෙට වැඩ කළ නිසාවෙන්ම එය ඒ ආකාරයට ම එජාපයට ද හරියාවි යැයි අනුමාන කළ නොහැකි ය. හරින් පිළිබද කාරණයේ දී ඔහු තරුණයෙක් බව සැබෑවක් වුව ද  මැතිවරණයේ දී ජනතාව අගය කළේ ඔහු පක්ෂය වෙනුවෙන් කළ කැපකිරීම හා පෙන්නුම් කළ ධෛර්යය සම්බන්ධව මිස ඔහු තරුණයෙකු ද නැත් ද යන්න නොවේ.

සජිත් ප්‍රේමදාසට දේශපාලනයේ දිගු දුරක් යා හැකි හැකියාව සහතිකවම තිබේ. නමුත් ඒ සදහා ප්‍රථමයෙන් ඔහු තමන්ගේ සැබෑ සතුරන් හා මිතුරන් පිලිබද අවබෝධයක් ලබා ගත යුතුය. අද මහා නායකයෙකු ලෙස සජිත්ව ප්‍රවර්ධනය කරමින් සිටිනුයේ මීට වසර කිහිපයකට පෙර රනිල් වික්‍රමසිංහව වට කර ගෙනි සිටි ඔහුව පිටස්තර ලෝකයෙන් හුදකලා කළ පුද්ගල චරිත කිහිපයකි. රනිල්ව ජනතාවගෙන් ඈත් කළ ඒ කණ්ඩායම අද සජිත්ගේ කපටි ආරක්ෂකයන් වී සිටිති.  එබැවින්, ඔවුන් පිළිබදව වඩාත් සිහිබුද්ධියෙන් යුතුව අවධානය යොමු කිරිම ඉදිරිය පිළිබඳ කල්පනා කිරීමේ දී සජිත්ට පාඩුවක් නොවේ.

කරු ජයසුරියගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වඩාත් ශක්තිමත් කරනුයේ මේ වන විට මේ සංවාදය තුල කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන සෝභිත හිමිගේ සහාය ද ඔහුට අවසාන මොහොතේ හෝ ලැබීමට ඉඩ ඇති බැවිනි. අනෙක් අතට රජය මග ගැටුමක පැටලී සිටින චම්පික රණවක, රතන හිමි ආදී මේ සියළු සිංහල ජාතිකවාදී බලවේගයන්ට ගොනු විය හැක්කේ රනිල් හෝ සජිත් වටා නොව සිංහල බෞද්ධ ජාතිකවාදී උරුවක් සහිත කරු වටා ය.  සිංහල බෞද්ධ නායකයෙකු වුවද තමන් ජාතිවාදියෙකු නොවන බව කරු දිගින් දිගටම ප්‍රායෝගිකව පෙන්වා තිබේ. එබැවින්,  මුස්ලිම්, දෙමළ හා කතෝලික ඡන්ද ආකර්ශනය කර ගැනීමේ දී එය ඔහුට ගැටළුවක් වෙතැයි අනුමාන කළ නොහැකි තරම් ය. ශිරානි බණ්ඩාරනායක, සරත් නන්ද සිල්වා හා සරත් ෆොන්සේකා වැනි දේශපාලන වටිනාකමක් සහිත පුද්ගල චරිත සමග ද කරුට ඇත්තේ යහපත් වූ සම්බන්ධයකි. ඒ සියල්ලටම වඩා කරුගේ අපේක්ෂකත්වය ඉහළ නංවන ප්‍රධානතම කාරණාව වනුයේ පහර දීමට තරම් “ආයුධ” ඔහුට එරෙහිව නොතිබීමය.  මහින්දට එරෙහිව රනිල් තරග කළහොත් වීරයා ද ද්‍රෝහියා ද වැනි මට්ටමේ ඡන්ද පෝස්ටරයක් කල් තියා නිර්මාණය කළ හැකි වුවත් කරු සම්බන්ධයෙන් ප්‍රයෝජනයට ගත හැකි එවැනි අවතාර ඇටසැකිලි නොමැත. කරුට එරෙහිව දේශපාලනික අර්ථයෙන් මතු කළ හැකි ප්‍රධානතම කාරණය ඔහු ආණ්ඩුවට යාම පමණකි.  නමුත්, සමස්ත එජාපයේ ආශිර්වාදය ලත් අපේක්ෂකයා ලෙස තරඟයට පිවිසියහොත් එය වැඩකට ඇති සටන් පාඨයක් නොවේ. එය තවදුරටත් දමා ගැසිය හැකි තුරුම්පුවක් නොවේ.

අපේක්ෂා කළ යුතු ආකාරයටම ඉදිරි ජනාධිපතිවරණයේ දී රජය වඩාත් වැඩිපුරම අලෙවි කරනුයේ “යුද්ධය” බව සුපැහැදිලි ය.  තීරණාත්මක මොහොතක යුද ජයග්‍රහණයට අවශ්‍ය දේශපාලන සහාය ලබා දුන්නෙකු වන කරුට දේශද්‍රෝහී ලේබලය ඇලවීමේ හැකියාවක් ඒ යටතේ හිමි නොවේ. මේ සියලු කරුණු පරයමින් කරුගේ අපේක්ෂකත්වය ප්‍රබල කරනුයේ සංඝ සමාජය තුල ඔහුට ඇති පිළිගැනීම, ව්‍යාපාර අංශයේ නායකයෙකු ලෙස ඇති කීර්තිය යන සාධකය ය. එසේම අප පිළිගත්තද නැති වුව ද,  ශ්‍රී ලංකාවේ දේශපාලනයට අතිශය තීරණාත්මකව බලපාන විදේශීය රටවල් හි සහාය ද ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වීමට උත්සාහ කරන අන් සියල්ලටම වඩා ලබා ගත හැක්කේ එජාප එක්සත් නායකත්ව මණ්ඩල සභාපතිවරයාට ය.

මෙහිදී වඩා වැදගත් වනුයේ රනිල් වික්‍රමසිංහ මෙම  දේශපාලන යථාර්ථය පිළිගැනිමට සූදානම් ද නැත් ද යන්නය. එය නිසි ලෙස තේරුම් ගතහොත් ස්වාර්ථය වෙනුවට පරාර්ථය තෝරා ගත් බලලෝභී නොවන නායකයෙකු ලෙස ඉතිහාසයට එකතුවීමේ ස්වර්ණමය අවස්ථාවක් රනිල් ට හිමිව තිබේ.

Back to Home page