Colombo Telegraph

පොරොන්දු දේශපාලනය: ගෝඨාගේ රාජ්‍ය ආරක්ෂාව හා විනය ගරුක සමාජය ප්‍රබන්ධයක්ද?

උපුල් කුමාරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බිමෙහි විශාල පිබිදීමක් නොමැති වූවද ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන කණ්ඩායම් මේ වන විට සක්‍රීයව තම අපේක්ෂකයා ඉහළට ඔසවමින් සිටී. කඳවුරු කිහිපයක් ජනාධිපතිවරණ සටනට එළඹීමත් සමඟ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හා විකල්ප මාධ්‍යයන් ජනාධිපති ඡන්ද සටන මේ වන විට තම අණසකට නතු කරගෙන ඇත.

විවිධ කඳවුරු මාධ්‍යයන් හරහා සමාජගත කරන්නට උත්සහ කරන පණිවුඩය කුමන ආකාරයකින් ජනතාව පිළිගන්නේද යන්න අපැහැදිලි වූවත් ඔවුන් උත්සහ කරන පණිවුඩය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වැදගත්ය.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පළමුවෙන්ම අපේක්ෂකත්වය ප්‍රකාශ කල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන සටන් පාඨය වන්නේ ජාතික ආරක්ෂාව, විනය ගරුක සමාජයක් හා සීඝ්‍ර සංවර්ධනයක් යන කාරණා වේ. රාජපක්ෂ මහතාගේ කඳවුරෙහි සාමාජිකයන්ගෙන් රජයට විරුද්ධ ප්‍රධාන චෝදනාව වී ඇත්තේ වත්මන් රජයේ පාලන සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටළුකාරී තත්වයන් ඇති වූ බවයි. අප්‍රේල් 21 දින සිදු වූ බෝම්බ පිපිරීම් සමඟ තමන් රජයට විරුද්ධව ගෙන ආ චෝදනාව ඔප්පු වී ඇති බව අද වන විට එම කඳවුර ප්‍රකාශ කරමින් සිටියි. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් සමඟ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් ඍජු තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් ඇති බවත්, වත්මන් රජයේ ඇති වැනෙන සුළු ස්ථාවරයන් වෙනස් කොට ගනිමින් රාජ්‍ය ආරක්ෂාව 2015 ට පෙර තිබූ තත්වයට පත් කිරීමට එය ඉවහල් වනු ඇති බවත් ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

රාජපක්‍ෂ මහතාගේ කඳවුර මෙම සටන් පාඨයන් සඳහා යොදාගනු ලබන්නේ 2015 න් පසුව උතුරෙහි වූ දේශපාලනයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දකුණෙහි දේශපාලන අධිකාරිය කටයුතු නොකිරීම සහ අප්‍රේල් 21 වන දා සිදුවූ බෝම්බ පිපිරීම් නිසා ඇති වූ තත්වයන්ය. උතුරේ දේශපාලනය විග්‍රහ කිරීමේදී, යුද්ධය අවසන් වූ පසු උතුර සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ලබා දෙන බවට රාජපක්‍ෂ පාලන කාලය තුල සිට ලබා දුන් පොරොන්දු සමුදායක් ඇත. මෙම පොරොන්දු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙන් එහාට ගිය තත්වයෙන් උගත් පාඩම්, කොමිසමේ තීරණ ක්‍රියාත්මක කිරීම, පරණගම කොමිසම අනුව ක්‍රියාත්මක වීම සහ විවිධ අවස්ථාවන්හිදී ජාත්‍යන්රව ලබා දුන් තවත් පොරොන්දු රාශියක් ඇත.එසේම වර්තමාන රජය පත් කිරීමෙන් පසුව උතුර සම්බන්ධයෙන් උුතුරේ දේශපාලන තත්වය වෙනස් කිරීම සඳහා විවිධ ආකාරයේ සාකච්ඡාවන් හා යෝජනාවන් ගෙන ආවද උතුරේ ජනතාව ඉල්ලා සිටින කාරණා සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් තිරසාර විසඳුමකට පැමිණීමට හා ඒ සම්බන්ධයෙන් හරවත් සාකච්ඡාවක් පැවැත්වීමට මෙම රජය අපොහොසත් වී ඇත. මෙවන් පසු බිමක් තුල උතුරේ ජනතාව විසින් විවිධ අවස්ථාවන් හිදී යාපනයේ ජන ජීවිතයට බලපාන විවිධ කාරණා සම්බන්ධයෙන් කරනු ලැබූ හඬ අවදි කිරීම් අද විපක්‍ෂයේ සිටින රාජපක්‍ෂ කණ්ඩායම විසින් තමන්ගේ අභිප්‍රාය සඳහා තමන්ට රිසි ආකාරයට අර්ථ නිරූපනය කරනු ලබන්නේය. ඒ අනුව උතුරේ ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීම, උතුර බෙදීමට කටයුතු කිරීම, ද්‍රවිඩ ජනතාව කුමන හෝ අකාරයකින් ආයුධ සන්නද්ධ වීම් වැනි භීතීන් ඇති කරමින් රාජ්‍ය ආරක්‍ෂාව අනතුරට පත්කර ඇතැයි යන පණිවුඩය සමාජගත කොට සමාජයේ යම් කොටසක් අස්ථාවරභාවයට පත් කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. මේ තත්වය වඩා තීව– වන්නේ අප්‍රේල් 21 වන දින බුද්ධි අංශ හා ආරක්ෂක අංශයන්හි දුර්වලතා මත සිදුවන බෝම්බ පිපිරීම් හේතුවෙනි. අප්‍රේල් 21 වන දා සිද්ධිය රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් සිදුවූ බරපතල අඩුපාඩුවක් බවට සැකයක් නැත. එහි වගකීමද රජය භාර ගත යුතුය. කෙසේ වෙතත් අප්‍රේල් 21 වන දින වන විට දිගහැරෙන්නේ ඊට වසර ගනණාවකට පෙර සිට පැවැති රජයන්ගේ අනුග්‍රහය සහ පවතින රජයේ නොසැලකිල්ලෙන් පෝෂණය වූ කණ්ඩායමක අවසන් රංගනයයි. එයට හොඳම උදාහරණය අප්‍රේල් 21 බෝම්බ පුපුරවාගෙන මිය ගිය සහරාන් ඇතු`ථ කණ්ඩායමට මුදල් ලබා දුන් බවට රඹුක්වැල්ල මහතා පිළිගැනීමයි.

තිස් වසරක සිවිල් යුද්ධයෙන් පසුව අද සාමාන්‍ය ජන ජීවිතයේ හිස ඔසවා සිටින යාපනය ජන ජීවිතයෙහි ඇතිවන දේශපාලන කැලබීම් සහ රාජ්‍ය අනුග්‍රහය මත හා නොසැලකිල්ල මත සිදු වු සහරාන් වර්ගයේ පිපිරීම් වැනි ක්‍රියාවන් පමණක් රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇත්ද? එසේ නැතිනම් රාජ්‍ය ආරක්‍ෂාව යනු එතැනින් ඔබ්බට ගිය කාර්්‍යයක් වේද?

රාජ්‍ය ආරක්‍ෂාව නූතන සන්දර්භය තුල රාජ්‍යක් විසින් තවත් රාජ්‍යයක් ආයුධ සන්නද්ධව ආක්‍රමණය කිරීමකින් තොරව සිදුවන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැත. එය එසේ සඳහන් කිරීමට සිදුව ඇත්තේ රාජපක්‍ෂ කඳවුර විසින් ගෙනයනු ලබන මත වාදය එවන් හැඩයක් ගන්නා නිසාය. මෙරට මහ විශාල ණය කන්දරාවකට යටත් කරනු ලැබුවේ රාජපක්‍ෂ පාලන සමයේදීය. රටට ඔරොත්තු නොදෙන දැවන්ත සංවර්ධන ව්‍යාපෘති රටට හඳුන්වාදෙමින් රාජපක්‍ෂ පාලනය මෙරට ණය ප්‍රමාණය දෙගුණ තෙගුණ කලේය. විශේෂයෙන්ම අධික පොලියකට මහජන චීන සමූහාණ්ඩුවෙන් ගනු ලැබූ ණය මත ගොඩනගනු ලැබූ සංවර්ධන ව්‍යාපෘති වල ශක්‍යතාවය එම ණය ගෙවා ගැනීමට තරම් නොහැකි වීම පසු කාලීනව බලයට පත් රජය මුහුණ දුන් බරපතල ගැට`ථවක් බවට පත්විය. ඒ අනුව හම්බන්තොට වරාය, පෝට් සිටි වැනි මර්මස්ථානයන් චීන රජයට විවිධ ක්‍රමවේදයන් ඔස්සේ පැවරීමට සිදුවීම ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇතිවී ඇති බරපතල ගැට`ථවකි. චීන රජය උපාය මාර්ගිකව බටහිරට ප්‍රවේශ වීම සඳහා යොදා ගෙන ඇති “ධබැ ඍද්ා ධබැ ඊැකඑ” ව්‍යාපෘතියේ එක්තරා සන්ධිස්ථානයක් ලෙස ලංකාව හඳුන්වයි. චීනය බටහිරට, අප්‍රිකාවට සහ ලතින් ඇමරිකාවට ප්‍රවේශ වීමට යොදාගනු ලබන දොරටුව වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව උපාය මාර්ගිකව චීනයට ලංකාවේ පිහිටීම හා පාලනය ඉතා වැදගත් කාරණයක් බවට පත් වී ඇත. මේ නිසා ශ්‍රී ලංකාව තුලට චීන දේශපාලනයේ බලපෑම ගෙන ආ හැකි හොඳම මෙවලම ශ්‍රී ලංකාව තුල චීන ණය වෙළඳාම ව්‍යාප්ත කිරීම බව චීනය තේරුම් ගෙන කළහ.

මෙයට අමතරව 2007 අත්සන් කරනු ලැබූ Acquisition and Cross Services Agreement (ACSA) ගිවිසුම මගින්ද ශ්‍රී ලංකාවට ආරක්‍ෂාවේ අහිතකර තත්වයක් ඇති වූ බවට පිළිගැනීමක් ඇත. 2007 වර්ෂයේදී අත්සන් කල “ACSA” ගිවිසුමේ ප්‍රධාන පරමාර්ථ අතර ඇමෙරිකානු හමුදාවන්ට රටට ඇතුළු වීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ ලබා දීමටත් මෙරට රජය එකඟ වී ඇත. මෙහි සරදම වී ඇත්තේ මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේද අද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හඬ නගන ගෝඨාභය රාජපක්ෂ මහතා වීමයි. මෙයට අමතරව රාජපක්ෂ පාලන සමයෙහි එදා යුධ හමුදා මූලස්ථානය පිහිටි භූමිය ඇතුළුව රටෙහි විවිධ පළාත් වලින් ඉඩම්, චීන සහ ඇමෙරිකානු සමාගම් වලට සින්නක්කරයේ විකිණීමත් සිදුකොට ඇත.

අද තත්වය තුල රාජ්‍ය ආරක්ෂාව යන කාරණය සාකච්ඡා කල යුත්තේ තැනෙක සිදුවන බෝම්බ පිපිරීමකින් හෝ රටක් තුල වන සිවිල් යුද්ධයකින් හෝ පිරිසක් විසින් කරණු ලබන අරගලයකින් පමණක් නොව බලවත් රාජ්‍යයන්ගේ ආර්ථික ආක්‍රමණයන් තුල දුබල රාජ්‍යයන් පත්වන තත්වයද සලකා බලාය. අද වන විට චීනය විසින් කරණු ලබන ආර්ථික ආක්‍රමණයේ බලපෑම ලංකාවට පමණක් නොව මාලදිවයින, බංග්ලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව, උගන්ඩාව වැනි රාජ්‍යයන් කරාද පැතිර ගොස් ඇත. ශ්‍රී ලංකාව විෂයෙහිලා ගැනීමේදී චීනය විසින් මෙරට ආර්ථිකයට ඇති කරණු ලැබූ බලපෑමෙන් ගැලවෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට රට අසමත් වී ඇත. අනූනව අවුරුදු බද්දකට “පෝට් සිටිය” චීනයට බදු දෙන්නේත්, “හම්බන්තොට වරාය” බදු දෙන්නේත් මේ නිසාය. හම්බන්තොට වරාය බදු දී ලැබූ ආදායමෙන් ලංකාන්ඩුවට ගෙවා ගත හැකි වූයේ රටේ සමස්ථ බාහිර ණය මුදල වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 51.72 ක මුදලින් සොච්චමක්(එක් වාරිකයක්) පමණි.

රාජපක්ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් ඉදිරිපත් කරණු ලබන ජාතික ආරක්ෂාව නම් ප්‍රපංචයට ඔවුන්ගේ පාලන සමයන් තුල ලබාගත් ණය හෝ පසු ආණ්ඩුව ලබාගත් ණය මත රටෙහි ආරක්ෂාවට ඇතිවන තර්ජනය ගැන වචනයක සඳහනක් නැත. එසේම ඔවුන්ගේ පාලන සමය තුල රටෙහි ආරක්ෂාවට හානිකර අන්දමින් අත්සන් කල ගිවිසුම් සම්බන්ධයෙන් හෝ භූමිය විකිණීම සම්බන්ධයෙන් වචනයක් හෝ කතා කරන්නේ නැත.

මේ අනුව ජාතික ආරක්ෂාව වශයෙන් රාජපක්ෂ කඳවුර විසින් ගෙනයනු ලබන අර්ථනිරූපණය සැබැවින්ම රටෙහි ආරක්ෂාව හා භෞමික අඛන්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා ගතයුතුව ඇති ක්‍රියාදාමයක කොටසක් නොව ජාතිවාදී ස්වරූපයකින් රටෙහි බහුතරය වන සිංහල බෞද්ධ රුධිරය කෝප කරවීමට ගෙන එන සටන් පාඨයක් බව පැහැදිලිය.

රාජපක්ෂ මහතාගේ අනෙක් ප්‍රධාන සටන් පාඨය නම් විනය ගරුක සමාජයක් ඇති කිරීමයි. ඒ සඳහා ඔහුගේ කණ්ඩායම විසින් තදබල නීති පද්ධතියක් රටෙහි සකස් කල යුතු බවට හඬක් නගන අතර රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී ඒ ආකාරයේ නීති පද්ධතියක් තුල කොළඹ නගරය අලංකාර කල බවද පවසයි. මේ කණ්ඩායමට අමතක වී ඇති කාරණා අතර කොළඹ නගරය අලංකාර කිරීමේදී ගල්ගසා මරා දමන ලද යාචකයින් 21 දෙනෙකුද ඇති අතර ඔවුන්ගේ මරණයන් සිදුවූයේ කෙසේද යන්න අදටද නොවිසඳී ඇති අබිරහසක් වේ.

විනය ගරුක සමාජයක දැකිය හැකි ප්‍රධාන අංගයන් අතර භාෂණයේ නිදහස, ප්‍රකාශණයේ නිදහස, සාමකාමී එක්රැස් වීම හා නීතිය සාදාරණව ක්‍රියාත්මක කිරීම වැනි ගුණාංග රාශියක් ඇත. රාජපක්ෂ යුගයේදී මරණයට පත්කල හා අතුරුදහන් කල මාධ්‍යවේදීන්, අතුරුදහන් කල සිවිල් පුරවැසියන් සම්බන්ධයෙන් නීතිය තවමත් ක්‍රියාත්මක වී නොමැති අතර රතුපස්වල සිදුවීම හා කටුනායක වෙළඳ කලාපයේ වෘත්තීය සමිති මර්ධනය කරමින් සිදුකල මිනීමැරුම් සම්බන්ධයෙන් වගකිව යුත්තේද එවක ආණ්ඩුව ගෙනගිය රාජ්‍ය ත්‍රස්ථවාදයයි. විනය ගරුක සමාජයක භාෂණයේ නිදහස හෝ ප්‍රකාශණයේ නිදහස අහුරමින් මර්ධනයක් ක්‍රියාත්මක වන්නේ නැත. නොවිසදුණු අපරාධ ලෙස රාජ්‍ය විසින් කල අපරාධයන් වලළා දමන්නට කටයුතු කරන්නේ නැත. විනය ගරුක සමාජයක, රාජ්‍යක ප්‍රධාන අංගය නීතිය ක්‍රියාත්මක කිරීමේ සාධාරණ බවයි.

රාජපක්ෂ පාලනයේදී අත්දුටු විනය ගරුකභාවය නම් පාලකයන්ගේ සෑම සියළු ක්‍රියාවකට ඉඩ දී නිෂ්ශබ්දව කටයුතු කිරීමයි. ඔවුන්ගේ පාලනයේ අතීත උදාහරණ ගන්නේ නම් කොළඹ නගරය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිලිවෙලේදී ජනතාවට අත්වූ ඉරණම සැලකිය හැකිය. වනාතමුල්ලේ සුනිල් පැහැරගෙන ගොස් මුදාහරින්නේ එවැනි වැඩසටහනක කොටසක් වශයෙනි.

විනය ගරුක සමාජයක් යනු පාලිතයා මෙන්ම පාලකයාද විනය ගරුකව කටයුතු කිරීමයි. එසේ පාලකයා විනය ගරුකව කටයුතු කරන්නේ නම් පාලකයාට විනය බිදීමේ චෝදනා නැගිය නොහැක. රාජපක්ෂ සමයේ දේශපාලකයන්ට, නිළධාරීන්ට මිනීමැරුම්, පැහැර ගැනීම්, අල්ලස්, වංචා, දූෂණ චෝදනා යටතේ නඩු පවරන්නේ එම පාලන සමය තුල පාලකයා විනය ගරුක නිසාද? නැත. එය කිසිසේත්ම සිදු වූයේ නැත. එසේ නම් සිදු වූයේ කුමක්ද? සැබැවින්ම සිදු වූයේ පාලිතයා බියට පත්කොට රට පාලනය කිරීමයි. විනයගරුක පාලනයක් යන යෙදුමෙන් රාජපක්ෂ කඳවුර අර්ථ නිරූපණය කරන්නේ ජනතාව බියට පත් කිරීමයි.

අනෙක් කාරණය රාජපක්ෂ මහතා ගෙන එනු ලබන විනයගරුක පාලනය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු වටා සිටින පිරිස කවුරුන්ද යන්නයි. රාජපක්ෂ මහතා ගෙන එනවා යැයි කියනු ලබන විනයගරුක පාලනයෙහි නියමුවන් වී ඇත්තේ ඔහුගේ වැඩිමල් සොහොයුරාගේ පාලනයේ කොටස් කරුවන් පෙර කී ලෙස විවිධ අපරාධ හා චෝදනා කප්පරක් ඇති කණ්ඩායමක් නැවත වතාවක් විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීමට ඉදිරිපත් ව’ ඇත. ජනතාව සැබැවින්ම තීරණය කළ යුත්තේ මෙවන් කණ්ඩායමකට මෙි කියන ආකාරයේ ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමට විභවයක් ඇත්තේ ද එසේ නැත්නම් එය හුදු ස්වභාවයෙන්ම සමහරුන්ගේ ඇති යටත්වැසිභාවයට ඇති කැමැත්ත මත අලෙවි කරනු ලබන දේශපාලන සටන් පාඨයක් පමණක්ද යන්නයි.

මතු සම්බන්දයි…

Back to Home page