Colombo Telegraph

අමෙරිකාවේ එහෙම වුණත්

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

එක්දහස් නවසිය හතලිස් හත වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 22 වන වරට සංශෝධනය කිරීම සඳහා කෙටුමිපතක් ඇමරිකා එක්සත් ජනපද කොංග‍්‍රසයට ඉදිරිපත් කරනු ලබමින් ඇමරිකා එක්සත් ජනපදයෙහි එක් පුද්ගලයකුට අසීමාන්තිකව ජනාධිපති ධුරය දැරීෙමි හැකියාව වසර හතර බැගින් වූ වාර දෙකකට සීමා කිරීමට එරටෙහි නීති සම්පාදකයෝ ක‍්‍රියා කළහ. 1947 වර්ෂයේදී ගෙන ආ සංශෝධන කෙටුම්පත 1951 වර්ෂයේදී එරටෙහි කථානායකවරයා විසින් අත්සන් කිරීමෙන් අනතුරුව නීතියක් බවට පත්වූ අතර අද දක්වා එරටෙහි ක‍්‍රියාත්මක වන්නේ එම නීතියයි.

ඇමරිකානු දේශපාලන ඉතිහාසය සැලකීෙමි දී අසීමාන්තිකව තරඟ කීරීෙමි හැකියාව තිබියදීත් එරටෙහි ප‍්‍රථම ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂින්ටන් සහ ඉන්පසු තේරීපත් වූ තෝමස් ජෙෆර්සන් යන ජනාධිපතිවරු තමන් විසින්ම ඇති කරගනු ලැබු පිළිවෙතක් මත ක‍්‍රියා කරමින් වාර දෙකකට ඔබ්බෙන් ජනාධිපතිවරණයට තරග කිරීමෙන් වැළකී සිටියහ. ඔවුන් අනුගමනය කරමින් ඔවුන් පිටුපසින් ආ ඇමරිකානු ජනාධිපතිවරුන් තිස් එක්දෙනෙකු එම සම්ප‍්‍රදාය රකිමින් තම ධුර කාලය වාර දෙකක්න් ඔබ්බට රැුගෙන නොයන ලදී. කෙසේ වෙතත් ඇමරිකාවෙහි බිහිවූ ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු එරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි හිඩැස උපයෝගී කරගනිමින් තුන්වන වාරයක් සඳහා ඉදිරිපත් වුවද එසේ තරගකළ ජනාධිපතිවරුන් පරාජයට පත්වූහ. දෙවරකට වඩා ජනාධිපතිධුරය දරූ ජනාධිපතිවරයා වන්නේ ෆ‍්‍රෑන්ක්ලින් ඞී රූස්වේල්ට් වන අතර ඔහු සිව් වතාවක් ජනාධිපති ධුරයට තේරීපත්ව සිව්වන ධුර කාලය තුළදී මිය ගියේය.

රූස්වේල්ට් පළමුවෙන්ම 1932 වර්ෂයේදී ද ඉන් අනතුරුව 1936, 1940 සහ 1944 වර්ෂවලදී ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් ජනතා ඡන්දයෙන් තේරීපත්වන අතර 1940 සහ 1944 යන වර්ෂවලදී ඔහුගේ තේරීපත්වීමට හේතුවන්නා වූ ප‍්‍රධාන සාධකය දෙවන ලෝක යුද්ධය පවතින අතරතුර ඇමරිකානු රාජ්‍ය නායකත්වයෙහි වෙනසක් කිරීමට ඇමරිකානු ජනතාව දැක්වූ අකැමැත්ත බව සඳහන් වේ.

රූස්වේල්ට්ගේ මරණයෙන් පසු ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 22 වන සංශෝධනය සිදු කරමින් එරටෙහි ජනාධිපතිවරයාගේ උපරිම ධුර කාලය වසර හතර බැගින් වාර දෙකකට සීමා කිරීමට ඇමරිකානු කොංග‍්‍රසය තීරණය කළේය. ඉන්පසුද අවස්ථා ගණනාවකදීම 22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා කොංග‍්‍රස් සභිකයන් විසින් කෙටුම්පත් කොංග‍්‍රසයට ඉදිරිපත් කළ ද එකුදු කෙටුම්පතක් හෝ කොංග‍්‍රසය ඉදිරියේ ඡන්දයට ඉදිරිපත් නොවී ඉවතට විසි වී ඇති අතර බැරක් ඔබාමා ඇතුළුව එවැනි කෙටුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවල බලයේ සිටි කිසිඳු ජනාධිපතිවරයෙකු එම පුද්ගලික කෙටුම්පත් සම්බන්ධයෙන් කිසිඳු ආකාරයක සැලකිල්ලක් දක්වා නොමැත.

ඇමරිකානු ජනතාව තම ජනාධිපතිවරයාගේ ධුරය දැරීමේ වාර ගණන සීමා කිරිීමට තීරණය කළා වූ දේශපාලන හා සාමාජයීය හේතු ගණනාවක් ඇත්තේය. 22 වැනි සංශෝධනයේ කෙටුම්පත ඉදිරිපත් කරමින් ඇමරිකානු කොංග‍්‍රසය වෙත කරුණු දැක්වූ කොංග‍්‍රස් සභිකයන්ගේ ප‍්‍රධානතම තර්කය වූයේ එරටෙහි ජනාධිපති ධුරයේ වාර ගණන සීමා කිරීමේ ප‍්‍රධානතම අරමුණ රටෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයන්හී සුරක්ෂිතභාවය ඇති කිරීමත් ඇමරිකානු ජනතාවට තම නායකයා තෝරාගැනීම සඳහා වැඩි අවස්ථා ගණනක් ලබාදීමත් එසේම එක් පුද්ගලයෙකු දිගින් දිගට බලයෙහි රැුඳී සිටීම මත එම පුද්ගලයා වෙත යම් ආකාරයකට රාජකීයත්වයක් ආරූඪවීම සහ ඒකාධිපතියෙකු නිර්මාණයවීම වැළැක්වීම බවයි.

කෙටුම්පත සම්මත වූ අවස්ථාවේදී එය ඇමරිකානු ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා ලැබූ ජයග‍්‍රහණයක් ලෙස එරට දේශපාලන විශාරදයෝ අර්ථ දක්වා ඇත. ඇමරිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා වාර දෙකක් අවසානයේදී ධවල මන්දිරය හැර යෑම අලිඛිත රීතියක් බවට පත් වූ අතර පසුව රූස්වේල්ට් පාලනයෙන් එම සම්ප‍්‍රදාය බිඳ වැටීම තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති වන්නා වූ අනතුර එරට නීති සම්පාදකයෝ අවබෝධ කරගත් හෙයින් එතෙක් පැවැති සම්ප‍්‍රදාය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ නීතියක් බවට පත් කරගත්හ. ඔවුන් සියලු දෙනාගේම මතය වී තිබුණේ ජනාධිපතිධුරය සඳහා යම් අවස්ථාවකදී නව මුහුණක්, නව ජවයක් සහ නව දැක්මක් මතුවිය යුතු බවත් එහි ප‍්‍රතිලාභය ඇමරිකානු ජනතාවට ලැබිය යුතු බවත් ය.

1978 ශ‍්‍රී ලංකාවේ අද පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී එවකට සිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ප‍්‍රංශ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යම් ආකාරයකට උපයෝගී කරගෙන ඇති බව කියැවේ. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31(2) වගන්තිය ප‍්‍රකාරව රටෙහි ජනාධිපතිවරයාගේ ධුර කාලය උපරිම වාර දෙකකට සීමා කොට ඇති අතර එකී එක් ධුර කාලයක් වසර හයකට සීමාකොට ඇත්තේ ය. එසේම ධුර කාල දෙකක් දරූ අයෙකු ජනාධිපතිවරණයක් සඳහා නුසුදුස්සෙක් බවට දක්වා ඇත්තේය.

ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට හේතු වූ තත්වයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑම එනම් එක් පුද්ගලයෙකු අසීමාන්තිකව බලයේ රැුඳී සිටීම තුළ රටෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැකැස්මට එල්ල විය හැකි තර්ජනය සහ රජ කෙනෙකු හෝ ඒකාධිපතියෙකු බිහිවීමේ අවදානම එදා ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාදායකය විසින් සැලකිල්ලට ගෙන ඇති බව පසක් වේ.

2010 දී ලංකාවේ ව්‍යවස්ථාවට එකතු කරනු ලැබූ 18 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් එතෙක් පැවති නෛතික සීමා කිරීම ඉවත්කරනු ලැබූ අතර එය අද වන විට අසීමාන්තික එනම් 1951 ට පෙර ඇමරිකානු ව්‍යවස්ථාවෙහි නීතිමය තත්ත්වයන්ට සමාන තත්වයකට පත් කොට ඇත. මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එ්මේ අභිලාෂය කුමක්ද යන්නට ආණ්ඩුව පැත්තෙන් ගෙන එන තර්කය වන්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් වීමෙන් පසු රට සංවර්ධනය කරා ගෙන යෑම සඳහා ප‍්‍රමාණවත් කාලයක් ජනාධිපතිවරයා වෙත ලබාදීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.

ලංකාවේ සංශෝධනය ගෙන ඒමත් සමග එදා ඇමරිකාවේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වූ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයන්හී සුරක්ෂිතභාවය ඇති කිරීම, ජනතාවට තම නායකත්වය තෝරා ගැනීම සඳහා වැඩි අවස්ථා ගණනක් ලබාදීම හා දිගින් දිගටම එක් පුද්ගලයෙකු බලයෙහි රැුඳී සිටීම මත ඔහුට රාජකීයත්වයක් ආරූඪවීම මෙන්ම ඒකාධිපතියෙකු නිර්මාණය වීම වැළැක්වීම යන තත්වයන් සියල්ල ආපස්සට හරවා තිබේ.

18 සංශෝධනය ජාතික දේශපාලනයට මෙන්ම මෙරටෙහි දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ක‍්‍රියාකාරීත්වයටද විනාශකාරී බලපෑමක් ඇති බව පැහැදිලිය. පවතින තත්වයෙන් උදාහරණයක් ගතහොත් වත්මන් ජනාධිපති රාජපක්ෂ මහතා තුන්වන වරට ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වීම නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අද පවතින ඉදිරි පෙළ වන මෛත‍්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි දේශපාලනඥයන්ගේ දේශපාලන ආයු කාලය කැබිනට් අමාත්‍ය ධුරයෙන් අවසන්වීමේ හැකියාව ඉහළ නැංවී තිබේ. දේශපාලන සමකාලීනයෙකු බලයේ සිටින නායකයාගෙන් පසුව එම පුටුවට පත්වීමේ හැකියාවද එයින් ඉතාමත් පහළ මට්ටමකට පත් කොට ඇත. එනිසා යම් ආකාරයකට දෙවන පෙළ නායකයෙකු බලයට පත් වු අවස්ථාවකදී ද ඔහු බලයේ සිටින තාක්කල් ඔහුට සමාන්තර සහ සමාන මට්ටමේ දේශපාලන නායකයන් පක්ෂය තුළ බිහිවීමේ හැකියාව අවම කොට ඇත.

18 හි තවත් සෘජු ප‍්‍රතිඵලයක් වන්නේ එක් රාජ්‍ය නායකයකුගේ දේශපාලන දැක්ම ඔහු බලයේ සිටිනතාක් රටට හිතකර වුවද, අහිතකර වුවද එය රට තුළ ක‍්‍රියාත්මකවීමේ ප‍්‍රවණතාවය ප‍්‍රබලවීමත් අලූත් දේශපාලන දැක්මක් හෝ ප‍්‍රවණතාවයක් රට තුළ ඇති කිරීමට ඇති ඉඩකඩ අවම වීමත් ය. කෙනෙකුට මේ සම්බන්ධයෙන් ගෙන ආ හැකි ප‍්‍රතිවිරුද්ධ තර්කය වන්නේ වසර හයකට වරක් රාජ්‍ය නායකයා තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වෙන හෙයින් ජනතාවට අවශ්‍ය නම් ඔහුව ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාව ඇති බවයි.

එහෙත් 18 මගින් එයට පෙර හඳුන්වාදුන් 17 සංශෝධනයෙන් රටෙහි ඇති කර තිබූ නිර්දේශපාලනීකරණය සහ ප‍්‍රතිසංස්කරණ වළපල්ලට යවා සියලු බලතල ජනාධිපතිවරයා වෙත කැටිකොට දීම මගින් ජනාධීපතිවරයා අසීමිත බලයක් ඇත්තෙකු බවට පත්කොට ඇත. තමා කැමති වේලාවක ධූරයේ සිටින ජනාධිපතිවරයා තරගයට යන්නේද සියලු රාජ්‍ය සම්පත් ශක්තීන් හා බලය සහිතවය. කෙටියෙන් කිවහොත් එහිදී ඇතිවන්නේ සාධාරණ තරගයක් නොවේ. එවැනි තරගයකදී නියම මහජන බලය ක‍්‍රියාත්මක වන්නේ කෙසේද? 18 වන සංශෝධනය මගින් ඇති කර ඇති අසීමාන්තික තත්වයන් පාලනය කිරීමට සමත් සෘජු නීතිමය ආකෘතීන් රටෙහි නොපැවතීම මත ඉහත සඳහන් තර්කය බිඳ වැටෙනු ඇත.

නායකයාගේ උරුමය පවුලේ ඊළග පරම්පරාවට ගෙන ඒම සඳහා මෙම දීර්ඝකාලීන ධුර දැරීමේ ක‍්‍රියාවලිය ඉතා හොදින් පාවිච්චි කළ හැකි අතර පවුලට පිටින් අලුත් දේශපාලන නායකයන් ඇති කිරීම සහ පෝෂණය කිරීම දේශපාලන පක්ෂවලින් ඉවත්විී යයි. පක්ෂයේ නායකයා රාජ්‍යය නායකයා වීම තුළ ලබාගෙන ඇති අසීමාන්තික බලතල හමුවේ මෙවැනි තත්වයන් විවේචනයට ලක්කිරීමට හෝ අභියෝගයට ලක්කිරීමට පහළ නායකයන් උත්සාහ නොදැරීම තුළ රටට අවශ්‍ය ඉදිරි දේශපාලන නායකත්වය සැපයීමේ හැකියාව ඇති පහළ ස්ථරය එළියට මතු කිරීම ඒ ආකාරයෙන් සිදු නොවෙයි.

18 රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට විශාල බලපෑමක් ඇති කොට ඇත. රටෙහි ජනතාවට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇති අයිතිය සීමා කොට ඇත. රටක රාජ්‍ය පාලනයෙහි වැදගත් වන්නා වූ ඊලග නායකත්වයන් නිර්මාණය කිරීමට ඇති අවස්ථාව අහුරා ඇත. අසීමාන්තික බලයක් තමන් වෙත නතුකර ගැනීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයක් සඳහා වූ ඉඩකඩ අහුරා ඇත.

කොටින්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 1947 හී ජීවත් වූ නීති සම්පාදකයින් විසින් එරටෙහි ජනතාව බලගැන්වීම සඳහා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා ගෙන ආ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ පරමාර්ථයන් උඩු යටිකුරු කරමින් ලංකාවේ එක් පුද්ගලයෙකුගේ සහ කණ්ඩායමකගේ අවශ්‍යතා සපුරාගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයන්ගේ පැවැත්ම නිෂ්ක‍්‍රිය කොට හුදු පෞද්ගලික අභිලාෂයකට රටෙහි දේශපාලන ක‍්‍රියාකාරිත්වය එක් පුද්ගලයෙකු වටා හෝ කණ්ඩායමක් වටා ගොනු කරවීමට අපේ නීති සම්පාදකයන් අද වන විට සමත් ව ඇත. එනිසා රටෙහි අයිතිකරුවන් ලෙස රටේ අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීම හෝ පාලකයන්ගේ පෞද්ගලික පැවැත්ම සුරක්ෂිත කිරීම යන දෙකෙන් කුමක් තෝරා යුතුද යන්න පුරවැසියා විසින් තීරණය කළ යුතුව තිබේ.

Back to Home page