20 April, 2024

Blog

ටෙලිකොම් මෑන්පවර් අරගලය: මාරාන්තික උපවාසයක් කරා…?

උපුල් කුමාර වික්‍රමසිංහ

උපුල් වික‍්‍රමසිංහ

දින 80 කට අධික කාලයක් පුරාවට කොළඹ කොටුව, ලෝටස් පාරේ ටෙලිකොම් මුලස්ථානය ඉදිරිපිට ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන්පවර් සේවකයින් විසින් තමන්ව ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නා ලෙස ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව බොහෝ දෙනෙකු විසින් දන්නා කරුණකි. මෙතෙක් මෙම ගැටළුව විසඳීමට ටෙලිකොම් පාලනාධිකාරිය සහ රජය විසින් විවිධ අවස්තාවලදී විවිධාකාරයෙන් පොරොන්දු වුවද දින 80 කට පසුවත් සාධාරණ විසඳුමක් දීමට කටයුතු කර නොමැත. මේ පිළිබඳව පසුගිය 14 වනදා කම්කරු අමාත්‍යාංශයේදී ටෙලිකොම් කළමනාකාරීත්වය, කම්කරු ඇමතිවරයා සහ ටෙලිකොම් සේවක වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාද අසාර්ථක වූයේ ටෙලිකොම් කළමනාකාරීත්වයේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාය. මීට පෙර පැවති සාකච්ඡාවලදී කම්කරු ඇමතිවරයා විසින් කම්කරු ආරවුල් පනතට අනුව දෙපාර්ශවය අතර එකඟතාවයකට ඒමට අවශ්‍ය කටයුතු සලසා තිබුනද 14 වනදා සාකච්ඡාවේදී ටෙලිකොම් කළමනාකාරීත්වය විසින් ගිවිසුමකට එළඹේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කිසිදු ආකාරයකින් පාර්ශවකරුවෙකු ලෙස අත්සන් නොතබන බවත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා ටෙලිකොම් හියුමන් කැපිටාල් සොලුෂන් නමැති මෑන්පවර් ආයතනය විසින් අත්සන් තැබිය හැකිය යන ස්ථාවරයේ දැඩිව පිහිටා ඇත. මේ පිළිබඳව සේවකයින්ගේ සරල තර්කය වනුයේ ටෙලිකොම් ආයතනයට මෑන්පවර් සේවකයින් වන තමන්ව බඳවා ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට ටෙලිකොම් ආයතනය අත්සන් නොතබන්නේ නම් එවැනි ගිවිසුමක කිසිදු විශ්වාසනීයබාවයක් නොමැති බවයි. මේ හේතුවෙන් සාකච්ඡා නැවතත් අසාර්ථක වී ඇති අතර දැනට සේවකයින් දෙදෙනෙකු විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට දන්වා ඇති අතර ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් වැඩිවිය හැකිය.

මෑන්පවර් ක්‍රමය යනු කුමක්ද?

ටෙලිකොම් මෑන්පවර් සේවක අරගලය තුල අප නිතර නිතර දුටු සටන් පාඨයක් වූයේ “මෑන්පවර් නූතන වහල් ක්‍රමය අහෝසි කරනු” යන්නයි. මෑන්පවර් ක්‍රමය යනු නූතන යුගයේ වහල් ක්‍රමයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවන බව ඒ පිළිබඳව මදක් වැඩිපුර සොයා බලන විට මනාව පැහැදිලි වේ. සරල අර්ථයෙන් ගත හොත් මෑන්පවර් ක්‍රමය යනු කිසියම් ආයතනයක සේවයට සේවකයින් ස්ථිරව බඳවා නොගෙන තුන්වන පාර්ශවයක් හරහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමයි. මෙහිදී සේවකයා අදාළ ආයතනයේ ස්ථිර සේවකයින් හා සමානවම සේවයේ යෙදෙන නමුත් ඔහුගේ/ඇයගේ වැටුප් ගෙවීම සහ අදාළ අනෙකුත් කටයුතු සිදු කෙරෙන්නේ මෑන්පවර් ආයතනය හරහාය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට මෙය අදාළ කළහොත් මෑන්පවර් සේවකයින් ටෙලිකොම් ආයතනයේ පූර්ණකාලීනව සේවයේ නිරත වන නමුත් ඔවුන් නිල වශයෙන් බැදී සිටින්නේ සහ ඔවුන්ට වැටුප් ඇතුළු අනෙකුත් දීමනාවන් ලැබෙන්නේ ටෙලිකොම් ආයතනයටම අනුබද්ධ ශ්‍රී ලංකා ටෙලිකොම් හියුමන් කැපිටාල් සොලුෂන් (SLTHCS) නමැති මෑන්පවර් ආයතනය හරහාය. ටෙලිකොම් මෑන්පවර් සේවකයින් පෙන්වා දෙන පරිදී වැටුප් ඇතුළු සියළු දීමනා ඔවුන්ට ලැබෙන්නේ ස්ථිර සේවකයින්ට ලැබෙන ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණක් බවය. වෙනකක් තබා, ස්ථිර සේවකයින්ට ටෙලිකොම් ආයතනයෙන් වාර්ෂික දින පොත් තුනක් ලැබෙන විට මෑන්පවර් සේවකයින්ට ලැබෙන්නේ එක් දිනපොතක් පමණි.

අනෙක් අතට ඔවුන්ගේ වැටුප ලෙස ටෙලිකොම් ආයතනයෙන් මෑන්පවර් ආයතනයට ගෙවන මුදලින් සියයට 12 කට ආසන්න ප්‍රමාණයක් මෑන්පවර් ආයතනය විසින් කපාගනු ලැබේ. ටෙලිකොම් ආයතනය තුල දැනට දෙදහසකට වැඩි මෑන්පවර් සේවකයින් පිරිසක් සිටින වටපිටාවක මෙය සුවිශාල මුදලකි. මෙහිදී කෙනෙකුට මතුවිය හැකි ගැටළුවක් නම්, මෙවැනි සුවිශාල මුදලක් තෙවැනි පාර්ශවයකට ගෙවනවා වෙනුවට එය සේවකයින්ටම ලබා දිය නොහැක්කේ මන්ද? යන්න. එහිදී ටෙලිකොම් ආයතනයට අමතරව කිසිදු මුදලක් වැය නොවේ. සත්‍යවශයෙන්ම මෑන්පවර් සේවකයින් පවා මතු කරන මූලික ප්‍රශ්නයකි, එය. එසේ කිරීමෙන් අනෙක් අතට එය ටෙලිකොම් කළමනාකාරිත්වයට සේවකයින් සමඟ දැනට පවතිනවාට වඩා යහපත් සම්බන්ධයක් පවත්වා ගැනීමේ උපක්‍රමයක් ලෙසද භාවිත කල හැකිය. එනම්, ඒ ඔස්සේ සාපේක්‍ෂව වැඩි වැටුපක් සේවකයින්ට ගෙවීමට අවස්ථාව උදාවේ.

තත්වය එසේ තිබියදීත් ටෙලිකොම් ආයතනය විසින් SLTHCS මෑන්පවර් ආයතනය හරහා සේවකයින්ට වැටුප් ගෙවීම සහ ඔවුන්ගේ සේවය ලබා ගැනීම සිදු කරන්නේ මන්ද? යන්න සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙකුට මතුවිය හැකි සාධාරණ ප්‍රශ්නයකි. මෙම තත්වය තේරුම් ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ “මෑන්පවර් යනු නූතන වහල් සේවයකි” යන ප්‍රවාදයයි. සමාජ සංවර්ධනයත් සමඟම අතීතයේ මෙන් මිනිසුන් වහලුන් ලෙස සේවයේ යොදවා ගැනීම තහනම් වූයේ එය මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවක් වීම නිසාය. වර්තමානයේ ටෙලිකොම් ඇතුළු බොහෝ ආයතනවල මෑන්පවර් ක්‍රමයට සේවකයින් බඳවා ගැනීම තුල අනුගමනය කෙරෙන්නේ මූලික වශයෙන්ම එවැනි වහල් ක්‍රමවේදයක් නොවේද? සේවකයින් සැපයීම වෙනුවෙන් සෑම සේවකයෙකුටම අදාලව කොමිස් මුදලක් මෑන්පවර් ආයතනයට සේවය ලබා ගන්නා අදාළ ආයතනය විසින් ගෙවනු ලබන අතර එහිදී මෑන්පවර් ආයතනය විසින් වහල් හිමියාගේ භූමිකාව ඉටු කරනු ලබයි. අතීතයේ වහල් සේවකයින් ලෙස යොදා ගැනුනේ විවිධ ගෝත්‍ර අතර හෝ ජාතීන් අතර හෝ රටවල් අතර හෝ ඇතිවූ යුධ ගැටුම් වලින් පරාජයට පත්වූ පාර්ශවයන් හෝ වෙනත් සාධක මත අසරණබාවයට පත්වූ කිසිදු හව්හරණක් නොමැති වූ මිනිසුන්ය. සන්දර්භයන්හි වෙනස්කම් ඇති මුත් වර්තමානයේදී මෑන්පවර් සේවයට එක් වන්නේත් ආර්ථික හා සමාජීය වශයෙන් පීඩනයට පත්වූ, වෙනත් විකල්පයන් අහිමි වූ මිනිසුන් නොවේද? කිසිදු වෘත්තියමය සුරක්ෂිතබාවයක් නොමැති, ඕනෑම මොහොතක කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව සේවයෙන් පහ කල හැකි බලයක් සේවා යෝජකයාට හිමි මෑන්පවර් සේවයට ස්වකැමැත්තෙන් එකතු වන කිසිවෙකුත් සිටිය නොහැකිය. එවැනි අමානුෂික ශ්‍රම සූරාකෑමක් යටතේ වුවද මෑන්පවර් සේවයට ඔවුන්ව තල්ලු කරනු ලබන්නේ දැරිය නොහැකි ලෙස ඉහල ආර්ථික පීඩනය විසිනි.

ධනේශ්වර දේශපාලන-ආර්ථික ක්‍රමය වැඩ කරන ජනතාවට සුභවාදී ක්‍රමවේදයක් ලෙස අපට සැලකිය නොහැක. එමගින් සමාජයේ ප්‍රාග්ධන හිමිකාරිත්වය දරණ ඉතා සුළු පිරිසක් අධික ප්‍රතිලාභ ලබන අතර ඒ සඳහා සාතිශය බහුතරයක් වන වැඩ කරන ජනතාව තම ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය මූලික පහසුකම් හෝ නොමැති තත්වයකට පත් කර තිබේ. කෙසේවෙතත් පවතින ක්‍රමය තුල පවා සේවක අයිතීන් සුරක්‍ෂිත කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු බොහෝ කම්කරු ප්‍රඥප්තීන් හඳුන්වා දී තිබේ. සියයට සියයක් තෘප්තිමත් විය නොහැකි නමුත් එවැනි ප්‍රඥප්තීන් හරහා මූලික වැටුප්, අතිකාල දීමනා, වැඩවර්ජනය කිරීමට ඇති අයිතිය වැනි අයිතීන් තහවුරු කර තිබීමත් ඒවා උල්ලංඝනය වන විට නීතියේ පිහිට පැතීමට හැකි වීමත් සේවකයාගේ පාර්ශවයෙන් ධනාත්මක තත්වයන් ලෙස හඳුනා ගත හැකිය. මෙය ධනේශ්වර ක්‍රමයේම යහපැවැත්ම උදෙසා සේව්‍යයා සහ සේවකයා අතර ඇති කරගෙන තිබෙන සහමතියේ ප්‍රතිඵලයක් ලෙස සැලකීම දේශපාලනික වශයෙන් වඩාත් නිරවද්‍ය වේ. වැඩවසම් යුගයේදී මෙන් වර්තමානයේදී බලහත්කාරයෙන් හෝ ආයුධ බලයෙන් මිනිසුන්ගේ සේවය ලබා ගැනීම කල නොහැකිය. එබැවින්, කම්කරුවාගේ සේවය අඛණ්ඩව ලබා ගැනීමට නම් කම්කරුවාගේ පාර්ශවයෙන්ද යම් මට්ටමකට හෝ තෘප්තිමත් විය හැකිවන පරිදී එකඟතාවයන්ට පැමිණීමට සිදුවේ. මෑන්පවර් සේවකයින්ට අඩුම තරමින් ස්ථිර කම්කරුවන්ට හිමි අයිතීන් සහ වරප්‍රසාද පවා අහිමිය. තමන් සේවය කරන ආයතනය සමඟ නීත්‍යානුකූල බැඳීමක් නොමැති ඔවුන්ගේ සේවය පවත්වා ගෙන යනු ලබන්නේ වාර්ෂිකව අළුත් කෙරෙන මෑන්පවර් ආයතනය සමඟ ඇති කර ගන්නා සේවා ගිවිසුම් ඔස්සේය. කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව මෙම සේවා ගිවිසුම් අළුත් නොකර සිටීමේ බලය මෑන්පවර් ආයතනයට ඇති අතර එවැනි අවස්තාවකදී ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් හෝ අයිතියක් සේවකයාට නොමැත. ටෙලිකොම් ආයතනය තුල වසර 15 කට අධික කාලයක් මෑන්පවර් සේවකයින් ලෙස සේවය කරන්නන් සිටින අතර ඔවුන්ටද මෙම තත්වය එලෙසින්ම අදාලය. එනයින්, මෑන්පවර් ක්‍රමය විසින් සලකුණු කරන්නේ පශ්චාත්-ධනවාදී තත්වයක්ද?

ටෙලිකොම් මෑන්පවර් අරගලය පොදුවේ සමාජයට වැදගත් වන්නේ ඇයි?

මෑන්පවර් ක්‍රමයට අදාළ දේශපාලන-ආර්ථික සන්දර්භය පිලිබඳ අදහස තවදුරටත් ඉදිරියට ගෙන ගිය හොත් එය වර්තමානයේ බලයට පත්වන ආණ්ඩුවල පුළුල් ආර්ථික දැක්මේ අනිවාර්ය අංගයක් ලෙස හඳුනා ගත හැකිය. වැඩි වැඩියෙන් ආයෝජකයින් මෙරටට ආකර්ෂණය කරගෙන ඒ ඔස්සේ විදේශීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ රැකියා අවස්ථා බිහි කිරීම වත්මන් ආණ්ඩුවේ මූලික ආර්ථික ක්‍රමෝපායක් යන්න ඉතා පැහැදිලිය. ආයෝජකයින් වැඩිපුර ආකර්ෂණය වන්නේ ඔවුන්ට වැඩි වශයෙන් ලාභ ඉපැයිය හැකි ස්ථාන හෝ රටවල් කරාය. ලාභය වැඩි කර ගැනීමේ ප්‍රධානතම ක්‍රමය ලෙස වර්තමානයේදී භාවිත වන්නේ වියධම් අවම කිරීමය. එහිදී සේවක වැටුප් සහ වරප්‍රසාද හැකිතාක් කප්පාදු කිරීම බොහෝ ව්‍යවසායකයින් විසින් අනුගමනය කරන්නකි. එම අරුතින් ගත් කල මෑන්පවර් වැනි සේවකයින්ගේ වෘත්තීය අහෝසි කෙරෙන, වැටුප් සහ වරප්‍රසාද අවම කෙරෙන ක්‍රමවේදයන් විදේශීය වේවා, දේශීය වේවා ආයෝජකයින්ට මසුරන් වැනිය. එවැනි තත්වයක් ගොඩ නැගෙනු දැකීම ආයෝජකයින්ගේ අපේක්‍ෂාව පමණක් නොව එය ගොඩ නැගීමට ඔවුන් සක්‍රීය ලෙස මැදිහත් වනුද දක්නට ලැබේ. ඊට අදාළ කොන්දේසි ආයෝජන ගිවිසුම් වලදී ඉදිරිපත් කරන ඔවුන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෘජු සහ වක්‍ර ආකාරයෙන් බලපෑම් කිරීමටද කටයුතු කරනු ලැබේ. වර්තමානයේ විදේශ ආයෝජනයන් වැඩිම ප්‍රමාණයක් සිදු කෙරෙන රටක් වන චීනයේ කම්කරුවන්ගේ සමාජ-ආර්ථික තත්වයන් විමසා බැලූ විට මෙම තත්වය වටහා ගැනීම ඉතා පහසුය.

මේ වන විටත් බොහෝ ආයතනවල මෑන්පවර් ක්‍රමය ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් උදාහරණයෙන් පෙනී යන්නේ රජයට වැඩි බලපෑමක් ඇති ආයතනවල පවා එය ක්‍රියාත්මක වෙමින් පවතින බවය. මෙම ලියුම්කරුගේ පුද්ගලික අත්දැකීමට අනුව උපාධිධාරීන් පවා මෑන්පවර් ක්‍රමයට බඳවා ගන්නා මට්ටමට තත්වය උග්‍ර වී ඇත. එබැවින් මෑන්පවර් ක්‍රමයට එරෙහිව ටෙලිකොම් මෑන්පවර් සේවකයින් ගෙන යන අරගලය සෘජුව සහ වක්‍රව අනෙකුත් ක්ෂේත්‍රයන්ටද අදාලය. එමෙන්ම එය වර්තමානයේ හෙජමොනික දේශපාලන-ආර්ථික දෘෂ්ටිවාදයට එරෙහිව සිට ගැනීමකි.

ටෙලිකොම් මෑන්පවර් සේවක අරගලය කොයිබටද?

ටෙලිකොම් මෑන්පවර් සේවක අඛණ්ඩ අරගලය මේ වන විට දින 80 පසු කර ඇති මුත් ටෙලිකොම් කළමනාකාරීත්වය විසින් ඔවුන්ගේ ඉල්ලීමට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. මෙතරම් කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවනවාය යන්න ඉතාම දුෂ්කර කාර්යයකි. මෑන්පවර් සේවකයින් යනු තමන් ලද වැටුපෙන් ඉතා අසීරුවෙන් එදිනෙදා ජීවිතය ගැට ගසා ගෙන ගිය පිරිසකි. තම ආදායමට සාපේක්‍ෂව ජීවන විය්ධාම සලකා බැලූ විට ඔවුන් කිසිවෙකුටත් අතිරේක මුදලක් ඉතුරු කර ගැනීමේ හැකියාවක් නොමැත. එවන් පසුබිමක දහසකට ආසන්න සේවකයින් පිරිසක් මාස දෙකක පමණ වැටුප් නොලබා අඛණ්ඩව අරගල කිරීම ඉතාම දුෂ්කර, අභියෝගාත්මක ක්‍රියාවකි. එසේ කිරීමට යොමු වීමෙන් පෙන්නුම් කරන්නේ මෑන්පවර් ක්‍රමය නිසා ඔවුන් විඳින පීඩාවේ බරපතලකම සහ එයට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමට ඔවුන් තුල පවතින නොසිඳෙන අධිෂ්ඨානය නොවේද? අනෙක් අතට මෙම අරගලය හදිසියේ ප්‍රාදුර්භූත වූවක් නොවේ. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර 2011 වර්ෂයේ සිට වරින් වර තමන් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නා ලෙස ඉල්ලා ටෙලිකොම් මෑන්පවර් සේවකයින් විසින් කිහිප වරක්ම උද්ඝෝෂණ ක්‍රියාමාර්ග දියත් කරන ලදි. ඒ සෑම අවස්ථාවකදීම ඔවුන්ට විවිධාකාරයේ පොරොන්දු දී පසුව ඒවා දේශපාලකයින් සහ ටෙලිකොම් කළමනාකාරීත්වය විසින් කඩ කරන ලදි. රාජපක්‍ෂ රෙජීමය පරදවා වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ සිවිල් සංවිධානවල සහයෝගය ඇතුව ‘යහපාලනයක්’ ගොඩ නැගීමට ප්‍රතිඥා දීමෙන් බව අප අමතක නොකළ යුතුය. 2015 ජනාධිපතිවරණ සමය තුල රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ ඔවුන් බලයට ආ විට ටෙලිකොම් මෑන්පවර් සේවකයින් ස්ථිර කරන බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ පවා එය හැන්සාඩ් ගත වී තිබේ. අනෙක් අතට වත්මන් ආණ්ඩුවේම කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න විසින් මෑන්පවර් සේවකයින් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට මූලික වශයෙන් සේවකයින් කැමැත්ත පළකර තිබෙන නමුත් එම යෝජනාව පවා ක්‍රියාත්මක කිරීම විෂය භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ජනාධිපතිවරයාගේ සොහොයුරෙකු සභාපතීත්වය දරණ ටෙලිකොම් කළමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ඔවුන් පතුරුවමින් සිටින්නේ “සියයට 80 කට වඩා මෑන්පවර් සේවකයින් සේවයට වාර්තා කරන අතර වැඩ වර්ජනය කරන්නේ සියයට 20 කටත් අඩු පිරිසක්ය” වැනි බොරු බේගල්ය.

මෑන්පවර් සේවක අරගලය තුල මෙවන් සුවිශේෂීත්වයක් අන්තර්ගත වුවද ඒ පිළිබඳව සමාජයේ අවධානය යොමු වී තිබෙන්නේ ඉතා අඩුවෙනි. එයට ප්‍රධානතම හේතුවක් වන්නේ ටෙලිකොම් මෑන්පවර් අරගලයට ජනමාධ්‍ය ආවරණය ලැබෙන්නේ ඉතා සුළුවෙන් වීමයි. මුද්‍රිත මාධ්‍ය කිහිපයක පළවූ ලිපි කිහිපයක් හැරුණු විට එයට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආවරණයක් නොලැබෙන තරම්ය. මෙයට මූලිකම හේතුව ලෙස මෑන්පවර් සේවකයින් පෙන්වා දෙන්නේ ටෙලිකොම් ආයතනය විසින් බොහෝ මාධ්‍ය ආයතනවලට වෙළඳ දැන්වීම් සඳහා ලබා දෙන දැවැන්ත ප්‍රාග්ධනයට යට වීමයි. අනෙක් අතට ටෙලිකොම් ආයතනයේ ප්‍රධානියා ජනාධිපතිවරයාගේ සොහොයුරෙකු වීම නිසා ඇතැම් මාධ්‍ය විසින් නිල නොවන ස්වයං වාරණයන් පනවා ගෙන ඇති බවක් ද දක්නට ලැබේ. රාජපක්‍ෂ පාලන සමයේ ගෝඨාභය රාජපක්‍ෂට හිමිව තිබූ බලයට එය සමාන කල නොහැකි නමුත් එය නොසලකා හැරිය හැකිද නොවේ. මෙවන් වටපිටාවක ටෙලිකොම් මෑන්පවර් සේවකයින් සහ ඔවුන්ගේ අරගලයට සහය දක්වන්නන් විසින් ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය සහ වෙනත් විකල්ප මාධ්‍ය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කර තිබේ. එවැනි එළඹුමක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් අත් කරගෙන ඇති මාධ්‍ය ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කිරීමට වැදගත් වුවත් මෙතෙක් එමගින් මෑන්පවර් ක්‍රමයට එරෙහි විකල්ප කතිකාවතක් පුළුල් වශයෙන් සමාජගත කිරීමට සමත් වී නොමැත. එය අප හමුවේ ඇති අභියෝගයකි.

ටෙලිකොම් පමණක් නොව බොහෝ පුද්ගලික ආයතන, බහුජාතික සමාගම් තම ආයතන තුල මෑන්පවර් වැනි සේවකයින් සූරා කන යාන්ත්‍රණයන් පවත්වා ගෙන යාමට දෘෂ්ටිවාදී ආවරණයක් සපයා ගැනීමට භාවිත කෙරෙන ප්‍රධානතම උපක්‍රමයකි සමාජ සේවා කටයුතු වලට සහ ජනතාව ප්‍රිය කරන වැඩසටහන් සහ පුද්ගලයින්ට අනුග්‍රහය දැක්වීම. එමගින් අදාළ ආයතනය පිලිබඳ යහපත් ප්‍රතිරූපයක් ජනතාව තුල ගොඩ නැගීමට කටයුතු කෙරෙන අතර එම ප්‍රතිරූපයට මුවා වී මෑන්පවර් වැනි ක්‍රමවේද පවත්වා ගෙන යාමට කටයුතු කෙරේ. ටෙලිකොම් ආයතනයට අදාලව මෙයට ඉතා මෑතකාලීන උදාහරණයකි ස්වර්ණා මල්ලවාරාච්චි උපහාර චිත්‍රපටි උළෙලේ ප්‍රධාන අනුග්‍රහයකයා ටෙලිකොම් ආයතනය වූ අතරම දෙදහසකට අධික මෑන්පවර් සේවකයින් පිරිසකගේ ශ්‍රමය සූරා කනු ලබන්නේද එම ආයතනයමයි. ප්‍රාග්ධනයේ මෙම දෙබිඩි ස්වරූපය අප විසින් විච්ඡේදනය කර සමාජයට නිරාවරණය කල යුතුව තිබේ.

යටත් විජිත සමයේ පටන්ම ජනතාව යටත් වැසියන් ලෙස තම අණසක යටතේ පාලනය කිරීමට පාලකයින් විසින් අනුගමනය කල ප්‍රධානතම උපක්‍රමයක් වූයේ බෙදා වෙන්කර පාලනය කිරීමයි. වර්තමානයේ පවා එම උපක්‍රමය එලෙසින්ම වැඩ කරන ජනතාව, තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන ජනතාව එකිනෙකාගෙන් වෙන්කර තැබීමට පාලකයින් විසින් විවිධ උපාය උපක්‍රම භාවිත කරනු දැකිය හැකිය. එය ජාතිය සහ ආගම, වෘත්තීය ක්ෂේත්‍රයේ වෙනස්කම්, භූගෝලීය වෙනස්කම් වැනි විවිධ කරුණු මත පදනම් විය හැකිය. ටෙලිකොම් මෑන්පවර් අරගලය තුල පවා, උදාහරණයක් ලෙස, ඉංජිනේරු සේවා වැනි ස්ථිර සේවයේ නිරත වන්නන් මෑන්පවර් විරෝධී අරගලයට විරුද්ධව කටයුතු කරනු දැකිය හැකිය. අවාසනාවකට වාමාංශික යයි කියා ගන්නා ඇතැම් වෘත්තීය සමිති සහ පක්‍ෂ පවා කල්ලිවාදී ලෙස කටයුතු කරනු දැකිය හැකිය. මෙම බෙදා වෙන් කිරීමට එරෙහිව සේවකයින්ගේ පාර්ශවයෙන් ඇති එකම විසඳුම විසිරී ඇති අරගල ඒකාබද්ධ කිරීමයි. එවැනි අරගල ඒකාබද්ධ කිරීමේ පුළුල් ක්‍රියාවලියක ප්‍රාථමික අවස්ථාවන් ටෙලිකොම් මෑන්පවර් අරගල සහයෝගිතා ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එහිදී, උමා ඔය ව්‍යාපෘතිය සහ මොරගහකන්ද ව්‍යාපෘතිය නිසා අවතැන් වූ ජනතාව, පොර්ට් සිටි ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වූ ධීවර ජනයා, කල්පිටිය සංචාරක ව්‍යාපෘති නිසා විපතට පත්වූවන් යනාදී ලෙස නූතන ධනේශ්වර ආර්ථික සංවර්ධන මොඩලය තුල බහිෂ්කරණය වූ ජනතාවගේ සහෝදරාත්මක හස්තයන් ටෙලිකොම් මෑන්පවර් සේවකයින් වෙත මේ වන විටත් දිගු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ටෙලිකොම් මෑන්පවර් අරගලයට සහය පල කර මීගමුව සහ බණ්ඩාරවෙල නගරවල උද්ඝෝෂණ සහ පත්‍රිකා බෙදා හැරීම පසුගිය සති කිහිපය තුල සිදු වූ අතර ඉදිරියේදී යාපනය, වවුනියාව, අනුරාධපුරය, මහනුවර වැනි නගරවලද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ වගේම බණ්ඩාරවෙල සහ මොරගහකන්ද ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් සහල්, එළවලු ද මීගමුව ප්‍රදේශයේ ධීවර ජනයා විසින් මාළු වැනි ද්‍රව්‍යමය ආධාර ටෙලිකොම් සහෝදරයින්ට ලබා දීම හරහා අරගලයට අවශ්‍ය භෞතික මෙන්ම මානසික ශක්තිය ද සැපයීමට ඔවුන් දායක වෙමින් සිටී.

ටෙලිකොම් මෑන්පවර් සේවක අරගලය ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි වෘත්තීය අරගල සාර්ථක කර ගැනීමේ නව උපක්‍රම පිළිබඳව ගවේෂණය කිරීම සහ ඒවා අත්හදා බැලීමට ප්‍රායෝගික වැඩබිමක් අපට නිර්මාණය කර දී තිබේ. පසුගියදා කොළඹ කොටුවේ ටෙලිකොම් මෑන්පවර් අරගල භූමියේ පැවති සංගීතමය රාත්‍රිය එයට එක් උදාහරණයකි. අජිත් කුමාරසිරි ඇතුළු සහෘදයින් විසන් අරගලයේ නියුතු සහෝදරවරුන් සමඟ එකතුව හෝරා කිහිපයක් පුරාවට ක්‍රියාත්මක වුනු එම “වීදී සංගීතමය වැඩසටහන” අරගලයට සංගීතය සහ කලාව තුලින් දැක්විය හැකි දායකත්වය පිළිබඳව පර්යේෂණාත්මක වැඩසටහනක් විය. වික්ටර් හාරා, ජෝන් ලෙනන් වැනි මේ හා සම්බන්ධ ජාත්‍යන්තර තලයේ උදාහරණ බොහෝ ඇතත් ශ්‍රී ලංකාවේ අප තවමත් එයට ආගන්තුකය. එහිදී අජිත් පැවසූ පරිදී ‘කලාව විසින් මේ යුගයේදී ඉටු කරමින් සිටින්නේ පවතින ක්‍රමයට අවශ්‍ය පරිදී ජන මනස සකස් කිරීමයි. ඒ නිසා අප උත්සහ දැරිය යුත්තේ එයට ප්‍රතිවිරුද්ධව පවතින ක්‍රමය වෙනස් කිරීමට කලාව, සංගීතය යොදා ගත හැක්කේ කෙසේද යන්න උරගා බැලීමය”.

ටෙලිකොම් මෑන්පවර් අරගලය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති මේ මොහොතේ එය ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට හැකි අයුරින් දායක වීම අප සැමගේ වගකීමකි. මන්ද, එය ටෙලිකොම් සේවකයින්ට පමණක් නොව පොදුවේ අප සැමට අදාළ වන බරපතල ගැටළුවක් වන බැවිනි. එමෙන්ම, ටෙලිකොම් මෑන්පවර් සේවකයින් මේ මොහොතේ ලබන ජය, එවැනි අනෙක් අරගල වලට උත්තේජනයක් සහ ශක්තියක් සපයනු ඇත.

*කතුවරයා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සංධානයේ සාමාජිකයෙකි

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.