Colombo Telegraph

වී මිලදී ගැනීමේ ගැටළුව සහ විකල්ප ක්‍රමවේදයක අවශ්‍යතාවය

උපුල් වික්‍රමසිංහ

උපුල් වික‍්‍රමසිංහ

“උනුත් එකයි, මුනුත් එකයි” යන වැකිය ශ්‍රී ලාංකීය සමාජයට එතරම් ආගන්තුක වැකියක් නොවේ. විශේෂයෙන්ම පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුල දේශපාලන ක්ෂේත්‍රයේ ‘වාමාංශික’ එසේත් නැත්නම් ‘විකල්ප’ දේශපාලන බලවේග විසින් ප්‍රධාන පක්‍ෂ දෙකට එරෙහිව සමාජගත කරන ලද අදහසකි එය. සැබවින්ම එහි සත්‍යතාවයක් ඇති අතර එයට වාස්තවික පසුබිමක් ද ඇත. නිදහසින් පසු ගතවූ වසර හැත්තෑවකට ආසන්න කාලය තුල රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ භාවිතයෙන්ද එය මනාව ඔප්පු වේ. එනම්, පොදු ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල මෙතෙක් රට පාලනය කල ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම කටයුතු කර ඇත්තේ මූලික වශයෙන් පාලක පංතියේ සුභ සිද්ධිය උදෙසා මිස පීඩිත ජනයාගේ සුභ සිද්ධිය උදෙසා නොවේ. පීඩිත ජන ජීවිතයේ යම් යම් ධනාත්මක විකසනයන් කාලානුරූපව සිදු වී ඇති බව සත්‍යයක් නමුත් ඒවා හුදෙක් පාලක පංතිය විසින් පීඩිත ජනයා යටපත් කර තබා ගනිමින් තම පන්තිමය ස්ථාවරත්වය පවත්වා ගෙන යාමේ ක්‍රියාවලිය ගැටුම් වලින් තොරව පීඩිත පංතියේ විරෝධයන් සමනය කර ගැනීමට ලබා දුන් දේශපාලනික ඇම ලෙස වටහා ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනයින් බලන කල විවිධාකාරයේ දුර්වලතා පැවතියද පාලක පංතියේ එම උපක්‍රමය වර්තමානය දක්වාම බොහෝ දුරට සාර්ථක වී ඇත. විටින් විට සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් තුලින් විවිධාකාරයේ විරෝධයන් පැන නැගුනද ඒවා ධනේශ්වර ක්‍රමය අර්බුදයට යැවීමට සමර්ථ වී නොමැත. එවැනි විරෝධතාවයන්ට තාවකාලික විසඳුම්, වරදාන, වරප්‍රසාද ලබා දෙමින් පීඩිත ජන අරගල දුර්වල කර දැමීමට පාලක පංතියට හැකියාව ලැබී තිබේ. සත්‍ය වශයෙන්ම එය පාලක පංතියේ සුවිශේෂී හැකියාවකට වඩා පීඩිත පංතියේ සංවිධානාත්මකබාවයේ දුර්වලතාවයක් එසේත් නැත්නම් අසමත්බාවයක් ලෙස වටහා ගැනීමට ලියුම්කරු වැඩි කැමැත්තක් දක්වයි.

වත්මන් දේශපාලන ක්‍රමය තුල, ‘උන්’ සහ ‘මුන්’ එකම වන්නේ මන්ද? එසේත් නැත්නම් සුළු වෙනස්කම් පැවතියද ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතර ප්‍රතිපත්තිමය වශයෙන් බරපතල වෙනස්කම් නොපවතින්නේ මන්ද? මෙය හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් අදාළ කරුණක් නොව අනෙකුත් සෑම රටකටම පාහේ අදාළ කරුණකි. උදාහරණයකට, ජෙරමි කෝර්බින් කම්කරු පක්‍ෂයේ නායකත්වයට පත් වීමට පෙර බ්‍රිතාන්‍යයේ කම්කරු පක්‍ෂයේ සහ කොන්සර්වේටිව් පක්‍ෂයේ ප්‍රතිපත්තීන් බොහෝ දුරට සමපාත විය. ඇමරිකා එක්සත් ජනපදයේ තත්වය ද එසේමය. එළඹෙන ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය වෙනුවෙන් වාමාංශයට බර බර්නි සැන්ඩර්ස් සහ රිපබ්ලිකන් පක්‍ෂ අපේක්‍ෂකත්වය වෙනුවෙන් අන්ත දක්ෂිණාංශිකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරට ඒම හේතුවෙන් එම පක්‍ෂ දෙක අතර ප්‍රතිපත්තිමය වශයෙන් යම් ධ්‍රැවීයතාවයක් මේ මොහොතේ ඇති වෙමින් පැවතියද එම පක්‍ෂ දෙකේ මූලික ප්‍රතිපත්තීන් පවා සැලකිය යුතු මට්ටමකට සමපාත වේ. මෙලෙසින්ම, නිදහසින් පසු මෙතෙක් ශ්‍රී ලංකාවේ බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධාන රජයන් සියල්ලේම දේශපාලන-ආර්ථික දැක්ම මූලික වශයෙන්ම සකස් වී ඇත්තේ පවතින ධනේශ්වර ක්‍රමය ආරක්‍ෂා කර ගැනීමටත් වරප්‍රසාද ලත් සුළුතරයකගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමටත්ය. වර්තමානයේ යහපාලන ආණ්ඩුව තුල එම පක්‍ෂ දෙක සම්මුතිගත වීම තුල ඔවුන් අතර ප්‍රතිපත්තිමය වෙනසක් නොමැති බැව් තවදුරටත් පසක් වේ.

මෙම මූලික පෙරවදන අවශ්‍ය වූයේ වී අස්වනු නෙලන මේ කාලයේදී වී මිලදී ගැනීම ආශ්‍රිතව පවතින දේශපාලන-ආර්ථික සන්දර්භය කෙටියෙන් සාකච්ඡා කිරීමටත් ගොවි ජනතාවට හිතකර ක්‍රමවේදයක් සකස් කර ගන්නේ කෙසේද යන්න විමසා බැලීමටත්ය. ගොවි ජනතාවගේ පැත්තෙන් නිරන්තරයෙන් එල්ල වන චෝදනාවක් වන්නේ කෙතරම් හොඳ අස්වැන්නක් ලැබුනද වියදමට සරිලන ආදායමක් ලබා ගැනීමට තරම් ඉහල මිලකට වී විකුණා ගත නොහැකි බවය. සංඛ්‍යා ලේඛන වලට අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශීය සහල් අවශ්‍යතාවයෙන් 95% කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුලම නිපදවීමට හැකියාව ලැබී තිබේ. කෙසේවෙතත්, තම අස්වැන්නට නිසි මිලක් නොලැබීම නිසා මිලියන 1.9 කට ආසන්න ගොවි ජනතාව, එසේත් නැත්නම් සමස්ත ජනගහනයෙන් 32% කට ආසන්න ප්‍රමාණයක් තම ශ්‍රමයට සහ නිෂ්පාදන වියධමට සරිලන ආදායමක් නොලැබීමෙන් බරපතල දුෂ්කරතාවයන්ට දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ පාමින් සිටී. මෙම ගැටලුවට පිළියම ලෙස පසුගිය රජය මෙන්ම වර්තමාන රජයද ලබා දී ඇති මූලික විසඳුම වන්නේ වී වලට සහතික මිලක් නියම කර එම මිලට රජය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමයි. බැලූ බැල්මට මෙය ජනතාවාදී පියවරක් ලෙස පෙනී යන නමුත් සෑම රජයක් විසින්ම එය තම දේශපාලන වාසිය වෙනුවෙන් යොදා ගත් මූලික වැඩපිළිවෙලක් විය. විශේෂයෙන්ම රටේ සැලකිය යුතු පිරිසක් කෘෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගෙන තිබෙන සන්දර්භයක මැතිවරණ වලදී ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට මෙම වැඩපිළිවෙල මහඟු රුකුලක් වී ඇත.

රජය විසින් වී මිලදී ගැනීම ගැටළුවට විසඳුමද?

සැලකිය යුතු කාලයක් තිස්සේ සිදු කෙරෙන රජය විසින් සහතික කරන ලද මිලකට වී මිලදී ගැනීමේ මෙම ක්‍රියාවලිය තුලින් ගොවි ජනතාවගේ අස්වැන්නට නිසි වටිනාකමක් ලැබෙනවා දැයි විමසා බැලීම අත්‍යවශ්‍ය කරුණකි. මහවැලි H කලාපයට අයත් තඹුත්තේගම, පහලගම ප්‍රදේශයේ මාස කිහිපයක කාලයක සිට කෘෂිකාර්මික ජන ජීවිතය සහ ඒ ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු වල නිරත වන මෙම ලියුම්කරුගේ අත්දැකීම්වලට අනුව සහතික මිලට රජය විසින් වී මිලදී ගැනීම රජය ගොවිජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා යන දෘෂ්ටිවාදීමය අදහස මහජන විඥානය තුල තහවුරු කරමින් දේශපාලනික වාසි ලබා ගැනීමට භාවිත කරන ක්‍රියාවලියකි. රාජපක්‍ෂ රෙජීමය විසින් ආගම, ජාතිය, රට බේරා ගැනීම වැනි අනෙකුත් සංවේදී කාරණා සමඟ මනාව සංකලනය කරමින් ගොවි ජනතාව දෘෂ්ටිවාදීමය වශයෙන් මනාව හික්මවා තබා ගැනීමට සමත් විය. පසුගිය ජනාධිපතිවරණයෙන් ඔවුන්ට රාජ්‍ය බලය අහිමි වුවද තවමත් බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල දෘෂ්ටිවාදීමය බලය සතු වන්නේ රාජපක්ෂවරුන්ටය. නිකෝස් පොලන්සාස් නමැති ග්‍රීක ජාතික මාක්ස්වාදී චින්තකයා විසින් පැහැදිලි කරන පරිදී සමාජයේ හෙජමොනික ආධිපත්‍යය උසුලන පන්තිය සහ රාජ්‍ය පාලනය කරන පන්තිය ඇතැම් අවස්ථා වලදී වෙනස් විය හැකිය. ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින දේශපාලන තත්වයත් එයට යම් දුරකට සමානය. එනම්, රනිල්-මෛත්‍රී කණ්ඩායම රාජ්‍ය බලය හිමි කඳවුර වන විට මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ කණ්ඩායම සැලකිය යුතු මට්ටමකට ග්‍රාමීය ගොවි ප්‍රජාවන් තුල දේශපාලනික හෙජමොනික ආධිපත්‍යයට තවමත් හිමිකම් කියනු ලැබේ. වත්මන් රජය රාජ්‍ය බලය ලබා ගැනීමට සමත් වුවද තවමත් ග්‍රාමීය ගොව් ප්‍රජාවන් දෘෂ්ටිවාදීමය වශයෙන් තමන් වෙත දිනා ගැනීමට සමත් වී නොමැත. ඊට ප්‍රතිපක්‍ෂව, පොහොර සහනාධාරය සහ පාසැල් නිල ඇඳුම් බෙදා හැරීම වැනි ග්‍රාමීය ජනතාවට සෘජුවම බලපාන කරුණු සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රතිපත්තීන් ග්‍රාමීය ජනතාව තවදුරත් රාජපක්‍ෂ දෘෂ්ටිවාදී කඳවුර වෙත තල්ලු කෙරෙමින් පවතී. රාජ්‍යයේ නෛතික බලය සහ දෘෂ්ටිවාදීමය බලය අතර, විශේෂයෙන්ම රජරට ගොවි ප්‍රජාවන් අතර මේ මොහොතේ පවතින්නේ දේශපාලනික වශයෙන් ආතතිකාරී සම්බන්ධතාවයක් වන අතර එය ක්‍රමක්‍රමයෙන් දේශපාලනික අර්බුදයක් වෙත ගමන් කරමින් පවතී. ඩේවිඩ් හාවී විසින් මතු කරන, නවලිබරල් ධනවාදයේ මූලික තේමාවක් වන ‘අර්බුදයක් යනු අවස්ථාවකි’(Crisis is an opportunity) යන්න මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ගොවි සමාජ සම්බන්ධයෙන්ද මනාව අදාළ වේ. ග්‍රාමීය ගොවි ප්‍රජාවන් තුල ඇතිවෙමින් පවතින ඉහත කී දේශපාලනික අර්බුදය තම දේශපාලන වාසිය වෙනුවෙන් පාවිච්චි කිරීමට ජාතිකවාදී දේශපාලන බලවේග මෙන්ම ‘වාමාංශික’ දේශපාලන බලවේගද සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතින බව මනාව පැහැදිලිය.

රජරට ප්‍රදේශයේ ගොවිජනතාවගෙන් සාතිශය බහුතරයකගේ අදහස වන්නේ රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ප්‍රායෝගිකව ඉතාම අසාර්ථක ව්‍යාපෘතියක් බවයි. දැනට රජය විසින් මිලදී ගනු ලබන්නේ හෙක්ටයාරයක් වගා කරන ගොවියෙකුගෙන් උපරිම වී කිලෝ දෙදහසක් පමණි. නමුත් මහවැලි ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාරයක (අක්කර දෙක හමාරක) වී වගා කරන එක් ගොවියෙකුගේ එක් කන්නයක සාමාන්‍ය වී අස්වැන්න වී කිලෝ 4000-6000 අතර ප්‍රමාණයකි. එසේ නම් රජයේ සහතික මිලට ගොවියෙකුට විකුණා ගත හැක්කේ තම අස්වැන්නෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පමණි. තම දෛනික පරිභෝජනයට යම් කොටසක් ඉතිරි කරගත් විට අනෙක් තුනෙන් දෙකකටම ආසන්න වී අස්වැන්න දැනට ගොවීන්ට විකිණීමට සිදු වී ඇත්තේ පුද්ගලික අංශයේ වී මිලදී ගන්නා ව්‍යාපාරිකයින්ටය. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වන්නේ වී ගබඩා කර තබා ගැනීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් රජයට නොමැති බවයි. එමෙන්ම හාස්‍යයට මෙන්ම කණගාටුවට කරුණ වන්නේ රජයට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයින් විසින් 88-89 භීෂණ සමයේදී, එනම් මීට වසර 30 කට පමණ පෙර, ජ.වි.පෙ. විසින් රජයේ වී ගබඩා විනාශ කිරීම මෙම තත්වයට හේතු වී ඇති බව ප්‍රකාශ කිරීමයි. වී මිලදී ගැනීමට ප්‍රමාණවත් වන පරිදී රජයේ ගබඩා පහසුකම් දියුණු කිරීමට පසුගිය දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙතෙක් බලයට ආ රජයන් අසමත් වූයේ මන්ද යන්න ගොවීන්ගෙන් නැගෙන සාධාරණ ප්‍රශ්නයකි.

වී විකුණා ගැනීමේදී ගොවීන් මුහුණ දෙන තවත් මූලික ගැටළුවක් වන්නේ නිර්දේශිත ප්‍රමිතියට අනුකූල වන පරිදී වී වෙලා ගැනීමය. රජයේ වී ගබඩා වලට වී මිලදී ගැනීමේදී නිර්දේශිත මට්ටමට වී වල තෙතමනය නොපැවතුනහොත් ඒවා ප්‍රතික්ෂේප වන අතර එයට හේතුව ලෙස බලධාරීන් පවසන්නේ වැඩි තෙතමනයක් ඇති වී කල්තබා ගැනීමේදී දිලීර සහ අනෙකුත් පාරසරික සාධක නිසා ඒවා භාවිතයට නුසුදුසු තත්වයට පත්විය හැකි බවය. එය සත්‍යයක් නමුත් ගොවීන්ගේ පාර්ශවය මුහුණ දෙන බරපතල ගැටළුව වන්නේ වී කිලෝ 2000 ක් වැනි විශාල ප්‍රමාණයක් එකවර වියලා ගැනීමට අවශ්‍ය පහසුකම් ඔවුන්ට නොමැති වීමය. පුද්ගලික අංශයේ වී මිලදී ගන්නා ව්‍යාපාරිකයින් විසින් තෙත සහිත වී ඉතා අඩු මිලට මිලදී ගනු ලබන බැවින් ආර්ථික වශයෙන් පාඩු වුවත් ප්‍රායෝගික පහසුව සලකා පුද්ගලික අංශයට වී විකිණීමට ගොවීන් බොහෝ දුරට නැඹුරු වේ.

තවත් ආකාරයකින් ගොවීන් පුද්ගලික ව්‍යාපාරිකයින්ගේ ගැටයට හසුවී තිබේ. එනම්, ගොවිතැනට අදාළ කෘෂිරසායන ද්‍රව්‍ය පමණක් නොව එදිනෙදා ජීවිතයේ අවශ්‍ය අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය පවා ණයට ලබා ගැනීමට බොහෝ අවස්ථාවලදී ගොවීන්ට සිදුවේ. මෙහිදී ව්‍යාපාරිකයින් විසින් පනවන මූලික කොන්දේසියක් වන්නේ අස්වැන්න ලැබුණු පසු එය තමන්ටම විකිණිය යුතු බවය. එයට එරෙහිව යාමේ ශක්තියක් බොහෝ ගොවීන්ට නොමැති අතර ඒ තුලින් වී මිලදී ගන්නා මිල ගණන් තීරණය කිරීමේ බලය ව්‍යාපාරිකයින් සතු කර ගැනේ. මෙය විෂම චක්‍රයක් ලෙස දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී. එමෙන්ම තමන් විසින් අඩු මිලට මිලදී ගන්නා වී මාස කිහිපයක් තිස්සේ ගබඩා කර තබා ගැනීමෙන් වෙළඳ පොලේ සහල් මිල ඉහල නැංවීමට කටයුතු කරන ව්‍යාපාරිකයින් තමන් විසින් මිලදී ගත් වී සහල් බවට පත්කර විකිණීමෙන් අධික ලාභයක් උපයා ගනු ලැබේ.

එසේ නම්, ගොවි ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් බැලූවිට දැනට පවතින වී මිලදී ගැනීමේ ක්‍රමවේද දෙකෙන්ම, එනම් රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් විසින් අඩු මිලට වී මිලදී ගැනීම, ගොවි ජනතාවගේ ශ්‍රමයට සහ නිෂ්පාදන වියධමට සරිලන ආදායමක් නොලැබෙන බව දීර්ඝ කාලයක් තිස්සේ නැවත නැවත තහවුරු වී තිබේ.

රජය ජනතාවගේ නියෝජිතයාද?

රජය සම්බන්ධයෙන් සම්ප්‍රදායික වටහා ගැනීම අතිශයින්ම ගැටළුසහගතය. එනම්, රජය යනු පොදු ජනතාවගේ නියෝජිතයාය, රජය සෑම විටම කටයුතු කරන්නේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන්ය, පෞද්ගලික අංශය හුදෙක් ලාභය පෙරදැරි කරගෙන කටයුතු කරන විට රජය කටයුතු කරන්නේ මහජන සුභ සිද්ධිය පෙරදැරි කරගෙනය. මෙම සම්ප්‍රදායික වටහා ගැනීම නිසා කර්මාන්ත සහ ආයතනවල හිමිකාරිත්වය රජයට පවරා ගන්නා විට ඒවා ‘ජනසතු’ කිරීම ලෙස ද වටහා ගන්නට බොහෝ දෙනා පෙළඹෙනු අදටත් දැකිය හැකිය. 1956 දී බලයට පත්වූ බණ්ඩාරනායක රජය බොහෝ නිෂ්පාදන සහ සේවා ආයතන ‘ජනසතු’ කිරීම හේතුවෙන් එම රජය ‘වාමාංශික’ රජයක් ලෙස හඳුනා ගැනීමට ඇතැම් වාමාංශික බලවේග පවා උත්සුක විය. එය එක්සත් ජාතික පක්‍ෂයට එදිරිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලැබුණු ‘වාමාංශික’ අනන්‍යතාවයක් ලෙස බොහෝ ගතානුගතික වාමාංශිකයින්, එසේත් නැත්නම් ‘පැරණි වම’ විසින් අදටත් විශ්වාස කරනු දැකිය හැක. තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර වැන්නන් අදටත් ලාංකීය දේශපාලනය විග්‍රහ කරන්නේ එකී අනන්‍යතා දෙබදුම මත පිහිටාය. ජ.වි.පෙ. ඇතුළු අනෙකුත් බොහෝ ‘වාමාංශික’ පක්‍ෂ වලට පවා රජය පිලිබඳ ඉහත වැටහීමෙන් මිදෙන්නට හැකි බවක් නොපෙනේ. ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ගෙන් පෙනී යන්නේ සියල්ල රජයේ පාලනයට ගැනීම තුලින් සමාජවාදය උදා කරගත හැකි බවය. මෙම අදහස කාල් මාක්ස්ගේ මෙන්ම පසුකාලීනව බොහෝ මාක්ස්වාදී බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් වලටද සපුරාම පටහැනිය. පොලන්සාස්ට අනුව ‘හුදෙක් දේපලවල අයිතිය රජය සතු වූ පමණින් සමාජවාදය ඇති නොවේ. වඩාත් වැදගත් වන්නේ නිෂ්පාදන බලවේග වල අයිතිය කවර බලවේග සතුව පවතීද යන්නයි. එමෙන්ම රාජ්‍ය සමබන්ධයෙන් තවත් ජනප්‍රිය මාක්ස්වාදී අදහසක් වන්නේ ‘රාජ්‍යය යනු පාලක පංතියේ, එසේත් නැත්නම් අධිපති පංතියේ අවශ්‍යතාවය පරිදී ක්‍රියාත්මක වන උපකරණයකි’. එසේනම්, මෙහිදී මතුකළ යුතු මූලධාර්මික ප්‍රශ්න වන්නේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය හුදෙක් රජයේ පාලනයට ගැනීමෙන් ගොවිජනතාවට යහපත් ප්‍රතිඵලයක් ඇති වේද? මෙම ගැටළුවේදී රජය සැබෑ ලෙසම නියෝජනය කරන්නේ ගොවිජනතාවද? එසේනම්, ජ.වි.පෙ. වැනි ‘වාමාංශික’ දේශපාලන පක්‍ෂ පවා රජය විසින් වී මිලදී ගැනීම සිදුකල යුතු යයි උද්ඝෝෂණ, විරෝධතා දියත් කරමින් දැඩි ලෙස අවධාරණය කර සිටින්නේ මන්ද?

අනෙක් බොහෝ සමාජ ගැටළු වලදී මෙන්ම වී මිලදී ගැනීමේ ගැටළුවේදී ද රජය ජනතාව නියෝජනය කරනවා වෙනුවට පාලක පංතියේ සහ පාලක පංතියට හිතවත් සමාජ කණ්ඩායම් වල අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරන්නේය යන්න සක්සුදක් සේ පැහැදිලිය. පවතින සමාජ ක්‍රමය තුල මෙතෙක් පැවති රජයන් මෙන්ම ඉදිරියට පත්වන රජයන් බලයට පත් කිරීම සහ හසුරුවීම සිදු කෙරෙන්නේ ප්‍රාග්ධනය විසිනි. ප්‍රාග්ධන හිමිකාරිත්වයන් විසින් දේශපාලනඥයින් තම පාලනයට නතුකරගෙන ඇත. එමෙන්ම බොහෝ අවස්තාවලදී ප්‍රාග්ධන හිමියන්ම දේශපාලනඥයින් බවට පත් වී ඇති අතර දේශපාලනඥයින් ප්‍රාග්ධන හිමියන් බවට ද පත්වී ඇත. මෙම කාරණය වී මිලදී ගැනීම සහ සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් සලකා බැලූ විට අපට පෙනී යන්නේ පක්‍ෂ බේදයෙන් තොරව බලයට පත්වූ සෑම රජයකටම එය අදාළ බවය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම සහල් නිෂ්පාදන ව්‍යාපාර වන්නේ “නිපුණ” සහ “අරලිය” සහල්ය. පසුගිය රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ සිරිපාල ගම්ලත් “නිපුණ සහල්” අයිතිකරු වන අතර “අරලිය සහල්” හිමිකරු වන්නේ වත්මන් ජනාධිපතිගේ සොහොයුරෙකු වන ඩඩ්ලි සිරිසෙන්ය. තමන්ගේ සහ තම හිතෛශීන්ගේ ව්‍යාපාර වලට අලාභයක් වන පරිදී ගොවි ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා මොවුන් විසින් රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කර තීන්දු තීරණ ගනීවි යයි අපේක්‍ෂා කල හැකිද? කිසිසේත්ම නොහැක.

එසේනම්, ජ.වි.පෙ. වැනි ‘වාමාංශික’ පක්‍ෂ විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය රජය යටතට ගෙන එය රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක කලයුතු බවට දැඩි ලෙස උද්ඝෝෂණය කරන්නේ මන්ද? මුලින් සඳහන් කල පරිදී එයට මූලික හේතුව වන්නේ රජය පිළිබඳව ඔවුන්ට ඇති වැරදි දේශපාලනික කියවීම නිසාය. ‘පිරිසිදු’ දේශපාලනඥයින් පත්කර යවා රජය ‘පිරිසිදු’ කිරීමෙන් සියළු ගැටළු වලට විසඳුම් ලැබෙන බව ඔවුන්ගේ අදහස වී ඇති බව ජ.වි.පෙ. වත්මන් දේශපාලන ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන විට පෙනී යයි. පවතින සමාජ ක්‍රමය වෙනස් කල යුතු යයි නිතර දෙවේලේ කෑ මොර දුන්නද අඩුම තරමින් මෙම ලිපියේ ප්‍රස්තුත කාරණය වන වී මිලදී ගැනීමේ ක්‍රමවේදයේ ව්‍යුහාත්මක වෙනසක් වෙනුවෙන් හෝ ඔවුන් ඉදිරිපත් වනු බවක් දැකිය නොහැකිය. රසායනික පොහොර සම්බන්ධයෙන් මේ වනවිට උද්ගත වී ඇති ගැටළුවේදී ද එය එසේමය. සමලිංගික ප්‍රජාවන්ගේ අයිතීන් සම්බන්ධ කාරණයේදී ද එය එසේමය. මේ නිසා ‘උනුත් එකයි, මුනුත් එකයි’ කියපු ජ.වි.පෙ. ත් එකයි යන්න පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ගොවීන්ගේ වී මිලදී ගැනීම සහ ඒවා සහල් බවට පත්කර වෙළඳ පොලට නිකුත් කිරීමට විකල්ප ක්‍රමවේදයකට යා යුතු බව ලියුම්කරුගේ අදහසයි. එවැනි විකල්ප ක්‍රමවේදයක් තුලින් නිෂ්පාදකයාට, එනම් ගොවියාට තම නිෂ්පාදනයට ඇති අයිතිය තහවුරු කල යුතු අතර ඒ තුලින් තම නිෂ්පාදනයට සැබෑ වටිනාකමක් ලබා ගැනීමට ගොවීන්ට හැකියාව ලැබිය යුතුය. මෙමගින් මාක්ස් විසින් මතුකළ ධනේශ්වර නිෂ්පාදන මාදිලිය තුල නිෂ්පාදකයා තම නිෂ්පාදන වලින් පරාරෝපණය වීම (alienation from the product of labour) නමැති සංසිද්ධිය අභියෝගයට ලක් කරන්නක් විය යුතුය. වෙනත් ආකාරයකට කිවහොත්, ගොවීන් විසින් තම නිෂ්පාදන කළමනාකරණය කිරීමේ කාර්යයේ පාලනය සහ වගකීම අතරමැදි ව්‍යාපාරිකයින් වෙතින් තමන් වෙත පවරා ගැනීමට කටයුතු කල යුතුය. එනයින්, මෙම විකල්ප ක්‍රමවේදය තුල අධිපති ධනේශ්වර ආර්ථික ක්‍රමයට එදිරිව නිෂ්පාදන වල සැබෑ හිමිකරුවන් වන වැඩ කරන ජනතාවට හිතකර දේශපාලන-ආර්ථික ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට අවැසි ශක්‍යතාවය පවතී. එවැනි විකල්ප ක්‍රමවේදයක් ස්ථාපිත කර ගැනීමට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් බොහෝ කෘෂිකාර්මික ප්‍රදේශවල පවතින අතර අවශ්‍ය වන්නේ ඒ සම්බන්ධයෙන් දේශපාලනික සවිඥානිකත්වය සහ ක්‍රියාකාරිත්වයයි. ඒ පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

Back to Home page