Colombo Telegraph

ඇන්. ඇම් සහ විධායක ජනාධිපති ක‍්‍රමය

විජය කුමාර්

ආචාර්ය විජය කුමාර්

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ ජන්ම සංවත්සරය ජුනි 6 වැනි දාට යෙදේ. මේ, එම සංවත්සරය විශේෂයෙන් සැමරිය යුතු වසරකි. හේතුව, විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර දැමීමේ ක‍්‍රියාවලියේ ආරම්භයක් වෙතැයි අප විශ්වාස කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් මේ වසරේදී සිද්ධ වීමයි. ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ අනතුරු කල්තියා පෙර දුටු ඇන්. ඇම්, එම ව්‍යවස්ථාවට එරෙහි ව්‍යාපාරයට නායකත්වය දුනි. ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව යටතේ රටේ අනාගතය කෙසේ වනු ඇත් දැයි යන්න පිළිබඳ විස්තරාත්මක පුරෝකථනයක් වන, 1979 දී ලියා පල කළ ‘‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විග‍්‍රහයක්’’ නැමැති කෘතිය, ඒ වෙනුවෙන් ඔහුගෙන් සැපයුණු කැපී පෙනෙන දායකත්වයකි. මේ ව්‍යවස්ථාව නිසා ඇති විය හැකි අනිටු ප‍්‍රතිවිපාක වශයෙන්, ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන සහ ආරක්ෂණයන් දුර්වල කරමින්, ඒකාධිපති පාලනයක් කරා කෙමෙන් විහිදෙන ගමන් මාර්ගය ඔහු විසින් එදා සිටම පෙරදැකීම ඉමහත් වැදගත්කමක් ගනී.

ඇන්. ඇම්. යනු, 1930 දශකයේ සිට ශ‍්‍රී ලංකාවේ

වාම දේශපාලනය හැඩගැස්වූ දේශපාලනික යෝධයෙකි. දුෂ්කර සටන් තුළින් අත්පත් කරගත්, අද අප භුක්ති විඳින අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයට නායකත්වය සැපයුවේ, ඇන්. ඇම්. සහ ලංකා සමසමාජ පක්ෂයයි.

ඒ අයිතිවාසිකම්වලින් බොහොමයක්, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙරපීම යටතේ කෙමෙන් සෝදාපාළු වීමට එරෙහිව මුදල් ඇමතිවරයා වශයෙන් ඇන්. ඇම්. එදා නැගී සිටියේය. එය, ඔහුටත් ඔහුගේ පක්ෂයටත් නීරස ප‍්‍රතිවිපාක අත්කර දුනි. එතෙක් පැවති බලතුලනය 1978 ව්‍යවස්ථාව තුළින් විපරීත කරමින්, ඒකාධිපති ආණ්ඩුවක් කරා වන ගමන අනතුරුව ආරම්භ කෙරුණි.

ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව හරහා ලංකාව කෙමෙන් ඒකාධිපතිත්වයකට පෙරලෙනු ඇතැ යි යන ඇන්. ඇම්. ගේ අනාවැකි සැබෑ විය. ජේ. ආර්. ප‍්‍රථමයෙන් කෙළේ, විධායක ජනාධිපති ක‍්‍රමයේ ඒකාධිපති බලතල සරිකර ගැනීමයි. එම ක‍්‍රියාවලිය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්ද රාජපක්ෂ කූටප‍්‍රාප්තියට පත්කර ගත්තේය. මේ ඒකාධිපති ගමනට, ඇන්. ඇම්. ගේ උරුමය ප‍්‍රකාරව ලංකා සමසමාජ පක්ෂය එක දිගටම විරෝධය පෑවද, වර්තමානයේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙන්නා පක්ෂයේ තීරණයට එරෙහිව යමින්, 2010 සැප්තැම්බර් මාසයේදී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව නිර්ලජ්ජී ආකාරයෙන් අත් එසැවූහ.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුග‍්‍රහය සහිතව මෑතකදී සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජේ. ආර්. ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බරපතල ආකාරයෙන් දුර්වල කොට තිබීම ගැන ලංකා සමසමාජ පක්ෂය ඉමහත් ප‍්‍රමෝදයට පත්විය යුතුව තිබියදී, මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙන්නා මහින්ද රාජපක්ෂව නැවත බලයට ගෙන ඒම සඳහා අද කැසකැවීම විහිලූවකි. මේ ආස්ථානය ඔවුන් යුක්ති සගහත කර ගැනීමට බලන්නේ, ජාත්‍යන්තර ධනවාදයේ නියෝජිත එක්සත් ජාතික පක්ෂ මහා වෘකයා බලයට පැමිණීම වැළැක්වීමේ හදිසි කර්තව්‍යය ඔසවා තබමිනි. එහෙත්, ඇන්. ඇම්. ගේ උරුමය අපහරණය කරමින් ලංකා සමසමාජ පක්ෂයේ වත්කම් අද පාලනය කරන මේ පිරිස, මහින්ද රාජපක්ෂගේ නව-ලිබරල්වාදය, ගජමිතුරු ධනවාදය සහ පවුල් පාලනය, එදා කෙඳරියක්වත් නොනගා භාර ගත්හ. ඒ මදිවාට, ජනාධිපතිවරණයක් හෝ මහින්ද රාජපක්ෂගේ අපේක්ෂකත්වයක් ප‍්‍රකාශයට පත්වීමටත් කලින්ම, තුන්වැනි වරටත් මහින්ද රාජපක්ෂ බලයට පත්වීම ගැන තම සහාය පළ කළ ප‍්‍රථමයන් වන්නේද ඔවුන් ය. ඉතිං, රාජපක්ෂගෙන් එල්ල වූ පීඩනය යටතේ 18 වැනි සංශෝධනයට පක්ෂව තමන් ඡුන්දය පාවිච්චි කළද, ජනාධිපති වාර ගණන ඉවත් කිරීමට සහ ජනාධිපති ක‍්‍රමය තිරිහන් කිරීමට තම විරෝධය පෑවේ යැයි අද ඔවුන් අතනමෙතන කසුකුසු ගෑම අප බරසාරව ගත යුතු නොවේ. ඇන්. ඇම්. ගේ සැබෑ සමසමාජ පක්ෂය නම් කළ යුතුව තිබුණේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කැප වන පොදු අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ ප‍්‍රයත්නය දියත් කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට’ එදා සක‍්‍රීය දායකත්වය සැපයීමයි.

විධායක ජනාධිපති ක‍්‍රමයේම එල්ලීමට බැලූ මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ක‍්‍රමයට ප‍්‍රතිවිරෝධී වැඩපිලිවෙලක් යටතේ දියත් වූ මෛත‍්‍රිපාල සිරිසේන විකල්පය අතර වෙනස පැහැදිළිව පෙනෙන්ට තිබියදී, ලංකා සමසමාජ පක්ෂය එදා කළ යුතුව තිබුණේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ විකල්ප ව්‍යාපාරයට නොවලහා ගොඩවීමයි. එහෙත් එය එසේ කෙළේ නැත. මහා වෘකයා සමග මෛත‍්‍රිපාල සිරිසේනගේ පැවති සබැඳියාව පිළිබඳ බිය, ඔවුන් ඊට අවසරයක් කරගත් බව පෙනේ. සමසමාජ පක්ෂය ගත් ඒ ආස්ථානයේ පසුබිම පිළිබඳ සැබෑ වැටහීමක්, සමහර විට, බැසිල් රාජපක්ෂ විසින් සොරකම් කරන ලදැයි කියන ‘දිවි නැගුම’ අරමුදල් සම්බන්ධයෙන් දැනට කෙරීගෙන යන පූර්ණ පරීක්ෂණ අවසන් වූ පසු, අපට ලබාගත හැකි වන්නට පුලූවන.

ඇන්. ඇම්. පෙරේරාගේ සමසමාජ පක්ෂය, ස්වාධීන වූත්, අධිෂ්ඨානශීලී වූත් පක්ෂයකි. එය, රුදුරු මහා වෘකයන් ඉදිරියේ, උන් බැටළු සම් පොරවාගෙන සිටියේ වුව, උන්ට බිය නොවූ සහ උන්ගේම කෙළිබිමේ උන්ට මුහුණදුන්, අභීත පක්ෂයකි. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්ෂ පාලනයට ගැති වීමේ නියාළු චර්යාව විසින් මේ පක්ෂය පරපුටු ඒකකයක් බවට රූපාන්තරණය කොට තිබේ. ඒ කෙතෙක් ද යත්, බලවත් දේශපාලනික ව්‍යාපාරයන්ට යටහත් වන දීන භූමිකාවක් තුළ පමණක්ම දිවි ගැටගසා ගැනීමේ ඉරණමට එම පක්ෂය අද ගොදුරු කරනු ලැබ තිබේ.

මහින්ද රාජපක්ෂ කඳවුරට අද ඔවුන් ගාල් වීම අන් කවර ආකාරයකින් නම් අවබෝධ කරගන්නද? මහින්දව යළි බලයට ගෙන ඒම සඳහා මොවුන් පාවිච්චි කරන, කලක් සැඟව තිබුණු මුත් දැන් පැහැදිළිව හෙළිදරව් වී ඇති ප‍්‍රධාන මෙවලම වන්නේ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ ගම්මන්පිල වැන්නන්ගේ අන්තවාදී ආස්ථානයන් මගින් සවිබල ගැන්වෙන, මහින්ද රාජපක්ෂගේ මුග්ධ වර්ගවාදයයි. 2004 දී ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’ ගොඩනගන අවස්ථාවේ, මෙවැනි පිරිස් සමග ඇයිහොඳයියට ඇති අකමැත්ත නිසාම, එම සන්ධානයට ඇතුළු වීම ලංකා සමසමාජ පක්ෂයත්, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් ප‍්‍රතික්ෂේප කෙළේය. ඒ වෙනුවට එදා ඔවුන් බැලූවේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ඇති කරගන්නා මැතිවරණ එකඟත්වයක් ඇති කර ගැනීමටයි. ජාතික ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් වෙනුවෙන් එක දිගට පෙනී සිටි සහ වර්ගවාදයට එකහෙලා විරෝධය පෑ ඇන්. ඇම්, ස්වකීය පක්ෂය මහින්ද රාජපක්ෂව යළි බලයට ගෙන ඒම සඳහා අද අත්වැල් බැඳගෙන සිටින මේ අපූරු සගයන්ව දැක්කොත්, සිය මිනී වළේ සිට ලැජ්ජාවෙන් ඇඹරෙනු නොඅනුමානයි.

දේශපාලනික මතකය සාමාන්‍යයෙන් කෙටිකාලීන වන බව ඇත්ත. එහෙත්, මහින්දගේ දෙවැනි ධුර කාලය තුළ අනාවරණය වූ ඒකාධිපති බල කාමය, මානව හිමිකම් කෙරෙහි ඔහු තුළ තිබූ අවඥාව, අතුඉති විහිදුණු ¥ෂණය සහ ඔවුන්ගේ පවුල් පාලනය ඇස්පනාපිට අත්දුටු කිසිවෙක්, සිහිකල්පනාව ඇතොත්, මහින්ද රාජපක්ෂව යළි බලයට පත් කිරීම සඳහා කටයුතු කිරීමට තබා, අඩු වශයෙන් ඒ අරභයා වන හිතළුවක් ඇති කර ගැනීමටවත් කෙසේ නම් සමත් වෙයිද?

විධායක ජනාධිපති බලතල ඉවත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගිය මාසයේ සම්මත කර ගැනුණි. කෙසේ වෙතත්, ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවට එරෙහිව ඇන්. ඇම්. ඇරැුඹූ අරගලය එයින් නිමා වුණේ නැත. මන්ද යත්, එම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය තවමත් නොනැසී පවතින බැවිනි. අනාගතයේ බලයට පත්විය හැකි කූට ජනාධිපතියෙකු ආපසු මේ රට ඒකාධිපති මාර්ගයකට අවතීර්ණ නොකරතැයි ගත හැකි සහතිකයක්, මේ 19 වැනි සංශෝධනයට ඇතුළත් නොවේ. 18 වැනි සංශෝධනයේ පැවති නරක අංගෝපාංග සමහරක් ඒ හරහා ඉවත් කෙරී ඇතත්, තවත් ඒකාධිපතිත්වයකු බිහි වීම වළක්වාලන තරමට විධායකයේ බලය කප්පාදු කිරීමක් එයින් සිදුකෙරී නැත. එසේ හෙයින්, විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කිරීමේ සෝභිත හිමියන්ගේ සිහිනය තවම තිබෙන්නේ ඈතිනි. එසේ වුණේ, 19 වැනි ව්‍යවස්ථාවට අදාළ මුල් කෙටුම්පතේ තිබූ ඇතැම් වගන්ති දියාරු කිරීමට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ කල්ලිය වගබලාගත් හෙයිනි. කුප‍්‍රකට නීති මහාචාර්යවරයාද ඒ අතර වෙයි. මොවුන් කිසිවෙකු, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන අවස්ථාවේ හෝ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඒවාට එරෙහිව කටක් ඇරියේ නැත.

විධායක ජනාධිපති ක‍්‍රමයේ බොහෝ බලතල තවම නිරුපද්‍රිතයි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ මුල් කෙටුම්පතේ තිබූ වගන්ති බාල කොට ඇත. ‘ව්‍යවස්ථා සභාවේ’ ස්වාධීනත්වය, එහි සංයුතියෙන් බහුතරයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බවට පත් කිරීමෙන්, බාල්දු කොට ඇත. එසේ හෙයින්, ඒ මගින් පත් කිරීමට නියමිත වෙනත් ස්වාධීන කොමිෂන් සභාවල ගරුත්වය හෑල්ලූ වී තිබේ.

පවතින විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කොට ජනතා හිතවාදී අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම තුළින් ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීම අරභයා වූ ඇන්. ඇම්. ගේ අපේක්ෂාව තවම සාක්ෂාත් වී නැත. තම වරදාන පස්සේ මෙතෙක් දිවූ සහ විධායක ජනාධිපති බලතල ඉදිරියටත් පවත්වා ගැනීම හරහා තවදුරටත් ඒ වරදාන ආරක්ෂා කර ගැනීමට බලන පාර්ලිමේන්තුවේ සිටින අලූකුත්තේරුවන්ගෙන් නිදහස් වීමේ අවස්ථාවක් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රටේ ජනතාවට උදා වන්නේය. ඇන්. ඇම්. වෙනුවෙන් මෙරට ජනතාවට දැක්විය හැකි ශ්‍රේෂ්ඨතම උත්තමාචාරය වන්නේ, 2016 ඊළඟ ඇන්. ඇම්. අනුස්මරණ දිනය ළඟා වන විට, ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව සහ විධායක ජනාධිපති ක‍්‍රමය, ඉතිහාස පොත්වල ලියැවෙන අතීතයකට පමණක් සීමා කර තැබීමට වගබලා ගැනීමයි.

*ආචාර්ය විජය කුමාර්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකු වන අතරේ, ‘ලංකා වතු සේවක සංගමයේ’ සභාපතිවරයාද වන්නේය.

Back to Home page