Colombo Telegraph

කරළියේ ඇත්තන් ය නැත්නම් පඹයන් ය

විශ්වමිත‍්‍ර 1984

ලිබරල් සාරධර්ම ප‍්‍රහාරයට ලක්වන විට ඊට එරෙහිව නිතරම පාහේ මුලින්ම නැගී සිටින්නෝ, බුද්ධිමත්තු, විද්‍යාර්ථීහූ සහ කලාකරුවෝ ය. ඒ සඳහා කාලයක් ඇත්තේ ද, මූල්‍යමය සුනැමියාවක් පිළිබඳ යම් හැඟීමක් ඇත්තේ ද, ඔවුන්ට ය. තමන් සිතින් ගත් වටිනාකම් ඉදිරියේ එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව නිතරම කතා කරන්නේ ද ඔවුන් ය. ලිබරල් වටිනාකම් සෝදාපාළුවට ලක්වීමෙන් වැඩියත්ම රිදුම් කන්නේ ද, බොහෝ විට, ඔවුන් ය. ඊට හේතුවක් තිබේ. එය අතිශය සුජාත හේතුවකි. මර්දනයේ බයිනෙත්තුව යට මුලින් පහර කන ලිබරල් සාරධර්මවලින් එකක් වන්නේ ප‍්‍රකාශනයේ නිදහසයි. කලාකරුවන් සහ බුද්ධිමතුන් හුස්ම ගන්නා ඔක්සිජන් වායුව වන්නේ, මේ කියන ප‍්‍රකාශනයේ නිදහසයි: ඔවුන්ගේ හුදු වෘත්තීයමය ජීවිකාවන් ද බොහෝ කොට රැුඳී පවතින්නේ, තමන්ගේ හැඟීම්, මනෝ භාවයන් සහ චින්තාවන් ප‍්‍රකාශයට පත්කිරීමට ඔවුන්ට ඇති නිදහස මත ය.

ගරු කටයුතු ගායකයෙකු සම්බන්ධයෙන් ගත් විට, සම්භාව්‍ය ගීයක් යනු, ගේය පද රචනාවක් සංගීත ප‍්‍රස්ථාරයකට දැමීමක් නොව, ඔහුගේ හෝ ඇගේ කලාත්මක සහ සංස්කෘතිකමය භාව ප‍්‍රකාශනයක් ඉදිරිපත් කිරීමකි. සාර්ථක සංගීතඥයෙකුට සංගීත සංධ්වනියක් යනු, සංගීත භාණ්ඩ සහ සංගීත ප‍්‍රස්ථාර වැයීමේ නිපුණතාවෙන් යුත් පිරිසකගේ එකතුවක් නොව, තමාගේ සංස්කෘතික සහ වෘත්තීයමය පුද්ගල භාවය, තමා වෙතින් ගලා එන නිදහස් අදහස් සමුදායේ සංගීතය හරහා ප‍්‍රකාශයට පත්වීමකි. ඔවුන් විශාරදයන් සේ පෙනී සිටින මුත්, ක‍්‍රමය සහ ක‍්‍රමය හසුරුවන්නන්ගේ ප‍්‍රවේණිදාසයන් වීමටවත් නුසුදුසු දෙමුහුන් වෘත්තීකයන් වන්නේ නම් මිස, එවැනි ගැහැනුන්ට සහ මිනිසුන්ට සීමා තහනම් තිබිය නොහැකිය.

විද්වතුන් සහ විද්‍යාර්ථීන් ද, තම පර්යේෂණ සහ අධ්‍යයනයන් සඳහා නිදිවරා ඇපකැප වන පිරිසකි. ඔවුන්, තමන්ගේ අවසාන විභාග සමත් වීමෙන් පසුවත් එක දිගටම ඉගෙනීමෙහි යෙදෙන වර්ගයකි. තමන්ගේ න්‍යායන් සහ උපකල්පනයන් පිළිබඳ සාමර්ථතාව සම්බන්ධයෙන් ගත් විට ඔවුන්ට සීමාවන් ඇත්තේ නැත. තම පාණ්ඩිත්‍යය සහ ඥානය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා ඔවුන්ට සීමා මායිම් නැති නිදහසක් සහ ස්වාධීනත්වයක් අවශ්‍ය වන්නේය. පොදුවේ ගත් විට ලෝක ඉතිහාසය තුළත්, විශේෂයෙන් මෑත කාලීන අපේ ඉතිහාසය තුළත්, අධ්‍යාත්මික, කලාත්මක සහ බුද්ධිමය සම්පත කෙරෙහි මිස භෞතික ධනය කෙරෙහි නොරැුඳුණු, සමාජ අවශ්‍යතා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයන් ගත්, ඒ අරභයා බලවතුන්ට අභියෝග කළ මිනිසුන් ගැන අනන්තවත් උදාහරණ තිබේ.

කෙසේ වෙතත්, සියලූ කලාකරුවන්, බුද්ධිමතුන් සහ විද්‍යාර්ථීන්, අති පාරිශුද්ධ සහ අදූෂිත පිරිසකැ යි ගැනීමට අප ඉක්මන් විය යුතු නැත. මොවුන්ගෙන් ඇතැමෙකු, අද අපේ ව්‍යවස්ථාදායක සභා පුරවන ඇතැම් දේශපාලඥයන්ටත් වඩා දූෂිත විය හැකිය. මෙවැනි අමු කලාකරුවන් සහ බුද්ධිමතුන්ගෙන් ඇතැමෙක්, යුද්ධය අවසන් වූ ආසන්න වකවානුවේ ‘යුද ජයග‍්‍රහණයේ’ අභිනන්දනයකැ යි කී කෝට්ටේ රැුළියකටත් සහභාගී වූහ. ඒ අපකීර්තිමත් වේදිකාවේ පෙනී සිටි එකී ගැත්තෝ, යුද්ධයේ දී සැබවින් සටන් කළ සාමාන්‍ය සෙබළුන් හැරුණු කොට, ඊනියා මායිම් ගම්මානවල ජීවත් වූ අසරණ ජනතාව හැරුණු කොට, ‘මරාගෙන මැරෙන’ බෝම්බ නිසා ජීවිත සහ ජීවිකාවන් අහිමි කරගත් තවත් බොහොමයක් අසරණයන් ද හැරුණු කොට, අනිත් සියල්ලන්ම වෙනුවෙන් ස්තෝත‍්‍ර ගායනා කළෝය.

එහෙත් අද, යුද්ධය නිමා වී වසර පහකුත් ගතව තිබියදී පවා, ආණ්ඩුව තවමත් වාදනය කරන්නේ, දේශපේ‍්‍රමයේ සහ එල්.ටී.ටී.ඊ. විරෝධී මන්ත‍්‍රයේ පට්ට ගැසූ පරණ වාදනයමයි. එහි දී, විපක්ෂ නායකයෝ අඩු-දේශපේ‍්‍රමියෝ ය. වැඩි-දේශද්‍රෝහියෝ ය. මේ නිසා, ආණ්ඩුවේ දේශපාලඥයන්ගෙන් සහ ආණ්ඩුවේ ඉහළම තැන්වලින් නික්මෙන හැම වචනයක්ම කෙබරයක් බවට අද පත්ව තිබේ.

මේ ආණ්ඩුව, ජීවමාන බොරුවකි. එහෙත් එය එසේ හැඳින්වීමට, සමහර විට ජනතා විමුක්ති පෙරමුණ සහ කරූ ජයසූරිය සහ සරත් ෆොන්සේකා වැන්නන් හැරුණු විට, වෙන කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. කරූ ජයසූරිය සහ සරත් ෆොන්සේකා තුළ දේශපාලඥයන් වශයෙන් මොන වැරදි තිබිය හැකි වෙතත්, රටේ ප‍්‍රධාන පවුල සහ ආණ්ඩුවේ දූෂිත දේශපාලඥයන්ව සැබෑ නමින් හඳුන්වන්ට ඔවුහූ බිය නොවෙති.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනත් බොහෝ දෙනාට, විශේෂයෙන්, අනාගත නායකත්වය බලාගෙන සිටින්නන්ට මේ නිර්භය භාවය නැත. ඇතැමෙකුගේ අකාර්යක්ෂමතාවත්, තවත් පිරිසක් තම ’ජන්ම උරුමයක්’ ගැන වෙහෙසීමත් සමග ඈඳී ඇති දේශපාලනයේ මේ දෙගිඩියාව, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන විපක්ෂයේ වත්මන් එක තැන පල්වීමට බෙහෙවින් බලපා තිබේ. එසේ නිර්මාණය කෙරී ඇති පරිහානිය විසින් එකී දේශපාලඥයන්ව වඳ පීදුණු දේශපාලඥයන් බවට, ආණ්ඩුවේ හෙංචයියන්ගේ ‘මල්ල කරේ’ දෙස කෙළ හලන දේශපාලඥයන් බවට අද වන විට පත්කොට තිබේ.

කිසිදු විකල්ප විසඳුමක් ඉදිරිපත් නොකොට, විධායක ජනාධිපති ක‍්‍රමය යහපත් ද අයහපත් දැ යි නොකියා, ලංකාව චීන කොන්ත‍්‍රාත්කරුවන්ට තුට්ටුවට විකිණීමේ නිරතව සිටින්නන්ට චෝදනා නොකොට, රටේ ධනය සහ සම්පත් ගිල දමන නග්න ඥාති සංග‍්‍රහය නතර කරන්නැ යි පාලකයන්ට බල නොකොට, තමන් ජනප‍්‍රිය නායකයන් වෙතැයි මේ බොරුකාරයන්ට කටක් ඇර කිව හැක්කේ කෙසේද? එක්සත් ජාතික පක්ෂයේ අද දක්නට ඇති ලොකුම උත්ප‍්‍රාසය වන්නේ, ජනතා ඡන්දයෙන් පත්වූ සජිත් පේ‍්‍රමදාස, බුද්ධික පතිරණ, තලතා අතුකෝරල සහ රෝසි සේනානායක ආදීන් දේශපාලන වනයේ හේමන්ත නිද්‍රාවේ පසුවෙද්දී, පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින හර්ෂ ද සිල්වා සහ එරාන් වික‍්‍රමරත්න වැන්නන්, සිය ‘ගවේෂණ චාරිකා’ තුළින් යම් හඬක් නැගීමට සමත්ව සිටීමයි.

පවතින සමස්ත තත්වය වූ කලී, එකම අවුලකි. ජංජාලයකි. එය ඛේදජනක ය. අරුචිකාරී ය.

සියයකට අධික කලාකරුවන්, බුද්ධිමතුන් සහ සමාජ ක‍්‍රියාධරයන් පිරිසක් ප‍්‍රවිශ්ඨ වන්නේ එවැනි ගොහොරුවකට ය. පවතින ආණ්ඩුකරණ පද්ධතියේ වෙනසක් කරන්නැ යි ඔවුහූ ආණ්ඩුවෙන් ද, විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ද ප‍්‍රසිද්ධ ආයාචනයක් කරති. එම ආයාචනයට අත්සන් කොට තිබෙන අය අතර, ආචාර්ය ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, මහාචාර්ය කුමාර් ඬේවිඞ්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ගාමිණී වියන්ගොඩ සහ ප‍්‍රසන්න විතානගේ වැනි කීර්තිමත් පිරිසක් වෙති. වර්තමානයේ රට ගමන් කරමින් තිබෙන භයානක දිසානතිය පෙන්නුම් කරමින් ඔවුන් කියන්නේ පවතින ක‍්‍රමය වෙනස් කරගත යුතුව ඇති බවයි.

එම ආයාචනය තුළ, අද රටේ පවතින තත්වය ඔවුන් විස්තර කරන්නේ, පහත සඳහන් කරුණු ඔස්සේ ය: ‘‘අධික පොළියට ලබාගන්නා විදේශ ණය මත පවත්වාගෙන යන යටිතල පහසුකම් සංවර්ධනයේ මතුපිට පෙනෙන්ට ඇති දියුණුවට යටින් ඇත්තේ පොදු ජනතාවගේ ආර්ථික යහපැවැත්ම කඩා වැටීමකි. ආණ්ඩුවේ එදිනෙදා කටයුතු පවා ගැටගසාගෙන යන්නේ අමාරුවෙනි.

අන්තර්-වාර්ගික හා අන්තර්-ආගමික සම්බන්ධතා පවතින්නේ ද පුපුරනසුළු තත්වයකයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කොට වසර පහකට වැඩි කලක් ගතව ඇතත්, උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවට ඔවුන්ගේ සුජාත අයිතීන් මෙතෙක් හිමිව නැත. ඒ වෙනුවට, නිදහස හා මනුෂ්‍ය ගෞරවය නැති කෙරෙන හමුදාකරණය වූ සමාජයක විසීමට සිදුවීමෙන් ඔවුන් කබලෙන් ලිපට වැටී ඇත. ඒ අතරේ මුස්ලිම් ජනයාට එරෙහිව වෛරය කුළුගන්වන ජාතිවාදී ව්‍යාපාරයක් කලක් තිස්සේ දියත් විය. එහි ප‍්‍රතිවිපාකය වුණේ, අළුත්ගම ඛේදවාචකයයි.

මහජන සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වැනි සේවාවන් මේ වන විට කඩා වැටෙමින් තිබේ. නීතියේ පාලනය බිඳ වැටී, ලංකාව අපරාධවලින් පිරුණු රටක් බවටත්, දණ්ඩමුක්තිය රජයන රටක් බවටත් පත්ව තිබේ. තවද, රටේ මානව හිමිකම් තත්වය පෙර නොවූ විරූ අඩියකට වැටී ඇති අතර රටේ ව්‍යවස්ථාව හා පාලන පද්ධතිය මුළුමණින් විකෘති වී තිබේ.’’

එම තත්වය සැලකිල්ලට ගනිමින් මේ කලාකරුවෝ, බුද්ධිමත්තු සහ සමාජ ක‍්‍රියාධරයෝ පහත සඳහන් ඉල්ලීම කරති:

‘‘රටේ පොදු යහපත ගැන උනන්දුවක් දක්වන සහ වඩා යහපත් හෙට දවසක් දැකීමට අපේක්ෂා කරන පිරිසක් වශයෙන් අප ආණ්ඩුවෙන් ද, ආණ්ඩුවේ සියලූ දේශපාලන පක්ෂවලින් සහ විරුද්ධ පක්ෂවලින් ද ඉල්ලා සිටිනුයේ, දේශපාලන ක‍්‍රමයේ සහ සමාජ ක‍්‍රමයේ පවත්නා දූෂිත, අක‍්‍රමවත් හා අවුල් සහගත තත්වය නැති කොට, රාජ්‍ය පාලනය සහ සමාජ ක‍්‍රියාකාරීත්වය ක‍්‍රමවත් සහ විධිමත් ලෙසත්, මහජන පිළිගැනීමට හේතු වන ලෙසත් යළි සකසා ගැනීම සඳහා, පවතින විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව ආණ්ඩුක‍්‍රමයක් ඇති කරගන්නා තැනකට යොමු වන ලෙස ය. ආණ්ඩු ක‍්‍රියාවලිය කෙරෙහි වන මහජන විශ්වාසයත්, සුජාත භාවයත් යළි ස්ථාපිත කළ හැක්කේ එමගින් පමණි.’’

ප‍්‍රශ්නය වන්නේ, ඌව පළාත් සභා මැතිවරණයට සක‍්‍රීයව දායක වෙමින් තම සැබෑ වගකීම් ඉටු කරන්නැ යි මේ පිරිසෙන් ඉල්ලා සිටීමට කැමැත්තක් ඇති සහ සූදානමක් ඇති කිසි පක්ෂයක් විපක්ෂයේ තිබේ ද යන්නයි. සිටින පාලකයාව පලවා හැරිම සඳහා ජනතාව ඒකරාශී කිරීමට ඔවුන් සූදානම් විය යුතුය. එසේ වෙතොත්, තියඩෝර් විල්සන් කීවා සේ, ඔවුන් ‘කරළියේ ඇත්තන්’ වනු ඇත. නැතහොත්, හුදු පඹයන් වනු ඇත.

*2014 සැප්තැම්බර් 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Artistes And Intellectuals Against The MR Regime…Are They For Real? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page