Colombo Telegraph

ප්‍රජාතන්ත්‍රවාදයේ​ කුළුණු හතරට රාජපක්ෂලා දුන් මරු පහර

විශ්වමිත්‍ර​ –

අපේ ප්‍රජාතන්ත්‍ර​වාදයේ ස්ථායීතාව සහ පෝෂණය රැුඳුණු සම්ප‍්‍රදායික කුළුණු තුන වුණේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයයි. නීතියේ ප‍්‍රභවය වන රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පදනම මත මේ කුළුණු මනාව සවි වී තිබේ. සමාජ පරිණාමයේ ඒ සවිමත් ගතිකත්වයන්ට තවත් එක් අංගයක් එක් විය. එය, ‘සිව්වැනි පර්ෂදය’ වශයෙන් හැඳින්වෙන නිදහස් පුවත්පත් ය. මේ ශක්තිමත් වූත්, තිරසාර වූත් ව්‍යුහය කඩා ඉහිරවීමට නම්, ඒ අංශ හතරට, තනි තනිව හෝ එකට ගෙන හෝ පහර දිය යුතුව තිබේ.

2005 සිට 2014 දක්වා බලයේ සිටි රාජපක්ෂලා ඔවුන්ගේ පැවැත්ම සමග එකට ගැට ගැසී සිටි නින්දනීය සාහසික බලවේග, අපේ ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යයේ ඉහත කී කුළුණු, විටෙක වෙන් කොට ගනිමින් ද, විටෙක එකට ගනිමින් ද, තලාපෙලා දැමීම සඳහා සේවයට කැඳවීය. ඒ, මහින්ද රාජපක්ෂ නැමැති විධායක ජනාධිපතිවරයාගේ තනි අතට බලයේ තෝන්ලනුව පවරා ගැනීමට ය. පවුල කෙරෙහි මහින්ද තුළ පැවතියේ, විශේෂයෙන් ඔහුගේ බිරිඳ සහ පුතුන් තිදෙනා කෙරෙහි පැවතියේ, දැඩි අනම්‍ය බැඳීමකි. ඒ අතරේ අනෙක් සහෝදරයන් තම තමන්ගේ වළවල් ඉහගෙන කමින් සිටි නිසා ඔවුන් ගැන කලබල වීමට හේතුවක් ඔහුට තිබුණේ ද නැත.

කෙසේ වෙතත්, රාජපක්ෂලා තමන්ගේ නිහීන කල්ලිය හරහා ගොතාගෙන සිටි අප‍්‍රමාණ ගැට ලිහා ගැනීමට බලන සාමාන්‍ය කෙනෙකුට, මනා සැලසුමකින් තොරව ඒ ඒ තැනේ හැටියට ගසා ගත් අප‍්‍රමාණ ගැට කන්දරාවක් හමු වනු ඇත. ඒ් ජාලය හරහා රාජපක්ෂලාට ගලා එමින් තිබූ ධනය අසීමිත ය. ඔවුන්ගේ සුඛෝපභෝගී දිවිපෙවෙත් පවත්වාගෙන යාමට, ඒවා පමණටත් වඩා වැඩි විය. ඒ, රටේ සුභසිද්ධිය සඳහා වැය කිරීමට තිබූ ධනයයි. ඔවුන්ගේ ‘සියයට 30’ සහෝදරයා, කිසි ගනුදෙනුකරුවෙකු සමග සාකච්ඡාවට​​ හෝ වාඩි වෙන්නේ, අදාල ගනුදෙනුවෙන් සියයට 10 ක අත්තිකාරමක් ආරම්භයේදීම දෙන්නේ නම් පමණක් ය යන්න ඒ දිනවල ප‍්‍රචලිත කතාවකි. ඔවුන්ගේ ආරක්ෂක අංශයේ සහෝදරයාගේ රාජකාරිය වුණේ, වැඩිමල් සහෝදරයාගේ පාලන තන්ත‍්‍රය මගින් සිදු කෙරෙන අපරාධවල අගමුල හෙළි කිරීම තම ශුද්ධ වූ රාජකාරිය වශයෙන් ගත් අයවළුන්ට තාඩනපීඩන කිරීම, ඔවුන්ව බිය වැද්දීම සහ ඇතැම් අවස්ථාවල ඔවුන්ව පරලොව යැවීම ද විය.

අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ‘ව්‍යවස්ථාව’ නැමැති දුර්වල පදනම රැුඳී පවතින මුලින් සඳහන් කළ කුළුණු හතරට වෙන් වෙන්ව හෝ එක විට හෝ පහර දීම, අපේ රාජ්‍යයේ ස්ථාවරත්වයට පහර දීමට ඇති අගනාම ක‍්‍රමය වන බව ඕනෑම කෙනෙකුට පෙනෙනු ඇත. රාජපක්ෂලා කෙළේ ද එයමයි. 2014 අවසානය දක්වා ඒ කර්තව්‍යය සාර්ථක විය. ඒ සඳහා ඔවුන්ට පහසුවෙන් පාවිච්චි කළ හැකි සුරුවම වුණේ යුද ජයග‍්‍රහණයයි. වැඩිමල් සහෝදර, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අභිමතය වෙනුවෙන් රට කොල්ලකෑමට එය අවසර පත‍්‍රයක් වනු ඇතැයි ඔවුන් ගණන් හදා තිබුණි.

එය කිරීමට ඔවුන් පියවර ගත්තේ කෙසේදැ යි අපි පිරික්සා බලමු.

ව්‍යවස්ථාදායකය

අපේ ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමේන්තුවයි. මමංකාරය පුම්ඹන ඕනෑම පනතක් හෝ කෙටුම්පතක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබා ගැනීමට කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ මහින්ද රාජපක්ෂ වගබලා ගත්තේය. ඒ සඳහා මන්ත‍්‍රීවරුන්ව ‘නියමිත’ මිලට ඔහු බා ගත්තේය. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ගෞරවය සහ අභිමානය තුට්ටුවට වැටුණි. එදා මහින්ද රාජපක්ෂගේ දාසයෙකුව සිටි, අද ඒ රාජපක්ෂලාව විවේචනය කිරීමෙන් වීරයෙකු වීමට තතනන, මර්වින් සිල්වා වැන්නන්ව ඔහු කැබිනට් ඇමති තනතුරුවලට උසස් කෙළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය කෙනෙකුට අමතක නැත. ජනතා අපේක්ෂා සහ සොඳුරු සිහින මල්ඵල ගැන්විය යුතු වූ ඒ දේවාලය කිළිටි කළ ඔවුහූ, එය සතුව එතෙක් පැවති ඉපැරණි සම්ප‍්‍රදායයන් සහ පුරුෂාර්ථ පාගා පොඩි කර දැමූහ.

විධායකය

විධායකයත් රාජපක්ෂ පාලනය තුළ හතර අතේ වල්මත් විය. හිරගෙදර සිරකරුවන් අතර ඇති වු ආරාවුලක් දඩමීමා කරගෙන නිරායුධ සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිට රතුපස්වල සහ කටුනායක අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමට අණ දීම හරහා මෙන්ම තවත් අනේක විධ ඒකාධිපති විධානයන් ‘රජතුමාගේ’ අභිමතය පරිදි සිදු විය. මේ රාජපක්ෂ පාලනයේ තිත්ත රස ඉස්මත්තට ආවේ 2015 ජනාධිපතිවරණයේදී ය. එහිදී ජනතාව ඔවුන්ව වැරදිකරුවන් කළෝය. ඒ අනුව, රාජපක්ෂලා මැදමුලනට පසුබැස්සෝය.

රාජපක්ෂලාගේ විධායක චින්තනය තුළ වැඩ කෙළේ තනි කාරණයකි. එනම්, යුද ජයග‍්‍රහණය ආරක්ෂණ වළල්ලක් සේ තම පාවිච්චියට ගත යුතු බවයි. එය හරියට, ගංවතුරකට ගහගෙන යන තරුණියකගේ ජීවිතය බේරා ගැනීමෙන් පසු එම තරුණිය දූෂණය කිරීමට තමන්ට අවසරපතක් ලැබිණැ යි කෙනෙකු සිතන්නා සේ ය.

රාජපක්ෂලාට එරෙහිව නැගෙන ප‍්‍රධාන චෝදනා ගණනාවක් පහත සඳහන් වෙයි.

* 2008 මැයි: ‘ද නේෂ්න්’ පුවත්පතේ සහකාර කර්තෘ සහ ආරක්ෂක තීරු රචක කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ බන්ධනයට පාත‍්‍ර කිරීම
* 2009 ජනවාරි 6: ‘සිරස’ දෙපානම මාධ්‍ය ආයතනයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම
* 2009 ජනවාරි 8: ‘සිරස’ ආයතනයට පහර දීමෙන් පැය හතළිස් අටක් ගත වීමටත් මත්තෙන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගව අත්තිඩියේදී ඝාතනය කිරීම
* 2009 ජනවාරි 23: ‘රිවිර’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම
* 2009 මාර්තු 25: යාපනේ ‘උදයන්’ පුවත්පත් කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම
* 2009 ජුනි 1: මාධ්‍යවේදී පෝද්දල ජයන්තව නුගේගොඩ දී පැහැරගෙන ගොස් පහර දීම
* 2010 ජනවාරි 24: ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීම
* 2010 පෙබරවාරි 8: සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගැනීම
* 2010 මාර්තු 22: ‘සිරස’ මාධ්‍ය ආයතනයේ සේවකයන් ගණනාවකටත් තුවාල සිදු කොට එහි ප‍්‍රධාන කාර්යාලයට පහර දීම
* 2010 ජුලි 30: ‘සියත’ මාධ්‍ය ආයතනයට පහර දීම
* 2012 නොවැම්බර් 9-10: සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කළ හිරගෙදර ප‍්‍රහාරය
* 2013 ජනවාරි 13: හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව දෝෂාභියෝගයෙන් ගෙදර යැවීම
* 2013 අපේ‍්‍රල් 13: නැවතත්, යාපනේ ‘උදයන්’ පුවත්පත් කාර්යාලයට පහර දීම.. මෙය එම ආයතනයට හෝ එහි සේවකයන්ට කරන ලද 33 වැනි ප‍්‍රහාරයයි.
* 2013 අගෝස්තු 1: ශිෂ්‍යයෙකු ඇතුළු තුන් දෙනෙකු රතුපස්වල දී ඝාතනය කිරීම

අධිකරණය

අපේ අධිකරණය, එදා රට පාලනය කළ පුද්ගලයන්ගේ නිර්දය වූත්, කුරිරු වූත් අවශ්‍යතා සඳහා සේවයට යොදා ගැනුණු ඉත්තෙකු බවට පත්විය. හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක මහත්මියව නින්දාවට පත්කොට, දින කිහිපයක් තුළ අවසන් කරන ලද අසාධාරණ දෝෂාභියෝගයක් හරහා ඇයව එම තනතුරින් ඉවත් කරන ලදි. ඇයගෙන් පසු එම තනතුරට පත්කරන ලද්දේ රාජපක්ෂ දාසයෙකුව ය. අධිකරණයේ ස්වාධීනත්වය රාජපක්ෂලාගේ ගැත්තන්ට යට විය. නුසුදුසු පුද්ගලයන්ව අධිකරණ තනතුරුවලට පත්කරන ලදි. රාජපක්ෂ කල්ලියට අංශු මාත‍්‍රයකින් හෝ විරුද්ධව ගිය ඕනෑම කෙනෙකුව සේවයෙන් පහ කිරීම හෝ වෙනත් ස්ථානවලට මාරු කිරීම සිදුවිය. ජනතාව බලා සිටියහ. එදා විපක්ෂයේ නිශ්ශබ්දතාව සහ බෙලහීනත්වය ඉදිරියේ ඔවුන්ට කරකියා ගත හැකි දෙයක් නොතිබුණි. ‘අධිකරණයේ අන්ධ කත’ අඩන්තේට්ටමට ලක්කොට දූෂණය කෙරුණි. ඕනෑම රටක අධිකරණයක්, පාලකයන්ගේ හිතුමතේට නම්මවාගත් විට, එරට ‘පාහර රාජ්‍යයක්’ බවට පත්වන්නේය. ශ‍්‍රී ලංකාව ඉතා වේගයෙන් ගමන් කරමින් සිටියේ ඒ දිසාවටයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක අභිමානය, සුජාත භාවය සහ නෛතිකත්වය ඉරා දැමූ විට, එම රාජ්‍යය නිරුවත් වන්නේය. පාලකයන්ට රිසි පරිදි හිතුමතේට කටයුතු කළ හැකි පරිසරයක් තුළ එම පාලකයන්ගේ අවකල් ක‍්‍රියා ඉතා පහසුවෙන් මහජනතාවගෙන් සහ නියමිත පාලන අධිකාරියෙන් වසං කෙරෙන්නේය.

සිව්වැනි පර්ෂදය (නිදහස් මාධ්‍ය)

රටක දේශපාලන පද්ධතියේ නිල අංශයක් නොවුණත්, ‘සිව්වැනි පර්ෂදය’ හෙවත් නිදහස් පුවත්පත් යනු, රටක ඉතා වැදගත් බල ක්ෂේත‍්‍රයකි. වක‍්‍රකාර බල මර්මස්ථානයකි. මේ ‘සිව්වැනි පර්ෂදයේ’ බෙහෙවින් ප‍්‍රකට අංශය වන්නේ ප‍්‍රවෘත්ති මාධ්‍යයි. රාජපක්ෂ පාලනය යටතේ මේ අංශය බලවත් ප‍්‍රහාරයට ලක්විය. රාජපක්ෂ පවුලට සම්බන්ධ අක‍්‍රමිකතා පිළිබඳ ඉතා වැදගත් චෝදනා ජනතාව ඉදිරියේ හෙලිදරව් කරමින් සිටි ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහ දවල් ඝාතනය කෙරුණි. ඒ අපරාධකරුවන් තවමත් නිදැල්ලේ ය. රාජපක්ෂ පාලනය පිළිබඳ තවත් විවේචකයෙකු වූ ප‍්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගිය අතර තවමත් ඔහුගේ සිරුර සොයා ගැනීමට නැත. ලසන්තගේ වැන්දඹු බිරිඳ වන සොනාලිත්, ප‍්‍රගීත්ගේ වැන්දඹු බිරිඳ වන සන්ධ්‍යාත්, කවදාවත් නොලැබෙන බවක් පෙනී යන යුක්තියක් සොයා තවමත් වෙහෙස වෙති.

යාපනේ ‘උදයන්’ පුවත්පතේ සේවය කරමින් සිටියදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ගැන තවම කිසි යුක්තියක් ඉටු වී නැත. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත සහ කීත් නොයාර් වැනි මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් රාජපක්ෂලා කටයුතු කළ කුරිරු ආකාරය එම රජයේ කැලෑ ගතිය මනාව පෙන්නුම් කළ අවස්ථාවන් වශයෙන් සැලකිය හැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක තිබිය යුතු මේ වැදගත් කුළුණු හතරට රාජපක්ෂලා එල්ල කළ දරුණු ප‍්‍රහාරයන් සහ ඔවුන්ගේ අභිලාෂයන් පරිදි ඒවා යටපත් කර ගැනීම්, අහම්බයක් සිදු වූ දේවල් නොවේ. එසේම, එහෙන් මෙහෙන් කරගෙන ගිය දේවල් ද නොවේ. ඒ සියල්ල, මනාව සැලසුම් කොට ක‍්‍රියාවේ යෙදවූ ක‍්‍රියාවලියකි.

ඒ හරහා රටක් වශයෙන් සහ ජනතාවක් වශයෙන් අපට වැදුණු පහර මාරක ය. නිර්දය ය. නීච ය. අවසානයේ එය පරාජය කෙරුණි. නැවත ඊට හිස එසැවීමට මොනම ඉඩක්වත් නොතැබිය යුතුය.

*2018 අගෝස්තු 29 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Rajapaksas’ Assault On The Four Pillars Of Our Democracy නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page