Colombo Telegraph

ශ්‍රී ලංකාවේ උග්‍ර​ ආර්ථික අර්බුදය: අපතේ ගිය සිව් වරසක් සහ අපතේ යන මැතිවරණ වසරක් 

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

අලූත් ආණ්ඩුවට රෝගියෙකු භාර ගැනීමට සිද්ධ වීම

වර්තමාන ආණ්ඩුව 2015 දී බලයට පත්වන විට ලංකාව තිබුණේ උග‍්‍ර ආර්ථික අර්බුදයක ය.

2012 දී සියයට 9 ක් වශයෙන් පැවති ආර්ථික වර්ධනය, 2013 වන විට සියයට 3.4 දක්වා පහත වැටී, 2014 වන විට තාවකාලික සියයට 5 ක වර්ධන වේගයක නතර වී තිබුණි. එය පවා අඩු වර්ධන වේගයකි. 2010 සිට 2014 දක්වා කාලය තුළ රටේ අපනයන වෙළඳාම ඩොලර් බිලියන 10 සීමාවේ එක තැන රැුඳී තිබුණි. ඒ කාලය තුළ ආනයන වියදම ඩොලර් බිලියන 18 ක් පමණ විය. ඒ අනුව, ලංකාවේ විදේශ වෙළඳ ශේෂයේ ඩොලර් බිලියන 8 ක වාර්ෂික හිඟයක් තිබුණි.

කෙසේ වෙතත්, විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය ප‍්‍රමාණය වසරකට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 5 ක් පමණ වූ බැවින් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් අතර හිඟය ඩොලර් බිලියන 3 ක් පමණ විය. මෙය, රටක ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයක් වශයෙන් හැඳින්වෙයි.

ඒ හිඟය පියවා ගැනීමට සිද්ධ වුණේ විදේශයන්ගෙන් ණය ගැනීමෙනි. වැඩියත්ම, විදේශ වාණිජ ආයතනවලිනි. එම වාණිජ ණය ලැබෙන්නේ ඉහළ පොලී අනුපාතිකයක් සහිත ඉතා තද කොන්දේසි යටතේ ය. බාහිර ණය අර්බුදය වශයෙන් අද හැඳින්වෙන තත්වයේ බීජ හටගත්තේ එතැනිනි. එහිදී, විදේශ රාජ්‍යයන්ගෙන් සහ විදේශ පෞද්ගලික මූල්‍ය ආයතනවලින් 2010 වන විට ලංකාව ලබාගෙන තිබූ ඩොලර් බිලියන 21 ක ණය ප‍්‍රමාණය, 2014 වන විට ඩොලර් බිලියන 43 දක්වා ඉහළ ගොස් තිබුණි. එනම්, දෙගුණයකටත් වඩා ණය කන්ද ගොඩ ගැසීමකි. ඒ ණය ප‍්‍රමාණයෙන්, පෞද්ගලික මූල්‍ය ආයතනවලින් 2010 වන විට ලබාගෙන තිබූ වාණිජ ණය ප‍්‍රමාණය සියයට 20 කි. මෙය, 2014 වන විට සියයට 40 දක්වා වැඩි වී තිබුණි.

අපේ මුළු විදේශ ණය කන්දරාව තුළ තිබූ වාණිජ ණය ප‍්‍රමාණය එසේ අති මහත් අන්දමින් ඉහළ ගොස් තිබීම නිසා, ණය වාරික ගෙවීමේදී මුහුණදීමට සිදු වූ පීඩනය හමුවේ රුපියලේ අගය පහළ යාමට නියමිත විය. එසේ වෙතත්, මූල්‍ය වෙළඳපොළ තුළ කෙරෙන මෑනවීම් මාර්ගයෙන් ඩොලරයේ රුපියල් වටිනාකම 130 ක කෘත‍්‍රීම අගයක් මත හිර කරගෙන තබා ගැනීමට කටයුතු කෙරුණි.

මෙවැනි මූල්‍ය වෙළඳපොල මෑනවීම් හැඳින්වෙන්නේ ‘දුරාචාර තල්ලූව’ වශයෙනි. මහ බැංකුව ක‍්‍රියාවේ යොදවන ‘සදාචාර තල්ලූවක’ සුජාත භාවය ඒවාට නොලැබෙයි. මේ නිසා, විදේශ විනිමය ගනුදෙනු කරන වාණිජ බැංකු තැරැුව්කරුවෝ, මහබැංකුව විසින් අනුදක්නා අනුපාතිකයට ඉහළින් ඉල්ලූම් කොට තිබූ තමන්ගේ ලංසු ඉවත් කරගන්ට වූහ. එබැවින්, ඩොලර් සඳහා වෙළඳපොළේ පවතින සත්‍ය ඉල්ලූම සහ සැපයුම මත තීන්දු විය යුතු රුපියලේ සැබෑ වටිනාකම වෙත ළඟා වීමට නොහැකි විය.

මේ අතර, රාජ්‍ය ආදායම් අංශයේ ද අර්බුදයක් නිර්මාණය වෙමින් තිබුණි. එය සිදුවුණේ, රජයේ ආදායම, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් එක දිගටම පහළ වැටීම නිසා ය. දළ දේශීය නිෂ්පාදිතය යනුවෙන් ගැනෙන්නේ රටේ සමස්ත නිෂ්පාදනයේ මුළු වටිනාකමයි. ඒ අනුව, එම නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට, 2013 රජයේ ආදායම සියයට 13 ක් විය. එය, 2014 වන විට සියයට 11.6 දක්වා පහළ වැටුණි. මේ කාලය තුළ රජයේ වියදම, ඉහත කී දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 18 ක් පමණ විය. ඒ අනුව, රජයේ අයවැය තුළ සියයට 6 ක පමණ හිඟයක් තිබුණි. මේ හිඟය නිසා, එක පැත්තකින් රාජ්‍ය ණය දරා ගත නොහැකි මට්ටමට තවත් ඉහළ ගියේය. අනිත් පැත්තෙන් ඒ හිඟය පියවා ගැනීම සඳහා තවත් මුදල් සැපයීමට සිදුවූ නිසා රුපියල අවප‍්‍රමාණ වුණේය.

මේ විදිහට, ආර්ථිකය සම්බන්ධයෙන් ගත් විට, මේ ආණ්ඩුව භාර ගත්තේ, රෝගී ආර්ථිකයකි.

එහෙත් ආණ්ඩුව අනතුරු ඇඟවීම් නොතකා හැරියේය

රටේ තත්වය එසේ වූ බව අලූත් ආණ්ඩුව නොදැන සිටියා නොවේ. රට මුහුණදෙමින් සිටි ආර්ථික අර්බුදයේ තරම, ‘ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය’ මගින් ඕනෑවටත් වඩා ආණ්ඩුවට දැනුම් දී තිබුණි. අලූත් ආණ්ඩුව දිව්රුම් දීමට මාසයකට කලින්, ‘ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ’ 2014 වර්ෂයේ ආර්ථික තත්වය පිළිබඳ වාර්තාව නිකුත් කොට තිබුණි.

ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්, විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය, නොවැටී සිටිය යුතු බොරු වළවල් කිහිපයක් ගැන, ඉහත කී ආයතනය අනතුරු අඟවා තිබුණි. එකක් වුණේ, පිටරටවලින් ගන්නා ණය සහ ආණ්ඩුවේ සුරැුකුම්පත් හරහා විදේශ මුදල් සංචිතයක් ගොඩනගා ගැනීමේ මෝඩකම නිසා විනිමය අනුපාතිකයේ අගය පහළ වැටීමට ඇති ඉඩකඩ ය. තවත් කාරණයක් වුණේ, භාණ්ඩ හා සේවා අපනයනය කිරීමෙන් මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ශක්තිමත් උපාය මාර්ගයක් සකසා ගන්නවා වෙනුවට, විදේශ විනිමය අවශ්‍යතා සඳහා වැඩි වැඩියෙන් වාණිජ ණය ලබා ගැනීම තුළ ඇති අවදානමයි. තෙවැනි කරුණක් වුණේ, ආණ්ඩුව වෙනුවෙන් පිටරටවලින් ණය ලබා ගැනීම රාජ්‍ය බැංකුවලට පවරා, ආණ්ඩුවේ ණය පිළිබඳ සංඛ්‍යාලේඛන ලස්සණට තබා ගැනීමේ ඇති නොමනා කමයි. හතරවැනි කරුණක් ද පෙන්වා දී තිබුණි. එනම්, සෘජු විදේශ ආයෝජන මුළුමණින් සත්කාරක (සංචාරක* ක්ෂේත‍්‍රයට සංකේන්ද්‍රගත කිරීමෙන් ඇති විය හැකි උපද්‍රවයයි. පස්වැනුව, අයවැය හිඟයේ තරම අඩු කොට පෙන්වීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රාග්ධන වියදම් කපා හැරීමෙන් ඇති විය හැකි දීර්ඝ කාලීන නරක ප‍්‍රතිවිපාක, ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ගත යුතු බවත් ඒ ආයතනය මගින් පෙන්වා දී තිබුණි.

රෝගීව තිබූ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා මේ වාර්තාව අලූත් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති සඳහා පාවිච්චියට ගත හැකි මාර්ගෝපදේශයක් කර ගත යුතුව තිබුණි. එහෙත් එය ආණ්ඩුවේ සැලකිල්ලට නොගැනුණි.

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ආර්ථිකය කැප කිරීම

ආර්ථික ක්ෂේත‍්‍රය මුළුමණින්ම අතහැර අලූත් ආණ්ඩුව තමන්ගේ මුල් හය මාසය ගත කෙළේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථික අර්බුදය උග‍්‍ර වූ අතර එක පැත්තකින් ආර්ථික වර්ධන වේගය බාල වූ අතර අනිත් පැත්තෙන් යෝධ ගෙවුම් ශේෂ ප‍්‍රශ්නයක් ඇති කර ගැනුණි.

විදේශයන්ගෙන් ලබාගෙන තිබූ ණය ආපසු ගෙවීමට ප‍්‍රමාණවත් විදේශ ආදායම් මට්ටමක් නොතිබුණු තත්වයක් තුළ, කල් පිරෙන ණය ගෙවීම සඳහා පමණක් නොව, වාර්ෂික පොලී ගෙවීම සඳහා පවා, විදේශයන්ගෙන් තව තවත් ණය ගැනීමට අලූත් ආණ්ඩුවට සිද්ධ විය. ඒ නිසා, 2014 දී ඩොලර් බිලියන 24 ක් වූ විදේශ ණය ප‍්‍රමාණය 2017 අවසන් වන විට ඩොලර් බිලියන 31 ක් දක්වා ඉහළ ගියේය. මේ තත්වය තුළ විදේශ විනිමය අනුපාතිකය කෙරෙහි එල්ල වෙමින් තිබූ දැඩි පීඩනය හමුවේ රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් බිලියන 4 ක් වෙළඳපොළට මුදා හැරීමට මහ බැංකුවට සිදු විය. එහෙත් එය සාර්ථක වුණේ නැත. එනම් රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට හැකි වුණේ නැත.

අයවැය ඉලක්කම් සමග සෙල්ලම් කරන මුදල් අමාත්‍යවරයෙක්

මුදල් ඇමති රවි කරුණානායක යටතේ මුදල් අමාත්‍යාංශය වැරදි ගණනාවක් කෙළේය. 2016 අයවැය තුළ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වන වියදම් සහ ආදායම් සම්බන්ධයෙන් ඉහළ අගයක් පෙන්නුම් කිරීම සඳහා අපූරු ආදායම් අයිතමයක් ඊට එක් කොට තිබුණි. එනම් අධ්‍යාපනය සහ සෞඛ්‍ය කටයුතු සඳහා පාවිච්චියට ගැනෙමින් තිබූ ගොඩනැගිලි සඳහා වන කල්පිත කුලියක් සඳහන් කිරීමයි. එය, ඩොලර් බිලියන 139 ක කුලී ආදායමක් වශයෙන් දක්වා තිබුණි.

මේ සංඛ්‍යාව එක් වූ විට අයවැය වාර්තාව ලස්සණ විය. එහෙත් එයින් අයවැය ශක්තිමත් වුණේ නැත. මන්ද යත්, එවැනි ආදායමක් යනු, පොතේ සටහන් කෙරෙන සංඛ්‍යාවක් මිස මහ භාණ්ඩාරයට එක් වන සැබෑ ආදායමක් නොවුණු නිසා ය. නොපවතින ආදායම් සහ වියදම් පිළිබඳ සංඛ්‍යා ලේඛන පාවිච්චි කිරීමේ ඇති අවදානම ගැන විවේචනාත්මක ලිපියක් එදා මා ලියා තිබේ. ‘ඉලක්කම් එක්ක ඔට්ටු වීම යහපාලන ප‍්‍රතිපදාව නොවේ’ යන්න ඒ ලිපියේ මාතෘකාව විය.

එහෙත් රවි කරුණානායක ඇමතිවරයා ඒ කාරණය අරභයා දැඩි මතයක සිටියේය. එය, ලංකාව ගැන ලෝකය පුරා සිටින රාජ්‍ය මූල්‍ය විශේෂඥයන්ගේ උපහාසය ඇති කිරීමට එදා හේතු විය. ආණ්ඩුවේ ඒ අඥාන ක‍්‍රියාව නිවැරදි කිරීමට රනිල් වික‍්‍රමසිංහ කිසි ප‍්‍රයත්නයක් ගත්තේ නැත. වාසනාවකට, අයවැය සංඛ්‍යා ලේඛනවල පැවති ඒ විෂමතාව, 2017 අයවැය ඉදිරිපත් කිරීමේදී ඊළඟ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් නිවැරදි කොට තිබුණි.

(ඉතිරි කොටස ඊළගට බලාපොරොත්තු වන්න)

2019 ජනවාරි 7 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka’s Deep Economic Crisis: Wasted Four Years & a Wasting Election Year” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page