Colombo Telegraph

ශ‍්‍රී ලංකා ආර්ථිකය තුළ නවලිබරල්වාදයේ අර්බුදය: පිලිප් ගුණවර්ධන දේශනය, 2016

මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන්

මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන්

ගරු සභාපතිතුමනි, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිඳුන් ඇතුළු පිලිප් ගුණවර්ධන පවුලේ සාමාජික මහත්ම මහත්මීනි, ගරු මැති ඇමති වරුනි, විදේශ තානාපති සේවා නියෝජනය කරන ගරු මහත්ම මහත්මීනි, රැුස්ව සිටින මිත‍්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

පිලිප් ගුණවර්ධන වූ කලී අප ජීවිත කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලන ජීවිතය ආලෝකමත් කළ, එසේම රටේ ඉදිරි ගමන් මාර්ගයන් නිර්ණය කිරීම සඳහා අනුපමේය සේවයක් කළ, රටේ මාක්ස්වාදී සමාජවාදී ව්‍යාපාරයේ ප‍්‍රතාපවත් පුරෝගාමියකු ද, රටේ දේශපාලන ෙක්‍ෂත‍්‍රයෙහි පතාක යෝධයකු ද වූ ගරු කටයුතු ජාතික නායකයෙක් වූයේය. ඔහුගේ අභාවයෙන් පසු එළඹෙන හතලිස් හතර වැනි සංවත්සරය මුල් කොටගෙන පැවැත්වෙන මෙම අනුස්මරණ උත්සවයෙහි ප‍්‍රධාන දේශනය කිරීමට මා ලද ආරාධනය මා භාර ගත්තේ කිසියම් තැතිගැන්මක්ද සහිතව නමුත් මහත් අභිමානයකින් හා සතුටකිනි. මෙම ආරාධනය මා වෙත දැනුම් දුන් ගීතාංජන ගුණවර්ධන මහතාට ද, මට එම ආරාධනය කිරීමට තීරණය කළ ගුණවර්ධන පවුලේ සාමාජික සාමාජිකාවන්ට හා අනුස්මරණ උත්සව සංවිධායක මණ්ඩලයට ද මාගේ හෘදයාංගම ස්තුතිය හිමි වේ.

මම මෙහිදී පිලිප් ගුණවර්ධන මැතිඳුන් පිළිබඳ සවිස්තර ඇගයුමක් කිරීමට අපේක්ෂා නොකරමි. ඔහුගේ ජීවිත කාලය තුළත්, අභාවයෙන් පසුවත් ඔහු පිළිබඳව විවිධ විද්වතුන්, දේශපාලඥයන් හා මාධ්‍යවේදීන් විසින් පළ කරන ලද ලියවිලි සාමාන්‍ය තරමේ පොත් කිහිපයක් පුරවා ලීමට සෑහෙනු ඇත. වර්තමානයෙහි පිලිප් ගුණවර්ධන ගැන හුදෙක් අන්තර්ජාලය හරහා පමණක් ලබා ගත හැකි තොරතුරු හා ඇගයුම් අති විශාලය. මේ නිසා මා මෙහිදී අපේක්ෂා කරනුයේ ඔහු ගැන, මගේ පෞද්ගලික අත්දැකීම් හරහා කතා කළ හැකි, මගේම බුද්ධියට හා හදවතට දැනෙන කරුණු කිහිපයක් පමණක් සඳහන් කොට, මෙම දේශනය සඳහා මට බාර දුන් මාතෘකාව වෙත හැරීමටය.

මා 1959 හි මගේ පාඨශාලා ජීවිතය කෙළවර කළ වසර වන විටත්, පිලිප් ගුණවර්ධන ජීවිතයෙහි අතිශය දීප්තිමත් හා කීර්තිමත් අවස්ථා රාශියක් ගෙවී ගොස් තිබිණි. එම චරිතය පාසල් පන්තිවල සාකච්ජා කෙරෙන, පාසල් ශිෂ්‍යයනට කියවීමට තිබුණු පත පොතට ඇතුළත්වූ චරිතාපදානයක් ව පැවතිණි. ඒ වන විට ඔහු වසර 58 ක් වියැති මුහුකුරා ගිය දේශපාලන නායකයෙක් වූයේය. 1956 හි සිදු වූ සමාජ පෙරළිය හා එහි ප‍්‍රතිවිපාක අප පෞද්ගලිකව අත්දැක ඇත. එම සමාජ පෙරළිය ජනිත කරවීම සඳහා, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා සමඟ මහජන එක්සත් පෙරමුණ තුළට සන්ධානගත වී, පිලිප් ගුණවර්ධන මහතා ඉටු කළ කාර්යභාරය අතිවිශාල විය. 1956 සිදු වූ සමාජ විපර්යාසය අසුරු කොට, එහි සම නායකයකු ගැන කීමට ඇති දෑ වාක්‍ය කිහිපයකින් සාරාංශ කිරීමට සිතීමත් විහිළුවකි. මාර්ට්න් වික‍්‍රමසිංහයන් බමුණු කුලය නමින් හැඳින්වූ සමාජ පන්තියෙන් දේශපාලන බලය පොදුජන පන්ති සභාගයකට මාරු වීමක් 1956 මහ මැතිවරණයෙහිදී සිදු විය. මෙම බල මාරුව කෙටි කාලයකට සීමා වූ බවත්, එහි අනෙකවිධ අඩුපාඩුකම් හා හිඩැස් පැවැති බවත් අපි හොඳින් දනිමු. මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ඇති කළ වෙනස් කම් පසු කල්හි විවිධ පසු බෑම්වලට ලක් විණි. එසේ වුවද එකී වෙනස්කම්වල ශක්තිය හා පොදුජන හිතෛශී බව තවමත් යම් යම් කේෂ්ත‍්‍රයන්හි හඳුනා ගත හැකි තත්ත්වයක පවතී. එම වෙනස්කම් හරහා අධ්‍යාපන පහසුකම් වඩා විශාල පිරිසක් හසු වන පරිදි පැතිර යාම, කුඩා නිෂ්පාදකයන් ලද දිරි ගැන්වීම්, රැුකියා වෙළෙඳපොළ වඩා විවෘත වීම යනාදී වශයෙන් විවිධ මාර්ග ඔස්සේ සාමාන්‍ය ජනයා ලද ජීවිත තල්ලූව අතිවිශාල විය. දුර්වල හා පීඩිත ජන කොටස්වලට, වඩා ඉහළ සමාජ තත්ත්වයන් කරා සංචලනය වීමට ඉඩ ප‍්‍රස්ථා සලස්වමින් පසු කාලයෙහි ක‍්‍රමවත්ව ටිකින් ටික ක‍්‍රියාත්මක වූ සමාජ ආර්ථික ක‍්‍රියාදාම සම්බන්ධයෙන් 1956 වර්ෂය එක්තරා වැදගත් තීරණාත්මක ලක්ෂ්‍යයක් වූ බවට සැක නැත. ඊට කලින් දශක ගණනාවක් තිස්සේ අධිරාජ්‍ය විරෝධී හා ධනේශ්වර විරෝධී අරගලයන්ගෙන් ලද පන්නරය භාවිත කරමින්, 1956 ව්‍යාපාරයේ සම නායකයකු ලෙස පිලිප් ගුණවර්ධනයන් මෙකී සමාජ වෙනස ජනනය කිරීමට දුන් තල්ලූව, 1956 දරුවන් වන අපගේ අති මහත් ගෞරවාදරයට එදත් ලක් වුණු, අදත් ලක් වන කරුණක්ව පවතී.

1956 ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස පිලිප් ගූණවර්ධන ඉතාමත්ම ප‍්‍රසිද්ධ වූයේ හා වැඩිපුරම උපුටා දක්වනු ලැබ ඇත්තේ, ඔහුගේ කුඹුරු පනත සම්බන්ධයෙනි. අප වැනි රටවල කෘෂි කර්මාන්තයේ ඌණ සංවර්ධනයට පිළියමක් ලෙස, එවක සිටි වාමාංශික මෙන්ම මැදි පිළිවෙතේ ආර්ථික විද්‍යාඥයන් හා සංවර්ධනවේදීන් පුළුල් ලෙස හුවා දැක්වූ ප‍්‍රතිපත්ති ක‍්‍රියාදාමයක් වූයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණයයි. පූර්ණ ඉඩම් ප‍්‍රතිසංස්කරණයකට එවක ලාංකේය සමාජ පරිසරය සූදානම්ව නොතිබුණු නිසා දෝ කෘෂිකර්මය, ආහාර හා සමුපකාරය පිළිබඳ ඇමති වූ පිලිප් ගුණවර්ධන හා ඔහුගේ සහායක පිරිස් මුලින්ම අවධානය යොමු කෙළේ වී ගොවිතැන පිළිබඳ ආයතනික ප‍්‍රතිසංස්කරණය කෙරෙහිය. මූලික වශයෙන් අඳ ගොවි ක‍්‍රමයේ ප‍්‍රතිසංස්කරණයක් විනා කුඹුරු ඉඩම් ප‍්‍රතිව්‍යාප්තියක් වෙතට කිසිසේත් යොමු නොවූ කුඹුරු පනත පවා, එවක ඉඩම් හිමි පන්ති අතර ඇති කෙළේ දැඩි විරෝධයකි. පනත තුළ ඉතිරිව තිබූ යම් යම් හිඩැස් හා අඩුපාඩු භාවිත කරමින් තම ඕනෑඑපාකම් ආරක්ෂා කර ගැනීමට ඉඩම් හිමි පන්තීන් ගත් ක‍්‍රියාමාර්ග නිසා ගොවි පන්තියට එමගින් අපේක්ෂිත ප‍්‍රතිලාභ සම්පූර්ණයෙන් නොලැබුණ ද, කුඹුරු පනත ශ‍්‍රී ලංකා කෘෂි නීති හා ඉඩම් නීති පද්ධතියේ ස්ථිරසාර අංග ලක්ෂණයක් හැටියට පැවත ඇත. එහි නිර්මාතෘ කෙටි කලකින් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරලීමට කුඹුරු පනත් විරෝධී පන්තිවලට ශක්තිය ලැබීම ලාංකේය වැඩ කරන හා අඩු ආදායම් පන්තීන්ට වැදුණු බලවත් පහරක් වූයේය.

ප‍්‍රතිපත්ති සම්පාදකයකු ලෙස 1956 ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති හැටියටත්, පසුව අගමැති ඩඞ්ලි සේනානායකගේ ජාතික ආණ්ඩුවේ කර්මාන්ත ඇමති හැටියටත්, ධනහිමි හා ඉඩම් හිමි පන්තිවල විරුද්ධතා මැද්දේ වුව, පිලිප් ගූණවර්ධන කර ඇති සේවය ශ‍්‍රී ලංකා ආර්ථික ඉතිහාසය තුළ ගරු කටයුතු ස්ථානයක දිගටම පවතී. බහුකාර්ය සමුපකාර සමිති ක‍්‍රමය ඇරඹීම, පසුව මහජන බැංකුව බවට වැඩි දියුණුවූ සමුපකාර බැංකු සංකල්පය, බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයේ ශේෂයන් වූ කටුනායක හා ත‍්‍රිකූණාමල බි‍්‍රතාන්‍ය කඳවුරු ඉවත් කරලීම, ධීවර අංශයේ ප‍්‍රගතිය සඳහා ගත් විවිධ ක‍්‍රියාමාර්ග, බස් ප‍්‍රවහණ ව්‍යාපාර, වරාය කටයුතු ආදිය හා සම්බන්ධ මුල් කාලීන ජනසතු ව්‍යාපාර, රාජ්‍ය ව්‍යාපාරවල කාර්යක්ෂමතාව වර්ධන කර ලීම සඳහා කර්මාන්ත ඇමති ලෙස ගත් විවිධ ක‍්‍රියාමාර්ග වැනි ප‍්‍රතිපත්තිමය තීරණ හා ක‍්‍රියාකාරකම් මෙහි ලා සඳහන් කළ හැකි කරුණු කිහිපයකි. පිලිප් ගුණවර්ධන මහතාගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග තුළ දිගින් දිගට ප‍්‍රදර්ශනය වූ කැපී පෙනුණු ලක්ෂණය වූයේ පොදුජන සේවය සඳහා වූ කැපවීමයි. සංකල්පනික සිහින දකින්නකු වූ ඔහු දුරදක්නා නුවණින් ගොඩනැංවූ ප‍්‍රතිපත්ති, පැවතුණ සාමාන්‍ය පරිපාලන තන්ත‍්‍රය හරහා ක‍්‍රියාත්මක වීමේදී මුල් උත්කෘෂ්ට අරමුණු ඉටු නොවන පරිදි විකෘත ව ක‍්‍රියාත්මක වීම නම් ශ‍්‍රී ලංකාවට පමණක් විශේෂ වූ කරුණක් නොවන බව අපි දනිමු.

පිලිප් ගුණවර්ධන තමන් විසූ සමකාලීන ශ‍්‍රී ලංකාවෙහි අනුපමෙය දේශපාලන නායකයෙක් විය. එසේ වුව ද පුද්ගල මට්ටමෙහි දී ඔහු ගත කළ වර්ණවත් නමුත් සරල හා ගෞරවාන්විත ජීවන රටාව අප කවුරුනුත් හොඳින් දැන සිට්, පළල් ලෙස කතා බහට ලක් වුණු කාරණයක් විය. මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ලෙස ගත කළ හැට ගණන් මුල් කාලය, පිලිප් ගුණවර්ධනයන් බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඉවත්ව ගොඩනැංවූ මහජන එක්සත් පෙරමුණ, වාමාංශික ශිෂ්‍ය ප‍්‍රජාව අතර ජනප‍්‍රියව තිබූ වෙනත් කණ්ඩායම් හා තරඟකාරී ව වර්ධනය වෙමින් පැවැති කාලයයි. ඒ කාලයෙහි පේරාදෙණිය සරසවි භූමියට යටත් පිරිසෙයින් මසකට වරක් වත් විරුද්ධ මතධාරී දේශපාලන නායකයකු ආරාධිත දේශන සඳහා කැඳවා ගැනීම විවිධ ශිෂ්‍ය සංගම් විසින් කරනු ලැබිණි. පිලිප් ගුණවර්ධන ගේ දේශන මේ අතර කැපී පෙනුණේ ඔහු තමන් විශ්වාස කළ දේ විරුද්ධ මත හා කිසිම සම්මුතියකට සූදානම් නැති ස්වභාවකින් දැඩි ලෙස ඉදිරිපත් කළ බැවිනි. විටෙක සැර පරුෂ ශරීර විලාශයන් පාමින් ද, සිත් ඇද ගන්නා වේදිකා ඉරියව් යොදා ගනිමින් ද ඔහු කළ දේශන අසා සිටීමට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දේශපාලන මතිමතාන්තර නොතකා ප‍්‍රිය කළහ. පිලිප් ගුණවර්ධන වූකලී චරිත-ශුද්ධියේ, අවංකභාවයේ හා ඒකාග‍්‍රතාවයේ ප‍්‍රතිමූර්තියක් වූයේය. මට කියවන්නට ලැබුණු, 2002 වසරෙහි පළවූ පුවත්පත් ලිපියක, ඉන්දියාවේ හා ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගැනත්, පිලිප් ගුණවර්ධන ගැනත් පතපොත පළ කොට ඇති චාල්ස් වෙස්ලි අර්වින්ගේ උද්ධෘතයකින් මගේ දේශනයේ මෙම කොටස කෙළවර කිරීම මැනවැයි හැෙඟ්.

හෙතෙම උත්තුංග දේශපාලන පෞරුෂයක් හිමිව සිටි, තේජස්වී ජනකාන්ත හා ජවසම්පන්න කාල්පනිකයෙක් (visionary) වූයේය. බොහෝ විට ඔහුගේ දීප්තිමත් මනස තම සගයන් අබිබවා ඉදිරියෙන් ගමන් ගති. ස්වකීය තාරුණ්‍යයෙහිදී හෙතෙම වාමාංශික දේශපාලනයක් යාන්තමින් පමණක් පැවති, ලෝක දේශපාලනයෙන් බොහෝ සෙයින් වෙන්වූ දුපත් දේශයක් තුළ, තමන්ට පිහිට වීමට අතීත අත්දැකීම් කොහෙත්ම නැතිව, ප‍්‍රබල වාමාංශික පක්ෂයක් ගොඩ නැංවීමට සමත් විය…… ඔහු දේශපාලනික වශයෙන් පරාජිත ව සිය ජීවිතය කෙළවර කළ ද, කිසි කලෙකත් තමන්ට වැටහුණු අන්දමින් සමාජවාදී යැයි පිළිගත් අරමුණුවලට පටහැණි ව නම් ක‍්‍රියා නොකෙළේය.

පිලිප් ගූණවර්ධන අප අතරින් වෙන්ව වසර 45 කට පසුව අද අප වාසය කරන ලාංකේය සමාජය හා ආර්ථිකය ඔහුගේ කාලයේ පැවති සමාජයට හා ආර්ථිකයට වඩා, මූලික කරුණු අනුව මෙන්ම මතුපිට්න් පෙනෙන්නට ඇති කාරණා අනුව ද අතිශයින් වෙනස්ය. සමාජ ආර්ථික කේෂ්ත‍්‍රයෙහි අපගේ වත්මන් ගමන් මාර්ග හා අප අපේක්ෂා කරන අරමුණු, පිලිප් ගුණවර්ධන යුගයෙහි අප රට ජනයා අගය කළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමර්ග හා සමාජ අරමුණු වලින් බොහෝ ඈතට ගොස් ඇත.

එදාමෙදාතුර මෙලෙස එකිනෙකින් ඉඳුරා වෙනස් සංදර්භයන් ඇති වීම ආරම්භ වූයේ පිලිප් ගුණවර්ධන අභාවප‍්‍රාප්ත වූ දශකය අවසාන භාගයේ සිට, විශේෂයෙන් 1977 මැතිවරණයෙන් පසු බිහිවූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ සිටය. මේ වනාහි ලෝකය පුරා ධනේශ්වර ක‍්‍රමයේ ස්වරූපය පිළිබඳව ක‍්‍රමයෙන් පැතිර ගිය වෙනස්කම් රාශියකට සමගාමීව ශ‍්‍රී ලංකාව තුළ හඳුන්වා දෙන ලද ප‍්‍රතිපත්ති පද්ධතියක ප‍්‍රතිඵලය වූයේය. ලෝක ධනේශ්වරයෙහි සිදු වූ මෙම විපර්යාස පුළුල් වශයෙන් හැඳින්වෙනුයේ නවලිබරල්වාදී ක‍්‍රමයක් කරා සිදු වූ විපරිණාමයක් හැට්යටය. අන්‍යොන්‍ය වශයෙන් එකිනෙක ශක්තිමත් කරන ආර්ථික, දේශපාලනික හා සමාජීය ප‍්‍රතිසංස්කරණ රැුසක් හරහා මෙලෙස නවලිබරල් රටාවක් කරා ශ‍්‍රී ලංකා සමාජ ආර්ථික ක‍්‍රමය ගමන් කෙළේ, බලයේ සිට්න දේශපාලන පක්ෂ, එසේ නැතහොත් රෙජීම වෙනස්කම් ද මැද්දේ දිගින් දිගිට දශක 04 කට ආසන්න කාලයක් පුරාය. මේ කාලය තුළ සිදු වූ පළමු දේශපාලන පක්ෂ රෙජීම වෙනස 1994 හි සිදු වුවද, එම වර්ෂයෙන් ඇරඹී දශකයක් පමණ පැවති චන්ද්‍රකා බණ්ඩාරනායක ජනාධිපති ධුර කාලය තුළ, 1977 – 1994 සමයෙහි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ක‍්‍රියාත්මක වූ නව ලිබරල් ක‍්‍රමයක් කරා ගමන් කිරීමේ මෙහෙයුම දිගින්දිගටම ක‍්‍රියාත්මක විණි.

2005-2015 කාලය තුළ පාලනය කරගෙන ගිය මීළඟ රෙජීමය ද බොහෝ අංග ලක්ෂණ අතින් නිර්බාධීකරණ පිළිවෙත ගත්ත ද, පුද්ගලීකරණය හා ගෝලීයකරණය සම්බන්ධ ප‍්‍රතිපත්ති අතින් නව ලිබරල්වාදී පිළිවෙතින් ඈත් වීමට යම් වෑයමක් ගති. රාජ්‍ය දේපොළ පුද්ගලීකරණය නොකිරීමේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත්, දේශීය ව්‍යවසායකයන්ට හා දේශීය කෘෂිකාර්මිකයන්ට විශේෂ වරදාන ලබා දීමත් මෙහිදී සඳහන් කිරීම වටී. 2015 වර්ෂයෙහි සිදු වූ දේශපාලන වෙනස්කම් නැවත වරක් රටේ නවලිබරල්වාදී ගමන වේගවත් කරන ආකාරයක් දක්නට තිබේග කාලයක් තිස්සේ – එනම් දේශපාලන නිදහස ලැබීමටත් පෙර සිට – ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රමයෙන් වර්ධනය වූ ශුභසාධක රාජ්‍ය තන්ත‍්‍රයක් පැවැතිණි. මෙය ගොඩ නැගීම සඳහා 1930 ගණන්වල සිට පිලිප්, ඇන්ඇම්, එස්. ඒ. වික‍්‍රමසිංහ වැනි පුරෝගාමීන් විසින් පිහිටුවන ලද වාමාංශික ව්‍යාපාරවලින් දෙන ලද තල්ලූව හා දායකත්වය සිහිපත් කළ මනාය. එකී ශුභසාධක රාජ්‍ය ක‍්‍රමය 1977 සිට නව ලිබරල්වාදය කරා සිදු වූ ක‍්‍රමික ප‍්‍රතිපත්ති විකාශනයෙහි දී පවා අඩු වැඩි වශයෙන් පවත්වා ගැනිණිි. මෙහි ප‍්‍රතිඵලය වූයේ ශ‍්‍රී ලංකාවට මානව සංවර්ධනය අතින් ජාත්‍යන්තර වශයෙන් සාපේක්ෂ ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට හැකි වීමයි. මෙම වර්ෂය (2016) මුලදී ලෝක බැංකු කණ්ඩායමක් ලංකාව සම්බන්ධයෙන් ලියූ වාර්තාවක් ආරම්භ වනුයේ ”බොහෝ අංශවලින් ශ‍්‍රී ලංකාව සංවර්ධනය පිළිබඳ සාර්ථක කතන්දරයකි” යන අතිශය ධනාත්මක ප‍්‍රකාශයෙනි. මෙම නිගමනයට එළඹීමෙහි ලා මෙම වාර්තාවේ කර්තෘවරුන් සංවර්ධන දර්ශක කිහිපයක් භාවිත කර ඇත. පසුගිය දශකය තුළ පැවති 6% ක් පමණ වූ ආර්ථික වෘද්ධිය, දරිද්‍රතාවේ පහළ යාම, සහශ‍්‍රක සංවර්ධන අරමුණු සාර්ථකව ඉටු කර ගැනීම යනාදී වශයෙනි. දැනටමත් අත්පත් කරගෙන ඇති මෙකී ඉහළ මානව සංවර්ධන ශක්තිය මත පදනම් වී ඉදිරියෙහි දී සාර්ථක ප‍්‍රගතිය ලබා ගැනීමේ ප‍්‍රබල අවස්ථා ශ‍්‍රී ලංකාව සතුව පවතින බව ද මෙම ලෝක බැංකු වාර්තාව සඳහන් කරයි. මෙහිලා විදේශීය වෙළෙඳාමේ ඉදිරි වර්ධනයට ඇති ඉඩකඩ, සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා ඇති ශ‍්‍රම බලකාය හා ඉහළ මට්ටමේ භෞතික සම්පත් යනාදී කරුණුවලින් ලද හැකි වාසි අවධාරණය කර ඇත.

පැහැදිලි වශයෙන්ම ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා ඉදිරි කාලය සඳහාත් යෝජනා කරනුයේ නව ලිබරල්වාදී ගෝලීයකරණයයි. එම මාර්ගයෙහි ඉදිරියට ඇදී යාමේදී හමු විය හැකි අභියෝග ඉහත කී වාර්තාවෙහි සඳහන්ය. මේවා ෆිස්කල් අභියෝග, සමාජ අන්තර්ග‍්‍රහණ අභියෝග, යහපාලනය හා තිරසාර භාවය රැුක ගැනීම පිළිබඳ අභියෝග යනුවෙන් විස්තර කර ඇත. වර්තමාන ආණ්ඩුව සඵත කර කියා සිටිනුයේ, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ද, බටහිර ධනේශ්වර දියුණු රටවලින් ද උපදෙස් හා කිසියම් මූල්‍ය දායකත්වයක් ලබමින්, එසේම ඉන්දියාව ඇතුළු විවිධ රටවල් සමඟ ගිවිසුම්වලට එළඹෙමින්, නව ලිබරල්වාදයට කැපවූ දේශීය හා විදේශීය උපදේශකයන්ගේ උපදෙස් යටතේ, මෙතෙක් පැවති රෙජීමවල අඩුපාඩු ද හැඩගස්වා ගනිමින් වඩාත් පරිපූර්ණ ලෙස නවලිබරල් ප‍්‍රතිපත්ති සමුදාය ක‍්‍රියාවට නංවන බවය. මේ කරුණ වඩා පැහැදිලිව හා කැප වීමෙන් යුතුව සංකල්පීකරණය කරනුයේ පවත්නා හවුල් රෙජීමයේ අන්තර්ගත එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ය. එයිනුත් ප‍්‍රධාන වශයෙන් එම පක්ෂයේ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ය. පවත්නා සන්දර්භය තුළ එම සංකල්පීකරණයෙහි දී නවලිබරල්වාදයේ ආර්ථික අංශය මෙන්ම යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් යනාදී දේශපාලනමය අංගෝපාංග ද අවධාරණය කෙරේ. නවලිබරල්වාදයේ ආර්ථික අංශයෙහි ලා වෙළෙඳ පොළ නිර්බාධීකරණය, ගෝලීයකරණය, පුද්ගලීකරණය යනාදී සුපුරුදු අංග ලක්ෂණ අවධාරණය කෙරෙනු දැකිය හැකිය. දේශනයේ ඉතිරි කොටස තුළ මා අපේක්ෂා කරනුයේ, නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියේ මූලික අංගෝපාංග ක‍්‍රියාත්මක කිරීමේදී පැනනගින අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාත්, ලාංකේය සමාජය අපේක්ෂා කරන සමාජ ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙකී ප‍්‍රතිිපත්ති කොතෙක් දුරට සාර්ථක විය හැක්කේ ද යන්නත් සංකල්පීය මට්ටමකින්, එහෙත් ශ‍්‍රී ලංකා පසුබිම් තත්ත්වයන් තුළ, සලකා බැලීමටයි.

නවලිබරල්වාදී ගෝලීයකරණය වත්මන් ලාංකේය රෙජීමයේ ප‍්‍රධානතම සංවර්ධන උපායමාර්ගය වන බවට සාධක රෙජීම නායකයන්ගේ ප‍්‍රකාශ තුළින් මොනවට හෙළිදරව් වේ. ආයෝජනය පිළිබඳ සාකච්ඡුාවන්හිදී, දේශීය ප‍්‍රාග්ධන සම්පාදනයට වඩා දැඩි ලෙස විදේශීය පෞද්ගලික ප‍්‍රාග්ධන සම්පාදනය අවධාරණය කෙරේ. ශ‍්‍රී ලංකා නිෂ්පාදිතයන් සඳහා විදේශීය වෙළෙඳපොළ විවෘත කර ගැනීම, ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනයට පෞද්ගලික විදේශීය ආයෝජන දිරි ගැන්වීම ආදී වශයෙන් නවලිබරල්වාදී ගෝලීයකරණය ගැන වත්මන් රෙජීමය දක්වනුයේ දැඩි විශ්වාසයක් හා ඉහළ බලාපොරොත්තු ය. මේ බව ඉස්මතුව පෙනී යන අවස්ථා ආණ්ඩුවේ ප‍්‍රකාශන, වෙසෙසින්ම ගරු අගමැතිතුමන්ගේ විශේෂ පාර්ලිමේන්තු ප‍්‍රකාශන, එසේම ජනමාධ්‍ය සාකච්ඡුා හා වාදවිවාදවලදී ආණ්ඩුවේ නියෝජිතයන් දක්වන අදහස් ආදිය තුළ කොතෙකුත් කියවා අසා දැක ගත හැකිය.

නවලිබරල් වාදී ක‍්‍රමය යටතේ ලෝක තලයෙහි කේන්ද්‍රීය රාජ්‍ය සම්බන්ධයෙන් පවා, අභ්‍යන්තර ප‍්‍රාග්ධන සමුච්චයේ ක‍්‍රමික පහළ යාමක් ඇති බව විචාරකයන්ගේ අදහසයි. මේ වනාහී අදාළ රටවල අභ්‍යන්තර නිෂ්පාදන සාධක වෙළෙඳ පොළේ වෙනස් වීම් ද, අන්තර්-රාජ්‍ය (transnational) හෙවත් බහුජාතික සමාගම්වල බලපෑමේ ප‍්‍රසාරණය ද වැනි නවලිබරල් වාදය හා සමගාමීව පැන නැගුණු හේතු කාරණා නිසා ජනනය වූ සිද්ධිදාමයකි. නවලිබරල්වාදය යටතේ මේ රටවල ඉහළ සමාජ පන්ති හා දේශීය ආර්ථිකය අතර වෙන් වීමක් සිදුව ඇත. තමන්ට ඉහළ ආදායම් ලැබිය හැකි නම් ඒ සඳහා කළ යුතු ආයෝජන දේශීය ව කරනවා ද, විදේශීය ප‍්‍රාග්ධන වෙළෙඳ පොළවල කරනවා ද යන්න ගැන ධනහිමි පන්ති විශේෂයක් දක්වන්නේ නැත. මොවුන්ගේ අරමුණ ස්වකීය ආදායම් ඉහළ නංවා ගැනීම විනා, සිය රට අභ්‍යන්තරයේ නිෂ්පාදනය වර්ධනය කරලීම හෝ සමාජීය ප‍්‍රගතිය හෝ නොවේ.

ලොව දියුණු ධනේශ්වර රටවල සිට බැහැරට ඇදී යන ප‍්‍රාග්ධනයෙන් / මුල්‍ය ප‍්‍රවාහයන්ගෙන් සෑහෙන විශාල කොටසක් ආකර්ශනය කරගන්නා දියුණු වෙමින් පවත්නා රටවල් පෙළක් ඇත. ආසියාව තුළ චීනය, ඉන්දියාව, වියට්නාමය, මියන්මාරය වැනි, මේ අතින් නිතර කතාබහට ලක්වන රටවල් ඇතත්, ශ‍්‍රී ලංකාවට පසුගිය වසර හතළිහ තුළම විදේශීය ප‍්‍රාග්ධනය ආකර්ශනය කරගන්නා ප‍්‍රමුඛ පෙළේ රටක තත්ත්වයට පත් වීමට හැකි වී නැත. ශ‍්‍රී ලංකාවේ වර්තමාන රෙජීමය ද ලංකාවට පැමිණීමට සූදානම්ව හෝ පොරොන්දු වී හෝ සිටින විදේශීය ආයෝජන ගැන අතිමහත් ප‍්‍රචාරයක් දුන්න ද පෙනෙන්නට ඇති බිම් සත්‍යය නම් එවැනි විශාල විදේශීය පෞද්ගලික ආයෝජන ප‍්‍රවාහයක ආරම්භයක් වත් තවමත් දක්නට නොතිබීමයි. ඒ වෙනුවට ලාංකේය මූල්‍ය වත්කම්වල ආයෝජනය කොට තිබුණු විශාල විදේශීය ප‍්‍රාග්ධන ප‍්‍රමාණයක් පසුගිය වසර තුළ රට හැර ගිය බව නම් සිදුව තිබේ.

දේශීය ආර්ථිකයේ ප‍්‍රගතියට කැප නොවී, තම දේපොළ /වත්කම් විදේශගතව පවත්වා ගනිමින් ස්වකීය පෞද්ගලික ආදායම් ඉහළ නංවා ගැනීමේ ම දැඩි චේතනාවෙන් ක‍්‍රියා කළ / කරන ඉහළ පාන්තික ධනහිමියන් ගැන ලාංකේය ආර්ථික හා සමාජීය සාකච්ඡා වලදී අපට නිතර අසන්නට ලැබී ඇත. නවලිබරල්වාදයේ අර්බුදය යන කෘතිය තුළ එහි කර්තෘන් වන ජෙරාඞ් ඩුමෙනිල් හා ඩොමිනික් ලෙවි තමන් ගේ සුපරීක්ෂාකාරී පර්යේෂණ ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵල පදනම් කොට ඉදිරිපත් කරන පහත දැක්වෙන තර්කය මෙහි කෙරෙන සාකච්ඡාවට අදාළය: “ජාතික ආර්ථිකයන්ගේ ප‍්‍රගතිය හා ඉදිරි ගමන සඳහා ඒවායේ ඉහළ සමාජ පන්ති තුළ ජාතිකවාදය හෝ ජාතිමාමකත්වය හෝ තිබීම තීරණාත්මක සාධකයක් වේ”. මා මෙහි මෙම ලේඛකයන් දෙදෙනා උපුටා දක්වන්නේ ඔවුන් එකහෙලා නවලිබරල්වාදයේ අර්බුදය ගැන ලියා ඇති නිසාය. ජාතිකවාදය හා සංවර්ධනය අතර සම්බන්ධය පිළිබඳ අදහස නම් සංවර්ධන සාහිත්‍යය තරම් ම පැරණි ය. ජාතික සංවර්ධනය සඳහා ජාතික ධනේශ්වර පන්තියක අවශ්‍යතාව ධනේශ්වර මෙන්ම සමාජවාදී දෘෂ්ටිකෝණයන්ගෙන් ද පුළුල් ලෙස සාකච්ඡා කෙරී ඇති මාතෘකාවෙකි. ධනහිමියනට ස්වකීය ධන සම්පත් වර්ධනය කර ගැනීම සඳහා එක්කෝ ලාභ ලැබීමට කාලයක් බලා සිටිය යුතු නිෂ්පාදන ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකිය. එය දුුෂ්කර හා අවදානම් සහිත, එසේම දිගු කල් බලා සිටිය යුතු ක‍්‍රියාදාමයෙකි. එසේ නැතහොත්, අවදානම් සහිත වූවත්, ඉතාම ඉහළ කෙටි කාලීන ලාභ ලබා ගත හැකි වන පරිදි මූල්‍ය වෙළෙඳපොළ තුළ ආයෝජනය කළ හැකිය. පොළී ප‍්‍රමාණවල හෝ විනිමය අනුපාතිකවල වෙනස් වීම් පදනම් කොට කෙරෙන සමපේක්ෂණය හරහා ලාභ ලබා ගත හැකිය. එමගින් ධනකුවේරයන් බවට පත් වූවෝ විදේශිකයන් අතර මෙන්ම ලාංකිකයන් අතර ද වෙතිග ගෝලීයකරණයට ප‍්‍රමුඛතාව දෙන හා නම්‍ය විදේශීය විනිමය ක‍්‍රමයක් පවත්වා ගෙන යන නවලිබරල් ක‍්‍රමයක් යටතේ මුළු ගෝලීය මුදල් වෙළෙඳ පොළ ම ලංකාවේ ධනහිමියනටත් විවෘතය. ගෝලීයකරණය හා මූල්‍යකරණය (globalization and financialisation) සිදු වෙමින් පවත්නා, එසේම ප‍්‍රාග්ධන ගිණුමේ විදේශීය ගනුදෙනු නිර්බාධී කරන ලද, නවලිබරල්වාදී ක‍්‍රමයක් යටතේ, ධනහිමි ඉහළ පන්තිවලට රටේ නිෂ්පාදන කටයුතු තුළ කල් ගන්නා ඍජු ආයෝජනයනට නොගොස්, විශාල වශයෙන් මුදල් ඉපැයිය හැකි ක‍්‍රම හා විධි තිබේ. ජාතික ආර්ථිකයක ප‍්‍රගතිය සඳහා ඉහළ සමාජ පන්තිවල ජාතිකවාදයේ අවශ්‍යතාව ගැන ඉහත ලේඛකයන් දෙදෙනා කථා කර ඇත්තේ එබැවිනි.

එහෙත් සාර්ථක ජාතික සංවර්ධනය සඳහා මීට තවත් කරුණක් එකතු වීම අවශ්‍යය. එනම් දේශීය කාර්මික හා සේවා ව්‍යාපෘතිවල කෙරෙන ඍජු ආයෝජන වඩා ලාභදායක කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම්වල අවශ්‍යතාව ය. වෙළෙඳපොළ ගනුදෙනු ජාතික අරමුණු වෙනුවෙන් මෙහෙයවන, විදේශීය වෙළෙඳාම හා ප‍්‍රාග්ධන සංචලන මත පරිස්සම් සහගතව සීමා පනවන, එසේම මුල්‍ය නොවන අංශයන්ට සේවා සැපයෙන පරිදි බැංකු ඇතුළු මූල්‍ය අංශය සුදුසු පරිදි රෙගුලාසිගත කරන රාජ්‍ය මැදිහත් වීමක් මෙහිලා අවශ්‍යය. නිෂ්පාදනයේ ප්‍රෝත්සාහ ව්‍යුහයන් වෙනස් කරවන ඉහත කී ක‍්‍රියාමාර්ග අනුගමනය කරන්නාවූ ද, එසේම දේශීය හා විදේශීය පෞද්ගලික ප‍්‍රාග්ධනයත්, රාජ්‍ය ප‍්‍රාග්ධනයත් අතර සම්මුතියක් බිහි කර කටයුතු කරන්නාවූ ද සංවර්ධනමය රාජ්‍ය ක‍්‍රමය ගැන සංවර්ධන සාහිත්‍යය කියවා ඇති අය දනිති. දෙවන ලෝක යුද්ධයට පසු සංවර්ධිත තත්ත්වයට පත් වූ සෑම රටකම පාහේ ශීඝ‍්‍ර සංවර්ධනය, ජාතික සංවර්ධනය සඳහා වෙළෙඳපොළ මෙහෙයවීමට ඉදිරිපත් වූ සංවර්ධනමය රාජ්‍ය ක‍්‍රමය හරහා සිදු වූ ආකාරය ප‍්‍රත්‍යක්ෂ මූලක ඓතිහාසික විග‍්‍රහයන් හරහා පෙන්වා දෙන පර්යේෂණ ග‍්‍රන්ථ හා ලිපි ලේඛන වත්මන් සංවර්ධන සාහිත්‍යය තුළ බහුල ව ඇත. පසු ගිය වසරෙහි රෙජීම වෙනස සිදු වන්නට පෙර පැවැති ආණ්ඩු කාලයෙහි මෙවැනි සංවර්ධනමය රාජ්‍ය ක‍්‍රමයක යම්යම් අංගෝපාංග අංකුර මට්ටමෙන් පැවැතිණි. 2015 රෙජීම පෙරැුළියෙන් පසු නවලිබරල්වාදී ගෝලීයකරණයට ලබා දෙමින් තිබෙන තල්ලූව යටතේ ඒ වන විට හෙමින් හා ක‍්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබුණු සංවර්ධනමය රාජ්‍ය අංකුර වියැළී යාමක් දක්නට ඇත.

ගෝලීයකරණය හා මූල්‍යකරණය යන අංග ලක්ෂණ සහිත නවලිබරල්වාදය රටක් තුළ ගොඩ නංවන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති හරහා පාලනය කළ නොහැකි හෝ පාලනය කිරීම අතිශයින් දුෂ්කර මූල්‍ය ව්‍යුහයකි. මෙමගින් දේශීය ෆිස්කල් හා මූල්‍ය ප‍්‍රතිපත්තිවල ඇති ස්ථායීකරණ ශක්තිය දුර්වල කොට එම ප‍්‍රතිපත්ති බොහෝ දුරට අකර්මණ්‍ය කෙරේ. ප‍්‍රාග්ධනය ජාත්‍යන්තර වශයෙන් බාධකවලින් තොරව නිදහසේ සංක‍්‍රාම කිරීමට ඉඩප‍්‍රස්ථා ඇති තරමට සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති දුර්වල වීම නොවැළැක්විය හැකිය. නිර්බාධී වෙළෙඳාමත්, නිර්බාධී ප‍්‍රාග්ධන සංචලනයත් ඇති තැනෙක, පොළී ප‍්‍රමාණ, ණය දීම් ගැනීම් හා විනිමය අනුපාතික පාලනය කොට තබා ගැනීමේ දුෂ්කරතාව වත්මන් ශ‍්‍රී ලංකා රජයේ වසරක් පමණ වන අත්දැකීම් ඇසුරින් ද බලා ගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ නවලිබරල්වාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වූ කාලය පුරාම දක්නට තිබුණු උපනතියක් වූයේ ආනයන ප‍්‍රමාණ හා වටිනාකම් දිගින් දිගටම වේගයෙන් වර්ධනය වීමය. 2015 වසර තුළ මෙම ආනයන වර්ධන උපනතිය වඩාත් තීව‍්‍ර විය. වසර පුරා තෙල් මිල පහළ යාමෙන් තෙල් ආනයන පිරිවැය සියයට 40 කින් පමණ අඩු වුවද, එම වාසිය ද කපා හරිමින් මුළු ආනයන වියදම 2014 මට්ටමේ ම පවතින පරිදි අවශෙෂ ආනයන වඩා වේගයෙන් ප‍්‍රසාරණය විය. කෘෂිකාර්මික මෙන්ම කාර්මික අපනයන ෙක්‍ෂත‍්‍රයන්හි නිෂ්පාදන ප‍්‍රශ්නයන්ට හා අපනයන සඳහා ලැබෙන මිල පිළිබඳ ප‍්‍රශ්නයන්ට සතුටුදායක විසඳුම් නොවූයෙන් අපනයන ආදායම් පහළ වැටුණි. වෙළෙඳ ශෙෂයට අමතර ගෙවුම් ශෙෂයේ අවශෙෂ අංශයන්හි කාර්ය සාධනයෙහි විශේෂ වැඩි දියුණුවක් නොවූයෙන් සමස්ත ගෙවුම් ශෙෂයේ හිඟ තත්ත්වයක් 2015 තුළ වර්ධනය වී ඇත. මේ අතර 2015 ආරම්භයේ සිට රටේ විදේශ විනිමය සංචිත විශාල වශයෙන් පහළ බැස/ බසිමින් ඇත. රුපියල් මාධ්‍යයෙන් ප‍්‍රකාශිත භාණ්ඩාගාර සුරැුකුම් පත්වල ආයෝජිත විදේශීය සම්පත්වල අඩු වීම ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය තවත් උග‍්‍ර කරයි. 2014 දක්වා වසර කිහිපයක් සෑහෙන ස්ථාවරත්වයකින් පවත්වා ගැනුණු රුපියලේ විනිමය අගය 2015 මැද භාගයේ සිට ක‍්‍රමයෙන් පහළ යාමේ උපනතියකට නැවත එළඹ ඇත.

වත්මන් ශ‍්‍රී ලංකා රජය මුහුණ දී ඇති සාර්ව ආර්ථික ගැටලූ අතර, දෙබිඩි ප‍්‍රශ්නයක් ලෙස විනිමය අර්බුදය හා එකිනෙක බැඳී පවතින අනෙක් ප‍්‍රශ්නය වනුයේ රාජ්‍ය අයවැය අර්බුදයයි. සමස්ත අයවැයේ අතිරික්තයන් කෙසේ වෙතත්, යටත් පිරිසෙයින්, ජංගම ගිණුමේ හෝ අයභාර ගිණුමේ පමණක් වත් අතිරික්තයක් පැවැති මුදල් වර්ෂ නිදහසින් පසු ශ‍්‍රී ලංකා ෆිස්කල් ඉතිසාසයෙන් සොයා ගත හැක්කේ ඉතාම කලාතුරකිනි. හිඟ අයවැය පැවැත්වීමේ පුරුද්ද වඩාත් දැඩි ලෙස මුල් බැස ගත්තේ නවලිබරල් ප‍්‍රතිපත්ති පිළිගත් ක‍්‍රමය බවට පත් වීමෙන් පසුවය. වඩා මෑත වසරවල හිඟ අයවැය ක‍්‍රමය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගනිමින්, සමස්ත හිඟය සියයට 5-8 අතර පිහිටි යම් මැජික් ප‍්‍රතිශතයක පවත්වා ගැනීම නිවැරදි අයවැය ප‍්‍රතිපත්තියෙකැයි යන අදහස මුල්බැස ගෙන ඇති බවක් පෙනෙන්නට තිෙබි. ඒ කෙසේ හෝ වේවා, තව දුරටත් කපා දැමිය හැකි නාස්තිකාර හා අනවශ්‍ය වියදම් ඇතත්, නවලිබරල් ප‍්‍රතිපත්ති යටතේ ලංකාවේ හිඟ අයවැය ප‍්‍රශ්නය මූලික වශයෙන් රාජ්‍ය බදු ආදායම් පිළිබඳ ප‍්‍රශ්නයක් සේ හඳුන්වා ලීම නිවැරදි සේ පෙනේ. දේශපාලනික වශයෙන් කපා හැරීමට පුළුවන් බොහෝ වියදම් වර්ග මේ වන විටත් කපා දමා හෝ අවම කර හෝ ඇති නිසාය. නවලිබරල් ප‍්‍රතිපත්ති අනුගමනයට ලංකාණ්ඩු යොමු වූ කාලයේ පටන්, රාජ්‍ය (බදු) ආදායම් දිගින් දිගටම පහළ බසිමින් පැවැත ඇත. මෙම කාලයට පෙර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25 අවට ප‍්‍රමාණයක බදු ආදායම් එකතු කර ගත් ලංකාණ්ඩුව අද එකතු කර ගන්නේ සියයට 10 ක් පමණ වන ප‍්‍රතිශතයෙකි.

මේ තත්ත්වය නවලිබරල්වාදය යටින් දිවෙන යම්යම් අදහස් බදුකරණ ප‍්‍රතිපත්ති හැඩ ගැස්වීමට බලපෑමේ ප‍්‍රතිඵලයෙකැයි හැෙඟ්. මා මෙම දේශනය කෙළවර කරමින් තර්ක කරන පරිදි නවලිබරල්වාදයේ මුඛ්‍ය පරමාර්ථයක් වනුයේ ඉහළ ආදායම් පන්තිවල ආදායම් තවතවත් ඉහළ නැංවීමය. මෙම අදහස එළිපිට ප‍්‍රකාශ නොකොට ගොඩ නංවා ඇති ව්‍යාජ තර්කය නම්, ආර්ථිකයේ වර්ධනයට අවශ්‍ය ආයෝජනය ධනහිම් පන්ති ලවා කරවීම සඳහාත්, ඉහළ ආදායම් ලාභී ඉහළ කළමනාකාර පන්තිවල වැඩ කිරීමේ උනන්දුව ඉහළින් පවත්වා ගැනීම සඳහාත් මෙකී පන්ති මත හැකිතාක් දුරට අඩු බදුබර පැටවිය යුතුය යන්නය. එවැනි සාධාරණීකරණයක් යටතේ ආණ්ඩුවක බදු ආදායම් අඩු වීමකට වඩා වෙනස් ප‍්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකිය.

නවලිබරල්වාදය පිළිබඳව ලෝකය පුරා ක‍්‍රමයෙන් වර්ධනය වී පැතිර ඇති අදහසක්, සිතා බැලීම සඳහා ඔබ වෙත ඉදිරිපත් කොට, මා මෙම දේශනය කෙළවර කිරීම මැනවැයි සිතමි. ලෝකයේ නවලිබරල්වාදී ප‍්‍රතිපත්ති අනුගමනය කැරුණු හැම රටකම ආදායම් ව්‍යාප්ති රටා එකී ප‍්‍රතිපත්ති යටතේ වඩවඩා අසමාන බවට පත්ව ඇත. මේ උපනතිය ගැන සංඛ්‍යාන දත්ත සහිතව පුළුල් ලෙස සංකල්පීකරණය කර ඇත්තේ සංවර්ධිත ලෝකයේ රටවල් සම්බන්ධයෙනි. නිදසුන් ලෙස, අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම ආදායම් ලබන සියයට 1 ක ජනයා රටේ මුළු ආදායමින් සියයට 25 ක් තරම් ඉහළ ආදායම් පංගුවක් භුක්ති විඳිති. නවලිබරල්වාදය ක‍්‍රියාත්මක වී ඇත්තේ ඉහළම ආදායම් තල අතරේ ජාතික ආදායම සංකේන්ද්‍රණය කරවන ක‍්‍රමයක් හැටියට ය. මේ අනුව උපනති හතරක් ක‍්‍රියාත්මක වී ඇත:

  • සාමාන්‍ය මට්ටමේ වැටුප් ලබන්නන්ට මුළු ආදායමෙන් ලැබෙන ප‍්‍රතිශතය අඩු වීම.
  • ව්‍යාපාර ඉතුරුම් ලෙස රඳවා ගන්නා ලාභ ප‍්‍රතිශතය අඩු වීම.
  • ඉහළ වැටුප් තලවලට හිමි වන ආදායම් ප‍්‍රතිශතය වැඩි වීම.
  • ව්‍යාපාරික ලාභවලින් ලාභාංශ ලෙස බෙදෙන ප‍්‍රතිශතය ඉහළ යාම.

නවලිබරල් ප‍්‍රතිපත්ති අනුගමනය කෙරුණු කාලයෙහි ශ‍්‍රී ලංකා ආදායම් ව්‍යාප්ති රටා හැඩ ගැසුණු ආකාරය ගැන විස්තරසහිත සංඛ්‍යා ලේඛන නැතත් ආදායම් ව්‍යාප්තිය ඉහළ විෂමතා පෙන්නුම් කෙරෙන පරිදි වෙනස් වූ බව සමාජ ආර්ථික සමීක්ෂණ පැවැත්වුණු වර්ෂ සඳහා ලබා ගත හැකි සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කෙරේ.

2012 සඳහා කරන ලද ආදායම් වියදම් සමීක්ෂණයට අනුව ආදායම් ව්‍යාප්ති විෂමතාවේ තරම පෙන්නුම් කිරීම සඳහා යොදා ගන්නා ගිණි සංකේන්ද්‍රණ සංගුණකය 0.54 ක් විය. මෙය වඩා ඉහළ අගයක් ගැනීම යනු ආදායම් ව්‍යාප්තිය වඩා විෂම වීමකි. 1977 ට පෙර එවැනි සමීක්ෂණයක් සිදුකැරුණු සමීපතම වසර 1973 විය. එම වසර සඳහා ගිණි සංකේන්ද්‍රණ සංගුණකය 0.35 විය. 2012 හි රටේ අඩුම ආදායම් ලැබූ 20% සතු වූ සමස්ත ආදායම් ප‍්‍රතිශතය 2.5% වූ අතර, ධනවත්ම 20% අතෙහි මුළු ආදායමින් 57.4% සංකේන්ද්‍ර‍්‍රණය වී තිබිණි. ධනවත්ම 10% ට හිමිවූ ආදායම් ප‍්‍රතිශතය 31.8% ක් විය. යාන්තමින් දිවි ගැට ගසා ගැනීමට සෑහෙන ඉතා කුඩා ආදායම් ප‍්‍රමාණයක් දරිද්‍රතා මට්ටම සේ ගෙන, ඒ අනුව යමින් රටේ දරිද්‍රතාව ඉතා පහළ මට්ටමකට අඩු වී ඇතැයි උදම් ඇනීමට සමහර දේශපාලකයනට පුළුවන් විය හැකිය. එහෙත් වාමාංශික හෝ යටත් පිරිසෙයින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශනයක් ඇති දේශපාලකයනට නම් ඉහත කී විධියේ අතිශයින් විෂම ආදායම් ව්‍යාප්ති රටාවක් පවතිමින් එවැනි දරිද්‍රතා මට්ටම් පහළ යාමක් ගැන සතුටු විය නොහැකිය. අනුක‍්‍රම බදුක‍්‍රම හා මැනවින් ඉලක්ක කළ පිහිටාධාර භාවිත කරමින් ද, වෙළෙඳපොළ සිග්නලයන් කෙරෙහි බුද්ධිමත් බලපෑම් කිරීම මගින් නිෂ්පාදන රටා හැඩ ගස්වමින් ද, සාධාරණ මෙන්ම ප‍්‍රගතිශීලී, එනම් වර්ධනය වන, ආර්ථිකයක් ගොඩ නගා ගැනීමේ කර්තව්‍යය අප ඉදිරියේ ඇත. එය වත්මන්හි “පහළ මධ්‍යම” ආදායම් රටක් ලෙස හැඳින්වෙන ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇතැයි සැලකෙන මැදි ආදායම් පාශයෙන් මිදී ඉහළ ආදායම් රටක් බවට පත් වීම සඳහා ද අවශ්‍ය කාරණයෙකි. ඒ සඳහා ශක්තිමත් ලෙස පදනම් දමා ගැනීමට නම් ලෝක තලයෙහි ම අර්බුදයට යමින් තිබෙන නවලිබරල් රාමුවෙන් ඉවතට ගමන් කිරීම අවශ්‍ය ය යන්න මා මෙම පිලිප් ගුණවර්ධන අනුස්මරණ දේශනයෙන් දෙන පණිවුඩයයි.

Back to Home page