Colombo Telegraph

මගේ SAITM කතාව

යොමේජ හීතාවක​ආරච්චි

යොමේජ හීතාවක​ආරච්චි

තවත් බොරු ප්‍රචාර බොරු චෝදනා අසා සිටීමට නොහැකි තැන ලියමි.

SAITM හී අධ්‍යාපනය ලබන ළමයින් සාමාන්‍ය පෙළ පවා අසමත් බවත්, SAITM යනු ඇතුල්වූ සැනින් අවුරුදු පහකට වැඩි කාලයක සංගීත සංදර්ශනයක් සහ මැජික් සංදර්ශනයකට පසුව ඇගයීමක් නොමැතිව උපාධි ලබා දෙන අමුතුම කේතුමතී නුවරක් බවත්, ඇතුලත්ව ඇති ළමුන් සියලු දෙනා mercedes benz S600 වාහන වලින් ආරක්ෂකයින් පෙරදරි කොටගෙන පැමිණ පොළවට පය වැටෙන්නට නෙලුම් මල් පිපෙනකම් බල සිටින, මත්ද්‍රවය හා අවි වෙළදාම් කොට මුදල් ඉපයූ ප්‍රකොටිපතියන්ගේ දරුවන් බවත් යන කරුණු අද පැතිරෙමින් පවතී.

මා SAITM ආයතනය හා ඇතුල්වන්නේ අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලබා ගන්න BCC සමාර්ථ මාගේ ප්‍රතිපල ලෙස ඉදිරිපත් කරමිනි. (විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව සහ SLMC මගින් ඉල්ලා ඇති c 2 සහ S සාමාර්ථය සපුරා ඇති බව කරුණාවෙන් සලකන්න)
 ප්‍රතිපල නිකුත් වූ පසු දින කිහිපය තරම් අමතක කිරීමට කැමති එහෙත් අමතක කිරීමට නොහැකි කාල වකවානුවක් නැති තරම්ය. රජයේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිබවත් පිටරට ගොස් ඉගෙනගැනීමට තබා පිටරට ගොස් ඒමටවත් වත්කමක් සතු නොවූබවත් සැනෙකින් වැටහුණු නමුදු එතනින් එහා කලයුතු දේ ගැන අවබෝධයක් නොතිබුණි. විහිළුව පටන් ගන්නේ මෙතනින්ය.

උසස් අධ්‍යාපන වරම් අහිමිවූ මා ගැන ඇසීමටවත්, ඇති වෙනත් මාර්ග හෝ අවස්ථා ගැන කියදීමටවත්, 150 00 කට අස්සන්න මා වැනි “සහෝදරයින්” ගැන අපරිමිත කරුණාවන් සහ ස්නේහයෙන් සලකා බැලීමටවත්, අප වෙනුවෙන් කෑමොර දීමටවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල පාරට බැස්සේ නැත (ඔවුන් එදා පාරට බැස්සේ මහපොළ වැඩි කර ගැනීමටය, නේවාසිකාගාර සදහා පහසුකම් වැඩි කරන ලෙසටය. ඔවුන්ට ලැබෙන දේ තවත් වැඩි කර ගැනීමටය. එදා නොතිබූ අමුතු කරුණාවක් අද පහල වෙන්නේ ගහන්න තුරුම්පු නැති වූ විටය.), එහෙටත් නැති මෙහෙටත් නැති, ගහපු බෙරේකුත් නැති බෙරේ පලුවකුත් නැති , වැලේ වැල් නැති වූ, ජනතාවගේ විමුක්තිය සොයනවායි කියන්නාවූ පෙරමුණුද සිටියේ “ජනතාව වෙනුවෙන්” රජය පෙරලන්නටය.

එදා මගේ පිහිටට පැමිණියේ මගේ දෙමව්පියන්ය. අවුරුදු 30කට ආසන්න කාලයක් දුවිලි කමින්, රෑ දිවා නොබලමින් දහදිය හෙලු ඔවුන්ය. ඔවුන් සතු වටිනාම දේපල විකුණා ලැබෙන මුදලින් පිටරට යවා හෝ අධ්‍යාපන කටයුතු මා ඉදිරියට කල යුතු බව ඔවුන්ගේ අදහස විය. විදේශ ගත වීමට සුදුසු රටවල් සොයන කාලයේදී මගේ දෙමව්පියන්ට SAITM ගැන අසන්නට ලැබෙයි. (මේ වන විට ගැසට්‌ කිරීමක් මගීන් වෛද්‍ය උපධිය ලබා දීමට මෙම ආයතනයට බලතල ලබා දී තිබිණි, තවද එවක ජනපතිවු මහින්ද රාජපක්ෂ මහතා විසින් පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙමින් වක්‍රාකාරව රජයේ මැදිහත් වීම සහ අනුමැතිය ලබා දී මේ වන විට අවසන්ය) මේ කරුණු හා ශ්‍රී ලංකාවේම ඉදින්නට ලැබීම හා එම නිසා ජීවන වියදම පාලනය කරගත හැකි කාරණය නිසාත් SAITM ආයතනයට බැදෙන්නට තීරණය කලෙමි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවත්වන්නාවූ සම්මුඛ පරීක්ෂණය ඇතුලත්ව තවත් එවැනි පරීක්ෂණ 2 කට පසුව වෛද්‍ය උපාධිය හැදෑරීමට තෝරාගන්නා ලදී.

අද වෙන තුරු මා පුද්ගලීක වාහනයක දේශන සදහා ගොස් නැත, කොටින්ම කිවහොත් සම්මුඛ පරීක්ෂණ සදහා ම පැමිණියේ කිලෝමීටර 2.5 ඇවිදගෙනය (මහා ලොකු දේවල් නොවන බව ඇත්ත නමුත් පතුරවන්නාවූ, වාහනයෙන් පමණක් පැමිණෙන, ඇවිදීමට නොදත් යන “උප සංස්කෘතියක් ” මෙහි නැත.) මෙයට වඩා දහස් ගුණයක් දුක් විදිනා විදපු සිසුන් මගේ වසරේම ඇත නමුත් ඒ ගැන කතා කිරීමට මට සාධාරණ අයිතියක් නැත.

මුදල් ගෙවූ පසු කිසිදු විභාගයක් නැති බවත්, කිසිවෙකු repeat වන්නේවත් batch miss වෙන්නේවත් නැති බවත්, BAR exams නැති බවත්, මහා සුන්දර ලෝකයක් බවත් රෝස මල් යහනාවක් බවත් කියන්නාවූ කතා වල සත්‍යතාවයක් නැති අතර කනගාටුවට කරුණ වන්නේ එවැනි කඩයිම් විභාග පවත්වන බවත් එසේ ඒවා සමත් වීමට මා පාඩම් කටයුතු කළබවත්, හොදින සමත් වූ බවත් දන්නා පිරිස් පවා අද එසේ නැතය කියා පැවසීමය.

සියල්ල නොමිලයේ ලබන උදවිය යම් කිසි ස්ථානයක සිටින උදවිය එසේ නොලැබුන සහ නොසිටින කෙනෙකුගේ දුක දන්නවායි කීම කාන්තාවක දරු ප්‍රසුතියේ ලබන වේදනාව පිරිමියෙකු හට දැනෙන බව කීම වැනිය, මහා ජනතා බදු මුදලින් යැපෙන්නාවූ සිසුන් එම ජනතාව තම මුදල් රිසි සහ නිසි ලෙස වැය කිරීමට විරුද්ධ වීම දන්සලේ දායකයෙකුට අවන්හලකින් කෑම අකැප බව කීමක් වැනිය.

ප්‍රමිතිය සුරැකිය යුතු බවටත් එසේ කිරීම්දී ලබා දෙන්නාවූ ඕනෑම අපක්ෂපාති විභාගයකට පෙනීසිටීමට සුදානම් බවත් දන්වන්නට කැමැත්තෙමි. නමුත් ප්‍රමිතිය (සායනික අංශයේ) වැඩි කිරීමට දරන සෑම උත්සාහයකදීම පාරට බැස LTTE ත්‍රස්තයන් මෙන් රෝගියා ඇපයට ගෙන විරුද්ධ වීම සාධාරණද කියා ඔබම තීරණය කරන්න.

ඉහත සදහන් සියල්ල සත්‍ය සහ නිවැරදි බව තහවුරු කරමි. මෙය මාගේ SAITM කථාව වේ. අහස හා පොළව එයට සාක්ෂි දරත්වා !

දෙවි රැකවරණයි!
තෙරුවන් සරණයි !
ජේසු පිහිටයි !

##MySAITMStory
 #මගේSAITMකතාව

Back to Home page