Colombo Telegraph

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හිස්ව තිබේ: අපි දැන් අමනයින් පිරිසක් තෝරා පත්කර ගමුද?

යුදන්ජය විජේරත්න

යුදන්ජය විජේරත්න

ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

මේ වනාහී විස්මිත සිදුවීම් තුනකි. පළමුවෙන් කී සිදුවීම් දෙක තුළ ලෝකය වෙනස් කිරීමේ විභවය තිබේ. තෙවැන්න, අප කවුරුත් ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපේක්ෂා කරමින් සිටි දෙයකි.

මේ දැන් ගොඩනැගිල්ලෙන් පිටව ගිය පාර්ලිමේන්තුව පැවතියේ එකම ජංජාලයක් මෙනි. එය පත්කරගෙන තිබුණේ 2010 දී ය. යුද්ධයක් ජයගෙන තිබුණා පමණි. එසේ හෙයින් මහින්ද රාජපක්ෂගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය මුළු රටම වෙළාගත්තේය. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 144 ක් දිනාගත්තේය. එක්සත් ජාතික පක්ෂය ආසන 60 ට බැස්සේය. දෙමළ ජාතික සන්ධානයට 14 ක් ලැබුණේය. ඉතිරි ආසන 7 ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට ගියේය. රාජපක්ෂ සහ සහෝදරයෝ සුක්කානම අතට ගත්හ. කොපමණ බලයක් තමන්ගේ ඔඩොක්කුවට වැටී ඇත්දැයි දැක පිනාගියෝය.

ඓතිහාසිකව ගත් විට, අපේ පාර්ලිමේන්තුව වැඩිමනත් කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ ආයතනයක් නොවේ. ඇත්ත වශයෙන් එහි සිටි 225 දෙනා දැඟලූවේ, ඉන්දියාවේ මහා දිල්ලියට වඩා ලොකු නැති රටක් පාලනය කර ගැනීමටයි. ලංකා ඉතිහාසයට හිතුවක්කාර ජනාධිපතිවරුන්ගෙන් අඩුවක් තිබී නැත. එහෙත් මේ තක්කඩින්ට බැණ වැදීමෙන් පලක් නැත. එම තක්කඩින්ව පත්කර ගන්නේත් අපම වන බැවිනි.

අපේ ප‍්‍රත්‍යාරම්භක බොත්තම (නිවැරදි තත්වය යළි පත්කර ගැනීම සඳහා ඔබන බොත්තම) මෙයයි:

අප කළ යුතුව ඇත්තේ මෙවැන්නකි:

බූව ගලවන්න- පී. එච්. පියසේන (රාජපක්ෂලාගේ දෙවැනි පංතියේ හොරණෑවක්) සහ ඒ. එච්. එම් ෆවුසි (මරාගෙන මැරෙන බෝම්බයකින් අනූනවයෙන් බේරීම එකම සාර්ථකත්වය කරගත්) වැනි මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබේ.

මොවුන් නොම්මර එකේ අපතයන් ය. ඔවුන් වැඩියෙන්ම ඉන්නේ, වළ ඉහගෙන කන්නට ය. ප‍්‍රායෝගිකව ගත් විට, ඔවුන් වනාහී පාර්ලිමේන්තුව නැමැති මහා නෞකාවේ සිටින සීමාවාසිකයන් ය. ඔවුන් කප්පිත්තන්ගේ කුලකයට අයත් නොවේ.

මැරයන්ගෙන් පරිස්සම් වන්න- ඒබ‍්‍රහම් ලින්කන් වරක් මෙසේ කීය: ‘‘සෑම මිනිසෙකුටම පාහේ ප‍්‍රතිවාදියාට මුහුණදිය හැකිය. එහෙත් මිනිසෙකුගේ ස්වභාවය සැක හැර දැනගත යුතු නම්, ඔහුට බලය දෙන්න.’’

ඕනෑම ආණ්ඩුවකින් චණ්ඩින් ඉවත් කිරීම යනු, ප‍්‍රායෝගිකව ගත් විට, පහසු කටයුත්තක් නොවේ. සෑම දේශපාලන පක්ෂයකම, අඩු වශයෙන් එක දේශපාලඥයෙකු පසුපසවත් භයානක මැර කල්ලියක් සිටී. කෙසේ වෙතත්, අවසිහියෙන් පසුවන ඇමතිවරුන් තුවක්කු අතැතිව එකිනෙකා සමග ගහමරා ගැනීම සීමා ඉක්මවා ගොස් තිබේ. මාලක සිල්වා වැන්නන්ද ඊට අමතරව සිටිති. ශිෂ්ට සම්පන්න සමාජවල බලය හසුරුවන මිනිසුන් කරන්නේ මැමෝ පත් ලිවීම, අකටයුතුකම් හෙළිදරව් කර ගැනීම සහ ‘කර්තෘට ලියුම්’ තීරුවේ සටහනක් තබමින් දේශපාලන විරුද්ධවාදීන්ගේ චර්යාව අනාවරණය කොට ඔවුන්ගේ අනාගත දේශපාලන භූමිකාවට තිත තැබීමයි.

චණ්ඩිකම්වලට පරසිඳු අය කවුරුන්දැයි දැන් අපි දනිමු. ඔවුන්ව අප පාර්ලිමේන්තුවට නැවත පත්කර යැවිය යුතු නැත. මැරයන් නැතිව කිසි දෙයක් කරගත නොහැකි නම්, අඩු වශයෙන් තරමක් ශිෂ්ට සම්පන්න මැරවරයෙකුවත් යොදාගත යුතුය. අපට අවශ්‍ය කරන්නේ, බලය හැසිරවීම ගැන දන්නා සහ යකඩ හස්තය අඩු වශයෙන් විල්ලූද අත්වැස්මකින්වත් සරසා ගැනීමට දන්නා මිනිසුන් මිස, පිස්සන් රැුළක් නොවේ.

ආර්ථික විද්‍යාඥයන් සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට වැඬේ බාරදෙන්න- අපේ මූල්‍ය තත්වය පවතින්නේ හොඳ තත්වයක නොවේ. අපේ විදේශ සම්බන්ධතාද එසේය. දළ ජාතික නිෂ්පාදිතයේ වැඩි වීමක් දක්නට ලැබුණත්, ජීවන වියදම ඉතා ඉහළ ය. වැටුප් ඉතා පහළ ය. ඉහළ මැද පංතික හෝ ආණ්ඩුවේ නිලධාරියෙකු නොවන්නේ නම්, ගැටගසා ගැනීමට ඇති ඉඩකඩ අල්ප ය.

හිටපු නීතිඥයන්, ජාතිකවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් විසිනුත්, සංස්කෘතිය, අපේ උරුමය වැනි දේවල් ගැන පාරම්බාන, බටහිරට බැනඅඬගාන කලා උපාධිධාරීන් විසිනුත් මේ රට බොහෝ කාලයක් පාලනය කරනු ලැබීම, එසේ වීමට බොහෝ කොට හේතු වී තිබේ.

මේ සියල්ලන්ම පාහේ දක්ෂ කථිකයන් ය. බල තැරැුව්කාරයන් ය. එහෙත් ආර්ථිකය කළමණාකරනයත් කෙනෙකු කළ යුතුය. බුද්ධිමය ස්ථාවරයන් ගැනීම ඉතා විශිෂ්ඨයි. එහෙත් අපට දැන් වඩාත් අවශ්‍ය කරන්නේ, ශූර මූල්‍ය කළමනාකරණ ගණිතයක් ය. ම්ලේච්ඡුයන් මෙන් නොපෙනෙන සේ අතට අත දිය හැකි පුද්ගලයන් ය. හිරේ සිටීමේ සහ විශ්ව විද්‍යාල දේශපාලනය කර තිබීමේ ඉතිහාසයක්, ඊට සුදුසුකමක් වන්නේ නැත.

අවශ්‍ය පරිද්දෙන් මේවා සිදුවේවිද?

නැත.

ජාතිය සම්බන්ධයෙන් ඉතා ජාතිකවාදී වන ශ‍්‍රී ලාංකිකයන්, දේශපාලනයේදී එතරම් ජාතිකවාදී වන බවක් පෙනෙන්ට නැත. සාමාන්‍ය ඡන්දදායකයාගේ දළ කල්පනාව වන්නේ, ‘මං මූට කඬේ ගියොත් මට මොනවද ලැබෙන්නේ?’ වැනි අදහසකි. නැතහොත්, ‘මං නං ශ‍්‍රී ලංකා’ වැනි අදහසකි.

එය ඉතා දුර්වල ඡන්දයකි. මෙය අපට පමණක් සීමා වන්නක් නොවේ. කාලගුණ විපර්යාසය ගැන විශ්වාස නොකරන සෙනේට් සභික රැුලක් සමග ඇමරිකානු ඡන්දදායකයා අවසානයේ ගාල් වූහ. නත්තල් සීයා ගැන විශ්වාසයේ සිට ඒ රැුවටීම පවතින්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩ කරන්නේ එලෙසයි. ඔබට ඡන්දයක් ලැබේ. ඒ සමගම ගොබ්බයාටත් ඡන්දයක් ලැබේ.

කෙසේ වෙතත්, අපට වෙනසක් කළ හැකිය. රජ කෙනෙකු වීමට ගිය ජනාධිපතිවරයෙකුව අප දැනටමත් ගෙදර යවා තිබේ. දැන් කිරීමට ඇත්තේ ඊළඟට පත්කරගන්නේ කවුරුන්ද යන්න ගැන සැළකිලිමත් වීමයි.

දේශපාලන පක්ෂ කෙරෙහි ඇති පක්ෂපාතීත්වයන් පැත්තකින් තියන්න. හැම කෙනෙකුම අවසානයේ බැලූ විට ධනවාදියෙකි. සැබෑ කොමියුනිස්ට්වාදීන් එක්කෝ මියගොසිනි. නැත්නම් අන්ත දරිද්‍රතාවයේ ගිලී ගොසිනි. එසේම කිසිවෙකු මුළුමණින් සමාජවාදියෙකු වන්නේද නැත. එය තේරුම් ගැනීමට ජනතාව දිහා ටිකක් බලන්න. යම් පක්ෂයක් ගොබ්බයන් රැුලක් මැතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්, එම පක්ෂයෙන් කැඞී වෙන්වීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙයයි. යමෙකු රාජපක්ෂ කෙනෙකු නම්, ඔහුට ඡන්දය නොදෙන්න.

ඉතා සුළුවෙන් වුවත්, ඔබට යම් වෙනසක් කළ හැකිය. එවැනි පුංචි වෙනස්කම් රාශියක් අවසානයේදී ගොඩගැසෙනු ඇත. යහපත් මිනිසුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ සිටියොත්, රැුල්ල අනිත් පැත්තට හැරෙනු ඇත.

හඳට ගිය ගමන ගැන ජෝන් එෆ්. කෙනඩි වරක් කී කතාවක් මගේ සිහියට නැගේ. ‘‘මේ දශකයේදී හඳට යාමටත්, වෙනත් කටයුතු කිරීමටත් අපි කැමැත්තෙමු. ඒවා කරන්නේ, එම කාර්යයන් පහසු නිසා නොව, දුෂ්කර නිසා ය. අපේ උසස්ම ශක්තීන් සහ හැකියාවන් මැන ගැනීමටත්, සංවිධානය කර ගැනීමටත් එම ඉලක්කය හරහා පහසුවක් වන නිසා ය. එය අප භාර ගැනීමට කැමති අභියෝගයකි. කල් දැමීමට අකමැති අභියෝගයකි. එසේම, සෙස්සන් සමග ජයග‍්‍රහණය කිරීමට ආශා කරන අභියෝගයකි.’’

අප යමක් කළ යුත්තේ එය පහසු නිසා නොව, එය නිවැරදි නිසා ය.

*2015 ජුනි 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Parliament Has Left The Building; Let’s Elect Some Fools නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page