ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රාලිකයින්, වෘත්තීයවේදීන් සහ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ සාමූහිකය ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දේශපාලන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා මූලධර්ම සහ යෝජනා’ මැයින් නව ව්‍යවස්ථාවක් සඳහා දුරදිග යන යෝජනා ඉදිරිපත් කර ඇත. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ජනතාවගේ අපේක්ෂාවන් ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් එමගින් යෝජනා කර ඇත. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම, ද්වි–මණ්ඩල ව්‍යවස්ථාදායකයක්, මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්, පක්ෂ මාරුව පිලිබඳ දැඩි විධිවිධාන මෙන්ම බලය බෙදාහදා ගැනීම, අනුපූරකතාවය සහ පුරුවැසි සහභාගිත්වය මත පදනම් ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරිම යෝජනා අතර ප්‍රමුඛ වේ.

ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්
ජනතා නියෝජිතයින් නැවත කැඳවීමේ සහ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියට ප්‍රතිපත්තිමය වශයෙන් සාමූහිකය එකඟ වේ. ශක්තිමත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක්, පනත් සම්මත වීමෙන් පසු අධිකරණ සමාලෝචනයක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ද යෝජනා කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම අනාගත අධිකරණ අර්ථකථන වලටද මග පෙන්වන ව්‍යවස්ථා මූලධර්ම මාලාවක් ද ඇතුළත් කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය උදෙසාවූ සාමූහිකයේ යෝජනා සම්පූර්ණයෙන් මෙසේය:
2024 වර්ෂය නව ජනාධිපතිවරයකු සහ බොහෝදුරට නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට ඡන්ද විමසීම් පවත්වන මැතිවරණ වර්ෂයකි. මෙම සන්දර්භය තුළ පුරුවැසියන්ගේ, සිවිල් සමාජ ව්‍යාපාරවල සහ දේශපාලන පක්ෂ වල අවධානය දේශපාලන සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නැවත වතාවක් යොමුවීම නොවැළක්විය හැකි කරුණකි.
ඕනෑම අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයක් ඉදිරියේ ප්‍රධාන අරමුණු දෙකක් පවතින බව පිළිගැනීම මෙහිදී අවශ්‍ය වේ. ඒවා නම් (අ) රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ (ආ) පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම නොව නව ව්‍යවස්ථාවක් පනවා එය ඉවත් කර දැමීම ය.

ආචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර
ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීයකරණ අපේක්ෂා සාක්ෂාත් කිරීම ද නව ව්‍යවස්ථාවක් විසින් සිදුකළ යුතු ය. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම ආණ්ඩු ක්‍රමයේ ද ප්‍රධාන වෙනස්කම් සිදුකිරීම ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ න්‍යාය පත්‍රයට අත්‍යවශ්‍යය වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් සහ ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා යෝජනා ඉදිරිපත් කරණ මෙම ලියවිල්ල පහත සඳහන් මූලධර්ම සහ ඉලක්ක අන්තර්ගත කර ගෙන තිබේ.
• පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ ජනාධිපතිවරයාගේ සහ විධායකයේ පාලනයෙන් එය නිදහස් කර ගැනීම.
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව, ආණ්ඩුවේ ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහජන විශ්වාසය සහ භක්තිය යළි ස්ථාපිත කිරීම.
• ආණ්ඩුව සහ ජන්දයෙන් තෝරාපත් කරගත් නියෝජිතයින්ද තමන්ට වගකියන බවට මහජනතාවට ඇති අයිතිය නව යාන්ත්‍රණ මගින් සහතික කිරිම. මෙහි අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පරමාධිපත්‍යයේ හිමිකරුවන් වන ජනතාවට, ජනතා පරමාධිපත්‍යය පිළිබඳ මූලධර්මය අර්ථාන්විත දෙයක් බවට පත් කිරීමය.
• ආණ්ඩුව අත්තනෝමතිත සහ ඒකාධිපති අපේක්ෂාවන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අවභාවිත කිරීම සඳහා දේශපාලන බලය පාවිච්චි කිරීම වැළක්වීම.
• ආණ්ඩුක්‍රම ක්‍රියාදාමය තුළ පුරවැසි සහභාගිත්වය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම සහ පරමාධිපත්‍යය

නීතිඥ භවානි ෆොන්සේකා
‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජය’ යන දීර්ඝ නාමය වෙනුවට ‘ශ්‍රී ලංකාව’ යන්න රට සඳහා යෝජිත නිල නාමය වන්නේ ය.
‘ශ්‍රී ලංකාව එක්, නිදහස්, ස්‍වෛරී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වාධීන ජනරජයකි’ යන නව විස්තර කිරීම මගින් ශ්‍රී ලංකා රාජ්‍යයේ ජනරජ ලක්ෂණය ප්‍රකාශයට පත් කෙරේ.
ශ්‍රී ලංකාවේ ජනතාව නූතන ජනරජයක ස්වෛරී සහ නිදහස් පුරවැසියෝ වෙති. ඔවුන් තමන්ගේ ජනවාර්ගික, සංස්කෘතික සහ සමාජීය විවිධත්වය අගය කරන ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාවක සමාන සාමාජිකයන්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ‘ව්‍යවස්ථා මූල ධර්ම’ පද්ධතියක් අන්තර්ගත කරනු ඇත. ඒවා නිත්‍ය සහ අනුල්ලංඝනීය ප්‍රජාතාන්ත්‍රික ජනරජවාදී වටිනාකම් වශයෙන් විස්තර කෙරේ. මෙම මූලධර්ම නව ව්‍යවස්ථාවට මෙන්ම එහි ඕනෑම වගන්තියක් පිළිබඳ අනාගත අධිකරණ අර්ථ දැක්වීම් සඳහා ද මග පෙන්වන මූලික ව්‍යවස්ථා වටිනාකම් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පදනම් කර ගන්නා සහ අර්ථ දැක්වීම් සඳහා යොදාගන්නා මූල ධර්ම සහ වටිනාකම් වශයෙන් පහත සඳහන් දෑ යෝජනා කරනු ලැබේ.

ආචාර්ය මාරියෝ ගෝමස්
ශ්‍රී ලංකාව, පහත දැක්වෙන ප්‍රජාතන්ත්‍රීය ජනරජවාදයේ සහ සමූහ සංගතවාදයේ නිත්‍ය සහ අනුල්ලංඝනීය වටිනාකම් මත ගොඩ නගන ලද එක්, නිදහස්, ස්‍වෛරී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වාධීන ජනරජයකි:
(අ) මානව ගරුත්වය, සමාජ සාධාරණත්වය, ආර්ථික සාධාරණත්වය, සමානාත්මතාවය සහ මානව අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස;
(ආ) සමාජ, ජනවාර්ගික සහ ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාව;
(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරත්වය සහ නීතියේ ආධිපත්‍යය;
(ඈ) නියමිත කලට පවත්වන බාධා රහිත, නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීම් සහ බහු–පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය;
(ඉ) තනි පුද්ගලයකු හෝ ආයතනයක් තුළ රාජ්‍ය බලය කේන්ද්‍රගත නොවීම;
(ඊ) ආණ්ඩුකරණයේ සෑම තලයකම වගවීම, ප්‍රතිචාරාත්මකබව සහ පාරදෘෂ්‍යභාවය සහතිකවීම.
(උ) රාජ්‍ය බලධාරීන් විසින් මහජන විශ්වාසනීයත්ව මූලධර්මය අනුව බලතල දරමින් එම බලතල ක්‍රියාත්මක කරනු ලැබීම.
ව්‍යවස්ථාදායකය
විධායක ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවට දේශපාලන බලය මාරු කිරීම සඳහා පහසුකම් සපයන රාමුවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වෙයි. මේ මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහතික කෙරෙනු ඇත.

ආචාර්ය සකුන්තලා කදිරගාමර්
නීති සම්පාදනය කිරීම් සඳහා මුලපිරීමේ අයිතිය හෙවත් ‘ප්‍රාරම්භණය’ පුරවැසියන්ට තිබිය යුතු බවට මහජන අරගලය සමයේ ඉදිරිපත් වූ යෝජනාව සමග අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නෙමු. ස්විට්සර්ලන්තයේ මුස්ලිම් පල්ලිවල මිනාරත් (මුස්ලිම් පල්ලිවල තිබෙන බැල්කනිය සහිත කුළුණ) ඉදිකිරීම තහනම් කිරීමේ ක්‍රියාමාර්ගයේ දී සිදු වූවාක් මෙන්, අයුතු ලෙස භාවිතා කිරීම් සිදුවීමේ හැකියාව ද පවතින බැවින් මෙම යෝජනාව ගැඹුරින් අධ්‍යයනය කිරීම වැදගත් වේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙවන මන්ත්‍රී මණ්ඩලයක් ලෙස සෙනෙට් සභාවක් නිර්මාණය කරනු ලැබේ. එයින් පාර්ලිමේන්තුවේ නියෝජන කාර්යය වඩාත් සවිමත් කරනු ඇත. පළාත්වලට පාර්ලිමේන්තුවේ නියෝජනයක් ලබා දී බලය බෙදා ගැනීමේ මූලධර්මය ශක්තිමත් කිරීම ද දෙවන මණ්ඩලය විසින් සිදුකරනු ඇත. මේ මගින් අපේක්ෂා කෙරෙන්නේ මධ්‍යම ආණ්ඩුව සහ පරිවාරය අතර වඩාත් කිට්ටු සම්බන්ධතාවයන් ස්ථාපිත කිරීමයි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පහත සඳහන් පදනම් මත තෝරා පත් කර ගන්නා සාමාජිකයන් 200 කින් සමන්විත වේ.
• සාමාජිකයන් 135 දෙනෙකු ඡන්ද කොට්ඨාශවලින් ඍජුව තෝරා පත් කරගනු ඇත. පොදු අභිලාෂයන් ඇති සමාජ කංඩායම් සඳහා නියෝජනයක් සහතික කිරීම සඳහා විශේෂයෙන් සීමා නිර්ණය කළ බහු–මන්ත්‍රී සහ කුඩා කේවල ඡන්ද කොට්ඨාශ ද මෙයට ඇතුලත් වෙයි.
• සාමාජිකයන් 60 දෙනකු ජාතික හෝ පළාත් මට්ටමේ සමානුපාතික නියෝජන ක්‍රමය මගින් පත් කර ගනු ලැබේ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
• ආසන 10ක් පුරවනු ලබන්නේ ඡන්ද කොට්ඨාශවලින් හෝ ඉහත සඳහන් ආසන 60 යටතේ ආසනයක් හෝ නොලැබුනු දේශපාලන පක්ෂ අතරින් ජාතික මට්ටමේ සමානුපාතික නියෝජනයක් හරහා ය. මේ මගින් ප්‍රාදේශීයව කේන්ද්‍රගතවීමක් රහිත එහෙත් ජාතික මට්ටමින් සැලකිය යුතු සහයෝගයක් ඇති කුඩා පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
• ස්ත්‍රී සහ තරුණ නියෝජනය මෙන්ම අභිලාෂ කණ්ඩායම් වලට (interest groups) ප්‍රමාණවත් නියෝජනයක් සහතික කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදන ද හඳුන්වා දෙනු ඇත.
මහා මැතිවරණයකට පසුව ආණ්ඩු පිහිටුවීමේ ක්‍රියාදාමය තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුතු ක්‍රියා ඇතිවීම වැළක්වීම සඳහා, මැතිවරණය අවසානවීමෙන් පසුව පත්වන අගමැතිවරයා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමු රැස්වීමේදී තමන්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ජය ගත්තේ නැතිනම් ඔහු/ඇය ඉල්ලා අස්වූ ලෙස සැලකන විධිවිධානයක් යෝජනා කරනු ලැබේ.
පාර්ලිමේන්තුවේ කාලය තුළ ඕනෑම අවස්ථාවක, විශ්වාස භංග යෝජනාවක් ඔහුට/ඇයට විරුද්ධව සම්මත කිරීම හෝ අයවැය ලේඛණය පරාජයට පත්වීම හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පරාජයවීම සිදුවුවහොත් අගමැතිවරයාගේ තනතුර දැරීම අවසන්වූයේ යයි සැලකේ. මෙම අවස්ථා දෙකෙහිදීම නව අගමැතිවරයකු පත් කිරීම සිදුවනු ඇත. නව අගමැතිවරයා ද විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් දින දහහතරක් තුළ ජය නොගතහොත් මන්ත්‍රී මණ්ඩලයේ පැවත්ම තවදුරටත් වලංගු නොවන බැවින් ජනාධිපතිවරයා නියෝජිත මණ්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරිය යුතු ය.

ආචාර්ය පාකියසෝති සරවනමුත්තු
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හරින ලෙසට අගමැතිවරයා නමින් වන යෝජනාවක් සම්මත කළ විට ද නියෝජිත මණ්ත්‍රී මණ්ඩලය විසිරුවා හැරිය යුතු ය. එබඳු යෝජනාවකට විපක්ෂ නායකවරයාගේ සහ නියෝජිත මණ්ත්‍රී මණඩලයේ තුන්වන විශාල පක්ෂයේ නායකයාගේ අනුමැතිය ලැබිය යුතු ය. තුන්වන විශාල පක්ෂයේ නායකයාගේ අනුමැතිය අවශ්‍ය වන්නේ අගමැති සහ විපක්ෂ නායකවරයා අතර ඇතිවන රහස් ගණුදෙනුවකින් මන්ත්‍රී මණ්ඩලය විසිරවීම වළක්වාලීමට ය.
තමන්ට වඩාත් වාසිදායක අවස්ථාවක් ගණන් බලා ව්‍යවස්ථාදායකය විසිරවීම සඳහා ජනාධිපතිවරයාට උපදෙස් දීමට අගමැතිවරයාට බලය නොතිබිය යුතු ය.
ධූර කාලය අවසන්වීමට පෙර මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ අයිතිය, මන්ත්‍රීවරු පක්ෂ මාරු කිරීම, පක්ෂයෙන් පහ කිරීම් සහ අතුරු මැතිවරණ
පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තු සාමාජිකයන් සම්බන්ධයෙන් මහජන විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩ නැගීම සඳහා අවශ්‍ය වන තවත් ප්‍රධාන කාර්යයකි.
මණ්ත්‍රීවරුන් පක්ෂ මාරුකිරීම සම්බන්ධයෙන් දැනට පවතින භාවිතා ජනතාව දකින්නේ පැතිරි පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් නඩත්තු කරන තත්ත්වයක් ලෙස ය. සදාචාරාත්මක නොවන සහ නීතීවිරෝධි ක්‍රම වලින් පාර්ලිමේන්තු බහුතරය රැක ගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ සාමාන්‍යයෙන් අනුගමනය කරන භාවිතයක් බවට මෙය පත්වී ඇත.

ආචාර්ය කලන සේනාරත්න
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනයේ පවතින මෙම විකෘතිය නිවැරදි කිරීම පුරවැසියන්ගේ අපේක්ෂාවකි. ඒ අනුව අපි පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු:
ජනතාව විසින් ලබා දී ඇති ජනවරම උල්ලංඝනය කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමේ අයිතිය ඡන්දදායකයාට තිබිය යුතු බව අරගලයේ දී මතු කරන ලද කරුණක් විය. ඡන්ද දායකයාට එවැනි අයිතියක් තිබිය යුතු බවට අප ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන අතර, එවැනි බලයක් අයුතු ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව වළක්වමින්, මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදු කළ යුතු යැයි අපි යෝජනා කරන්නෙමු.
අපි පහත සඳහන් පරිදි යෝජනා කරන්නෙමු:
නියෝජිත මණ්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයකුගේ අසුන පහත සඳහන් අවස්ථාවලදී අහෝසිවනු ඇත:
(අ) තම පක්ෂයේ තීරණය උල්ලංඝණය කරමින් හෝ පක්ෂයේ අනුමැතිය රහිතව මණ්ත්‍රී මණ්ඩලය තුළ දී ඡන්දය පාවිච්චි කිරීම, සහ
(ආ) ඔහුගේ/ඇයගේ සහාය වෙනත් පක්ෂයකට ලබාදෙන බව ප්‍රකාශ කිරීම හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධවීම.

ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්
කෙසේවෙතත්, පක්ෂ සන්ධානයක හෝ අවබෝධතා ගිවිසුමක කොටස්කරුවකු ලෙස තරඟ කරන ලද මන්ත්‍රීවරුන්ට මෙබඳු අවස්ථාවලදී ආරක්ෂණයන් සපයා දිය යුතු ය.
ඡන්ද කොට්ඨාශයකින් තෝරාපත් වූ මන්ත්‍රීවරයකු තව දුරටත් තමන්ව නාමයෝජනා ලබාදුන් පක්ෂයේ සාමාජිකයකු නොවූවිට එම ආසනය හිස්වෙයි. එය සිදුවූයේ පක්ෂයෙන් නෙරපීම කරන කොට ගෙන නම් එම මන්ත්‍රීවරයාට තමාව පහකිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණය එම අයදුම්පත සම්බන්ධව සිය තීරණය මාස දෙකක් තුළ ලබා දිය යුතු ය.
ඡන්ද කොට්ඨාශයකින් තෝරාපත් කරගත් මන්ත්‍රීවරයකුගේ ආසනය හිස්වුවහොත් එම පුරප්පාඩුව පිරවීම සඳහා අතුරු මැතිවරණයක් පවත්වනු ඇත.
සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තෝරාපත් කරගත් සාමාජිකයකුගේ ආසනය පුරප්පාඩු වුවහොත් මුල් සමානුපාතික ලැයිස්තුවෙන් නාම යෝජනා කරන ලද අයගෙන් පමණක් පිරවිය යුතු ය.
සෙනෙට් සභාව
බොහෝ රටවල දෙවන මණ්ඩලය පළාත්වලට නියෝජනයක් සහතික කරමින් බලය බෙදාහදා ගැනීම සඳහා පහසුකම් සපයන ආයතනයකි. එය මධ්‍යය සහ පරිවාරය අතර

මහාචාර්ය දීපිකා උඩගම
කිට්ටු සම්බන්ධතාවයක් ප්‍රවර්ධනය කිරීම ද සිදුකරයි.
නියෝජිත මණ්ත්‍රී මණ්ඩලය තුළ ඇති විය හැකි නියෝජන අසමතුලිතා නිවැරිදි කිරීමේ යාන්ත්‍රණයක් වශයෙන් ද සෙනෙට් සභාවට ක්‍රියාත්මක විය හැකි ය. හිතුවක්කාරි හෝ අදූරදර්ශී නීති සම්පාදනය සහ පළාත්වලට අහිතකර ලෙස බලපෑ හැකි නීති පැනවිම වළක්වන අභ්‍යන්තර යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාත්මකවීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී සංවරණ සහ තුලනයන් පිළිබඳ ආයතනයක් වශයෙන් සෙනෙට් සභාවේ භූමිකාව ශක්තිමත් කිරීම ද මේ මගින් සිදු වේ.
සෙනෙට් සභාව සාමාජිකයන් පණස් දෙනකුගෙන් සමන්විත වෙයි. එක් එක් පළාත් සභාවක් මහජන කේෂත්‍රයේදී විශිෂ්ඨත්වයක් පෙන්නුම් කළ සාමාජිකයන් පස් දෙනකු සමානුපාතික ඡන්ද ක්‍රමය පදනම් කරගෙන තෝරා පත් කළ යුතු ය. මෙයින් විවිධ ප්‍රජාවන්ට සහ දේශපාලන පක්ෂවලට නියෝජනයක් සැපයෙනු ඇත. එම සාමාජිකයන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙක් ස්ත්‍රීන් විය යුතු ය.
නියෝජනයක් නොලැබූ හෝ ඌණ නියෝජනයක් සහිත අභිලාෂ කණ්ඩායම් (interest groups) හෝ අනන්‍යතා කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් පස්දෙනකු පත් කළ යුතු ය. ඔවුන්ගේ පත්වීම් සිදුකළ යුත්තේ අගමැති සහ නියෝජිත මණ්ත්‍රී මණ්ඩලයේ විපක්ෂ නායකවරයාගේ ඒකාබද්ධ නාමයෝජනා පදනම් කරගෙන ය.
සියලු පනත් කෙටුම්පත් දෙවනවර කියවීමට පෙර සෙනෙට් සභාවේ මතය විමසීම සඳහා එයට යොමුකළ යුතු ය. මුදල් පනත් කෙටුම්පතක් නොවන පනත් කෙටුම්පතකට සෙනෙට් සභාව එකඟ නොවන්නේ නම් එය සලකා බැලීම සඳහා මන්ත්‍රී මණ්ඩල දෙකෙහි ඒකාබද්ධ කාරක සභාවකට යොමු කළ යුතු ය. එම කාරක සභාව තම වාර්තාව මන්ත්‍රී මණ්ඩල දෙක වෙත මාසයක් තුළ ලබා දිය යුතු ය.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ
පළාත් සභා ලැයිස්තුවේ ඇති විෂයයක් හෝ කාරණාවක් සම්බන්ධයෙන් පළාත් සභා වලට බැඳීමක් ඇතිකරන ජාතික ප්‍රතිපත්ති හෝ ප්‍රමිතීන් හඳුන්වා දෙන පනත් කෙටුම්පතක් අවම වශයෙන් සෑම පළාත් සභාවකින් පත්වූ දෙදෙනෙක්ගේ එකඟතාවයද ඇතුල්වන පරිදි සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතු ය. මෙය මධ්‍යම ආණ්ඩුව විසින් ඒකපාර්ශීකව සිදුකරන මැදිහත්වීම්වලින් පළාත් සභාවල බලය ආරක්ෂා කිරීමේ රැකවරණයක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.
සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්ම නියෝජිත මණ්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව විසින් වෙන වෙනම තුනෙන් දෙකක බහූතර ඡන්දයෙන් අනුමත කළ යුතු ය.
මහජනතාවට සහ පුරවැසි සංවිධානවලට ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට වැඩි අවස්ථා ලබා දිය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීති කෙටුම්පත් පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම, උපදේශන හමු පැවැත්වීම සහ මහජන අදහස් විමසීම් සිදුකිරීම වැනි යාන්ත්‍රණ හරහා නීති සම්පාදන ක්‍රියාවලියට මහජන සහභාගීත්වය ලබා ගැනීම අනිවාර්ය කළ යුතුය. ආංශික අධීක්ෂණ කාරක සභාවල කටයුතු අන්තර්ජාලය ඔස්සේ විකාශය කළ යුතු ය. මෙය පළාත් සභාවලට ද ව්‍යාප්ත කළ යුතු ය.
විධායකය
‘විධායක ජනාධිපති ක්‍රමය’ සහ එයට සම්බන්ධිත ආණුඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහය අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ ජනතාව දීර්ඝකාලයක් තිස්සේ අපේක්ෂා කරන ලද, එහෙත් ඉටුනොවු ලද ඉල්ලීමකි. මෙම කාරණය සම්බන්ධයෙන් පුලුල් එකඟතාවක් ජනතාව සහ දේශපාලන පක්ෂ අතර ගොඩනැගි තිබේ. 2022 දී ඇතිවූ ‘මහජන අරගලය’ කාලයේදී පැහැදිලිව ප්‍රකාශ වු පරිදි එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ප්‍රජාතන්ත්‍රීයකරණයට එරෙහිව පවතින ප්‍රධාන බාධකයකි. එබැවින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට යළි ප්‍රවිෂ්ටවීම සඳහා වන න්‍යාය පත්‍රයේ ජනාධිපති තනතුර සහ ව්‍යවස්ථාදායකය අතර බල සමතුලිතතාව යළිත් සකස් කිරීම අත්‍යවශ්‍ය ය.

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
රාජ්‍ය නායක තනතුර තව දුරටත් ජනාධිපති වෙත රඳවා ගන්නා අතර ජනාධිපතිවරයා නාමික විධායක බවට පත් කිරීම මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලියට ඇතුලත් තීරණාත්මක ප්‍රජාතන්ත්‍රීයකරණ පියවරකි. ජනාධිපතිවරයා තෝරා ගැනීම නියෝජිත මණ්ත්‍රී මණ්ඩලයෙන් සහ සෙනෙට් සභාවෙන් සමන්විත වන ඡන්ද විද්‍යාලයක් මගින් සිදුකළ යුතු යයි යෝජනා කෙරේ.
ඉහළ මට්ටමේ දේශපාලන තනතුරු ජනවාර්ගික ප්‍රජාවන් අතර බෙදාහදා ගැනීම බහූජනවාර්ගික සහ බහූත්වාදි ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බවට පත් කිරිමේ න්‍යාය පත්‍රයට අවශ්‍ය ය. එබැවින් ජනාධිපතිවරයා අයත් නොවන ප්‍රජාවකින් උප ජනාධිපතිවරයෙකු එම ඡන්ද විද්‍යාලය විසින් තෝරා පත් කර ගතයුතු යයි අපි යෝජනා කරමු.
ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා ජාතික ව්‍යවස්ථාදායකයට වගකිව යුතු සහ වග විය යුතුය.
ජනාධිපතිවරයා විධායකයේ නාමික ප්‍රධානියා වන අතර, අමාත්‍ය මණ්ඩලය විධායක බලතල ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුව මගින් ජනතාවට වගකිව යුතු ය. ජනාධිපතිවරයා තම බලතල ක්‍රියාත්මක කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන අගමැතිවරයා මගින් අමාත්‍ය මණ්ඩලය තමන්ට ලබා දෙන උපදෙස්වලට අනුකූලව ය. මෙම නියමයට ව්‍යතිරේක ඇත්නම් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව සඳහන් කළ යුතු ය.

නීතිඥ ලාල් විජේනායක
ජනාධිපතිගේ මතය අනුව නියෝජිත මණ්ත්‍රී මණ්ඩලයේ බහුතර විශ්වාසය ඇති පාර්ලිමේන්තු මණ්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැති වශයෙන් පත් කළ යුතු ය. එහෙත් අගමැතිවරයාව තනතුරින් ඉවත් කිරීමේ බලය ජනාධිපති වරයාට ලැබෙන්නේ නැත.
අකාර්යක්ෂම ආණ්ඩුකරණය සහ දේශපාලන දූෂණ අඩුකිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන, එහෙත් දිගුකාලීනව ඉටු නොකරන ලද ජනප්‍රිය ඉල්ලීමක් වන්නේ අමාත්‍ය මණ්ඩලයේ සහ අනිකුත් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීම ය. එබැවින් අමාත්‍ය මණ්ඩලයේ උපරිම සංඛ්‍යාව විස්සක් විය යුතු යයි යෝජනා කරනු ලැබේ. මේ අයගෙන් අවම වශයෙන් පස්දෙනෙකු ස්ත්‍රීන් විය යුතු ය.ඊට අමතරව පස් දෙනකුට නොඅඩු අමාත්‍යවරු සංඛ්‍යාවක් බහුතර ප්‍රජාවට අයත් නොවන ප්‍රජාවන්ගෙන් විය යුතු ය. අමාත්‍යවරුන් අතරින් තෝරාගන්නා එක් අමාත්‍යවරයකු උප අගමැතිවරයකු විය යුතු ය. ඇය/ඔහු අගමැතිවරයා අයත් නොවන ප්‍රජාවකට අයත් විය යුතු ය.
රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මුලු සංඛ්‍යාව ද විස්සකට සීමා විය යුතු ය. ඔවුන් අතරින් අඩුම වශයෙන් පස් දෙනකු ස්ත්‍රීන් විය යුතු ය. එමෙන්ම ඔවුන්ගෙන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් බහුතර ප්‍රජාවට අයත් නොවන ප්‍රජාවන්ගෙන් විය යුතු ය.
අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජාතික රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කළ යුතු ය.
බලය බෙදාහැරීම සහ ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය
බලය බෙදා හැරිම මගින් සිදුවන්නේ ආණ්ඩුකරණය ජනතාව වෙතට ආසන්න කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරිමයි. බලය බෙදාහදා ගැනීම, අනුපූරකතාවය සහ පුරුවැසි සහභාගිත්වය මත පදනම්ව ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සිදුකළ යුතු ය.
ආණ්ඩුවේ පහළ මට්ටම්වලට විෂයයන් සහ කාර්යයන් පැවරීමේ දී උපරිම කාර්යක්ෂමතාවය සහ ජනතාවට වගවීම සහතික කිරීම සඳහා ඉහත සඳහන් මූලධර්ම විසින් මග පෙන්විය යුතු ය. ඒ අනුව පහළම මට්ටමට වඩාත් කාර්යක්ෂමව හැසිරිවිය හැකි විෂයයන් සහ කාර්යයන් එම මට්ටමට පවරා දිය යුතු ය.
ජනතාව සවිබල ගැන්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරින් තහවුරු කිරීම සඳහා පුරවැසියන්ගේ සහභාගිත්වය පළාත් පාලනයේ පහළ මට්ටමට ලබා දීම සඳහා සෑම පළාත් පාලන කොට්ඨාශයකම ග්‍රාම සභා ස්ථාපිත කිරීමට යෝජනා කරනු ලැබේ. මෙය පලාත් පාලන ආයතනවලින් ජනතාව ඈත්වීම සහ දෙපක්ෂය අතර සම්බන්ධතා බිදවැටිම පිළිබඳ වත්මන් ගැටලු ජය ගැනීමට ද ආධාර වනු ඇත.
පහත සඳහන් ප්‍රතිසංස්කරණ ක්‍රියා මාර්ග යෝජනා කරනු ලැබේ:
ඡන්දය දීමේ අයිතිවාසිකම
ඡන්ද බලයට අත්තනෝමතික ලෙස මැදිහත්වීම් සිදුකිරීමට මධ්‍යම ආණ්ඩුවට අවස්ථාව සලසන්නේ නැතිවන පරිදි පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම නිසි කලට ලෙස සිදුකිරීම සහතික කිරීමට ඡන්දබලය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 4(ඇ) වගන්තියේ පැහැදිලි කිරීම තුළට පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල ඡන්දය දීමේ අයිතිය ද ඇතුල් කළ යුතු ය.
පළාත් සභා
රටේ ජනවාර්ගික ගැටළුවට පුළුල් පිළිගැනීමක් ඇතිව ක්‍රියාත්මක කළ හැකි ප්‍රවේශයක සහ විසඳුමක අත්‍යවශ්‍ය මූලිකාංගයක් වශයෙන් බලය බෙදාහැරීම පිළිගැනීම මගින් පළාත් සභා ක්‍රමය දිගටම පවත්වා ගැනීම සහ ශක්තිමත් කිරීම සිදුකළ යුතු ය.
පළාත් සභා ලැයිස්තුවේ අඩංගු විෂයයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජාතික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සිදුකළ යුතු අවස්ථා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබිය යුතු ය. එසේ නිර්දේශ කරන ජාතික ප්‍රතිපත්තිය ඇතුළත ක්‍රියාකිරීම පළාත් සභාවලට අනිවාර්ය බැවින් එම නීති පැණවීම් සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය අත්‍යවශ්‍ය වෙයි. ජාතික ප්‍රතිපත්ති සකස් කරන විට මධ්‍යම ආණ්ඩුව පළාත් සභා සමග සහභාගිත්ව ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු වේ.
පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තිය තීරණය කිරීම සහ එම විෂයයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නීති සම්මත කිරීම සිදුකිරීම තුලින් පළාත් සභා සහ පලාත්පාලන ආයතන වල විධායක හෝ පරිපාලන බලතල මධ්‍යම ආණ්ඩුව විසින් අත්පත් කර ගැනීම සිදුනොවිය යුතු ය.
පළාත් සභාවේ බහුතර මන්ත්‍රීවරයන්ගේ සහාය ලබාගැනීමට සමත් යයි ආණ්ඩුකාරවරයා කල්පනා කරන මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් මත සෙසු පළාත් ඇමතිවරු ද ආණ්ඩුකාරවරයා විසින් පත් කළ යුතු ය.
පළාත් සභාවේදී පළාත් පරිපාලනය සම්බන්ධයෙන් විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීම හෝ විසර්ජන ප්‍රඥප්තිය (අයවැය) හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප වීම යන අවස්ථාවල පළාත් සභාව විසුරුවා නොහැර අමාත්‍ය මණ්ඩලයට සහභාගිවීමට කැමති පක්ෂවල සහභාගිත්වයෙන් බහු–පක්ෂ පාලනයක් ස්ථාපිත කළ යුතු ය. අවසාන මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ගත් පක්ෂය විසින් නම් කරන පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් කළ යුතු ය. තමන්ට ලැබුනු ඡන්දවලට අනුපාතිකව බහු–පක්ෂ පාලනයට සහභාගිවන පක්ෂ අතර අමාත්‍යාංශ බෙදා හැරිය යුතු ය.
එසේ වූවත්, පළාත් සභාව එම බහු–පක්ෂ පාලනයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් සම්මත කළහොත් හෝ බහු–පක්ෂ පාලනයේ විසර්ජන ප්‍රඥප්ති කෙටුම්පත හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය පළාත් සභාවේදී ප්‍රතිකේෂප වූවහොත් පළාත් සභාව විසිරුවා හැරිය යුතු ය. පළාත් සභාව විසිරුවා හැරියද නව මැතිවරණයක් පවත්වන තුරු අමාත්‍ය මණ්ඩලය කටයුතු කරනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය පරිදි සහ සෙනෙට් සභාවේ අනුමතිය ඇතිව ජනාධිපති විසින් පළාත් ආණ්ඩුකාරවරයා පත් කළ යුතු ය. ආණ්ඩුකාරවරයා තම පත්වීමට පෙර තුන් වසරක කාලය තුළ කිසිම දේශපාලන පක්ෂයක් සමග සම්බන්ධව සිටි අයකු නොවිය යුතු ය. ඔහු/ඇය තනතුර දරණ කාලය තුළ දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු ය.
පළාත් සභාවක් විසින් සම්මත කරන ලද ප්‍රඥප්ති කෙටුම්පතක් ආණ්ඩුකාරවරයා වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු අතර, ආණ්ඩුකාරවරයා එය අනුමත කළ යුතු ය. නැත හොත් හෝ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බවට තීරණය කිරීම සඳහා මාසයක කාලයක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට යොමු කළ යුතු ය. ප්‍රඥප්ති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීරණය කළ විට, අධිකරණයේ තීරණය තමන් වෙත ලැබීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා ප්‍රඥප්තිය අනුමත කළ යුතු ය. ප්‍රඥප්ති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීරණය කළ හොත්, ආණ්ඩුකාරවරයා එම ප්‍රඥප්තියට අනුමැතිය ලබා නොදිය යුතු ය. ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථා කෙටුම්පත අනුමත නොකර හෝ මාසයක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට යොමු නොකර සිටින්නේ නම්, එම ප්‍රඥප්ති කෙටුම්පත අනුමත වූ ලෙස සැලකිය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ඌ)(4) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුකාරවරුන් විසින් ප්‍රඥප්ති කෙටුම්පත් අනුමත කිරීම හෝ ජනාධිපතිවරයා විසින් එම කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු නොකර සිටි අවස්ථා ඇති බැවින් අපි මෙම සංශෝධනය යෝජනා කරන්නෙමු.
ජාතික රාජ්‍ය සේවා කොමිෂන් සභාව පළාත් ලේකම්වරයා පත් කළ යුත්තේ ප්‍රධාන ඇමතිවරයාගේ සමගාමී එකඟතාවය සහිතව ය. පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන් ප්‍රධාන ඇමතිවරයා සමග විමසීමෙන් පසුව පත් කළ යුතු ය. ප්‍රධාන ඇමතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා විමසා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පළාත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කළ යුතු ය.
පළාත් රාජ්‍ය සේවාවේ නිලධාරීන් පත් කිරිම, ඔවුන්ගේ උසස්වීම්, මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් සහ විනය පාලනය එක් එක් පළාත සඳහා පිහිටුවා තිබෙන පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙත පැවරෙයි.
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ප්‍රධාන ඇමතිවරයා සහ පළාත් සභාවේ විපක්ෂ නායකවරයාගේ ඒකාබද්ධ නාමයෝජනයෙන් ආණ්ඩුකාරවරයා විසින් පත් කළ යුතු ය. ඒ සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රධාන ඇමතිවරයා සහ විපක්ෂ නායක විමසා නාමයෝජනා ඉදිරිපත් කළ යුතු ය.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ප්‍රධාන අමාත්‍ය සමුළුවක් පිිහිටුවිය යුතු අතර එය නියමාන්විත කාලයකට රැස්වී පළාත් සභාවලට පොදුවේ බලපාන කාරණා සාකච්ජා කිරීම ද පළාත් අතරත් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් අතරේත් සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම ද සිදුකළ යුතු ය.
පළාත් පාලනය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පළාත් පාලනය නිශ්චිත විෂයයන් සහ වගකීම් පිළිබඳ ලැයිස්තුවක් සහිතව තුන්වන ආණ්ඩු ස්ථරය වශයෙන් පිළිගත යුතු ය.
සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට පළාත් පාලන ආයතනවලට බලය සහ සම්පත් තිබිය යුතු ය.
මෙයට අමතරව පරිසරය, වෙරළ සංරක්ෂණය, සමාජ සුබසාධක වැඩසටහන් සහ පෙර පාසැල් වැනි මධ්‍යයේ නීතිවලින් සහ පළාත් සභා ප්‍රඥාප්තිවලින් නිශ්චිත කරන කෘත්‍යයන් ක්‍රියාත්මක කරන නියෝජන ආයතන ලෙස පළාත් පාලන ආයතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගත යුතු ය.
ග්‍රාම සභා
සහභාගිත්වය තුළින් ජනතාව සවිබල ගැන්වීම සඳහා සෑම පළාත් පාලන කොට්ඨාසයක් සඳහා ම ග්‍රාම සභාවක් බැගින් පිහිටුවීමට යෝජනා කරනු ලැබේ. ප්‍රදේශයේ පිළිගත් පුරවැසි සංවිධාන වලින් නාම යෝජනා කරනු ලබන පුද්ගලයින් අතරින් මෙම ග්‍රාම සභා සඳහා සාමාජිකයන් තෝරා පත් කර ගත යුතු ය. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා පිළිනොගත යුතු ය.
ප්‍රාදේශීය මට්ටමේදී (අ) ප්‍රජාවට අවශ්‍ය කාර්යභාරයන්ට ක්‍රියාශීලිව සහභාගිවීම හා පළාත් පාලන ඡන්ද විමසීම්වලදී ඡන්දය පාවිච්චි කිරීම සහ (ආ) ප්‍රාදේශීය ස්ව–පාලනයේ ක්‍රියාශීලි භූමිකාවක් ඉටු කිරීමට පුරවැසියන්ට අවස්ථාව සැලසීම යන තීරණාත්මක කාර්යයන් දෙක ඇතුලත් ක්‍රමවේදයක් වශයෙන් පුරවැසි සහභාගීත්වය පිළිගැනීමට ලක්වී තිබේ.
ග්‍රාම සභා කලින් කලට ජනතාව විසින් තෝරා පත් කර ගතයුතු අතර එම ප්‍රදේශයේ සංවර්ධන ක්‍රියාකාරකම් ද ඇතුලත්වන ආණ්ඩුවේ කාර්යයන් පිළිබඳ තීරණ ගැනීම සඳහා දායකවීමට අවශ්‍ය බලය ද ඒවාට තිබිය යුතු ය. ඒවා උපදේශක, අධීක්ෂණ සහ නියාමන (මුර බල්ලන් මෙන් ක්‍රියාකිරීමේ) භූමිකාවක් පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය තුළ ඉටුකළ යුතු ය. පළාත් පාලන ආයතන කොට්ඨාශවලට අදාල ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම්කරණය පිළිබඳ සියලු කාරණාවලදී ග්‍රාම සභා විමසීම පළාත් පාලන අධිකාරවල නෛතික වගකීමක් බවට පත් කළ යුතු ය.
දුෂ්පරිපාලනය, අසාධාරණයන්, නාස්තිය, අල්ලස සහ දූෂණ පිළිබඳව පළාත් පාලන අධිකාරීන්ට දැනුම් දීමට ග්‍රාම සභාවලට හැකි විය යුතු ය. එම දැනුම්දිම් වලට ප්‍රතිචාර දැක්වීම පළාත් පාලන අධිකාර විසින් සිදුකරන අනිවාර්ය කාරණයක් වනු ඇත.
ජනතාවට ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සම්පාදනය, වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සහ ආණ්ඩුරණය සඳහා සෘජුවම සහභාගිවීමට අවශ්‍ය ඉඩකඩ සහ අවස්ථා සපයාදීම ග්‍රාම සභා විසින් සිදුකළ යුතු ය.
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රාම සභා නියෝජිතයින් ගෙන් සමන්විත ප්‍රාදේශීය ග්‍රාම සභාවක් පිහිටුවිය යුතු අතර, එම මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාදාමයට එය දායක විය යුතු ය.
බෙදුම්වාදයට එරෙහි ආරක්ෂණ
බොහෝ රටවල බෙදුම්වාදී අභියෝග බලය බෙදාහදා ගැනීම් මගින් සාර්ථකව සමනය කලද, බලය බෙදා හැරීම බෙදුම් වාදයට පාර කපන්නේය යන බිය බලය බෙදා හැරීමට විරුද්ධ පාර්ශව විසින් පතුරවා තිබේ. බලය බෙදාහැරීම සිදුකළ ද බෙදුම්වාදී ව්‍යාපාර සමහර රටවල පවතියි. එය සිදුවී තිබෙන්නේ බලය බෙදාහැරීම නිසා නොව බලය බෙදාහරින ලද ඒකක විසින් නීතිය සහ සාමය වැනි බලයන් බලහත්කාරී ලෙස වෙන්ව යාමට යොදා ගෙන ඇති නිසා ය. එබඳු වෙනම රාජ්‍ය පිහිටුවීමේ උත්සාහයන් බොහෝවිට සිදුව තිබෙන්නේ ඓතිහාසික හේතු සාධක ද මත ය. එසේ වූවත් බලය බෙදාහැරීම බෙදුම් වාදයට මග පාදන්නේය යන සැකය සමහර දෙනෙකු තුළ තිබෙන නිසා බෙදුම් වාදයට එරෙහි ආරක්ෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විය යුතු යයි අපි යෝජනා කරමු.
මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන යෝජනාව ඉදිරිපත් කරමු.
පළාත් සභා පාලනයක් විසින් සන්නද්ධ කැරැල්ලක් හෝ නැගිටීමක් ප්‍රවර්ධනය කිරීම හෝ ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය තුලින් ජනරජයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධිපත්‍යයට පැහැදිලි සහ විද්‍යමාන අනතුරක් ඇත්නම් මධ්‍යම රජයට මැදිහත්විය හැකි ය. මෙය අගමැතිගේ උපදෙස් පිට ජනාධිපති විසින් නිකුත් කරන ප්‍රකාශනයක් මගින් සිදුකළ යුතු ය. පළාත් පරිපාලනය සම්පූර්ණයෙන් හෝ එහි ඕනෑම කාර්යයක් ජනාධිපතිවරයාගේ පාලනයට ගත හැකි ය. අවශ්‍ය නම් පළාත් සභාව අත්හිටුවිය හැකි ය. එම ප්‍රකාශනය නිකුත් කිරීමට හේතුවූ කාරණා පැහැදිලිව ප්‍රකාශ කළ යුතු ය. එබඳු ප්‍රකාශනයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙක විසින් අනුමත කළ යුතු අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ හැක. එබඳු ප්‍රකාශනයක් වලංගු වන්නේ මාස තුනක කාලයකයට ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකේ අනුමැතියට සහ අධිකරණ විවරණයට යටත්ව එය දීර්ඝ කළ හැකි ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවන ලද්දේ විධායක ජනාධිපතිවරයා සතු ප්‍රමාණය ඉක්මවා ගිය බලය සීමා කිරීමට සහ රාජ්‍යය සහ රාජ්‍ය සේවය නිර්දේශපාලනකරණයට ලක් කිරීමට ය. ආන්ඩුවේ බලය පාලනය කිරීමේ සංවරණ සහ තුලන ක්‍රමයක් වශයෙන් ක්‍රියාත්මකවීම ද එයින් අපේක්ෂා කරන ලදි.
ඉහළ තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් ජාතික එකඟතාවක් ලබා ගැනීම සඳහා යොදා ගන්නා යාන්ත්‍රණයක් වශයෙන් සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල ද පවත්වා ගැනීම අවශ්‍යය යන මතය අපි දරමු. වර්තමානයේදී ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම මෙම සභාවේ නිර්දේශ අනුව සිදුකරන අතර ඉහළ රාජ්‍ය තනතුරුවලට පත්විම් සිදු කෙරෙන්නේ මෙම සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිගේ නිර්දේශ කිරීම පදනම් කර ගෙන ය. මෙම කාණ්ඩ දෙකටම ඇතුලත් තනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කළ යුතුය යන්න අපගේ යෝජනාවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පහත සඳහන් පරිදි සමන්විත විය යුතු යයි යෝජනා කරනු ලැබේ:
(අ) අගමැතිවරයා,
(ආ) සභාවේ සභාපතිවරයා වන කථානායකවරයා,
(ඇ) නියෝජිත මණත්‍රී මණ්ඩලයේ විපක්ෂනායකවරයා,
(ඉ) සෙනෙට් සභාවේ සභාපතිවරයා,
(ඊ) අගමැති සහ විපක්ෂනායකවරයා විසින් එක්ව සිදුකරන නාමයෝජනා පදනම් කර ගෙන ජනාධිපතිවරයා විසින් පත් කරන සාමාජිකයන් පස්දෙනෙකු සහ
(එ) අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා අයත්වන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමකට අයත් නොවන මන්ත්‍රීවරුන් විසින් නම් කිරීමෙන් ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන එක් සාමාජිකයෙක්.
ඉහත (ඊ) යටතේ පත් කරන සාමාජිකයන් නම් කිරීමේදී අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා ජාතික වෘත්තික ආයතන සහ පුරවැසි සංවිධාන විසින් ඉදිරිපත් කරන නාම යෝජනා සලකා බැලිය යුතු ය. ඒ සමගම පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කන්ඩායම් වලද අදහස් විමසිය යුතු ය. වෘත්තීය සහ සමාජ විවිධත්වය ද ඇතුලත්වන ශ්‍රී ලාංකේය සමාජයේ පවතින බහුත්ව ලක්ෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පිළිබිඹුවීම සහතික කිරීම ඔවුන්ගේ වගකීමකි. ඉහත (ඊ) සහ (එ) යටතේ සඳහන්වන පුද්ගලයන් මහජන සහ වෘත්තීය ජීවිතය තුළ විශිෂ්ඨත්වය සහ අවංකභාවය පිළිබඳව පිළිගැනීමක් ලැබූ තැනැත්තන් විය යුතු ය. ඔවුන් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවිය යුතු ය. මෙම නාම යෝජනා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු ය.
අධිකරණය
උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණ සේවා කොමිසන් සභාවේ සාමාජිකයන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ පටිපාටිය අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි සෘජු ලෙසම බලපායි. මෙම පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිදුකරන නාමයෝජනාවන් පදනම් කර ගෙන සිදුකිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වය වඩාත් හොඳින් සහතික කරන්නේය යන්න අපගේ මතයයි.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පණත් කෙටුම්පත් අභියෝගයට ලක් කිරීමට පුරවැසියන් සහ සිවිල් සංවිධාන වැඩි වැඩියෙන් ඉදිරිපත්වීම යහපත් ප්‍රවණතාවයකි. නීති සහ ප්‍රඥප්ති සම්මත වීමෙන් පසුව ද ඒවා පිළිබඳ අධිකරණ පසුවිපරමට ඉඩ දිය යුතු බව අප මෙම ලියවිල්ලේ වෙනත් ස්ථානයක යෝජනා කර ඇත. සංකීර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටලු අධිකරණ ඉදිරියේ මතු වන බැවින් නිසා මෙබඳු කාරණා විශේෂඥ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් විසින් විනිශ්චය කිරීම වඩාත් යහපත් ය.
අධිකරණය සම්බන්ධව පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු:
උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට සිදුකරන පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් සිදුකළ යුතු ය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අග්‍ර විනිශ්චයකාරවරයාගේ සහ ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනාගේ මත විමසීම සිදුකළ යුතු ය.
උපරමාධිකරණ විනිශ්චයකාරවරයෙකු ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගයක සදහන් කර ඇති ඔහුගේ/ඇයගේ විෂමාචාර පැවැත්ම සහ අබලතාවය පිළිබඳ චෝදනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරු තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින් විභාග කළ යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ පදනම් කර ගෙන පාර්ලිමේන්තුවේ කථානායක විසින් ඔවුන්ව පත් කළ යුතු ය.
උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ට බලපැවත්වෙන චර්යා ධර්ම පද්ධතියක් තිබිය යුතු යයි යෝජනා කරමු. චර්යා ධර්ම පද්ධතියේ බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ ව්‍යවස්ථා අධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරු තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් විමර්ශනය කළ යුතු ය. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කළ යුතු ය.
විනිශ්චයකාරවරුන්ගේ ස්වාධීනත්වය සහ සුපලිපන්භාවය ඉහළ නැංවීම සඳහා නව පියවර ගත යුතුව තිබේ. ඒ අනුව විශ්‍රාමික උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ආර්ථික සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ඔවුන්ට ධුරවල සිටියදි ලැබු අවසාන වැටුපට සමාන විශ්‍රාමික වැටුපක් සහ සේවයේ සිටින විනිශ්යකාරවරුන්ට ලබා දෙන අමතර දීමනා සහ පහසුකම් ලබාදීම වැනි උචිත පියවර ගත යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් අනුමත කර ඇති නම් හෝ ජනාධිපතිවරයා ගෙන් ලබා ගන්නා ලිඛිත අවසරයක් ලැබී ඇති නම් මිස විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තමන්ට මූල්‍ය ප්‍රතිලාභයක්, වාසියක් හෝ ප්‍රයෝජනයක් ලැබෙන කිසිදු කෘත්‍යයක් ඉටු නොකළ යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කරන විනිශ්චයකාරවරුන් හත් දෙනකුගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සමන්විත වේ. අධිකරණය, නීතිඥ වෘත්තිය හෝ නීති අධ්‍යාපනය/පර්යේෂණ යනා දී කේෂත්‍රවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශිෂ්ඨතාවයක් පෙන්වා තිබෙන තැනැත්තන් අතරින් මෙම විනිශ්චයකාරවරුන් තෝරා ගත යුතු ය. ඔවුන් පස්වසරක නිල කාලයක් සඳහා පත් කළ යුතු අතර නැවත පත් නොකෙරෙති. ඕනෑම අධිකරණයක දී පැන නගින ව්‍යවස්ථා අධිකරණයේ බල කේෂත්‍රයට වැටෙන ඕනෑම කරුණක් ව්‍යවස්ථා අධිකරණයට යොමු කළ යුතු ය. එම නිසා ව්‍යවස්ථා අධිකරණය වෙනත් අධිකරණයක තීරණයක් නිෂ්ප්‍රභා කිරීම පිළිබඳ ගැටලුවක් පැන නගින්නේ නැත.
ව්‍යවස්ථා අධිකරණයට එයටම අනන්‍ය අධිකරණ බලය පහත සඳහන් පරිදිය:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම; පාර්ලිමේන්තුවේ පණත් කෙටුම්පත් සහ නීති, සහ පළාත් සභා ප්‍රඥප්ති කෙටුම්පත් සහ ප්‍රඥාප්ති පිළිබඳව අධිකරණ විවරණය; පළාත් සභා සම්බන්ධයෙන් මධ්‍යම රජය විසින් සිදුකරනු ලැබූ මැදිහත්වීම්වලට අදාල ප්‍රකාශණයන්ගේ වලංගුභාවය; මධ්‍යය සහ පළාත් සභා අතර ආරවුල්; තමන්ගේම විනිශ්චයන් විවරණය කිරීම; නීතිපති, මහජන අභිචෝදක සහ මහජන අයිතිවාසිකම් සුරක්ෂක යන ආයතන විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්වන චෝදනා විමර්ශනය කිරීම.
පුරවැසියන්ට පහසුවෙන් යුක්තිය අත්පත් කර ගැනීමට ආධාර කිරීම සඳහා අභියාචනා අධිකරණය තම සැසිවාර සෑම පළාතකම පවත්වනු ඇත. එයට මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් පිළිබඳ මුල් අවස්ථා අධිකරණ බලය හිමි වෙයි. අභියාචනා අධිකරණයෙන් අවසරය මත හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ අවසරය මත අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ හැක. පළාත් මහාධිකරණ සතු සිවිල් අභියාචනා අධිකරණ බලය පළාත්වල රැස්වන අභියාචනාධිකරණයට පැවරෙනු ඇත.
නීතිපති, මහජන අභිචෝදක සහ මහජන අයිතිවාසිකම් සූරක්ෂක
නිතිපති තනතුර ස්වාධීන ආයතනයක් විය යුතු ය. නීතිපතිවරයා ජනරජයේ ප්‍රධාන නීති නිලධාරියා ය. එම තනතුර දරණ පුද්ගලයා ජනතාවගේ පරමාධිපත්‍යය හා අයිතිවාසිකම් සහ මහජන යහපත සහතික කළ යුතු ය. ස්වාධීන මහජන අභිචෝදක සහ මහජන අයිතිවාසිකම් සුරක්ෂක යන තනතුරු අලුතින් ස්ථාපිත කිරීමට ද යෝජනා කරනු කෙරේ.
නීතිපති, මහජන අභිචෝදක සහ මහජන අයිතිවාසිකම් සුරක්ෂක යන තනතුරුවලට තැනැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කරනු ලැබේ.
මූලික අයිතිවාසිකම්
ගෝලීය ප්‍රවනතාව වන්නේ (අ) සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් (පළමු පරම්පරාවේ අයිතිවාසිකම්) (ආ) ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් (දෙවන පරම්පරාවේ අයිතිවාසිකම්) සහ (ඇ) පරිසර සහ සංවර්ධන අයිතිවාසිකම් (තුන්වන පරම්පරාවේ අයිතිවාසිකම්) අධිකරණය මගින් බලාත්මක කළ හැකි අයිතිවාසිකම් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගැනීම ය.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ජේදය විශ්වීය වශයෙන් පිළිගෙන ඇති අයිතිවාසිකම්ද ඇතුලත් කරමින් වැඩි දියුණු කළ යුතු බව අපගේ යෝජනාවයි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වල විෂය කේෂත්‍රය පුඵල් කළ යුතු ය. ජීවිතයට ඇති අයිතිය, මානව ගරුත්වය, කායික ස්වායත්තාව සහ පෞද්ගලිකත්වය රැක ගැනිමේ අයිතිය පිළිගත යුතු ය. සමාජ සහ ආර්ථික අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම්, ස්ත්‍රීන්ගේ, ළමයින්ගේ සහ වයස්ගතවූවන්ගේ සහ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් මෙන්ම කණ්ඩායම් අයිතිවාසිකම් ද, පරිසරය සහ සංවර්ධනය පිළිබඳ අයිතිවාසිකම් ද, අධිකරණය මගින් බලාත්මක කළ යුතු අයිතිවාසිකම් වශයෙන් පිළිගත යුතු ය. සමාජ සහ ආර්ථික අයිතිවාසිකම්වලට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම, සෞඛ්‍යයට ඇති අයිතිවාසිකම, ප්‍රමාණවත් ආහාර සඳහා අයිතිවාසිකම, සනීපාරක්ෂාවට, ප්‍රමාණවත් නිවාස සහ වාසස්ථාන, සුදුසු සමාජ ආරක්ෂණය සහ ශිෂ්ඨ සම්පන්න රැකියාවකට ප්‍රවේශ වීමට ඇති අයිතිය, සූරාකෑමෙන් නිදහස, සාධාරණ සහ යහපත් කොන්දේසි යටතේ වැඩකිරීමට හැකිවන රැකියාවක් සඳහා ඇති අයිතිය සහ පාරිභෝගික අයිතිවාසිකම් ඇතුලත්ය. වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ යහපත උදෙසා පරිසරය, ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමේ අයිතිය ද ඇතුළුව, පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා සෑම පුද්ගලයෙකුට ම අයිතිය තිබිය යුතු ය.
සියලු පුද්ගලයන්ට නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ නීතියේ සමාන ආරක්ෂාව සහතික කරන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වෙනි ව්‍යවස්ථාවේ හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එයට සමාන ව්‍යවස්ථාවක පහත සඳහන් විධිවිධාන ඇතුළත් විය යුතුය: කාන්තාවන්ගේ, ළමයින්ගේ, ආබාධිත පුද්ගලයින්ගේ සහ අවාසි සහගත කණ්ඩායම්වල හෝ ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය සඳහා නීතිය, අනුනීතියක් හෝ විධායක ක්‍රියාමාර්ගයක් විසින් සාදන ලද විශේෂ විධිවිධාන මෙම උප–ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙස නොසැලකිය යුතු ය.
ජාතික ආරක්ෂාව පිළිබඳ නියාමක මූලධර්ම සැලකිල්ලට ගනිමින්, එහෙත් මූලික අයිතිවාසිකම්වල විෂය පථය කිසිදු ආකාරයකින් සීමා නොකර සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට සහ ජාත්‍යන්තර නීතියේ අනෙකුත් මූලාශ්‍රවලට නිසි සැලකිල්ල දක්වමින්, මූලික අයිතිවාසිකම් අර්ථ නිරූපණය කළ යුතු ය.
මහජන යහපත මුල්කර ගත් නඩුකර නිශ්චිතවම පිළිගනු ඇත. සාධාරණ කාලක් තුළ ඉදිරිපත් කෙරෙන අයැදුම් පත් විභාගයට ගැනිමට අවස්ථාව ලබාදෙනු ඇත. මහජන මහජන අයිතිවාසිකම් සුරක්ෂක විසින් ද මහජන යහපත මූලික කරගෙන මූලික හෝ භාෂා අයිතිවාසිකම් පිළිබඳ අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදුකළ හැකි ය.
සියලු පවතින නීති මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව කියවා අර්ථකථනය කළ යුතු ය.
ජාත්‍යන්තර නීතිය
වර්තමානයේ විධායකය ජාත්‍යන්තර සම්මුතිවලට එළඹෙන්නේ ඒවා ව්‍යවස්ථාදායකයට කිසිදු ආකාරයකින් යොමු නොකරය. සෑම ගිවිසුමක් ම අත්සන් කිරීමට අවම වශයෙන් මාසයකට පෙර, ගිවිසුමෙහි ඇඟවීම් පැහැදිලි කරන සංදේශයක් ද සහිතව, ගිවිසුම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු ය යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සැලසිය යුතු යැයි අපි යෝජනා කරන්නෙමු. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට එම ගිවිසුම අත්සන් කිරීම, තවදුරටත් කාලයක් තබාගෙන සිටීම හෝ අත්සන් නොකර සිටීම නිර්දේශ කරන යෝජනාවක් සම්මත කළ හැක. විධායකය එවැනි යෝජනා සම්මතයක නියමයන් ගෙන් බැඳී සිටිය යුතු ය. එවැනි සෑම ගිවිසුමක් ම අත්සන් කිරීම පිළිබඳව වහාම පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු ය.
ශ්‍රී ලංකාව මානව හිමිකම් බැඳීම් පිළිගෙන තිබෙන නමුත්, දේශීය වශයෙන් ලියවිලි වල සටහන් වී තිබෙන එවැනි සියලු බැඳීම්වල ප්‍රතිලාභ ජනතාවට ලැබී නැත. මානව හිමිකම් ගිවිසුමක විධිවිධාන එම ගිවිසුම අපරානුමත කළ දින සිට වසර දෙකක කාලයක් ඉකුත් වූ විට දේශීය නීතියේ කොටසක් බවට පත් විය යුතු යැයි අපි යෝජනා කරන්නෙමු. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් යෝජනා සම්මතයක් මගින් එම කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීම හෝ එම කාලය අඩු කිරීම සිදු කරනු ලැබිය හැක. තුනෙන් දෙකක බහුතරයක් මගින් එය එක් වරකට වසරක් නොඉක්මවන කාලසීමාවකින් තවදුරටත් දීර්ඝ කිරීම සඳහා හැකියාව තිබිය යුතු ය. යම් ගිවිසුමක් ස්වයංක්‍රීයව ම රටේ නීතිය තුළට අන්තර්ගත වීමට පෙර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් එම සම්පූර්ණ ගිවිසුම නොව, එම ගිවිසුමෙහි කොටසක් රටේ නීතිය තුළට ඇතුළත් කළ යුතු බවට නීතියක් සම්මත කරන අවස්ථාවක, එලෙස දේශීය නීතිය තුළට අන්තර්ගත නොකර ඉතිරිවී තිබෙන විධිවිධාන අදාළ කාල සීමාව අවසානයේ දී දේශීය නීතිය බවට පත් විය යුතු ය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන බලාත්මක වන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙකු වී තිබෙන මානව හිමිකම් ගිවිසුම්, ඉහත කී වසර දෙකක කාලසීමාව බලාත්මක වන දින සිට ආරම්භ විය යුතු ය.
රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම
අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස යනාදී අංශ සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකවලට අනුව සිදු කළ යුතු බවට රාජ්‍ය ප්‍රතිපත්ති නියාමක මූලධර්ම මගින් විධිවිධාන සැලසිය යුතු ය. රාජ්‍ය ප්‍රතිපත්ති නියාමක මූලධර්ම අධිකරණ විනිශ්චයට යටත් කළ නොහැකි අතර, අනුල්ලංඝනීය ද විය යුතු ය.
ජාතික ප්‍රතිපත්ති සම්පාදනය
ප්‍රධාන රාජ්‍ය ක්ෂේත්‍රවල දී හැකිතාක් දුරට රාජ්‍ය ප්‍රතිපත්තිවල අඛණ්ඩතාවය, වඩා යහපත් ප්‍රතිපත්ති සම්පාදනය සහ සියලුම පක්ෂ අතර ප්‍රතිපත්තිමය සම්මුතියක් ඇති කර ගැනීම සහතික කිරීම පිණිස ‘ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක්‘ පිහිටුවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැලසිය යුතු ය.
භාෂාව
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා වන්නේ ය.
සෑම පුද්ගලයකුටම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් රාජ්‍ය නිලධාරියකු සමග සන්නිවේදනය කිරීමට හෝ කිසියම් කාර්යයක් ඉටුකිරීමටත් එම නිලධාරියාගෙන් තමන් ගණුදෙනු කළ භාෂාවෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමටත් අයිතිය ඇත.
යම් ලියවිල්ලක පිටපතක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබා ගැනීමට හෝ පරිවර්තනයක් ලබා ගැනීමට ඇති අයිතිය සහතික කරනු ලැබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (අ) උපත්, මරණ හෝ විවාහ සම්බන්ධයෙන් තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගැනීමට ඇති අයිතිවාසිකම, (ආ) එබඳු උපත්, මරණ සහ විවාහ සම්බන්ධයෙන් මුල් සහතිකය එම භාෂාවලින් ලබා ගැනීමට ඇති අයිතිවාසිකම සහ (ඇ) වරදක් සිදුකිරීම පිළිබඳව තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සැපයීමට ඇති අයිතිවාසිකම යන අයිතිවාසිකම් සහතික කරනු ඇත.
දරුවෙකුගේ දෙමාපියන්ගේ තෝරා ගැනීමට අනුව සෑම දරුවෙකුටම ප්‍රාථමික අධ්‍යාපනය ඔනෑම රාජ්‍ය භාෂාවකින් ලබා ගැනීමට අයිතිවාසිකම ඇත. අනිකුත් රාජ්‍ය භාෂා දෙක විෂයයන් වශයෙන් පාසැල් විෂය නිර්දේශය තුළින් ඉගැන්විය යුතු ය.
මෙම පරිච්ඡේදයෙහි දක්වා ඇති පරිපාලන, අධ්‍යාපනික හෝ අධිකරණ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ දී රජය, ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට බ්‍රේල්, විශාල මුද්‍රිත අකුරු සහ ඉලක්කම් යොදා ගැනීම, සංඥා භාෂාව, දෘශ්‍ය මාධ්‍ය මෙන්ම සරල කළ අනුවාද යොදා ගැනීම වැනි සන්නිවේදනය වැඩිදියුණු කිරීමේ විකල්ප සන්නිවේදන ක්‍රම ඇතුළුව ඔවුන් කැමති සියලු ආකාරයේ සන්නිවේදන ස්වරූප හරහා සන්නිවේදනය කිරීමට සහ තොරතුරු ලබා ගැනීමට ඔවුන්ට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පහසුකම් සැපයිය යුතු ය. සංඥා භාෂාව බිහිරි ප්‍රජාවගේ සන්නිවේදන භාෂාව ලෙස පිළිගත යුතු අතර, එය භාවිතා කිරීම ප්‍රවර්ධනය කළ යුතු ය.
අදාළ පහසුකම් ලබා දිය යුතු යැයි රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන්නේ නම්, ඕනෑම සංඛ්‍යාත්මක වශයෙන් කුඩා භාෂාත්මක ප්‍රජාවක් විසින් භාවිතා කරනු ලබන භාෂාවක් සංරක්ෂණය කිරීමට හෝ පෝෂණය කිරීමට රජය පහසුකම් සැපයිය යුතු ය.
මහජන ආරක්ෂාව
ජාතික ආරක්‍ෂක කවුන්සිලයට නෛතික පදනමක් නොමැති බව පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසුව හෙළි වි ය. එවකට සිටි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට එම කවුන්සිලයේ රැස්වීම්වලට ආරාධනා නොකරන ලෙස උපදෙස් දී තිබූ අතර, තම පක්‍ෂයට අයත්, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ට එම රැස්වීම් සඳහා ආරාධනා කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සංයුතිය නිර්වචනය කළ යුතු බවටත්, ජාතික ආරක්ෂාව සම්බන්ධ සැලකිලිමත්වීම් වලට යටත්ව එහි තීරණ විමර්ශනය කරනු ලැබීම සහ වගවීම සඳහා විවෘත විය යුතු බවටත් අපි යෝජනා කරන්නෙමු.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නෛතික බැඳීම් ද ඇතුළුව නීතියට අනුකූලව ජාතික ආරක්ෂාව පවත්වා ගෙන යා යුතු ය. ජාතික ආරක්ෂාව ව්‍යවස්ථාදායකයේ සහ ජාතික විධායකයේ බල අධිකාරියට යටත් විය යුතු ය..
ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්
ආචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය
නීතිඥ භවානි ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ පර්යේෂක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ආචාර්ය මාරියෝ ගෝමස් විධායක අධ්‍යක්ෂ, ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය
ආචාර්ය සකුන්තලා කදිරගාමර්, විධායක අධ්‍යක්ෂ, නීතිය සහ සමාජ භාරය
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
ආචාර්ය පාකියසෝති සරවනමුත්තු විධායක අධ්‍යක්ෂ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ආචාර්ය කලන සේනාරත්න, නීති අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්
මහාචාර්ය දීපිකා උඩගම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීතිය පිලිබඳ මහාචාර්ය
මහාචාර්ය ජයදේව උයන්ගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය
ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
නීතිඥ ලාල් විජේනායක
Jit / August 12, 2024
නෝනා වරුනි, මහත්වරුනි, දැන්වත් මේ පිස්සු විකාර නවත්තන්ට! ලංකාව මේ වැටී ඇති අර්බුදයට කාරණාව ඔය කෙහෙල්මල් ව්‍යවස්ථාවක් නොවෙයි! මේ රටේ ඕනා තරම් නීති, රෙගුලාසි, පනත් ආදිය මිලියන ගණනාවක් තියෙනවා යහපත් සමාජයක් ගෙන යාමට තරම්. අන්න ඒවා හරියට ක්‍රියාත්මක කරන්ට! ඒ නීති ක්‍රියාත්මක කරන්ට ඉන්නා ආයතනවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්ට! ඒ ටික විතරක් කලොත් ඔය බහුබූත විසි තිස් ගණන් ව්‍යවස්ථා සංශෝදන ගෙනෙන්ට ඕන වෙන්නේ නෑනේ? දැන් බලන්ට ඔය එංගලන්තය, කැනඩාව, නවසීලන්තය, ස්වීඩනය කියන රටවල කිසිම ව්‍යවස්ථාවක් තියෙනවද? කොහෙත්ම නෑ! ඉතින් ඒ රටවල් බංකොලොත් ද? මිනිස්සු කන්ට නැතුව, ගෑස් නැතුව, පෙට්‍රල් නැතුව පෝලිම වල හිටියද? ඒ රටවල මිනිස්සු කොරියාවේ විතරක් නොවෙයි බුරුමයේ පවා රස්සාවලට යන්ට පොර කනවද? බෝට්ටුවල නැගල, ජීවිතේ එපා කියල ඔස්ට්‍රේලියාවට පනින්ට බලනවද? දැන්වත් මේ පිස්සු විකාර නවත්වල ඔය ගොල්ලන්ගේ ඔය අති මහත් වැදගත් ආචාර්ය උපාධි වලින් ඉගැන්වූ critical thinking කියන ප්‍රපංචයට ගරු කරලා රටට වැඩක් වෙන දෙයක් කරන්ට, ලියන්ට ඉගෙන ගන්ට, සමාජය මෙහෙයවන්ට! මහා පොළොවේ පය ගහල ඉන්ට! ඉතාම කනගාටුයි කියන්ට, නැත්නම් ඔය ගොල්ලන්ගේ අචාර්ය උපාධි වලටත් වෙන්නේ අර සුනඛයාගේ පස්ස පැත්තේ බැන්ඳ මීයට වෙච්චි දේ තමයි!
/