20 June, 2026

Blog

ශ්‍රී ලංකාව: හිමිකම්, වගවීම් සහ ජනතා බලාපොරොත්තු

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාවේ ජනතාව පසුගිය මැතිවරණවල දී, පැහැදිලිව සිය අදහස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බල වේගය (NPP) කෙරෙහි විශ්වාසය තැබුවේ අන්ධ පක්ෂපාතිත්වය ක් නිසා නොවෙයි; ඔවුන් එසේ කලේක්‍රම වෙනසක්ලෙස ජනතාව අතර ප්‍රචලිතවෙනසක් ඇති කිරීම සඳහා පැවති බලවත් වුවමනාව හේතුවෙන්. එසේ වුවත්, එම මැතිවරණ ජයග්‍රහණය NPP යට බලපත්‍රයක් ලබා දී නැහැ දුර්විපාක නොතකා කටයුතු කරන්නට. අනෙක් අතට, එම ජයග්‍රහණය විසින් සියලු පුරවැසියන් වෙත සාධාරණත්වය, ඉඩ ප්‍රස්තා සහ නම්‍යශීලී බව පිළිබඳව ලබා දුන් පොරොන්දු ඉටු කර ලීම සදහා සදාචාරාත්මක හා දේශපාලනික බැඳීමක් නිර්මාණය කලා.

දින කිහිපයකට පෙර, මම ලාල් කාන්ත ඇමතිවරයාගේපැහැදිලි දුර්ලභ මොහොතකටසවන් දුන්නා. බොහෝ විට නොසලකා හරින දෙයක් ඔහු අපට මතක් කර දුන්නා: කවුරුන් ආණ්ඩු කළත්, රජය බලයේ, බොහෝ විට මර්දනයේ, මෙවලමක් ලෙස පවතින බව. මේක අළුත් නිරීක්ෂණයක් නොවෙයි; සදාකාලික එකක්. එහි වර්තමාන ස්වරූපයෙන් ගත් විට රජය, තවමත්, ජනතාවට සේවය කරන්නට නොවෙයි, ඔවුන් පාලනය කරන්නට සැලසුම් කල යටත් විජිත නටබුන් රාශියක් කර තබා ගෙන ඉන්නවා.

1948 දී නිදහස ලැබුවත්, යටත් විජිත පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යාම සඳහා ඉදි කරන ලද මර්දනකාරී නීති සහ ව්‍යුහයන් බොහොමයක් අදටත් නොනැසී පවතිනවා. ඒවා නැවත ඇසුරුම් කර, නම් වෙනස් කර, ප්‍රසාරණය කර තිබෙනවා; කිසියම් තේරුමක් තිබෙන අන්දමට ඒවා ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ කලාතුරකින්.

මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දෙයක් නොවෙයි. සියවසකට වඩා වැඩි කාලයකට පෙර, ලෙනින් ලිව්වා, රජය මධ්‍යස්ථ ආයතනයක් නොවන බවඑහි හරය අතින් ගත්තම, එය බලහත්කාරය යොදන උපකරණයක්. ඔහු කිව්වාමම උපුටා දක්වනවා – “ස්ථාවර හමුදාවක් සහ පොලිසියක් කියන්නේ රාජ්‍ය බලයේ ප්‍රධාන උපකරණ.” ඒ යථාර්ථය, කණගාටුවට මෙන් තවමත් සත්‍යයක්.

ශ්‍රී ලංකාවේ, අප දැන් අරගලය ලෙස හඳුන්වන බහුජන නැගිටීම එක්සත් හෝ විප්ලවවාදී ව්‍යාපාරයක් වුනේ නැහැ. එය ප්‍රතිසංස්කරණවාදීන්ගේ සිට, නව ලිබරල්වාදීන් දක්වා පරාසයක විහිදුනු අතෘප්තියේ සන්ධානයක්. මිනිසුන්ට වෙනසක් අවශ්‍ය වුනා; නමුත් ඒ වෙනස මොන වගේ එකක් විය යුතුද යන්න ගැන ඔවුන් හැම විටම එකඟතාවයක සිටියේ නැහැ. ඒ නිසා, මුල සිටම, විප්ලවවාදී පරිවර්තනය සිදු විය නොහැක්කක් බවට පත්ව තිබුණා.

මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ගැඹුරින් එකිනෙකාට සම්බන්ධ වුන අස්ථාවර ලෝකයක. ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන්, ගෝලීය තත්ත්වය අස්ථාවර යි. යැපෙන ආර්ථිකයක් වශයෙන්, ශ්‍රී ලංකාව විශේෂයෙන් සිටින්නේ අවදානම් සහගත තත්වයක. මෙම යැපෙන තත්වයෙන් වැඩි කොටසක් උරුම කර ගෙන සිටින, තවත් කොටසක් කැමැත්තෙන් වැළඳ ගෙන සිටින අප, එම තත්වයෙන් කැඩී වෙන් වන්නේ නැත්නම්ගෝලීය කැලඹීම්වල කම්පනවලට අප දිගටම හසු වෙනවා ඇති.

NPP ආණ්ඩුවට ස්තුති වන්නට, ඔවුන් සමහර පියවර අර ගෙන තිබෙනවා. උද්ධමනය පහත වැටිලා, වැටුප් වැඩි කොට තිබෙනවා; අයවැය පෙරට වඩා හොඳ තත්වයක. නමුත් අපි යථාර්ථවාදී විය යුතු යි; මොකද, මේවා ගමනාන්ත නොවෙයි; අත්තිවාරම් දැමීමට අවශ්‍ය පියවර පමණයි. ඒ පියවර බලාපොරොත්තු ඇති කරවනවා; ඔව්, නමුත් ඒවා ගොඩ නැඟිය යුත්තේ සැබෑ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණත් සමග යි.

ආර්ථික අකාර්යක්ෂමතාව, සමාජ අසමානතාවය සහ පළුදු වුන පාලනය යන මුල් බැස තිබෙන හේතු තුරන් කර දමන්නට කටයුතු නොකර අපේ වර්තමාන අර්බුදය ජය ගන්නට අපට බලා පොරොත්තු වෙන්නට බැහැ. ප්‍රතිසංස්කරණ හිතා මතා කරන, ක්‍රමානුකූල, ඒ වගේම සහභාගීත්ව වාදී ඒවා විය යුතුයි. නමුත් අපි අවංකව බලමුරික්තයක තුළ පරිවර්තනීය වෙනසක් සිදු වෙන්නට බැහැ. එයට විප්ලවීය ජීව ගුණයක්, වඩාත්ම වැදගත් ලෙස ගත් විට, ජනයාගේ සක්‍රීය සහභාගීත්වය අවශ්‍ය යි.

සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක යි, අත්තනෝමතික පාලන තන්ත්‍රයක යි අතර පවතින වෙනස එයයි. ජනයා ක්‍රියාකාරි ව මැදිහත් වෙන විට, ඔවුන් බල ගන්වා තිබෙන විට, ඔවුන්ගේ ජීවිත හැඩ ගස්වන තීරණ ගැන සැබවින්ම මැදිහත් වෙන්නට ඔවුන්ට ඉඩ ලබා දී තිබෙන විට, වඩා හොඳ සමාජයක් විය හැකි දෙයක් බවට පත් වෙනවා.

බලාපොරොත්තු සහගත ලකුණු තිබුනත්, තවමත් මර්දනයේ යන්ත්‍ර සූත්‍ර නොවෙනස්ව පවතිනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR)ට අදාල පනත සහ මාර්ග ගත ආරක්ෂණ පනතපෙර පාලන තන්ත්‍ර වලින් උරුම කර ගත් සියළුම පාලනය කිරීමේ මෙවලම්තවමත් ක්‍රියාත්මකව පවතිනවා. මෙම නීති නිර්මාණය කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නොවෙයි; විසම්මුතිය නිහඬ කරන්නට.

පවතින අනතුර පැහැදිලි යි: ආණ්ඩුව මෙම මර්දන මෙවලම් ප්‍රමුඛ වශයෙන් ප්‍රතිසංස්කරණය නොකළොත්, ශ්‍රී ලංකාව යලිත් වරක් අත්තනෝමතිකත්වය කරා ලිස්සා යෑමේ අවදානමක් තිබෙනවා. අපි මේ තත්වය කලින් දැක තිබෙනවා. අප එය ජීවිතයෙන් අත් විඳ තිබෙනවා. ජනතාව ඒකාධිපතියන් තෝරා පත් කර ගෙන තිබෙනවා වගේම ඔවුන්ට විරෝධය පා තිබෙනවා. මෙය අපට අළුත් බිමක් නොවෙයි.

කෙසේ වෙතත් අපට බලාපොරොත්තුවක් තිබෙනවා: සිවිල් සමාජය හැමවිටම වෙනසක් ඇති කරන්නා වුනා. අපි සංවිධානය වෙන විට, කතා කරන විට, අයිතීන් සහ වගවීම ඉල්ලා සිටිමින් බල කරන විට, අපි ඉතිහාසයේ ගමන් මග වෙනස් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කරන සටන කිසිදාක අවසන් වෙන එකක් නෙවෙයි. එය නොකඩවා කර ගෙන යා යුතු යි; ආරක්ෂාව වෙනුවෙන් පමණක් නොවෙයි; පහර එල්ල කරන අන්දමටත්. අයිතීන් රැක ගන්නට පමණක් නොවෙයි; ඒවා පුළුල් කර ගන්නටත් අප සටන් කළ යුතුයි.

ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වෙන්නේ ආර්ථික ප්‍රතිසාධනයක් පමණක් නොවෙයි; ආර්ථික පරිවර්තනයක්; – වඩාත් ඵලදායී ආර්ථිකයක්, වඩා ශක්තිමත් කලාපීය හවුල්කාරිත්වය න්, විවිධාංගීකරණය කරන ලද වෙළඳ ව්‍යාපාර සහ ඔරොත්තු දෙන සමාජ ආරක්ෂණ ජාලයක්. ජනතාවගේ ජීවන තත්වයන් සැබවින්ම නඟා සිටුවීම සඳහා අපේ ආර්ථිකය රඳා පවතින තත්වය අඩු කරලා, එය නවීකරණය කළ යුතුයි.

මෙම මාර්ග ගත සාකච්ඡාව එම විශාල උත්සාහයේ කොටසක්. එය NPP ආණ්ඩුවේ පළමු වසරේ දී පෙරමුණ සහ කේන්ද්‍රස්ථානය විය යුතුව තිබුනු ආර්ථික, දේශපාලනික සහ සමාජීය ප්‍රතිසංස්කරණ කෙරෙහි ආලෝකයක් දල්වා ලන්නට හිතාමතා ගත් උත්සාහයක්. එය සිවිල් සමාජය වෙත කරන ආමන්ත්‍රණයක්: ඔබේ සහභාගීත්වය වැදගත්. ඔබේ හඬ නැංවීම වැදගත්. පක්ෂ මතවාදවලින් හෝ ආර්ථික රාමුවලින් පමණක් නොවෙයි; ජනතාවගේ සැබෑ අවශ්‍යතා සහ අභිලාෂයන් අතිනුත් ආණ්ඩුවට මඟ පෙන්විය යුතුයි.

ආණ්ඩුව අභියෝගවලින් තොරව කටයුතු නොකරන බවත් අප පිළිගත යුතුයි. පළපුරුදු නායකත්වයක් නොමැති කම සහ දක්ෂ රාජ්‍ය සේවා යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් ආණ්ඩුව පීඩා විඳිනවා. මේවා එක රැයකින් විසඳා ගත හැකි ගැටළු නොවෙයි. එසේ වුවත්, බලවත් අවශ්‍යතාවකින් හා විනිවිදභාවයකින් යුක්තව ඒ ගැටළු හඳුනා ගෙන විසඳා ගත යුතු වෙනවා.

ඒ සමඟම, ආණ්ඩුව තම අරමුණු පැහැදිලි කළ යුතුයි; වඩා හොඳින් අදහස් හුවමාරු කර ගත යුතුයි; සැබවින්ම වැදගත් වන දේ ගැන: ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ප්‍රායෝගික ප්‍රතිඵල සහ ජනතා අයිතීන් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යි. නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා තිබෙන අවකාශය පටු වෙමින් පවතිනවා; ජනතාව පරීක්ෂාවෙන් බලා ඉන්නවා. ඔවුන් වඩා හොඳ තත්වයක් ඉල්ලනවා.

අවසාන වශයෙන්, තවමත් නිලධාරිවාදී අත්තනෝමතිකත්වයක තත්වයට පහත නො වැටී තිබුනත්, මෙම ආණ්ඩුව එම අනතුරට ඔරොත්තු දෙන තත්වයක නොපවතී. ඒ පිළිබඳ සළකුණු දකින්නට තිබෙනවා. අනතුරු අඟවන පහන් එලි දැල්වෙමින් තිබෙනවා. ඒ වගේම, ඉඩ ප්‍රස්තාව තිබෙනවා නව මාවතක් සටහන් කරන්නට; වඩා සාධාරණ, වඩා ඇතුළත් කර ගන්නා සහ වඩා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ගොඩ නඟන්නට.

මේ ගත වී යන්නේ බලාපොරොත්තුවේ මොහොතක්, ඒ වගේම ක්‍රියාත්මක වීමට අවශ්‍ය මොහොතක්.

මෙම සාකච්ඡාව ඒ ක්‍රියාකාරිත්වය උදෙසා වේදිකාවක් වේවා. යලි සිහි ගැන්වීම් ලෙසත්, අනතුරු ඇඟවීම් ලෙසත්, මඟ පෙන්වීම් ලෙසත් අපේ හඬ සේවය කෙරේවා. අනාගතය නොලියනු ලැබ තවමත් පවතින නමුත් අපි සියළු දෙනාම එහි කතුවරයන් වන්නෙමු.

ස්තුතියි.

සම්පූර්ණ වැඩ සටහනට මෙතැනින් සවන් දිය හැකියි:

Latest comment

  • 0
    0

    ලයනල්, හොඳ සිංහලෙන් කියනවා නම් ඔයා හොඳටම වයර් පටලෝගෙන ඉන්නේ! ඔබේ ලිපියේ තිබූ බොහෝ අන්ද මන්ද කාරණා අතරින් මෙන්න මේ සඳහන ප්‍රධාන බව මා සිතනවා.

    “….ආණ්ඩුව අභියෝගවලින් තොරව කටයුතු නොකරන බවත් අප පිළිගත යුතුයි. පළපුරුදු නායකත්වයක් නොමැති කම සහ දක්ෂ රාජ්‍ය සේවා යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් ආණ්ඩුව පීඩා විඳිනවා….”

    මොනවාද ඔබ ‘පළපුරුදු නායකත්වයක්’ කියල අදහස් කරන්නේ? මහින්ද, රනිල්, චන්ද්‍රිකා වැනි අයද? එහෙම නම් ඔබට දෙවියන්ගේම පිහිටයි! අනුර පහුගිය ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට තම භූමිකාව යෙදවූයේ ‘පැවති අති දූෂිත, මජර දේශපාලනයට’ තිත තැබීමට නොවෙයිද?? ඉතින් ඒකට අත්‍යවශ්‍යම දේ පැවති කුණු, ඕජස් දේශපාලකයන්ගෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත වූ පිරිසක් නව පාලනයකට ගෙන ඒම නොවෙයිද?? මොකද්ද “දක්ෂ රාජ්‍ය සේවා යටිතල පහසුකම්” කියලා කියන්නේ? ඔබ දන්නේ නැද්ද NPP උරුම කර ගත්තේ දශක ගණනාවක් මජර දේශපාලනයට හුරු වූ රාජ්‍ය සේවකයන් රොත්තක් කියලා? ඔවුන් සමග රාජ්‍ය පාලනය කිරීම ඉතා දුෂ්කර නමුත් එය කල යුත්තක් නොවේ කියා ඔබ සිතනවද? පසුගිය මාස කීපයේදී NPP රජය විසින් ශක්තිමත් කල අල්ලස් කොමිසම හා වෙනත් ආයතන වලින් රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු වන්නේ නෑය කියා ඔබ සිතනවද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.