
ඔස්ටින් ප්‍රනාන්දු
අද (2025-8-5 දින) ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික මහ සම්මේලනය පැවැත්වේ. කාලෝචිතව, පරිපාලකයින්ගේ යහගුණ අඩුවෙන් අසන අපට, පරිපාලනය ගැන නිතර ඇසෙන අකාර්ක්ෂමතාව, සුපිළිපන්නබව, වගකීම් හා වගවීම් ඉටුනොවීම ආදිය ගැන කතිකාවතක නියැලීම සුදුසුය. ශ්‍රී ලංකා පරිපාලන සේවය වඩාත්ම ව්‍යාප්ත රාජ්‍ය සේවාව නිසා, එවන් කතිකාවක නියැලීමට අද ඔබිනම අවස්ථාවකි. සමාන්තර සේවාද රාජ්‍ය සේවාවට අයත්වන හෙයින්, ඔවුන්ද උක්ත කතිකාවතට පොදුවේ බැඳේ.
‘කෝප්’ හෝ ‘කෝපා’ කමිටුවේ සාක්ෂි විමසීම් හා නිගමන මාධ්‍යයේ දකින විට, දුෂිතයින්ට ඉඩදුන් හෝ දූෂණයන් පැහැදිලි කිරීමට අපොහොසත් වුවන්, නොවලහාම එකී චෝදනා ලැබීමට සුදුසුකම් ලබා ඇතැයි කෙනෙකු නොබියව පවසනුද ඇත. එය සැමට පොදුගුණාකාර කිරීම සාධාරණදැයි නිලධාරීන්ට විමතියකි.
මූලික අයිතිවාසිකම්, අංක 81/ 2010, SC 623/71 හි නිලධාරීන්ට හා SC අභියාචනා නඩු අංක 41/96 සහ 42/96හි (මෛත්‍රීපාල සේනානායක එදිරිව ජී ඩී මහිදසෝම) අනුව ජනාධිපතිගෙන් වූවද අනීත්‍යානුකූල අණ නොතැකීමට ආණ්ඩුකාරවරයෙකුට වුවද නෛතික ආවරණය ඇතිබව සක්සුදක් සේ පැහැදිලිවුනද, අනීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ පාපකර්ම සමහරු දැන් ගෙවති.
අන්තර්ජාතික මුල්‍ය අරමුදල, අප රාජ්‍යකරණය ගැන විශේෂ අධ්‍යයනයක් කොට අඩුලුහුඬුකම් පෙන්වා, දුෂණ විරෝධී ආයතන ස්ථාපිතය හා නෛතික සංශෝධන පිළියම්ද නිර්දේශ කළේය. පරිපාලනය විවේචනය කළ දේශීය විවේචකයන්ගේ පිළියම් ‘බරින්’ අඩුය.
වසර කිහිපයකට පෙර සිද්ධීන් කල්ගතව ප්‍රචාරය වන විට, විමර්ශකයින් මෙසේ කලින් කාර්යශීලී නොවුයේ, එකල බලධාරීන්ගේ මන්දෝත්සාහය නිසාද, බිය නිසාද, සාවද්‍ය රාජ්‍ය ගනුදෙනු වසන් කිරීමටද, නැත්නම්, වත්මන් රජය දුෂණ හා මත්කුඩු ජාවාරම මැඩලීම සිය පැවැත්මේ ප්‍රධානම ‘ප්‍රාණවායුව’ ලෙස සැලකීම නිසාද වැනි අර්ථකතනද මතුවේ.
එසමගින්ම, ආර්ථික පුනරුදයට බාධකවලට ප්‍රමුඛ අවධානයක් ලැබීමද අත්‍යවශ්‍යය. උදාහරණයකට, ආයෝජන ආකර්ෂණයට නීති සැදීම, ආයතන ස්ථාපනය, ක්‍රමවිධි ලිහිල්කිරීම, විදේශ සේවය සවිමත් කිරීමද, දේශපාලනඥයින්ගේ හා රාජ්‍ය සේවයේ වගකීමය. ජනාධිපතිවරයාම නොවලහා මෙහි නායකත්වය ගැනීම අත්‍යවශ්‍ය වේ. ‘ශුද්‍ර කළමනාකරණයයි’ විවේචන මධ්‍යයේත්, ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය මෙහෙයවූ අන්දම දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට මනා පාඩමකි.
කිල්ලෝටවල හුණු!
වත්මන් රජයේ බලධාරීත්වයට වයස මාස කිහිපයකි. එහෙයින්ම ඔවුන්ගේ කිල්ලෝටවල හුණු නැත; දූෂණ හුණු එකතුවන්නේ කල්යත්මය. එසේවුවද, දැනටමත්, සත්‍ය වුවද, අසත්‍ය වුවද, විපක්ෂය, සමාජ මාධ්‍යය, බහාලුම් 323ක් නිදහස් කිරීම, ලුණු හා සහල් ආනයන, ඉඩම් හොර ඔප්පු, රහස්‍ය අවබෝධතා ගිවිසුම් පිලිබඳ නිහඬතාව ආදීය කිල්ලෝටවලට ඔබති. අධිකරණයටද පවසති. රජය, කලින් සිටි බලධාරීන්ගේ ඒ සමානම දූෂණ හෙළිකරමින්, තම කිල්ලෝට සාපේක්ෂක හිස්බව තහුවූරුවට වෙහෙසෙයි.
දේශපාලනඥයින්ද මනුෂ්‍යයයෝය. මනුෂ්‍යන්ට මිනිස්ගති ආවේණිකය. අවකල් ක්‍රියාද මිනිස් ගතියකි. පසුගිය රජයන්ගේ අවකල්ක්‍රියා දැන් හෙළිවේ. දිනක, වත්මන් රජයේද අවකල්ක්‍රියා, දේශපාලනඥයින්, විගණකාධිපති, පාර්ලිමේන්තු කමිටු, මාධ්‍යය විමසනුද ඇත. මිනිස් ගති ඉක්මවා, දිව්‍යගති පැවැත්වුවොත් රජයට සහනයකි.
පරිපාලන ධාරිතා ගොඩනැගීමේ පරිණාමය
රාජ්‍ය සේවක පාර්ශවයෙන් බලන විට, සේවයට බඳවාගැනීම, මූලික පුහුණුව, විශේෂඥ හා සේවාස්ථ පුහුණුව, උචිත සේවා තේරීම ආදී පුද්ගලානුබද්ධ කාර්යයන් වැදගත්ය. අනතුරුව රාජකාරි භාරකිරීම, වගකීම්, වගවීම් නිශ්චය, නියාමනය, ආයතනිකව සිදුවේ. මේ සඳහා අපට මාර්ගෝපදේශයන් ඇත.
යටත්විජිතයක්ව සිටි හෙයින් අපට බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශයන් සුහුරුය. එහෙයින් බ්‍රිතාන්‍ය ව්‍යුහ නිදහසින් පසුව අපිද පිළිගත්තෙමු. තරඟකාරී බඳවා ගැනීම, ස්වාධීනත්වය, රාජ්‍ය සේවා කොමිසම, නීතියේ පරමාධිපත්‍යය ආදිය එහි ප්‍රතිපලය.
එයටද බ්‍රිතාන්‍යයේ ඓතිහාසික යොමුවක් ඇත. 1854 දී ශ්‍රීමත් ස්ටෑෆර්ඩ් නොර්ත්කෝට් හා ශ්‍රීමත් චාර්ල්ස් ට්‍රේවලියන් විසින් සම්පාදිත ‘නොර්ත්කෝට් –ට්‍රේවලියන් වාර්තාව’ පදනම්ව බ්‍රිතාන්‍ය නූතන සිවිල් සේවය ඇරඹිණි. මේ වාර්තාව, ඇමතිවරුන්ට ‘යටත්,’ කාර්යක්ෂම, ස්ථිර නිලධාරීන් සිටිය යුතුයයි තර්ක කළේය. ඇමතිවරයා කිරීටයට හා පාර්ලිමේන්තුවට වගකීවේය. අපි එම ක්‍රමයම පිළිගත්තෙමු
1215 අත්සන් කළ ‘මැග්නා කාර්ටා’ ලියවිල්ල, කිරීටයද නීතියේ ආධිපත්‍යයට යටත් ලෙස සැලකීම, සාධාරණ විනිශ්චය වැනි ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ප්‍රමුඛතාව දුනි. අද අපගේ පරිපාලන ගැටළුද එයට සාම්‍යයක් දක්වයි. එම අගයන් එහෙයින්ම අපටද වැළඳගත හැකිය.
උක්ත වාර්තාව පරිදි, සිවිල් සේවකයින්ට “සෑහෙන ස්වාධීනත්වයක්, චරිතයක්, හැකියාවක්, සහ ඔවුන්ට ඉහලින් සිටින බලධාරීන්ට සහාය හා උපදෙස් දීමට හැකි, ඉහල බලධාරිත්වයට යම් බලපෑම් කළහැකි තරම් අත්දැකීම් තිබිය යුතුය.” එය ක්‍රියාත්මකයට, ඇමතිවරයාට ‘යටත්ව’ වුවද, නීති රීති, ආකල්ප, සම්ප්‍රදායන්, ආයතනික මතකය ඇති නිලධාරීන් සිටීම වැදගත්ය. එමෙන්ම, කණ්ඩායම තුල විශ්වාසයද වැදගත් විය.
මෙය තවත් ත්‍රීව්‍රවන්නේ, වාර්තාව පැවසූ, කුසලතාව බැහැර කොට, සම්බන්ධතා මත, එකල බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයට කනිෂ්ටයන් බඳවා ගැනීම, එමගින් කාර්යක්ෂමතාව හා සාපල්‍යතාවය හීනවීම, වැනි භාවිතයන්, අප රටෙහිත් කලක් තිස්සේත්, අදත්, පැවතෙන හෙයිනි.
උක්ත වාර්තාවේ පිළියම් වුයේ ස්වාධීන ආයතනයකින් තරඟකාරීව බඳවාගැනීම, උසස් කිරීම ආදියයි. දිගුකලක්ම, අප බලධාරීන් මේ උපදේශය බිඳ ඇත. වර්තමානයේ පරිපාලනය ගැනද නිහඬ ගැනවිල්ල ‘ආකල්ප, සම්ප්‍රදායන්, ක්‍රියා පද්ධතීන්’ (දෙටුබව, පරිචය) බැහැරවී, ‘විශ්වාසය’ (‘කාඩරයන්’) ‘පරම ඥාතී’ වීම ගැනය.
ස්වාධීනතාවය හා අත්දැකීම් හිඟවුවද, ‘කාඩරයන්ගේ’ ‘උපදෙස්’ හා ‘බලපෑම්’ දේශපාලනිකව වඩා විශ්වසනීයයි බලධාරීහු සිතති. රාජ්‍ය නිලයන්, පෙර යම්කලක දේශපාලන බලධාරීන් සමග, දූෂිතව, නීති විරෝධීව, වංකවීම් ඔප්පුවනවිට, රජය ඔවුන් ආසන්නයට නොගැනීමද සාධාරණය.
දේශපාලන ප්‍රවේශයන්ගේ පරිණාමය
අපගේ පරිපාලන සංස්කෘතියටද යොමුවක් ඇත. ලංකාවේ යටත්විජිත ලේකම් විසින්, 1909 පෙබරවාරි 25 දින ව්‍යවස්ථාදායක සභා අනුමැතියෙන් නිකුත්වූ සිවිල්සේවා ව්‍යවස්ථාව, විවෘත තරඟ විභාගයකින්, තරුණ නිළධාරීන් බඳවාගැනීම, කාර්යශීලිත්වය හා කුසලතා මත උසස්වීම් දීම අපේක්ෂා කළේය. මෙය අදටද ක්‍රියාත්මකයට සුදුසු ක්‍රමවේදයකි.
නිදහසෙන් පසුවද, අප රාජ්‍ය සේව්‍ය ව්‍යුහයන් බ්‍රිතාන්‍යයට අනුගත වීය. ලංකාවේ පළමු ව්‍යවස්ථාවේ 60 වගන්තිය පරිදි, රාජ්‍ය සේවකයින් පත්කිරීම, මාරුකිරීම, සේවයෙන් පහකිරීම, විනය පාලනය, 58වැනි වගන්තියෙන් ආණ්ඩුකාරවරයා පත්කළ රාජ්‍ය සේවා කොමිසම සතුවිය. එමගින් රාජ්‍ය සේවකයින් දේශපාලන අගතීන්ගෙන් ඈත්විය.
දේශපාලනීයකරණය මුල්බැසීම
1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ නව ව්‍යවස්ථාවේ 106 වගන්තිය යටතේ රාජ්‍ය සේවයට පත්වීම්, මාරුකිරීම්, පහකිරීම්, හා විනය කටයුතු අමාත්‍ය මණ්ඩලයට පවරා ගැනීමෙන්, දේශපාලන හස්තයට පරිපාලනය ග්‍රහණය විය. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියන හෙයින්, රාජ්‍ය පරිපාලනයද, අවසන් විතර්කයේදී පාර්ලිමේන්තුවට වගවීය. වගන්ති 92 යටතේ රජයේ කටයුතු විධානය හා පාලනය, අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමක් විය.
මේ වගන්ති එකාබද්ධ කළවිට ව්‍යවස්ථාවේ 113 වගන්තියෙන් ඇමතිවරුන් ලද, දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත්කිරීමේ බලය, කලින් රාජ්‍ය සේවා කොමිසමේ බලය උදුරාගැනීමකි. අදද එසේමය. රාජ්‍ය සේවයේ පිරිහීමට හේතුවක් ලෙස සැළකෙන හෙයින් සමාලෝචනයට සුදුසුය.
මේ බල මාරුව රාජ්‍ය සේවාව දේශපාලනීකරණයට ලක්කළත්, රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලයක් හා රාජ්‍ය සේවා විනය මණ්ඩලයකට ප්‍රතිපාදනයෙන්, යම් තහංචියක්ද සමගාමීව ඇති කළේයයි සිතෙතත්, ක්ෂේත්‍රයේදී, විශේෂයෙන්ම රාජ්‍ය සේවයට බදවා ගැනීම්, ස්ථාන මාරුකිරීම්වලදී, අඩුලුහුඬුකම් දේශපාලනීකරණයෙන් සිදුවිණි.
1947 ව්‍යවස්ථාව දුන් ස්වාධීනත්වය, 1972 ව්‍යවස්ථාවෙන් උදුරාගත් අතර, එය 1978දී තහුවුරු කළේ, 1972 නිර්මාණය කළ උපදේශක සභා දෙකෙන් ලැබිය යුතු නිර්දේශ 1978 ව්‍යවස්ථාවෙන් මැකීමෙනි. අමාත්‍ය මණ්ඩලය ඩැහැගත් බලය කෙදිනකවත් ඉවත දැමීමට කිසිම රජයක් ක්‍රියාකළේ නැත. ක්‍රියා කරනුද නැත. මෙවන් පසුබිමක රාජ්‍ය සේවකයින්ගෙන් ස්වාධීන තීරණ ක්‍රියාවලිය බිඳවැටේ.
එපරිදි, රාජ්‍ය සේවය ස්වාධීනවීමට බාධකවන ව්‍යවස්ථාමය පසුතල නිර්මාණය කළේ දේශපාලකයින්ය. අද, දෙගොල්ලම බිල්ලට ලක්වෙති. එහෙත්, වත්මන් ‘කෝප්’ හා ‘කෝපා’ කමිටු මේ තාර්කික වෘද්ධිය අදහන්නේයයි නොසිතෙන්නේ, මේ ව්‍යවස්ථාමය ව්‍යුහාත්මක වෙනස් කිරීම කිසිදිනක ප්‍රතිකර්මයක් ලෙස කිසිවෙකු යෝජනා නොකරන හෙයිනි. තමන්ගේ බල තටු සිඳලීමට ඔවුන් එකඟ නොවීමද අරුමයක් නොවේ. මේ කිසිසේත්ම දුෂිත නිලධාරීන්ට සුදුහුණු ගෑමක් නොවේ.
විධායක ජනාධිපති ක්‍රමය මේ තත්ත්වය වැඩිදුරටත් උග්‍රලෙස දේශපාලනීකරණයකට ලක් කළේය. මීට පැරණිම, සරල උදාහරණයක් වුයේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා යටතේවූ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට, ‘රැකියා බැංකු’ ක්‍රමවේදය ක්‍රියාත්මකයයි. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට සම අවස්ථාවක් නොදුන්නේ, රජයට රිසි විපක්ෂ මන්ත්‍රීවරුන්ට රැකියා බැංකු පහසුකම් දිගු කිරීමෙනි.
දේශපාලනීකරණය, ඊට ඉනිමං බඳින විධායක බලය පවත්නා තුරු සිදුවනුද ඇත. අවාසනාවකි, 1994න් පසු මැතිවරණ පොරොන්දුවල තිබුණත්, වත්මන් රජයද පොරොන්දුව ඇතත්, එය අනාගතයේදීත් වෙනස් නොවන්නා සේය. බල තටු සිඳ ගත්තොත් අන් ජනාධිපතිවරුන් ගැසූ පිමි ගැසීමට බැරිබව සැම අළුතින් පත්වන ජනාධිපතිවරයෙකුම දනී. ජනාධිපතිවරු සිරිසඟබෝවරුන් නොවෙති!
කෙසේවුවද, තරුණ දුක්ගැනවිලිවලට පිළියම් සෙවූ ලක්ෂ්මන් ජයතිලක කොමිසම, මීට පිළියම් ඉදිරිපත් කළද, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේකම්වරුන්, තානාපතිවරුන්, සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන් තේරීමේදීත්, ප්‍රාදේශීයව පරිපාලන, අධ්‍යාපන, පොලිස් ආදී නිලධාරීන් පත්කිරීමේදී ‘කාඩරවාදී’ හෙවත් ‘ස්වයංපාක්ෂික’ දේශපාලනීයකරණයක් පැහැදිලිවම දුටුවෙමු. අදටත් බොහෝදුරට නොවෙනස්ය.
පක්ෂ කාඩරයන් වීම හැමවිටම වාසිදායක විය. සැමකල්හිම, රාජ්‍ය සේවක ‘ගැත්තන්’ ඉන් බිහිවිය. කලකට පෙර ‘සිරිකොතින්;, ‘ඩාලි පාරෙන්,’ ‘නෙලුම් මාවතින්; වූ දේශපාලනීකරණය, අද ‘පැලවත්තෙන්’ සිදුවෙතැයි නිලධාරීන් පවසන්නේ කට කහනවාට නොවේ! බලයට පත්වන එවන් ‘මහ ගැත්තන්,’ බලධාරිත්වයට එවන්ම ‘කාඩරවාදී කණිෂ්ට–ගැත්තන්’ පිරිසක් ස්ථානගත කිරීමෙන් කාර්යක්ෂමතාව, දැනුම, පරිචය, අත්දැකීම්, සාපල්‍ය පිරිස් කාර්යසාධනයෙන් බැහැර කරති. එවන් පිරිස් තව පක්ෂයක ‘ගැත්තන්’ කරති.
අද, එසේ සිතන රැසක් රැස්වීමේදී ජනාධිපතිතුමාට සමුවුවද, කිසිවෙකුවත් එතුමාට හාන්කාවිසියක්වත් නොදන්වන බවට මෙන්න කැට! ඇත්තම පැවසුවොත්, සංගමයේ සභාපතිවරයාගේ දේශනයේදීවත් මෙය පැවසීමට ‘ගටක්’ (guts) පහළවේවාය යන්න නිහඬ සාමාජිකත්වයේ ප්‍රාර්ථනය විය යුතුය.
බ්‍රිතාන්‍ය අගයන් පිරිහීම
අනිත්‍යවාදීව, අගැයූ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායික රීතීන්ද කාලීනව වෙනස් විය. කල්යත්ම, බ්‍රිතාන්‍යය සිවිල් සේවා සම්මතයන්, 1854 – නොර්ත්කෝට්– ට්රේවිලියෙන් නිර්දේශ ඉක්මවීය. 1985දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇසු ප්‍රශ්නයකට දුන් පිළිතුරකින් (‘මැමෝවකින්), හා පසුව 1996 හා 2008 දී වඩාත් පුලුල් කළ, අමාත්‍යවරුන් හා සිවිල් සේවකයින් අතර සම්බන්ධතා කේතය (Code), රාජ්‍ය පරිපාලනයේදී පැවතිය යුතු සිද්ධාන්ත හා අගයන් හඳුනාගති.
ඒවානම්, සුපිලිසන්බව (පෞද්ගලික වාසි නොලැබීම), අවංකභාවය (විවෘතබව/ සත්‍යවාදීබව), වාස්තවිකත්වය (Objectivity) (සාක්ෂි දැඩිව විශ්ලේෂණයෙන් උපදෙස් දීම හෝ තීරණ ගැනීම), සහ අපක්ෂපාතිත්වය (දේශපාලන බැඳීම් නොමැති යහගුණය මත ක්‍රියාකිරීම) යි.
බ්‍රිතාන්‍යයන්ගේ මේ ප්‍රකාශිත අගයන්, සිද්ධාන්ත ඉක්මවා, සිවිල් සේවයේ නායකත්වය දැරූ ශ්‍රීමත් මාක් සිඩ්වෙල් ඇතුළු ස්ථිර ලේකම්වරුන් 12 දෙනෙක් හිටිඅඩියේම 2020 දී, තනතුරු හැර දැමුහ. 2022 සැප්තැම්බරයේදී එලිසබත් ට්‍රස් මැතිනිය අගමැති වූ දිනම භාණ්ඩාගාර ලේකම් ශ්‍රීමත් ටොම් ස්කොලර් ධුරය අත් හැරියේය. මේ අවතැන්වීම් ගැරහුමෙන් තොරව, ‘අමාත්‍යතුමාට භාණ්ඩාගාරයේ වෙනස් මුහුණුතක් අවශ්‍ය’ වීම වැනි සෞම්‍ය බසින් අවසන් විය.
භාණ්ඩාගාර ලේකම් ධුරය හැර, අන් ලේකම් ධුර අප නව රජය යටතේද වෙනස් වුයේ, බ්‍රිතාන්‍යයන් පශ්චාත් 2020න් පසුව භාවිතය අනුගමනය කරමින් යයි කිව හැක්කේ කලින් එසේ සිදු නොවීනම්ය. තවද, අප ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව අමාත්‍යවරයා ඉවත්වීම සමගින් ලේකම්වරයා ‘අතිරික්තයක්’ වීම, ඒ ක්‍රියාවලිය සාධාරණීය කරයි.
ට්‍රස් අගමැතිනියට ‘අනනුකූලතාවයන් මර්දනයට දෙටු සිවිල් සේවකයින් සේවයෙන් පහකරන්නේය’ චෝදනාවද මාධ්‍යයේ එල්ල විය. මෙයම විටින් විට අප රාජ්‍ය නායකයින්ටද එල්ල වී ඇත. අප ජනාධිපතිවරයාට ඇති ඕනෑම අයෙකු ලේකම් ධුරවලට පත්කිරීමේ ව්‍යවස්ථාමය බලයෙන් එවන් චෝදනාවලින් අත්මිදේ.
කෙසේවුවද, පිළිගත් සිද්ධාන්ත ඉවත දමා මේ බලය දේශපාලන අවශ්‍යතාවට භාවිතා කළ අගමැතිවරුන් / ජනාධිපතිවරුන් ඇත. ඩඩ්ලි සේනානායක රජයේ ආනන්ද තිස්ස අල්විස් මහතාගෙන් ඇරඹුණු ‘අසම්මත’ ලේකම් පත්වීම්, අද හර්ෂණ සුරියප්පෙරුම මහතා දක්වා දිගුවී ඇත්තේ එසේය. දෙදෙනම දේශපාලනඥයන් හෙයින් පෙරකී හතරවැනි සිද්ධාන්තය නම් නොරකිනු ඇත. ඉංජිනේරු නාත් අමරකෝන්, වෛද්‍ය සෝමා වීරතුංග, ආචාර්ය එච් ඒ ද එස් ගුණසේකර, ඩොරික් ද සූසා, අචාර්ය වික්‍රම වීරසූරිය, වැනි ‘දේශපාලන අමාත්‍යංශ ලේකම්’වරුන්ගේ නම් රාශියක්ම් මා සිහියට එයි.
අපශ්‍රීලංකාවේඅමාත්‍යවරුන්වෙනස්වනවිට, මෙසේ නිලධාරීන් වෙනස්වීම අරුමයක් නොවේ. කෙසේ වුවත්, 2022 දෙසැම්බරයේදී, ‘බ්‍රිතාන්‍යය සිවිල් සේවා කේතය’ ඇමතිවරුන්ට ‘පූර්ණ විශ්වාසය මත රැඳුණු, සිවිල් සේවයේ අපක්ෂපාතිත්වය’ රැකීමට අවශ්‍ය බව පැවසීය. ‘පූර්ණ විශ්වාසය’, පැලවත්තෙන්, ‘සිරිකොතින්’ ‘නෙළුම් පොකුනින්’ කෙරෙතැයි පවසන ඊනියා බලපෑම් සාධාරනීයකරණය කරයි.
1985 ආම්ස්ට්‍රෝන්ග් මැමෝව අදහස් කළේ, ‘සිවිල් සේවයට බලයට පත් රජයෙන් බැහැර පුද්ගලිකත්වයක් හෝ වගකීමක්’; නොමැති බවයි. එයින්, දේශපාලන ප්‍රමුඛත්වය ඔසවා තබයි. තවද, සිවිල් සේවකයින්, බලයේ සිටින රජයේ ‘අපක්ෂපාතී නියෝජිතවරුන්’ ලෙස සැලකුණි.
ඇමතිවරුන් පාර්ලිමේන්තුවට වගවන හෙයින්, ඉන් ගම්‍යවන්නේ, අමාත්‍යංශ/ දෙපාර්තමේන්තුවලට ඔවුන්ගේ කාර්යයන් පවත්වා ගැනීමට සුදුසු නිලධාරීන් තෝරාගැනීමට ඔවුන්ට වක්‍ර නීතිමය අවසරයක් ලැබෙන බවයි. එහෙත්. පෙරකී සුපිලිසන්බව, අවංකභාවය, වාස්තිකත්වය හා අපක්ෂපාතිත්වය යන සිද්ධාන්ත පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. එහෙයින් මෙකී සිද්ධාන්ත හා දේශපාලන අවශ්‍යතා අතර පෑහීමක්, සමථයක්, සමනයක් සිදුවීම අවශ්‍යය.
බලය බෙදාගැනීම හා රාජ්‍ය සේවය
රජීව් – ජේ ආර් ගිවිසුම පරිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය පරිපාලනයට බලය බෙදාගැනීමේ සංකල්පයන් බිහි කළේය. ඒ අනුව රාජ්‍ය සේවාද, කොළඹින් හා පළාත් ප්‍රධාන නගරවලින් මෙන්ම, රජය–පළාත් සභා සාමුහිකත්වයෙන්ද (උදා: භාණ්ඩාගාරය හා පළාත් සභාව) පාලනයක් ඇරඹුණි. විශේෂයෙන්ම ප්‍රඥප්ති සැදීමේ, ආදායම් එකතුකිරීමේ හා ආයතනික පරිපාලන යන ත්‍රිවීධ බලයන් ක්‍රියාත්මකයේදී, නව දේශපාලන හා පරිපාලන බලධාරිත්වයන් බිහි කළේය.
පළාත්සභාබලයහීනකිරීමට, මධ්‍යයට හිතැති ආණ්ඩුකාරවරුන්ට එහි බලය පවරා, දිගු කලක් පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමට රජයන් වක්‍ර මාධ්‍යයන් සොයාගති. මැතිවරණ බලධාරීන් පවසන්නේ ඒ නීති හිඩැසක් නිසාවෙනි. එය සත්‍යයකි. වසර හතක්, මෙකියන නීති හිඩැස විසඳීමට වර්තමාන රජය ඇතුළු රජයන් හතරක් අපොහොසත්වීම, සියලු දේශපාලන, කොමිසම් හා නිලධාරී පැලන්තිවල බලය බෙදාගැනීමට කැපවීම, කාර්යශූරත්වය හා හැකියාව නිරුවත් කරයි. රාජ්‍ය සේවයේ නොසිදුවිය යුත්තේම එයයි. මින් ගැලවීම දේශපාලනමය හා පරිපාලන අවශ්‍යතාවයකි.
විපක්ෂයේ සිටිනවිට මෙය ප්‍රශ්න කළ පක්ෂ, රාජ්‍ය බලය නතුකර ගත්විට අන්ධයන්, ගොළුවන් බවට පත්වෙති. මෙසේ ව්‍යවස්ථාමය හා දේශපාලන අවශ්‍යතාවයන් ඉක්මවා යාම, සුළු ජන කොටස්ද, අන්තර්ජාතිකයද ප්‍රශ්නකළද, රාජ්‍ය බලධාරීහු අඳ–ගොළුවත රකිති. එය රජයේ සේවකයන්ටද වක්‍ර හැසිරීම්හි නියැලීමට අභිප්‍රේරණයකි. පළාත් සභා දුබලකරන අන්දමේ ප්‍රකාශ නිළධාරීන්ගෙන් ඇසෙන විට, ඔවුන් ‘ගුරුන් හිටගෙන කරන දේ දුවමින් කරතියි’ නොසිතීම නොමැනවි.
රාජ්‍ය පාලනය බලගැන්වීමේ ප්‍රයත්න
දේශපාලන අතකොලු වීමට රාජ්‍ය සේවයට වූ ව්‍යවස්ථාමය / දේශපාලන බලපෑම් දෙස බලමු.
17 ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය සේවය බලගන්වන ක්‍රමවේදයන් බිහිකළේය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය, විශේෂයෙන්ම ජවිපෙ ‘සැනසීමට’ හා බල–ස්ථාවරත්වයට ‘පරිවාස රජයක්’ පවත්වා ගැනීමේ ආධ්‍යාශයෙන් වුවද, 17 ව්‍යවස්ථා සංශෝධනයෙන්, බහුදේශපාලනික හා සමාජයේ ප්‍රවීණ පුද්ගල සහභාගිත්වයෙන් වැඩි නිර්දේශපාලනීයකරණයක් අපේක්ෂා කළේය.
විශේෂයෙන්මරාජ්‍යසේවාකොමිසම, මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම හා ජාතික පොලිස් කොමිසම සඳහා ව්‍යාවස්ථානුකූල ප්‍රතිපාදන සැකසීම නව ප්‍රවේශයකි. කොමිසම්වලට සාමාජිකයින් පත්කිරීම ව්‍යවස්ථා මණ්ඩලයකට පැවරීම නිසා, දේශපාලන බල අධිකාර කප්පාදුවක් විය. මෙහිදී එතුමියගේ හා ජවිපෙ කාර්යභාරය ප්‍රශංසනීය විය.
මෙම සංශෝධන දිගුකල් පවත්වාගත නොහැකිවූයේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලනීකරණය රජකරවීමට 18 ව්‍යවස්ථා සංශෝධනය බිහිකළ හෙයිනි. ඔහුගේ ‘පාර්ලිමේන්තු සභාව’ ජනපතිගේ ඒකාධිකාරිත්වය තහුවුරු කිරීමකී. එජාපය, ජවිපෙ, සුලුජන පක්ෂ විරෝධය දැක්වීය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෞද්ගලිකවම වෙහෙසව සම්මත කරගත් 19 ව්‍යවස්ථා සංශෝධනය, නිර්දේශපාලනීකරණය තර කළේය. රාජ්‍ය පරිපාලනයට සම්බන්ධිත රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ආදිය රාජ්‍යකරණයේ සුපිලිසන්බව, පාරදෘශ්‍යභාවය, යුක්තිගරුකත්වය රැකීමට වැදගත් විය. අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, හානි පූර්ණ කාර්යාලය වැනි අන් ආයතනවලටද සාමාජිකයන් පත්කිරීමේදී ව්‍යවස්ථා සභාව මැදිහත්වීම වැඩිමනත් වෘද්ධියක් විය. සියලුම පක්ෂ ඊට සහාය දැක්වීය.
ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවතත් 20 සංශෝධනය මගින් 19 හි බලතල නෂ්ට කොට, බලය මධ්‍යගත කළේය. 19න් පුළුල්කළ සුපිලිසන් මාධ්‍යයන් අවලංගු කළේය. එජාපය, ජවිපෙ, සුළුජන පක්ෂ එරෙහි විය.
21 සංශෝධනය නැවත පරිපාලන බලගැන්වීමක් කළ අතර විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම ප්‍රතිෂ්ටාපනය සතුටක්ය. එය රාජ්‍ය සේවකයන් මෙන්ම දේශපාලන බලධාරීන්ගේ පාලනය සවිමත් කළේය. ජවිපෙ, එජාපය, සජබ, සුළුජන පක්ෂ සහාය දැක්වීය.
මාධ්‍ය වාර්තා සත්‍ය නම්, කොමිසම්වලට සාමාජිකයින් පත්කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයට අදහසක් වත්මන් රජයටද පහළවී ඇත. සමාජ මාධ්‍යය පවසන මේ ක්‍රියා මාර්ගය ජනාධිපතිවරයාගේ ‘අසම්මත’ පත්වීම් ඉටුකර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව එකඟ නොවීමය යන්න අසත්‍යයක් නම් සතුටකි. උපරිමාධිකරණවලට විනිසුරන් පත්කරගැනීමට නොහැකිව ව්‍යවස්ථාදායක සභා ක්‍රමය විවේචනය වුවද, මෙවන් සංශෝධන එකල රජයේ ප්‍රතිචාරය නොවීය. එයද සතුටකි. ජවිපෙ දිගටම ඉහත දැක්වූ පරිදි ‘යහපාලනීය’ වූවත්, මේ සංශෝධනය සිදුවුවහොත්, ‘මාලිමා’රාජ්‍යකරණයේ යහපාලන පතිවත ප්‍රශ්නාභිමුඛවනු ඇත.
රාජපක්ෂවරුන්ගේ පෙරකී පියවර ඔප්පු කළේ බලධාරිත්වයට, සාධනීය ස්ථාවර විනාශයට දේශපාලනඥයින්ට ඇති කිලිටි, නිර්ලජ්ජී හැකියාවය. ප්‍රජාතන්ත්‍රීය සංකල්ප, ආයතනික වෘද්ධියට ගරුකිරීමට ඔවුන්ට කැපවීමක් නොවීය. දේශපාලනය කිලිටි ක්‍රීඩාවක් හෙයින්, නැවත ‘මාලිමා’වෙන් එයම සිදුවුවහොත්, ජවිපෙ බලධාරීන් හා මහින්ද සහ ගෝටාභය රාජපක්ෂවරුන්ගේ රාජ්‍යකරණ හැසිරීම් අතර වෙනස, ගැමි ව්‍යවහාරයෙන් පැවසුවොත්, ‘සුන්නද්දූලිවනු’ ඇත.
ඇක්ටන් සාමිවරයා “බලය දූෂ්‍ය වේ; නිරපේක්ෂ බලය නියත ලෙසම දුෂ්‍ය වේ” පැවසූ බව දන්නේ අතලොස්සක් සේය. පණිවුඩය පැහැදිලිය.
රාජ්‍යපාලනයට ජාතික ප්‍රතිපත්ති
රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීමට රජය අංශයෙන් මාර්ගෝදේශකතත්වය සඳහා ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ, නෛතික වෙනස්කම් සැකසීම, සැලසුම්කරණය, මූල්‍යමය කැපවීම හා රාජ්‍ය ආයතනික සහ–සම්බන්ධතාව ආදී නිලමය ධාරිතා වැඩීකරගැනීමටය.
ජාතිකව මූලික දුබලතාවය ජාතික ප්‍රතිපත්ති සාධන ක්‍රමවේදයක් නොමැතිවීමය. 13 ව්‍යවස්ථා සංශෝධනයේ, ලැයිස්තු II ආරම්භයේම ජාතික ප්‍රතිපත්ති රජයේ කාර්යභාරයක් ලෙස අදහස් කෙරෙතත්, පොදුවේ ජාතික ප්‍රතිපත්ති සාධනයට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන, ව්‍යවස්ථාවේ සලසන්නේ 13 ව්‍යවස්ථාවේ දෙවන පරිශිෂ්ටයේ පමණි.
වසර තිස්අටක් එය ක්‍රියාත්මකයට උත්සාහයක්වත් කිසිම රජයක් නොගත්තේය. ප්‍රතිපත්ති සාධනයට සුදුසු පාර්ශවකරුවන් පාරදෘෂ්‍යව යොදාගැනීම එහි දක්වයි. එය ඕනෑම විෂයකට පොදුය. ජාතික ප්‍රතිපත්ති නොමැතිව, අවිධිමත්ව රාජකාරි කිරීමෙන් දේශපාලකයින් හා රාජ්‍ය සේවකයින් වලකා ගතයුතුය. නැතිව, හිටිඅඩියේ “මෙන්න අපේ ජාතික ප්රතිපත්තියයි” ප්‍රකාශයෙන් හෝ පක්ෂ මධ්‍යම කාරක සභාවකින් කෙරෙන නියෝගයකින් එය නොනිමැවේ.
ජාතික ප්‍රතිපත්ති මත ක්‍රමවේද, වැඩසටහන්, ව්‍යාපෘති සැකසීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමය. ඉඩම් ප්‍රතිපත්තිය මෙන්ම පළාත් සභාවලටද පිළිගැනෙන ඕනෑම ජාතික ප්‍රතිපත්තියක් එසේ නිමැවියද හැකිය. ඒ සඳහා විශේෂඥ දැනුම උපයෝගී කරගැනීමට ස්වීයත්වයක් තිබිය යුතුය. ඊට අවශ්‍ය මුල්‍ය පහසුකම් ගැන කල්තියා අවබෝධයක් භාණ්ඩාගාරයට තිබිය යුතුය. මුල්‍ය ප්‍රතිපාදන ජාතික ප්‍රතිපත්ති–මූලමය අවශ්‍යතා මත ප්‍රතිපාදන විය යුතුය. අසාර්ථක ප්‍රතිපත්ති සම්බන්ධීකරණයේ උදාහරණයක් ලෙස අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% වෙන්කිරීමේ ප්‍රතිපත්ති යෝජනාව, රසායනිකපොහොරභාවිතයනැවැත්වීමේප්‍රතිපත්තියදක්වතහැකිය
පරිපාලන සමාලෝචන
රාජ්‍ය සේවකයෝ විගණාකාධිපති හා පාර්ලිමේන්තුව තුලින්, ජනතාවට හා සබැඳි නියාමනයන්ට ප්‍රතිචාර වෙති. මාධ්‍යය මගින් අප දකින්නේ නෛතික නිමැවුම් වන ‘කෝප්’ හා ‘කෝපා’ කමිටු පිරික්සුම්ය.
ජනාධිපතිතුමා විසින් දෙපාර්තමේන්තු, සංස්ථා ආදී මට්ටම්වල සමාලෝචන කරනු දකිමු. ශුද්‍ර කළමනාකරණය ඇදහූ ප්‍රේමදාස ජනාධිපතිතුමා සමයේ මෙය බහුලවම සිදුවිය. බහුපාර්ශවීය ගැටළුත්, සුනාමි වැනි විශේෂයක් නොවේනම්, මෙවන සමාලෝචනයන් සිදුවිය යුත්තේ අමාත්‍ය හා ලේකම් මට්ටමේය. විශේෂ බහුපාර්ශවීය මැදිහත්වීම් වේනම් ජනාධිපතිතුමා අමාත්‍යංශයක කාර්යසාධනය සමාලෝචනය මැනවි. කෙසේවුවද, කාලීනව එතුමා ලේකම්වරුන් සමුවීය යුතුමය.
රොනී ද මෙල් මුදල් ඇමතිතුමා සමයේ අමාත්‍යංශ ලේකම්වරුන් සමාලෝචනය චන්ඩි ෂන්මුගම් මුදල් ලේකම්වරයා ඉටුකළේය. ප්‍රතිපත්තිමය ගැටුම් ඒ මට්ටමින් විසදුනි. පසුකලකදී ජනාධිපති ලේකම්වරුද එය ඉටුකළහ.
1980 ගණන්වලදී ජීවන වියදම් කමිටුව මෙහෙයවුයේ ජී වී පී සමරසිංහ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාය. දේශපාලනඥයින් කිසිවෙකු එහි නොවීය. කෘෂිකර්ම, වෙළඳ, ආහාර–සමුපකාර ලේකම්වරුන්, සමුපකාර හා ආහාර කොමසාරිස්වරු සාමාජිකයින් වුහ. කෙදිනකවත් හාල්, සීනි, ආනයනික භාණ්ඩ හිඟ අසන්නටවත් නොවීය. පාරිභෝගික භාණ්ඩ ආනයනයට රජයට යෝජනා වුයේ මේ කමිටුවෙනි.
කෙසේවුවද, මින් අදහස්කරන්නේ, සමාලෝචන නොකිරීම නොව, කාර්යසාධන සමාලෝචනය උචිත මට්ටම්වලදී, උචිත නිලධාරීන්ගෙන් සිදුවිය යුතු බවය.
පරිපාලනය හා සමාජ සහභාගිත්වය
රාජ්‍ය සේවකයින් සමාජමය සහභාගිත්වයක්, මාධ්‍යය, සිවිල් සමාජය, වෘත්තීය සමිති, සංගම් සමග පවත්වා ගන්නේද යන්න වැදගත්ය. මෙහිලා සුපිලිසන් නිලධාරීන් හා තොරතුරු බෙදාගැනීමට අදාළ නිලධාරීන්ගේ නෛතික කාර්යභාරය වැදගත්ය.
රජයන්, සිය කාඩරයන්, රහසිගතව, වක්‍ර අන්දමින් ‘තොරතුරු සැපයීමට’ ‘දේශපාලනීයකරණයට’ ආයතනිකව යොදාගැනීම (චූදිත පරිදි, සිරිමා බණ්ඩාරනායක සමයේ ‘ජනතා කමිටු’, ජේ ආර් ජයවර්ධන සමයේ ‘වෘත්තීය සංගම් සහකාර ලේකම්වරුන්, නාමල් රාජපක්ෂයන්ගේ නිල් බලකාය, වත්මන් රජයේ යොවුන් බලමණ්ඩල), මේ සමාජ සහභාගිත්වයෙන් බැහැරය. එසේ වුවහොත්, රජයේ සේවකයෝ රජය කෙරෙහි සැක පහල කරගනිති. එහෙයින් වැලකීම සුදුසුය. .
සමාජය දැනුවත් කිරීම ගැන මනා උදාහරණයක් අධ්‍යාපන ප්‍රතිපත්ති සාධන අභ්‍යාසයෙන් දිටිමි. ප්‍රතිපත්තිය සකස්කිරීමේ ආරම්භ දිනයද අවිනිශ්චිතය. දිනය වැදගත් වන්නේ දේශපාලනය පරිණාමයට සහ ප්‍රතිපත්ති හිමිකමටය. ප්‍රතිපත්ති සාධාරණීයකරණය අනුර දිසානායක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදීත්, මෙහෙයවුම් සාරය නාලක කලුවැව ලේකම්තුමා ITN වැඩසටහනේදීත්, වෘත්තික හමු හරිනි අමරසුරිය ඇමතිතුමියත් කළහ. තිදෙනාම පැහැදිලිකිරීම් කළද, අවසානයේදී ප්‍රමුඛව විෂයමාලා අනුගතයට අදාළවූ, උසස්, වෘත්තීය, තාක්ෂණික අධ්‍යාපනය, ශ්‍රම වෙළඳ පොළට ප්‍රක්ෂේපිත ප්‍රතිපත්ති රාමුවක්, සමාජගත කිරීමේදී විවේචනයන්ට ගොදුරු විය. පරිස්සම් වීම මැනවි.
සමාප්තිය
මෙහි දේශපාලනය හා රාජ්‍ය සේවය අතර සබඳතාවය පැහැදිලි කරතත්, රාජ්‍ය සේවය හා පෞද්ගලික අංශය අතර අත්‍යවශ්‍ය සහයෝගිතාවය අමතක කරතැයි හැඟෙනු ඇත. පෞද්ගලික අංශ සහයෝගිතාව ආර්ථික වෘද්ධිය කෙරෙහි ඉමහත් බලපෑමක් කරයි. එහෙයින්, රාජ්‍ය සේවයට මෙන්ම එයටද සුදුසු කාර්යභාරය, පුහුණුව, දැනුම, නෛතික, තාක්ෂණික හා ආයතනික සැකැස්ම, සම්බන්ධීකරණ හැකියාව, රාජ්‍ය සේවයෙහි ඇතිකළ යුතුවේ. එය පුලුල් විෂය පථයකි.
රාජ්‍ය සේවයේ දුබලතා විවේචන කළ යුතුය. වරදේදී උචිත පරිදි දඬුවම් දිය යුතුය. එහෙත්, සියලු රාජ්‍ය සේවකයෙක්ම අකාර්යක්ෂම, දැනුම් හීන, දූෂිත පිරිසක් ලෙස සලකා විවේචනයට ලක්කිරීම නොහොබින්නේ ඔවුන් නිසි නායකත්වයන් හා වාතාවරණයක් යටතේ කළ සේවය ඇස්පනාපිට දක්නට ඇති හෙයිනි.
සරල උදාහරණ දක්වතොත්, විසිහය–අවුරුදු යුද්ධ සමයේදී උතුර නැගෙනහිර ජනතාවගේ කුසගිනි නිවුයේ, පරිපාලන සේවාව මිස, පෙරදීත්, අදත් මොරදෙන දේශපාලනඥයින් නොවේ. ජීවිත රැකදුන්නේ, පරිපාලකයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ආදී රාජ්‍ය සේවකයින්ය. දේශපාලනයෙන් පැන නැගී කළු ජූලියේදී ආහාර කැරලි නොපැවතුනේ රජයේ සේවකයින් නිසාය. 1989 ජේවීපී ප්‍රහාර මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය රැක්කේ රාජ්‍ය සේවකයින් මිස දේශපාලනඥයින් නොවේ. දේශපාලනඥයින් බොහෝදෙනා සැඟවී සිටියහ. කයිවාරු නොකළහ. නැත්නම් රාජ්‍ය සේවයට එරෙහිව වාග් හෝ සත්‍යම ප්‍රහාරයන්හි යෙදුනහ.
ජාතික පුනරුදයක් සඳහා දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, මාධ්‍යය ආදී සියලුම කොටස්කරුවන් දූෂණය, අකාර්ක්ෂමතාවය පිටුදකින, ගැටුමින් තොර, ජනහිතකාමී, ඒකාග්‍ර ව්‍යයාමයකට එළඹීම අත්‍යවශ්‍යය. ඊට අවශ්‍ය නීතිමය පසුබිම බොහෝදුරට පාර්ලිමේන්තුව/ ව්‍යවස්ථාදායක සභාව සකස් කර ඇත. අවශ්‍යනම් තවත් වැඩිදියුණු කළ හැකිය. අවශ්‍යව ඇත්තේ පාර්ශ්වකරුවන්ගේ පුළුල් ධනාත්මක කැපවීම හා ඒකාග්‍ර මැදිහත්වීමයි. ඊට සාධනීය පදනමක් ඉක්මනින්ම තැනෙතැයි මග බලා සිටිමි.
*ඔස්ටින් ප්‍රනාන්දු – (ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති (1985)