18 June, 2026

Blog

ඩයස්පෝරාව වෙනුවෙන්: ශ්‍රී ලංකාව විදේශවාසිකයන්ගේ ඡන්දය වැළඳ ගත යුත්තේ ඇයි?

ලයනල් බෝපගේ –

ආචාර්ය ලයනල් බෝපගේ

විදේශවාසික ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ඡන්ද අයිතිය ලබා දීමේ යෝජනාවට ඇතැම් අංශවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. “දකුණු ආසියානු වසන්තය: විදේශවාසික ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ඡන්දය නොලැබිය යුත්තේ ඇයිනමැති ලිපියෙහි කතුවරිය විදේශවාසිකයන්ට ඡන්ද බලය ලබා දීම ස්වෛරීභාවයට තර්ජනයක් වන බවටත්, බාහිර මැදිහත් වීම් සඳහා දොරටු විවර කරන බවටත්, ස්වදේශීය පාලනයේ අඛණ්ඩතාව අඩපණ කරන බවටත් තර්ක කරයි. මේවා ප්‍රතිපත්තිමය වශයෙන් සැලකිල්ලට ගත යුතු බරපතළ කරුණු වුවද, වඩා සමීපව බැලීමෙන් හෙළි දරව් වන්නේ ඒවා බොහොමයක් සාක්ෂි වලට වඩා සැක සහිත උපකල්පන, තෝරා ගත් ඉතිහාසය සහ වෙනස් වීමට ඇති බිය මත පදනම් වන බව යි. මෙහි පහත, කතුවරියගේ ප්‍රධාන ප්‍රකාශ අභියෝගයට ලක් කරන අතර ඡන්ද අයිතිය එතෙරට ව්‍යාප්ත කිරීම ආරක්ෂා කළ හැකිවා පමණක් නොව එය ලොව ව්‍යාප්ත ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට අනුකූල වන බව ද පෙන්වා දෙනවා ඇත.

ස්වෛරීභාවය, අයිතිය සහ අනන්‍යතාවය

කතුවරියට අනුව: විදේශවාසිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම යනු ශ්‍රී ලංකාවේ නීතිරීති යටතේ වාසය නොකරන, එහි පවතින දුෂ්කරතාවන්ට මුහුණ නොදෙන සහ එහි බදු බර නොගෙවන අයට ඡන්දය ලබා දෙමින් ස්වෛරීභාවය සමඟ සූදුවට යෑමක් වන්නේය.

මා දරන ස්ථාවරය: අනන්‍යතාවය, සංස්කෘතිය සහ පාරම්පරික බැඳීම් දේශසීමාවන් ඉක්මවා යන බැවින් ලොව පුරා සිටින බොහෝ ජාතීන් ද්විත්ව පුරවැසිභාවය සහ බාහිර ඡන්දය පිලි ගන්නේය යන කරුණ නොසලකා හරින මෙම මතය පුරවැසිභාවය භූගෝලීය පැවැත්මට, හෝ බදු ගෙවන්නේ ද යන මට්ටමට පහත හෙළයි. පාරම්පරික බැඳීම් පවතින හෝ සිය පවුල් ශ්‍රී ලංකාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික විදේශවාසිකයන් සම්බන්ධයෙන් පුරවැසිභාවය යනු නීතිමය වශයෙන් විධිමත් භාවයට වඩා වැඩි යමක් වේ; එය ඔවුන්ගේ අයිතිය පිළිගැනීමකි.

පුරවැසිභාවය අහිමි වූ පුද්ගලයින්ට හෝ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පවත්වා ගන්නා අතර තවත් පුරවැසිභාවයක් ලබා ගැනීමට කැමති අයට ශ්‍රී ලංකාව, දැනටමත් (1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20, 21 වගන්ති යටතේ නැවත ආරම්භ කිරීම හෝ පවත්වා ගැනීම මගින්) ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉඩකඩ සපයා දෙයි.

බොහෝ රටවල අත්දැකීම් මෙම අන්තර්ග්‍රාහී දැක්ම අනුමත කරයි. ජාත්‍යන්තර සමාලෝචනවලට අනුව, 2020 වන විට රටවල් 141 ක් පමණ ජාතික මැතිවරණවල දී අනේවාසික හෝ විදේශවාසික පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉඩකඩ සලසා දී ඇත.

ශ්‍රී ලංකාව විදේශවාසිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කළහොත්, ඇතැම් විට රැකියාව, අධ්‍යාපනය, පවුල් සංක්‍රමණය හෝ වෙනත් හේතුවක් නිසා විදේශයක ජීවත් වීම ඔවුන්ගේ එකමවරදවන පුරවැසියන් දුරස්ථ බවට පත් කර ලීමේ අවදානමක් තිබේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ලීම ඔවුන්ගේ ගරුත්වය සහ අයිතිවාසිකම ප්‍රතික්ෂේප කිරීමකි.

තරුණ විරෝධතා, බාහිර කතන්දර සහ ස්ථාවරත්වය

කතුවරියට අනුව: ආසියාව පුරා තරුණ තරුණියන් විසින් මෙහෙයවන ලද මෑත කාලීන විරෝධතා, බාහිර කතන්දර, ඩයස්පෝරාව අරමුදල් සපයන ව්‍යාපාර හෝ විදේශීය සටන් පාඨ මගින් පාලන තන්ත්‍ර අස්ථාවර බවට පත් කළ හැකි ආකාරය පෙන්නුම් කරයි. ඩිජිටල් ආකාරයෙන් විදේශවාසික ඡන්දය ප්‍රකාශ කිරීම එවැනි බාහිර මැදහත් වීම් ආයතන ගත කරයි.

මා දරන ස්ථාවරය: මෙය බාහිර බලපෑම සහ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පල කිරීම ඒකාබද්ධ කරයි. ශ්‍රී ලංකාවේ (2022) ‘අරගලයව්‍යාපාරය බොහෝ දුරට මෙහෙයවන ලද්දේ ආර්ථික කඩා වැටීම, උද්ධමනය, හිඟකම්, ආණ්ඩුවේ අවකළමනාකරණය වැනි දේශීය දුක්ගැනවිලි මගින් මිස ඩයස්පෝරාව හෝ බාහිර ක්‍රියාකාරීන් විසින් නොවේ. සහභාගිවූවන්ගෙන් බොහෝ දෙනෙකු සිවිල් සමාජ ක්‍රියාකාරීන් වූ අතර බොහෝ තේමාවන් දේශපාලන පක්ෂවලට පොදු ඒවා විය. විදේශවාසිකයන් ඡන්දය ප්‍රකාශ කිරීම කිසියම් ආකාරයකටපිටතින් පටවන ලදපෙරලා දැමීමක් විස්තාරණය හෝ ප්‍රතිනිර්මාණය කරන්නේය යන අදහස, – විදේශයන්ගෙන් පවා එල්ල වනවිසම්මතිය හා විවේචන හමුවේ නිරන්තරයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන, නීත්‍යානුකූල දේශපාලන සහභාගිත්වය සහ කඩාකප්පල් කිරීම අතර වෙනස හඳුනා ගත යුතුය යන කරුණ මඟ හැර යයි.

එපමණක් නොව, ජනයාට ඡන්ද අයිතිය ලබා දීමෙන් බාහිර ක්‍රියාකාරීන් ආධිපත්‍යය දරනු ඇතැයි යන්න සහතික නොකරයි. නිසි නීතිමය රාමු, විනිවිදභාවය, සත්‍යාපනය සහ සීමාවන් (තිබේ නම්) විසින් එවැනි අවදානම්වලට එරෙහිව ආරක්ෂාව සපයනවා ඇත. විසඳුම වන්නේ නියාමනය සහ අධීක්ෂණය කිරීම මිස සමස්තයක් ලෙස බැහැර කිරීම නොවේ.

දේශපාලනිකව ඒකාබද්ධනැතහොත් අනතුරුදායකඩයස්පෝරාවක් පිළිබඳ මිථ්‍යාව

කතුවරියට අනුව: ශ්‍රී ලාංකීය විදේශවාසිකයෝ තනි ප්‍රජාවක් නොවේ; ඇතැම් කොටස්ක්‍රියාකාරීහු, රැඩිකල් කොටස්, එල්ටීටීඊ ජාල, පොලවට පය නොගසා සිටින අයබරපතළ අවදානම් ඇති කරති.

මා දරන ස්ථාවරය: සියළුම මැතිවරණ කොට්ඨාශ විවිධ අදහස් ඇති විවිධ ප්‍රජාවන්ගෙන් සමන්විත වේ. මිනිසුන්ට විවිධ මට්ටමේ සම්බන්ධතා තිබීම හෝ විවිධ දේශපාලන පෙළ ගැසීම් පැවතීම ඡන්ද බලය ලබා දීමට එරෙහි තර්කයක් නොවේඑය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යථාර්ථයක් වේ.

ඇතැම් ප්‍රකාශ බිහිසුණු බවට පත් කර ලීමේ මායිමේ පවතී. උදාහරණය වශයෙන්:

වෘත්තිකයන්, සංක්‍රමණික සේවකයින් යනාදී අය සමහර විට දේශීය ප්‍රභූ පැලැන්තීන් ට වඩා ශ්‍රී ලංකාවේ යථාර්ථයන් සමඟ සමීපව සම්බන්ධ ව සිටිති; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුදල් ප්‍රේෂණය කරති, සංචාරය කරති, ගෘහස්ථව පවතින තත්වයන් තේරුම් ගනිති, සහ ජාතික ප්‍රතිපත්ති හේතුවෙන් භෞතික වශයෙන් පීඩාවට ලක් වෙති.

රැකවරණය සොයා යන්නෝ සහ සරණාගතයෝ නිශ්චිත හේතූන් මත පලා ගියහ; ඔවුන්ගේ කතන්දර ආණ්ඩුවේ විස්තර කිරීම්වලට අභියෝග කළ හැකි වන නමුත්, ඔවුන්ගේ හඬ ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන් ක්‍රමානුකූල වඅතිශයෝක්තියෙන් කරුණු දක්වනබව ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර සම්මත නොසලකා හැරීමකි.

එල්ටීටීඊය පිළිබඳ ප්‍රකාශය සංවේදී ය; ඩයස්පෝරාවේ සමහරු බලපෑම් කල හැකි හෝ විරෝධතා දැක්විය හැකි වුවත්, සංවිධානාත්මක දේශපාලන ක්‍රියාකාරිත්වය නීත්‍යානුකූල ඩයස්පෝරා විවේචන සමඟ සමාන කිරීම, මානව හිමිකම් මූලධර්ම සහ නිසි ක්‍රියා පටිපාටිය නොසලකා හරියි. එය හැම කණ්ඩායමක් ම සාමාන්‍ය කරණය කරයි.

කෙටියෙන් කිවහොත්, රැඩිකල් හෝ එදිරිවාදී ඩයස්පෝරා හඬවල් පැවතීම, සියළුම විදේශවාසිකයන්ට ඡන්ද අයිතිය ප්‍රතික්ෂේප කිරීම සාධාරණය නොකරයි.

ප්‍රජා අධ්‍යාපනය, සබැඳියාව සහ දැනුවත්ව ඡන්දය ප්‍රකාශ කිරීම

කතුවරියට අනුව: බොහෝ තරුණ හෝ දෙවන, තෙවන පරම්පරාවේ ඩයස්පෝරා ශ්‍රී ලාංකිකයන්ට ජීවමාන අත්දැකීම් නොමැත; ඔවුහු දේශීය භාෂා කතා නොකරති, නැතහොත් විකෘති අදහස් උකහා ගනිති. ඔවුන් පදනමක් සහිත දැනුමට වඩා සතුරු කතන්දර මත ඡන්දය ප්‍රකාශ කල හැකිය.

මා දරන ස්ථාවරය: මුලින් ම, විදේශයන්හි සිටින බොහෝ දෙනෙකුට තවමත් ශ්‍රී ලංකාවේ පවුල්, මූල්‍ය, සංස්කෘතික සම්බන්ධතා ඇත; බොහෝ දෙනෙක් දේශීය ප්‍රවෘත්තිවලට ඇහුම්කන් දෙන අතර සංක්‍රමණය, ජාතික අනන්‍යතාවය හෝ ප්‍රේෂණ හේතුවෙන් සෘජුවම බලපෑමට ලක්ව ඇත. දෙවනුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පරිපූර්ණ දැනුමක් අවශ්‍ය නොවේ. හැම තැනකම ඡන්දදායකයෝ අසම්පූර්ණ තොරතුරු සහිතව තීරණවලට එළඹෙති. පිළියම වන්නේ ඔවුන් සමග එක්ව කටයුතු කිරීම සහ අධ්‍යාපනයයිඡන්ද අයිතිය අහිමි කිරීම නොවේ.

එසේම, ජනයාටඅඩු දැනුමක් ඇතිනිසා ඔවුන් බැහැර කිරීම යනු විරුද්ධ මත දරන හඬවල් හෝ සුළු ජාතීන් නිහඬ කිරීමට භාවිතා කළ හැකි ලිස්සා යන කඳු බෑවුමකි. ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලබව රඳා පවතින්නේ ඒකාකාරීබව මත නොව අන්තර්ග්‍රහණය මත ය.

වග වීම, බදු සහ නීතිමය බැඳීම

කතුවරියට අනුව: විදේශවාසිකයෝ ශ්‍රී ලංකාවේ බදු නොගෙවති, එහි නීති යටතේ ජීවත් නොවෙති; එසේ වෙතත් සැබෑ ප්‍රතිවිපාකවලට මුහුණ නොදෙමින් ප්‍රතිපත්ති සකස් කර ආණ්ඩු තෝරා පත් කර ගනු ඇත.

මා දරන ස්ථාවරය: බොහෝ විදේශවාසිකයෝ දැනට එකම බදු නොගෙවනු ඇති බව, නැතහොත් ශ්‍රී ලංකාවේ ජීවත් නොවනු ඇති බව සත්‍ය වුවද, බොහෝ දෙනෙක් එහි දේපළ, ආයෝජන සහ වෙනත් මූල්‍ය සම්බන්ධතා පවත්වා ගෙන යති; නැතහොත් අයිති කර ගෙන සිටිනු විය හැකි අතර, නීතියට අනුව අවශ්‍ය වන්නේ නම් ඇතැම් බැඳීම්වලට ද යටත් විය හැකිය. එහෙත් එය පසෙකට දැමුවත්, බොහෝ නේවාසික පුරවැසියන් ප්‍රතිලාභ (රාජ්‍ය සේවා, නීතිමය ආරක්ෂණ, විදේශ ප්‍රේෂණ) ලබන නමුත් එම ප්‍රතිලාභවලට සමානුපාතිකව බදු ගෙවීමට ඔවුන්ට කිසි විටෙකත් නොහැකි විය හැකියඑහෙත් ඔවුන්ගේ හඬ තවමත් ඇතුළත් කර ඇත.

එපමණක් නොව, බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ඩයස්පෝරා ඡන්දය නීත්‍යානුකූල බවට සලකන්නේපදිංචිය හෝ බදු ගෙවීම නිසා නොවදේශපාලනිකව අන්තර්ග්‍රහණය කර ගැනීමේ මූලික නිර්ණායකය වන්නේ පුරවැසිභාවය බැවිනි. ශ්‍රී ලංකාව දැනටමත් ද්විත්ව පුරවැසිභාවයට ඉඩ සලසා ඇති බැවින්, විදේශවල සිටින බොහෝ දෙනෙක් පූර්ණ පුරවැසිභාවය පවත්වා ගෙන යති.

අවසාන වශයෙන්, ඇතැම් තනතුරු දැරීම උදෙසා පදිංචිය අවශ්‍ය කරන අන්දමට ප්‍රතිපත්ති සැලසුම් කළ හැකිය, නැතහොත් ඇතැම් ප්‍රතිලාභ සහ නීතිමය වගකීම් පදිංචිය හා සමග බැඳ තබා ඇත. බොහෝ රටවල, ද්විත්ව පුරවැසියන්ට රජයේ ඇතැම් තනතුරු දැරිය නොහැකිය; නැතහොත් ව්‍යවස්ථාමය සීමාවන් පනවා ඇත. (උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද්විත්ව පුරවැසියන් ජනාධිපති වීම වළක්වා ලයි.)

ගෝලීය භාවිතය: අනෙක් රටවල් කරන දේ

ශ්‍රී ලංකාවේ බිය එයටම විශේෂ වන්නේද නැතහොත් යුක්ති සහගත ද යන්න තක්සේරු කිරීම සඳහා, අනෙක් රටවල් කර දේ සැලකිල්ලට ගැනීම ප්‍රයෝජනවත් වේ.

බොහෝ රටවල් විදේශයන්හි සිට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහාය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය (International IDEA) විසින් නිකුත් කරන ලද විදේශයන්හි සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ දත්ත සමුදායට අනුව, රටවල් විශාල සංඛ්‍යාවක් විදේශවල වසන පුරවැසියන් සඳහා බාහිර ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි.

එක්සත් රාජධානිය මෑතක දී දිගු කාලීන වන්නාවූ ඩයස්පෝරාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පුළුල් කරමින් විදේශ ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම සඳහා පවතින කාල සීමාවන් ඉවත් කළේය.

මෙක්සිකෝව, ආරක්ෂාව සහතික කිරීම සඳහා ගුප්ත ලේඛන මෙවලම් භාවිතා කරමින් විදේශයන්හි සිටින පුරවැසියන් විශාල සංඛ්‍යාවකට මෑතක දී (ඉලෙක්ට්‍රොනික හෝ කොන්සල් කාර්යාල හරහා) දුරස්ථ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දුන්නේය.

ශක්තිමත් ආයතනික සැලසුම් ඇත්නම්, තාක්ෂණික, නීතිමය සහ සදාචාරාත්මක අභියෝග කළමනාකරණය කළ හැකි බව මෙම උදාහරණවලින් පෙනී යයි.

අවදානම් ආමන්ත්‍රණය කිරීම: වගකිවයුතු ලෙස ක්‍රියාත්මක කිරීමේ මාවත

ඉහත දක්වා තිබෙන මගේ කිසිදු ස්ථාවරයකින් විදේශවාසික ඡන්දය ප්‍රකාශ කිරීම අවදානම් රහිත බවක් නොහැඟවේ. වංචාව, සත්‍යාපනය, අධීක්ෂණය, විකෘති කිරීම, බලපෑම් කිරීමේ අසමතුලිතතාව වැනි සැලකිල්ලට ගත යුතු සැබෑ කරුණු තිබේ. කෙසේ වෙතත්, මේවා මාරාන්තික විරෝධතාවයන් නොවේඒවා සැලසුම් කිරීමේ අභියෝග පමණි.

ක්‍රම පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා ඇතැම් යාන්ත්‍රණ:

1. සුදුසුකම් පිළිබඳ නිර්ණායක: විදේශගත ඡන්දදායකයින් ලියාපදිංචි වීමට නම්, ඔවුහු ශ්‍රී ලාංකික පුරවැසිභාවය දැරිය යුතුය, සත්‍යාපනය කළ හැකි ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය, සම්බන්ධතා පැවැත්විය හැකි ලිපිනයන් පවත්වා ගත යුතුය, සහ සමහර විට වරින් වර සම්බන්ධතාවයක් (උදා: දේපළ, පවුල, ප්‍රේෂණ හෝ නීතිමය බැඳීම්) පෙන්නුම් කළ යුතුය.

2. සත්‍යාපනය සහ අනන්‍යතා සහතික කිරීම: ජෛවමිතික හෝ ආරක්ෂිත හැඳුනුම්පත් ක්‍රම භාවිතා කිරීම, විශ්වාසදායක තානාපති කාර්යාල හෝ කොන්සල් කාර්යාල මගින් ඡන්දය ප්‍රකාශ කිරීම, විගණන සහිත ඩිජිටල් සත්‍යාපන ක්‍රම පද්ධති ආදිය.

3. රාජ්‍ය තනතුරු දැරීමේ සීමාවන්: ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද ඇතුළුව බොහෝ රටවල දැනටමත් කර ඇති පරිදි, ද්විත්ව පුරවැසියන් ඇතැම් ඉහළ තනතුරු සඳහා තරඟ වැදීමෙන් වළක්වා ලිය හැකිය.

4. පාරදෘශ්‍ය නීතිමය රාමු: ඩයස්පෝරා ඡන්ද ගණන් කරන ආකාරය, ප්‍රතිඵල විගණනය කරන ආකාරය, අනවශ්‍ය බලපෑම්වලින් ආරක්ෂා කරන්නේ (ඩයස්පෝරාවේ නියෝජනය සහිත) කවල අධීක්ෂණ ආයතන ද යන්න නිශ්චිතව දක්වන නීති.

5. සමබර නියෝජනය: ඩයස්පෝරා ජනගහනය විශාල නම්, නේවාසික ඡන්ද සමඟ විදේශවාසික ඡන්ද සමතුලිත වන බව සහතික කිරීම සඳහා විශේෂ නියෝජනයක් (වෙන් කළ ආසන) හෝ බර යෙදීමක් පවත්වා ගත හැකිය.

6. සිවිල් සහභාගීත්වය සහ අධ්‍යාපනය: තොරතුරු සැපයීමේ ව්‍යාපාර, ඩයස්පෝරා සංසද, දේශීය ගැට‍ළු, දූෂණය, ප්‍රතිපත්ති හුවමාරු කිරීම ආදිය පිළිබඳව විදේශීය පුරවැසියන් දැනුවත් කිරීම සඳහා මහජන විවාද.

නිගමනය

ජාත්‍යන්තර සම්මතයන්, නීතිමය විය හැකියාවන් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් දෙස බලන විට, බාහිර මෙහෙයවීම්වලට, ස්වෛරීභාවය නැති වීමට හෝ මතවාදීමය ව ග්‍රහණය කර ගැනීමට බියෙන් ශ්‍රී ලංකාව විදේශවාසිකයන්ට ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කළ යුතු බවට නගන තර්කය ඒත්තු ගැන්විය නොහැකි වේ. පුරවැසිභාවය යනු හුදෙක් කෙනෙකු වාසය කරන ස්ථානය පිළිබඳව වන්නක් නොවේඑය නීතිමය, සංස්කෘතික, සහ භාවාත්මක බැඳීමක් වේ. තම මව් රට තුළ ගැඹුරු ආයෝජනපවුල, දේපළ, ප්‍රේෂණ, සංස්කෘතික අනන්‍යතාවයරඳවා තබා ගන්නා බොහෝ ශ්‍රී ලාංකික විදේශවාසිකයෝ ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියත් එහි පාලනයේ බලපෑමට ලක් වෙති.

අසම්පූර්ණ සම්බන්ධතාවයක් හෝ රැඩිකල් හෝ එදිරිවාදී අදහස් පිළිබඳව ඇති බිය මත පදනම්ව මෙම ජන ප්‍රජාවට ඡන්ද අයිතිය ප්‍රතික්ෂේප කිරීම පුරවැසියන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ ගෝලීය පුරවැසිභාවය යන දෙකම අඩපණ කිරීමේ අවදානමක් ඇති කරයි.

ශ්‍රී ලංකාව  ශක්තිමත් නීතිමය රාමුවක්, සත්‍යාපනය සහ සුරක්ෂිතතා සහිතවසැලකිලිමත් ලෙස ඉදිරියට ගමන් කරන්නේ නම් විදේශවාසිකයන් සඳහා ඩිජිටල් මාර්ගයෙන් හෝ නොපැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට, ජාතික සමගිය ගැඹුරු කරවා ලන්නට සහ සිය මව්බිමේ දේශපාලන අනාගතයේ කොටසක් ලෙස පවතින්නට කැමති විදේශයන්හි සිටින අය යළි සම්බන්ධ කර ගැනීමට හැකිය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.