ආචාර්ය එන්. ජී. කුලරත්න සහ ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු –
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සාරධර්ම අධ්‍යාපනය
පසුගිය දශක තුනක පමණ කාලය පුරා ප්‍රකාශයට පත් කර ඇති ප්‍රධාන ගෝලීය අධ්‍යාපන වාර්තා සහ ප්‍රතිපත්ති ප්‍රකාශන සෑම එකක් ම පාහේ, සාරධර්ම අධ්‍යාපනය, මානව සංවර්ධනය සහ සමාජ ප්‍රගතිය උදෙසා පදනම සපයන කේන්ද්‍රීය කුලුනක් ලෙස අවධාරණය කර තිබේ. සමස්තයක් වශයෙන් සලකන විට, සමබර පෞරුෂයක් සහිත සාමකාමී පුද්ගලයින් හා සමාජ, ලොව පුරා බිහි කිරීම සඳහා, සාරධර්ම අධ්‍යාපනය කේන්ද්‍රීය සහ තීරණාත්මක විශ්වීය අවශ්‍යතාවක් බව මෙම වාර්තා තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ ද පසුගිය දශක තුනකට ආසන්න කාලයක් පුරා (1992 සිට 2022 දක්වා) නිකුත් කර ඇති සියලු අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාර්තා, සදාචාරාත්මක, නීති ගරුක, කාරුණික සහ සමාජීය වගකීම් සහිත පුරවැසියන් බිහි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ. සාරධර්ම සංවර්ධනය, අධ්‍යාපනයේ කේන්ද්‍රීය පරමාර්ථයක් වන බව, 1992 ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවේ දැක්වේ. ජාතික අනන්‍යතාව පිළිබඳ අභිමානය, ජාතික සමගිය, පුරවැසි වගකීම්, සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම, සදාචාර ධර්ම, සමාජ සහ පාරිසරික සංවේදීතාව ආදී සාරධර්ම සිසුන් තුළ ප්‍රගුණ කිරීම ජාතික අධ්‍යාපන අරමුණුවලට අයත් අංගයක් ලෙස මෙහි පැහැදිලි ව දක්වා ඇත. මේ සඳහා වෙන ම විෂයයක් ලෙස සාරධර්ම ඉදිරිපත් කිරීම වෙනුවට, විෂයමාලාවට අයත් සෙසු විෂයයන් කීපයක් සමග ද, විෂයසමගාමී කටයුතු සමග ද, පාසලේ දෛනික ජීවිතය හා බැඳුනු සියලු කටයුතු සමඟ ද සාරධර්ම සමෝධානය කළ යුතු බවත් වාර්තාව නිර්දේශ කර තිබේ.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2020-2030 කාල පරිච්ඡේදය සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්, 2022 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලදී. අධ්‍යාපනය මගින් සපුරා ගත යුතු යැයි සැලකෙන ජාතික අරමුණු අටක් එහි දැක්වේ. මෙම අරමුණු සඵල කර ගෙන සමබර පෞරුෂ සහිත පුද්ගලයින් බිහි කිරීමට උපයෝගී වන අයුරින් විෂයමාලාව සකස් විය යුතු බව වාර්තාව පෙන්වා දෙයි.
මෙම අරමුණු අටෙන් පහත සඳහන් අරමුණු හතරෙන් ම සෘජු ව ම සහ ප්‍රධාන වශයෙන් ම අවධාරණය කෙරෙන පහත දැක්වෙන සාරධර්ම මාලාව ඉදිරිපත් කෙරේ.
1. පුද්ගලයන්ට නිරෝගී හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන කායික, අධ්‍යාත්මික, සමාජීය, ආවේදනික හා පාරිසරික යහපැවැත්ම උදෙසා පදනම් වන මානව සාරධර්ම ප්‍රවර්ධනය කිරීම.
2. දේශීය සහ ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙමින් ජාතියේ සංස්කෘතික සහ පාරිසරික උරුමයන් සුරැකීමට යොමු කිරීම.
3. සංස්කෘතික විවිධත්වය පිළිගනු ලබන අතර ජාතික අනන්‍යතාව, ජාතික සමගිය සහ සහජීවනය ගරු කරන දේශප්‍රේමී පුරවැසියෙක් බිහි කිරීම.
4. සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් හා වගවීම් පිළිබඳ සම්මතයන්ට අනුව කටයුතු කරන අතර මානව අයිතිවාසිකම් සහ නීතිගරුක බව ප්‍රවර්ධනය කිරීම.
වර්තමානය දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින්නේ යැයි සැලකෙන ප්‍රතිපත්තිය හා එහි යථාර්ථය
පසුගිය කාලය පුරා ම සාරධර්ම ප්‍රවර්ධනය සඳහා 1992 කොමිෂන් සභා වාර්තාවෙන් නිර්ෙද්ශ කරන ලද විෂය මාලා ප්‍රවේශය ලෙස පිළිගනු ලැබ තිබුනේ අනිවාර්ය අධ්‍යාපන අවධිය සඳහා නිර්ෙද්ශිත පොදු විෂය මාලාවට අයත් භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, සමාජ අධ්‍යයනය, පරිසර අධ්‍යාපනය, ආගම ආදී විෂයන් සමග සාරධර්ම සමෝධානය කර ඉදිරිපත් කිරීම බව ය. මෙලෙස ක්‍රියාත්මක වූයේ යැයි සඳහන් වූ සාරධර්ම අධ්‍යාපනය සැබවින් ම ප්‍රකාශිත අයුරු ක්‍රියාත්මක වන්නේ ද සහ එහි ඵලදායකත්වය පිළිබඳ කවර හෝ අධ්‍යයනයක් කවදා හෝ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදු කර තිබේ ද යන්න අවිනිශ්චිත ය. මුල් අවධියේ දී ම කරන ලද වාර්තාගත එක ම අධ්‍යයනයකින් පැවති සාරධර්ම අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රධාන දුබලතා රැසක් අනාවරණය විය. විෂයය කීපයක් මගින් ඉගැන්වීමට අපේක්ෂා කළ සාරධර්ම පැහැදිලි ව හා සුවිශේෂී ලෙස විෂයයන් සහ ශ්‍රේණි අනුව ව්‍යූහගත කරන ලද පරිපූර්ණ හා සමබර සාරධර්ම විෂයමාලා රාමුවක් නොතිබීම, ප්‍රධානතම දුබලතාව විය. සාරධර්ම ඉගැන්වීම හා ඇගයීම පිළිබඳ සුවිශේෂ කුසලතා ගුරුවරුන් සතුව නොපැවති හෙයින් කැපවීමකින් හා හිතාමතාම සාරධර්ම ඉගැන්වීමට ගුරුවරු අපොහොසත් වී ඇත. ඉගෙනුම් ඵල මිනුම සහ ඇගයීම ප්‍රජානන ක්ෂේත්‍රයට පමණක් සීමා වීම සහ සාරධර්ම මිනුම සහ ඇගයුම පාසල්වල සන්තතික හෝ සම්පිණ්ඩිත මිනුම් සහ ඇගයීම් ක්‍රියාවලියට අයත් නො වූ බැවින් ගුරුවරුන් සාරධර්ම ඉගැන්වීමට උනන්දු නොවීම, අනෙක් දුබලතාව විය. [1]
2023 වසරේ සිට 2026 වසර දක්වා ප්‍රකාශයට පත් සෑම අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශන හා වාර්තාවකින් ම අනිවාර්ය අධ්‍යාපන අවධිය සඳහා සාරධර්ම අධ්‍යාපනයේ අවශ්‍යතාව අවධාරණය කර ඇති නමුදු, ප්‍රතිපත්ති ප්‍රකාශනවල වචනවලට පමණක් සීමා වී තිබූ සාරධර්ම අධ්‍යාපනය, 2026 වන විට ස්වාභාවික මරණයකට පත් ව තිබුණි. එතෙක් නාමික ව පමණක් පැවති සාරධර්ම අධ්‍යාපන ප්‍රවේශය, සාර්ථක හා ඵලදායි එකක් වූයේ නම්, වත්මන් රජය ඒ වෙනුවට 2026 වසරේ දී ‘ආගම සහ සාරධර්ම අධ්‍යාපනය’ යන නමින් විෂයයක් හඳුන්වා දීමට ඉදිරි පත් නොවනු ඇතැයි සිතමු.
සාරධර්ම සංවර්ධනය සහ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ ගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැති සහ අධ්‍යාපන ඇමතිතුමියගේ අදහස් සහ ප්‍රකාශන
පසු ගිය කාලය පුරා ම ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැති සහ අධ්‍යාපන ඇමතිතුමිය විසින් වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ මානව සාරධර්ම පරිහාණිය පිළිබඳවත් එහි ප්‍රවර්ධනය සඳහා ජාතික අධ්‍යාපනයේ තීරණාත්මක වගකීම සහ කාර්යභාරය පිළිබඳවත් දැඩි සැලකිල්ලක් දක්වන බව පහත දැක්වෙන ප්‍රකාශවලින් අනාවරණය වේ.
“ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වන ජන්ම සංවත්සර උත්සවය අමතමින් ‘නව සාරධර්ම පද්ධතියක’ අවශ්‍යතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඉස්මතු කළේ ය. එතුමා සඳහන් කළ තවත් කරුණක් වූයේ, සමාජය සහ ආයතන කෙතරම් දුරට පරිහාණියට පත් ව තිබේ ද යත හොත්, මෙවා ප්‍රතිශෝධනය නො කර අපට රටක් සහ ජාතියක් වශයෙන් ඉදිරියට යා නො හැකි බව ය.” [2]
එම උත්සවය ම අමතමින්, ශිෂ්ටත්වයෙන් යුත් සමාජයක් ගොඩ නැගීමේ දී නව හර පද්ධතියක අවශ්‍යතාව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා, “ශිෂ්ටත්වය කරා යන එම ගමනේ දී ‘පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතු බව’ තමන් ප්‍රකාශ කළේ එබැවින් බව ද සිහිපත් කළේය.” [3]
“අපි සමාජයක් ලෙස මුහුණ දී සිටින ගැඹුරු අර්බුදයක් තිබෙනවා. එනම් අපේ අධ්‍යාපන ක්‍රමය සහ අපේ සමාජ රටාව විසින් මුළුමනින් ම අපේ දරු පරම්පරාව යන්ත්‍ර බවට පත් කර තිබීම ය. එබඳු දරුවන්ගෙන් අපට උරුම වන අනාගතය කුමක් ද? හදවතේ තෙතමනයක් නැති දරුවෝ, ආදරය සහ ලෙන්ගතු කම නැති දරුවෝ, අනෙකා පිළිබඳ සහකම්පනය නැති දරුවෝ, බිහිවන සමාජයක් නිර්මාණය වෙමින් තිබෙනවා. සියලු නිදහස් මිනිස් සබඳතා අප අතරින් තුරන් වී තිබෙනවා. අද සමාජ වටිනාකම් බවට පත් වී ඇත්තේ ලොකු වාහනයක්, විශාල නිවසක්, ලොකු ධනයක් ආදිය යි. අපේ සමාජයට යළිත් නව වටිනාකම්, හර පද්ධතියක් අවශ්‍ය යි.
හදවතේ තෙතමනය ඇති, අනෙකා කෙරෙහි සහකම්පනයෙන් යුතු, ආදරය සහ ලෙන්ගතු කම සහිත දරුවාේ අප සමාජයේ යළි බිහි කළ යුතු ය. එකිනෙකා කෙරෙහි වෛරයෙන්, ක්‍රෝධයෙන්, සැකයෙන් යුතු ව බලන සමාජයක් අප ඉදිරියේ තිබුණා. එබඳු සමාජයක් අපට ඉතිරි කරන්නේ කුමක් ද? ඉතිරි කරන්නේ විනාශයන්ය, ඛේදවාචකයන්ය. එම නිසා අපට සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් යන සියලු දෙනා අතර සහෝදරත්වය, සමගිය, සාමය සහිත සමාජයක් අවශ්‍යයි. තමන්ගේ මෙන්ම අනෙකාගේ සංස්කෘතියට ගෞරවණීය පිළිගැනීමක් දක්වන සමාජයක් අපට අවශ්‍යය. මෙය අපගේ මාතෘ භූමිය යි යන හැඟීම සෑම කෙනෙකුගේම සිත් තුළ ඇති විය යුතු ය. එසේ නොමැතිව අපට ජාතික සමගිය නිර්මාණය කළ නොහැකිය. මේ කාර්යය ඉටු කිරීමේ දී අධ්‍යාපනය, සාහිත්‍යය, කලාව සහ ක්‍රීඩාව වෙත පැවරෙන විශාල වැඩ කොටසක් ඇත.” [4]
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය තුළින් රටේ පරිවර්තනීය වෙනස්කම් ගණනාවක් කළ යුතු ව තියනවා. වර්තමානයේ පවතින ආර්ථික, දේශපාලන හා සමාජයීය අර්බුද මිනිස් ජීවිත හා බද්ධ වී පවතින බැවින්, ඒවා නීතියෙන් පමණක් විසඳිය නොහැකියි. ඒ සඳහා සමාජයේ පැහැදිලි ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි.
අප අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස මගින් ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු මිනිසෙකු බිහි කිරීමට කලාව තුළින් මහඟු මෙහෙවරක් කළ හැකි ය. සමාජයට අවශ්‍ය, හොඳ පරිකල්පනයක්, සහකම්පනයක් මෙන් ම නායකත්ව ගුණාංග සහිත නිර්මාණශීලී පිරිපුන් යහපත් පුරවැසියන් බිහි කිරීමේ අරමුණින් අධ්‍යාපන ක්‍රියාවලිය තුළද පරිවර්තනීය වෙනසක් කළ යුතුයි.
අප බලාපොරොත්තු වන ආකල්පමය වශයෙන් දියුණු, ශිෂ්ට සම්පන්න පුරවැසියා බිහි වීමට අවශ්‍ය පදනම වන්නේ පාසල් කාලය තුළ ලබන අත්දැකීම් සමුදාය බවත්, රජය විසින් දහතුන් වසරක පාසල් අධ්‍යාපන කාලයක් තහවුරු කර ඇත්තේ එම අත්දැකීම් ලබා ගැනීමට ශිෂ්‍යයාට ඉඩහසර ලබාදීම පිණිස බවත් ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය ප්‍රකාශ කළා ය.” [5]
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ ව ජාතික කතිකාවක් ආරම්භ වූ අවස්ථාවේ සිට සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ ව ශ්‍රී ලාංකීය විද්වතුන් දක්වන ලද අදහස් සහ යෝජනා අප විසින් ප්‍රකාශනයට පත් කළ ලිපියක සවිස්තර ව මෙයට පෙර ඉදිරිපත් කර ඇත. මේ වන විට අප විසින් මෙම ලිපිය ගරු අධ්‍යාපන ඇමතිතුමිය අතට ද පත්කර ඇත්තෙමු. [6]
වත්මන් රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සාරධර්ම අධ්‍යාපනය
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් 1 සිට 11 ශ්‍රේණි දක්වා අනිවාර්ය විෂයයක් ලෙස ‘ආගම සහ සාරධර්ම අධ්‍යාපනය’ යනුවෙන් විෂයයක් හඳුන්වා දී තිබේ. මෙයින් ගම්‍ය වන්නේ මෙතෙක් පිළිගෙන තිබූ විෂයමාලාවට අයත් සෙසු විෂය කීපයක් සමග සමෝධානය කර සාරධර්ම ඉදිරිපත් කිරීමේ ප්‍රවේශය වෙනුවට, සාරධර්ම ප්‍රවර්ධනය සඳහා ආගමික අධ්‍යාපනය පමණක් උපයෝගී කර ගැනීමේ ප්‍රවේශය පිළිගෙන ඇති බව ය.
සියලු ආගම් විසින් අතැම් විශ්වීය මානව සාරධර්ම උගන්වනු ලැබුව ද සමස්ත මානව වර්ගයාට ම පොදු වූ සාරධර්ම බොහොමයක් ආවරණය නොකෙරේ. නූතන මානව සමාජයට අදාළ සාරධර්ම, ආගමික ඉගැන්වීම් හා බැඳුණු සාරධර්ම සීමාවන් ඉක්මවා යන වඩා පුළුල් පරාසයක් තුළ විහිදී ඇත. පාසල් අධ්‍යාපනය සඳහා ආගම් මෙන් ම සාරධර්ම අධ්‍යාපනය ද ස්වාධීන විෂයයක් ලෙස ඉදිරිපත් කළ යුතු ය. ආගම් සහ සාරධර්ම අධ්‍යාපනය එකිනෙක අනුපූරණය කරන, එකිනෙකෙහි ඉගැන්වීම් ප්‍රතිපෝෂණය කරන විෂයයන් ලෙස ඉදිරිපත් කළ යුතු ය. ආගමික අධ්‍යාපනය, සාරධර්ම අධ්‍යාපනයට විකල්පයක් නො වන්නා සේ ම, සාරධර්ම අධ්‍යාපනය ද ආගමික අධ්‍යාපනයට විකල්පයක් නො වන බව අප අවධාරණය කරමු. ආගමික අධ්‍යාපනය සහ සාරධර්ම අධ්‍යාපනය අරබයා මෑත දී එක් වියත් ලේඛකයෙක් විසින් පහත දක්වන ලද අදහස් ගැන සලකා බැලීම වටී.
“විශේෂිත ආගම් නාම ලේබල්වලින් තොර ව ආචාරධර්ම ඉගැන්වීම පිළිබඳ ව, අධ්‍යාපනයේ අවධානය යොමු කිරීම හදිසි අවශ්‍යතාවක් වී ඇත. සියලු ප්‍රායෝගික කටයුතුවල දී පැහැදිලි ව ම ආගමික ඉගැන්වීම් බොහෝ දුරට නොසලකා හරින අවධියක, පාසල් විෂය මාලාවට ආචාරධර්ම ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් විය හැකි ය. එමගින් තරුණ ශිෂ්‍යයන්ට ඒවා සාකච්ඡා කිරීමටත්, විමර්ශනය කිරීමටත්, අවබෝධ කර ගැනීමටත් ඉඩ සැලසෙන අතර, එය ඔවුන්ගේ චින්තනමය ප්‍රබුද්ධ භාවය දියුණු කර ගැනීමටත්, සුපුරුදු ආගමික නියමයන් තුළට සීමා නො වී සිතීමටත් උපකාරී වනු ඇත. ආචාරධර්ම වෙන ම විෂයයක් ලෙස ඉගැන්වීම, තමන්ගේ ආගම් පිළිබඳ ව වඩාත් අපක්ෂපාතී ව සිතීමටත්, අනෙකුත් ආගම් පිළිබඳ ව ඉවසීමෙන් කටයුතු කිරීමටත්, ඔවුන් සැමට උපකාරී වනු ඇත.” [7]
අර්ථවත්, සාර්ථක සහ ඵලදායි පාසල් සාරධර්ම අධ්‍යාපන වැඩ සටහනක් කරා
සාරධර්ම අධ්‍යාපනය සඳහා එක ම විෂයමාලා ප්‍රවේශය ලෙස ආගම විෂය තෝරා ගැනීම වෙනුවට, සාරධර්ම අධ්‍යාපනය තනි ස්වාධීන විෂයක් ලෙස උපයෝගී කර ගැනීමේ යෝග්‍යතාව සහ විශේෂ ප්‍රයෝජන සහිත බව, අධ්‍යාපන න්‍යාය සහ පර්යේෂණවලට වඩාත් ගැලපෙන බව අනාවරණය වෙමින් පවතී. සන්සන්ධනාත්මක ව සලකන විට මෙම ප්‍රවේශයේ අදාළත්වය හා ගුණාත්මක බව තහවුරු කරන සුවිශේෂී ලක්‍ෂණ මෙසේ ය.
* කාලීන දේශීය සහ ගෝලීය අවශ්‍යතාවන්ට අනුරූප වන පරිදි, පරිපූර්ණ හා සමබර, ශ්‍රේණි හා ළමා සංවර්ධන අවධි අනුව ව්‍යුහගත කරන ලද නිශ්චිත අරමුණු සහිත ප්‍රකට හා විනිවිධභාවයෙන් යුතු සාරධර්ම විෂයමාලා රාමුවක් ගොඩ නගා ගත හැකි වීම. [8]
* ඉගෙන ගනු ලබන සාරධර්ම අනුව ක්‍රියාත්මක වීමට මග පාදන, ප්‍රකාශිත විධිමත් විෂයමාලාවට මැනවින් අනුබද්ධිත හා සැලසුම්ගත ලෙස සම්පාදිත විෂය සමගාමී පාරිසරික හා ප්‍රජා වැඩසටහන් ද, උගත් සාරධර්ම භාවිතයට හා ප්‍රතිපෝෂණයට අවස්ථා සැලසෙන පරිදි පාසල් පිරියත තුළ දී කටයුතු කිරීමට අවස්ථා සම්පාදනය කෙරෙන පාසල් සංස්කෘතියක් ද (නීති රීති, සම්මුති, සම්ප්‍රදාය, උත්සව ආදී) උපයෝගී කර ගැනීමට ඉඩ ලැබීම. [9]
* සාරධර්ම අධ්‍යාපනයේ අරමුණු සහ ඊට අනුකූල විෂයමාලා අන්තර්ගතය පැහැදිලිව ප්‍රකාශිත නිසා, සාරධර්ම ඉගෙනුම් ඉගැන්වීම් සඳහා වන සුවිශේෂි වන ශිල්ප ක්‍රම මෙන් ම මිනුම සහ ඇගයුමට සුවිශේෂී වන ශිල්ප ක්‍රම මගින් ඉගෙනුම් ඵල මිනුමට සහ ඇගයීමට, සන්තතික සහ සම්පිණ්ඩිත මිනුම් ඇගයුම් ක්‍රියාවලියක් භාවිත කළ හැකී වීම. [10]
* සාරධර්ම විෂයමාලාව සැමට පොදු එකක් වන හෙයින් ශ්‍රී ලංකාව වැනි බහු වාර්ගික හා ආගමික සමාජයක් සහිත රටක දරුවන් සැමට එකට ඉගෙනුම් කටයුතුවල යෙදීමට ඉඩ ලැබීම.
* සාරධර්ම දරුවන් තුළ අභ්‍යන්තරීකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වයට බලපාන තීරණාත්මක සාධකයක් වන්ෙන් ඒ සඳහා ගුරුවරුන් සතු ඉගැන්වීම් ඇගයීම් කුසලතාවයි. සාරධර්ම ඉගැන්වීම් ඇගයීම් කුසලතා ලබාදීමට එතරම් කාලයක් අවශ්‍ය නොවන හෙයින් මෙම කුසලතා ලබාදීම සෑම ගුරු අධ්‍යාපන වැඩ සටහනක ම අනිවාර්ය අංගයක් කිරීමෙන්, සියලු ගුරුවරුන් මෙම කුසලතාවන්ගෙන් සන්නද්ධ මානව සම්පතක් කළ හැකි වීම.
සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී අප මෙහි ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගන්නා ලෙස ගරු අගමැති සහ අධ්‍යාපන ඇමතිතුමිය ගෙන් ඉතා ගෞරවයෙන් සහ ඕනෑකමින් අයැද සිටිමු. එම පිළිවෙත ක්‍රියාවට නැංවීම සඳහා සැලසුම් සකස් කිරීමට පළපුරුදු, නිර්මාණශීලි, වෘත්තීමය විශිෂ්ඨත්වයක් සහිත අධ්‍යාපනඥයින් ගේ සහාය ලබා ගත මැනවි. සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ ගනු ලබන තීරණ ක්‍රියාවට නැගෙන අන්දම මෙන්ම එහි ප්‍රතිඵල නිරතුරුව අධ්‍යයනයට භාජනය කරමින් එය වැඩිදියුණු කිරීම ද ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත යුතු බව මතක් කරමු.
ගුණධර්ම පිළිබඳ ව වඩාත් ම අදහස් දැක්වූ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්, සහ සාමය සඳහා නොබෙල් ත්‍යගයෙන් පිදුම් ලත් ලොව පළමු රාජ තන්ත්‍රිකයා සහ වියත් ඇමරිකානු ජනාධිපති වරයෙක් වූ තියඩෝර් රූස්වෙල්ට් විසින් සිදුකරන ලදැයි සැලකෙන ප්‍රකාශ දෙකකින් මෙම සන්දේශය අවසන් කරමු.
“හදවත ප්‍රවර්ධනය නො කර මනස පමණක් ප්‍රවර්ධනය කරන අධ්‍යාපනය කිසි ලෙසකින් හෝ අධ්‍යාපනයක් වන්නේ නැත” ~ ඇරිස්ටෝටල්
“මිනිසකුගේ සදාචාර සම්පන්න බව ප්‍රවර්ධනය නො කර, මනස පමණක් ප්‍රවර්ධනය කරන අධ්‍යාපනය, සමාජයට උවදුරක් බිහි කරන අධ්‍යාපනයකි.” ~ තියඩෝර් රූස්වෙල්ට්
* ආචාර්ය එන්. ජී. කුලරත්න -විශ්‍රාමික: අධ්‍යක්ෂ – අධ්‍යාපන පර්යේෂණ, ජාතික අධ්‍යාපන ආයතනය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – අධ්‍යාපන පීඨය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
*ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු, සහාය මහාචාර්ය – ශ්‍රී ලංකා අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාලය, කුණ්ඩසාලේ, විශ්‍රාමික: නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – පර්යේෂණ සහ සංවර්ධන, ජාතික අධ්‍යාපන ආයතනය
[1] Growing up in a Sri Lankan School: Development of Attitudes and Values in Children – Gunawardena G.I.C., Kularatna N.G., Kariyawasam C. – 1995
[2] The Need for a new Ethical and Value system – Dr.Siri Gamage, Colombo Telegraph – 29.05.2025
[3] Sinhala Lanka News Web – 29.05.2025
[4] 2026 මැයි 3 දින සමස්ත ලංකා කම්බන් කලහගම් සංවිධානයේ වාර්ෂික සාහිත්‍ය දින උත්සවයේ ගරු ජනාධිපතිතුමා විසින් පවත්වන ලද, Youtube වීඩියෝවකින් ජනගත වූ දේශනයෙන් උපුටා ගනු ලැබිණ
[5] 2026 මැයි 15 දින සව්සිරිපාය පරිශ්‍රයේ දී පැවති, ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරන ලද 2024/2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමින් ගරු අගමැතිතුමිය කළ කථාවෙන් උපුටා ගනු ලැබිණ
[6] අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සාරධර්ම අධ්‍යාපනයේ පරිපූර්ණ ප්‍රතිශෝධනයක අවශ්‍යතාව – එන්.ජී. කුලරත්න – Colombo Telegraph –18.12.2025
[7] Importance of Including Ethics as a School Subject – Susantha Hewa – GROUND VIEWS – 19.05.2026
[8][9][10] සාරධර්ම අධ්‍යාපනයට ප්‍රවේශයක් – එන්.ජී. කුලරත්න, ගොඩ්වින් කොඩිතුවක්කු, ප්‍රේමා හේමචන්ද්‍ර – 2025