14 July, 2026

Blog

ලෝකය ජයගත් ලාංකේය සමාජ විද්‍යාඥයෙකු වු මහාචාර්ය රොබට් සිද්ධාර්ථන් පෙරින්බනායගම් (1934–2025) පිලිබද කෙටි ඇගයිමක්

ප්‍රේමකුමාර ද සිල්වා –

මහාචාර්‍ය ප්‍රේමකුමාර ද සිල්වා

මහාචාර්ය පෙරින්බනායගම් අප අතරින් වෙන්වූ බව මා දැන ගත්තේ මෑතකදීය. ඔහු ගේ ශාස්ත්‍රීය කටයුතු හරහා මා ඔහු දැන සිටියත් අප පෞද්ගලිකව දැන නොසිටියෙමු. නමුත් 2023 මැයි මස 30 වන දින මා වෙත විද්යුත් තැපෑලෙන් පණිවිඩක් එවමින් මා විසින් රචිත Formation and Reformation of Traditional Martial Arts in Sri Lanka (2023) පරිච්ඡේද යේ පිටපත් එවන ලෙස ඉල්ලීමක් කර තිබුණේ ය. එතැන් සිට අප අතර විද්‍යුත් තැපෑලෙන් අදහස් හුවමාරුව දිගටම සිදුවුවිය. හදිසියේම විද්‍යුත් සන්නිවේදනය නතර වුවත් කාර්‍ය්බහුල විම නිසාම ඔහු පිළිබඳ සොයා බැලිය නොහැකි විය. මා පසුව දැනගත් පරිදි ඔහු නොවැම්බර් 5 වනදා නිව්යෝර්ක් නුවරදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහුගේ වයස අවුරුදු 91 කි.

මහාචාර්ය පෙරින්බනායගම්

මහාචාර්ය පෙරින්බනායගම යනු ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික-ඇමරිකානු සමාජ විද්‍යාඥයෙකි. ඔහු නිව්යෝර්ක් නගරයේ හන්ටර් විද්‍යාලයේ (Hunter College) සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු (Emeritus Professor) ලෙස සේවය කළේය. සංකේතාත්මක අන්තර්ක්‍රියාකාරිත්වය (Symbolic Interactionism), අනන්‍යතාවය සහ භාෂාව හා සංස්කෘතිය පිළිබඳ සමාජ විද්‍යාව සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර වශයෙන් ඉහළ සම්භාවනාවට පාත්‍ර වු ශ්‍රී ලංකේය බුද්ධිමතෙකි.

ඔහු 1934 පෙබරවාරි 14 වනදා එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ බුරුමයේ (මියන්මාරයේ) රන්ගූන් නුවරදී උපත ලබා ඇත. පසුව 1959 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයේන් (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) සමාජ විද්‍යාව හැදැරු මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සමාජිකයකු ලෙස මූලික අධ්‍යාපනය ලැබූ අතර 1962 දී උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගියේය. 1964 වසරේදී මිනසෝටා විශ්වවිද්‍යාලයෙන් (University of Minnesota) ශාස්ත්‍රපති (M.A.) උපාධිය සම්පූර්ණ කළේය. එහිදී ඔහු සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) එම විශ්ව විද්‍යාලයේන් ම දිනා ගත්තේය. ඔහු දශක කිහිපයක් පුරා නිව්යෝර්ක් හී හන්ටර් විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතුවල නිරත වු අතර මියයන තෙක් සම්මානිත මහාචාර්ය ධුරය ද හෙබවිය. සමාජ විද්‍යාව හා මානව විද්‍යාව මෙන්ම පොදුවේ සමාජීය විද්‍යාවන් පිලිබද උනන්දුවක් ඇති සිංහල පාඨක සමාජය ට මෙම කෘතහස්ත බුද්ධිමතා පිළිබඳ කෙටි හැදින්විමක් ඉදිරිපත් කිරිම මෙම කෙටි ලිපියේ අරමුණ වේ.

මා ඉහතින් දැක්වූ පරිදි පෙරින්බනායගම් ගේ ශාස්ත්‍රීය ලිපි පිළිබඳ මගේ අවධානය යොමු වන්නේ ශාස්ත්‍රපති උපාධි පර්යෙෂණ ආරම්භ වු වකවානුවේදී ය. ඒ ඔහු උතුරු පලාත ඇසුරෙන් ලියා පළ කරන ලද The Karmic Theater: Self, Society, and Astrology in Jaffna” (1982) ග්‍රන්ථය දකුණේ ජ්‍යෝති ශාස්ත්‍රීය විශ්වාසයන් මත පදනම් වු බලි යාතුකර්මය පිළිබඳ මාගේ සමාජ මානව විද්‍යාත්මක විශ්ලේෂණයන් සදහා ප්‍රබල ආලෝකයක් සැපයූ බැවිණි.

න්‍යායික වශයෙන් පෙරින්බනායගම් අයත් වුයේ සමාජ විද්‍යවේ ප්‍රබල ගුරුකුලයක් වන සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය (Symbolic Interactionism). ඔහු ගේ ඇමරිකානු ශාස්ත්‍රීය ජීවිතයේ ප්‍රධානතම ගුරුවරයා සහ මාර්ගෝපදේශකයා (Mentor) වන්නේ මහාචාර්ය ග්‍රෙගරි ස්ටෝන් ය. ඔහු ඇමරිකාවේ සිටි විශිෂ්ටතම සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදී සමාජ විද්‍යාඥයෙකි.

ඔහු ඇමරිකාවට යාමට පෙර ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අවධියේදී ඔහුගේ ගුරුවරයා වූයේ ගෝලීය සම්භාවනාවට පාත්‍ර වු මානව විද්‍යාඥ මහාචාර්ය ගණනාථ ඔබේසේකරය. ඔබේසේකර පසුව ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල උගන්වන කාලයේදී ද පෙරින්බනායගම් සමඟ සමීප ශාස්ත්‍රීය සබඳතාවක් පැවැත්වූ බව මා සමඟ පවසා ඇත ඒ ඇසුර ලාංකීය සංස්කෘතිය හා සමාජය විග්‍රහ කිරීම ට ඔහුට ප්‍රබල අනුබලයක් වී ඇත.

මහාචාර්ය පෙරින්බනායගම් තුළ තිබූ සුවිශේෂ ලක්ෂණ නම් ඔහු ඇමරිකානු සම්ප්‍රදායික සිද්ධාන්තයන් හුදු බටහිර සංකල්පවලට පමණක් සීමා නොකර, ඒවාට නව මානයන් එකතු කරමින් සිය න්‍යායාත්මක විග්‍රහයන් (Theoretical Analysis) සංවර්ධනය කිරිමයි. ඔහු සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදී න්‍යායික ආස්ථානය පෝෂණය වෙනුවෙන් සිය ශාස්ත්‍රීය දායකත්වය ඇගයිම සදහා ඇමරිකාවේ කීර්තිමත් George Herbert Mead Lifetime Achievement Award (1998) සහ Charles Horton Cooley Award වැනි ඉහළම සම්මානවලින් පවා පිදුම් ලැබීය.

ඔහු ගේ ප්‍රධාන ශාස්ත්‍රීය කෘති මගින් මිනිස් අන්තර්ක්‍රියා, භාෂාව සහ විවිධ කථන මඟින් පුද්ගල අනන්‍යතාවය සහ සමාජ යථාර්ථය ගොඩනැඟෙන ආකාරය පිළිබඳව තියුණු විශ්ලේෂණ ඉදිරිපත් කොට ඇත. ඔහුගේ ප්‍රසිද්ධ කෘති කිහිපයක් පහත දැක්වේ:

Perinbanayagam, R.S., 1982. The Karmic Theater: Self, Society, and Astrology in Jaffna. Amherst: University of Massachusetts Press.

Perinbanayagam, R. S. (1985). Signifying Acts: Structure and Meaning in Everyday Life. Carbondale: Southern Illinois University Press.

Perinbanayagam, R. S. (1991). Discursive Acts: Language, Signs, and Selves. New York: Routledge / Aldine de Gruyter.

Perinbanayagam, R. S. (2000). The Presence of Self. New York: Rowman & Littlefield Publishers (Charles Horton Cooley සම්මානය ලත් කෘතිය).

Perinbanayagam, R. S. (2006). Games and Sports in Everyday Life: Dialogues and Narratives of the Self. Boulder: Paradigm Publishers. මෙම ප්‍රධාන කෘති වලට අමතරව පර්යෙෂණ පත්‍රිකා ගණනාවක් ද ලියා පළ කොට ඇත.

මා සිත්ගත් ඔහුගේ “The Karmic Theater: Self, Society, and Astrology in Jaffna” (1982) කෘතිය පිලිබද කෙටි සටහනක් ඔහුට උපහාරයක් ලෙස ඉදිරිපත් කරමී. එම කෘතිය වනාහී, යාපනයේ හින්දු සමාජයේ කුල ව්‍යුහය, කර්ම සංකල්පය සහ ජ්‍යෝතිශාස්ත්‍රීය (Astrology) විශ්වාසයන් පිළිබඳ සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක් සපයයි. මෙමඟින් සමාජ හා පවුල් ව්‍යුහය තුළ කුලය, කර්මය, ජ්‍යෝතිශාස්ත්‍රය සහ දේව ඇදහීම් එකිනෙකට බැඳී පවතින ආකාරය පිලිබද සමාජ-මානව විද්‍යාත්මකව විග්‍රහ කෙරේ.

ඔහු ජ්‍යෝතිශාස්ත්‍රය හුදු මිථ්‍යා විශ්වාසයක් ලෙස බැහැර නොකර, මිනිසුන් තම අනන්‍යතාවය ගොඩනඟා ගැනීමට, සමාජ ප්‍රශ්න හමුවේ මානසික සහනය ලබාගැනීමට සහ එදිනෙදා ජීවිතයේ තීරණ ගැනීමට එය භාවිතා කරන ආකාරය පිළිබඳව “සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදී” (Symbolic Interactionism) න්‍යායික ආස්ථාන ඇසුරින් ගැඹුරින් විශ්ලේෂණය කළේය.

ජ්‍යෝතිශාස්ත්‍රය යනු ශ්‍රී ලංකාවේ මිනිසුන් මුහුණදෙන දුක් කරදර සහ අවාසනාවන්ත තත්ත්වයන් (Misfortunes) කළමනාකරණය කරගැනීමට උදව් වන “චිකිත්සක ක්‍රමවේදයක්” (Therapeutic Tool) ලෙස ඔහු හදුනා ගනියි. යම් කරදරයක් වූ විට එය තමන්ගේ වරදක් නිසා නොව, “ග්‍රහ අපල” හෝ පුර්ව කර්ම විපාක නිසා සිදුවූවක් බව විශ්වාස කිරීමෙන් පුද්ගලයා තුළ ඇතිවන දැඩි වරදකාරී හැඟීම හෝ කාංසාව (Anxiety) අඩු වේ. ග්‍රහ අපල තාවකාලික බවත්, කාලයත් සමඟ ග්‍රහ මාරු සිදුවන බවත් ජ්‍යෝතිශාස්ත්‍රඥයා පවසන බැවින්, එයින් රෝගියාට හෝ පීඩාවට පත් පුද්ගලයාට අනාගතය පිළිබඳ නව බලාපොරොත්තුවක් තබා ගත හැකිවේ. එනම් අපේක්ෂා භංගත්වය යටපත් කරන අනාගතය පිලිබද බලාපොරොත්තු දල්වන යාන්ත්‍රණයක් ලෙස ජ්‍යෝතිශාස්ත්‍රය ක්‍රියා කෙරේ.

එසේම විවාහ පොරොන්දම් සහ තීරණ ගැනීම ගැණිම පිලිබද ඔහු 1977 දී ලියූ The Structure of Motives නමැති පර්යේෂණ පත්‍රිකාව මඟින් ලංකාවේ විවාහයන් සිදුවීමේදී කේන්ද්‍ර සටහන් සහ පොරොන්දම් පරීක්ෂාව සිදුවන ආකාරය විස්තර කළේය. මනාලයාගේ සහ මනාලියගේ කේන්ද්‍රවල ඇති යෝනි පොරොන්දම (ලිංගික ගැළපීම), තාලි (දීර්ඝායුෂ) සහ ග්‍රහ පිහිටීම් ඇතුළු පොරොන්දම් 12ක් ජ්‍යෝතිශාස්ත්‍රඥයා විසින් පරීක්ෂා කරන ආකාරය ඔහු එහි දක්වා ඇත. මෙවැනි බාහිර සමාජීය ව්‍යුහයන් (Objective Structures) මිනිසුන්ට තම ජීවිතයේ අවදානම් සහගත ගැඹුරු තීරණ ගැනීමේදී මානසිකව විශාල ආධාරකයක් වන බව ඔහු පෙන්වා දුන්නේය.

ඔහු ජ්‍යෝතිශාස්ත්‍රඥයකු සහ සේවාදායකයකු අතර සිදුවන අන්තර්ක්‍රියාව හැඳින්වූයේ සන්නිවේදන යාතුකර්ම (Communication Ritual) ලෙසයි. කේන්ද්‍රය කියවීම තුළින් පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා අනන්‍යතාවය සහ ජීවිත කතාව ගොඩනැඟීමට ජ්‍යෝතිශාස්ත්‍රය බලපාන ආකාරය ඔහු ඔහුගේ පසුකාලීන කෘතිවල පවා සාකච්ඡා කර ඇත.

පෙරින්බනායගම් ගේ පර්යේෂණ, විශේෂයෙන්ම ජ්‍යෝතිශාස්ත්‍රය සහ කර්ම සංකල්පය පිළිබඳ ශාස්ත්‍රීය මැදිහත්වීම්, ශ්‍රී ලාංකේය සංස්කෘතිය, සමාජය සහ දේශපාලන ක්‍රියාවලිය විද්‍යාත්මකව තේරුම් ගැනීමට නව ආලෝකයක් සපයා ඇතිබව සදහන් කළ යුතුය. (පශ්චාද් )යටත්විජිත දැනුම් නිෂ්පාදනය ක්‍රියාවලිය තුල ලාංකේය සමාජයේ මෙවැනි විශ්වාසයන් “මිථ්‍යාවන්” හෝ “පසුගාමී සිරිත්” ලෙස හෑල්ලුවට ලක් කරද්දී, පෙරින්බනායගම් පෙන්වා දුන්නේ මේවා ලාංකේය ජන ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍ය සමාජීය, සංස්කෘතික සහ දේශපාලනික මෙවලම් වන බවයි.

ලාංකේය සංස්කෘතිය තුළ (හින්දු සහ බෞද්ධ යන සමාජ දෙකෙහිම) “කර්මය” සහ “ග්‍රහ බලපෑම්” එකිනෙකට ගැටෙන්නේ නැතිව එකට පවතින්නේ කෙසේදැයි ඔහු The Karmic Theater කෘතියේ වඩා හොඳින් පැහැදිලි කොට ඇත. සංස්කෘතිය තුළ මිනිසුන් තමන්ට සිදුවන අනපේක්ෂිත විපත් (උදා: ලෙඩරෝග, වගා හානි, ධන හානි) දෛවයට බාර දී මානසිකව ඇද වැටෙන්නේ නැතිව, ඒවා “තාවකාලික අපල” ලෙස සලකා පිළියම් (ශාන්ති කර්ම, පුද පූජා) කිරීමට පෙළඹෙන්නේ මේ සංස්කෘතික පද්ධතිය නිසා බව ඔහු පෙන්වා දුන්නේය. විවාහ පොරොන්දම් බැලීම, අවුරුදු නැකත් චාරිත්‍ර වැනි දෑ හුදු පාරම්පරික සිරිතක් පමණක් නොව, එමඟින් ලාංකේය පවුල් සංස්ථාව සහ ඥාති සබඳතා වඩාත් ශක්තිමත් කරන සංස්කෘතික මැලියමක් (Cultural Glue) ලෙස ක්‍රියා කරන බව ඔහුගේ පර්යේෂණවලින් තහවුරු කොට ඇත.

මේ අදහස් තව දුරටත් ඔහුගේ පසුකාලීන පර්යෙෂණ හරහා වර්ධනය කරමින් විශේෂයෙන්ම ‘The Structure of Motives’ වැනි සංකල්ප හරහා ලාංකේය දේශපාලන සංස්කෘතියේ ඇති සුවිශේෂී ලක්ෂණයක් තේරුම් ගැනිමට ද උත්සාහ දරා ඇත. ලංකාවේ දේශපාලන නායකයන් මැතිවරණ කැඳවීම, අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීම සහ ප්‍රධාන දේශපාලන තීන්දු ගැනීම සඳහා “සුබ නැකත්” සහ ජ්‍යෝතිශාස්ත්‍රය මත දැඩිව විශ්වාසය තබන බව නොරහසක. දේශපාලන නායකයන් තම දේශපාලන න්‍යායපත්‍ර සාධාරණීකරණය කිරීමට සහ ජනතාව තම වටා රොක් කර ගැනීමට ජ්‍යෝතිශාස්ත්‍රය භාවිතා කරන ආකාරයත්, මහජනතාව ද තමන් කැමති දේශපාලනඥයාගේ කේන්ද්‍ර කොපමණ බලවත්දැයි බලමින් දේශපාලන මතවාද ගොඩනගා ගන්නා ආකාරය පැහැදිලි කොට ඇත. ඔහුගේ මෙවැනි සිද්ධාන්ත දේශපාලන විද්‍යාඥයන් විසින් දේශපාලන තින්දු තිරණ ගැනිමේ දී (අතාර්කික) ජ්‍යෝතිශාස්ත්‍රය විසින් ඇති කරනු ලබන බලපෑම් තවදුරටත් විග්‍රහයට ලක්කොට ඇත.

සංක්ෂිප්තව කිවහොත්, මහාචාර්ය පෙරින්බනායගම් ලාංකේය ජන සමාජයේ පැවැත්ම හා සැකැස්ම දෙස බටහිර තාර්කික ඇසින් නොව, “දේශීය චින්තනය සහ හැසිරීම් රටාවන්” (Indigenous meanings) අගය කරන දෘෂ්ටිකෝණයකින් එවා දෙස බැලීමට දක්වන ලද උනන්දුව ලාංකේය ඉංග්‍රීසි භාෂා සමාජ විද්‍යා ක්ෂේත්‍රයට විශාල බලපෑමක් කළේය.

අවාසනාවකට මෙන් එවැනි බුද්ධිමතුන් ගේ අදහස් ස්වදේශීය භාෂා වලින් ශාස්ත්‍රීය කටයුතු වල නියැළෙන පරම්පරාවන්ට මග හැරිම නිසා නිපදවන දැනුමේ සුවිශාල ගැටලු පවතින බව නොකිවමනාය. සිංහල හා දේමළ සමාජයේ ව්ද්‍යාර්ථියින් පමණක් නොව ඉංග්‍රීසි භාෂාව දත් නොදත් සමාජ විද්‍යාඥයන්ට පවා මහාචාර්ය පෙරින්බනායගම් වැන්නන් මග හැරියාම අප ගේ බුද්ධිමය ද්‍රරිද්‍රතාවයේ ගැඹුර මොනවට කියා පාන්නේ ද යන්න සිතා බැලිය යුතුය.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment