මහාචාර්ය ආරි ආරියරත්න විසිනි – පරිවර්තනය – ඊ.එම්. තිස්සකුමාර

මහාචාර්ය ආරි ආරියරත්න
ශ්‍රී ලංකාවේ ඉතිහාසකරණ ක්ෂේත්‍රය රැඩිකල් ලෙස පරිවර්තනය කළ පුරෝගාමී විද්‍යාඥයෙකු සහ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු (1967–1979) වූ විද්‍යා ජ්‍යෝති ( Vidya Jyothi ) ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ 102 වැනි ජන්ම සංවත්සරය 2026 අගෝස්තු මාසයට යෙදී ඇත. මූලික වශයෙන් රසායන විද්‍යාඥයෙකු ලෙස පුහුණුව ලැබූ ආචාර්ය ද සිල්වා, 1967 වසරේදී ඉතාලි ජාතික සංරක්ෂණ ශිල්පි ලුසියානෝ මරන්සි (Luciano Maranzi ) සමඟ එක්ව, හානියට පත්කර තිබූ සීගිරි බිතුසිතුවම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ බව ප්‍රකට කරුණකි. එසේ වුවද, දකුණු ආසියානු විද්වත් ක්ෂේත්‍රයට ඔහුගෙන් ලැබුණු විශිෂ්ටතම දායකත්වය වන්නේ සම්ප්‍රදායක මතවාදයන්ට නොබියව අභියෝග කරමින් ඔහු දැක්වූ බුද්ධිමය බුද්ධිමය ප්‍රති විරෝධී ප්‍රවේශයයි (fearless intellectual iconoclasm (Ariyaratne 2024).
පුරාණ ස්මාරක දෙස දැඩි ආනුභවික සංශයවාදී දෘෂ්ටියකින් බැලීම මගින්, උරුම කළමනාකරණය තුළ පවතින ගැඹුරු හා ක්‍රමවේදගත ගැටලුවක් ඔහු අනාවරණය කළේය : එනම් භෞතික හා ද්‍රව්‍යමය සාක්ෂිවලට වඩා පුරාණ සාහිත්‍යමය ග්‍රන්ථ මත විමර්ශනයකින් තොරව යැපීමයි. සීගිරිය පිළිබඳ ඔහුගේ විප්ලවීය ප්‍රති-අර්ථකථනය තේරුම් ගැනීමට නම්, පළමුව පාඨ ග්‍රන්ථ පදනම් කරගත් පක්ෂග්‍රාහීත්වයන් මඟින් පුළුල් දකුණු ආසියාව පුරා පුරාවිද්‍යාත්මක යථාර්ථයන් ඓතිහාසිකව මකා දැමූ හෝ විකෘති කළ ආකාරය සොයා බැලිය යුතුය.
මානව වංශ ලේඛණ හැරවුම: ස්මාරක දේශපාලනික “පඨීතයන් ” ලෙස (The Ethnographic Turn: Monuments as Political “Texts”)
පෞරාණික ව්‍යුහයන් හුදෙක් ස්ථිතික ස්මාරක ලෙස සැලකීමෙන් බැහැරව , අවධානය වෙනත් දෙසකට යොමු කිරීමට අද්‍යතන මානව විද්‍යාඥයෝ උත්සාහ දරති. ඒ වෙනුවට, බහුවිධ හෝ සුළුතර ඉතිහාසයන් හිතාමතාම යටපත් කරමින් රාජ්‍ය අනුමත ඓතිහාසික කථන ගොඩනැගීම සඳහා ප්‍රාදේශීය හා ජාතික මට්ටමින් නිරන්තරයෙන් හැසිරවීමට ලක්වන “පඨිතයන්” (texts) ලෙස ස්මාරක විශ්ලේෂණය කිරීමට ඔවුහු මානවවංශ ලේඛණ ප්‍රවේශයක් (ethnographic approach) භාවිතා කරති (Ray 2019). මෙම ගැඹුරින් මුල් බැසගත් පක්ෂග්‍රාහීත්වයන් විග්‍රහ කිරීම සඳහා, විද්වතුන් ‘සම්ප්‍රදායේ නව නිපැයුම (Invention of Tradition) වැනි මෙවලම් භාවිතා කරයි, එය මධ්‍යතන යුගයේ සහ නූතනයේ ග්‍රන්ථ මගින් ‘පුරාණ’ සංස්කෘතික භාවිතයන් හෝ ආඛ්‍යාන අතීතයට සලකා බලා ගොඩනඟන ආකාරය පැහැදිලි කරයි, එය නොවෙනස්ව පවතින අඛණ්ඩතාවයක් පිළිබඳ හැඟීමක් ප්‍රක්ෂේපණය කරයි. (Hobsbawm & Ranger 1983).
වඩාත්ම වැදගත් කරුණ නම් පැරණි සංස්කෘතික පිළිවෙත් හෝ ආඛ්‍යාන මඟින් නිරූපණය වන්නේ වාර්තා සංරක්ෂණය කිරීමේ පරම බලය හිමි කරගෙන සිටි අත්පිටපත් කරුවන් , පූජකයන් සහ භික්ෂූන් වැනි ඉතා සුළුතරයක් වූ උගත් ප්‍රභූ පැලැන්තියේ ලෝක දැක්මයි. ඊට ප්‍රතිවිරුද්ධව , පුරාවිද්‍යාත්මක වාර්තා මගින් විශාල ජනතාවකගේ සජීවී බවින් යුතු භෞතික යථාර්ථය පිළිබිඹු වේ. පැරණි වංශකථාවක් විසින් කිසියම් සංකීර්ණ සැකැස්මක් මුළුමනින්ම මඟ හරිනු ලබන විට, මානව විද්‍යාඥයන් එම ලේඛණය සලකන්නේ වාස්තවික ඓතිහාසික සත්‍යයක් ලෙස නොව, සංස්කෘතික ආධිපත්‍යය පිහිටවනු වස් සැලසුම් කරන ලද දේශපාලන ව්‍යාපෘතිවල නිර්මාණයක් ලෙසය.
සාහිත්‍යමය මිත්‍යාව සහ පුරාවිද්‍යාත්මක යථාර්ථය: හරප්පා ශිෂ්ටාචාරය මඟ හැරීම (Literary Myth vs. Archaeological Reality: The Omission of Harappa)
දකුණු ආසියාතික ශිෂ්ටාචාරය ආරම්භ වූයේ ගංගා නම් නදී නිම්නයේ ග්‍රාමීය එඬේර පරිසරයකින් බව වසර දහස් ගණනක් තිස්සේ ඉන්දියාවේ ප්‍රමුඛ සාහිත්‍යමය සම්ප්‍රදාය විසින් කියා පාන ලදී. මෙම ලෝක දැක්ම බෙහෙවින් පදනම් වූයේ ප්‍රාකාර බැඳි නගර විනාශ කිරීම අගය කල මෙන්ම ඉන්ද්‍ර දෙවියන් ව ‘පුරන්දර’ හෙවත් ‘බළකොටු විනාශ කරන්නා’ ලෙස පැසසුමට ලක් කළ සෘග් වේදය වැනි ඉපැරණි සංස්කෘත ග්‍රන්ථ මතය.
උතුරු ඉන්දියාවේ යකඩ යුගයට අයත් වෛදික යුගය කෙරෙහි මෙම වංශකතාවල පවතින මතවාදී පක්ෂපාතීත්වය – සහ ලෝකඩ යුගයට අයත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම මඟහැර තිබීම – මගින් ඉතා ඉහළ මට්ටමේ කේන්ද්‍රගත බවක් සහිත, වේද සම්ප්‍රදායට අයත් නොවන, නාගරික සහ සමුද්‍රීය වෙළඳාමේ නිරත වූ ජනගහන කාණ්ඩවල පැවැත්ම තීරණාත්මක ලෙස යටපත් කළේය. 1920 දශකයේදී ක්ෂුද්‍ර ස්තර විද්‍යාත්මක (micro-stratigraphy) ක්‍රමවේද සහ ක්ෂේත්‍ර පුරාවිද්‍යාත්මක කැණීම් මගින් හරප්පාව ගවේෂණය කෙරෙන තුරුම, වේද ග්‍රන්ථ රචනා වීමට පෙර සිටම පුළුල් භූමි ප්‍රදේශයක් පුරා විහිදුණු, ලිඛිත භාෂා භාවිතය සහිත නාගරික මහා බලවතෙකු ( urban superpower )සිටිය බව ලෝකය වටහාගෙන නොසිටියේය. මෙම වංශකථා විසින් ව්‍යාජය පැහැදිළිවම ප්‍රචලිත නොකරන ලද බව සැබෑය. එහෙත් ඒවායේ වූ ගැඹුරු සංස්කෘතික හා ආගමික පක්ෂපාතීත්වය හේතුවෙන් සමස්ත නාගරික ශිෂ්ටාචාරයක්ම සංස්කෘතිකමය වශයෙන් සාධාරණීකරණය නොකර සාහිත්‍යමය වාර්තා වලින් අතු ගා දමා අමතක කර දැමීමට මඟ පාදන ලදී (Singh 2008).
බෞද්ධ ඉතිහාස ලේඛනය තුළ නිකායික දේශපාලනය: රාජාඥා සහ වංශකතා (Sectarian Politics in Buddhist Historiography: Edicts vs. Chronicles)
බුදු දහම තුළ පවා, ථෙරවාද (පාලි භාෂාවෙන් ‘ස්ථවිරයන්ගේ දහම’ යන්නයි) සහ මහායාන (‘මහා යානය’ යන අරුතැති සංස්කෘත වචනයකි) සම්ප්‍රදායන් අතර පැවති ව්‍යුහාත්මක ගැටුම්කාරී ස්වභාවය අනුකරණය කරමින්, විවිධ නිකායන් විසින් තම ප්‍රතිවාදීන්ගේ වැදගත්කම අවම කිරීම සඳහා ඓතිහාසික වාර්තා , වංශකතා දැඩි ලෙස අවභාවිත කිරීමට ලක් කරන ලදී. දකුණු දිග පාලි වංශකථාවක් වන ‘මහාවංශය’ මෙන්ම, උතුරු දිග සංස්කෘත ග්‍රන්ථයක් වන ‘දිව්‍යාවදානය’ – විශේෂයෙන්ම එහි එන ‘අශෝකාවදානය’ (‘අශෝක රජුගේ වෘත්තාන්තය’) නම් පරිච්ඡේදය – මෞර්ය අධිරාජ්‍යයෙකු වූ අශෝක රජුගේ ජීවිතය පිළිබඳ තොරතුරු වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම ග්‍රන්ථ එඑකිනෙකාට තරඟකාරී වූ ආරාමික සම්ප්‍රදායන්ට අයත් වූ බැවින්, ඒවා තම තමන්ගේ නිකායික අධිකාරිය තහවුරු කර ගැනීම සඳහා අතිශයින් වෙනස් ආඛ්‍යාන ගොඩනැගූහ.
මහාවංශයට අනුව, අශෝක රජු බුදු දහම වැළඳගත්තේ නිග්‍රෝධ නම් ථෙරවාදී භික්ෂුවක් මගිනි; එමෙන්ම එම ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම පාහේ අවධානය යොමු කරන්නේ එම අධිරාජ්‍යයා විසින් තම පුත් මහින්ද ශ්‍රී ලංකාවට (ලංකාවට) පිටත් කර හැරීම පිළිබඳවයි. ඊට ප්‍රතිවිරුද්ධව, උතුරුදිග සංස්කෘත ග්‍රන්ථ ශ්‍රී ලංකාවට සිදු කළ ධර්ම දූත මෙහෙවර සම්පූර්ණයෙන්ම නොසලකා හරින අතර, අශෝක රජුගේ ආගමික පරිවර්තනය උපගුප්ත නම් වෙනත් භික්ෂුවක් වෙත ආරෝපණය කරයි. 1830 ගණන්වලදී ජේම්ස් ප්‍රින්සෙප් විසින් අශෝක රජුගේ ගිරි ලිපි සහ ස්තම්භ ලිපි ආඥා විකේතනය කළ විට, එම රජුගේ සැබෑ සමකාලීන හඬ වෙත සෘජු ප්‍රවේශයක් ඉතිහාසඥයින් හට ලැබුණි. අශෝක ගේ ‘ධර්මය’ යනු පුරවැසි සහජීවනය අරමුණු කරගත් පුළුල් හා බහුවිධ සදාචාරාත්මක සංකල්පයක් බවත්, එය ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් වැනි බෞද්ධ නොවන කණ්ඩායම් කෙරෙහි ඉවසීම ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කළ බවත් එම ආඥා මගින් අනාවරණය විය. ඊට ප්‍රතිපක්ෂව, පැරණි ආරාමික වංශකථා විසින් අශෝක රජුගේ පාලන සමය අතිශයින්ම රොමැන්තිකකරණයට සහ විකෘතිකරණයට ලක් කොට ඇති අතර, ඔහු නිරූපණය කර තිබුණේ තමන්ගේම සුවිශේෂී ආරාමවලට පමණක් මූල්‍ය ප්‍රතිපාදන සැපයූ, දැඩි නිකායවාදී අන්තවාදියෙකු ලෙසය (Strong 1983).
යටත්විජිතවාදී ආකල්පවලින් සීගිරිය මුදාගැනීම: පිළිගත් ආරාමික මතවාද බිඳ දැමීමේ ආචාර්ය ද සිල්වාගේ ක්‍රියාමාර්ගය ( Decolonizing Sigiriya: Dr. de Silva’s Monastic Iconoclasm)
ඉන්දු නිම්නය මකාදැමීම සහ අශෝක යුගයේ නිකායික විකෘතිය පිළිබිඹු කරන මෙම පුළුල් ඓතිහාසික යුධ පිටියේ දී, ආචාර්ය රාජා ද සිල්වා සීගිරියේ සාම්ප්‍රදායික ඉතිහාසයට එරෙහිව ඔහුගේ වඩාත්ම නිර්දය විවේචනය දියත් කළේය . සියවසකට අධික කාලයක් පුරා, යටත්විජිතවාදී සහ ජාතිකවාදී පුරාවිද්‍යා ක්ෂේත්‍රය විසින් දකුණු දිග පාලි වංශකථාවක් වන ‘චූලවංශය’ නිරපේක්ෂ සත්‍යයක් ලෙස පිළිගනු ලැබූ අතර, මෙම දැවැන්ත පර්වතය , තම පියා ඝාතනය කළ පළමුවන කාශ්‍යප රජුගේ පස්වන සියවසට අයත් ලෞකික විනෝද මාලිගා – බලකොටුවක් ලෙස අර්ථකථනය කෙරිණි.
රසායනික විශ්ලේෂණය සහ ද්‍රව්‍ය සංරක්ෂණය පිළිබඳ තම පසුබිම මත පදනම් වෙමින්, ආචාර්ය ද සිල්වා මෙම ප්‍රමුඛ ආඛ්‍යානය මතවාදීමය නිර්මාණයක් බව හෙළි කළේය. ක්‍රියාකාරී රාජකීය අගනුවරකට හෝ ආරක්ෂක බලකොටුවකට අදාළ ව්‍යුහාත්මක සැකසුම් එම ස්ථානයේ කිසිසේත්ම නොතිබූ බව ඔහු පෙන්වා දුන්නේය. ඒ වෙනුවට, එහි දක්නට ලැබුණේ කාශ්‍යපගේ වසර 18ක කෙටි පාලන සමයට පෙර සහ ඉන් පසුව පැවති, මහායාන හා ථෙරවාදී සම්ප්‍රදායන්ට අයත් දැවැන්ත හා බහු – ස්ථර ආරාම සංකීර්ණයකට ආවේණික වූ, නොවරදවාම හඳුනාගත හැකි ගෘහ නිර්මාණ ශිල්පයයි.
මහාවංශය විසින් අශෝක රජුගේ බහුත්වවාදී ධර්ම ප්‍රතිපත්තිය යටපත් කරනු ලැබුවාක් මෙන්ම, එහි කතුවරුන් විසින් ශ්‍රී ලංකාව තුළ පැවති සම්ප්‍රදායික නොවන මහායාන සම්ප්‍රදායන්ගේ පැවැත්ම ද හිතාමතාම අවතක්සේරු කරන ලදී. ඉන්දියාවේ අජන්තා ලෙන්වල ඇති පූජනීය කලා නිර්මාණ සමඟ මෙම සුවිශේෂී බිතුසිතුවම් සංසන්දනය කරමින්, ආචාර්ය ද සිල්වා ඉතා විශිෂ්ට ලෙස පෙන්වා දුන්නේ, එම සිතුවම්වල නිරූපිත කාන්තාවන් ලෞකික අන්තඃපුර ස්ත්‍රීන් හෝ රැජිණන් නොව, මහායාන සම්ප්‍රදායේ මහා විමුක්තිදායිකාව වන තාරා දේවතාවියගේ නිරූපණයන් බවයි. එසේ කිරීමෙන්, ඔහු සීගිරිය පුරාණ රාජකීය නාට්‍යමය කතා පුවතක සීමාවන්ගෙන් මුදාගෙන, ගැඹුරු හා විශ්ව භෞමික පූජනීය භූමි දර්ශනයක් ලෙස එහි නියම ස්ථානයට නැවත පත් කළේය (De Silva 2002).
ප්‍රතිපත්තිමය සංශයවාදයේ දිගුකාලීන උරුමය (An Enduring Legacy of Principled Scepticism)
එතුමාගේ අභාවයෙන් වසර දෙකකට පසුවත්, ආචාර්ය රාජා ද සිල්වාගේ බුද්ධිමය උරුමය දකුණු ආසියාවේ යටත්විජිතහරණ පුරාවිද්‍යාව (decolonial archaeology) සඳහා අත්‍යවශ්‍ය මඟ පෙන්වීමක් ලෙස පවතී. පුරාණ ග්‍රන්ථ යනු අතීතය දෙසට විවර වූ විනිවිද පෙනෙන කවුළු පමණක් නොව, සංස්කෘතික ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා නිර්මාණය කරන ලද, ඉතා සූක්ෂම ලෙස සකස් කළ දේශපාලනික නිර්මිතයන් බව ඔහුගේ පර්යේෂණ මගින් තහවුරු විය.
ආකර්ෂණීය ආඛ්‍යානවලට වඩා ද්‍රව්‍යමය සාක්ෂිවලට මුල්තැන දෙමින්, රාජ්‍ය අනුමත ඓතිහාසික මිථ්‍යාවන් ආරක්ෂා කිරීමෙහි නොව විද්‍යාත්මක නිරවද්‍යතාවයෙන් යුතුව ඒවා විමර්ශනය කිරීමෙහි සැබෑ දේශප්‍රේමය අන්තර්ගත වන බව ඔහුගේ ජීවිත කාලය පුරා කළ කාර්යභාරය මගින් තහවුරු විය. ආචාර්ය ද සිල්වාගේ 102 වන ජන්ම සංවත්සරයේදී, දකුණු ආසියානු උරුමයන් සඳහා විද්‍යාඥයින් වැඩි වැඩියෙන් ද්‍රව්‍යමය ප්‍රවේශයන් අනුගමනය කරන විට, ඔහුගේ පිළිගත් මතවාද වලට එරෙහි වීමේ ආත්මය මුළුමනින්ම තහවුරු කළේය. ඔහු ශ්‍රී ලංකාවේ උරුමය නියෝජනය කරන භෞතික ශිලා ස්මාරක සුරැකීම පමණක්ම සිදු කළේ නැත; ඓතිහාසික වාර්තාකරුවන්ගේ පක්ෂග්‍රාහීත්වයෙන් අතීතය මුදාගැනීම සඳහා අවශ්‍ය බුද්ධිමය මෙවලම් ද ඔහු මතු පරපුරට දායාද කළේය.
උපුටා දැක්වූ මූලාශ්‍ර:
Ariyaratne, Ari 2024, Dr. Rājā de Silva – Pioneer Conserver, Engaging Interpreter, and Bold Defender. In Kurukulasuriya, Uvindu (ed), Raja de Silva: Centenarian Extraordinaire. 2024.
De Silva, Raja. Sigiriya and Its Significance: A Mahāyāna- Theravāda Buddhist Monastery. Nawala, Colombo, Sri Lanka: Bibliotheque/Aitken Spence. 2002.
Hobsbawm, Eric, and Terence Ranger, eds. The Invention of Tradition. Cambridge, UK: Cambridge University Press, 1983.
Ray, Himanshu Prabha. Decolonizing Heritage in South Asia: The Global, the National and the Transnational. New Delhi, India: Routledge. 2019.
Singh, Upinder. A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century. New Delhi, India: Pearson Education. 2008.
Strong, John S. The Legend of King Aśoka: A Study and Translation of the Aśokāvadāna. Princeton, NJ, USA: Princeton University Press. 1983.
*මෙම ලේඛකයා මානව විද්‍යාඥයෙකු මෙන්ම Key Concepts of Cultural Anthropology (දෙවන සංස්කරණය, Dubuque, IA, USA: Kendall-Hunt Publishing, 2026) කෘතියේ කතුවරයා ද වේ.