7 September, 2026

Blog

පුරාණ ශ්‍රී ලංකාවේ දේශසීමා හරහා සංස්කෘතික බල ප්‍රක්ෂේපණය: කිත්සිරිමෙවන් රජුගේ භූමිකාව

සසංක පෙරේරා – සමාජ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය හා දකුණු ආසියානු විශ්ව විද්‍යාලය – පරිවර්තනය: ඊ.එම්. තිස්සකුමාර

මහාචාර්ය සසංක පෙරේරා

පරිවර්තකගේ සටහන

මහාචාර්ය සසංක පෙරේරා විසින් ඉංග්‍රීසි බසින් ලියූ ‘Cultural Power Projection Across Borders in Ancient Sri Lanka: The Role of King Kithsirimewan’ නම් ලිපිය වසර 2025 දී Ancient Ceylon සාර සංග්‍රහයේ හතරවන වෙළුමෙහි පළවිය. එම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට අවසර ලබාදීම පිළිබඳව මහාචාර්ය සසංක පෙරේරා හට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. මෙම සිංහල පරිවර්තනයේ යම් දොසක් ඇත්නම් එහි වගකීම පරිවර්තක ලෙස මා සතුය.

සංක්ෂේපය

ඉන්දියාවේ බුද්ධගයාව කේන්ද්‍ර කර ගනිමින්, ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ (ක්‍රි.ව. 4 වන සියවස) සිටි කිත්සිරිමෙවන් රජු විසින් ආරම්භ කරන ලද ‘සංස්කෘතික බල ප්‍රක්ෂේපණ’ ව්‍යාපෘතියක් (“cultural power projection” project ) ලෙස හැඳින්විය හැකි දෙයක් පිළිබඳව, මෙම ලිපියෙන්, සාකච්ඡා කෙරේ. වඩාත් නිශ්චිතවම, හියුං සාං (Hiuen-tsang ) සහ වෑං හියුං ත්සේ ( Wang Hiuen-ts’e ) යන, චීන සංචාරකයින්ගේ සංචාරක වාර්තා මත පදනම්ව , බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බවට විශ්වාස කෙරෙන ස්ථානය වන, මහාබෝධි විහාරය ආසන්නයේ බුද්ධ ගයාවේ ශ්‍රී ලාංකික ආරාමයක් ඉදිකිරීමට හේතු වූ තත්ත්වයන් මෙම ලිපියෙන් ගවේෂණය කෙරේ. බැලූ බැල්මට, ආගමික ව්‍යාපෘතියක් ලෙස පෙනී යන මේ ව්‍යාපෘතිය, අනුරාධපුර රාජධානියේ සිට සමුද්‍රගුප්ත රජුගේ රාජ සභාව දක්වා සාගර සීමා හරහා සංස්කෘතික – දේශපාලන බලය (cultural-political power ) ප්‍රක්ෂේපණය කිරීමේ ක්‍රියාවලියක් ලෙස වඩාත් හොඳින් වටහා ගත හැකි බව මම තර්ක කරමි . එමගින් සියවස් ගණනාවක් පුරා වන්දනාකරුවන් ගේ සිරිත් විරිත් මෙන්ම රාජ්‍යදූත සේවයේ සහ ජාත්‍යන්තර සබඳතාවල ගතිකත්වයන් ආයතනගත කිරීමට දායක විය.

ප්‍රවේශය

2015 වසරේ දෙසැම්බරයේදී, ලොව පුරා බෞද්ධයන් වන්දනා කරන ප්‍රධාන ගමනාන්තයක් වන මහබෝධි විහාරයට යාබදව පිහිටි බුද්ධ ගයා (Bodh Gaya) පුරාවිද්‍යා කෞතුකාගාරය මම හදිසියේ නැරඹුවෙමි. යම් ආකාරයකට, ආගමික වැදගත්කම අතින් , කිතුණුවන්ට ජෙරුසලම පරිද්දෙන්, මුස්ලිම්වරුන්ට මෙකා ව පරිද්දෙන් බුද්ධ ගයාව ද බෞද්ධයින්ට විශාල වැදගත්කමක් ඇති ස්ථානයකි. කෞතුකාගාරයට ඇතුළු වූ විට මගේ අවධානය යොමුවූ පළමු දෙය වූයේ ග්‍රැනයිට් (Granite) පාෂාණයෙන් ඉඳිකල වැටක් වැනි ව්‍යුහයක් (fence-like structure) වෙතය. එහි සඳහන් වූ විස්තර සටහන මා පුදුමයට පත් කළේය. මහාබෝධි විහාරය (Mahabodhi Temple) ගැන සඳහන් කරන අතරම “ශ්‍රී ලංකාවේ භික්ෂූන් උදෙසා ශ්‍රී ලංකාවේ මේඝවර්මන් රජු විසින් ඉදිකළ ආරාමයක්” ගැන සඳහන්ව තිබිණ (Bodh Gaya Archaeological Museum, දිනයක් නැත). මෙම ව්‍යුහය මේ ආරාමයේ ඉතිරි වූ නටබුන්වලින් කොටසක් විය. යටත්විජිත යුගයට අයත් ලේඛණ වල , මහබෝධි ආරාමය (Mahabodhi Monastery ) ලෙස මෙම ආරාමය සඳහන් කර ඇත (Cunningham, 1892). සුප්‍රසිද්ධ මහා බෝධි විහාරය ගැන මුළු ලෝකයම දැන සිටියත්, බොහෝ දෙනාට අමතක වී ගිය මේ ලංකාවේ රජු විසින් ඒ විහාරය අවට ඉදිකරන ලද්දේ කුමක් ද, කුමන අරමුණක් සඳහා ද සහ එහි තේරුම කුමක් ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් කිසිවක් නොදනිති. ඉදිරි මාස කිහිපය තුළ, මෙම තනි සඳහන මාව බොහෝ පුරාණ මූලාශ්‍ර, යටත්විජිත යුගයේ වාර්තා සහ චීන දේශාටන වාර්තාවල ඉංග්‍රීසි භාෂා පරිවර්තන වෙත යොමු කළ අතර, ඒ සියල්ල පසුව කාලයත් සමඟ ජාත්‍යන්තර සීමා හරහා සිදු වූ බෞද්ධ වන්දනා ගමන් පිළිබඳ අඛණ්ඩ අධ්‍යයනයකට මඟ පෑදීය.

Figure 1. An Inscription referring to “Meghavarman” (Fleet, 1960, p.274).
https://archive.org/details/in.ernet.dli.2015.463254/mode/2up (මහචාර්ය සසංක පෙරේරා ගේ ලිපියේ තිබූ ආකාරයටම මෙම ඡායාරූපය සහ සටහන මෙහි ඇතුලත් කර ඇත – පරිවර්තක).

ඉහත කෞතුකාගාර සටහනේ සඳහන් වූ, මේඝවර්මන් යනු සිරිමේඝවන්න, කීර්ති ශ්‍රී මේඝවර්ණ සහ සිංහල භාෂාවෙන් පොදුවේ හඳුන්වන කිත්සිරිමෙවන් ය. ක්‍රි. ව. හතරවන සියවසේ අනුරාධපුර යුගයේ ඔහු රාජ්‍ය පාලනය කල අතර බෞද්ධ විහාරාරාම ඇතුළු ගොඩනැඟිලි ඉදිකරවීම සම්බන්ධව දේශීය මූලාශ්‍ර වල ඉමහත් සම්භාවනාවට පත්වූවෙකි. ලංකාවට බුදුන්වහන්සේගේ දන්ත ධාතුව වැඩමවූ අවස්ථාවේ එය ගෞරවයෙන් පිළිගන්නා ලද රජු බව ද විශ්වාස කරයි. නමුත්, දුටුගැමුණු , පළමුවන විජයබාහු, මහා පරාක්‍රමබාහු රජවරුන් සහ රාවණා වැනි මිත්‍යාමය චරිත මෙන්, ඔහු පොදු මහජනයාගේ පරිකල්පනය (public imagination) තුල, නැතිනම් සිංහලයන් ගේ හෝ ලංකාද්වීපයේ එෛතිහාසික සවිඥානිකත්වය (historical consciousness of the country or the Sinhalas) තුල හෝ තැන්පත්ව නැත්තේය. මෙය සමහර විට ඉහත සඳහන් රජවරුන්ගේ රණකාමී ස්වභාවය නිසා විය හැකි අතර, ඊට සාපේක්ෂව කිත්සිරිමෙවන් සැදැහැවත් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහිත රජෙකු විය. අනුරාධපුරයේ සිට සමුද්‍රගුප්තගේ රාජ සභාව දක්වා සංස්කෘතික බලය ප්‍රක්ෂේපණය කිරීමේ සාර්ථක ව්‍යාපෘතිය සහ ඒ සඳහා බුද්ධගයාවේ විහාරයක් ගොඩනැගීම මගින් ඔහුට සුවිශේෂී වැදගත්කමක් ලැබේ. මෙම ස්ථානයට වන්දනාමාන කිරීමට හෝ ආගමික කටයුතු සදහා දිගුකාලීනව සිටීමට පැමිණෙන භික්ෂුන් වෙනුවෙන්, බුද්ධගයා කෞතුකාගාර ආඛ්‍යානය කියනා පරිදි , ඔහු විසින් අති ප්‍රයෝජනවත් විශාල විහාරාරාමයක් ගොඩනැගුවේය. එනමුත්, ලෝක මට්ටමෙන් කටයුතු කරන, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විද්‍යාර්ථීන් මේ පැරණි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ ඉතාමත්ම සුළු අවධානයක් පමණක්ය. ඊට හේතුව කුමක් ද?

මහබෝධි ආරාමය පිළිබඳ හියුං සාං ගේ විස්තරය

අපට මතු කළ හැකි ප්‍රධාන ප්‍රශ්නය නම්, මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය පිටුපස ඇති දේශපාලනය කුමක්ද යන්නයි? මෙම ඉදිකිරීමේ උත්සාහය ගැන පැරණිතම සවිස්තරාත්මක තොරතුරු ලැබෙන්නේ හියුං සාං ( ක්‍රි.ව 602 – 664) ගේ වාර්තා වලිනි. ක්‍රි.ව 629 දී බුද්ධ ගයා පෙදෙස ගැන ඔහුගේ විස්තර තුල, අප පැවසූ මහබෝධි විහාරාරාමය ඉදිකිරීමේ සිද්ධි දාමයේ කොටසක් ලෙස පහත ආඛ්‍යානය ඔහු දක්වයි. මේ ආඛ්‍යානය අනුව, බුදුන්වහන්සේ තම ජීවිත කාලය තුල සංචාරය කල සහ වාසය කල ස්ථාන සොයා බැලීමට,  ශ්‍රී ලංකාවේ’ රජුගේ සහෝදරයා ‘ඉන්දියාව’ ට ගියේය (Beal 1906, pp. 133-134). හියුං සාං ගේ විස්තරය තුළ සහෝදරයාගේ හෝ රජුගේ හෝ නම සඳහන්ව නැත.

අවාසනාවකට , විවේක ගැනීම සඳහා ඔහු ගිය සෑම ආශ්‍රමයකදීම, ඔහුව විදේශිකයෙකු ලෙස පරිභවයට ලක්කරන ලදී (Beal 1906, pp. 133-134 ). නැවත මව්බිමට පැමිණි පසු, මේ භික්ෂුව ඉන්දියාවේදී ඔහුට මුහුණ දීමට සිදු වූ දෙයින් දැඩි ලෙස අපහසුතාවයකින් සිටි අතර කතා කිරීමේ හැකියාව පවා අහිමි විය (Beal 1906, pp. 134) . ඔහුගේ මෙම තත්ත්වය දැකීමෙන්, “මේ අධික ශෝකයට (ඔබට) බලපෑවේ කුමක් ද” යැයි විමසුවේය (Beal, 1906, p. 134). මේ පැණයට පිළිතුරු ලෙස භික්ෂුව කී දේ පහත සඳහන් පරිදිය:

“ඔබගේ රාජධානියේ ගෞරවය මත විශ්වාසය තබා, මම ලෝකය නැරඹීමට පිටත් වී, සහ දුර ප්‍රදේශ සහ අමුතු නගර හරහා ගමන් කළෙමි. එසේ මා ගත කළ අවුරුදු සහ ගමන් බිමන් පුරාම, උණුසුම සහ සීතල අතර දැඩි පීඩාවට පත් වූවා සේම, මගේ වචන අපහාස හා උපහාසයට ලක් වී ඇත. මේ දුක් වේදනා විඳදරාගත් පසු, මම සැහැල්ලුවෙන් සිටින්නේ කෙසේද?”

මේ ආඛ්‍යානයේ සඳහන් කර ඇති පරිදි , ‘ඉන්දියාවට’ ගිය වන්දනා ගමනේදී බෞද්ධ පූජනීය භූමිය තුළ තමාට සිදු වූ පෞද්ගලික අපහාස ඔහු විස්තර කරන්නේ හුදු පෞද්ගලික අපහාසයක් ලෙස පමණක් නොවේ. ඒ වෙනුවට, ඔහු එය වඩාත් තීරණාත්මක ලෙස රාජ්‍ය පාලන ක්‍රමයට හෝ ස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් වලට ( statecraft or established protocol ) කල අපහාසයක් ලෙස ද ඉදිරිපත් කරයි. මන්ද ඔහු රජුගේ සහෝදරයා වීම සහ ඔහුගේ සංචාරය සිදු කරනු ලැබුවේ රජුගේ පාලන තන්ත්‍රයේ ගෞරවයට සහ අධිකාරි බලයට ‘ඉන්දියාව’ තුල ගරු කරනු ඇතැයි යන උපකල්පනය මත වීම නිසාය.

මෙම තත්ත්වයට පිළියම් යෙදීමට කළ හැකි දේ රජු විමසූ විට, ‘ඉන්දියාව’ තුල ආරාම ජාලයක් පිහිටුවීමේ අදහස භික්ෂුව විසින් ගෙනහැර දැක්වීය: “ඇත්ත වශයෙන්ම, පිනක් කරන්නට හැකි වන ලෙසින් මුළු ජම්බුද්වීපය පුරාම විහාරාරාම ඉදිකිරීමට ඔබ කටයුතු කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. මේ මග යාමෙන් ඔබ විශිෂ්ටත්වයට පත්වේවි , ඔබම ශ්‍රේෂ්ඨ නාමයක් ලබා ගනු ඇත” (Beal, 1906, p. 134).

පැහැදිළිවම, මේ අදහස දිවයිනේ දේශපාලනික හා භූගෝලීය සීමාවන් සහ දේශපාලනික හා සංස්කෘතික බල ක්ෂේත්‍රයන්ගෙන් ඔබ්බට ගිය, බෞද්ධ භක්තිමත් හැඟීමකින් සංක්තවත් කල, දේශපාලනික හා සංස්කෘතික මෙහෙයුමක් බව පැහැදිළි විය යුතුය. භික්ෂුව විසින් යෝජනා කළේ ‘ශ්‍රී ලංකාවේ’ සිට ‘ඉන්දියාව’ තෙක් ක්‍රියාත්මක කළ රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමකි. ආරාම සංකීර්ණයක් ඉදිකිරීමේ මෙම ව්‍යායාමය මගින් ‘ඉන්දියාවේ’ පිහිටා ඇති බෞද්ධ ශුද්ධ භූමි හඳුනා ගැනීම අපේක්ෂා කරන ලද අතර ‘ශ්‍රී ලංකාවෙන්’ පැමිණෙන වන්දනාකරුවන් සඳහා නවාතැන් පහසුකම ද එමගින් සැලසීම එහි අපේක්ෂාව විය. හියුං සාං ගේ කතාවට අනුව, නම් නොකරන ලද ‘ශ්‍රී ලාංකික’ රජු විසින් ඉතා වටිනා මැණික් ආභරණ ‘ඉන්දියාවේ’ රජු වෙත යවා තිබූ අතර, රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩ හුවමාරුවක් ලෙස පෙනුනද, වන්දනා ගමනේ දුෂ්කරතා පිළිබඳව තමා ඉගෙන ගත් දේ පැහැදිලි කළ අතර, බීල් සඳහන් කරන පරිදි, පහත ඉල්ලීම ද රජු විසින් කළේය:

“මුළු ‘ඉන්දියාවේම’ එවැනි ආගන්තුකයන්ගේ අවශ්‍යතාවයන් සඳහා එනම් , ඔවුන්ට එහි යන සහ ආපසු එන ගමන අතර විවේක ගැනීමට ආශ්‍රම ඉදිකිරීමට මම කැමතියි. මේ අනුව, රටවල් දෙක එකට බැඳී පවතින අතර වන්දනාකරුවන් ද ප්‍රබෝධමත් වනු ඇත”. (1906, p. 135).

හියුං ට්සාං කියූ දේ වචනාර්ථයෙන් ගතහොත්, මෙහි දැක්වෙන්නේ වර්තමානයේ අප දන්නා ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතාවය පිළිබඳ අලංකාරෝක්තීන්ට සමාන අයුරින් විස්තර කළ, පැහැදිළි දේශපාලන මැදිහත්වීමක් සඳහා වූ අදහසක්ය: “මේ අනුව, රටවල් දෙක එකට බැඳී පවතින අතර සංචාරකයින් ද ප්‍රබෝධමත් වනු ඇත” (Beal, 1906, p. 135). කෙසේ වෙතත්, ‘ඉන්දියාව’ පුරා ‘ශ්‍රී ලාංකික’ සංස්කෘතික හා ආගමික ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ දීම වෙනුවට, “තථාගතයන් වහන්සේ සිය ඉගැන්වීම්වල සලකුණු තබා ඇති පූජනීය ස්ථානවලින් එකක” ආරාමයක් ඉදිකිරීමට ‘ඉන්දීය’ රජු අවසර දුන්නේය (Beal, 1906, p. 135). හියුං ට්සාං විසින් විස්තර කරන ලද පරිදි, ආරාමය සඳහා බෝධිය ආසන්නයේම වූ ප්‍රදේශයක් තෝරා ගනු ලැබුවේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානය ලෙස විශ්වාස කළ නිසා පමණක් නොව, එය අතීතයේ සිටි බුදුවරුන් සේම අනාගතයේ පහලවන්නාවූ බුදුවරුන් සියලු දෙනාම ද බුද්ධත්වයට පත් වූ හා පත් වන ස්ථානය යැයි විශ්වාස කරන ලද නිසාය (Beal, 1906, p. 135). වෙනත් වචන වලින් කිවහොත්, මෙම ‘ශ්‍රී ලාංකීය’ ආරාමය බෞද්ධ විශ්වය (Buddhist universe) තුළ ඇති ශුද්ධතම ස්ථානයේ පිහිටුවන්නට කටයුතු කරන ලදී.

හියුං – ට්සාං තවදුරටත් සඳහන් කරන්නේ ‘ශ්‍රී ලාංකික’ රජු විසින් පිහිටුවන ලද ආරාමය තුළ තීබී හමුවූ තඹ පත්තිරුවක ආරාමය පිහිටවූ අරමුණ සඳහන් කර ඇති බවයි. බීල් විසින් ලියන ලද පරිදි (1906, p. 135):

“භේදයකින් තොරව උපකාර කිරීම බුදුවරුන්ගේ උසස්ම ඉගැන්වීමයි; අවස්ථාව ලැබුනු විට දයාව පෙන්වීම යනු පෙර උතුමන්ගේ උසස් ධර්මයයි. දැන්, රාජකීය පෙළපතේ දුර්වල අයෙක් වූ මම, මෙහි කීර්තිය අනාගත පරම්පරා වෙත දායාද කිරීමටත්, ප්‍රතිලාභ ජනතාව අතර ව්‍යාප්ත කිරීමටත් මේ පූජනීය ස්ථානයෙහි මෙම සංඝාරාමය පිහිටුවූයෙමි. මගේ රටේ භික්ෂූන්ට මෙහි වාසයට නිදහස ලැබෙනු ඇති අතර ඔවුන් මේ රටේ භික්ෂු පාර්ශ්වයේ සාමාජිකයන් ලෙස සලකනු ලැබේවා. මෙම වරප්‍රසාදය පරම්පරාවෙන් පරම්පරාවට බාධාවකින් තොරව ලබා දෙනු ලැබේවා”.

මෙහි විස්තර කර ඇත්තේ ‘ශ්‍රී ලංකාවේ’ මුහුදු සීමාවෙන් බොහෝ ඈතින් පිහිටි කෙටිකාලීන භාවිතයට පමණක් ඉදිකළ ගොඩනැගිල්ලක් ගැන නොවන බව පැහැදිලිය. ඒ වෙනුවට, මෙය අනුග්‍රාහකයාගේ කාලයෙන් ඔබ්බට පැවතිය හැකි හොඳින් අරමුදල් සපයන ලද සහ හොඳින් සංකල්පනය කරන ලද සංස්කෘතික හා දේශපාලනික බල ප්‍රක්ෂේපණ ව්‍යාපෘතියක් විය. එක් මට්ටමකින්, එය බෞද්ධ ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කරන ලද අතර, එම අර්ථයෙන් ගත් කල, අර තඹ පත්තිරුවේ සඳහන් වන පරිදි, ඔවුන්ගේ වාර්ගික – සංස්කෘතික සම්භවය නොසලකා සියලුම වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහාය යන්න එයින් අදහස් කරන ලදී. නමුත් එයින් වඩාත් අවධාරණයෙන් සඳහන් කරන පරිදි, විශේෂයෙන් ‘ශ්‍රී ලංකාවේ’ භික්ෂූන් වහන්සේලා මුහුණ දෙන ඍණාත්මක අත්දැකීම් අවම කිරීමත්, එමඟින් ‘ඉන්දියාවේ’ බෞද්ධ පාර්ශ්ව අතර දී ඔවුන්ට සමානව සලකනු ලැබීමත් අපේක්ෂාව විය.

හියුං ට්සාං ගේ වාර්තාකරණය එම ආරාමය ඉදිකර වසර තුන්සියයකට පසු කාලයකට අයත් බව සලකන විට, එම ගොඩනැඟිල්ල පිළිබඳව හියුං ට්සාං ගේ විස්තරය මෙන්ම ඔහු එහිදී දුටු ක්‍රියාකාරකම් ද අනුව පෙනී යන්නේ ආරාමය ඉදිකිරීමෙන් අපේක්ෂිත දිගුකාලීන දේශපාලන හා සංස්කෘතික අරමුණු සපුරා ඇති බවයි . බීල් ට අනුව ඔහු මෙසේ සඳහන් කරයි.

“බෝධි ප්‍රාකාරයේ උතුරු දොරටුවෙන් පිටත මහාබෝධි සංඝාරාමය පිහිටා ඇත….මේ සුවිසල් සංඝාරාමයේ මහල් තුනකින් යුත් නිරීක්ෂණ කුළුණු සහිත ශාලා හයක් ඇත; අඩි තිහ හතලිහක් උසැති ආරක්ෂක පවුරකින් වටකර ඇත. අති දක්ෂ කලා ශිල්පීන් හැකියාවන් භාවිතා කර අති වර්ණවත් සැරසිලි කර ඇත. රනින් හා රිදියෙන් නිමවූ බුද්ධ ප්‍රතිමාව මැණික් හා අනෙකුත් වටිනා පාෂාණ වලින් අලංකෘතය. මෙහි ඇති ස්තූප, උසැති හා ප්‍රමාණයෙන් විශාල වන අතර විවිධාකාර ලෙස අලංකාර කර ඇත; ඒවායේ බුදුන්වහන්සේ ගේ ධාතූන් නිධන් කර ඇත” (1906, p. 133).

මෙම වාස්තු විද්‍යාත්මක, අවකාශීය සහ කලාත්මක ලක්ෂණ මතුපිටින් හෝ කියවා බැලීමෙන් පෙනී යන්නේ, මෙය හුදෙක් ආරාමයක් පමණක් නොව, කාලයේ විනාශකාරී බලපෑම්වලට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය වූ ආරාමයක්, දකින්නන් විශ්මයට පත් කිරීමට සකසන ලද ස්ථානයක් මෙන්ම ස්වාධීන ආයතනයක් ලෙස අවකාශීයව සලකුණු කරන ලද ස්ථානයක්, සහ ආරක්ෂා කළ යුත්තක් ලෙස සැලකෙන (Cunningham, 1892, පි. 43) නිශ්චිත සංස්කෘතික හා දේශපාලන අවකාශයක් ලෙස ඉදිකර තිබූ බවයි. හියුං ට්සාං ගේ සංචාරය සිදුවන විටත් එය පැවතීමටත්, එහි පුරාවෘත්තය ඒ වනවිට වුව ද දැන සිටීමටත් හේතුව එය විය හැකියි. ඉදිකර වසර තුන්සියයකට පසුවත් අරමුදල් සපයා එය හොඳින් නඩත්තු කරන ලදී. සිංහල රාජකීයයන්ගේ දේශපාලනයට මෙය වැදගත් යැයි සැලකූ බවත්, එහි නඩත්තු කටයුතු ක්‍රමවත් කර තිබූ බවත් මෙයින් පෙන්වා දෙයි. එහි පැවති අධ්‍යාත්මික ජීවිතය හියුං ට්සාං පහත ආකාරයට විස්තර කරයි:

“දහසකට වැඩි භික්ෂූහූ මේ ආරාමයේ සිටිති; ඔවුහූ මහායානය (Great Vehicle) උගෙනගන්නා ස්ථවිර නිකායට (Sthavira school) අයත් වූවෝ වෙති. ඔව්හු ධර්ම විනය මැනවින් සුරකිති. ඔවුන්ගේ යහපැවැත්ම පාරිශුද්ධය ” (Beal, 1906, p. 133). පසුව මේ විස්තරය මෙම භික්ෂූන්ගේ උපන් බිම ගැන සඳහන් කරයි:” … මේ ආරාමයේ සිංහලයෙන් පැමිණි බොහෝ භික්ෂූහූ වාසය කරති (Beal, 1906, p. 135).

මෙහිදී පෙනී යන සිත්ගන්නා කරුණක් නම්, ශ්‍රී ලංකාව අද ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය (Theravada School of Buddhism) සමඟ සම්බන්ධ වී සිටිය ද, හියුං ට්සාං හිමි පැමිණි කාලයේදී මෙම සංඝාරාමය මහායානිකයන් ගේ පාලනය යටතේ වූ බව “මහායානය” යන වචනය භාවිතා කිරීම අනුව කිව හැකිය. එහෙත් ශ්‍රී ලංකාව තුළම මහායාන බලපෑම දැඩිව පැවති අවධීන් ද තිබූ අතර, එමඟින් සැලකිය යුතු තරම් ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු ද සිදු විය.

හියුං ට්සාං ඉදිරිපත් කරන්නේ සිංහලයේ රාජකීයයන් විසින් ‘ඉන්දියාවේ’ ඉදිකළ මේ ආරාමය ගැන සහ එය නඩත්තු කිරීම පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් වන අතර, එය තේරුම් ගත හැක්කේ මෙම පිළිවෙත් වලට අදාළ වන වන්දනා සහ බල ගතිකයන් (power dynamics) හි සන්දර්භය තුළ පමණි. මෙම සංඝාරාමය ආයතනිකකරණය කිරීමෙන්, සැකයකින් තොරව තහවුරු වන්නේ, ඒ කාලයේ වන්දනා ගමන දිවයිනේ අධ්‍යාත්මික ප්‍රභූ පැලැන්තියේ පූජක පක්ෂයටම අයත් සුවිශේෂී දෙයක් වූ බවත්, පූර්ව යටත් විජිත (pre – colonial) යුගයේ රාජ්‍යයේ සැලකිය යුතු පහසුකම් ඒ සඳහා ලැබී ඇති බවත්ය. කෙසේ වෙතත්, ඔහු මෙවන් විස්තර ඉදිරිපත් කළ ද, දේශසීමා සහ පරම්පරා හරහා ක්‍රියාත්මක වූ දේශපාලනික හා සංස්කෘතික බල ප්‍රක්ෂේපණයට අදාළ මෙම ගොඩනැඟිලි ව්‍යාපෘතියට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් හියුං ට්සාං ඉදිරිපත් නොකරයි. නමුත් ක්‍රි.ව. 629 දී , එනම් හර්ෂ අධිරාජ්‍යයාගේ සමයේදී හියුං ට්සාං ‘ඉන්දියාවට’ පැමිණි බව අපි දනිමු; එබැවින් ඔහුගේ විස්තරය සහ ඔහු දුටු දේ අනුව ඉතා නිවැරදිව කාල නිර්ණය කළ හැකිය.

මහා බෝධි විහාරය පිළිබඳ වැන්ග් හියුන් – ට්සේ (Wang Hiuen-ts’e ) ගේ විස්තර

හියුං ට්සාං සමග සසඳන විට, මෙම ගොඩනැඟිලි ඉඳිකරවීමට මැදිහත් වූ පුද්ගලයන් පිළිබඳව සහ එමඟින් බොහෝ නිවැරැදි කාල නිර්ණයක් ලබාගැනීමට අවශ්‍ය බොහෝ විශේෂිත තොරතුරු දෙවන චීන මූලාශ්‍රයක් විසින් ලබාදෙයි. හියුං ට්සාං ට සාපේක්ෂව සංක්ෂිප්ත වුවත්, වැන්ග් හියුන් – ට්සේ විසින් රචිත හින්ග් – ට්චොආන් (Hing – tchoan) කෘතියෙන් සිරි මේඝවර්ණ විසින් ඉදිකළ සංඝාරාමය ගැන පමණක් නොව එසේ කිරීමට බලපෑ තත්ත්වයන් ගැන ද විචිත්‍රවත් තොරතුරු ලබාදෙයි. එමෙන්ම , හියුං ට්සාං විසින් වාර්තා කළ මූලික කතාන්දරය ඔහුගේ වාර්තා මගින් තීරණාත්මකව තහවුරු කරන්නේය. හියුන් – ට්සේ යනු, අවම තරමින් සිව් වරක් ඉන්දියාවේ සංචාරය කරමින් විශාල තොරතුරු ප්‍රමාණයක් ලේඛනගත කළ, ක්‍රි.ව හත්වන සියවසේ චීනයේ ජීවත්වූ හමුදා නිලධාරියෙකු සහ බෞද්ධ වන්දනාකරුවෙකු වේ . එහි එක් තැනක “පෙර දී චු-ට්සු හි සිටි චි-මි-කියා-පෝ-මෝ (Chi-mi-kia-po-mo) රජු …. මෙම ආරාමයට පැමිණෙන ලෙස භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකුට උපදෙස් දුන්නේය” යනුවෙන් ඔහු සඳහන් කරයි (Seneviratne, 1920, p. 75). පෙළෙහි ඇති සන්දර්භීය තොරතුරු මගින් ඇඟවෙන පරිදි “මෙම සංඝාරාමය” යන වචන මහබෝධි විහාරය ගැන විශේෂිත සඳහන් කිරීමකි (Seneviratne, 1920, p. 75). සියවස් ගණනාවක් පුරා, චීන වාර්තාවල බොහෝ විවිධ නම් වලින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇති අතර, මේ වාර්තාවේ ද, “ෂූ ට්සූ (Chu-tzeu)” ලෙස හදුන්වා ඇත (Seneviratne, 1920, p. 75) . තවදුරටත් , “පුණ්‍ය වලාකුළ ( cloud of merit )” යන තේරුමැති ‘චි – මි – කියා – පෝ – මෝ’ යන චීන වචනය, කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු හැදින්වීමට යෙදුණු බව හඳුනාගෙන ඇත (Seneviratne, 1920, p. 75). මේ භික්ෂූන් දෙදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතමයා මහනාමන් (Mahanaman ) සහ දෙවැන්නා උප ( Upa) ලෙසත් හියුන් – ට්සේ හදුනාගනියි (Seneviratne, 1920, p. 75). හියුන් – ට්සේ ගේ ආඛ්‍යානයට අනුව, ඉතා දුරක සිට පැමිණියත් මේ භික්ෂූන් දෙදෙනාට, විහාරය තුළ නවාතැන් ලැබුණේ නැති අතර වන්දනා ගමනෙන් අනතුරුව ඔව්හු ‘ශ්‍රී ලංකාවට’ ආපසු පැමිණියහ. ඔවුන් දෙදෙනා රජු හමුවීමට පැමිණි පසු “ඔබලා ශුද්ධස්ථාන දැක බලා වන්දනාමාන කිරීමට ගියේය, මෙයින් අනාගතයේදී කවර යහපතක් ලැබේද” කියා රජු ඇසුවේය (Seneviratne, 1920, p. 75). භික්ෂූන්ගේ ප්‍රතිචාරය වූයේ;

“ඉන්දියාව යන මහා රටේ , සාමයෙන් වාසය කල හැකි කිසිඳු තැනක් නැත” යන්නය (Seneviratne, 1920, p. 75). හියුන් – ට්සේ ගේ ආඛ්‍යානයට අනුව” මේ වදන් ඇසූ රජු විසින් දූතයන් කිහිපදෙනෙකු ත්‍යාග ලෙස ලබාදීම පිණිස වටිනා මාණික්‍ය සමඟ සන් – මිඕ – ටො – ලොකියු – ටො ( San-meou-to-lokiu-to) රජු වෙත යවන ලදී. මේ කාලය දක්වාම ‘ශ්‍රී ලංකා’ රාජ්‍යයේ භික්ෂූන් වහන්සේලා මෙම ආරාමයේ වාසය කරන්නේ එනිසාය (Seneviratne, 1920, p. 75). සන් – මිඕ – ටො – ලොකියු – ටො ( San-meou-to-lokiu-to) යනු සමුද්‍රගුප්ත රජු බව ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇත (Seneviratne, 1920, p.74).

සමුද්‍රගුප්ත සහ මේඝවර්ණ යන දෙදෙනාම ඉතිහාසඥයන් හට නොපුරුදු නම් නොවේ. පාටලීපුත්‍රය අගනුවර කරගත් සමුද්‍රගුප්ත ක්‍රි.ව 335 සිට 380 දක්වා රාජ්‍ය පාලනය කල අතර, අනුරාධපුර අගනුවර කරගත් මේඝවර්ණ ක්‍රි.ව 352 සිට 379 දක්වා රාජ්‍ය පාලනය කළේය. හියුන් – ට්සේ ගේ සඳහන මගින් කාලය පිළිබඳව ලැබෙන ඉඟිය අනුව රජවරුන් දෙදෙනා සමකාලීනයන් වන අතර ක්‍රි.ව. හතරවන සියවසේ රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිකළ මේඝවර්මන් ගේ ආරාමය කේන්ද්‍රීය ලෙස සැළකිය යුතු මට්ටමේ භූගෝලීය, භාෂාමය, සංස්කෘතික සහ දේශපාලනික දේශසීමා ඉක්මවන බවත් යෝජනා කළ හැකිය. කතාන්දර දෙකම එක්ව ගත්විට වඩාත් සන්දර්භීය හැඟීමක් ද ලබා දෙයි. හියුං ට්සාං ගේ කතාවේ ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් අඩංගු නොවන අතර ආරාමය ඉදිකරන ලද ඓතිහාසික කාලය පිළිබඳ කිසිදු ඉඟියක් ලබා දෙන්නේ ද නැත. නමුත් ‘ශ්‍රී ලංකාවේ’ සිට ‘ඉන්දියාවට’ ගමන් කරන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ආරාමයක් ඉදිකිරීමට රජු ගත් ක්ෂණික ක්‍රියාමාර්ග සැලකිල්ලට ගත්විට, හිරිහැරයට ලක් වූ භික්ෂුව වන්නේ ‘ශ්‍රී ලංකාවේ’ රජුගේ සහෝදරයෙකු බවට ඔහු කළ යෝජනාවෙන් ඇඟවෙන්නේ, අවම වශයෙන් ක්‍රි.ව. හතරවන සියවසේ අනුරාධපුර රාජ සභාව සමඟ සමීප සබඳතා පවත්වන්නට ඇති බවය. කෙසේ වෙතත්, ක්‍රි.ව. හත්වන සියවසේ මෙම සඳහන් කිරීම් දෙකම ආරාමය ඉදිකර වසර 300 කට පමණ පසුව වන අතර, ඒ වන විටත් එම සංඝාරාමය හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවති අතර, එයට ලද රාජකීය අනුග්‍රහය එවකටත් ප්‍රසිද්ධව තිබී ඇත .

මහාබෝධි ආරාමය යනු හත්වන සියවසේ චීන සංචාරක සටහන් වල පවතින හුදු සඳහනක් පමණක්ම නොවේ. දහනව වන සියවසේ අගභාගයේදී සොයා ගන්නා ලද පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් එහි පැවැත්ම පැහැදිලිව තහවුරු කර ඇත. ඇලෙක්සැන්ඩර් කනිංහැම් ( Alexander Cunningham ) සඳහන් කරන පරිදි, එම ආරාමයේ බිත්ති අඩි 30 සිට 40 දක්වා උසකින් යුක්ත වූ අතර, එමඟින් එහි විශාලත්වය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගත හැකිය (1892, පිටුව 43). මීට සියවස් දොළහකට පෙර හියුන් ට්සාං විසින් විස්තර කරන ලද දේට ඉතා සමීපව ගැලපෙන දැවැන්ත ව්‍යුහයක් පිළිබඳව ඔහු ඉන්පසු විස්තර කරයි .

දහනවවන සියවස අවසානය වන විටත් මේඝවර්ණ ගේ ආරාමයේ නටබුන් ඉතිරිව තිබුණද, පසුකාලීන ඉතිහාසයේ සිදුවීම් ඊට බලපෑම් එල්ල කර තිබුණි. එබැවින්, එහි සාමාන්‍ය භෞතික වශයෙන් වූ පිරිහීමට අමතරව , ඒ වන විට එහි එක් කුළුණක් මුස්ලිම් සුසාන භූමියක් තුළ පිහිටා තිබුණි. කනිංහැම් තවදුරටත් සඳහන් කරන්නේ, ආරාමයේ සමස්ත සැලැස්ම “එක් එක් පැත්තක හය බැගින් වූ සමචතුරස්‍ර 36 කින් සමන්විත වන අතර, ඉන් කොන්වල පිහිටි සමචතුරස්‍ර හතර කුළුණු සඳහාත්, මැද පිහිටි සමචතුරස්‍ර හතර ළිඳක් සහිත විවෘත කුළුණු මණ්ඩපයක් සඳහාත් වෙන් කර ඇති” බවයි. (1892, p. 43). තවද, “ළිඳේ සිට උතුරු – වයඹ දෙසින් පිහිටි තාප්පයෙන් පිටතට දිවෙන, දිගු කලක් තිස්සේ ආවරණය වී පැවති කාණු මාර්ගයක් ඇත; එය විශාල කිඹුල් හිසක හැඩයෙන් යුත්, අඳුරු නිල් පැහැති බැසෝල්ට් (basalt) පාෂාණයෙන් නිමවා ඉතා අලංකාර ලෙස කැටයම් කරන ලද ජල පිටකිරීමේ මුවවිටකින් (gargoyle spout) අවසන් වේ” යනුවෙන් සඳහන් කරයි (1892, p. 44).

මෙහිදී මා අවධාරණය කරන කරුණ නම්, යටත් විජිත යුගයට පෙර පැවති කාලයේදී ශ්‍රී ලංකාවෙන් ඔබ්බෙහි පිහිටි බෞද්ධ පූජනීය භූමි ප්‍රදේශ පිළිබඳව පාලකයින් මෙන්ම වන්දනාකරුවන් ද ඉතා බැරෑරුම් ලෙස සැලකූ බවයි. ඔවුන්ට මෙම භූ දර්ශනයේ පිහිටි ස්ථාන පිළිබඳ නිශ්චිත දැනුමක් තිබුණා පමණක් නොව, එම ස්ථාන වෙත යාමේ පුණ්‍යමය ආනිසංස පිළිබඳ හැගීමක් ද ස්ථාපිත ආගමික කතිකාවේ කොටසක් ද විය. අනෙක් අතට, ශ්‍රී ලංකා ඉතිහාසයේ ගම්පොළ යුගයේ (ක්‍රි.ව. 1341-1408) දී සිංහල භාෂාවෙන් රචිත “දඹදිව අලංකාරය” ලේඛණයේ සඳහන් වන පරිදි, වන්දනාකරුවන් සඳහා ගමන් මඟ පිළිබඳ මඟ පෙන්වීම් සහ තොරතුරු ද විධිමත් ලෙස ලබා ගත හැකිව තිබුණි (Abeyawardana, 1978). මේ සියල්ලට අමතරව, අවස්ථාව ලැබුණු විට වන්දනා ගමන් පහසු කිරීමේ නිශ්චිත අරමුණ ඇතිව මහාබෝධි ආරාමය වැනි ස්ථාන කාලයත් සමඟ ගොඩනැගිණි. මහාබෝධි විහාරයේම දිගුකාලීන පැවැත්මෙන් සනාථ වන පරිදි, මෙම පද්ධති ක්‍රියාත්මක වූයේ දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන යාම සඳහාය.

නිගමනය

මෙම කෙටි ලිපියෙන් මා ඉදිරිපත් කරන කාරණය සරල ය: රාජපක්ෂ පාලන තන්ත්‍රය යටතේ ශ්‍රී ලංකා රජයේ ආයතන ද අවසනාවන්ත ලෙස සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු රාවණා වැනි මිත්‍යාමය චරිත, ඔහුගේ දඬුමොණරය සහ ඔහුගේ මිත්‍යාමය වික්‍රමාන්විත ක්‍රියා සාක්ෂි සහිත ‘ඉතිහාසයක්’ ලෙස නැවත කරළියට ගැනීමට වෙහෙසෙන යුගයක, බුද්ධගයාවේ කිත්සිරිමෙවන් රජුගේ විහාරය සම්බන්ධයෙන් මෙන් ඉතා හොඳින් ලේඛණගත වී ඇති අතීතයේ තීරණාත්මක සංධිස්ථාන පිළිබඳ තොරතුරු පවතී. කෙසේ වෙතත්, මෙම රචනාවෙහි මා සඳහන් කර ඇති හත්වන සියවසේ චීන වාර්තා සහ දහනවවන සියවසේ අගභාගයේ බ්‍රිතාන්‍ය යටත් විජිත වාර්තා වැනි මූලාශ්‍ර හා සසඳන විට, දේශීය මූලාශ්‍රවල එවැනි ලේඛනගත තොරතුරු එතරම් පහසුවෙන් දැකගත නොහැක.

නමුත් මෙම තොරතුරු කෙරෙහි විධිමත් ශ්‍රී ලාංකීය ඉතිහාසකරණය, ජනප්‍රිය ප්‍රබන්ධ – සාහිත්‍යය ගණයට නොවැටෙන ලේඛන, නිර්මාණාත්මක ලේඛන හෝ ජනප්‍රිය සංකල්පිතයන් තුළ අවධානය යොමුවන්නේ ඉතා කලාතුරකිනි. මෙම ඓතිහාසික සිදුවීම් පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමෙන් පුරාණ රාජ්‍ය දූත සේවය, ජාත්‍යන්තර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, ධනය පිළිබඳ දේශපාලනය සහ දේශසීමා ඉක්මවා සංස්කෘතික බලය විදහා පෑම යන වැදගත් පැති හඳුනාගත හැකි අතර, එමගින් දකුණු ආසියාවේ අතීතය පිළිබඳව නැවත සැලකිය ලෙස සිතා බැලීමට අපට උපකාර විය හැකිය.

ශ්‍රී ලංකාවේ පාලි වංශකථා එනම් දීපවංශය, මහාවංශය, චූලවංශය ආදිය තුළ අනෙකුත් රජවරුන් නිරූපණය කර ඇති ආකාරයේ ‘වීරත්වයෙන් පිරි’ ස්වභාවයකින් කිත්සිරිමෙවන් රජු නිරූපණය නොකෙරෙන්නේ මන්ද යන්න පිළිබඳව ද කෙනෙකු විමතියට පත්විය හැකිවන්නේ, ඔහුගේ දේශීය ආගමික කටයුතු පිළිබඳව විස්තරාත්මකව සඳහන්ව තිබියදීත්ය.

එනමුත්, මෙය සිදු කළ යුතු වැදගත් ඓතිහාසික විමර්ශනයකි. අනෙක් අතට, උම්බර්ටෝ එකෝ (Umberto Eco) ගේ ‘The Name of the Rose’ සහ ‘The Prague Cemetery’ වැනි ලොව ප්‍රකට කෘතිවල ආකෘතියට සමාන මහා පරිමාණ ප්‍රබන්ධ නිර්මාණය කිරීමට සිතන නිර්මාණශීලී ලේඛකයන්ට, මෙවැනි කතා පුවත් මගින් සාරවත් අමුද්‍රව්‍ය සපයන්නේය. විශේෂයෙන්ම ප්‍රබන්ධ කතා ලෝකය තුළ, එවැනි තොරතුරු මගින් අනන්ත වූ හැකියාවන් උදා කර දෙනු ලැබේ.

කෙසේ වෙතත්, ලංකාව තුළ මෙම ඓතිහාසික හෝ ප්‍රබන්ධමය හැකියාවන් කිසිවක් බැරෑරුම් ලෙස ක්‍රියාවට නංවා නොතිබීම සැබවින්ම කණගාටුදායකය. ඊට හේතුව සරලවම, අප ප්‍රබන්ධයන් ඉතිහාසය ලෙස වැළඳ ගැනීමට දැඩි ලෙස ඇළුම් කරන අතරම මනාව ලේඛනගත කර ඇති අතීත වාර්තා හමුවේ මතකය ගිලිහී ගිය පිරිසක් බවට පත්ව සිටීමය. පෞද්ගලිකව, මා මෙම රචනය ආරම්භ කළ අවස්ථාවේ ගෙන හැර දැක්වූ සැලසුම් නොකළ කෞතුකාගාර සංචාරය සහ එමගින් මා තුල ඇතිකළ කුතුහලය නොතිබෙන්නට, ශ්‍රී ලාංකේය වන්දනා ගමන් පිළිබඳ මාගේ තවමත් ක්‍රියාත්මක අධ්‍යයනය ආරම්භ නොවන්නට තිබුණි. එබැවින්, කුඩා කරුණු සහ සුළුයි කියා සිතෙන සිදුවීම් වලට තමන්ගේ චින්තනයේ ක්ෂිතිජයන් පුළුල් කිරීමටත්, වඩාත් පුළුල් හැකියාවන් ගවේෂණය කිරීමටත් ඉඩ දීම ඉතා වැදගත් වේ

කෘතවේදීත්වය

Ancient Lanka සාර සංග්‍රහයේ 4 වන වෙළුම (2025) වෙනුවෙන් මෙම ලිපිය සම්පාදනය කළේ හේතු දෙකක් නිසාය

පළමුව, මා ගිය එම කෞතුකාගාර සංචාරය සහ එමගින් විවර වූ ඓතිහාසික ගවේෂණය, කාලයත් සමඟ ඉන්දියාවේ සහ නේපාලයේ විවිධ ප්‍රදේශ වෙත ශ්‍රී ලාංකික බෞද්ධයන් සිදු කරන වන්දනා ගමන් පිළිබඳ දීර්ඝ කාලීන පර්යේෂණ ව්‍යාපෘතියකට මඟ පෑදීය. කුඩා කරුණු හෝ සිදුවීම් මඟින් වඩාත් පුළුල් ශාස්ත්‍රීය කාර්යයන් වෙත යොමු වීමට ඇති හැකියාවන් පිළිබඳව ආවර්ජනය කිරීමට මට අවශ්‍ය විය. මෙම ලිපිය ඉන්දියාවට සහ නේපාලයට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකේය වන්දනා ගමන් පිළිබඳව ඉදිරියේදී නිකුත් වීමට නියමිත මගේ කෘතියේ තෝරාගත් පරිච්ඡේදවල තොරතුරු ඇසුරින් ද සකස් වී ඇත.

දෙවනුව, ඉහත විස්තර කළ සංචාරයෙන් පසු, කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මා ප්‍රථමයෙන්ම සම්බන්ධ කරගත්තේ මගේ මිතුරා වූ සුදර්ශන් සෙනෙවිරත්න මහතාවයි. ඔහුගේ මූලික මඟ පෙන්වීම මෙම අධ්‍යයනයේ ඓතිහාසික පැතිකඩ පැහැදිළි කර ගැනීමට උපකාරී විය.

සටහන්

1. ඉන්දියාව සහ නේපාලය වෙත සිදුකරන ශ්‍රී ලාංකිකයන්ගේ වන්දනා ගමන් පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත මාගේ කෘතියේ ඇතුලත් පරිච්ඡේද වල අඩංගු යම් කරුණු මත මෙම ලිපිය පදනම්ව ඇත.

2. මෙහි සඳහන් පැරණි වාර්තාවල දිවයින හැඳින්වීම සඳහා මම ‘ශ්‍රී ලංකාව’ සහ ‘ශ්‍රී ලාංකික’ යන වචන උද්ධෘත ලකුණු භාවිතා කරමින් යොදා ගනිමි. එහි ඉංග්‍රීසි පරිවර්තනයේ ‘ලංකාව’ (Ceylon) යන්නෙන් ශ්‍රී ලාංකික ජාතික රාජ්‍යය අදහස් නොකෙරේ. එමෙන්ම, මේ ලිපියේ ‘ශ්‍රී ලංකාව’ හා ‘ශ්‍රී ලාංකේය’ යන්නෙන් මා අදහස් කරන්නේ ඉපැරණි අනුරාධපුර රාජධානිය හා එහි අනන්‍යතාවයි.

3. මෙවැනි පැරණි වාර්තාවල ‘ඉන්දියාව’ (India) යන වචනය උද්ධෘත ලකුණු තුළ යොදා ඇත්තේ, ජාතික රාජ්‍යයක් ලෙස ඉන්දියාව පෙන්වා නොදෙන, වර්තමාන ඉන්දියාව තුළ පිහිටි ප්‍රදේශවලට අදාළ සඳහන් කිරීම් දැක්වීම සඳහාය.

4. බීල්ගේ පරිවර්තනයේ ‘සංඝාරාම’ (sangharama) යන වචනය ඇල අකුරින් (italics) දක්වා ඇත.

5. මහාබෝධි විහාර සංකීර්ණයේ මුල්ම පුරාවිද්‍යා කැණීම් සිදු කළ අයෙකු වන ඇලෙක්සැන්ඩර් කනිංහැම් (Alexander Cunningham), පසුකාලීනව පැහැදිලි ආරක්ෂක හා යුදමය අරමුණු සඳහා එහි පැවති ආරක්ෂක අංග යොදාගෙන තිබිය හැකි ආකාරය පිළිබඳව සඳහන් කරයි: “මහාබෝධි විහාරයට උතුරු දෙසින් වූ මහාබෝධි ආරාමයේ පිහිටීම, ‘අමර් සිංගේ බලකොටුව’ (Amar Sinh’s Fort) ලෙස හැඳින්වෙන විශාල ගොඩැල්ල පිහිටි ස්ථානයට හරියටම සමාන වේ. අඩි 30 සිට 40 දක්වා උසකින් යුත් එම ආරාමයේ උස් තාප්ප හේතුවෙන්, 11 වන සියවසේදී බුදු දහම පරිහානියට පත්වීමෙන් අනතුරුව එය බලකොටුවක් ලෙස භාවිතයට ගැනීමේ හැකියාව ස්වභාවිකවම නිර්මාණය වන්නට ඇත” (Cunningham, 1892, p. 43).

6. දඹදිව අලංකාරය පහසුවෙන් සොයාගත හැකි ලේඛණයක් නොවේ. මෙම පැරණි ලේඛණයේ එක් පුස්කොල පිටපතක් පමණක් සොයාගෙන තිබුණි (Abeyawardana 1978: xxi). දඹදිව අලංකාරය ලේඛණයෙහි සම්පූර්ණ පිටපතක් ශ්‍රී ලංකාද්වීපයේ කඩ ඉම් පොත ( Sri Lankadwipaye Kada Im Pota – Boundary book) යන ලේඛණයේ අවසානයට එකතුකර තිබුණි (Abeyawardana 1978:17). මේ සන්දර්භය තුළ, දඹදිව අලංකාරය යනු සුප්‍රසිද්ධ ‘කඩ ඉම් පොත’ ක අවසාන සටහනක් පමණි .

ආශ්‍රිත ග්‍රන්ථ

Abeyawardana, H. A. P. (1978). Kadaimpoth Wimarshanaya (A critical study of Kada-Im-Pot). Department of Cultural Affairs, Government of Sri Lanka.

Beal, S. (Trans.). (1906). Buddhist records of the Western world (From the Chinese of Hiuen Tsiang [A.D. 629]). Kegan Paul, Trench, Trubner.

Cunningham, A. (1892). Mahabodhi or the great Buddhist temple under the Bodhi tree at Buddha-Gaya. W.H. Allen.

Fleet, J.F., (1960) Inscriptions of the Gupta Kings and their Successors. Antiquarian Booksellers and Publishers. [Plaque with inscription about the monastery built by King Meghavarman of Sri Lanka]. (n.d.). Bodh Gaya Archaeological Museum, Bodh Gaya, Bihar, India.

Seneviratne, J. M. (1920). ‘Chinese references to Ceylon’ (S. Levi, Trans.). Journal of the Royal Asiatic Society (Ceylon), 24(68), 74-123.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment