10 September, 2026

Blog

අල්ලසට සහ දූෂණයට පමණක් වගවීම සීමා නොවිය යුතුය

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

2013 වසරේ සිදුවූ එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමට අදාළ දැවැන්ත අල්ලස් ගනුදෙනුවට සම්බන්ධ දූෂණ චෝදනා මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම මහජනතාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් 4 වැනි දින ඔහුව අත්අඩංගුවට ගන්නා ලද අතර, සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම චෝදනා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් එයාර්බස් ගුවන් යානා ලබාගැනීමට අදාළව ඇමරිකානු ඩොලර් 800,000ක මුදලක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවකට සම්බන්ධ වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුව කටයුතු කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස හෙළාදැක ඇත. මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව සැප්තැම්බර් 12 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කිරීමට නියමිත දැවැන්ත විපක්ෂ මහජන රැලිය බව ඔවුහු පෙන්වාදෙති.

2024 වසරේ පැවැති අවසන් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලැබූ පරාජයෙන් පසුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ එකතු වී ප්‍රබල විපක්ෂයක් ලෙස නැවතත් මහජනතාව අතරට පැමිණීමට උත්සාහ කරමින් සිටී. කෙසේවෙතත්, ඔවුහු අභියෝගාත්මක කාර්යයකට මුහුණ දී සිටිති. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවකට සහ මෑතකදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් මෙහෙයවූ සමීක්ෂණයකින් පෙන්නුම් කළ පරිදි, ජනතාව අතර 75%ක අනුමැතියක් හිමි ජනාධිපතිවරයකුට ඔවුහු මුහුණ දී සිටිති. 2024 දී සිදුවූ මෙම දේශපාලන පෙරළියට මූලික වූ ප්‍රධාන කාරණය වූයේ, 2022 දී ජාතික ආර්ථිකයේ කඩාවැටීමට හේතු වූ බවට බහුලව විශ්වාස කෙරුණු දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීමයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා අත්අඩංගුවට ගැනීම සහ ඔහුට එරෙහි චෝදනා මගින් අතීත දූෂණ පිළිබඳ කාරණය නැවතත් කරළියට ගෙනඑයි.

පරීක්ෂණයට ලක්වන්නන්ගේ දේශපාලන තරාතිරම නොතකා, දූෂණය සම්බන්ධයෙන් වගවීම හඹායෑම සඳහා ප්‍රබල මහජන සාධකයක් පවතී. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ, රජය විසින් හෙළිදරව් කරන ලද සියලුම දූෂණ සහ වැරදි ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළහොත්, ඊට වගකිවයුතු අය අතරින් කිසිවකුටවත් ගැලවීමට නොහැකි වනු ඇති බවයි. එයාර්බස් ගනුදෙනුවේ දුෂණයන්ට සැකපිට අත්අඩංගුවට ගත් අයකු රටේ ප්‍රබලතම දේශපාලන රාජවංශයක පුතකු වීම සහ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයකු වීම රජය පසුබට කිරීමට සමත්ව නැත.

දැවැන්ත පරිමාණය

පසුගිය පාලනයන්ට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා වැඩි කැපවීමක් සහ දේශපාලන උවමනාවක් පෙන්නුම් කරයි. දූෂණය පිළිබඳ රජයේ විමර්ශනවල කොටසක් ලෙස නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය නොවේ. 2015 දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිතේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රධාන විමර්ශනයක් ආරම්භ කළේ එහි පැවැති මුදල් ප්‍රමාණය අතිවිශාල වූ බැවිනි. 2013 දී ශ්‍රීලංකන් ගුවන් සේවය A330-300 යානා හයක් සහ A350-900 යානා හතරක් ලබාගැනීමට ගිවිසුම්ගත වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 2.5කට වඩා වැඩි වටිනාකමකින් යුත් ගුවන් යානා සමූහය නව්‍යකරණය කිරීමේ වැඩසටහනක් සඳහා තවත් A350 බදුදීම් සූදානම් කරන ලදී. එම අගය අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍ය ආධාරයට සමාන වන අතර, පාඩු ලබන රාජ්‍ය ගුවන් සේවය ලබාගත් අවදානමේ තරම මෙයින් පැහැදිලි වේ. ආණ්ඩු වෙනසින් පසුව 2015-2016 කාලයේ සිට එම බදු ගිවිසුම්වලින් ඉවත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කළේය. ඒ සඳහා ගෙවන ලද දඩ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවීය.

මෙම විනාශයෙන් පසුව, සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඉහළ මට්ටමේ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලදී. හිටපු විධායක නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා නගන ලෙස එම පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කළද, වාර්තාවේ නම සඳහන් වූ කිසිවකුට සාර්ථකව නඩු පවරා දඬුවම් දීමට නොහැකි විය. එයාර්බස් නඩුව විශේෂයෙන් වැදගත් වන්නේ, ලබාගෙන ඇති අල්ලස් මුදලේ ප්‍රමාණය නිසා පමණක් නොවේ. ඊටත් වඩා කනගාටුදායක කරුණ නම්, ජාතික ආර්ථිකයට එල්ල වූ දැවැන්ත පාඩුවට වඩා ඉතා කුඩා පෞද්ගලික ලාභයක් වෙනුවෙන්, පාඩු ලබන ආයතනයක් සඳහා වටිනා මහජන ධනය විනාශ කරලීමට කටයුතු කිරීමයි. දූෂණය යනු යම් පුද්ගලයකුට කොමිස් මුදලක් හෝ අල්ලසක් ලෙස ලැබෙන දෙය පමණක් නොවේ. තීරණ මගින් මහජන යහපතට වඩා පෞද්ගලික යහපත ඉටුවන විට මහජන සම්පත් කැපකිරීම, ආයතන දුර්වල වීම සහ අවස්ථා අහිමි වීම ද ඊට ඇතුළත් වේ.

බලයට පත් වී වසර දෙකක් සම්පූර්ණ කර ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව, අතීත පාලනයන් මෙන්ම රටේ වත්මන් තත්ත්වයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට තවමත් උත්සාහ කරමින් සිටී. ඒ වෙනුවට, අතීතයේ සිදු වූ ගැටලු නැවත පහසුවෙන් සිදුනොවීමට නම් වෙනස් කළ යුතු ආයතන සහ පද්ධති මොනවාද යන්න පිළිබඳව ඔවුන්ගේ චින්තනය යොමුකළ යුතුය. මෙයින් අදහස් කරන්නේ දූෂණ විරෝධී දේශපාලනයෙන් පද්ධතිමය ප්‍රතිසංස්කරණ වෙත ගමන් කිරීමයි. මෙම වෙනස ඉතා වැදගත් වේ. යම් කෙනකුට දූෂිත පුද්ගලයන් පිරිසකට නඩු පවරා දඬුවම් කළ හැකි නමුත්, තවත් එවැනිම පිරිසක් බිහිකරන පද්ධතියක් ඉතිරි විය හැකිය. අනෙක් අතට, ප්‍රසම්පාදන, පත්කිරීම්, රාජ්‍ය මුදල්, දේශපාලන අරමුදල් සැපයීම්, පොලිස් සහ අධිකරණ ක්‍රියාවලීන් සහ සංහිඳියාව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කළහොත්, දූෂණයට සහ දේශපාලන අභිමතය පරිදි කටයුතු කිරීමට ඇති ඉඩකඩ අඩු වනු ඇත. එබැවින්, ජාතික ජන බලවේග ආණ්ඩුවේ සාර්ථකත්වයේ සැබෑ මිනුම විය යුත්තේ හිටපු දේශපාලනඥයන් කොපමණ සංඛ්‍යාවක් ගැන විමර්ශනය කරන්නේද, නැතහොත් නඩු පවරන්නේද යන්න පමණක් නොවේ. වියයුත්තේ, ඔවුන්ගේ ධුර කාලය අවසන් වන විට, අනාගතයේදී ඕනෑම පාලනයකට රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කිරීම සැලකිය යුතු ලෙස දුෂ්කර වන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබේද යන්නයි.

පුළුල් වගවීම

මෙම පුළුල් වගවීම පිළිබඳ අවබෝධය විශේෂයෙන් වැදගත් වන්නේ, මූල්‍ය අපරාධ සහ දූෂණය, කෙතරම් බරපතල වුවද, ශ්‍රී ලංකාව ලෝක සංවර්ධනයේ පහළම මට්ටමට ඇද දැමූ එකම වැරදි ක්‍රියාව නොවන බැවිනි. හඹා යා යුතු තවත් වගවීමේ ප්‍රශ්නයක් තිබේ. එනම්, ලොව අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්කරමින්, පසුගිය දශක හතර පහ තුළ සිදු වූ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට කුමක් සිදුවූයේද යන්න සොයාබැලීමයි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ, 1980 දශකයේ සිට ශ්‍රී ලංකාවේ අවම වශයෙන් 60,000 ක් සහ සමහර විට 100,000 ක් තරම් විශාල සංඛ්‍යාවක් අනිවාර්ය අතුරුදහන් කිරීම්වලට ලක්ව ඇති බවයි. මෙම සංඛ්‍යාව කෙතරම් විශාලද යත්, එය රටේ හෘද සාක්ෂිය කම්පනයට පත්කළ යුතුය. මුදල් අතුරුදහන්වීම තරම් පුද්ගලයකු අතුරුදහන් වීම මහජන අවධානයට ලක්නොවීම කනගාටුදායකය.

අහිමි වූ ඩොලර් මිලියනයක් වැදගත් වන්නේ එය ජනතාවට අයිති බැවිනි. අතුරුදහන් වූ පුද්ගලයකු වැදගත් වන්නේ එම පුද්ගලයා පවුලකට, සමාජයකට, රටකට අයිති බැවිනි. කවුරුන් හානියට පත්වුවද හෝ කවුරුන් ඊට සම්බන්ධ වුවද, මේවා මුදල්වලට සහ මිනිසුන්ට රාජ්‍යය එක ලෙස වගවීම ක්‍රියාත්මක කළ යුතුය යන එකම පදනමේ පවතින අසාර්ථකත්වයන් දෙකකි. අහිමි වූ මහජන මුදල් ආර්ථිකය දුර්වල කරන අතර, අතුරුදහන් වූ මිනිසුන් දේශපාලන දේහයම දුර්වල කරයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල, අතුරුදහන්වූවන්ගෙන් බහුතරයක් දෙමළ ජාතිකයන් වන නමුත්, රටේ පැවැති ප්‍රචණ්ඩකාරී ගැටුම් අතරතුර සියලුම තරාතිරම්වල මිනිසුන් අතුරුදහන් වී ඇත. මෙයින් නැගෙන ප්‍රශ්නය වන්නේ රටේ සුළුතර පුරවැසියන් බහුතර ජාතිකයන්ට මෙන්ම රාජ්‍යය තමන් ගැනද සැලකිලිමත් වන බව විශ්වාස කරන්නේද යන්නයි. යම් පුද්ගලයකු දෙමළ, මුස්ලිම් හෝ සිංහල වූ බැවින් එම පුද්ගලයාගේ අතුරුදහන් වීම ගැන රාජ්‍යය සැලකිලිමත් වන්නේදැයි පුරවැසියකුට ප්‍රශ්න කිරීමට සිදුනොවිය යුතුය. දේශපාලන ප්‍රචණ්ඩත්වය පැවැති සමයක සිදුවූ පමණින්, යම් පවුලකට පිළිතුරක් ලබාගැනීමට දශක ගණනාවක් බලාසිටීමට සිදුනොවිය යුතුය. දූෂණය සම්බන්ධයෙන් දැන් පෙන්නුම් කරන දේශපාලන උවමනාවෙන්ම මෙයද හඹා යා යුතුය. එබැවින් දූෂණය පිළිබඳ වගවීම හඹායෑම, වගවීම තෝරාගත් එකක් නොවන බව තහවුරු කිරීමට ලැබෙන අවස්ථාවක් කරගත හැකිය. එය මූල්‍ය අක්‍රමිකතා, බලය අනිසි ලෙස භාවිත කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට ආයතන අසාර්ථක වීම යන සියල්ලටම අදාළ විය යුතුය.

පසුගිය පාලකයන්ගෙන් දේශපාලන පළිගැනීම් සිදුකිරීම වගවීම නොවන බව පෙන්වාදීමට රජයට අවස්ථාවක් තිබේ. එය සෑම කෙනකුටම සහ සෑම ආයතනයකටම අදාළ වන රාජ්‍ය වගකීමේ ප්‍රමිතියක් ඇති කිරීමයි. නාමිකව මෙන්ම සැබෑ කැපවීමෙන්ද ජාතික සමගිය සඳහා මෙය ඉතා වැදගත් වේ. ජාතික සුළුතර පුරවැසියන්ට ශ්‍රී ලාංකික රාජ්‍යයට අයත් බවක් දැනීමට නම්, මහජන මුදල් අහිමිවීම මෙන්ම ඔවුන්ගේ පීඩාවන්ද වැදගත් බව ඔවුන් දැනගත යුතුය. එසේ නොවුවහොත්, විසඳා නොමැති දුක්ගැනවිලි දේශපාලන දේහයේ තුවාලයක් ලෙස ඉතිරිව එය තවදුරටත් දුර්වල කරනු ඇත. අතුරුදහන් වූ මුදල් මෙන්ම අතුරුදහන් වූ මිනිසුන්ද වැදගත් වේ. ඇත්ත වශයෙන්ම, අපගේ සමාජය තුළ මුදල්වලට වඩා මිනිසුන් වැදගත් වේ. වගවීම පිළිබඳ සැබෑ පරීක්ෂණය වන්නේ, මහජන මුදල් හෝ ජනතාව බලපෑම් හේතුවෙන් අතුරුදහන් නොවන, ආයතන සහ පද්ධති ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකිද යන්නයි.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment