ප්‍රකාශ් කරත් –
සීතාරාම් යෙචුරි සහෝදරයා ගැන අතීත කාලයෙන් ලිවීම මට අතිශයින් දුෂ්කර හා වේදනාකාරීය. පක්ෂයේ සහ වාමාංශික ව්‍යාපාරයේ විවිධ අවධීන් සහ උස් පහත්වීම් හරහා අපි එකට ගමන් කරද්දී දශක පහක් තිස්සේ අපගේ දේශපාලන ජීවිතය සමීපව හා සංකීර්ණ ලෙස බද්ධ වී තිබිණ. අපගේ සහෝදරත්වය මීට වසර පනහකට පෙර ආරම්භ විය. 1974 ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් ආරම්භ වූ එය, ඉන්දියාවේ ශිෂ්‍ය සම්මේලනයේ සහ පසුව පක්ෂය තුළත් දිගටම පැවතුනි. අපි අවුරුදු 37කට වැඩි කාලයක්, එනම් 1985 දී පක්ෂ මධ්‍යස්ථානයේ වැඩවලට සහ අවුරුදු දෙකකට පසුව සීතාරම් මා සමඟ පක්ෂ මධ්‍යස්ථානයේ එකට වැඩ ආරම්භ කළේය. පක්ෂයේ අපේ ගමන්මග ද බොහෝ දුරට එම මාවතේම ගමන්කර ඇත. 1984 මධ්‍යම කාරක සභාවේ ස්ථිර ආරාධිතයන් බවට පත්වූ අප දෙදෙනාම, 1985 දී 12 වැනි සම්මේලනයේදී මධ්‍යම කාරක සභාවටත්, 1988 දී 13 වැනි සම්මේලනයේදී මධ්‍යම ලේකම් මණ්ඩලයටත්, 1992 දී 14 වැනි සම්මේලනයේදී දේශපාලන මණ්ඩලයටත් තේරී පත්වුණි.
ඉන්දියානු (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂයෙහි වාම සහ ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයේ සහ ප්රගතිශීලී අරමුණ සඳහා, සීතාරාම් විසින් ලබාදුන් සෑම අංශයකින්ම සහ විවිධත්වයකින් යුතු දායකත්වයන් පිළිබඳ දළ විශ්ලේෂණයක්, එහි නිසි පර්යාලෝකය තුළ තැබීමට වැඩි කාලයක් සහ සාකච්ඡාවක් අවශ්‍ය වනු ඇත. පක්ෂයේ මතවාදී, ක්‍රමලේඛිත සහ දේශපාලනික ආස්ථානයන් සඳහා ඔහු කළ සුවිශේෂී දායකත්වය පිළිබඳව මෙම ඇගයීමේදී අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
අනාගමික විරුද්ධ පක්ෂ නායකයින් වෙත ළඟාවීමට සිතාරාම්ට ඇති හැකියාව සහ ඔවුන් ඒකාබද්ධ වේදිකාවකට ගෙන ඒමේ ඔහුගේ දක්ෂතාවය පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ද බොහෝ දේ පවසා ඇත. ඔහුගේ ක්‍රියාකාරකම්වල වඩාත් ප්‍රසිද්ධ මුහුණුවර පිළිබඳව මෙය සත්‍යයක් වුවද, පක්ෂයට සහ මාක්ස්වාදයට ඔහු කළ වැදගත් දායකත්වයන් කිහිපයක් පිළිබඳව මෙනෙහි කිරීමට කැමැත්තෙමි. පක්ෂ මධ්‍යස්ථානයේ සහ දේශපාලන මණ්ඩලයේ ඔහු කළ කාර්යභාරයන්ගේ විශේෂත්වය වූයේ මාක්ස් ලෙනින්වාදය මත පදනම් වූ පක්ෂයේ මතවාදී ස්වරූපය හැඩගැස්වීමේදී ඔහුගේ භූමිකාවයි.
ඉන්දියානු (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂය, එහි මුල් ආරම්භයේ සිටම, මාක්ස්–ලෙනින්වාදය පිළිබඳව තිබූ දැඩි විශ්වාසය, දක්ෂිනාංශික හා වාම අපගමනයන්ට එරෙහි අරගලය මගින් සලකුනු කරන ලදී. 1968 දී බර්ඩ්වාන් සැසිවාරයේදී මතවාදී ගැටලු සම්බන්ධයෙන් සම්මත කරන ලද වාර්තාව සහ යෝජනාව ඉන්දීය කොමියුනිස්ට් ව්‍යාපාරයේ ප්‍රධාන සන්ධිස්ථානයක් විය. එකල ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ පැවති මතවාදී ප්‍රශ්න සහ වෙනස්කම්වලට මාක්ස්–ලෙනින්වාදය යොදාගනිමින්, ඔවුන් තම ස්වාධීන මාවතක් සකස් කළහ. සිතාරාම් ඉදිරියට ගෙන ගියේ මේ ප්රවේශයයි.
1987 දී, මොස්කව්හි පැවති ඔක්තෝබර් විප්ලවයේ 70 වන සංවත්සර රැස්වීමේදී, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් මිහායිල් ගොර්බචොව් ඓතිහාසික මගක් විවර කලේය. සමාජ ප්රතිවිරෝධතා සහ අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේ ස්වභාවය පිලිබඳ පවතින මාක්ස්වාදී විශ්ලේෂණවලින් බැහැර වූ බොහෝ සූත්‍රගතකිරීම් මෙම කතාවේ අඩංගු විය. 1988 මැයි මාසයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සම්මත කරන ලද යෝජනාවකින් ගොර්බචොව්ගේ සූත්රකාරකයන් විවේචනය කළ පළමු පක්ෂය, ඉන්දියානු (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂය විය. මෙයින් පසුව 1988 අගෝස්තු මාසයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී, මෑතකාලීන වර්ධනයන් පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. සෝවියට් සංගමය, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය තුළ අභ්‍යන්තර වර්ධනයන් සහ ‘පිරිස්ත්‍රොයිකා හා ග්ලාස්නස්ත්‘ නාමයෙන් සිදුකරන වැරදි මගින් සෝවියට් සංගමයට එල්ලවන අනතුර පිළිබඳව අනතුරු ඇඟවූයේය. 1990 මැයි මාසයේදී මධ්‍යම කාරක සභාව විසින් තුන්වන යෝජනාවක් සම්මත කරන ලද අතර එහිදී සමාජවාදී ආණ්ඩු වැටීමට තුඩු දුන්, නැගෙනහිර යුරෝපීය රටවල් මුහුණ දුන් අර්බුද මෙම රටවල සමාජවාදය ගොඩනැගීමේ මතවාදී සෝදාපාළුව සහ විකෘති සන්දර්භය තුළ ස්ථානගත කරන ලදී. මෙම යෝජනාව කෙටුම්පත් කිරීමේදී සිතාරාම් වැදගත් කාර්යභාරයක් ඉටුකළ අතර එය පසුව මතවාදීව පරිපූර්ණ ලියවිල්ලකට පදනම විය.
1991 සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, පක්ෂයට සමාජවාදයේ මෙම ඓතිහාසික පසුබෑම ගැන තක්සේරුවක් කරගැනීමත්, එහි පශ්චාත්–සෝවියට් සංගමයේ මතවාදී ස්ථාවරයන් සිතියම්ගත කිරීමත් 1992 දී මදුරාසියේ පැවති 14 වැනි සම්මේලනයේ දී සිදුකරන ලදී. පූර්ණ සාකච්ඡාවලින් පසුව, පක්ෂ සම්මේලනය ‘ඇතැම් මතවාදී ගැටලු’ පිළිබඳ යෝජනාවක් සම්මත කළේය. සම්මේලන යෝජනාවේ නියමුවා ලෙස තම පිළිතුර තුල සාකච්ඡාව සාරාංශ කළේ සීතාරාම් සහෝදරයායි. ප්‍රථම වතාවට මතවාදී ලියවිල්ලක් සකස්කරන ලද අතර, දේශපාලන මණ්ඩලය වෙනුවෙන් මධ්‍යම ලේකම් මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් ඉදිරිපත් කරන ලදී. එය සාමාන්‍යයෙන් එම්. බාසවපුන්නයියා විසින් කළ කාර්යයකි. සීතාරාම් මාක්ස්වාදී න්යායචාර්යෙකු ලෙස පක්ෂය විසින් පිළිගෙන ඇති බව මෙයින් පෙන්නුම් කළේය. එතැන් පටන් සිතාරාම් දේශපාලන මණ්ඩලයේ මතවාදී කාරණා සම්බන්ධයෙන් ප්‍රමුඛතම බලවේගය බවට පත්විය.
මෙසේ මතවාදී සන්නාහ සන්නද්ධව, ඉන්දියානු (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂය විසින් 1993 මැයි මාසයේදී කොල්කටාහිදී, කාල් මාක්ස්ගේ 175 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් කොමියුනිස්ට් පක්ෂවල ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. එම සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘වත්මන් ලෝක තත්ත්වය සහ මාක්ස්වාදයේ වලංගුභාවය‘ යන්නයි. සෝවියට් සංගමයේ බිඳවැටීම සහ නැගෙනහිර යුරෝපීය රටවල සමාජවාදී පාලනයන් බිඳවැටීමත් සමඟ සමාජවාදය අත්විඳින ලද පසුබෑම්වල පසුබිම තුළ මාක්ස්වාදයේ වලංගුභාවය සාකච්ඡාකිරීමේ පළමු ජාත්‍යන්තර ප්රයත්නය මෙය විය. ලොව කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් 21 දෙනෙකු සම්මන්ත්‍රණයට සහභාගී වී ලියවිලි ඉදිරිපත් කළහ. ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සිතාරාම් පක්ෂයේ පත්‍රිකාව සකස්කළ අතර ඔහු සම්මන්ත්‍රණයේ සංවිධායකවරයා ද විය.
පසුව, මතවාදී කරුණු පිළිබඳ අපගේ අවබෝධය යාවත්කාලීන කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ විට, සවිස්තරාත්මක සහ යාවත්කාලීන ලේඛනයක් කෙටුම්පත් කිරීමේ වගකීම නිරායාසයෙන්ම සිතාරාම් වෙත පැවරුණි. ‘සමහර මතවාදී ගැටළු පිළිබඳ යෝජනාව’ ලෙස සකස්කළ යෝජනාව, සිතාරාම් විසින් 2012 දී කෝකිකෝඩ් හි පැවති පක්ෂයේ 20 වැනි සම්මේලනයට ඉදිරිපත් කරන ලද අතර එය ගැඹුරු සාකච්ඡාවකින් පසුව සම්මත කරන ලදී.
තවත් වැදගත් ක්ෂේත්රයක්වූ ෆැසිස්ට්වාදී හින්දුත්ව මතවාදයට එරෙහි සටන සඳහා දෘෂ්ටිමය අරගලයේදී සිතාරාම් ඉතා වැදගත් දායකත්වයක් ලබාදුන්නේය. මෙම අරගලයේදී සිතාරාම් විසින් ඉටුකරන ලද ප්‍රධාන භූමිකාව එක් අවස්ථාවක් මගින් පැහැදිලි වේ. RSS (රාෂ්ට්‍රීය ස්වයංසේවක සංගමය) දෙවන ප්‍රධානියා වූ එම්.එස්. ගල්වල්කාර්ගේ පිටු 77 කින් යුක්තවූ පොතක් ගැන 1993 දී සීතාරාම් විවේචනයක් ලිවීය. ‘අපි හෝ අපේ ජාතිය නිර්වචනය’ කර ඇති එම පොත 1939 දී ප්‍රකාශයට පත්කරන ලද්දකි. මෙම පොත තුලින් හින්දු රාෂ්ට්රයෙහි ෆැසිස්ට් හරය ඉදිරිපත් කරයි. නමුත් මුල් ප්රකාශනයේ පිටපත් ලබාගැනීමට අපහසු විය. සිතාරාම් 1939 මුල් සංස්කරණයේ පිටපතක් ලබාගෙන හින්දු රාෂ්ට්‍ර සංකල්පය තුළට ගිය ෆැසිස්ට් පෙළපත සහ එහි අදහස් පිළිබඳ පැහැදිලි හා තියුණු විවේචනයක් කළේය. මෙය 1993 මාර්තු 12 වන දින ‘Frontline’ සඟරාවේ පළවූ අතර පසුව ‘Frontline’ ප්රකාශනයක් ලෙස බබලවන ලදී. මෙම පොත් පිංචේ වැදගත්කම RSS හි බලධාරියෙකු වූ දිවංගත ඒ.ජී. නුරානි විසින් වටහාගෙන සිටි අතර, ඇය පොත් පිංච බෙහෙවින් අගය කරමින් ඒ වෙනුවෙන් සිතාරාම්ට ප්‍රශංසා කළේය. ලෞකිකත්වය ආරක්ෂා කිරීමට සහ හින්දුත්ව–වර්ගවාදී බලවේගවලට එරෙහිව සටන්කිරීමට සිතාරාම්ගේ දේශපාලන කැපවීමට පෙළඹවූයේ, හින්දුත්ව මතවාදයේ යටිපෙළ තේරුම්ගැනීමේ දූරදර්ශීභාවය සහ පැහැදිලිකමයි.
කොමියුනිස්ට් පක්ෂයක් සඳහා, ‘සටන්මග’ (වැඩසටහන) යනු එහි මූලෝපායික මාවත සකසන මූලික ලේඛනයයි. ඉන්දියානු (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂය, සිය වැඩසටහන 1964 වසරේ 7 වැනි සම්මේලනයේදී සම්මත කරගෙන තිබුණි. මෙම වැඩසටහන පශ්චාත් නිදහස් ඉන්දියාවේ ප්රජාතන්ත්රවාදී විප්ලවය සඳහා උපායමාර්ගය කුමක් විය යුතුද යන්න සම්බන්ධයෙන් (ඉන්දියාවේ) එක්සත් කොමියුනිස්ට් පක්ෂය තුළ පැවති දීර්ඝ අරගලයක ප්රතිඵලයකි. කෙසේ වෙතත්, වැඩසටහන යාවත්කාලීන කිරීම අවශ්‍ය වූ ප්‍රධාන වර්ධනයන් දෙකක්, ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සිදුවිය. පළමුවැන්න නම්, සෝවියට් සංගමයේ අවසානයත් අධිරාජ්‍යවාදී ආධිපත්‍යය ශක්තිමත් කිරීමත් සමඟ ජාත්‍යන්තරව පන්ති බලවේගවල සහසම්බන්ධයේ ප්‍රධාන වෙනසයි. දෙවැන්න නව ලිබරල්වාදයේ ආරම්භයත් සමඟ ඉන්දියාවේ ධනේශ්වර සංවර්ධන මාවත වෙනස් වීමය.
යාවත්කාලීන වැඩසටහනක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂය විසින් වැඩසටහන් කොමිසමක් පිහිටුවන ලදී. හර්කිෂන් සිං සුර්ජීත් කැඳවුම්කරු වූ මෙම කොමිසමේ සීතාරාම් සාමාජිකයෙකු වූයේය. ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ සහ නව ලිබරල් ධනවාදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ධනේශ්වර සංවර්ධන මාවතේ කොටස යාවත්කාලීන කිරීමේදී, සිතාරාම්ගේ ග්රහණයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. දේශපාලන මණ්ඩලයේ සහ පසුව මධ්‍යම කාරක සභාවේදී පැවති මෙම සාකච්ඡාවලදී සීතාරාම් සක්‍රීය භූමිකාවක් ඉටුකරනු දක්නට ලැබිණි. එක් අදියරකදී, 1964 වැඩසටහනේ අඩංගු ඉන්දියානු රාජ්‍යයේ ස්වභාවය සූත්රගත කිරීම පරිවර්තනයේ රඳවාගැනීමට, යාවත්කාලීන කළ සිතාරාම්ට සහ මට අධිෂ්ඨානශීලී උත්සාහයක් දැරීමට සිදුවිය.
ඉන්දීය දේශපාලනයේ දක්ෂිණාංශික මාරුව සහ 2014 මැතිවරණය ජයග්‍රහණය කර භාරතීය ජනතා පක්ෂය විසින් ගෙන ආ වර්ධනීය වූ වෙනසක් විය. මෝදි ආන්ඩුව ස්ථාපනය කිරීමත් සමඟ, නව දේශපාලන අභියෝගවලට සහ බරපතල තර්ජනයට මුහුණ දීම සඳහා දේශපාලන–උපක්‍රමීය මගක් සකස් කරන්නට විය. එහිදී, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලෞකික–ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට එල්ල වී ඇති බරපතල තර්ජනයට සහ නව දේශපාලන අභියෝගවලට මුහුණ දීමට සීතාරාම් පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය.
භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ සැසඳීම අවම බහුතරයකට සීමාකළ 2024 ලෝක් සභා මැතිවරණයෙන් පසුව, සීතාරාම් යෙචුරි දේශපාලන–උපායමාර්ගික මගක් සකස්කිරීමේ නිරත විය. එය සාර්ථකව ගොඩනගාගත හැකිවූ අතර ඊට අධිකාරවාදී–හින්දුත්ව බලවේගයන්ගෙන් අඛණ්ඩව එල්ලවන තර්ජනය ද සැලකිල්ලට ගත්හ.
ඔහුගේ මූලිකත්වයෙන් දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ අවසන් තීරණය වූයේ ලබන වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂයේ 24 වැනි සම්මේලනයට මඟ පාදන සම්මන්ත්රණ කාලසටහනක් සකස්කිරීම සහ ලේඛන සැකසීමයි.
රෝහලේ සිටියදී, ඔහුගේ අසනීපය සම්මේලනය සූදානමට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහු නැවත නැවතත් මා හට කනස්සල්ල පළ කළේය. සියල්ල හොඳින් සිදුවන බවත් තව දින කිහිපයකින් ඔහු රෝහලෙන් පිටව යනු ඇති බවත් කියා, ඔහු ධෛර්යමත් කිරීමට මට සිදුවිය. අහෝ, එය එසේ නොවිය යුතුව තිබුණි.
සීතාරාම් යෙචුරිගේ පුළුල් දායකත්වය පිළිබඳ වාස්තවික තක්සේරුවක් කිරීමට මට මේ මොහොතේ අපහසුය. ඔහු තම ජීවිතය කැපකළ පක්ෂයේ ඔහුගේ සහෝදරවරුන් වන අප වෙනුවෙන්, මාක්ස්වාදය–ලෙනින්වාදය වෙනුවෙන් ඔහුගේ ගැඹුරු කැපවීම සහ “සංයුක්ත තත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක්” (ඔහුගේ ප්‍රියතම ලෙනින්වාදී ව්‍යවහාරය) කිරීමට ඇති හැකියාව, අනාගමික සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ කැපී පෙනෙන කාර්යභාරය සහ සමාජවාදී සමාජයක් සඳහාවූ ඔහුගේ පුළුල් දැක්ම, අපට සහ කොමියුනිස්ට්වාදීන්ගේ, ප්රගතිශීලීන්ගේ අනුප්‍රාප්තික පරම්පරාවන්ටද දිගටම ආශ්වාදයක් ලබා දෙනු ඇත.
*ප්‍රකාශ් කරත් විසින් මෙම ලිපිය සීතාරාම් යෙචුරිගේ අභාවය නිමිත්තෙන් 2024 දී පළකරන ලද්දකි. ඔවුන් ඉන්දීය (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂයේ සමකාලීන නායකයන් විය.
සැප්තැම්බර් 12 වනදින, එහි දෙවන සැමරුම වෙනුවෙන් සකස්කලේ: ජයන්ත වැලිවිට