15 September, 2026

Blog

යහපාලන රජය හිතාමතාම මඟ හැරිය දෑ වත්මන් රජයේ ප්‍රමුඛතා වන හැටි

අමිල මුතුකුට්ටි

අමිල මුතුකුට්ටි

දෙදහස් පහළොවේ ජනවාරි මස අට වැනිදා ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ තවමත් සැළකෙන්නේ විප්ලවීය දිනයක් හැටියටය. පැවති දුර්දාන්ත රාජපක්ෂ පාලනය හමාර කොට ජනතාව විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැටියට පත් කරගත්තේ මහත් වූ බලාපොරොත්තු ගොන්නක් ඇතිවය. මීට ප්‍රධානතම හේතුව වූයේ රාජපක්ෂ පාලනය පිළිබඳව තිබූ ජනතා අප්‍රසාදයයි. එනම් දුෂණ වංචා වලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීම ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව විය. කාලයත් සමඟ ඒ පොරොන්දුව හුදු තවත් එක් පොරොන්දුවක් බවට පත් වෙමින් ඇති බව ජනතාවට පැහැදිලි වෙමින් තිබුණි. 2018 ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රීපාල විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් පහ කොට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කළේය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කෙරිණි. ඒත් එක් දෙයක් ජනතාවට ඉඳුරාම පැහැදිලි විය. එනම් රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ කිසිදු මූල්‍ය වංචාවකට, කිසිදු පුද්ගල අතුරුදන් වීමකට සහ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය වීම් වලට යහපාලන රජය යටතේ යුක්තිය ඉෂ්ඨ නොවන බවය. මාළු පාන් වල මාළු නැතිවා සේ යහපාලනය රෙජීමය තුළ යහපාලනයක් ද තිබුණේ නැත. ඩිමෙන්ෂියා නොමැති නම් මේ අප සියලු දෙනාටම හොඳින් මතක කරුණකි. මෙසේ දරුණු ලෙස රැවටීමට ලක් වීමේ වාතාවරණයක් තුළ ඡන්ද දායකයා නැවතත් රාජපක්ෂ වරයෙකු ජනාධිපති ලෙස තෝරා ගැනීම ගැන පුදුම විය යුතු නැත. ඉච්ඡාභංගත්වයට ලක් වූ ජනතාව නැවතත් බලාපොරොත්තු තැබුවේ වත්මන් NPP රජය කෙරෙහිය.

නීතියේ ආධිපත්‍ය

පසුගිය දා නාමල් රාජපක්ෂ අත්තඩංගුවට ගත්තේ අල්ලස් චෝදනාවක් පදනම් කරගෙනය. ඒ පමණක් නොව 2024 සැප්තැම්බර් මාසයෙන් පසුව සිදු වූ සෑම අත්තඩංගුවට ගැනීමක්ම සිදු වූයේ නෛතික රාමුවක් තුළය. සිර දඬුවම් නියම කෙරුණේ අධිකරණ පද්ධතිය තුළ සිදු වූ නඩු විභාගයකින් පසුවය. එවැන්නක් පෞද්ගලික පලි ගැනීමක් ලෙස නිර්වචනය කිරීම අසීරුය. යම් වරදක් කළ පුද්ගලයෙකු විපක්ෂයේ සිටීම නිසා ඔහු නීතියෙන් නිදහස් නොකළ යුතුය. නීතිය ඉදිරියේ සැවොම සමාන විය යුතුය. නීතියේ ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීම යහපාලන රෙජීමය යටතේ හිතාමතාම මඟ හැරිය දෙයකි. නමුත් වත්මන් රජය නීතියේ ආධිපත්‍ය රට තුළ තහවුරු කොට ඇති බව අත්තඩංගුවට ගැනීම් සහ නඩු තීන්දු වලින්ම විද්‍යමාන වෙයි.

නාමල් රාජපක්ෂගේ අත්තඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩි කම්පනයට පත් කළ බවක් පෙනෙන්නට තිබුණි. ඔවුන් එය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබුණි. ඔවුන් එය තවදුරටත් අර්ථකථනය කොට ඇත්තේ නාමල් රාජපක්ෂට රටවටා ගොස් දේශපාලන රැස්වීම් පැවැත්වීමට ඇති අයිතිය පැහැර ගැනීමක් හැටියටය. මෙහිදී කරුණු දෙකක් මතු කළ යුතුව තිබේ. එකක් නම්, අපි යහපාලන රෙජීමය කාලයේ රාජපක්ෂ වරුන්ගේ වංචනික ක්‍රියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් අපේක්ෂා කළේ මෙවැනි පක්ෂයක ආණ්ඩුවක් යටතේ වීමයි. රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය තුළ ඔහු වග වී ඇත්තේ ඔහුගේ ඡන්ද දායකයින්ට නොව රාජපක්ෂ වරුන්ටය. ඡන්ද දායකයා මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂය අත්හැර දැමුවේ ඒ නිසා ය. නමුත් ඔහුට කිසිදා ජනාධිපති වරණයකින් ලබා ගත නොහැකි වූ ජනාධිපති ධූරය රාජපක්ෂ වරුන්ගේ ආධාරයෙන් ලබා ගත හැකි විය. දෙවැන්න නම්, නීත්‍යනුකූලව සිදුවන අත්තඩංගුවට ගැනීමක් හෙළා දැකීම යනු රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු වීම වක්‍රාකාරයෙන් හෙළා දැකීම නොවේද?

ආර්ථික ස්ථාවරත්වය

යහපාලන රෙජීමය තුළ දක්නට ලැබුණේ ආර්ථික අස්ථාවරත්වයකි. ඒ කාලයේ තිබූ දේශපාලන අස්ථාවරත්වය මීට ප්‍රධානතම හේතුව බවට පත් විය. 2015 වසර අවසානයේ ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 144.06 ක් වූ අතර එය 2019 වසර අවසාන වන විට රුපියල් 181.63% ක් විය. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල රුපියල ඇමෙරිකානු ඩොලරය හමුවේ 26% කින් අවප්‍රමාණය වී තිබේ. එසේම 2015 වසරේ 5% ක් වූ මූර්ත දළ දේශීය නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වී 2019 වසර වන විට 2.3% දක්වා පහත වැටිණ. ණය ගෙවාගත නොහැකි තැන හම්බන්තොට වරාය චීනයට විකුණා දැම්මේය. දේශපාලන වියරුවෙන් අන්ධ වී මත්තල ගුවන්තොටුපළෙහි වී ගබඩා කළේය. හරියටම එය මහින්ද රාජපක්ෂගේ බූදලයක් ලෙසිනි එය සැළකුම් ලැබූවේ.

ප්‍රතිපත්තිමය ස්ථාවරවත්යක් නොමැති වීම ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානියට බලපෑ ප්‍රධානතම හේතු වලින් එකකි. විශේෂයෙන්ම, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන ආර්ථික ප්‍රතිපත්ති ආයෝජකයන් අධෛර්යමත් කරවයි. ඒ නිසා අඛණ්ඩ ආර්ථික ප්‍රතිපත්තීන්හි වැදගත්කම ඉතා ඉහළය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කලින් රජය කරගෙන ආ වැඩපිළිවෙල පෙර පැවතියාටත් වඩා හොඳින් කරගෙන යෑම ම අගය කළ යුතුය. ඉහළ මැදි ආදායම් ලබන රටක් හැටියට වර්ගීකරණයට ලක් වීම, 2025 වසරේදී 5% ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ඉහත පියවරයන්හි ප්‍රතිඵල ලෙස හඳුනාගත හැකිය.

දේශපාලන ස්ථාවරත්වය

ආණ්ඩු වෙනස්වීම්, දේශපාලන තීරණ සහ බල හුවමාරු ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයන් තුළ සාමකාමීව සිදුවන, රටේ පාලන පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන තත්ත්වය දේශපාලන ස්ථාවරත්වය ලෙස හැඳින්විය හැකිය. යහපාලන රෙජීමය ගොඩනැගුණේ සභාග ආණ්ඩුවක් හැටියටය. එනම් එය ප්‍රධාන පක්ෂ දෙකක එකතුවක් විය. ඒ නිසා ප්‍රතිපත්ති එකඟතාවයක් එහි දක්නට ලැබුනේ නැත. 2018 වසරේදී ව්‍යවස්ථාවට පිටින් ගොස් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීම ම මේ දේශපාලන අස්ථාවරත්වයේ උච්ඡතම අවස්ථාව විය.

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් බැලු කල්හි දේශපාලන ස්ථාවරත්වයක් දැකිය හැකිය. පාර්ලිමේන්තුවේ ආසන 159 ක් දිනා ගැනීම ඒ දේශපාලන ස්ථාවරත්වයට අඩිතාලම දැමීය. ඒත් රටට අහිතකර ලෙස ඒ බහුතර බලය මේ දක්වා භාවිතා වූයේ නැත. එය අනාගතයටත් එසේ වන බවට විශ්වාසය තැබිය හැකිය. නීතිඥ සංගමයේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුව අධිකරණ පද්ධතියේ සිදු කරන කවර ආකාරයේ වෙනස්කමක් වූවද එය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට කෙරෙන බලපෑමක් හැටියට නිර්වචනය කළ හැකි බවයි. ඒ විවේචනයට බිය වී වෙනස්කම් සිදු නොකර සිටීම අනුවණ වැඩකි.

විපක්ෂයේ පිරිහීම

දැන් රටේ විපක්ෂයක් ඇති නැති ගාණය. නීතියේ ආධිපත්‍ය රට තුළ තහවුරු වීම හමුවේ ඔවුන් සී සී කඩ වී සිටී.එසේම විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල පාක්ෂිකයන් තමන්ගේ නායකයන් කරන කියන දේ හමුවේ අන්ද මන්ද වී ගොසින්ය. මීට අවුරුදු හතරකට පෙර විමල් වීරවංශ කියා සිටියේ රාජපක්ෂවරු සමඟ තමන්ගේ දේශපාලනය අවසන් බවයි. ඒත් ඔහු 12 වැනිදා අනුරාධපුරයේ පැවති පොදුජන පෙරමුණු රැළියේ ප්‍රධාන කථිකයෙක් විය.

අනුරාධපුර රැළියේදී පොහොට්ටු පාක්ෂිකයින්ට තමන් ගැනම කළකිරීමක් ඇතිවන අපූරු සිදුවීමක් සිදු විය. එනම් කොටි ඩයස්පෝරාවේ නියෝජිතයෙක් ලෙස තමන්ම හඳුන්වා ගන්නා මන්ත්‍රී අර්චුනා වේදිකාවේ අසුන් ගෙන සිටීමයි. ඊටත් එහා ගිය හාස්‍යජනක සිදු වීම නම් කොටි ඩයස්පෝරාව විවේචනය කිරීම හා නැවතත් කොටි නැගිටීම තමන්ගේ දේශපාලන සටන් පාඨය බවට පත්කරගෙන සිටි විමල් වීරවංශ ඔහු හා අතට අත දෙමින් කතා බහක යෙදී සිටිනු දැකීමයි.

ලැයිස්තුව තවත් දිගය. තිස්සකුට්ටි ආරච්චි 2024-9-18 දින මතුගම රැළියක් අමතමින් කියා සිටියේ තමන්ට තාත්තා කෙනෙක්, නැතිනම් මාමා කෙනෙක් වැනි වූ රෝහිත අබේගුණවර්ධන තමන්ගේ පක්ෂය හැරදා ගිය බවයි. ඊට මාස කීපයකට පසුව රෝහිත අබේගුණවර්ධන ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු අසුනක් දිනා ගත්තේය. තිස්ස කුට්ටි කී ආකාරයට ඔහු පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඒ මන්ත්‍රී අසුන ද ඔහුට අහිමිවනු නිසැකය. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්දය දුන්නේ රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ට විරුද්ධ පිරිසය. එනම් රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ගියේ රාජපක්ෂ විරෝධී ඡන්ද දායකයින්ගේ ඡන්දයෙනි. ඔහු ද අනුරාධපුර රැලියට එකතු වීම ඒ පාක්ෂිකයින් පුදුම කරනවාට සැක නැත. රෝහිත අනුරාධපුර රැළියට සහභාගී වූවා පමණක් නොව අපූරු ඉල්ලීමක් ද කළේය. ඉපදුන සැවොම මිය යන බැවින් මහින්ද රාජපක්ෂට දකින්නට නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමට එකතු වෙන ලෙසයි. තවමත් මේ රට ඔවුන්ගේ බූදලයක් ලෙසට සිතන පතන බව ඔප්පු කිරීමට මීට වඩා සාක්ෂි ඇවැසිද?

චාමර සම්පත් දසනයාක පසුගිය දා දේශපාලන රැස්වීමක දී කියා සිටියේ නයි මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවිය නොහැකි බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ජනතාව ආණ්ඩුව සමඟ සිටින තාක් කිසිවෙකුට ආණ්ඩුව පෙරළිය නොහැකි බවයි. සැබවින්ම මෙයින් විපක්ෂයේ අසරණ බාවයත් ආණ්ඩුවේ පුළුල් ජනතාවාදී දැක්මත් පිළිබිඹු වෙයි. ඒ නිසා මෙය තවත් එක් යහපාලන ආණ්ඩුවක් නොවන බව පැහැදිලිය. යහපාලන ආණ්ඩුවෙන් පසුව රාජපක්ෂලාට බලය ලැබුණා සේ නැවතත් 2029 දී බලය ලබා ගැනීම සිහිනයක් පමණක් ම වනු ඇත.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment