
ජෙහාන් පෙරේරා
ශ්රී ලංකාවේ කිසිදු පූර්ව ආණ්ඩුවක් සිදුනොකළ ආකාරයට, දූෂණ, වංචා සහ අපරාධ ක්රියාවල නිරත වූ අතීතයේ සහ වර්තමානයේ බලවත් පුද්ගලයන්ට එරෙහිව ජාතික ජන බලවේග ආණ්ඩුව පියවර ගනිමින් සිටියි. විමර්ශන සහ නීතිමය ක්රියාමාර්ගවලට මුහුණ දී සිටින අය අතර හිටපු අමාත්යවරුන්, දේශපාලනඥයන් සහ ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීහු ද වේ. දූෂණ, වංචා සහ වෙනත් අපරාධ සම්බන්ධ නඩු 50 ක ලැයිස්තුවක් ඇතුළත් ලේඛනයක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මේවාට මූල්ය අපරාධ පමණක් නොව, පාස්කු ඉරිදා ප්රහාරය, ලසන්ත වික්රමතුංග සහ වසීම් තාජුඩීන් ඝාතන, ප්රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම මෙන්ම ජනමාධ්යවේදීන් වන කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන අයට එල්ල වූ ප්රහාරයන්ට අදාළ නඩු ද ඇතුළත් වේ.
මෙම ප්රයත්නයේ වැදගත්කම වන්නේ, දේශපාලන සබඳතා හෝ සමාජ තත්ත්වය කුමක් වුවත් කිසිවකු නීතියට ඉහළින් නොසිටින බව පෙන්වාදීමට හැකි වීමයි. එය දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විශ්වාසය ගිලිහී තිබූ ආයතන කෙරෙහි නැවත විශ්වාසය ගොඩනැගීමට උපකාරී වනු ඇත. එමෙන්ම මහජන සම්පත් නැවත ලබාගැනීමටත්, ආයෝජන පරිසරය යහපත් කිරීමටත්, වඩාත් සමෘද්ධිමත් සහ සාධාරණ ශ්රී ලංකාවක් සඳහා වන පදනම ශක්තිමත් කිරීමටත් මෙයට හැකිවනු ඇත. වර්තමානය ගැන අවධානය යොමුනොකර අතීතය ගැන පමණක් අවධානය යොමුකරන බවට එල්ල වන විවේචන හමුවේ ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ, මෙම විමර්ශන පෙර පැවති ආණ්ඩු යටතේ (විශේෂයෙන් 2015 සහ 2019 අතර) ආරම්භ කරන ලද ඒවා බවත්, දේශපාලන හස්තයන්ගෙන් තොරව එම ගොඩගැසී ඇති වැඩකටයුතු කරගෙන යෑමට විමර්ශකයන්ට දැන් ඉඩ සලසා දී ඇති බවත්ය.
එහෙත් ආණ්ඩුවේ ප්රවේශයේ සාධාරණීකරණය කළ නොහැකි පැත්තක් ද තිබේ. බලවත් පුද්ගලයන්ගේ අතීත වැරදි හඹායන අතරතුර, වර්තමානයේ සහ අනාගතයේදී පුරවැසියන්, සංවිධාන සහ විරුද්ධ මතදැරීම් කෙරෙහි රාජ්යයට අතිමහත් බලතල ලැබෙන කෙටුම්පත් නීති ත්රිත්වයක් ද ඉදිරියට ගෙනයමින් පවතී. යෝජිත ත්රස්තවාදය වැළැක්වීමේ පනත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ රාජ්ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත මගින් බලය අධික ලෙස මධ්යගත වීම පිළිබඳ බරපතල ප්රශ්න මතුකරයි. මෙම සෑම නීතියකින්ම රාජ්යයේ බලතල ශක්තිමත් වන අතරම, එම බලතල අවභාවිත කිරීමෙන් ජනතාව ආරක්ෂා කරන අයිතිවාසිකම් සහ ආරක්ෂණ විධිවිධාන දුර්වල කරයි. එමගින් ‘ජනතාවගේ බලය ආණ්ඩුව වෙත පවරා ඇති’ ප්රජාතන්ත්රවාදයක ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්රශ්න කෙරේ. මෙය නීතියේ ආධිපත්යයට වඩා අනාගත වැරදි පාලනයකට මගපාදන වට්ටෝරුවකි. ප්රකට කියමනකට අනුව, බලය විසින් මිනිසා දූෂිත කරනු ලබන අතර අසීමිත බලය විසින් සම්පූර්ණයෙන්ම දූෂිත කරනු ලබයි.
යෝජිත නීති
ආණ්ඩුව අතිමහත් ජන වරමක් ලබාගත් ‘ක්රමවේදයේ වෙනස’ පිළිබඳ සැබෑ පරීක්ෂණය සඳහා, අන් අය වගකීමට බැඳ තැබීමට කැමති ආණ්ඩුවක් පමණක් නොව, නීත්යානුකූලභාවය, පාරදෘශ්යභාවය සහ සිය සීමාවන් හඳුනාගැනීම යන මූලධර්මවලට තමන්ම යටත් වීමට සූදානම් ආණ්ඩුවක් ද අවශ්ය වේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වන යෝජිත නීති තුන වන්නේ, රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ රාජ්ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පතයි. මෙම සෑම කෙටුම්පත් නීතියක්ම නීත්යානුකූල අරමුණක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. ත්රස්තවාදය වැළැක්වීම, සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සහ රාජ්ය නොවන සංවිධාන මගින් මුදල් විශුද්ධිකරණය හෝ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සිදුනොවන බවට වගබලා ගැනීම රාජ්යයක නිසි වගකීම් වේ. මෙම ක්ෂේත්රයන්හි ශ්රී ලංකාවට අන්තර්ජාතික බැඳීම් ඇති අතර, කිසිදු වගකිවයුතු ආණ්ඩුවකට ඒවා නොසලකා හැරිය නොහැක. කෙසේවෙතත්, නීත්යනුකූල අරමුණක් පැවැතීම පමණක්ම එය සාක්ෂාත් කරගැනීම සඳහා යොදාගන්නා සෑම උපක්රමයක්ම සාධාරණීකරණය කරන්නේ නැත.
යෝජිත ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ මගින් මෙම ගැටලුව මනාව පැහැදිලි වේ. එහි ඇති ත්රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකරුවකු විසින් සකස් කරන ලද ආකෘතියක් ඇසුරෙන් සකස් කර තිබුණද, එම අර්ථනිරූපණය අදාළ ආකෘතියෙන් ඔබ්බට යන බවත්, නීත්යානුකූල දේශපාලන විරෝධතා, වෘත්තීය සමිත ක්රියාමාර්ග සහ සිවිල් විරෝධතා ද ත්රස්තවාදයට එරෙහි නීති රාමුව තුළට ගෙන ඒමට ඉඩ ඇති බවත් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර ඇත. දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම, ප්රමාණවත් නොවන අධිකරණ අධීක්ෂණය සහ නීති උපදෙස් ලබාගැනීමට ඇති බාධා ද ඒ අතර වන ප්රධාන ගැටලු වේ. මේවා පුරවැසියා සහ රාජ්යය අතර පවතින සබඳතාවයේ මූලික පදනමට එල්ල වන බාධාවන්ය. ප්රජාතන්ත්රවාදී නිදහස සීමා කිරීමට යොදාගත හැකි බලතල නිර්මාණය කරමින්, එම නිදහස ආරක්ෂා කරන බවට විශ්වාසනීය ලෙස පොරොන්දු වීමට ආණ්ඩුවකට නොහැක. විනිවිද පෙනෙන සාකච්ඡා මගින් මෙම කෙටුම්පත නැවත සමාලෝචනය කිරීම සහ නීත්යානුකූල විරෝධතාවයන් අපරාධ ලෙස සැලකිය හැකි වගන්ති සංශෝධනය කිරීම ආණ්ඩුව පාර්ශ්වයෙන් අත්යවශ්ය වේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් ද මෙයට සමාන ගැටලු මතුකරයි. 2006 වසරේදී ශ්රී ලංකාව අපරානුමත කළ ‘අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය’ ක්රියාත්මක කිරීම සඳහා මෙය ඉදිරිපත් කර ඇති බව කියැවේ. කෙසේවෙතත්, විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (CPA) පෙන්වා දෙන්නේ අදාළ සම්මුතිය මගින් මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් බොහොමයක් විධිවිධාන අවශ්ය නොකරන බවයි. මෙම යෝජිත නීතිය පුළුල් පරාසයක අපරාධ දක්වා දීර්ඝ වන අතර, වසරක් දක්වා රඳවා තබාගැනීමේ නියෝගවලට ඉඩ සැලසීම, පොලිසිය හමුවේ කෙරෙන පාපොච්චාරණ නීතිමය සාක්ෂි ලෙස පිළිගැනීම සහ පුළුල් නිරීක්ෂණ බලතල හඳුන්වාදීම සිදුකරයි. අපරාධ ජාලයන් මර්දනය කිරීමේ අරමුණින් ගෙනෙන නීතියක් මගින් සංවිධානාත්මක අපරාධවලට එහා ගිය කාර්යයන් සඳහා යොදාගත හැකි වෙනම හදිසි බලතල පද්ධතියක් නිර්මාණය නොකළ යුතුය. එමෙන්ම, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු වූ අතවරයන් පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් හරහා ගොඩනඟා ගත් ආරක්ෂණ විධිවිධාන වෙනත් නමකින් එන නීති සම්පාදනයන් හරහා බලහීන නොකළ යුතුය. පවතින නීති මගින් මෙම අපරාධ පාලනය කිරීමට ඵලදායී ලෙස පහසුකම් සලසන්නේද නැතහොත් මෙවැනි විශේෂිත බලතල අත්යවශ්යද යන්න ආණ්ඩුව නැවත විමසා බැලිය යුතුය.
සිවිල් සමාජය
යෝජිත රාජ්ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත මගින් ආණ්ඩුවේ අභිප්රායන් පිළිබඳ තවත් පරීක්ෂණයක් ඉදිරිපත් කරයි. මහජන හෝ විදේශීය අරමුදල් ලබන සංවිධානවල මූල්ය පාරදෘශ්යභාවය අපේක්ෂා කිරීම, ඇතුළුව මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ පියවරයන් ගැනීම ආණ්ඩුවකට සාධාරණ වේ. ආසියා-පැසිෆික් කලාපය සඳහා වන මූල්ය කාර්යසාධක බලකායේ (FATF) අන්තර්ජාතික මට්ටමින් පනවා ඇති අවශ්යතා සපිරීමට මෙම පියවර ගන්නා බව පවසමින් ආණ්ඩුව සිය සීමා ඉක්මවා යෑම සාධාරණීකරණය කිරීමට උත්සාහ කරයි. එහෙත් FATF විසින් පවා රාජ්ය නොවන සංවිධාන අඩු හෝ මධ්යම ප්රමාණයේ අවදානම් සහිත කාණ්ඩ ලෙස වර්ගීකරණය කර ඇති පසුබිමක, සිවිල් සමාජය සහ රාජ්ය නොවන සංවිධාන අධික පරිපාලන පාලනයකට යටත් කිරීම සාධාරණීකරණය කළ නොහැක. මෙම කෙටුම්පත මගින් ලියාපදිංචි වීම සහ එය අලුත් කිරීම අනිවාර්ය කරන අතර, සංවිධාන වෙත විශාල වගකීම් ප්රමාණයක් පටවනු ලබයි. එමෙන්ම පුළුල් ලෙස අර්ථ නිරූපණය කළ හැකි හේතු මත සංවිධාන තහනම් කිරීමට හෝ ලියාපදිංචිය අහෝසි කිරීමට බලධාරීන්ට බලය ලබාදෙයි. රාජ්ය නොවන සංවිධාන ලියාපදිංචිය, අලුත් කිරීම, තහනම් කිරීම සහ ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් අධික අභිමතයක් ලබාදෙන විධිවිධාන නැවත කෙටුම්පත් කිරීම වැදගත් වේ.
රාජ්ය නොවන සංවිධාන පිළිබඳ කෙටුම්පත් නීතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරුවන් මතුකර ඇති කනස්සල්ල අතර, සංවිධාන විසින් ආණ්ඩුවේ ප්රතිපත්තිවලට අනුකූලව කටයුතු කළ යුතු බවට වන විධිවිධාන සහ මතවාදී වෙනස්කම්, විරෝධතා දැක්වීම මෙන්ම සංගම්වලට එකතුවීමේ නිදහසට බලපෑ හැකි සීමාවන් ද වේ. මෙහි බලපෑම ආණ්ඩුව සමඟ සෘජුව කටයුතු කරන සංවිධානවලට පමණක් සීමානොවී ඉන් ඔබ්බට ද පැතිර යයි. ප්රජා මූල සංවිධාන, මානව හිමිකම් සංවිධාන, ස්වාධීන පර්යේෂකයන් සහ සංහිඳියාව හෝ වගවීම වෙනුවෙන් කටයුතු කරන සංවිධානවල ක්රියාකාරකම් ද මෙම විධිවිධාන අර්ථ නිරූපණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් සීමාවීමට ඉඩ ඇත. ආණ්ඩුවේ ප්රතිපත්ති විවේචනය කරන සංවිධාන රටට එරෙහිව කටයුතු කරන බව ඉන් අදහස් නොවේ. එසේ කිරීමට ඔවුන්ට ඇති නිදහස, පිළිගත හැකි මතයන් සහ ක්රියාකාරකම් මොනවාදැයි ආණ්ඩුව විසින් තීරණය කරන පද්ධතියකින් ප්රජාතන්ත්රවාදය වෙනස් කර පෙන්වන ප්රධාන ලක්ෂණයකි.
දූෂණයට සහ අපරාධකාරීත්වයට එරෙහිව කටයුතු කිරීම තුළින් ආණ්ඩුව මහජනතාවගේ විශාල ගෞරවයක් දිනාගෙන ඇත. එම ගෞරවය මගින් රාජ්යයේ මර්දනකාරී බලතල ශක්තිමත් කිරීමට තමන්ට අසීමිත බලයක් ලැබී ඇතැයි ආණ්ඩුව සිතිය යුතු නැත. ආණ්ඩුවලට වෙනස් මතයන් තර්ජනයක් ලෙස සැලකිය හැකි බවත්, තමන්ගේ ප්රතිවාදීන්ට එරෙහිව රාජ්ය යන්ත්රණය යොදාගත හැකි බවත් ජාතික ජන බලවේග පක්ෂය සිය අතීත ඉතිහාසයෙන් හොඳින් දනී. විනිවිද පෙනෙන මහජන සාකච්ඡා, අපරාධ පිළිබඳ පටු අර්ථ නිරූපණයන්, රඳවා තබාගැනීම් සහ නිරීක්ෂණය කිරීම් කෙරෙහි අර්ථවත් අධිකරණ පාලනයක් සහ ඒකපාර්ශ්වික තීරණවලට එරෙහිව සඵලදායී පිළියම් ලබාදීම මගින් මෙම කෙටුම්පත් සංශෝධනය කිරීමට තවමත් කාලය තිබේ. රාජ්ය බලය අවභාවිත කිරීමට එරෙහි ආරක්ෂණ විධිවිධාන දුර්වල කරමින් දූෂණයට එරෙහිව සටන් කරන ආණ්ඩුවක්, තමන් ලබාගත් ජයග්රහණ පවා නැතිකර ගැනීමේ අවදානමකට ලක් වේ. පූර්ව ආණ්ඩුවල බලය අවභාවිත කිරීම් හෙළිදරව් කිරීමට අමතරව, අනාගතයේ කිසිදු ආණ්ඩුවකට දඬුවම් නොලබා බලය අවභාවිත කළ හැකි යැයි සිතීමට නොහැකි වන පරිදි පද්ධතියක් ගොඩනැගීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇත.