1 November, 2026

Blog

ඔස්ට්‍රේලියාව, අප ඔබේ සතුරන් නොවේ

ලයනල් බෝපගේ –

ආචාර්ය ලයනල් බෝපගේ

අප උසුලන බර

අප බොහෝ දෙනෙක් මෙහි පැමිණියේ බලාපොරොත්තුවට වඩා වැඩි යමක් නොමැතිවයි. අපි කොළඹ සහ චෙන්නායි හි සිට, කාබුල් සහ කාර්ටූම් හි සිට, බේරූට් සහ හැනෝයි හි සිට පැමිණියෙමු. අපි අලුයම කාර්යාල පිරිසිදු කළෙමු; රාත්‍රිය පුරා කුලී රථ ධාවනය කළෙමු. අපි අන් අයගේ දෙමාපියන් රැක බලා ගත්තෙමු, දෙවන භාෂාවකින් විභාග ලියුවෙමු, අප වරක නායකත්වය දුන් වෘත්තීන් වල පහළ ම තැන සිට නැවත ජීවිතය ආරම්භ කළෙමු. මෙරට මුල් වැසියන්ගෙන් (First Peoples) පැහැර ගත්, කිසිදා ඔවුන් විසින් පවරා නොදුන් භූමියක් මත මේ රට ගොඩනැඟීම ට අපිදු දායක වූයෙමු.

අද අපේ නිවෙස් මත දැඩි බරක් පැටවෙමින් තිබේ. වැටුප් ඉහළ යනවාට වඩා වේගයෙන් නිවාස කුලී ඉහළ යයි. සතිපතා බඩු මිල දී ගැනීම දැඩි ගණන් හිලව් බැලීමක් බවට පත්ව ඇත. තමන්ගෙන් ඉල්ලා සිටින සියල්ල ඉටු කරන ලද තරුණ තරුණියන් ට තමන්ගේම නිවසක් හිමි කර ගැනීම සිතා ගත නොහැකි වී ඇත. ආතතිය වැඩි වන විට, ඕස්ට්‍රේලියානුවන්ගේ දුෂ්කරතාවලට හේතුව අප – සංක්‍රමණිකයන් – බවට පවසන හුරුපුරුදු හඬක් ද වඩ වඩාත් වේගවත් වේ.

එය සත්‍යයක් නොවේ. නොවැම්බර් 28 වන දින වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර අප පැහැදිලිව, ස්ථිරව සහ එක්ව එසේ පැවසිය යුතුය.

අන් අයගේ යුද්ධවල හවුල්කරුවන්

ඕකස් (AUKUS) ගිවිසුම යුද්ධය සඳහා නොව ආරක්ෂාව සඳහා බව අපට කියනු ලැබේ. නමුත් අපගේ ඉතිහාසය පවසන්නේ වෙනත් කතාවකි. වියට්නාම යුද්ධය, 1991 ගල්ෆ් යුද්ධය, ඇෆ්ගනිස්ථාන යුද්ධය සහ සමූලඝාතන අවි (weapons of mass destruction) පිළිබඳ අසත්‍ය ප්‍රකාශ මත පදනම්ව 2003 දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළුව, පසුගිය වසර හැට තුළ ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද සෑම ප්‍රධාන යුද්ධයකට ම පාහේ ඕස්ට්‍රේලියාව සම්බන්ධ වී ඇත. මේ සෑම එකක් ම අලෙවි කරන ලද්දේ අපව ආරක්ෂා කරන ඒවා ලෙසයි. එහෙත්, ඒ සෑම එකක් ම අපගේ පවුල් බොහොමයක් පැමිණි රටවල දැවැන්ත විනාශයක් ශේෂ කළේය.

එම රටාව තවමත් දිගටම පවතී. මෙම වසරේ පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළ විට, ඇල්බනීස් ආණ්ඩුව ඕස්ට්‍රේලියාවේ භූමිකාව “සපුරා ම ආරක්ෂක” එකක් ලෙස විස්තර කළේය. එහෙත් එය ගල්ෆ් කලාපයට Wedgetail නිරීක්ෂණ ගුවන් යානයක් සහ ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල යැවූ අතර, මැයි මාසයේ දී හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික මෙහෙයුමකට ද එක් විය. ආරක්ෂක වුවත් නැතත්, එය තමන් ආරම්භ නොකළ යුද්ධයකට ඕස්ට්‍රේලියාව ඇද දැමීය.

AUKUS මෙම බැඳීම තවත් ගැඹුරු කරයි. 2021 දී මොරිසන් ආණ්ඩුව විසින් අත්සන් කරන ලද, ලේබර් පක්ෂය විසින් ද වැළද ගන්නා ලද මෙම ගිවිසුම සඳහා දශක තුනක කාලයක් පුරා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 368 ක් දක්වා වැය විය හැකිය. ලිබරල් පක්ෂය මුළුමණින් අවදියෙන් සිටිමින් අපව මෙම මාවතට ගෙන ගියේය; ලේබර් පක්ෂය දැන් ඒ දිගේ නින්දෙන් ඇවිද යයි.

ඉන්පසු ගාසා තීරයේ ප්‍රශ්නය එයි. 2025 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ විමර්ශණ කොමිසමක් ඊශ්‍රායලය එහි ජන සංහාරයක් සිදු කර ඇති බව තීරණය කළේය. එතැන් සිට කැන්බරාව පලස්තීන රාජ්‍යයක් පිළි ගෙන තිබුනද, ඔස්ට්‍රේලියාව තවමත් ගෝලීය F-35 වැඩ සටහනට අමතර කොටස් සපයයි. යුද්ධයෙන්, ආක්‍රමණයෙන් සහ සමූහ ඝාතන වලින් පලා ආ අපට, මෙය වියුක්ත කාරණයක් නොවේ. අපි එහි මිල හොඳින් දනිමු.

ඊශ්‍රායල ජාතිකයෝ ඔක්තෝබර් 27 වන දින ඡන්දය ප්‍රකාශ කළහ. මුල් ඡන්ද පොළ සමීක්ෂණ (exit polls) අනුව බෙන්ජමින් නෙතන්යාහුගේ කණ්ඩායමට හෝ ඔහුගේ අභියෝගකරුවන්ට බහුතරයක් නොලැබේ. දශක ගණනාවකින් පසු ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළම අගයක් ගත් අතර අරාබි පක්ෂ ඉදිරියට පැමිණ ඇත. මෙම සතිය අග භාගයේ ඡන්ද ගණන් කිරීම අවසන් වන විට, විශේෂයෙන් අවම සීමාව ආසන්නයේ සිටින පක්ෂ සම්බන්ධයෙන්, මෙම ගණන් හිලව් වෙනස් විය හැකිය. අවසාන ප්‍රතිඵලය කුමක් වුවත්, ප්‍රමුඛ අභියෝගකරු වන හිටපු හමුදාපති ගාඩි අයිසන්කොට් ප්‍රතිඥා දී ඇත්තේ, පලස්තීන රාජ්‍යයක් “දැනටත් නැත, මීළඟ රජය යටතේත් නැත” යනුවෙනි. ජෙරුසලමේ නව මුහුණක් යන්නෙන් ගාසාවේ නව මාවතක් අදහස් නොවිය හැකිය. කැන්බරා ද ඇතුලත්ව පිටතින් එන පීඩනය තවමත් වැදගත් වන්නේ එබැවිනි.

අර්බුදය සැබැවින් ඇති කළේ කව්ද?

“ගෝලීය උද්ධමනය” සහ පොලී අනුපාත නිසා, ඒවා කාලගුණය වැනි ස්වභාවික සංසිද්ධි මෙන් මිල ඉහළ යන බව අපට කියනු ලැබේ. ඒවා එසේ නොවේ. ඒවා නම් ගම් ඇති පුද්ගලයින් සහ පද්ධති විසින් කරන ලද තෝරා ගැනීම් වේ.

ඉරානයට එරෙහි යුද්ධය නිසා, සාමාන්‍යයෙන් ලෝකයේ තෙල්වලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුණි. ලෝක බැංකුව මෙය වාර්තාගත ඉතිහාසයේ විශාලතම තෙල් සැපයුම් බාධාව ලෙස හැඳින්වූ අතර මෙම වසරේ බලශක්ති මිල සියයට 24 කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කළේය. එහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා පහත දැක්වෙන අනුපිළිවෙළ; එනම්, ඉන්ධන මිල වැඩි වීම, පසුව ආහාර මිල වැඩි වීම, පසුව උද්ධමනය සහ ඉහළ පොලී අනුපාත, ගැන අනතුරු ඇඟවීය. පෙබරවාරියේ සිට සෑම පොලී අනුපාත වැඩි වීමක්ම සහ සෑම පෙට්‍රල් බිල්පතක්ම, ඕස්ට්‍රේලියානුවන් කිසි විටෙකත් ඡන්දය නොදුන් යුද්ධයක පිරිවැය උසුළයි.

නිවාස ක්ෂේත්‍රය ද සමාන කතාවක් කියයි. 1999 දී හවර්ඩ් ආණ්ඩුව ප්‍රාග්ධන ලාභ බද්ද සඳහා සියයට 50 ක වට්ටමක් හඳුන්වා දුන්නේය. සෘණාත්මක උත්තෝලනය (Negative gearing) සමඟ ඒකාබද්ධ කළ විට, එය නිවාස ආයෝජන නිෂ්පාදන බවට පත් කළේය. වසර විසිපහක් පුරා ප්‍රධාන පක්ෂ දෙකම මෙම සැකසුම් ආරක්ෂා කළහ.  2019 න් පසු ප්‍රතිසංස්කරණ සැලසුම් අතහැර දැමූ කම්කරු පක්ෂය, 2025 දී ඒවාට අත නොතබන බවට ඡන්දදායකයන්ට පොරොන්දු විය.

කම්කරු පක්ෂය ඒවා ක්‍රමයෙන් ආපසු හැරවීමට පටන් ගත්තේ මෙම මැයි මාසයේ දී යි: දැනට සිටින ආයෝජකයින් ආරක්ෂා කර ඇති අතර, නව ඉදිකිරීම් සඳහා පැරණි සහන දිගටම ලැබේ. සභාගය (Coalition) එය පවා අහෝසි කරන බවට ප්‍රතිඥා දී ඇත. අපේ දරුවන් නිවසකින් බැහැර කළ සමපේක්ෂණය (speculation)  සංක්‍රමණිකයන් විසින් ඇති කරන ලද්දක් නොවේ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති මගින් මෙහෙයවනු ලැබූ එයට, දේපළ සමපේක්ෂකයින්ගේ (speculators) සහාය ලැබුණි.

වන් නේෂන් පක්ෂය: වාර්තාව පෙන්වන දේ

මෙම අසතුට මැදට පෝලින් හැන්සන්ගේ වන් නේෂන් (One Nation) පක්ෂය පිවිස ඇත. වසර හතරකට පෙර, එය වික්ටෝරියාවේ පහළ මන්ත්‍රී මණ්ඩල ඡන්ද 8,000 ක් පමණ යන්තමින් දිනා ගත්තේය. මේ වසරේ එය වික්ටෝරියාවේ සියයට 20 කට වඩා ඡන්ද ලබාගෙන ඇති අතර, සමහර සමීක්ෂණවල ප්‍රාථමික ඡන්දයෙන් ඉදිරියෙන් ම සිට ඇත.

එහි ආරක්ෂකයින් පවසන්නේ එහි කනස්සල්ල මිනිසුන් ගැන නොව සංඛ්‍යා ගැන බවයි. එහෙත් වාර්තාවේ සඳහන් වන්නේ වෙනත් දෙයකි. 1996 දී පාර්ලිමේන්තුවට කළ ඇගේ පළමු කතාවේ දී, හැන්සන් අනතුරු ඇඟවූයේ ඕස්ට්‍රේලියාව “ආසියානුවන්ගෙන් යටපත් වී යෑමේ අනතුරක” තිබෙන බවයි. වසර විස්සකට පසු, ඇගේ පළමු සෙනේට් සභා කතාවේ දී, ඇය කියා සිටියේ අප “මුස්ලිම්වරුන්ගෙන් යටපත් වෙමින්” සිටින බවයි. ප්‍රසිද්ධිය සඳහා දෙවරක් බුර්කාවක් පැළඳ සෙනේට් සභා ගර්භයට පැමිණි ඇය, ඉතා මෑතක 2025 දී එසේ කිරීම නිසා සභාවෙන් අත්හිටුවන ලදී. 2018 දී ඇය “සුදු වීම කමක් නැහැ” (“It’s OK to be white”) යන සටන් පාඨය සෙනේට් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළාය. මෙය ජනගහන සැලසුම්කරණය පිළිබඳ විවාදයක් නොවේ. එය මෙරටට අයිති වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව වෙයි.

‘වන් නේෂන්‘ (One Nation) පක්ෂය කිසි විටෙකත් වැඩ කරන පවුල් වෙනුවෙන් පෙනී සිට නැත. 2017 දී මහා පරිමාණ ව්‍යාපාර සඳහා වන සමාගම් බදු කප්පාදුවට සහාය පළ කිරීමට පොරොන්දු වූ ඔවුහු, එයින් පසු බැස්සේ 2018 වසරේ දී පමණි. ඔව්හු එම වසරේ ම ටර්න්බුල් (Turnbull) ආණ්ඩුවේ ආදායම් බදු යෝජනා ක්‍රමයට පක්ෂව ඡන්දය දුන් අතර, ඉන් වැඩිම ප්‍රතිලාභ හිමි වූයේ ඉහළ ආදායම් ලබන්නන්ට ය. ධනවතුන්ට වාසිදායක වන අයුරින් ඡන්දය ප්‍රකාශ කරන අතර, ඔබ ගෙවන නිවාස කුලිය සම්බන්ධයෙන් සංක්‍රමණිකයන්ට දොස් පවරන පක්ෂයක්, කිසිසේත්ම ඔබේ පැත්තේ සිටින පක්ෂයක් නොවේ.

ලිබරල් පක්ෂය පා වෙයි, ලේබර් පක්ෂය පැකිළෙයි

වික්ටෝරියානු ලිබරල් පක්ෂය පැහැදිලි රේඛාවක් අඳිනවා වෙනුවට, වන් නේෂන් පක්ෂය දෙසට පා වී ගොස් ඇත. මැයි මාසයේ පැවති නේපියන් අතුරු මැතිවරණයේ දී, ඔවුන් ස්වාධීන අපේක්ෂකයෙකුට වඩා ඉහළින් වන් නේෂන් පක්ෂයට මනාප ලබා දුන් අතර, වන් නේෂන් පක්ෂය ද ඊට ප්‍රතිචාර දැක්වීය. හිටපු ප්‍රාන්ත අගමැති ජෙෆ් කෙනත් “ලේබර් විරෝධී හවුල්කාරිත්වයක්” ඉල්ලා තිබේ. විපක්ෂ නායිකා ජෙස් විල්සන් විධිමත් සන්ධානයක් ප්‍රතික්ෂේප කර තිබෙන නමුත්, නමින් හැර අන් සෑම අතකින්ම එවැන්නක් ඇති කළ හැකි මනාප හුවමාරුව ප්‍රතික්ෂේප කර නැත.

දැන් ප්‍රාන්ත අගමැති බෙන් කැරොල් විසින් මෙහෙයවනු ලබන වික්ටෝරියානු ලේබර් පක්ෂය කිසිදු නිර්භීත විකල්ප දැක්මක් ඉදිරිපත් කර නැත. එය පිළිතුරු දෙන්නේ, බොහෝ ඡන්දදායකයින් වෙනත් තැනකට දැනටමත් තල්ලු කර දමා ඇති එම කළමනාකරණ අධි පරෙස්සමෙන් යුතුවමය.

අපේම ප්‍රජාවන් වෙත වචනයක්

ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ප්‍රජාවන්ගේ හඬවල් ඇතුළුව අපෙන් සමහර දෙනෙක් දකුණට ඇදී ගොස් ඇත්තේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, පවුල් වටිනාකම් සහ කුඩා ව්‍යාපාර එහි දී අගය කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. එම හැඟීම තේරුම් ගත හැකිය. නමුත් ඉතිහාසය අපට බරපතළ පාඩමක් ලබා දෙයි.

නවකයින්ට දොස් පැවරීම මත ගොඩනගා ඇති දේශපාලනය කිසි විටෙකත් එය මුලින්ම ඉලක්ක කරන නවකයින් සමඟින් නතර නොවේ. අද එය “සංක්‍රමණිකයන් වැඩිය” යන්නයි. හෙට එය ඔබේ ඥාති සහෝදරයාගේ වීසා බලපත්‍රය, ඔබේ පන්සල හෝ පල්ලිය, රැකියා සම්මුඛ පරීක්ෂණයක දී ඔබේ උච්චාරණය විය හැකිය. කොතරම් පක්ෂපාතිත්වයක් තිබුනත්, කාට හෝ දොස් පැවරීමට අවශ්‍ය දේශපාලනයකින් නිදහස් වෙන්නට කිසිදු පක්ෂපාතිත්වයකට නොහැකිය.

ජීවන වියදම් අර්බුදය ඇති කළ ප්‍රතිපත්තිවලට ම ඔවුන් සහාය දක්වන බැවින් ප්‍රධාන පක්ෂ කිසිවක් එම අර්බුදය විසඳන්නේ නැත.

බෙල්ග්‍රේඩ් සහ බ්‍රසීලයෙන් පාඩම්

වෙනස, කළ නොහැකි දෙයක් නොවේ. ඔක්තෝබර් 25 වන දින සර්බියාවේ, නොවි සාඩ් දුම්රිය පලේ සිදු වූ ව්‍යසනයෙන් පසු ඇති වූ ශිෂ්‍ය විරෝධතාවලින් බිහි වුන ව්‍යාපාරයක් ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ දක්ෂිණාංශික ජනතාවාදී පක්ෂයේ වසර දාහතරක පාලනය අවසන් කරමින් සම්පූර්ණ බහුතරයක් දිනා ගත්තේය.

එදිනම බ්‍රසීල ජනතාව සියයට 52 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙමින් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යලි තෝරා පත් කර ගත්හ. පළමු වටයේ දී පසුපසින් සිටියද, ඔහු අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපතිගේ පුත්‍රයා වූ ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කළේය. ප්‍රංශයේ, උසස් පාසල් සිසුන් අරමුදල් නොමැති පාසල් සම්බන්ධයෙන් වීදි බැස ඇති අතර, ඉහළ යන මිල ගණන් නිසා කම්කරුවන් ද ඔවුන් සමඟ එක් වී ඇත.

මේ කිසිවක් ඉහළින් ලබා දී නැත. ගෙයින් ගෙට ගොස් එය සංවිධානය කරන ලද්දේ කිසිවක් වෙනස් කළ නොහැකිය යන්න පිළිගැනීම ප්‍රතික්ෂේප කළ සාමාන්‍ය ජනතාව විසිනි.

ඕස්ට්‍රේලියාව, අවදිවෙන්න; සංක්‍රමණිකයිනි, අවදිවෙන්න

සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියානු ජනතාවගේ සතුරන් නොවේ. ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් ද සතුරන් නොවේ. සැබෑ අනතුර වන්නේ, එකට එක්ව ඉහළම සියයට එකට වැඩි වැඩියෙන් ලබා දෙන අතර අනෙක් සියළු දෙනාටම ඉතිරිව තිබෙන දේ සඳහා සටන් කරන ලෙස කියනු ලබන යල් පැන ගිය සහ අසමාන ආර්ථික ආකෘතියක් සහ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

නොවැම්බර් 28 වන දින වික්ටෝරියානුවෝ සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇත. ඔබේ ඡන්ද ලියාපදිංචිය පරීක්ෂා කරන්න. සටන් පාඨ නොව ඔවුන්ගේ කටයුතු පිළිබඳ වාර්තාව කියවන්න. ගෙවල් කුලිය, වැටුප් සහ රාජ්‍ය සේවා ගැන ඔවුන් කුමක් කරනු ඇත්ද යන්න සහ AUKUS, හෝමුස් සහ ගාසා සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව සෑම අපේක්ෂකයෙකුගෙන් ම විමසන්න. ඔබේ වැඩිහිටියන්, ඔබේ දරුවන්, ඔබේ ප්‍රජාවන් සමඟ කතා කරන්න.

අප මෙහි පැමිණියේ ගොඩනැගීමට මිස දොස් පවරනු ලැබීමට නොවේ. එය සිහියේ තබා ගෙන අපි ඒ අනුව අපේ ඡන්දය ප්‍රකාශ කරමු.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment