
ජෙහාන් පෙරේරා
දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට රජය ගෙන ඇති අධිෂ්ඨානය, එය තමන් වෙත පවරාගෙන ඇති වැදගත්ම අභියෝගයකි. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ දැවැන්ත පරිමාණය, මුහුදෙන් සහ ගුවන් තොටුපළෙන් මෑතකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග මඟින් මනාව පැහැදිලි වේ. සමහර තොගවල වීදි වටිනාකම අතිවිශාල ඩොලර් මිලියන ගණනකට ආසන්න වී ඇතැයි වාර්තා වේ. මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සතුව ඇති මූල්‍ය සම්පත් අතිමහත්ය. පුද්ගලයන් සහ ආයතන දූෂණය කිරීමට ඔවුන්ට ඇති හැකියාව අඩු තක්සේරුවකට ලක් කළ නොහැක. මත්ද්‍රව්‍ය ජාවාරමට පෙර පාලනයන් සමඟ සම්බන්ධ වූ පුද්ගලයන්ගේ, ඔවුන්ගේ පවුල්වල සහ ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවා සම්බන්ධතා හෙළිවීම විශේෂයෙන්ම කම්පන සහගතය. මෙය සරල නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් පමණක් නොවේ. එය රාජ්‍යයේ අඛණ්ඩතාවට එල්ල වූ තර්ජනයකි. අතීතයේ සිටි කිසිදු ආණ්ඩුවකට වඩා ක්‍රමානුකූලව සහ බැරෑරුම් ලෙස රජය මෙම අභියෝගයට මුහුණ දෙන බවක් පෙනෙන්නට තිබේ.
පසුගිය සතියේ පැවති මහජන හමුවීම් දෙකකදී ජනාධිපතිවරයා රජයේ ස්ථාවරය පැහැදිලි කළේය. පළමුවැන්න වූයේ, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන වන “රටම එකට” වැඩසටහනේ පළමු සංවත්සරය සනිටුහන් කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 2,000 ක පමණ සහභාගීත්වයෙන් සහ අනෙකුත් ආගමික ප්රජාවන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකි. එහි අරමුණ වූයේ ප්‍රගතිය පිළිබඳව ආගමික නායකයන් දැනුවත් කිරීම සහ රට පුරා ප්‍රජාවන් වෙත පණිවිඩය ගෙනයාම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමයි. දෙවැන්න කොළඹ පැවති වෘත්තීය සමිති සමුළුවක් වන අතර, එහිදී ජනාධිපතිවරයා යෝජිත ප්‍රති-ත්‍රස්තවාදී සහ අපරාධ මර්දන නීති සම්බන්ධයෙන් මතු වූ ගැටලුවලට ප්‍රතිචාර දැක්වීය. මෙම අවස්ථා දෙකේදීම, ජනාධිපතිවරයා යෝජිත නීතිවලට විරුද්ධ වන කණ්ඩායම් දෙකක් අතර වෙනසක් පෙන්වාදුන්නේය. එක් කණ්ඩායමක් සමන්විත වූයේ අපරාධ කණ්ඩායම්වලින් සහ ඔවුන්ට අනුග්‍රහය සහ ආරක්ෂාව ලබාදෙන්නන්ගෙන්ය. අනෙක් කණ්ඩායම සමන්විත වූයේ ප්රජාතන්ත්රවාදය, මූලික අයිතිවාසිකම් සහ නීිතිරීතිවල දෘෂ්ටිකෝණයෙන් උත්සුකයන් මතුකරන සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් කණ්ඩායම්වලිනි. මෙම දෙවැනි කණ්ඩායමට සවන්දීමට සහ ඔවුන් සමඟ නීති සම්පාදනය සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත්, මේවා සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතු ගැටලු බවත් ජනාධිපතිවරයා පැවසීය.
1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) ක්‍රියාත්මක වන අතර, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POC පනත) මඟින් සංවිධානාත්මක අපරාධවලට එරෙහිව නව බලතල බලධාරීන්ට ලබාදෙනු ඇත. විපක්ෂයේ පක්ෂ, සිවිල් සමාජය සහ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානවල විවේචනවලට පිළිතුරු දීමේ කාර්යය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පෞද්ගලිකවම භාරගෙන ඇත. රාජ්‍යයේ අඛණ්ඩතාව යථාතත්වයට පත්කිරීමේ රජයේ වැඩසටහනේ මධ්‍යම ස්ථම්භයන් දෙකක් මෙම පනත් කෙටුම්පත් දෙක මඟින් සමන්විත වන බව මෙයින් පෙනීයයි. කෙසේවෙතත්, මෙම කෙටුම්පත් නීති දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති විවේචන සැලකිය යුතුය. පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත්කරන ලද පිටු 31ක ලිපියකින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිතයන් පස්දෙනකු අනතුරු ඇඟවුයේ POC පනත මඟින් වධහිංසා පැමිණවීම සහ අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීමේ අවදානම වැඩිකළ හැකි බවයි. මහේස්ත්රාත්වරයකුගේ සමාලෝචනයකට පෙර පැය 72 ක කාලයක් පොලිස් භාරයේ රඳවා තබාගැනීම සහ අමාත්‍යවරයාගේ අනුමැතිය මත පොලිස් ස්ථානවල වසරක් දක්වා රඳවා තබාගැනීම ඔවුහු පෙන්වාදුන්හ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට කරන පාපොච්ඡාරණයක් පිළිගැනීම, අධිකරණ අනුමැතියකින් තොරව දුරකථන වාර්තා වෙත පොලිසියට ප්‍රවේශ වීමට ඇති හැකියාව, සංකේතනය කළ (encrypted) සන්නිවේදන නිරීක්ෂණය කිරීම සහ වෘත්තීය සමිති නායකයන් සහ විරෝධතාකරුවන් මෙම නීතියට යටත්වීමේ හැකියාව ද ඔවුහු පෙන්වාදුන්හ.
ප්‍රමාණවත් නොවන ආරක්ෂාව
ප්‍රසිද්ධ දේශනයක් අතරතුර ජනාධිපතිවරයා විසින් පැය 72 ක කාලය පැය 48 දක්වා අඩුකිරීමට ඉදිරිපත් කළ සංශෝධනය පිළිගත හැකි සුබවාදී ලකුණකි. සාමාන්‍ය අපරාධ ක්‍රියා පටිපාටියේ පැය 24ක සම්මතයට අවසන් පාඨය ළඟාවන්නේද, නැතහොත් එයින් ඔබ්බට රඳවා තබාගැනීම සඳහා අධිකරණ අනුමැතිය අවශ්‍ය වන්නේද යන්න වඩා හොඳ පරීක්ෂණයයි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලැබුණු අත්දැකීම් මඟින් මෙය වැදගත් වන්නේ මන්දැයි පෙන්වාදෙයි. සුවිශේෂී තර්ජන සඳහා අදහස් කරන නීති ප්‍රායෝගිකව පුළුල් යෙදීමකට ලක්විය හැක. දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ කටුක අත්දැකීම් මඟින් පෙන්වා දී ඇත්තේ කිසිදු චෝදනාවක් නොමැතිව මිනිසුන්ට වසර ගණනාවක් රඳවා තබාගැනීමට සිදුවිය හැකි බවත්, අවසානයේ කිසිදු චෝදනාවක් ගොනුනොකර නිදහස් කරනු ලබන බවත්ය. රඳවා තබාගැනීමේදී ඔවුන්ට අහිමි වන කාලය කිසිදා ආපසු ලබාදිය නොහැක. කිසිදු වරදකට වරදකරු නොවී, ඔවුන්ගේ ජීවිතවල හොඳම සහ වඩාත්ම ඵලදායී වසර, ජීවනෝපායන් සහ පවුල් සබඳතා ඔවුන්ට අහිමි විය හැක. එවැනි අහිමිවීමක් සඳහා කිසිදු පසුකාලීන නිදහස් කිරීමකට වන්දි ගෙවිය නොහැක. මෙය එවැනි අසාධාරණයක් සිදුවිය හැකි තත්වයන් නිර්මාණය කරනවා වෙනුවට, එබඳු අසාධාරණයක් වැළැක්වීම සඳහා නීති සකස් කළ යුතු ආකාරයේ අසාධාරණයකි.
මෙහි මූලික මූලධර්මයක් පවතී. පුද්ගලයන්ගේ නිදහස මහජන නිලධාරීන්ගේ හෝ ආරක්ෂක අංශවල අභිමතය පරිදි ලබා දිය නොහැක. රාජ්‍යය පුද්ගලයෙකුගේ නිදහස අහිමි කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම, අධිකරණයට අධිකාරී සහ තීරණාත්මක කාර්යභාරයක් තිබිය යුතුය. මෙය බරපතල අපරාධවලට සැකකරුවන්ට ලෙන්ගතුකම පෙන්වීමේ ප්‍රශ්නයක් නොවේ. අත්අඩංගුවට ගනිමින් පුද්ගලයන්ගේ නිදහස අහිමි කිරීමට, රඳවා තබාගැනීමට සහ සීමාකිරීමට ඇති බලය රාජ්‍යය විසින් ක්‍රියාත්මක කරන ලද වැදගත්ම බලතල සමග පවතින අතර, එබැවින් එහිදී ශක්තිමත් ආරක්ෂාවන් අවශ්‍ය වේ යැයි පිළිගැනීමක් පවතී. අපරාධ විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට අවශ්‍ය බලතල නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතුවිය යුතුය, නමුත් පුද්ගලයෙකුට කොපමණ කාලයක් නිදහස අහිමි කළ හැකිද යන්න පිළිබඳව එකම විනිසුරුවරුන් විය නොහැක. එම වගකීම ස්වාධීන අධිකරණයක් තුළ ගැඹුරින් පිහිටා තිබිය යුතුය. අපරාධකරුවන්ගෙන් සමාජය ආරක්ෂා කිරීමට රාජ්‍යයට ක්‍රමවේදයක් ඇත, නමුත් රාජ්‍ය බලය යුතු ලෙස භාවිත කිරීමෙන් අහිංසකයන් ආරක්ෂා කිරීමට ද එයට සමානව වැදගත් ක්‍රමවේදයක් ඇත. අපරාධවලට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහයේ විශ්වසනීයත්වය රඳාපවතින්නේ මේ දෙකම කිරීමට ඇති හැකියාව මතය.
එමනිසා පනත් දෙකේදීම අධිකරණවල කාර්යභාරය ශක්තිමත් කළ යුතුය. දීර්ඝකාලීන රඳවා තබාගැනීම්, නීතිමය නියෝජනය සඳහා ප්‍රවේශය, පාපොච්චාරණවල පිළිගත හැකි බව සහ පෞද්ගලික නිදහස මත පනවන සීමාවන් පිළිබඳ තීරණ අර්ථවත් අධිකරණ පරීක්ෂාවකට යටත් විය යුතුය. පොලිසිය සහ විධායක බලධාරීන් විසින් ගන්නා ලද තීරණ හුදෙක් අනුමත කරනවා වෙනුවට, ගත් ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය සහ සමානුපාතිකභාවය විමර්ශනය කිරීමට අධිකරණවලට බලය තිබිය යුතුය. ඇතැම් අර්ථ දැක්වීම්වල පුළුල්කම මඟින් අපරාධ හැසිරීම් පිළිබඳ සාක්ෂි මත පදනම්ව නොව, ඔවුන්ගේ ඇසුර හෝ අනෙකුත් ලක්ෂණ මත පදනම්ව පුද්ගලයන් නීතියේ විෂය පථයට ඇතුළත් කළ හැකිද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරයි. ආරක්ෂක ආයතනවල සාමාජිකයින්ට පුළුල් බලතල ක්‍රියාත්මක කළ හැකි අතර අධිකරණ නිලධාරීන්ට මැදිහත් වීමට ඇති හැකියාව සීමිත වන පද්ධතියක් මඟින් සියලුම පුරවැසියන් ආරක්ෂා කරන ව්‍යවස්ථාමය ආරක්ෂාවන් දුර්වල කරනු ඇත.
ධනාත්මක දර්ශකය
සිවිල් සමාජය සහ මානව හිමිකම් විවේචකයන් සමඟ කටයුතු කිරීමට ජනාධිපතිවරයා දැක්වූ කැමැත්ත ධනාත්මක දර්ශකයකි. පනත් කෙටුම්පත් ඉක්මනින් පාර්ලිමේන්තුව හරහා ගෙන නොයන බවට, පුළුල් සාකච්ඡාවකින් සහ පුළුල් එකඟතාවකින් පසුව පමණක් සලකා බලන බවට ඔහු දුන් සහතිකය ද එවැන්නකි. අදාළ පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කරන ලෙස ඔහු අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දී ඇත. PSTA කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීම සහ පනත් කෙටුම්පත් දෙකම ව්‍යවස්ථාමය පදනමින් අභියෝගයට ලක්කර තිබීම පරීක්ෂා කිරීම සඳහා තවත් වැදගත් මාර්ගයක් සපයයි. විවේචකයන් සමඟ රජය ගැටුමකට පැටළෙනවා වෙනුවට නීති සම්පාදනය වැඩිදියුණු කිරීමට මෙම වර්ධනයන් අවස්ථාවක් ලබාදෙයි. යහපාලනය සඳහා රජයේ කැපවීමේ පරීක්ෂණය වනුයේ, එය මුලින් අවශ්‍ය යැයි සිතූ විධිවිධානවලට වෙනස්කම් කිරීම ඇතුළුව, සාධාරණ විවේචන අවසන් නීතිවලට ඇතුළත් කරන්නේද යන්නයි.
යහපාලනයේ එක් අංගයක් වන්නේ කාලයේ පරීක්ෂාවට ඔරොත්තු දෙන වෙනස්කම් සිදුකිරීමයි. අනාගත නීති සම්පාදනය ස්වාධීන පරීක්ෂාවකට, නීතිඥ සංගමය, වෘත්තීය සමිති, මාධ්‍ය ආයතන, සිවිල් සමාජය සහ විපක්ෂ පක්ෂ සමඟ අර්ථවත් සාකච්ඡාවකට සහ පාර්ලිමේන්තුවට ළඟාවීමට පෙර දැඩි මානව හිමිකම් තක්සේරුවකට යටත් වන බව සහතික කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රණ රජය සතුව ඇති බව පෙන්විය යුතුය. රජයක විශ්වසනීයත්වය මනිනු ලබන්නේ අපරාධවලට එරෙහිව සටන් කිරීමට ඇති අධිෂ්ඨානයෙන් හෝ විවේචනවලට සවන්දීමට ඇති කැමැත්තෙන් පමණක් නොව, එය සිය ව්‍යවස්ථාදායක බලතල ක්‍රියාත්මක කරන සැලකිල්ලෙනි. නීති සම්පාදනය ගොඩනැගිය යුත්තේ මහජන මතභේදවලට ලක්වීමෙන් පසු එහි දුර්වලතා නිවැරදි කරගැනීමට වඩා, ශක්තිමත් නීතිමය පදනම්, දැනුවත් මහජන සාකච්ඡා සහ ප්රජාතන්ත්රවාදී එකඟතාව මතය. එකඟතාවකට පැමිණීමට වැඩි කාලයක් ගතවිය හැක, නමුත් ලැබෙන වෙනස්කම් පිළිගැනීමට, ගරුකිරීමට සහ තිරසාර වීමට වැඩි ඉඩක් ඇත. අභියෝගය වන්නේ අද සංවිධානාත්මක අපරාධවලට මුහුණදීමට තරම් ශක්තිමත් නීති පැනවීම පමණක් නොව, අනාගත පාලනයන් යටතේ සමාජය සහ පුද්ගල නිදහස ආරක්ෂා කරන නීති සහ ආයතන පිහිටුවීමයි.