
ආචාර්ය ලයනල් බෝපගේ
අනුමත කළ මුදල්, වැය නොකළ මුදල්
2027 අයවැය වගවීම පිළිබඳ භාෂාව කතා කරයි. පුරවැසියන් මහජන මුදල්වල සැබෑ හිමිකරුවන් බවත් රජය සෑම බදු රුපියලකට ම වටිනාකමක් ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැවසීය. මෙම ලිපිය අදාළ කර ගන්නා ප්‍රමිතිය එයයි. 2025 වාර්තාව පරතරය පෙන්වා දෙයි. හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 දක්වා පහත වැටුණු අතර ආදායම සියයට 16.6 කරා ළඟා වූ නමුත් ප්‍රාග්ධන වියදම් මන්දගාමී විය. ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරන ලද රුපියල් ට්‍රිලියන 1.3 න් 2025 අග වන විට වැය කර තිබුණේ සියයට 45 ක් පමණ වන අතර, වසර අවසානයේ දියත් කරන ලද කඩිනම් වැඩපිළිවෙළක් මගින් එය දළ වශයෙන් හතරෙන් තුනක් දක්වා ඉහළ නංවා ලීය. නිශ්චිත වෙන් කිරීම්වලින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු අන්දමින් යොදවා නොමැති බව ස්වාධීන නිරීක්ෂණවලින් පෙනී ගියේය. ගැටලුව වූයේ තොරතුරු හෙළිදරව් කිරීම නොවේ. එය ක්රියාවේ යෙදවීමයි.
මෙයට හේතු හොඳින් වටහා ගෙන තිබේ. අයවැය ප්‍රමාද වීම නිසා අමාත්‍යාංශවලට අතුරු සම්මත ගිණුමක් (Vote on Account) අනුව කටයුතු කිරීමට සිදු විය. විගණන පරීක්ෂණ පිළිබඳව බිය නිසා ප්‍රසම්පාදන කටයුතු ඉතා ප්‍රවේසමෙන් සිදු කිරීමට යාමෙන් ටෙන්ඩර් ක්‍රියාවලිය මන්දගාමී විය. ශක්‍යතා අධ්‍යයනයන් හෝ නීතිමය රාමු සකස් කිරීමටත් පෙර ඇතැම් ව්‍යාපෘති ප්‍රකාශයට පත් කර තිබූ අතර, ‘දිට්වා‘ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් අමාත්‍යාංශවලට හදිසි ආපදා කටයුතු සඳහා යොමු වීමට සිදු විය. ප්රාග්ධනය අඩුවෙන් වියදම් කිරීම ප්‍රාථමික අතිරික්තය ආකර්ෂණීය ලෙස පෙන්වන අතර එමඟින් ආර්ථිකයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් අහිමි වේ.
2027 වසර සඳහා වන රාමුව එම කතාවේ සහ එහි ඇමුණුම්වල දක්වා ඇත. ආදායම් සහ ප්‍රදාන රුපියල් බිලියන 6,180ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 15.8කි. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.8ක් වන අතර ‘දිට්වා‘ (Ditwah) පරිපූරක ඇස්තමේන්තුව ද සමඟ ගත් විට එය සියයට 4.5කි. රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5ක් වන අතර පරිපූරක ඇස්තමේන්තුව ද සමඟ එය සියයට 5.1කි. පුවත්පත් වාර්තාවලට අනුව දළ ණය ගැනීම් රුපියල් ට්‍රිලියන 3.8ක් පමණ වන අතර ණය සේවාකරණය අපේක්ෂිත ආදායමෙන් සියයට 79ක් පමණ වේ; ඕනෑම පරිවර්තනීය න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කළ යුත්තේ මෙම සීමාවන් තුළය.
මෙයට විසඳුම පසුවිපරම් (අධීක්ෂණය) කිරීමයි. කාර්තුමය වශයෙන් ප්‍රගතිය සොයා බැලීම මගින්, අක්‍රීය වී ඇති ව්‍යාපෘති නොවැම්බර් මාසය වන තෙක් නොසිට වසර මැද වන විටම හඳුනා ගැනීමට හැකි වනු ඇත. වසර මැද වන විට වියදම් කිරීමට නොහැකි වන අරමුදල් වඩාත් හොඳින් ක්‍රියාත්මක වන අංශ වෙත නැවත වෙන් කළ යුතු අතර, නව ප්‍රතිපාදන ලබා දීමට පෙර පාර්ලිමේන්තුව විසින් විධිමත් වසර අවසාන සමාලෝචනයක් පැවැත්විය යුතුය.
අපනයන පළමුව, ජනතාව පසුව?
කතාවේ අරමුණ වන්නේ ඉන්දියාව, චීනය, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP), එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම්වල අනුග්‍රහය ඇතිව, අපනයන තරගකාරී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමයි. ආධාරකරුවන් පෙන්වා දෙන්නේ 2025 වසරේ 5% ක ආර්ථික වර්ධනයක්, 2026 දෙවන කාර්තුවේ 4.2% ක වර්ධනයක්, ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක සෘජු විදේශ ආයෝජන සහ ඇමරිකානු ඩොලර් බිලියන 8.1 ක වාර්තාගත විදේශ ප්‍රේෂණ ලැබීම පිළිබඳවයි. එම ජයග්‍රහණ ඇගයීමට ලක් විය යුතුය.
විවේචනය තවමත් වලංගු වේ. අයවැයෙහි කාර්මික අන්තර්ගතය ඉතා දුර්වල වන අතර, එහි වාණිජමය පියවරයන් බොහෝ දුරට ලිබරල්කරණය දෙසට නැඹුරු වී ඇත. විවෘත සහනාධාර වෙනුවට දිරිගැන්වීම් ඉලක්ක ගත, කාල සීමාවකට යටත් සහ කාර්යසාධනය මත පදනම් වූ ඒවා විය යුතු බව ODI Global ආයතනය තර්ක කරයි. බාහිර ගිණුම ද දුර්වල වී ඇති අතර, ආර්ථික වර්ධනයේ ආනයන අන්තර්ගතය (import content of growth) ඉහළ මට්ටමක පවතී නම් අපනයන වැඩි කිරීමෙන් පමණක් පලක් නොවනු ඇත.
ගෘහස්ථ සහන මිශ්‍ර ස්වරූපයක් උසුලයි. බදු නිදහස් සීමාව මසකට රුපියල් 162,500 දක්වා ඉහළ නංවා ඇති නමුත්, එය ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් රුපියල් 200,000 සීමාවට වඩා අඩු අගයකි; එමෙන්ම මෙම සහනය වැඩි වශයෙන් වාසිදායක වන්නේ සාමාන්‍ය ආදායම් මට්ටමට වඩා වැඩි ආදායම් ලබන අයටයි. 2026 ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 8.3 දක්වා ළඟා වී තිබියදී, සහනාධාර සහ මුදල් මාරු කිරීම් (transfers) මූල්‍යමය වශයෙන් රුපියල් බිලියන 1,572 සිට රුපියල් බිලියන 1,472 දක්වා පහත වැටී ඇත.
අංශගත ප්රමුඛතාවලින් මෙම අසමතුලිතතාව පැහැදිලිව පෙනේ. ආරක්ෂක අංශය සඳහා රුපියල් බිලියන 458 ක් ද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය සඳහා රුපියල් බිලියන 590.5 ක් ද වෙන් කර ඇති අතර, අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 328 ක් පමණි. අමාත්‍යාංශ මුළු වියදම් අනුව බලන විට, ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6% ක ඉලක්කයට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වෙන් වී ඇත්තේ 0.8% ක් පමණ වන අතර, අවම වශයෙන් 3% ක ඉලක්කයට සාපේක්ෂව සෞඛ්‍ය සඳහා වෙන් වී ඇත්තේ 1.5% ක් පමණි. පාසල් අධ්‍යාපනයෙන් සහ සෞඛ්‍ය සේවාවන්ගෙන් විශාල කොටසක් පළාත් සභා හරහා සැපයෙන බැවින් සැබෑ අගයන් මීට වඩා ඉහළ වුවද, පවතින පරතරය තවමත් ඉතා විශාලයි.
ඉදිරි මාස දොළහේ පරීක්ෂණය
සුපිරි බහුතර බලයක් හිමිව ඇති ආණ්ඩුව, වගවීම සිය පණිවිඩයේ ප්‍රධානතම අංගය බවට පත් කර ගෙන ඇත. පහත දැක්වෙන නිර්දේශ ඉදිරිපත් කරනු ලබන්නේ ද එම අරමුණ පෙරදැරි කර ගෙනය. සැබෑ ප්රතිලාභ අත් කර දී ඇති මූල්‍ය විනය අත්හරින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා නොසිටින එම නිර්දේශ, පවතින ස්ථාවරත්වය ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත් කරන ලෙස ඉල්ලා සිටියි.
1. ක්‍රියාත්මක කිරීම දෘශ්‍යමාන කරන්න. 2027 වසරේ මුල් භාගයේ සිට සෑම අමාත්‍යාංශයකම කාර්තුමය ප්‍රාග්ධන වියදම් ප්‍රකාශයට පත් කරන්න; තවද 2028 විසර්ජන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පෙර වසර අවසාන පාර්ලිමේන්තු සමාලෝචනය අනිවාර්ය කරන්න.
2. සමාජ ඉලක්ක කරා ළඟා වන මාවත ප්‍රකාශයට පත් කරන්න. මධ්‍යම රජයේ සහ පළාත් සභාවල ඒකාබද්ධ සංඛ්‍යාලේඛන ද ඇතුළත් කරමින්, අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6% ක් සහ සෞඛ්‍ය සඳහා අවම වශයෙන් 3% ක් දක්වා ළඟා වීමට අදාළ පිරිවැය ගණනය කළ ක්රමානුකූල සැලැස්මක් (costed glide path) ඉදිරිපත් කරන්න.
3. ආරක්ෂක වියදම් පරීක්ෂාවට ලක් කරන්න. ආරක්ෂක සහ මහජන ආරක්ෂාව සඳහා ඒකාබද්ධව රුපියල් බිලියන 688.5 ක් වෙන් කර ඇති බැවින්, ආරක්ෂක ප්‍රසම්පාදන සැලසුම් ක්‍රියාවලිය සහ සේවක පිරිවැය ගමන් කරන මග පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතුය.
4. සහන ඉලක්ක ගත කරන්න. පළමුව පහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙත බදු සීමාවන් යොමු වන පරිදි අදියරගත කරන්න, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පවතින වැට් (VAT) බදු නිදහස් කිරීම් ආරක්ෂා කරන්න, මුදල් පැවරුම් (සහනාධාර) උද්ධමනයට අනුකූලව මාරු කිරීම් (transfers) තබා ගන්න, එමෙන්ම, බදු පැකේජයේ බෙදාහැරීමට අදාළ බලපෑම ප්‍රකාශයට පත් කරන්න.
5. වෙළඳාම සඳහා කොන්දේසි සකසන්න. නිදහස් වෙළඳ ගිවිසුම් පුළුල් කිරීමට පෙර කාර්මික බලපෑම් පිළිබඳ තක්සේරුවක් ප්‍රකාශයට පත් කරන්න, සම්භවය පිළිබඳ නීති සකස් කරන්න, එමෙන්ම, නිෂ්පාදකයින් සහ කම්කරුවන් සමඟ සාකච්ඡා කරන්න.
6. සංචිත පිළිබඳව අවංක වන්න. ශුද්ධ සංචිත (net reserves) මුල් කර ගන්න. ඔක්තෝබර් මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවූ බවට කතාවේ සඳහන් වන ප්‍රකාශය මහ බැංකු නිවේදනයකින් තවමත් තහවුරු කර නොමැති වුවද, ODI Global ආයතනය ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක දළ සංචිත ප්‍රමාණයක් පවතින බවට වාර්තා කරයි. වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන 2027 මාර්තු මාසයේ අවසන් වීමට පෙර, අනුප්‍රාප්තික IMF වැඩසටහන් පිළිබඳ කමිටුව ලවා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරවන්න.
7. උද්ධමනය පැහැදිලි කරන්න. ඉන්ධන මිල ඉහළ යාම ගෘහස්ථ වියදම් කෙරෙහි බලපාන ආකාරය ප්‍රකාශයට පත් කර, බාහිර කම්පන (external shocks) දේශීය ප්‍රතිපත්ති එකිනෙකින් වෙන් කර දක්වන්න.
8. ස්ථාවරත්වය අනෙක් සියල්ලටම පූර්ව කොන්දේසියක් වන බව ආණ්ඩුවේ හොඳම පිළිතුර වෙයි. මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රමාණය 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 114 සිට 2025 දී සියයට 95 දක්වා පහත වැටුණු අතර, ෆිච් (Fitch) ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B- දක්වා ඉහළ නැංවීය. එම ජයග්‍රහණ සැබෑය. එහෙත්, ස්ථාවරත්වය තවදුරටත් අවසාන ඉලක්කය වන්නේ නැත. 2027 සඳහා ප්රශ්නය වන්නේ ජීවන වියදම ඉහළ යන අතරතුර පරිවර්තනය සඳහා අරමුදල් සපයා එය ක්‍රියාවට නංවන්නේ ද, නැතහොත් එය කතාවට පමණක් සීමා වන්නේද යන්නයි.
නිගමනය
2027 අයවැය ඉතා බැරෑරුම් ලේඛනයක් වන අතර එහි අඩංගු වගවීම පිළිබඳ ප්‍රකාශයන් ඉහළ ප්‍රමිතියක් පිහිටුවයි. කාර්තුමය දත්ත, වසර අවසාන සමාලෝචනය, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රවල ප්‍රගතිය, වෙළඳ තක්සේරු කිරීම් සහ ගෘහස්ථ සංඛ්‍යාලේඛන තුළින් මෙම ප්‍රකාශවල සත්‍යතාව පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. ආණ්ඩුව ඒ සාක්ෂි ප්‍රසිද්ධ කර, ඒ අනුව කටයුතු කරන්නේ නම්, තමන් කළ ප්‍රකාශයන් සත්‍ය බව ඔප්පු කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. එසේ නොවුවහොත්, ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස බල කිරීමට පුරවැසියන්ට අයිතියක් ඇත.
මූලාශ්‍ර: 2027 අයවැය කතාව සහ එහි උප ග්රන්ථ; 2027 විසර්ජන පනත් කෙටුම්පත; 2027 මූල්‍ය උපායමාර්ග ප්‍රකාශය; 2026 නොවැම්බර් 19 දින ‘Daily FT’ පුවත්පත; 2027 අයවැය පිළිබඳ ‘ODI Global’ විශ්ලේෂණය.