
හර්ෂ ගුණසේන
මෙවර අයවැයේ ඇති ප්‍රධාන ලක්ෂණය ආණ්ඩුවේ සහ ජනාධිපතිතුමාගේ/ මුදල් ඇමතිවරයාගේ දර්ශනයේ ඇති පැටලිලි සහගත සහ මන්දගාමී බවයි. එය වඩාත් ප්‍රකට වී පෙනෙන්නේ මෙය පරිවර්තන අයවැයක් බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීමත් ඉදිරිපත් කළ පරිවර්තන යේ දර්ශනය පැටලිලි සහගත සහ මන්දගාමී නිසාය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය
මේ පිළිබඳව සරල උදාහරණයක් දක්වන්නේ නම් මෙසේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් ජනාධිපති තුමා සිය පළමු අයවැය වන 2025 අයවැයේදී රු. බිලියන 20ක් වෙන් කල අතර ගුවන් සමාගම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ප්‍රමුඛතම සේවාවක් ඉටු කරන බවත් ලාභදායිත්වය සහතික කිරීම සඳහා ගුවන් සමාගම සම්පුර්ණ වගකීම දරනු ඇති බවත් ඒ සඳහා සමාගම විසින් නව මධ්‍ය කාලීන උපාය මාර්ගික සැලැස්මක් සකස් කරමින් සිටින බවත් කියා සිටියේය. මේ අනුව ජනාධිපති තුමා සිතා සිටින්නට ඇත්තේ මේ මුදල් යෙදවීමෙන් සහ ඔහු විසින් පත් කරන ලද අධ්යක්ෂ මණ්ඩලයේ හැකියාවෙන් සමාගම ලාභ ලබන සමාගමක් බවට පරිවර් තන ය කල හැකි බවය.
සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය පත් කිරීමෙන් පසුව එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පුන පුනා කියා සිටියේ ජනාධිපතිතුමාට සමාගම ලාභ ලබමින් පවත්වා ගැනීමට අවශ්‍ය බවත් ඒ නිසා ඒ පිළිබඳව තමන් සැලසුම් සකස් කරන බවත්ය. ඒ අවස්ථාවේදී සමාගමේ ගිණුම් පරීක්ෂා කළේ නම් සමාගමේ මුළු කොටස් හිමිකම ඍණ රු. බිලියන 400 කට ආසන්න අගයක් ගත් බවත් ජංගම වත්කම් වලට වඩා ජංගම වගකීම් වැඩි බවත් ඒ අනුව විගණකාධිපතිවරයා සමාගමේ අඛණ්ඩ පැවැත්ම ගැන සැක පහළ කර ඇති බවත් රජයට මෙම රු. බිලියන 400 කට ආසන්න මුදල ප්‍රතිපුරණය කළ නොහැකි බවත් IMF එකඟතාව අනුව සමාගමට තවත් ණය ගැනීම සඳහා ආණ්ඩුවට බැංකු වලට ඇප වීමට ඇති හැකියාව බරපතල ලෙස සීමාවී ඇති බවත් සමාගමේ වර් ධනය සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට නොහැකි බවත් ඒ නිසා තවත් පාඩු නොලබා සමාගම ඈවර කිරීමට හෝ පාඩුවට හෝ විකුණා දැමීම අවශ්‍ය බවත් ජනාධිපති තුමාට වැටහිය යුතුව හෝ වටහාදිය යුතුව හෝ තිබුණි. එය එසේ නොවිය.
ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශයේ සහ සමාගමේ තොරතුරු අනුව 2025. 3. 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගම රු. බිලියන 7.5 ක පාඩුවක් ද 2026.3.31 වන දිනෙන් අවසන් වර් ෂය සඳහා රු. බිලියන 23.2 ක පාඩුවක්ද ලබා තිබේ. මෙයට අමතරව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද 2026.6.30 වන දිනට රාජ්‍ය ණය පිලිබඳ වාර්තාවේ රජය විසින් දරාගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ USD මිලියන 126.5ක ණයක් සඳහන් වේ. මෙය ආසන්න වශයෙන් රු. බිලියන 40 ක් පමණ වේ. එයට අමතරව තවත් රු. බිලියන 10ක් කෙටි කාලීන මුදල් අවශ්‍යතා සඳහා දී ඇත.
මේ පසුබිම තුළ 2027 අයවැය කතාවේදී ජනාධිපති තුමා මෙසේ කියයි. “ශ්‍රිලංකන් ගුවන් සමාගම 2008 වසරේ ආපසු පවරාගත් දින සිට 2025 දක්වා සමුච්චිත අලාභය රු. බිලියන 528 කි. ඒ අනුව ශ්‍රිලංකන් ගුවන් සමාගම මහා භාණ්ඩාගාරයට බරක් වී තිමබනවා. ඒ සඳහා අවශය වන විසඳුම් සෙවීමට මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා”
නැවත විශේෂඥ කමිටු පත් කිරීමට අවශ්‍ය නැත. පසුගිය ආණ්ඩුව විසින් පත්කළ සුරේෂ් ෂා ප්‍රධානත්වය දැරූ කමිටුව විසින් මේ පිළිබඳව වාර් තා කර ඇත.
මොවුන් මේ මුග්ධ ලෙස සෙල්ලම් කරන්නේ ජනතාව විසින් අමාරුවෙන් ගෙවන බදු මුදල් සමඟය. කලකට පෙර සමාගම නව ගුවන් යානයක් කල් බදු ක්‍රමයට ලබා ගත් විට ඇමති බිමල් රත්නායක විසින් පෙන්නුම් කළ උතුරා යන සතුට අපට මතක තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමට තමන්ගේ ඇති ලැදියාවට මහා පොළොවේ යථාර්තය මුණ ගැසුණු විට ඇතිවන ගැටුමට ජනාධිපති තුමා මුහුණ දී තිබේ. දේවල් කල්තියා වටහා ගැනීමට ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට ඇති දැනුම සහ පරිචය අල්ප බව ජනතාවට වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් තිබිය හැක.
ආර්ථික වර්ධනය හා අපනයන සංවර්ධනය
අපේ රට තිබෙන ස්වභාවය අනුව රටේ ආර්ථික වර්ධනය කේන්ද්‍ර ගත විය යුත්තේ අපනයන සංවර්ධනය මතය. රටට වැඩිපුර ඩොලර් ලැබෙන්නේ ඒ අනුවය. ඔන්චිල්ලාව පැද්දෙන්නේ දෙපැත්තටය. එක පැත්තකට නොවේ. ඒ අනුව ආනයනද වැඩිවේ. එයට එක් හේතුවක් වන්නේ වැඩිවන අපනයන වලට යෙදවුම් ලෙස ආනයනද අවශ්‍ය වන බැවිනි. එබැවින් ආර්ථිකය කේන්ද්‍රගත විය යුත්තේ විදේශ වෙළෙඳාම මතය. මෙවර අයවැයේ මේ අංශය උපාය මාර්ගිකව නොසලකා හැර තිබේ. මේ අංශය සංවර් ධනය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නැත. ඇත්තේ හුදු වචන ගොඩක් පමණි. එනම් හුදු කයිවාරුවක් පමණි. ඇත්ත වශයෙන්ම ජනාධිපති තුමා ආර්ථික වර්ධනය කේන්ද්‍රගත කිරීමට බලාපොරොත්තු වන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහාය. අයවැයෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් ට්‍රිලියන 2 හි වැඩිපුර ඇත්තේ මේ වියදම්ය.
ජනාධිපති තුමා අයවැයේ උපාය මාර්ගික කරුණු හතක් ඉදිරිපත් කර ඇත. මෙහි පළමු කරුණු තුන වන්නේ සාර් ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, ආයෝජන නිෂ්පාදනය සහ අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ තාක්ෂණය, නවෝත්පාදනය සහ මානව ප්රාග්ධනය තුලින් ඵලදායීතාව ඉහළ නැංවීම යන කරුණු තුනයි. 2026 අයවැයේද මෙවැනි උපාය මාර් ගික කරුණු සඳහන් විය. සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම ආරම්භ වූයේ පසුගිය ආණ්ඩුව යුගයේදීය. එය IMF එකඟතාව ඇතිකරගත් පළමු දිනයේ සිටම ආරම්භ විය. 2023 පළමු කාර්තුවේදීම ප්‍රාථමික ශේෂය ධන අගයක් වාර්තා කිරීමට එවකට තීබූ ආණ්ඩුව සමත් විය. එය බලාපොරොත්තු ඉලක්කය ඉක්මවා යාමකි. එබැවින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමේ පදනම දැමුවේ පසුගිය ආණ්ඩුවයි. මේ ආණ්ඩුව බලයට පත්වූ පසුද ඒ දිශානතිය එලෙසින්ම පවත්වා ගෙන යාමට හැකිවීම පැසසිය යුත්තකි. නමුත් සියල්ල එය නොවේ.
ඉහත දෙවන සහ තෙවන උපායමාර්ගික කරුණු සම්බන්ධ ක්‍රියාකාරී සැලැස්ම පසුගිය ආණ්ඩුව විසින් සිය ආර්ථික පරිවර්තන පනත මගින් ඉදිරිපත් කර තිබුණි. එයට එරෙහිව ජවිපෙ උසාවි ගිය අතර ඔවුන් මතුකළ එක තර්කයක් වුයේ අපනයන සංවර්ධනයට සහ නිදහස් වෙළෙඳාමට ප්‍රමුඛත්වය දෙන විට දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත කරුවන්ගේ ආරක්ෂණය අහෝසි වන බවයි. එම පනත අනුව ආයෝජන ප්‍රවර්ධනය සහ මෙහෙයවීම සඳහා වත්මන් ආයෝජන මණ්ඩලය අහෝසි කර ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමටත් නිදහස් වෙළඳ කලාප සහ ආයෝජන කලාප වඩාත් කාර්යක්ෂමව පාලනය කිරීමට ශ්‍රී ලංකා ආයෝජන කලාප ආයතනය ස්ථාපිත කිරීමටත් ද්විපාර්ශ්වික සහ බහුපාර් ශ්වික වෙළඳ ගිවිසුම් සම්බන්ධ කටයුතු සඳහා ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ස්ථාපිත කිරීමටත් රටේ සමස්ත ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා උපායමාර්ග සකස් කිරීමට ජාතික ඵලදායීතා කොමිෂන් සභාව ස්ථාපිත කිරීමටත් වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළඳ ආයතනය ස්ථාපිත කිරීමටත් යෝජනාවී තිබුණි.
ආණ්ඩුව විසින් මෙම පනත ක්‍රියාත්මක වීම අත්හිටවා ඇති අතර යම් කාරනා වලට එකඟ නොවන්නේ නම් එයට සංශෝධන හෝ ඉදිරිපත් කර නොමැත. 2025 අයවැය කථාවේදී ජනාධිපති තුමා “නැගී එන ආයෝජන වර්ධනයන්ට ගැලපෙන පරිදි ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කරනු ඇත.” යනුවෙන් ප්‍රකාශ කළේය. කිසිවක් මෙතෙක් සිදුවී නොමැත.
නිදහස් වෙළෙඳ ගිවිසුම්
2026 අයවැය කථාවේදී ශ්‍රී ජනාධිපති තුමා ලංකාවේ අපනයන වර්ධනය අරමුණු කර ගනිමින් දැනට අත්සන් කර ඇති වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය හා නව නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට ඒමට මේ වනවිටත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙන බව කිය. 2027 අයවැය කථාවේදී ඔහු මෙසේ කියයි. “ශ්‍රි ලංකාව ගෝලිය වෙළෙඳ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ තවත් රාජයයන් සමඟ නව වෙළෙඳ ගිවිසුම් වලට එළඹීමට අප අපේක්ෂා කරනවා.” මෙම කථාව මෙලෙසම ජාජබ මැතිවරණ ප්රකාශනයේද සඳහන්ව තිබේ. නමුත් කිසිවක් සිදුවන්නේ නැත. ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියානු පාර් ශ්වය සමඟ විවිධ එකඟතා ඇතිකරගත්තත් ඉන්දියාව පැත්තෙන් කියැවෙන්නේ ලංකාව පැත්තෙන් කිසිවක් සිදු නොවන බවය. වරෙක ඉන්දියානු තානාපතිවරයා ප්‍රසිද්ධියේම මේ බව කිවේය. වරෙක ජපන් තානාපතිවරයා ඉන්දියාව ජපානය සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන ආර්ථික කොරිඩෝවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ලංකාව එකඟ වුනත් ප්‍රමාණවත් වැඩ කොටසක් නොකෙරෙන බවට චෝදනා කළේය.
මේ සියල්ලේම තේරුම කුමක්ද? කයිවාරුවේ තරමට වැඩ නොමැති බවයි. එසේ නොමැති නම් ආණ්ඩුවේ මතවාදයට අනුකූල නොවන වැඩ ප්‍රයෝගිකව කරන්නට සිදුවන විට ඇතිවන ගැටුමයි.
තනි වෙළෙඳ කවුළු
2025 අයවැය කථාවේදී ජනාධිපති තුමා මෙවැනි ප්‍රකාශයක් කරයි.
“සෑම පියවරක් සඳහාම නිශ්චිත කාල රාමු සැකසීම සහිතව, අවශයවන සියලු අනුමැතීන් ඒකාබද්ධව ලබා ගත හැකිවන පරිද්දෙන් ‘එක් ස්ථානයකින් සියලු සේවා (one stop shop) යන සංකල්පය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කරනු ලැබේ.”
“ප්‍රධාන විදේශ වෙළෙඳාම සම්බන්ධ ආයතන (key border agencies) සහ අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රියකරණය හා ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි වෙළෙඳ කවුළුව (TNSW) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.”
2026 අයවැය කථාවේදී ජනාධිපති තුමා මෙසේ කියයි.
“ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහා වන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂනය මත පදනම්වූ තනි කවුළු (single window) යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරනවා….මේ සඳහා රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා“
” ඒ සඳහා ජාතික තනි වෙළෙඳ කවුළුව පහසුකම වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රු. මිලියන 2500 ක් වෙන් කර තිබෙනවා“
2027 අයවැය කථාවේදී එතුමා මෙසේ කියයි.
“ජාතික තනි ආයෝජන කවුළුව (National Single Window for Investment) නිර්මානය කිරීම සඳහා උපදේශක සමාගමක් ලබා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවා, මේ වන විට එම ලංසු ඇගයීමට භාජනය කරමින් තිමබනවා. එය ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 100 ක් වෙන් කර තිමබනවා.”
“තෝරාගත් භාණ්ඩ අපනයන කිහිපයක් වෙනුවෙන් මෙම මස පස්වෙනිදා සිට, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර තිබෙන ජාතික තනි වෙළෙඳ කවුළුව (National Single Window for Trade) පළමු අදියර ලෙස අපනයන වයාපාරිකයන් 2027 මුල භාගමේ දී ත් ආනයන ව්‍යාපාරිකයින් හා ප්‍රති–නැව්ගතකිරීම් 2027 අග භාගයේ දීත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රු. මිලියන 1,990 ක් වෙන් කර තිබෙනවා .”
අපනයන සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙවැනි කවුළු අත්‍යවශ්‍යය. වෙනත් කිසිවක් නොසොයා එතුමාගේ අයවැය කථා වල ඇති මේ කොටස් පරිශීලනය තුලින් ආර්ථික පරිවර්තනය කෙසේ මන්දගාමී වන්නේ දැයි අපට වටහා ගත හැකිය.
නීති රාමුව
2025 අයවැය කථාවේදී ජනාධිපති තුමා මෙසේ කියයි.
“රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.”
“තෝරාගත් රාජ්‍ය ව්‍යවසායයන් පරිපාලිතයන් (subsidiaries) ලෙස පවත්වා ගනු ලබන රාජ්‍ය හිමිකාරිත්වය හා පාලනය ඇති පරිපාලක සමාගමක් (Holding Company) පිහිටුවනු ලැබේ. “
2926 අයවැය කථාවේදී ඔහු මෙසේ ප්‍රකාශ කරයි.
“රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නව රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් හඳුන්වාදීමට නියමිත අතර එම පනත 2026 වසරේ මුල් භාගයේදී මෙම පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි “
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය පිලිබඳ පනත් කෙටුම්පත සැප්තැම්බර් මාසයේ මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කර ඇති අතර 2026 වසරේ මුල් භාගයේදී එය අනුමැතිය සඳහා මෙම සභාවට ඉදිරිපත් කරනවා“
2027 පරිවර්තන අයවැය කථාවේදී ජනාධිපති තුමා කරන ප්‍රකාශය මෙසේය.
“රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යපෘති වයාපෘති ආරම්භ කිරීම, සංවර්ධනය, කළමනාකරණය හා අධීක්ෂණය සඳහා මේ වන විටත් (ගැසට් කලේ නොවැම්බර් 10. අයවැය කියවීම නොවැම්බර් 12) රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පනත (PPP) ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා. එය 2027 වසර මුලදී පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.”
රජයට කොටස් හිමි සමාගම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා පරිපාලක සමාගමක් (holding company) සංස්ථාපනය කිරීමට “රජය සතු වාණිජ ව්‍යාපාර කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත මේ වන විට නීතිපති ගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා.”
ආර්ථික සංවර්ධන යේදී මේවා වැදගත් පනත් ය. ආණ්ඩුවට වඩාත් වැදගත් වී ඇත්තේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත වැනි පනත් ය.
ජාතික තීරුබදු ප්‍රතිපත්තිය
2026 අයවැය කථාවේදී ජනාධිපති තුමා එවකට ක්‍රියාත්මක වූ තීරුබදු අනුපාත වන 0%, 15%, 20% වෙනුවට 0%, 10%,20% ,30% තීරුබදු වෙනස් කිරීමට යෝජනා කළේය. එය බොහෝ සෙයින් තීරුබදු වැඩි වීමකි. එයට හේතුවුයේ ආනයනයේදී අය කරන තීරුබදු නොවන බදු එනම් සෙස් (CESS)සහ පැල්(PAL) බදු ක්‍රමානුකුලව ඉවත් කිරීමයි. මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ජාතික තීරුබදු ප්‍රතිපත්තිය අනුව සෙස් බද්ද 2026 සිට ක්‍රමානුකුලව අඩු කොට 2029 දී මුළුමනින් ඉවත් කිරීම සහ පැල් බද්ද 2028 දී 40% ක්ද 2029 දී 60% ක්ද වශයෙන් 2029 දී බද්ද මුළුමනින්ම ඉවත් කිරීමයි. මේ ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ අපනයන සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ පාරිභෝගික සුබ සිද්ධියයි. මුදල් අමාත්‍යංශයේ ආදායම් පුරෝකථන අනුව 2029 දී සෙස් බද්දෙන් රු. බිලියන 27ක්ද පැල් බද්දෙන් රු. බිලියන 70ක් ද බලාපොරොත්තුවේ. මේ අනුව ආණ්ඩුවේ වැඩ පිළිවෙල ඉතාමත් නින්දා සහගත බව කියනු කැමැත්තෙමි.
දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින ජනතාව
2025 අයවැය කථාවේදී ජනාධිපති තුමා මෙසේ කිය “2022 වසරේ දී උද්ධමනය සියයට 70 දක්වා ඉහළ යාම ජීවන වියදම විශාල ලෙස ඉහළ යාමට හේතු වුනා. උද්ධමනය දැන් පහත වැටී තිබුණත්, බොහෝ භාණ්ඩ හා සේවා වල මිල මේ රටේ තවමත් ඉහළ මට්ටමක තිබෙන අතර මිල වැඩි වූ තරමට ජනතාවගේ ආදායමේ වැඩිවීමක් සිදු වුනේ නැහැ. ඒනිසා ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටී තිබෙනවා “මෙම නිරීක්ෂණය 2025 වසර සඳහා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණ දත්ත සමඟ එකඟ වේ. ජනාධිපති තුමා අස්වැසුම ලාභීන් නොවන අඩු ආදායම් ලබන කොටස් සඳහා කිසිම සහනයක් පසුගිය වසර තුන තුල යෝජනා කර නොමැත. බොහෝ විට ඔහු එය කරනු ඇත්තේ මැතිවරණ වසරකදීය.
අයවැයේ ප්‍රාථමික ශේෂය පසුගිය වසර දෙකේදීද ඉන් පෙරද බලාපොරොත්තු මට්ටමට වඩා ඉහලින් තිබිණ. 2027 දී එය බලාපොරොත්තු මට්ටමට අඩුකර අතිරික්තය ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට යෝජනා කර ඇත. එකතු කරගත් අතිරික්තයෙන් කොටසක් මේ ජනතාව වෙත මුදා හැරීමට යෝජනා කල හැකි ක්‍රමවේදයක් මෙසේය. එනම් විශේෂ භාණ්ඩ බද්ද යම් පාරිභෝගික භාණ්ඩ මත අඩු කිරීමයි. මක්නිසාද යත් එය අගය එකතුකළ බද්දක් නොවන අතර පිරිවැටුම මත වන බද්දක් බැවිනි. එය අඩු කිරීමට එක් සාධනීය හේතුවක් වන්නේ මූල්‍ය අරමුදල සමඟ එකඟ වන වැට් බද්ද 15% කට ඇස්තමේන්තු කර තිබු නිසාය. එය 18% ක් කරන ලද්දේ එවකට පැවතී ආණ්ඩුව ට බලාපොරොත්තු ආදායම ලබා ගැනීමේ යම් සැකයක් තිබු නිසා විය හැක. ඒ අවස්ථාවේදී අපි එයට විරුද්ධ වූයෙමු.
සමාප්තිය
ජනාධිපති තුමා මෙම අයවැය යෝජනා සමහරක් ක්‍රියාත්මක කිරීමට පුද්ගලික අංශයේ සහාය බලාපොරොත්තු වෙයි. එය ප්‍රසංශා කටයුතුය. ඒවා නම් විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම, ජලාශ මත සූර්ය පැනල ඉදිකිරිම, සපුගස්කන්ද පිරිපහදුව සංවර්ධනය, වරාය සේවා සැපයුම් මධ්‍යස්ථානය, වරායේ ඉන්ධන පිරවුම් ධාරිතාව වැඩි කිරීම, ගාල්ල වරායේ බංකරින් සේවා, ලන්දේසි බලකොටු සංවර්ධනය කිරීම සහ මත්තල ගුවන් තොට දියුණු කිරීමයි. එමෙන්ම ආණ්ඩුවේ ඩිජිටල් වැඩ සටහන ආර්ථික සංවර්ධන යේලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.
එසේ වුවද මෙවර අයවැය ඉලක්ක ගත කර ඇත්තේ අපනයන ප්රමුඛ ආර්ථික වර්ධනයක් වෙත නොව ඉදිකිරීම් ප්රමුඛ ආර්ථික වර් ධනයක් වෙතය. එය රටේ දිගු කාලින සුබ සිද්ධිය පිණිස හේතු නොවේ. අවසාන වශයෙන් කිව යුත්තේ ජනාධිපතිතුමා වස්කවි පිළිබඳව තරමක් බියවී ඇතිබව පෙනෙන බවයි. අයවැය කථා වලට වස්කවි අදාල නොවේ.