29 November, 2026

Blog

ගාසා ගැන මධ්‍යස්ථයි, මුල්ලිවයික්කාල් ගැන නිහඬයි

ලයනල් බෝපගේ –

ආචාර්ය ලයනල් බෝපගේ

විදේශයන්හි දී පාර්ශවයක් ගැනීම ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවකට, රට තුළ ප්‍රශ්න ඇසීම නවත්වන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටිය නොහැකිය.

නොවැම්බර් 27 වැනිදා, උතුරු–නැගෙනහිර පුරා වෙසෙන දෙමළ පවුල් ‘මාවීරර් නාල්‘ (වීර දිනය) වෙනුවෙන් පහන් දල්වමින් සිටියදී, යුද්ධයේ දී මියගිය තම ඥාතීන් සිහිපත් කිරීමේ උත්සවවලට “මානුෂීය පදනමක් මත” පක්ෂ සාමාජිකයින්ට සහභාගී විය හැකි නමුත්, මියගිය එල්.ටී.ටී.ඊ. (LTTE) සටන්කාමීන් සිහිපත් කිරීමේ උත්සවවලින් වැළකී සිටින ලෙස ඔවුන්ට “දැඩි සේ උපදෙස්” ලබා දී තිබුණ බව ජාතික ජන බලවේගයේ (NPP) මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහෝදරයා ප්‍රකාශ කළේය. මෙම අනතුරු ඇඟවීම සිදු කෙරුණේ, චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ පැවති උපහාර දැක්වීමකට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වීමෙන් අනතුරුවයි.

මෙම උපදෙස් ලබා දුන්නේ, 1971 දී සහ 1987-89 කාලයේ දී රාජ්‍යයට එරෙහිව දෙවරක් අවි අතට ගත්  සහ තවමත් හැම අප්‍රේල් මාසයක දී මෙන්ම නොවැම්බර් මාසයක දී ම ‘ඉල් මහ විරු‘ දිනය යොදා ගනිමින්, තම පාර්ශ්වයෙන් මියගිය අයට ගෞරව දක්වන ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් මෙහෙයවනු ලබන පක්ෂයක් වෙතිනි. සටන් කරමින් මියගිය අය වෙනුවෙන් දැක්වෙන ශෝකය, අණ කළ පමණින් පහව නොයන බව වඩා හොඳින් දන්නා වෙනත් කිසිදු පක්ෂයක් නැත. එහෙත්, ආණ්ඩුව දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එයයි: කොළඹින් අඳින ලද සීමාවන් තුළ පමණක් සිහිපත් කරමින්, සියල්ල අමතක කර ඉදිරියට ගමන් කරන්න.

ජිනීවා විසින් වාර්තාගත කර ඇති දේ

නොවැම්බර් 26 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය 2006 වසරේ සිට 2009 මැයි දක්වා කාලය තුළ සහන සේවකයින්, රෝහල් සහ සහන මෙහෙයුම් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර පිළිබඳව, “මම බොහෝ වාරයක් මියැදුණෙමි” (I died many times) යනුවෙන් වාර්තාවක් නිකුත් කළේය. මෙම ප්‍රහාර හුදකලා සිදුවීම් හෝ අහඹු සිදුවීම් නොවූ බව එම වාර්තාව නිගමනය කරයි. මානවහිතවාදී සේවකයින් 66 දෙනෙකු ඝාතනයට හෝ අතුරුදහන් වීමට ලක් වූහ. 2006 වසරේ මුතූර් හිදී ‘අක්සිඔන් කොන්ත්‍ර ලා ෆැම්‘ (Action Contre la Faim) නමැති සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දහ හත් දෙනෙකු ඝාතනයට ලක් වූ අතර, ඊට ආරක්ෂක අංශ සම්බන්ධ බවට නව සාක්ෂි මතු වී තිබේ.

ආණ්ඩුවට භූගෝලීය පිහිටීම ලබා දී තිබූ පුතුකුදියිරිප්පු රෝහල, රෝගීන් 500 කට අධික පිරිසක් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී යලි යලිත් ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් විය; එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එය හැඳින්වූයේ “නීත්‍යානුකූල ඉලක්කයක්” ලෙසිනි

2009 පෙබරවාරි මාසයේ දී, ආහාර ටොන් 4,950 ක් අවශ්‍යව තිබූ කොටු වී සිටි ජනගහනය වෙත ලැබුණේ ආහාර ටොන් 100 කටත් වඩා අඩු ප්‍රමාණයකි; එයට එක් හේතුවක් වූයේ එම ජනගහනය එහි සැබෑ ප්‍රමාණයෙන් ඉතා කුඩා කොටසක් පමණක් බවට කොළඹ පාලනය දැඩි සේ කියා සිටීමයි.

එම වාර්තාව එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය වෙත ද වරද පටවන නමුත්, එමගින් රජයේ වගකීම් ලිහිල් වීමක් සිදු නොවන බව සඳහන් කරයි. එහි විමර්ශනය කෙරෙන සිදුවීම් හතරෙන් කිසිවක් සම්බන්ධයෙන් කිසිවෙකු අපරාධමය වශයෙන් වගකිව යුතු බවට පත් කර නොමැත. මේ සම්බන්ධයෙන් කිසිදු නව පියවරක් ගෙන නොමැති වර්තමාන ආණ්ඩුව, පොරොන්දු වූ පරිදි ස්වාධීන අභිචෝදකයෙකු (පැමිණිලි මෙහෙයවන්නෙකු) පත් කර නොමැති අතර, මානව හිමිකම් කවුන්සිලයේ 60/1 යෝජනාව ප්‍රතික්ෂේප කර, එක්සත් ජාතීන්ගේ සංවිධානය යොමු කළ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබා දී නොමැත. සිදු වූ දේ පිළිගැනීමක්, ප්‍රසිද්ධියේ සමාව අයැදීමක් සහ වින්දිතයින්ට වන්දි ලබා දීමක් මෙම වාර්තාව ඉල්ලා සිටියි.

විදේශයන්හි මධ්‍යස්ථ බව, දේශීයව නිහඬතාව

ජාතික ජන බලවේගය (NPP) තම විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ බවට හඳුන්වයි. මාර්තු මාසයේ දී එක්සත් ජනපදය ගාල්ල ආසන්නයේ දී ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ගිල්වා දැමීමෙන් පසු, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තම ආණ්ඩුව මධ්‍යස්ථ බව ආරක්ෂා කරන නමුත් “සියල්ලටම වඩා මනුෂ්‍යත්වයට මුල් තැන දෙන” බවයි. ගාසා තීරය සම්බන්ධයෙන් ගත් කල, එයින් අදහස් කර ඇත්තේ ශ්‍රී ලාංකික සේවකයින් ඊශ්‍රායලයට යවන යෝජනා ක්‍රමය පවත්වා ගැනීම, ඊශ්‍රායල ජාතිකයින්ට වීසා රහිතව රටට ඇතුළු වීමට ඉඩ දීම, ඊශ්‍රායලය ගාසා තීරය අල්ලා ගැනීමට පියවර ගත් විට “ගැඹුරු කනස්සල්ල” ප්‍රකාශ කරන වාක්‍ය තුනක ප්‍රකාශයක් සහ මෙම මාසයේ ඊශ්‍රායල ඩ්‍රෝන යානා හතරක් හදිසියේ මිල දී ගැනීමක් සිදු කිරීමයි. ආක්‍රමණික හමුදාවක් සහ පීඩාවට පත් ජනතාවක් අතර මධ්‍යස්ථ බව යනු සමබරතාවක් නොවේ; සිදු කරන තෝරා ගැනීමකි. ඩෙස්මන්ඩ් ටුටු පැවසූ පරිදි, අසාධාරණ තත්වයන් හමුවේ ඔබ මධ්‍යස්ථ ව සිටින්නේ නම්, ඔබ තෝරා ගෙන ඇත්තේ පීඩකයාගේ පාර්ශ්වයයි.

එය සැම විටම එසේ නොවීය. “ඕනෑම ජාතිකත්වයක විමුක්ති අරගල” සඳහා “සහයෝගීතාව, පක්ෂපාතිත්වය, සහයෝගය සහ ආශ්වාදය” ලබා දෙන බවට ප්‍රතිඥා දෙන 1978 ලන්ඩනයේ දී ප්‍රකාශයට පත් කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රතිපත්ති ප්‍රකාශනය, “කොන්දේසි විරහිතව සහ සක්‍රීය ලෙස සහයෝගය දැක්විය යුතු” අරගල අතරට පලස්තීන ජනතාවගේ අරගලය ද නම් කරයි. එය නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය පවා කුහක සහ ප්‍රතිවිප්ලවවාදී ලෙස හෙළා දකියි. අද මධ්‍යස්ථ බවට මුවා වී සිටින පක්ෂය, එදා නොබැඳි පිළිවෙත පවා දුටුවේ ඕනෑවට වඩා බියගුලු එකක් ලෙසයි.

රට අභ්‍යන්තරයේ දී, “සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීම” හෙළා දකින එම ලේඛනයම, “විවිධ සුළු ජාතීන් විසින් ගෙන යන ස්වයං පාලනය” ගැන පොරොන්දු වෙයි; “රට බෙදීමට” එරෙහි වීමට එය දැක්වූ විරෝධයෙන් අදහස් කරන ලද්දේ අත්තනෝමතික පදනමක් මත බලහත්කාරයෙන් පටවන බෙදීමක් ප්‍රතික්ෂේප කිරීම මිස, නිදහසේ සාකච්ඡා මාර්ගයෙන් ඇති කර ගන්නා ස්වයං පාලනයක් ප්‍රතික්ෂේප කිරීම නොවේ. Roots of a Crisis (අර්බුදයක මූලයෝ) නමැති කෘතියෙහි මා දක්වා ඇති පරිදි, දෙමළ ජාතික ගැට‍ළුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පසුකාලීන ක්‍රියාකලාපය කිසි විටෙකත් ඒ වචන සමඟ නොගැළපුණි. එහෙත්, ඕනෑම ජාතිකත්වයක විමුක්ති අරගල වෙනුවෙන් දෙන ප්‍රතිඥාවක් ගාසා තීරයෙන් පමණක් නතර නොවන්නා සේම, වන්නියෙන් ද එය අවසන් නොවේ.

ගාසා තීරය කොළඹට ගැටළුකාරී විය යුත්තේ තවත් හේතුවක් නිසාය: ඒ ශ්‍රී ලංකාව මීට පෙර ද එම පාර්ශවයම සමඟ මෙවැනි ම අත්දැකීමකට මුහුණ දී ඇති බැවිනි. 1984 දී කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය තුළ ඊශ්‍රායල අවශ්‍යතා ගැන කටයුතු කරන අංශයක් (Israeli Interests Section) විවෘත කෙරුණු අතර, සිංහල පුවත්පත්වල ‘මොසාඩ්‘ (Mossad) ලෙස නම් කරන ලද ඊශ්‍රායල බුද්ධි අංශ නියෝජිතයෝ ඔවුන්ගේ ශ්‍රී ලාංකික සගයන් පුහුණු කරන බවට වාර්තා කර තිබුණි.

රහසිගත බවින් ඉවත් කරන ලද ඊශ්‍රායල ලිපි ගොනු පෙන්වා දෙන්නේ, එකල ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් “බිහිසුණු සමූලඝාතන” සිදු කර ඇති බවට අනතුරු අඟවා තිබුණු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ද ඊශ්‍රායලය විසින් පුහුණු කරන ලද බවයි. ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් (Kfir) ප්‍රහාරක ජෙට් යානා පසුව යුද්ධයේ අවසන් බෝම්බ හෙලීමේ මෙහෙයුම් සඳහා ද යොදා ගැනුණි. යොදා ගන්නා ලද ක්‍රමවේදයන් ද, එනම්, ආහාර සහ ඖෂධ සලාක කිරීම සඳහා වටලා ඇති ජනගහනය අඩුවෙන් ගණන් කිරීම; සලකුණු කරන ලද රෝහල්, යුද මුක්ත කලාප (no-fire zones) සහ ප්‍රහාර එල්ල කෙරුණ අවතැන් වූවන්ගේ නවාතැන්; සහ සතුරා සිවිල් වැසියන් අතර සැඟවී සිටි බව පවසමින් එය සාධාරණය කිරීම, එකිනෙක හා බෙහෙවින් ගැළපේ.

ගාසා තීරයේ, පළමු මාස නවය තුළ පමණක් රෝහල් 27ක් ඉලක්ක කර ගනිමින් අවම වශයෙන් ප්‍රහාර 136ක් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇති අතර, ගාසා නගරය තුළ සාගතයක් පවතින බව ද තහවුරු කර ඇත. කොළඹ විසින් ජිනීවා සොයා ගැනීම් ප්‍රතික්ෂේප කරන අන්දමට ම, ඊශ්‍රායලය ද මෙම සොයා ගැනීම් ප්‍රතික්ෂේප කරයි. ගාසා තීරයේ සිදු වන දේ නම් කිරීමට නොහැකි ආණ්ඩුවක්, මුල්ලිවයික්කාල්හි සිදු වූ දේ නම් කිරීමෙන් ද වැළකී සිටියි.

“යුද්ධය යනු රාත්‍රි භෝජන සංග්‍රහයක් නොවේ“

මේ සතියේ සිය උපන්දිනය වෙනුවෙන් පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා යුද්ධය ගැන අදහස් දැක්වීය. ජන සංහාරයක් සිදු වූයේද යන්න විවාදාත්මක කරුණක් බවත්, එහි දී ජනවාර්ගික වශයෙන් පිරිසුදු කිරීමක් සිදු වී නොමැති බවත්, සිදු වූයේ යුද්ධයක් පමණක් බවත්, “යුද්ධය යනු යුද්ධයක්” බවත් ඔහු ප්‍රකාශ කළේය. මාඕ ප්‍රතිරාවය කරමින් යුද්ධය යනු රාත්‍රි භෝජන සංග්‍රහයක් නොවන බවත්, එය අමානුෂික බවත්, කිසිදා සිදු නොවිය යුතු දේ සිදු වන බවත්, අපරාධ සිදු කරන බවත්, “ඕනෑම යුද්ධයක් එවැනි” බවත් ඔහු කියා සිටියේය. අප ඒ ඉතිහාසය නැවත අත්විඳිය යුතුද, නැතහොත් ඉදිරියට යා යුතු දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙය කැපී පෙනෙන පිළිගැනීමක් මෙන්ම භයානක නිගමනයක් ද වේ. ජිනීවා සම්මුතීන් පවතින්නේ ම යුද්ධය රාත්‍රි භෝජන සංග්‍රහයක් නොවන නිසාය; එමඟින් හමුදාවන්ගෙන් කරුණාවන්ත වන සේ ඉල්ලා නොසිටින නමුත් සලකුණු කළ රෝහල්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සහ සිවිල් වැසියන් නිරාහාරව තැබීම තහනම් කරයි. අපරාධ සිදු වූ බව පිළිගෙන, ඉන්පසු ඒවා “එය යුද්ධයක්” ය යන ලේබලය යටතේ ගොනු කිරීම යනු පාපොච්චාරණයක් නිදහසට කරුණක් බවට හරවා ගැනීමකි. ඒ අපරාධ හිතාමතා කරන ලද තෝරා ගැනීම් වන අතර, ඒ හැම තෝරා ගැනීමකට ම එය සිදු කළ අයෙකු සිටී.

“යුද්ධය යනු යුද්ධයයි” යන්න සැම විටම විත්තිකරුවන්ගේ නිදහසට කරුණ වී ඇත. ඉහළින් ලැබුණු නියෝග නිදහසට කරුණක් නොවන බව නාසි ජර්මනියේ නායකයින්ට ඉගෙන ගැනීමට සිදු වූ නියුරම්බර්ග් (Nuremberg) හිදීත්; කරඩ්සික් (Karadžić) සහ ම්ලැඩික්ට (Mladić) එරෙහිව හේග් (The Hague) හිදීත්; රුවන්ඩා ජන සංහාරයේ සංවිධායකයින්ට  එරෙහිව අරුෂා (Arusha) හිදීත්; හිටපු රාජ්‍ය නායකයෙකු වූ චාල්ස් ටේලර්ට එරෙහිවත්; බුවනෝස් අයර්ස් හිදී ආර්ජෙන්ටිනාවේ හමුදා ජුන්ටාවට එරෙහිවත් එය අසාර්ථක විය. කාලය හෝ ජයග්‍රහණය හෝ ස්වෛරීභාවය යන කිසිවක් ඔවුන්ට නීතියෙන් ගැලවී යාමට ඉඩක් ලබා දුන්නේ නැත. දණ්ඩමුක්තිය (දඬුවම් නොලබා සිටීම – impunity) යනු අත්තනෝමතික පාලනවල ඉල්ලීමකි. කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින්නේයයි මැයි මාසයේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයෙකුට, එම සංස්කෘතිය විසින් දරුණුතම හානිය සිදු කළ ක්ෂේත්‍රය ඉන් නිදහස් කළ නොහැකිය; 1988–89 කාලයේ තමන්ගේම සාමාජිකයින් දහස් ගණනින් අතුරුදන් වූ පක්ෂයක් ඒ බව හොඳින් ම දැන සිටිය යුතුය.

සත්‍යය නොදැන ඉදිරියට යාම

ජනාධිපතිවරයා මෙම වේදනාව වටහා ගෙන සිටියි. එම සාකච්ඡාවේ දීම ඔහු පැවසුවේ, තම දරුවාගේ ඡායාරූපයක් අතැතිව සිටින මවකට, ඇය විසින්ම හමුදාව වෙත භාර දුන් දරුවාට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට අයිතියක් ඇති බවයි; තමන්ගේම දෙමාපියන්ට ද අතුරුදහන් වීමක වේදනාව විඳීමට සිදු වූ බව ඔහු පැවසීය. ජාතික ජන බලවේගය (NPP ) කිසි විටෙකත් යුද “ජයග්‍රහණයක්” ගැන කතා නොකරන බවත්, රටක් ලෙස අප පරාජයට පත් වූ බවත් ඔහු පවසා සිටියේය. 2009 වසරේ තම පක්ෂය ඉල්ලා සිටි සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවා ඇතත්, එය ක්‍රියාත්මක නොවන බව ඔහු පිළි ගත්තේය. එහෙත් ඔහුගේ කතා තවමත් අනාගතය දෙසට, එනම්, නිවාස ඉදිකිරීම් සහ “ආර්ථික යුද්ධයක්” දෙසට යොමු වී ඇත. එහෙත් මේ කිසිවක, මෙම මිනී වළ පිර වූයේ කවුරුන්දැයි විමසන්නේ නැත.

රටේ විශාලතම සමූහ මිනී වළ වන චෙම්මනි හි තිබී බිළිඳුන් ද ඇතුළුව, ඇටසැකිලි කොටස් 580 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සොයා ගෙන ඇතත්, ඒවා හඳුනා ගැනීමට ගෙන ඇත්තේ ඉතා සුළු උත්සාහයකි.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සතුව සිද්ධීන් 23,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන අතර, ආණ්ඩුවේ ම වාර්තාවලට අනුව සොයා ගැනීමට හැකි වී ඇත්තේ පුද්ගලයන් 23 දෙනෙකු පමණි. ජාතික ජන බලවේගය අහෝසි කිරීමට ප්‍රතිඥා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් යොදා ගැනේ. හමුදාව සන්තකයේ ඇති ඉඩම් ආපසු ලබා දෙන්නේ අක්කරයෙන් අක්කරය වන අතර, මෙම මාසයේ අයවැය කතාවේ ජනාධිපතිවරයා ම සඳහන් කළ පරිදි තවමත් නැවත පදිංචි කිරීම බලා පොරොත්තුවෙන් සිටින යුද්ධයෙන් අවතැන් වූ පවුල් සංඛ්‍යාව 13,000 ක් පමණ වේ. ඔවුන්ට ඉදිරියට යන ලෙස පැවසීම, ඔවුන්ගේ නිවෙස්, මියගිය ඥාතීන් සහ ඔවුන්ගේ ගැටලු අතහැර දමා ඉවත්ව යන ලෙසට උපදෙස් දීමක් හා සමාන වේ.

ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අය සැබෑ පියවර කිහිපයක්, එනම්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) සඳහා වැඩි සම්පත් ලබා දීම, සැලසුම් කළ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක්, ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධානියා ලෙස පත් කිරීම සහ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම පෙන්වා දෙයි. මේවා පිළිගැනීමට සුදුසු වන නමුත් දූෂණ විරෝධී දේශපාලනයට ප්‍රයෝජනවත් වන විට ඉදිරියට යන වගවීම, දෙමළ ජනතාවට එරෙහිව සන්නද්ධ හමුදාවන්ගේ හැසිරීම වෙත ළඟා වන ඕනෑම තැනක දී එය ඇණ හිටී. 2009 වසරේ සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම දේශීය ක්‍රියාවලියක් පිළිබඳව පොරොන්දු වී ඇති නමුත්, ඒ සෑම ආණ්ඩුවක්ම සිදු කර ඇත්තේ නඩු පැවරීම් නොව, වාර්තා නිකුත් කිරීමයි.

අමතක කර දැමීමෙන් ගැටුම් අවසන් නොවේ

යුද්ධයේ අවසන් අදියරේ දී ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ රොබට් බ්ලේක් පවා, දැන් කොළඹින් ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරන ලෙසත්, උතුරු–නැගෙනහිර හමුදාකරණය ඉවත් කරන ලෙසත්, අත්පත් කර ගත් ඉඩම් ආපසු ලබා දෙන ලෙසත්, බලය බෙදාහදා ගන්නා ලෙසත් ය.

යුක්තිය සඳහා අවශ්‍ය කරන දේ අභිරහසක් නොවේ: සිදු කෙරුණු අපරාධ පිළිගෙන සමාව අයදින්න; නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ අභිචෝදකයෙකු පත් කරන්න; යුද අපරාධ ශ්‍රී ලංකා නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි බවට පත් කරන්න; මියගිය අය හඳුනා ගෙන, අතුරුදහන් වූවන්ගේ සෑම පවුලකටම ඇත්ත පවසන්න; වන්දි ගෙවන්න; ඉඩම් ආපසු ලබා දෙන්න; පක්ෂයේ ප්‍රබලයෙකු හෝ ඇමතිවරයෙකු ශෝක වීමේ සීමා පැනවීමෙන් තොරව තමන්ගේ මියගිය සියළු දෙනා වෙනුවෙන් ශෝක වීමට ජනතාවට ඉඩ දෙන්න.

ගාසා තීරය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ව සිටින සහ මුල්ලිවයික්කාල් සම්බන්ධයෙන් නිහඬව සිටින ආණ්ඩුවක් ගැටුමෙන් පරිබාහිර ව සිටින්නේ නැත. එය සිටින්නේ අමතක කිරීමෙන් වාසි ලබන පාර්ශ්වයේ ය. යුද්ධ අවසන් වන්නේ වෙඩි තැබීම් නතර වූ විට නොව, සත්‍යය පැවසූ විට සහ වරදකරුවන් ඊට පිළිතුරු දෙන විටයි.

එතෙක් සිදුව ඇත්තේ ගැටුම යටපත් කර දැමීම පමණි; චෙම්මනි පෙන්වා දෙන පරිදි, වළලා දමා ඇති කිසිවක් සදහටම වළලනු ලැබ පවතින්නේ නැත.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment