අමාත්‍යාංශවලට ගැලපෙන දෙපාර්තමේන්තු වෙන් කිරීම සහ අමාත්‍යාංශවලට ගැලපෙන ඇමතිවරුන් පත්කිරීම, දේශපාලනික ඕනෑ එපාකම් නිසා ඇතැම් අවස්ථාවක කළ නොහැකි වන්නට පුලූවන. එසේ වෙතත්, අඩු වශයෙන් යම් තාර්කිකත්වයක අංශු මාත‍්‍රයක්වත් එහිදී තිබිය යුතු නැත්ද?
මෑතකදී ඒ ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද කාර්යයන් සහ දෙපාර්තමේන්තු එවැනි අවම තාර්කිකත්වයක් භජනය කරයිද?
කෙසේ වෙතත්, කලින් තිබුණාට වඩා මේ වෙන් කිරීම් තුළ තාර්කිකත්වයක් ඇතත් නොගැළපීම් සමහරක්ද තිබේ. උදාහරණයක් වශයෙන්, ලක්ෂ්මන් කිරිඇල්ලට උසස් අධ්‍යාපනය සහ මහාමාර්ග අමාත්‍යාංශ පැවරීම ගත හැකිය. මේ අමාත්‍යාංශ දෙක අතර ඇති සම්බන්ධතාව කුමක්ද? එකී අමාත්‍යාංශවලට අදාළ කර්තව්‍යයන් අතරේ සම්බන්ධතාවක් තිබේද? විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ මහාමාර්ග අතර මෙලෝ සම්බන්ධයක් ඇත්ද?
විවිධ කර්තව්‍යයන් හෝ අමාත්‍යාංශ එක් පරිපාලකයෙකු හෝ ඇමතිවරයෙකුට පැවරීම යම් තාර්කිකත්වයක් මත සිදුවිය යුතු යැයි විශ්වාස කෙරෙන්නේ, එය භාර පුද්ගලයාගේ හැකියාව සහ දැනුමත්, එම බහුවිධ කාර්යයන්වල ස්වභාවයේ සමානත්වයත් සමාන විය යුතුය යන පදනම මතයි. රාජ්‍ය පරිපාලනය පිළිබඳ න්‍යායාචාර්යවරයෙකු වන හර්බට් සයිමන් මේ කාරණය පැහැදිළි කොට තිබේ. ඉහත කී කිරිඇල්ලට භාර කොට ඇති අමාත්‍යාංශ දෙක සඳහා අවශ්‍ය කරන දැනුම සහ සාමර්ථය එකිනෙකින් සපුරා වෙනස් වන්නේය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය භාර කෙනෙකු, ශාස්ත‍්‍රාලයීය පිරිස් කළමනාකරණය පිළිබඳ අත්දැකීම් සහිත ශාස්ත‍්‍රාලයීය නැමියාවක් ඇති කෙනෙකු විය යුතුය. මහාමාර්ග කාර්යයට අදාළ වන්නේ, ඉංජිනේරු සහ ගොඩනැගීම් පිළිබඳ දැනුමක් ඇති, ඉංජිනේරුවන් සහ ඉංජිනේරු ප‍්‍රශ්නවලට මැදිහත් විය හැකි කෙනෙකි. එකිනෙකින් හාත්පසින් වෙනස් ඉහත කී විෂය පථ දෙක පිළිබඳවම වන එක සමාන මනා දැනුමක් සහ හුරුබුහුටි කමක් තනි ඇමතිවරයෙකු තුළ තිබිය හැකි යැයි කෙනෙකුට විශ්වාස කළ හැකිද?
මේ ආකාරයටම, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයට ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයක් එක් කොට ඇති අතර තවත් තැනක ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයටත් ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයක් එක් කොට තිබේ. මේ වූ කලී, පැහැදිළි නිර්ණායකවලින් තොරව එකම කාර්යය දෙවරක් පැවරීම නොවේද? අදාළ කාර්යයන් මෙසේ එකිනෙකින් පැහැදිළිව වෙන් නොකෙරන විට සිදුවන්නේ, ඇමතිවරුන් සහ ඔවුන්ගේ නිලධාරීන් අතරේ ගැටීම් ඇති වීමයි. එවිට, යම් ආකාරයක සහසම්බන්ධයක් හෝ අදාළත්වයක් ඇති විෂයයන් අතරේ තිබිය යුතු ගනුදෙනුවට අවශ්‍ය කෙරෙන සහයෝගය මගහැරෙන්නේය. එය, මනා පරිපාලනයකට හානිකර වෙයි.
එහෙත් මීට වඩා වැදගත් සහ බරපතල ප‍්‍රශ්නය වන්නේ, මොනම ආකාරයකින්වත් ඇමතිවරුන් යටතට ව්‍යවස්ථාපිත ආයතන පත්කළ යුතුද යන්නයි. ඇමතිවරුන් යටතේ කාර්යමක්ෂතාව අඩපන වන බවට තර්ක කළ, රාජ්‍ය අයිතියට එරෙහි පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ කාලීන විවේචකයන්ට පිළිතුරු දෙමින් එදා එංගලන්තයේ කම්කරු පක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කළ මූලික න්‍යාය වුණේ, මෙවැනි ව්‍යාපාර රාජ්‍ය ආයතන වශයෙන් පවත්වා ගන්නා අතරේම, ඇමතිවරුන්ගේ සෘජු පාලනයෙන් ඉවත් කොට නිදහසේ කටයුතු කළ හැකි පෞද්ගලික ව්‍යවසායයන් වශයෙන් ක‍්‍රියාත්මක වීමට ඒවාට ඉඩ හැරිය යුතු බවයි. ඒ නිසා එවැනි ආයතන මහ භාණ්ඩාගාරයේ අධීක්ෂණයට යටත් රාජ්‍ය දෙපාර්තමේන්තු බවට පත් නොකොට, රජයට මුළුමණින් අයත් මුත්, ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල යටතේ පාලනය වන සංස්ථා වශයෙන් ස්ථාපිත කෙරුණි.
මේ තර්කය අප පිළිගන්නේ නම්, ඇමතිවරුන් යටතට එවැනි සංස්ථා පත් නොකළ යුතුය. මන්ද යත්, ඇමතිවරයා විසින්ම පත්කරනු ලබන සංස්ථා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය හරහා, සෘජුව නොවේ නම් වක‍්‍රව හෝ, අදාළ කටයුත්තට ඇඟිලි ගැසීමට ඇමතිවරුන් පසුබට නොවන අප දන්නා බැවිනි. ඇමතිවරයා විසින් මෙවැනි අධ්‍යක්ෂ මණ්ඩල සහ සභාපතිවරුන්ව පත්කරන විට සිදුවන්නේ, එවැනි ඇමතිවරුන්ගේ විධානයන් පිළිපැදීමට සහ ඔවුන්ගේ බලපෑමට යට වීමට හෝ එසේ නොකරන්නේ නම් තමන්ගේ නතතුරු නැති කර ගැනීමට එවැනි නිලධාරීන්ට සිදුවන බැවිනි. මගේ වෘත්තීය ජීවිතයේ සේවා කාලය තුළ එසේ සිදු වෙනවා මා දැක තිබේ. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? සිංගප්පූරුවේ ‘‘තෙමාසෙක්’’ ක‍්‍රමය යටතේ සිදුවන්නා සේ විශේෂිත සංවිධාන රටාවක් යටතට ඒවා පත්කළ යුතුව තිබේ. සිංගප්පූරුව පවත්වාගෙන යන මේ ‘‘තෙමාසෙක්’’ මොඩලය, චීනයත් තමන්ගේ රාජ්‍ය ව්‍යවසායයන් ප‍්‍රතිසංවිධානය කරනු සඳහා දැන් පිළිගෙන තිබේ.
*2015 සැප්තැම්බර් 14 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Where Is The Rationality In The Assignment Of Functions To Ministers” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’