
විජයානන්ද ජයවීර
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් සමාජ කතිකාවක් ඇති කිරීමේ දී දැනුවත් පුරවැසි සහභාගීත්වයක් ඇති කිරීමට නම් දියුණු රටවල ඇති අධ්‍යාපන ක්‍රම පිළිබඳ මූලික දැනුමක් පුරවැසියන් සමග බෙදා හදා ගැනීම අවශ්‍යය. මේ සටහනේ අරමුණ විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක් ලෙස සැලකෙන ෆින්ලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා සිසු දරුව්න් සූදානම් කිරීමට ද්විතීයික මට්ටමේ ඉහළ ශ්‍රේණි වල විෂය මාලා සැලසුම් කර ඇති ආකාරය සහ ඊට පදනම් වී ඇති දැක්ම කෙබඳු ද යන්න සැකෙවින් විස්තර කිරීමයි. ලංකාවේද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ විය යුත්තේ ප්‍රතිසංස්කරණ සඳහා පාදක වන දැක්ම කුමක්විය යුතුද ඒ අරභයා ගත යුතු ප්‍රවෙශ කෙබඳුවිය යුතුද යන්න නිරාකරණය කර ගැනීමෙනි.
ෆින්ලන්ත ද්විතීයික අධ්‍යාපනය සඳහා වූ සැලැස්ම අන්‍යෝන්‍ය විශ්වාසය, සාධාරණ යුක්තිය සහ අනාගතයට සූදානම්වීම මත ගොඩනැගුණු විෂය මාලාවක් කේන්ද්‍ර කරගත්තකි.
ඉහළ කාර්ය සාධනය සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශය සඳහා ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්වූ ෆින්ලන්ත ද්විතීයික අධ්‍යාපන ක්‍රමය සෑම ශිෂ්‍යයෙකුට ම සාධාරණත්වය, ආත්ම විශ්වාසය සහ පරිපූර්ණ සංවර්ධනය ඇති කර දීම මුල් කරගත් දැක්මක් මත ගොඩනැගුණු, පරිස්සමින් සකස් කරන ලද රාමුවකින් සංයුක්තය. එම පෘතුල ප්‍රවේශය යෞවනයින් විභාග සඳහා පමණක් නොව, ජීවිත කාලය පුරාම ඉගෙනීම කරන, ක්‍රියාකාරී, වගකීම් සහගත පුරවැසිභාවය සඳහා සූදානම් කරයි. මෙම විෂය මාලාවේ සැලසුම නිරන්තරයෙන් වෙනස් වන ලෝකයකට අනුවර්තනය වීමේ හැකියාව සඳහා වූ සමාජීය කැපවීමේ සෘජු පිළිබිඹුවකි.
තෝරාගැනීම සහ නම්‍යශීලීත්වය මත පදනම් වූ ද්විත්ව–ප්‍රවේශ මාර්ග පද්ධතියක්
නව අවුරුදු මූලික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසු, වයස 16 දී පමණ ෆින්ලන්ත සිසුන් ඔවුන්ගේ ඉහළ ද්විතීයික අධ්‍යාපනය සඳහා ප්‍රධාන මාර්ග දෙකක් අතරින් එකක් තෝරා ගනී. මෙම මාර්ග දෙකම උසස් මට්ටමේ ඉගෙනුම් අත්දැකීමක් සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා මාර්ග සැපයීම අරමුණු කොට සැලසුම් කර ඇත. මේ මාර්ග දෙක (1) සාමාන්‍ය උසස් ද්විතීයික අධ්‍යාපනය (Lukio) සහ (2) වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (Ammattioppilaitos) යනුවෙන් දෙයාකාරය.
1. සාමාන්‍ය උසස් ද්විතීයික අධ්‍යාපනය (Lukio): මෙම තෙවසරක වැඩසටහන ශාස්ත්‍රීය නැඹුරුවක් සහිත වන අතර ජාතික මෙට්රික්යුලේෂණ් විභාගයෙන් අවසන් වේ. එය විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුල්වන ප්‍රධාන මාර්ගයයි. මේ විෂය මාලාව ශ්‍රේණි හෙවත් වයස් කාණ්ඩ මත පදනම් වූවක් නොවේ. එය පාඨමාලා–පදනම් කරගත්, ක්‍රෙඩිට් ඒකක එකතු කර ගැනීම මත ක්‍රියාත්මක වන සිසුන්ට සිය අධ්‍යයන සැලසුම්වල සැලකිය යුතු නම්‍යශීලී බවක් ඇති කර ගැනීමට ඉඩ ලබා දෙන්නකි. මව් භාෂාව සහ සාහිත්‍යය, අනෙක් ජාතික භාෂාව, විදේශ භාෂා, ගණිතය, විද්‍යාව සහ මානව ශාස්ත්‍ර වැනි මූලික විෂයයන් සඳහා අනිවාර්ය පාඨමාලා තිබුණ ද අධ්‍යයන කටයුතු වලින් සැලකිය යුතු කොටසක් වෛකල්පිත පාඨමාලා වලින් සමන්විත වේ. ඒ අනුව සෞන්දර්ය කලා වේවා, විද්‍යාව වේවා, සමාජ අධ්‍යයනය වේවා ශිෂ්‍යා වැඩි කැමැත්තක් දක්වන ක්ෂේත්‍ර ගැඹුරින් හැදෑරීමට ශිෂ්‍යයින්ට ඉඩ සලසයි.
2. වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (Vocational Education and Training): Ammattioppilaitos යනුවෙන් හඳුන්වන මෙම මාර්ගය නිශ්චිත වෘත්ති සඳහා අවශ්‍ය නිපුණතා සහ කුසලතා සිසුන්ට ලබා දීම ඉලක්ක කර ඇත. මෙම වැඩසටහනට සාමාන්‍යයෙන් වසර තුනක් ගතවන අතර එය පාසල්–පදනම් කරගත් ඉගෙනීම සහ සේවා ස්ථානවල රැකියා පුහුණුව ඒකාබද්ධ කරමින් සකසා තිබේ. වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳව විෂය මාලාව ප්‍රායෝගික කටයුතු මුල්කරගත් සහ නිපුණතා–පදනම් කරගත් එකක් වන අතර, නවීන ශ්‍රම බලකායේ ඉල්ලීම්වලට එහි ඇති අදාළත්වය සහතික කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්රය සමඟ සමීප සහයෝගයෙන් එය නිර්මාණය කර ඇත. වැදගත් ම දෙය වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ මාර්ගය එයින් ම අවසන් වන දෙයක් නොවීමයි. එම විෂය මාලාව අනුගමනය කොට වෘත්තීය සුදුසුකමක් ඇති කරගත් කෙනෙකුට ද විශ්ව විද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි. ඒ අනුව කිනම් මාර්ගයක ගියත් සියලු ම සිසුන්ට ඔවුන්ගේ ඉගෙනුම් ගමන ඉදිරියට ගෙන යාමට බහුවිධ මාර්ග ඇති බව පින්ලන්ත අධ්‍යාපන කුමය සහතික කරයි.
ෆින්ලන්ත ප්‍රවේශය සාධාරණීකරණය කිරීම
ෆින්ලන්තයේ ද්විතීයික විෂය මාලාව පිටුපස ඇති තර්කනය බහුවිධ වන අතර එය ෆින්ලන්තයේ සමාජ හා සංස්කෘතික වටිනාකම් තුළ ගැඹුරින් මුල් බැස ඇත. පහත දැක්වෙන තර්ක එහි උචිත බව සාධාරණීකරණය කරයි:
සාධාරණත්වය සහ සමාන අවස්ථා සඳහා ප්‍රමුඛත්වය: ෆින්ලන්ත අධ්‍යාපනයේ මූලික මූලධර්මය නම්, දරුවන්ගේ සමාජ–ආර්ථික පසුබිම, පදිංචිය හෝ සහජ හැකි නොහැකි කම් නොතකා සෑම දරුවෙකුට ම තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලැබීමට අයිතියක් ඇති බවයි. ඒ අනුව ඉහත විස්තර කළ ද්විත්ව–මාර්ග පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ඒ සඳහා එකසේ වටිනා සහ ගෞරවනීය මාර්ග ලබා දීම සඳහා ය. සාමාන්‍ය සහ වෘත්තීය සුදුසුකම් ඇති යන දෙවර්ගයට ම එක සේ විශ්ව විද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ඇති බව සහතික කිරීමෙන් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ජන සමාජය අධ්‍යාපනික වසයෙන් ස්ථරීකරණයට ලක්වීම වළක්වන අතර සැමට සාධාරණව සමාජ සංචලතාව (social mobility) ප්‍රවර්ධනය කරයි. මේ නිසා ශාස්ත්‍රීය සහ වෘත්තීය අධ්‍යයන අතර ධුරාවලියක් නිර්මාණය නො කිරීමට අධ්‍යාපනය විශේෂ උත්සාහයක් දරයි.
අභ්‍යන්තර අභිප්‍රේරණය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය පෝෂණය කිරීම: ෆින්ලන්ත විෂය මාලාව දැනුවත්වම ශිෂ්‍ය කේන්ද්‍රීය ලෙස නිර්මාණය කර ඇත. සාමාන්‍ය උසස් ද්විතීයික පාසල්වල පාඨමාලා–පදනම් කරගත් ක්රමයේ නම්‍යශීලී බව සිසුන්ට සිය ඉගෙනීමේ අයිතිය තමන්ගේ භාරයට ගැනීමට ඉඩ සලසයි. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලින් සැලකිය යුතු කොටසක් තමන්ටම සකසා ගැනීමට ඉඩ දීමෙන්, විෂය මාලාව සිසුන්ගේ අභ්‍යන්තර අභිප්‍රේරණය පෝෂණය කරන අතර ඉගෙනීම සඳහා අව්‍යාජ ආශාවක් දිරිමත් කරයි. සියල්ලන්ට ම ගැළපෙන ඒකාකෘතික ආකෘතියකට සිසුන් කොටු කරනවාට වඩා මෙම ක්‍රමය වඩා ගැඹුරු විෂයාන්තර අවබෝධයක් සහ වඩා හොඳ දිගුකාලීන ඉගෙනුම් ප්‍රතිඵල සිසුන්ට ලබා දෙන බව ෆින්ලන්ත ගුරු දෙගුරුන් විශ්වාස කරයි.
අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගුරු ස්වාධීනත්වයේ බලය: ෆින්ලන්ත අධ්‍යාපන ක්රමයේ මූලික ස්ථම්භය වන්නේ ජන සමාජය ගුරුවරුන් කෙරෙහි තබා ඇති ඉහළ මට්ටමේ විශ්වාසයයි; හැම ගුරුවරයෙකුට ම ශාස්ත්‍රපති උපාධියක් තිබීම අවශ්‍ය වන අතර ඔවුන්ට වෛද්‍යවරුන් හා සම මට්ටමේ වැටුපක් ලැබේ. ජාතික මට්ටමෙන් නිර්ණය වන මූලික විෂය මාලාව අධ්‍යාපනයේ ඉලක්ක සහ අන්තර්ගතය පිළිබඳ පුළුල් රාමුවක් සපයන නමුත්, පාසල් අධ්‍යාපනයේ වගවීම පළාත් පාලන ආයතනවලට පැවරෙන ෆින්ලන්තයේ විමධ්‍යගත ක්‍රමය තුළ එක් එක් පාසලේ ගුරුවරුන්ට ම විෂය මාලාව සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු ආකාරය තීරණය කිරීම පිළිබඳ සැලකිය යුතු ස්වාධීනත්වයක් ඇත. මෙය ඔවුන්ට තම සිසුන්ගේ නිශ්චිත අවශ්‍යතා සඳහා ඉගැන්වීමේ ක්‍රම සහ මෙවලම් අනුවර්තනය කිරීමට ඉඩ සලසන අතර, ශිෂ්‍ය කේන්ද්‍රීය වූ ගතික සහ ප්‍රතිචාරාත්මක ඉගෙනුම් පරිසරයක් පෝෂණය කරයි. මේ සඳහා ගුරුවරුන්ට අවශ්‍ය ආත්ම විශ්වාසය, දැනුවත් වෘත්තීය විනිශ්චයන් කිරීමට අධ්‍යාපනඥයින්ට අවශ්‍ය ශික්ෂණ කුසලතා ලබා දෙන තියුණු පර්යේෂණ–පදනම් කරගත් ගුරු පුහුණු වැඩසටහන් මගින් සාධාරණීකරණය කෙරේ.
සංකීර්ණ ලෝකයක් සඳහා විෂයාන්තර නිපුණතා සංවර්ධනය කිරීම: 21 වන සියවසේ සාර්ථකත්වය සඳහා විෂය–විශේෂිත දැනුමට වඩා වැඩි යමක් අවශ්‍ය බව හඳුනා ගනිමින්, ෆින්ලන්ත විෂය මාලාව විෂයාන්තර නිපුණතා හතක් සංවර්ධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. ඒවා මෙසේ ය:
* සිතීම සහ දැනඉගෙනීමට ඉගෙනීම (Thinking and learning to learn)
* සංස්කෘතික නිපුණතාව, අන්තර්ක්‍රියා සහ ස්වයං–ප්රකාශනය (Cultural competence, interaction, and self-expression)
* තමා ගැන සැලකිලිමත් වීම සහ දෛනික ජීවිතය කළමනාකරණය කිරීම (Taking care of oneself and managing daily life)
* බහුවිධ සාක්ෂරතාව (Multiliteracy)
* තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතාව (ICT competence)
* වෘත්තීය ජීවිතයේ නිපුණතාව සහ ව්‍යවසායකත්වය (Working life competence and entrepreneurship)
* සහභාගීත්වය, මැදිහත් වීම සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම (Participation, involvement, and building a sustainable future)
මෙම නිපුණතා වෙනම විෂයයන් ලෙස උගන්වනු නො ලබන අතර, පාසල් ජීවිතයේ සියලු අංශ සමඟ ඒකාබද්ධ කර ඇත. සංකීර්ණ, අන්තර් සම්බන්ධිත ලෝකයක සැරිසැරීමට සහ ක්‍රියාකාරී, ප්රජාතන්ත්රවාදී පුරවැසිභාවය පෝෂණය කිරීමට මෙම කුසලතා අත්‍යවශ්‍ය බව ෆින්ලන්ත සමාජය පිළිගනී.
සංසිද්ධි–පදනම් කරගත් ඉගෙනීම: දැනුම සැබෑ ලෝකය හා සම්බන්ධ කිරීම: ෆින්ලන්තයේ ප්‍රධාන අධ්‍යාපනික නවෝත්පාදනයක් වන්නේ “සංසිද්ධි–පදනම් කරගත් ඉගෙනුම්” (phenomenon-based learning) ව්‍යාපෘති අධ්‍යාපනය හා ඒකාබද්ධ කිරීමයි. මේවා දේශගුණික විපර්යාස හෝ යුරෝපා සංගමය වැනි සැබෑ ලෝකයේ මාතෘකා කෙරෙහි අවධානය යොමු කරන විෂයාන්තර ඉගෙනුම් ඒකක වේ. සිසුන් මෙම සංසිද්ධීන් විවිධ විෂය දෘෂ්ටිකෝණවලින් ගවේෂණය කරන අතර ඒ මගින් සිසුන්ගේ විවේචනාත්මක චින්තනය, ගැටළු විසඳීම සහ සහයෝගීතාව දිරිමත් කරයි. මෙම ප්‍රවේශය සඳහා වන සාධාරණීකරණය නම්, එය විෂයයන් අතර ඇති කෘත්‍රිම වෙන්කිරීම් බිඳ දමා දැනුමේ අන්තර් සම්බන්ධතාව දැකීමට සිසුන්ට උපකාර කරන බවයි. එමඟින් ඉගෙනීම වඩාත් අර්ථවත් ලෙස ඔවුන්ගේ අනාගත ජීවිතයට අදාළ වේ.
ඉගෙනීම සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස පරිපූර්ණ සුභසාධනය: ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සතුටින්, නිරෝගී ව සිටින ශිෂ්‍යයෙකු වඩා හොඳින් ඉගෙන ගන්නෙකු වේ ය යන මූලධර්මය මතය. විෂය මාලාව සහ සමස්ත පාසල් පරිසරය ශිෂ්‍ය සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙය කෙටි පාසල් දින, නිතිපතා විවේක, නොමිලේ පෝෂ්‍යදායී පාසල් ආහාර වේලක් සැපයීම සහ මනෝවිද්‍යාත්මක හා සමාජීය සහයෝගය ඇතුළත් පුළුල් ශිෂ්‍ය සුභසාධන සේවා මගින් පිළිබිඹු වේ. මෙහි අරමුණ නම්, ආතතිය අඩු කිරීමෙන් සහ උපකාරශීලී වාතාවරණයක් පෝෂණය කිරීමෙන්, සිසුන්ට ඔවුන්ගේ ඉගෙනීම සමඟ වඩා හොඳින් සම්බන්ධ වීමට සහ ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වීමට හැකි වීමයි.
අවසාන වශයෙන්, ෆින්ලන්තයේ ද්විතීයික මට්ටමේ අධ්‍යාපනය සඳහා වූ විෂය මාලාව, දීර්ඝකාලීන, පර්යේෂණ–මත පදනම් වූ දැක්මකට සාක්ෂියකි. එය පුද්ගල මනාපය, නම්‍යශීලී බව සහ පුද්ගලයාගේ පරිපූර්ණ සංවර්ධනය අගය කරන ඉගෙනුම් ක්රමයකි. එහි සැලසුම සාධාරණීකරණය කරන දැක්ම පදනම් වී ඇත්තේ කෙටිකාලීන මිනුම් දඬු හෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් මත නොව, 21 වන සියවසේ පරිපූර්ණ සහ වගකීම් සහගත ජීවිතයක් සඳහා අවශ්‍ය සාධාරණත්වය, සුභසාධනය සහ කුසලතා පෝෂණය කිරීමට අධ්‍යාපනයට ඇති බලය පිළිබඳ ගැඹුරින් මුල් බැසගත් විශ්වාසය මතය.