18 June, 2026

Blog

දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව

ලයනල් බෝපගේ –

ආචාර්ය ලයනල් බෝපගේ

දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ විට එකම ධජය යටතේ ගමන් කළ අය අතර ඉතිහාසය ආරවුල්, හැර යෑම් සහ පාවා දීම් වලින් පිරී ඇත. විශේෂයෙන්, වම දිගු කලක් තිස්සේ විදහා පා ඇත්තේ කල්ලිවාදය, මතවාදීමය ආරවුල් සහ ප්‍රතිසංස්කරණ හා විප්ලවය පිළිබඳ එකිනෙකා හා තරඟ කරන දෘෂ්ඨීන් එක්සත් කිරීමට ඇති නොහැකියාව මගිනි.

ලෙනින්ගේ මරණයෙන් පසු ස්ටාලින් සහ ට්‍රොට්ස්කි අතර පැවතුණු උග්‍ර ගැටුමේ සිට 1960 ගණන්වල චීනසෝවියට් බෙදීම දක්වා, සමාජවාදී කඳවුර තුළ හට ගත් ආරවුල් විසින් එහි පුළුල් අරමුණ නැවත නැවතත් යටපත් කර දමා ඇත. ශ්‍රී ලංකාවේ වම ද ඒ හා සමාන රටාවක් අනුගමනය කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ – JVP) ම ජනිත වූයේ මොස්කව් සහ පීකිං පෙළපත්වලින් උකහා ගන්නා ලද මෙම බෙදුම් අනුව යමිනි. පසුව, එහිම අංකුරයක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප – FSP), තවත් බිඳී යෑමකින් පසුව මතුව ආවේය.

අද, ජාතික ජන බලවේගයේ (ජාජබ – NPP) නායකත්වය දරන ජවිපෙ සහ ඉන් බැහැරව පවතින පෙසප සමඟින්, මෙම පැරණි ආතතීන් දිගටම කැකෑරෙමින් පවතී. යක්කල පිහිටි පෙසප කාර්යාලය මෑතක දී ප්‍රචණ්ඩ ලෙස අත්පත් කර ගැනීම, රජයේ සහාය සහිතව ජවිපෙට පක්ෂපාතී ක්‍රියාකාරීන් විසින් සිදු කරන ලදැයි කියනු ලබන අතර, මෙම එදිරිවාදිකම් තියුණු මහජන අවධානයට යොමු කර ඇත.

තමන්ට පක්ෂව ලැබුණු අධිකරණ තීන්දුවකින් මෙම කාරණය විසඳා ගත් බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි. එය නීත්‍යානුකූලභාවය ලෙස වෙස්වලා ගත් දේශපාලන මැර ක්‍රියාවක් බව පෙසප කියා සිටියි. පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය ප්‍රමාණවත් විය යුතු තැන ප්‍රචණ්ඩත්වය භාවිතා කර තිබෙන බවයි. සැබවින්ම, බලපාන ආකාරයේ අධිකරණ නියෝගයක් තිබුණේ නම් එය ක්‍රියාත්මක කිරීම, අතින් පයින් පහර දෙන පාක්ෂික හිතවතුන්ට නොව, නීත්‍යානුකූල බලධාරීන්ට භාර දිය යුතුව තිබිණි.

මෙම ආරවුල හුදු දේපළ ආරවුලක් ලෙස සලකා බැහැර කල නොහැකිය. එය ජාතික ජන බලවේගය දී තිබෙන මැතිවරණ පොරොන්දුවල හදවත වන, නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය යළි ඇති කිරීම වෙතම ගමන් කරයි. එහිපොහොසත් රටක්, ලස්සන ජීවිතයක්යන ප්‍රතිපත්ති ප්‍රකාශනය, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ කේන්ද්‍රීය අංගයක් වශයෙන්ස්වාධීන හා කාර්යක්ෂම ලෙස යුක්තිය පසිඳ ලන පරිපාලනයක්ඇති කිරීමට පොරොන්දු විය. දේශපාලන ක්‍රියාකාරීන් නීතිය තමන් අතට ගන්නා විට එම පොරොන්දුව හිස් එකක් බව පෙනේ.

එවැනි ගැටුම් වමට පමණක් සීමා නොවන බව මතක තබා ගැනීම වටී. ධනවාදී කඳවුර දඑක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය (සජබෙ – SJB) ලෙස ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප – SLFP), ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශ්‍රීලමප – SLMP), ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (ශ්‍රීලපොපෙ – SLPP) සහ වෙනත් පක්ෂ ලෙස ද යළි යළිත් භින්න වී ගොස් ඇත. මෙම බෙදීම් බොහෝ විට බලය, ධනය සහ රාජ්‍ය සම්පත් වෙත තිබෙන ප්‍රවේශය වටා කැරකේ. දේපළ ආරවුල් ද අලුත් යමක් නොවේ: එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදි කර ඇත්තේ වරක් ජනතා විමුක්ති පෙරමුණ සඳහා වෙන් කරන ලද විවාදයට ලක් වුන භූමි භාගයක ය.

නමුත් වඩා ගැඹුරු කාරණය මෙය යි: ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට වඩා පක්ෂය, බලය සහ පෞද්ගලික අවශ්‍යතා ඉහළින් තබන දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් පීඩා විඳ ඇත. බිය ගැන්වීමට හෝ ආරවුල් විසඳා ගැනීමට රාජ්‍ය මෙවලම් භාවිතා කරන විට, පුරවැසියෝ ඒ හා සම්බන්ධ පාර්ශවයන් කෙරෙහි පමණක් නොව, යුක්තිය පිළිබඳ අදහස කෙරෙහි ම විශ්වාසය නැති කර ගනිති.

නීතියේ ආධිපත්‍යය යනු මැතිවරණ වේදිකා සඳහා වන සටන් පාඨයක් නොවේ. එය ඕනෑම ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක අඩිතාලම වේ. එහි තේරුමරජය සහ විපක්ෂය, බලවත් හා බල රහිතසියළු දෙනාම සාධාරණව සහ බියෙන් හෝ අනුග්‍රහයෙන් තොරව යෙදවෙන එකම නීතියට යටත් වන බවයි. එය පැතිර පවතින තැන, ස්ථාවරත්වය සහ නීත්‍යානුකූලභාවය ද එය ලුහුබැඳ යයි. එය නොමැති තැන, බිය, අක්‍රමිකතාව සහ, අවසානයේ සමාජමය බිඳවැටීම කිසි විටෙකත් දුරස්ථ නොවේ.

අතීතයේ පැවති අපකීර්තිමත් දේශපාලන සම්ප්‍රදායයන් ගෙන් තමන්ව වෙන් කර හඳුනා ගැනීමට ජාතික ජන බලවේගය සැබවින්ම කැමති නම්, අනෙක් සියළු දෙනාට ම එරෙහිව යොදවන්නට පොරොන්දු වන නීතිරීතිවලට ජාතික ජන බලවේගයත් යටත් වීමට කැමැත්තෙන් සිටින බව පෙන්නුම් කළ යුතුය. ජාතික ජන බලවේගයේ විශ්වාසනීයත්වය ට හානි කරන ප්‍රචණ්ඩත්වය, බිය ගැන්වීම සහ දේශපාලන මර්දනය ඔවුන්ගේ විරුද්ධවාදීන්ට ආයුධ ලබා දෙනවා ඇත.

බලය යෙදීමේ යෝග්‍යත්වයට වඩා යුක්තියේ මූලධර්මයට ගරු කරන ආණ්ඩුවක් එන තුරු ශ්‍රී ලාංකිකයෝ බොහෝ කාලයක් බලා සිට ඇත. පාලක සන්ධානය නීතියේ ආධිපත්‍යයට අනුව කටයුතු කරන්නට අපොහොසත් වුවහොත්, ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්පිළිබඳව වන ඔවුන්ගේ දැක්ම පිටුවක දක්වා තිබෙන වචනවලට වඩා වැඩි යමක් වශයෙන් නොපවතිනවා ඇත.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.