
උපාලි ගජනායක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපහාර දැක්වීම සඳහා සෑම දිනකම සිය ගණනක් ජනතාව ඔහුගේ පෞද්ගලික නිවස වූ ‘කාල්ටන්’ මන්දිරය කරා ලඟාවෙමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි. උපහාර ලබන දේශපාලනඥයාට වඩා වයසින් වැඩි කාන්තාවන් පවා ඔහු ඉදිරිපිට දණින් වැඳ වැටෙන දර්ශන රූපවාහිනී නාළිකාවන් මගින් ප්‍රදර්ශනය කෙරිණ. කුරුණෑගල නගරයෙන් සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ගල්ගමුවේ සිට දකුණේ තංගල්ලට පැමිණි යුවළක් සාඩම්බරයෙන් පැවසුවේ මහින්දට උපහාර දැක්වීම සඳහා යතුරුපැදියකින් දුරුකතර ගෙවා පැමිණි බවකි.
රජය විසින් සම්මත කරන ලද නව පනතකට අනුව, හිටපු ජනාධිපතිවරුන් පස් දෙනෙකුට ඔවුන්ගේ නිල නිවාස අහිමි විය. ඔවුන් අතරින් මහජන අනුකම්පාව දිනා ගැනීමට සමත් වූයේ මහින්ද රාජපක්ෂ පමණි.
රාජපක්ෂ පවුලේ ජනාධිපති සහෝදරවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් තැනැත්තා වන මහින්ද රාජපක්ෂට අනෙකුත් දේශපාලනඥයින්ට නොමැති වීරත්වයක් හෝ විශේෂ ගුණාංගයක් ආරෝපණය කෙරෙන්නේ කුමන කරුණු පදනම් කර ගනිමින්ද? රාජපක්ෂ වන්දනාව සාධාරණීකරණය කිරීම සඳහා ඔහුගේ දේශපාලන සගයන් පමණක් නොව ඇතැම්විට වෙනත් දේශපාලන පක්ෂවලට අයත් මහින්දාභිවන්දන වන්දනාකරුවන් විසින් සඳහන් කරනු ලබන්නේ කුමක්ද?උපහාර දැක්වීම සඳහා කාල්ටන් මන්දිරයට පිවිසුන දේශපාලනඥයන් අතර විපක්ෂ සමගි ජන බලවේගයේ මුහුණු ද දක්නට ලැබුණි.
හිටපු ජනාධිපතිවරයාගේ අනුගාමිකයන් පමණක් නොව, සතුටු කිරීම සඳහා ඔහුට අමුතු ගුණාංග ආරෝපණය කරන විරුද්ධ පක්ෂයේ බුද්ධිමත් දේශපාලනඥයන් විසින් ද මෙම හැසිරීම මගින් රටේ දේශපාලන සංස්ථාවන්ට ඇති කෙරෙන හානිය කෙරෙහි අවධානය යොමු කර තිබේද? යන්න ප්‍රශ්නයකි.
ඇත්ත! දේශපාලනඥයින් අතළොස්සක් දෙනා ඔවුන්ගේ තනතුරු අහිමි වීමෙන් පසුව පමණක් නොව මරණයෙන් පසුව පවා දීර්ඝ කාලයක් මහජන ගෞරවය භුක්ති විඳිති. කදිම උදාහරණයක් සිහිපත් කළොත් අසල්වැසි ඉන්දියාවේ මහත්මා ගාන්ධි එවැනි චරිතයකි. ඉන්දියාවේ කුමන දේශපාලන පක්ෂයක් බලයට පත් වුවද, ඔවුහු කිසිදු මතභේදයකින් තොරව රට පාලනය කිරීමේදී හුදු ප්‍රකාශයක මට්ටමින් හෝ ගාන්ධි දර්ශනය තම පරමාදර්ශයක් බව කියා සිටිති. එය කොන්ග්‍රස් හෝ භාරතීය ප්‍රජාත්න්ත්‍රවාදී හෝ අන්‍ය වූ ඉන්දීය දේශපාලන පක්ෂ රාශියක උරුමය බඳුය. ගාන්ධි අබියස නතරව, ජවහර්ලාල් නේරු අමතක කරමින් ඉන්දියාවෙන් ඔබ්බට ගියහොත්, අපට මොහොමඩ් අලි ජින්නා හමු වනු ඇත. පකිස්ථානයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පාවා දුන් ඒකාධිපති හමුදා පාලකයින් පවා ඔවුන්ගේ පරිපාලනය පණ ගන්වන ලද්දේ ජින්නා රුව ඉදිරියෙහි උපහාර දක්වමිනි.
මෑත ඉතිහාසයෙහි රාජ්‍යයන් කීපයක අඛණ්ඩව ගරු බුහුමනට පාත්‍ර වෙන දේශපාලන චරිත කීපයකි. අපි ආසියානු කලාපයෙන්ම උදාහරණ සොයන්නේ නම්, ශ්‍රී ලංකාවේ උදවිය විසින් ද ඔහුගේ නම නිරන්තරයෙන් සඳහන් කරනු ලබන ලී ක්වාන් යූ මුල්තැනක් හිමිකර ගනියි. නව සිංගපූර් රාජ්‍යය නිර්මාණය කිරීම හේතුවෙන් ජනාධිපති ලී තවමත් එරට පුරවැසියන්ගේ හදවත් තුළ විසිතුරු කැටයමක් පරිදි නොමැකී රැඳී සිටින අතර අඳුරේ පොරබදන බොහෝ රටවල් සඳහා ඔහු ආදර්ශයක් වී ඇත. යාබද රට වූ මැලේසියාවේ වත්මන් ආර්ථික සංවර්ධනය හේතුවෙන් මහතීර් මොහොමඩ් ලබන ගෞරවයෙහි ද කිසිදු අඩුවක් නැත. මර්දනය නොතකා, ජනතාව ඉල්ලා සිටින ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා මියන්මාරයේ පීඩාකාරී හමුදා පාලනයට එරෙහිව ඇයගේ ජීවිත කාලය පුරාම කරන ලද අරගලය හේතුවෙන් අවුන් සාන් සූ කී නම් දේශපාලන කාන්තාව ද නිහඬව ගෞරවයට පාත්‍ර වන්නීය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතැම් මාධ්‍ය ආයතන මගින් විශාල කණ්ඩායමක් ලෙස ප්‍රදර්ශනය කෙරෙන අතළොස්සකගේ හෝ උපහාරය නැත්නම් වැඳුම් පිදුම් ලැබීමට හේතුව ලෙස කියා සිටින කරුණු මොනවාද? පාරවල් හැදීමට අතිරේකව 2009 යුද ජයග්‍රහණයයි. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වන විට ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කළේය. එදා හමුදා ජයග්‍රහණයේ මහිමය එක් පුද්ගලයෙකුට කැප කිරීම යථාර්ථවාදීද? කලක් යාපනය බලකොටුව පවා අහිමි කරගත් ශ්‍රී ලංකා යුද හමුදාව, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලනය යටතේ අර්ධද්වීපයේ පාලනය නැවත ලබා ගත්තේය. හිටපු ජනාධිපතිවරිය සේනාධිනායිකාව වූ සමයෙහි යාපනය යළි අත්පත් කර ගැනීම 2009 හමුදා ජයග්‍රහණයට මග පෑදුවේ නැතැයි කිසිවෙකුට පැවසිය හැකිද?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් (2001) කොටි සංවිධානය සමඟ ඇතිකර ගන්නා ලද සටන් විරාම සමයෙහි කැරලිකරුවන් අතර ප්‍රදර්ශනය වූ මානසික පිරිහීම ඔවුන්ගේ සටන අඩපණ වීම කෙරෙහි බලපෑ පළමු හේතුවක් නොවන්නේද?
සී.ඒ. චන්ද්‍රප්‍රේම යුද්ධයේ ජයග්‍රහණයේ කීර්තිය රාජපක්ෂ පවුලට පිළිගන්වමින් “ගෝඨාගේ යුද්ධය” නමින් පොතක් ප්‍රකාශයට පත් කළේය. ඒ සඳහා ත්‍යාගය හැටියට චන්ද්‍රප්‍රේම සඳහා තානාපති තනතුරක් පිරිනමන ලද බව අමතක කර, අපි යුධ පිටිය දෙස බලමු. එහිදී අපට එවකට ශ්‍රී ලංකා යුද හමුදාපති සරත් ෆොන්සේකා හමුවෙයි. ගුවන් සහ නාවික හමුදාවන් ඇතුළු සෙසු සියළු බල සේනාවන්ගේ ද සහයෝගය ඇතිව ජයග්‍රහණය තෙක් හමුදා මෙහෙයවන ලද යුද නායකයා වෙනුවෙන් රාජපක්ෂ පාලනය විසින් වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරියක් වෙන් කරන ලදී. යුද ජයග්‍රහණය වෙනුවෙන් ෆොන්සේකා ලද ත්‍යාගය දේශපාලන පළිගැනීම විය.
යුද්ධය සිදුවන අතරතුර එය නැවැත්වීමේ අරමුණින් හමුදා සංවිධානය තුළ වෙනස්කම් සිදු කරන ලෙස මහින්ද රාජපක්ෂ තමාට උපදෙස් දුන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෑතකදී හෙළිදරව් කළේය. ආර්. ප්‍රේමදාසගෙන් පසුව, මහින්ද රාජපක්ෂ ද එල්ටීටීඊයට රුපියල් මිලියන ගණනක් ලබා දී ඇති බව ඔහුගේ ඒජන්තයකුව සිටි ටිරාන් අලස් ඇතුළු කීපදෙනෙකු විසින් හෙළි කර ඇත. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ එල්ටීටීඊයට අල්ලස් දී මැතිවරණ වර්ජනය කිරීමෙන් තම ජයග්‍රහණය සොරකම් කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ චෝදනා කරයි.
තර්කඥානයෙන් තොර භක්තිමත් ඡන්දදායකයා අන්ධ ආගමික භක්තිකයෙකුගෙන් වෙනස් නැත. අන්ධ ආගමික භක්තිකයා තමා අදහන පූජකයා අනුව යමින් පූජකයා වරනගයි. දේශපාලන බැතිමත්හු ද තමන් විසින් සුරුවම් බවට පත්කර ගන්නා ලද සිය නායකයන් පවසන ඕනෑම ක්‍රියාවක් සඳහා සූදානම්ව සිටිති. ඒවා සාමකාමී වීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වීම ඔවුන්ට ගැටළුවක් නොවේ. ‘මයිනා ගෝ ගම’ සහ ගාලු මුවදොර පිටියේ ‘ගෝටා ගෝ ගම’ අරගලකරුවන්ට පහරදෙන ලද්දේ මහින්ද රාජපක්ෂ නමස්කාරයේ නියැලී සිටි භක්තිමත් අනුගාමිකයන් පිරිසක්ය යන්න රහසක් නොවේ. දේශපාලකයන් ද සහභාගී වූ රැස්වීමකින් අනතුරුව ප්‍රහාරකයන් බිහිසුණු අවි රැගෙන පිටත්ව ආවේ අගමැතිවරයාගේ නිල නිවහන වූ අරලිය ගහ මන්දිරයේ සිටය. එදා ඔහු සමඟ සිටි එම කණ්ඩායම්වල දේශපාලන භක්තිය නොසිදී පවතින්නක් බව අදත් ප්‍රදර්ශනය කෙරෙන්නේ මහින්දාභිවන්දනය දිගටම සිදුවෙමින් පවතින හෙයිනි.
මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීම, රාජ්‍යයක් බංකොළොත් කිරීම, දූෂණය, ඥාති සංග්‍රහය, අකාර්යක්ෂමතාව සහ විරුද්ධවාදීන්ට අනවරත පහරදීම, වධහිංසා පැමිණවීම මෙන්ම පුරවැසි ඝාතන එවැනි පාලකයින්ට බලය පැවරූ විට මතුවන ප්‍රතිවිපාක විස්තර කිරීමේ දී භාවිතා කෙරෙන වචන වෙති.
එයාකාරයේ මුහුණුවරින් යුත් දේශපාලන සංස්කෘතියක අවසාන ප්‍රතිවිපාකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවම විධිවිධාන පවා උල්ලංඝනය කරනු ලැබීමය. ජනාධිපති ජයවර්ධන මාසික සඟරාවක තත්ත්වයට පත් කරමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගුණාත්මක අගය සහ ගෞරවය විනාශ කිරීම මේ සඳහා අත්‍යවශ්‍ය උදාහරණයකි. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා තම දේශපාලන වාසිය සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කොට මහජන ඡන්දයෙන් තේරී පත් වූ විපක්ෂ නායකයා වූ අමිර්තලිංගම් ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් ද නෙරපා හැරියේය. තවත් කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තු මැතිවරණ අහෝසි කළ අතර, රට යුධ පිටියක් බවට පත් කළේය. දින දර්ශනයට කළු ජූලියක් එක් කළේය.
මහින්ද රාජපක්ෂ ද එක් වරක් නොව කිහිප වතාවක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අගෞරව කර ඇත. ඊනියා 18 වන සංශෝධනය ඊට කදිම නිදසුනකි. මීට අමතරව, 17 සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද කොමිෂන් සභා අක්‍රිය කිරීමත් ඔහුගේ ක්‍රියාවකි. හිටපු ජනාධිපති සිරිසේන සමඟ එක්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරය ලබා ගැනීම නිසා මතු වූ ව්‍යවස්ථාමය අර්බුදය නිරාකරණය කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීමෙනි.
මහජන ප්‍රශංසාව ලබන දේශපාලනඥයෙකු ඊර්ෂ්‍යාවට කරුණක් නොවිය යුතුය. නමුත් වැරදි ආකාරයේ ප්‍රශංසා වැරදි ආදර්ශ සපයයි. දූෂිත අතීතයෙන් මිදී නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට එය බාධාවකි.
දියුණු දේශපාලන සවිඥානකත්වයක් සහිත සමාජයන්හි නම්, සුවිශේෂී ගෞරවයක් ලැබිය යුතු පාලකයකු වීම සඳහා අවම වශයෙන් පහත සඳහන් ක්ෂේත්‍රවල ප්‍රගතියක් පෙන්නුම් කළ යුතුව ඇත. පළමුවැන්න ආර්ථික සංවර්ධනයයි. රට ණය කන්දක සිර නොවිය යුතු මෙන්ම ආර්ථිකය බංකොළොත් නොකළ යුතුය.ජනතාව අතර දරිද්‍රතාවය තුරන් කිරීම සහ සතුටුදායක මට්ටමේ පරිභෝජනයක් සහතික කිරීම අනිවාර්ය කොන්දේසියකි. ඊළඟට යහපත් සහ නිදහස් සෞඛ්‍ය පහසුකම් සහතික කිරීමය. එසේම, දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කිරීම තවත් වැදගත් පියවරකි. පාතාලය සමඟ සබඳතා නොපැවැත්විය යුතු අතර අපරාධ හා දූෂණයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමට පියවර ගත යුතුය. එසේම, තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ පරිසරයේ ආරක්ෂාව සැලසීමය. මිනිසුන්ට විඳිය හැකි ඔවුන්ට හිතකර මෙන්ම නිදහසේ ජීවත් විය යුතු වන සතුන් ගම්මානවල සැරිසැරීම අවශ්‍ය නොවන සුරක්ෂිත වනගැබක් සහිත පරිසරයක් සහතික කරනු ලැබීම ඉන් අදහස් කෙරෙයි.
තවද, එවැනි සමාජයක මාධ්‍යවේදීන් සහ අන්‍ය සමාජ දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය, පහර දීම, අතුරුදහන් කිරීම හෝ මරා දැමීම සිදු නොවිය යුතුය.
ඉහත සඳහන් කරන ලද ගුණාංග සහිත ‘රාජ භවතු ධම්මිකෝ’ ආදී වශයෙන් ප්‍රාර්ථනීය පාලකයකු වේ නම්, ඔහුට නමස්කාර කිරීමෙහි ඇති වරද කුමක්ද?