21 June, 2026

Blog

ලංකා සමසමාජ පක්ෂයට 90යි: ආපදා විපත් හමුවේ වමේ දේශපාලනය

ජයන්ත වැලිවිට

ජයන්ත වැලිවිට

ලංකා සමසමාජ පක්ෂයට වසර 90 සපිරෙන මේ මොහොතේ, දරුණු ස්වභාවික ව්‍යසනයක බලපෑමෙන් ඇති වූ ආපදා තත්වය හේතුවෙන් වර්තමාන ලංකාවත්, එහි ජනතාවත් පීඩාවට පත්ව සිටිති. ජනතාව ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව ඇත. ශ්‍රී ලංකාවට විපත් හා වසංගත පිලිබඳ දිගු ඉතිහාසයක් ඇත. සමසමාජ ව්‍යාපාරයේ ඉතිහාසය ගත්කළද ඔවුන් මෙවැනි ව්‍යසන අවස්ථාවලදී ක්‍රියාත්මක වූ ආකාරයෙන් අදටත් වැදගත් වන පාඩම් සහ අත්දැකීම් ඉතිරිකර ඇත.

ඉන් වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස මැලේරියා වසංගත කාලය හඳුනාගත හැකිය. එහි සිත්ගන්නා කරුණ නම්, ජනතාව ඉන් මුදවාගැනීමේ ක්‍රියාන්විතයත් සමඟ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ජනගත පදනමද ශක්තිමත් වීමයි. එපමණක් නොව, අද ලංකාව මුහුණදී ඇති විපතට පාදකවූ දැවැන්තම පාරිසරික අර්බුදය වන මධ්‍යම කඳුකරයේ අස්ථාවරත්වය හා නූතන නායයෑම් පිළිබඳ පැරණි වමේ විද්‍යාත්මක ඉදිරිපත් කිරීම් මගින් මෙවැනි විපත්වලදී, වමේ ව්‍යාපාරය පෙරමුණ ගෙන ක්‍රියාකාරී වූ අයුරුද පෙන්නුම් කරයි.

නූතන නායයෑම් පිළිබඳ විද්‍යාත්මක අනාවැකි

පලමු වතාවට වමේ නායකයෙකු ලෙස හේතු සාධක සහිතව දොස්තර එස්.. වික්‍රමසිංහ විසින්, ඩී.එස්. සේනානායක ආණ්ඩුව ගල් ඔය ව්‍යාපාරය හරහාත්, පසුව පැමිණි ආණ්ඩු මහවැලි ව්‍යාපාරය හරහාත් සිදු කිරීමට ගිය දැවැන්ත වාරි ව්‍යාපෘතිවල ඇතිඅවිද්‍යාත්මක බවපෙන්වා දුන්නේය. 1931දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටම ඔහු කතා කළේපාංශු ඛාදනයසහජල කළමනාකරණයගැනය. වනාන්තර විනාශකර වේලි බැඳීමෙන් සිදුවන්නේ ස්වභාවික ජලචක්‍රය බිඳවැටීම බවත්, රොන්මඩ පිරීයාම ගැනත්, තේ සහ වෙනත් වගාවන් හේතුවෙන් පහළින් වේලි බැඳීම මෝඩ ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය. වර්ෂාවට සේදී එන පස් මගින් ඉතා කෙටි කලකින් ජලාශ ගොඩවන බව ඔහු අනාවැකි පළකළේය. මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල පොළොව අභ්‍යන්තරයේ ඇත්තේ කුහර සහිත හුණුගල් බවත්, විශාල ජලකඳක් රඳවා තැබීමෙන් ඇතිවන පීඩනය එම භූමියට දරාගත නොහැකි බවත් ඔහු තර්ක කළේය. මේ ආපදා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන්නක් බැවින්, එහි ආදීනව පෙන්නුම් කලේ වික්‍රමසිංහයන් විසිනි. අද ශ්‍රී ලංකාව අත්විඳින දැවැන්ත පාරිසරික අර්බුදය සියවසකට පෙර පෙන්වා දුන් ඔහු, එය විද්‍යාත්මකව 1954 දී රචිතඉදිරිමගකෘතිය මගින් ලංකාවේ සංවර්ධන උපාය මාර්ගය විවේචනයට ලක්කලේය. ප්‍රබල ලියවිල්ලක් ලෙස දශක හතකකට පෙර ව්‍යසනය පෙන්වාදීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතුය.

මැලේරියා වසංගත ආපදාව සහ යටත්විජිත විරෝධය

1934 දී ඇති වූ දැවැන්ත ගංවතුරෙන් පසුව සහ 1935 මුල් භාගයේදී, ලංකාවේ සමහර ප්‍රදේශ මැලේරියා වසංගතයෙන් පීඩාවට ලක්විය. යථාර්ථය වූයේ, ප්‍රධාන වශයෙන් ඊට ගොදුරු වූ දුප්පත් ජනතාව වීමයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් සහලංකාවේ අමාත්‍ය මණ්ඩලයඑවැනි ව්‍යසනයන්ට මුහුණ දීමට සූදානම්ව හෝ සන්නද්ධව සිටියේ නැත. දරුණු නියඟය සහ අසම්පූර්ණ මෝසම් වැසි ආහාර සාගතයක් ඇති කළ අතර, මැලේරියාවට හේතු වූ මදුරුවන් සඳහා ජල අභිජනන ස්ථාන නිර්මාණය කළේය.

 නිල ඇස්තමේන්තුව වූයේ, මිලියන පහමාරක් වූ දිවයිනේ මුළු ජනගහනයෙන්, 1935 අප්‍රේල් වන විට වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි මැලේරියා රෝගීන් මිලියන 1.5 ක් සහ 1934 සැප්තැම්බර් සහ 1935 දෙසැම්බර් අතර මරණ 100,000 කට වඩා ඇති වූ බවයි. වසංගතය, ලංකාවේ වාර්තාගත ඉතිහාසයේ නරකම ආපදා අවස්ථාවක් බවට පත්කළේය.

1931 දී අලුතින් තේරීපත්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා රජය මුල් සහන කටයුතුවලදී ප්‍රතිචාරය දැක්වූයේ, ඉහළ මධ්‍යම පන්තිවල පිරිස් වෙත පමණකි. නමුත්, එවක රට තුළ මුල් බැස තිබූ රැඩිකල් තරුණ සංගම් (ලීගය) ව්‍යාපාරයට සම්බන්ධව සිටි තරුණ සමාජවාදීන් (මාක්ස්වාදීන්) මැලේරියා රෝගීන් වෙනුවෙන් දිවි හිමියෙන් කැපවීසූරියමල් ව්‍යාපාරයමගින්, වෘත්තීය සමිති සහ බහුජන බලවේග හරහා වාමාංශික පීඩනය වැඩි කළහ. රජයේ ආපදා සහන අඩුපාඩු හෙළිදරව් කරමින් සහ දුප්පතුන්ට හදිසි සෞඛ්‍ය පියවර සඳහා අරමුදල් සැපයීමට පෞද්ගලික සම්පත් රාජසන්තක කර ක්‍රියාත්මක වන ලෙසින් ඉල්ලා සිටියහ. වර්තමාන ආපදාව, යටත් විජිත යුගයේ මැලේරියා වසංගතයට වඩා ගුණාත්මකව වෙනස්වන අතර 1934/35 දී ඔවුන්ට ගතහැකි තරම් වූ ක්‍රියාමාර්ග ගැනීමටවත් කිසිදු වාමාංශික පක්ෂයකට නොහැකි වී ඇත.

සූරියමල් ව්‍යාපාරය

මැලේරියා වසංගතය පැතිර යන අවස්ථාව වනවිට, වාමාංශික ක්‍රියාකාරීන් විසින් ආරම්භ කරන ලද සූරියමල් ව්‍යාපාරය පුළුල් ලෙස ක්‍රියාත්මක වෙමින් පැවතුනි. පළමු ලෝක යුද්ධයේදී සටන්කළ යටත්විජිත සොල්දාදුවන්ට ආධාර කිරීම සඳහා සංවිධානය කරන ලද අධිරාජ්‍යවාදී පාලකයින්ගේපොපි මල්ව්‍යාපාරයට එරෙහිව සටන්කිරීමට ඔවුන් සම්බන්ධ වී සිටියහ. වසංගතයට ගොදුරුවූවන් කුසගින්නේ මියයන බවත්, යටත් විජිත පාලකයින් නිසි සහන ක්‍රියාමාර්ග නොගන්නා බැවිනුත් සූරිමල් ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් කෝපය ප්‍රකාශ කළහ.

පුරෝගාමී වාමාංශික නායකයින් මේ සම්බන්ධයෙන් විශාල මුලපිරීමක් ඇති කළහ. උසස් අධ්‍යාපනය අවසන් කර එංගලන්තයේ සිට ලංකාවට ආපසු පැමිණ සිටි ආචාර්ය එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ දොස්තර එස්.. වික්‍රමසිංහ තුන් කෝරලය ප්‍රදේශයේ සහන කටයුතු සංවිධානය කිරීමට ඉදිරිපත් විය. ප්‍රදේශයේ දුප්පත් ජනතාවට ඖෂධ සහ ප්‍රධාන ආහාරය වන පරිප්පු ඇතුලු වියලි ආහාර මලු ලබා දුන්හ. එස්. ඒ වික්‍රමසිංහ දුෂ්කර කඳුවල ඇවිදිමින් මැලේරියා රෝගීන් සුවපත් කිරීමේ වෛද්‍යවරයා විය. මෙම සහන පියවරයන් ප්‍රදේශයේ ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නැංවීමට සහ ජීවිත බේරාගැනීමට උපකාරී විය. එන්.එම්. පෙරේරා එම ප්‍රදේශයේපරිප්පු මහත්තයාලෙස ජනප්‍රිය විය.

සූරිය මල් ව්‍යාපාරයේ, මැලේරියා සහන කටයුතුවල සහ ඒ කාලයේම පැවති වැල්ලවත්ත රෙදි කම්හල් කම්කරු වැඩ වර්ජනයේ ක්‍රියාකාරීව කටයුතු කළ එස්.. වික්‍රමසිංහ, 1931 මැතිවරණයේදී මොරවක ආසනය සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්ව 1936 දක්වා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

සූරිය මල් ව්‍යාපාරය ආපදා සහන සැපයීමේදී ඉතා ක්‍රියාකාරී විය. එන් එම් පෙරේරා, ඇස්. . වික්‍රමසිංහ, කොල්වින් ආර් ද සිල්වා, හැරී, පිලිප් සහ රොබට් ගුණවර්ධන, රොබින් රත්නම්, මේරි රත්නම්, සෙලිනා පීරිස් සහ කොළඹ ආනන්ද බාලිකාවේ ඩොරීන් (යංග්) වික්‍රමසිංහ ඇතුලු ගුරුවරුන් කිහිප දෙනෙකු මාස ​​ගණනාවක් එම ප්‍රදේශවල සේවය කළහ.

පිලිප් ගුණවර්ධනගේ පියා වන බොරළුගොඩ රාළහාමිගේ නිවස එම ප්‍රදේශයේ සූරියමල් ස්වේච්ඡා සේවකයින්ගේ මධ්‍යස්ථානය විය. එවක සහන කොමසාරිස්වරයා සිය වාර්තාවේ, “බුද්ධිමත් හා ක්‍රමානුකූල ස්වේච්ඡා සේවකයින් වඩාත් කාර්යක්ෂමවූ බවත්, සූරියමල් සේවකයින් විසින් සිදුකරන ලදප්‍රශංසනීය සේවයගැනත් සඳහන් කළේය. වසංගතය අතරතුර සූරියමල් ව්‍යාපාරයේ කාර්යය එකලයෞවන සංගම් සඟරාවවිස්තර කළේ, “සහන පිළිබඳ අදහසට නව අරුතක් ලබාදුන් උගත් තරුණ තරුණියන් විසින් කරන ලද කැපීපෙනෙන උත්සාහයක්ලෙස ය. ‘සූරියමල් මැලේරියා සහන කමිටුවවිසින් නිකුත් කරන ලද වාර්තාවක, “වැඩ කිරීමේ දේශපාලන වැදගත්කම, ලබාදුන් සැබෑ සහනයට වඩා වැදගත් බවසලකනු ලැබීය. “ගොවීන් සහ සූරියමල් කම්කරුවන් අතර සම්බන්ධතාවයේ සදාචාරාත්මක වටිනාකම හා සසඳන විට අප ලබාදුන් වෛද්‍ය සහ ද්‍රව්‍යමය ආධාර කිසිවක් සමාන නොවන බවවාර්තාවේ සඳහන් විය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් සමඟ යම් ආකාරයක අර්ධස්වාධීනත්වයක් හෝආධිපත්‍යතත්වයක් සාකච්ඡා කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ දේශීය ධනේශ්වර නායකයින් මෙන් නොව, මෙම වාමාංශික ක්‍රියාකාරීන් නිදහස වෙනුවෙන් ඉදිරිපත් වූ රැඩිකල් සටන්කරුවන් ලෙස සලකනු ලැබීය. ඔවුන් සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට, ඉහළ සෞඛ්‍ය සේවාවකට අවශ්‍යවන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට හා මහජන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් යටත්විජිත රජයට බලපෑම් කළෝය.

සූරිය මල් ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් එම කරුණාවන්ත ක්‍රියාකාරකමෙහි නිරත වූයේ හුදෙක් සුභසාධන පියවරක් ලෙස නොව, රට තුළ මතුවෙමින් පවතින දැඩි අධිරාජ්‍ය විරෝධී මනෝභාවයද ප්‍රකාශ කිරීම සඳහා ය. අධිරාජ්‍යවාදී පොපි මල් ව්‍යාපාරයට එරෙහිව සූරියමලට වැඩි වැඩියෙන් තරුණයින් ආකර්ෂණය වූ අතර, සමසමාජ පක්ෂය ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධී කෝපයේ දේශපාලන ප්‍රකාශනය විය. මෙම මානුෂීය මැදිහත්වීම, 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන එම ප්‍රදේශයෙන් ආසන දෙකක් දිනාගැනීමට තරම් වූ බලපෑමක් ඇති කළහ.

සමසමාජ ද්විත්ව භූමිකාව

අධිරාජ්‍ය විරෝධී අරගලයට සහ කම්කරු පන්ති ව්‍යාපාරයට නායකත්වය දියහැකි තනි දේශපාලන පක්ෂයක් ලෙස 1935 දෙසැම්බර් 18 දින බිහිවූ ලංකා සමසමාජ පක්ෂය ද්විත්ව භූමිකාවක් භාර ගත්තේය. ඉන්දියාවේ පැවති පරිදි, ශක්තිමත් ධනේශ්වරයක් විසින් මෙහෙයවන ලද ජාතිකවාදී ව්‍යාපාරයක් නොමැතිවූ විට, එයට ජාතිකවාදී අරගලයද භාරගැනීමට සිදු විය. නාගරික ප්‍රදේශවල සහ වතුකරයේ ධනවාදයට එරෙහිව සටන්කිරීමට සහ ගම්බද ප්‍රදේශවල වැඩවසම්වාදයේ සුන්බුන් සමඟ සටන්කිරීමට පක්ෂයක් හෝ කම්කරු ව්‍යාපාරයක් නොමැති විටක, එයට සමාජවාදී භූමිකාවක් ද එක්කර ගැනීමට සිදුවිය. මේ අනුව, නව පක්ෂය දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන දේශපාලන හා වෘත්තීය සමිති අරගල මෙහෙයවීමේ කාර්යය භාර ගත්තේය.

1940 පෙබරවාරි මස අගදී ලංකා සමසමාජ පක්‍ෂයේ විධායක සභාවට ගෙන ආ යෝජනාවක් අනුව ඇති වූ න්‍යායාත්මක මතභේදයක් මුල්කරගෙනෙදාස්තර එස්.. වික්‍රමසිංහ ඇතුළු විධායක සභාවේ පස්දෙනකු ඉවත්කරන ලදී. ඔවුන් 1940 එක්සත් සමාජවාදී පක්‍ෂය ලෙස සංවිධානය විය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් එක්සත් සමාජවාදී පක්‍ෂය තහනම් කර වික්‍රමසිංහ සිරභාරයට ගන්නා ලදී. ඊට වර්ෂ කිහිපයකට පසු 1943 ජූලි මස 3 දින ලංකා කොමියුනිස්ට් පක්‍ෂය බිහිවිය.

මාක්ස්වාදී පුරෝගාමී දේශපාලනය

ජාත්‍යන්තර දැක්මක් ඇතිව, විප්ලවවාදී න්‍යායකින් සන්නද්ධ වූ මාක්ස්වාදීන් කිහිප දෙනෙකු ඇතුළත් වූ, එවැනි දැක්මක් ඇති වාමාංශික ව්‍යාපාරය ජාතිය, ආගම සහ භාෂාව වැනි කරුණු සම්බන්ධයෙන් තනිකරම ජාතිකවාදී ස්ථාවරයක් ගැනීමෙන් වළක්වන ලදී.

එය, මුල්කාලීන මහා වැඩවර්ජනවල නැගීම, 1953 හර්තාලයෙන් පසු පසුබෑම, 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානයකට එළඹීමට ගත් තීරණය සහ අදඑක්සත් පෙරමුණුමත තම පැවැත්ම ඇතුළු වමේ පසුකාලීන ඉතිහාසය විශ්ලේෂණය කිරීමට ඉඟි සපයයි. ශ්‍රී ලංකාවේ එක්සත් පෙරමුණු තර්කය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් සම්පූර්ණ කිරීමේ පදනම මත ඉදිරිපත් කරන ලදී. 1956 සිට 1977 දක්වා විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම, ප්‍රවාහනය, වරාය සහ වතු ජනසතු කිරීම මෙයට ඇතුළත් විය.

එක්සත් පෙරමුණු න්‍යාය විවේචනාත්මකව විශ්ලේෂණය කර, මෙම සියදිවි නසාගැනීමේ හැඩය නැවැත්වීම අද අභියෝගයට ලක්ව ඇත.

අවසානයේදී, ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට කැපවී සිටින්නේ කම්කරු පන්තිය සහ ගොවීන් පමණි. ධනවාදයේ ස්වභාවය, තම අවශ්‍යතා දේශසීමා හරහා පැතිරීම සහ කම්කරුවන්ට සහ ගොවීන්ට එරෙහිව තමන්ව ආරක්ෂා කරගැනීම සඳහා ධනපතියන් එකිනෙකා සමඟ සමගිවේ. කෙටිකාලීන සහ අස්ථාවර සන්ධානවලට එළඹීම මඟින් වාමාංශයේ පසුබිම දැඩි ලෙස අපකීර්තියට පත් වූ අතර සමාජ ව්‍යාපාර, ප්‍රගතිශීලී ජනතාව හා උගත්බුද්ධිමතුන්ගෙන් හුදකලාවීමෙන් එය තවදුරටත් නරක අතට හැරුණි. වාමාංශික සමගියකින් යුතු නායකත්වයක් මිස වෙනත් මගක් වමට නොමැති බව මින් පැහැදිලි විය.

වත්මන් අර්බුදයේදී වමේ වගකීම වන්නේ රජය කෙරෙහි විමසිල්ලෙන් සිටිමින් ජනතාව වෙනුවෙන් ආපදා දේශපාලනයට මැදිහත් වීමයි. වෙනුවෙන් සටන් කිරීමයි.

මැලේරියාව සහ යටත්විජිතවාදය පමණක් නොව, ගෝලීය වශයෙන් අධිරාජ්‍යවාදය පරාජය කිරීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී පුරෝගාමීන්ගේ පරමාදර්ශ, මැලේරියාවට එරෙහිව හා ස්වාභාවික විපත්වලට හේතුවූ සංවර්ධනයේ වැරදුණු තැන් පෙන්වාදීමේදී කටයුතු කල ආකාරය තුළින් පාඩම් ඉගෙන, වමේ ව්‍යාපාරයේ සියවස පිරෙන්නට පෙර අද වමේ මඟ විග්‍රහ කරගත යුතුය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.