18 June, 2026

Blog

වමට අනූවයි; හැට වසරක පාවාදීම්

උපාලි ගජනායක

උපාලි ගජනායක

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයට අවුරුදු අනූවක් සම්පූර්ණ විය. මෙලෙස ලාංකේය වාම ව්‍යාපාරයේ වයස තීන්දු කරනු ලබන්නේ මෙරට පළමු දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය නිර්මාණය කරනු ලැබීමේ කාල වකවානුව සැලකිල්ලට ගනිමිනි. සමසමාජ වාර්තා අනුව පක්ෂය ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ 1935 වර්ෂයේදී ය. නිශ්චිතව දැක්වෙන්නේ 1935 දෙසැම්බර් 18 දින පක්ෂය ලියාපදිංචි කරන ලද බවය.

එම ඓතිහාසික සන්ධිස්ථානයෙන් ආරම්භ කොට වමේ අතීත ගමන්මග සම්බන්ධයෙන් කරනු ලබන විපරම් කිරීමක දී ලංකාවේ වාම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා අනූ වසරකට එහා ගිය ඉතිහාසයක් ඇත යන්න පළමු වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙයි. ‘රතු දරුවා’ ප්‍රශූත කරන ලද්දේ 1935 දෙසැම්බර් මාසයේ දහඅට වෙනිදා නමුත් කළලය මෝරමින් තිබුනේ දහ නව වන සියවසේ අවසන් කාර්තුවේ පටන් ධනේශ්වර ආර්ථික සම්බන්ධතා කෙමෙන් මුහුකුරා යමින් තිබුණ දේශපාලන පරිසරයකය. එහි තීරණාත්මක සාධකය වන්නේ දහනව වැනි සියවසේ අගභාගයේ පටන් නාගරික කම්කරු පන්තියක් බිහිවීමය.

ලංකා සමසමාජ පක්ෂයේ කීර්තිමත් ලේකම්වරයකු වූ ලෙස්ලි ගුණවර්ධන එම අතීතය සමාලෝචනය කරමින් සඳහන් කරන පරිදිම ‘පක්ෂය පිහිටුවීමේ අදහස අහසින් කඩා වැටුන අහම්බයක්’ නොවේ. ඒ සඳහා අවශ්‍ය සරුපස පරිණත වෙමින් තිබුනේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සීමා වූ ධනපති උවමනාවන් නියෝජනය කළ ලංකා ජාතික සංගමයට එවකට පොදු උවමනාව වූ ජාතික නිදහස දිනාගැනීම සම්බන්ධයෙන් ද, එවකට කම්කරු නායකයාව සිටි ගුණසිංහගේ (ඒ.ඊ) ඒක පුද්ගල සංදර්ශනයක් බවට පිරිහී තිබුණ ලංකා කම්කරු පක්ෂයට සමාජවාදය සම්බන්ධයෙන් ද නිශ්චිත අවබෝධයක් නොවූ තත්වයක් යටතේය. තවදුරටත් අදහස් දක්වන ලෙස්ලි ගුණවර්ධන, වසර එක්දහස් නවසිය විසි ගණන්වල දී ලංකාවේ කම්කරු පන්තියේ පළමු වැදගත් පිබිදීම සළකුණු කරන ලද ගුණසිංහගේ කම්කරු පක්ෂය අගය කිරීමට ද නිර්ලෝභී වෙයි. ඌණතාවය වී තිබුනේ ලිබරල්වාදීන්ගෙන් ඔබ්බට ගිය දැක්මක් ගුණසිංහට නොවීමයි. එබැවින් නියතලෙසම පිරවිය යුතු හිස්තැනක් වූ අතර, 1935 දෙසැම්බර් මාසයේ 18 වෙනි දා ඉටුකරන ලද දේශපාලන කාර්යභාරය වුනේ වාමාංශික දේශපාලන දෘෂ්ටිය මත පදනම් වූ දේශපාලන පක්ෂයක් නිර්මාණය කරමින් එම සමාජ දේශපාලන උවමනාව සම්පූර්ණ කරනු ලැබීමය.

ලංකා සම සමාජ පක්ෂය විසින්(1935) නිකුත්කරන ලද ඔවුන්ගේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පක්ෂයේ අරමුණු සංක්ෂිප්ත ලෙස සඳහන් කරනු ලැබ ඇත. එහි දැක්වෙන පරිදි ඔවුන්ගේ අරමුණ පූර්ණ ජාතික නිදහස සාක්ෂාත් කර ගැනීම, නිෂ්පාදනය – බෙදාහැරීමේ සහ හුවමාරු මාධ්‍යයන් ජනසතු කිරීම සහ ජාතිය, කුලය, ආගම හෝ ස්ත්‍රී පුරුෂභාවය ආදී වෙනස්කම් නිසා පැන නගින අසමානතාවයන් අහෝසි කරනු ලැබීමය.මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු සඳහන් කරන පරිදි, ලංකා සමසමාජ පක්ෂය නිර්මාණය කරනු ලැබීමත් සමඟ වැඩකරන ජනතාවට අවශ්‍ය පන්ති විඥානය ලබා දීම මධ්‍යම පංතික බුද්ධිමතුන් මගින් සිදු විය.

අනූ වසරක (හෝ ඊටත් වැඩි) වමේ ව්‍යාපාරයක උරුමය පිළිබඳ සාකච්ඡාවක දී එම ව්‍යාපාරය විසින් දිනාගන්නා ලද ජයග්‍රහණ සම්බන්ධයෙන් සවන්දීමට ජන ශ්‍රවණාගාරය කැමැත්තක් දක්වයි. පශ්චාත් හැසිරීම කෙසේවුවද,ඓතිහාසික වශයෙන් විමසන විට වමේ ව්‍යාපාරය විසින් ගොවි කම්කරු පන්තියේ අයිතිවාසිකම් දිනා ගැනීමෙහි ලා විශාල බලපෑමක් සහ කාර්යභාරයක් සිදුකරනු ලැබ ඇත.ඒ අනුව පැය අටක වැඩ දිනයක පටන් වැටුප් ද ඇතුළුව කම්කරු පන්තිය භුක්තිවිඳින අයිතිවාසිකම් රාශියක් දිනාගැනීම සඳහා පමණක් නොව ස්වභාෂා අධ්‍යාපන අයිතිය තහවුරු කරනු ලැබීම සම්බන්ධයෙන් ද පුරෝගාමීව සටන් වැදුනේ වමේ ව්‍යාපාරය යයි පැවසීම යුක්ති සහගතය.

වමේ ව්‍යාපාරයේ අනූ වසරක කාර්යභාරය සම්බන්ධයෙන් කරන තක්සේරුවක දී එය අවධි දෙකක් යටතේ සාකච්ඡාවට ගත හැකිය. එයින් පළමු අවධිය 1935 දී සමසමාජ පක්ෂය ආරම්භ කරනු ලැබීමේ පටන් හැටේ දශකයේ මැද භාගය තෙක් වූ දළ වශයෙන් වසර තිහක (30) පමණ කීර්තිමත් කාල පරිච්ඡේදයයි. එහි දෙවන අදියර 1965 පටන් අද දක්වාම වූ ඉහත කී කීර්තිමත් ඉතිහාසයට පිටුපෑමේ හැට වසරක(60) කතන්දරයයි.

එසේ යෝජනා කරනු ලැබීම අයුක්ති සහගත නොවන්නේ කුමක් හෙයින් ද? කෙටි පිළිතුර එම හැටවසරක කාලය ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ඔවුන්ගේ සැබෑ අනන්‍යතාව අහිමිකර ගනු ලැබ තිබීමය. එම හානිය සිදුකරගන්නා ලද්දේ ඔවුන් විසින්ම දෝෂදර්ශනයට ලක්කරන ලිබරල් ධනේශ්වරය නියෝජනය කරන අර්ධ ෆැසිස්ට් ලක්ෂණ සහිත දේශපාලන පක්ෂ සමඟ හුදෙක් පාර්ලිමේන්තුව ඉලක්ක කරගත් නිතරඟ ගිවිසුම්, දේශපාලන සභාග ඇතිකර ගනු ලැබීම සහ මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවන් වීමෙනි.

ලංකා සමසමාජ පක්ෂයේ වත්මන් නිල නායක මහාචාර්ය තිස්ස විතාරණ විසින් සිය පක්ෂයේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉහත සඳහන් කළ අවධි දෙක තුළ විසංවාදී වෙන පක්ෂ පිළිවෙත ඉස්මතු කළ හැකිය.

පක්ෂයේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් කළ ප්‍රකාශයෙහි ඔහු මෙසේ සඳහන් කළේය; “1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියේ ‘ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරීභාවය ජනතාව තුළ ඇති අතර එය අහිමි කළ නොහැකි ය’ යනුවෙන් ප්‍රකාශ කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ජනතාව අපගේ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව තුළ සහ ඒ මත ස්වෛරී බවට පත් කරන ලදී. ජනතාවට ජාතික රාජ්‍ය සභාව හරහා තම ස්වෛරීභාවය ක්‍රියාත්මක කළ හැකිය. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති සුළු ජාතීන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සහිත පුළුල් ‘මූලික අයිතිවාසිකම් සහ නිදහස’ පරිච්ඡේදයක් පළමු වරට මෙම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දෙන ලදී. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 (2a) වගන්තියේ “කිසිම ප්‍රජාවකට වාසියක් නොලැබෙනු ඇත” යනුවෙන් සඳහන් කර ඇති දේ පවා එහි ඇතුළත් වේ. කෙසේ වෙතත්, 29 වන වගන්තිය කෙතරම් දුර්වලද යත්, ඉන්දියානු දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය අහිමි කළ පුරවැසි පනත මෙන්ම ‘සිංහල පමණක්’ පනත ද බලාත්මක වීම වැළැක්වීමට එය අසමත් විය.” (LSSP: 75 Years of Struggle and Achievement – December 19, Colombo, Sri Lanka Guardian)

ඉහත කී ප්‍රකාශය මෙම ලිපියෙහි අන්තර්ගත කෙරෙන්නේ එමගින් උත්කර්ෂවත් කෙරෙන ජයග්‍රහණ ඔවුන්ගේ ම ක්‍රියාවන් මගින් ලඝුකර ගනු ලැබ ඇති ආකාරය සටහන්කර තැබීම සඳහා මිස අන් අරමුණකින් නොවේ. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එහා යමින් සුළු ජාතීන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සහිත පුළුල් “මූලික අයිතිවාසිකම් සහ නිදහස” නම් පරිච්ඡේදයක් පළමු වරට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දෙන ලද බවක් එම උපුටනයේ දැක්වෙයි.එවැන්නක් සඳහන් කරනු ලැබීම මගින් ලංකා සමසමාජ පක්ෂය අපේක්ෂා කරන්නේ එය තම පක්ෂ නායකයකුගේ (ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා) කාර්යභාරයක් ලෙස සහතික කර ගනිමින් එහි ගෞරවය අත්පත් කර ගැනීමය.

එහෙත් යථාර්තය කුමක්ද?

මහාචාර්ය විතාරණ කුමක් සඳහන් කළත්, 1972 පළමු ජනරජ ව්‍යව්‍යවස්ථාවේ හතරවෙනි පරිච්ඡේදයේ 18 වගන්තියේ (3) උපවගන්තිය මෙසේ නිර්දේශ කරයි.

”පවත්නා නීති අතුරෙන් කිසියම් නීතියක් මේ වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධානයන්ට අනුකූල නොවුවද,සියලු පවත්නා නීති බල පවත්නේය”

එමගින් අදාළ ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් ඍජු ලෙසම සිදුකරනු ලැබ තිබෙන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබීමක් සම්බන්ධයෙන් අධිකරණයෙහි පිහිට පැතීම සඳහා පැවතිය යුතු ඉඩකඩ අහුරාලීමකි.

“සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති සුළු ජාතීන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක්” තම අනගි නිර්මාණය මගින් සහතික කරනු ලැබ ඇතැයි සමසමාජ නායකයා ඉහත උපුටනයේ සඳහන් කරයි. එහෙත් ඔහු එලෙස සඳහන් කරන්නේ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ දමිළ ජන නායකයන් විසින් බැහැර කරන ලද බව අමතක කරමිනි. ඇත්තෙන් ම ව්‍යස්ථාව මගින් සිදුකරනු ලැබ තිබුනේ කුමක්ද ? “එක භාෂාවක් නම් රටවල් දෙකක්” යයි එක්තරා කාලයක උද්ඝෝෂණය කළ සමසමාජ නායකයෙක් (ඔවුන් පවසන පරිදි ඔවුන්ගේ නිර්මාණයක් වූ) ව්‍යවස්ථාවක් මගින් එක භාෂාවක් රටේ රාජ්‍ය භාෂාව බවට පත්කිරීමය.

1956 ජූනි මාසයේ හයවෙනි දින ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරනු ලැබීමේ පනත් කෙටුම්පත් විවාදයේ දී සඳහන් කළේ කුමක්ද?

“සම තත්වය යනුවෙන් හැඳින්වෙන්නේ නීතිය ඉදිරියේ සෑම දෙනාටම එක හා සමානව සැලකීමයි. යමෙකු ඒ තැනැත්තාගේ භාෂාවෙන් ම පාලනය කරනු ලැබීම යුක්ති සහගත බව කිවයුතු නැත. මෙය එක ජාතියක රටක් නොවේ”.

එකී 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත සම්බන්ධයෙන් ආචාර්ය ද සිල්වා කරන ලද තවත් ප්‍රකාශයක් ‘කොල්වින්’ යනුවෙන් ඔහුගේ ජීවිත කතාව ලියන මලල්ගොඩ බන්දුතිලක විසින් උපුටා දක්වනු ලැබ ඇත.

“සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ පනත ද්‍රවිඩ ජනතාව මත බලයෙන් පැටවීමට උත්සාහ කිරීමේ ප්‍රතිපලය වන්නේ දෙමළ ජනයා වැඩ වඩාත් එම පනතට විරෝධය දැක්වීමය. මේ නිසා ඉතා නුදුරේදීමද්‍රවිඩ තරුණයන් අතර නොසන්සුන්තාව වර්ධනය වනු ඇත. මේ තත්වය නැවත්වීම සඳහා ඉක්මණින් ක්‍රියා නොකලොත් එය අවසන් වන්නේ සිවිල් යුද්ධයකින් පමණකි” (කොල්වින් – මලල්ගොඩ බන්දුතිලක)

එවැනි ඓතිහාසික ප්‍රකාශයක් කළ නායකයා විසින් මෙහෙයවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසින් 1972 දී නීතිගත කරන ලද්දේ කුමක්ද? පළමු ජනරජ ව්‍යවස්ථාවෙහි ජනරජයේ භාෂාවට අදාළ විධිවිධාන මෙපරිද්දෙනි.

“ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනතින් නියමිත පරිදි සිංහල භාෂාව වන්නේය”

පුරෝකතනය අතින් සමසමාජ නායකයා කොතරම් ඉදිරියෙන් සිටියේද යන්න පසුකාලයෙහි ප්‍රත්‍යක්ෂ කාරණයක් වුනේ ඔහු පෙන්වා දුන් පරිදිම,රට තිස් අවුරුදු ලේ වැගිරුන සිවිල් යුද්ධයකට ගොදුරුවීමෙනි. න්‍යායික වශයෙන් පවත්වා ගත් ආස්ථානය භාවිත දේශපාලනය තුළ සක්‍රීය නොවීමෙන් යම් ආකාරයකින් යුද්ධයට දායකවීමක් සිදුවීද යන්න සමසමාජ පක්ෂය විසින් විනිශ්චය කරගත යුතු කරුණකි.
වෘත්තීය අරගලවලින් ඔබ්බට ගිය සටන්කාමී ජන අරගලයක් වූ හර්තාලය(1953) තවත් මිණුමක් ලෙස භාවිතා කරන්නේනම්, එවකට ප්‍රධාන වමේ පක්ෂ වූ සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විසින් එහි දේශපාලන වාසිය අන්සතු කරනු ලැබීම ජුගුප්සාජනකය. එම දේශපාලන පක්ෂ දෙක විසින් වෙන් වෙන්ව නිකුත්කරනු ලැබ ඇති ප්‍රකාශන අනුව හර්තාලය ඔවුන්ගේ කැඳවීමකි.

“1953 හර්තාලය සංවිධානය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් අප පක්ෂයත් සම්ලමේලනයත් (වෘත්තීය සමිති) විශිෂ්ට මෙහෙයක් ඉටුකළේය….. අගෝස්තු 12 දා එක් දිනක මහා වැඩ වර්ජනයක් සහ හර්තාලයක් පැවැත්විය යුතු යයි යෝජනා කළේ ද අප විසිනි” (සටනක කතාව – ශ්‍රීලකොප 35 සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ ප්‍රකාශනය)

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයක් වන ඉහත සඳහන් කළ ලියවිල්ලේ වැඩිදුරටත් දැක්වෙන කරුණු අනුව හර්තාලයේ දේශපාලන වාසිය දිනාගන්නා ලද්දේ SWRD බණ්ඩාරනායක විසිනි. එහි මෙසේ දැක්වෙයි.

“….. හර්තාල් වීරයන් සැමරීමට කොළඹ නගරශාලාවේ පවත්වන්නට යෙදුන මහා සභා රැස්වීමට පැමිණි බණ්ඩාරනායක මහතා තමා හෝ තම පක්ෂය හර්තාලයට සහභාගී නූනත් එය සාධාරණ සටනක් බව කියා සිටියේය. ගාල්ලේ මන්ත්‍රී දහනායක මහතා එහි මූලාසනය ගත්තේය. 1956 මැතිවරණ ජයග්‍රහණය කරා තත්වයන් මෝරවා ලූ ප්‍රධානම සිද්ධිය හර්තාලය විය”.

දේශපාලන අවස්ථා පැහැර හැර අන්සතු කිරීම සම්බන්ධයෙන් වමේ පක්ෂ විසින් ඔවුන් ඔවුන්ටම එරෙහිව සාක්ෂි දෙන බවට තවත් නිදර්ශන අවශ්‍ය කරන්නේ ද?

අප අවලෝකනය කරන අනූ වසරක ලාංකේය වමේ ඉතිහාසයේ වඩාත් විපරීත අවස්ථාවක් වන්නේ එක්සත් වාමාංශික පෙරමුණ (1964) නිර්මාණය කරන ලද සැණින් එය කඩා සුන්බුං කර දමනු ලැබීමය. එක්සත් වාමාංශික පෙරමුණ ගොඩ නැගීමෙන් අනතුරුව, එකම ජීප් රථයක නැගී කම්කරු ප්‍රජාවගේ ඔල්වරසන් නාද මැද ගාලු මුවදොර චාරිකා කළ වමේ නායකයන් තිදෙනා (පිලිප් – එන්.එම් – වික්‍රමසිංහ) දේශපාලන වශයෙන් යළි සමුගත්තේ ඔවුන් ජීප් රථයෙන් බැස ගිය වේගයටත් වැඩි ඉක්මනකිනි. පළමුව ‘රතු ජීප් රථයෙන්’ බැස ගත් ආචාර්ය එන්. එම්. පෙරේරා ප්‍රමුඛ සමසමාජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාගයකට යමින් පක්ෂය සඳහා ඇමති පදවි තුනක් දිනා ගත්තේය. පිලිප් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුම්ගත වූ අතර, හැමදාමත් පමා වී එවැනි තීන්දු ගනු ලබන කොමියුනිස්ට් පක්ෂයත් කල් බලා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ සන්ධානගත විය.

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිළ) ලේකම් එන්. ෂන්මුගදාසන් විසින් ඔහුගේ සාටෝප අලංකාර වචනයෙන් සඳහන් කරන ලද පරිදි “කේනමන් සහ පෙරේරා(NM), ඔවුන් දෙදෙනා එකම තැනක සිටින බව තේරුම්ගෙන තිබෙන්නේ අරලියගහ මන්දිරයේ සාලයේ දී එකිනෙකාගේ ඇඟ හැපුන මොහොතේය”. එන්. එම්. අරලියගහ මන්දිරයේ ඉදිරිපසින් ඇතුල් වූ අතර කේනමන් පිටුපස දොරෙන් ඇතුල්ව සිටියේ යයි ෂන්මුගදාසන් සඳහන් කරයි.

එකී කාල වකවානුවෙහි කොමියුනිස්ට් පක්ෂය චීන – මොස්කව් කාණ්ඩ වශයෙන් දෙකඩව සිටි අතර, සමසමාජය 1964 දී “ඉල්ලීම් 21 පාවාදෙමින්” ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සභාග දේශපාලනයට අවතීර්ණවීම ලංකාවේ ට්‍රොට්ස්කිවාදී වම කෑලි කැබලිවලට කැඩීයාමේ කතන්දරයට මුල පුරනු ලැබීය. එය ලංකාවේ වමේ ව්‍යාපාරය දුර්වල කිරීමට මුල් වූ දේශපාලන සියදිවි නසා ගැනීමක් තරම් ය.
1964 දී කරන ලද දේශපාලන වරද 1970 දී යළි සිදු කළ වමේ නායකයෝ එහි ප්‍රතිවිපාක භුක්තිවිඳින ලද්දේ 1977 මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුව තුළ වාමාංශික නියෝජනය අහිමි කරගත් දේශපාලන පිටස්තරයන් කණ්ඩායමක් බවට පත්වීමෙනි. 1980 දශකයෙහි ජනතා විමුක්ති පෙරමුණ හැර සියලු ප්‍රධාන වමේ කණ්ඩායම් ගොණු වූ එක්සත් සමාජවාදී පෙරමුණ කඩාකප්පල් වීමට එක් හේතුවක් වුනේ ජාතික ලැයිස්තුව මගින් ලද එකම මන්ත්‍රී පදවිය සම්බන්ධයෙන් ඍජු සහ අවංක තීන්දුවක් ගැනීමට සන්ධානගත දේශපාලන පක්ෂ අසමත්වීමය.
1980 දශකයේ පටන් පැවැත්වුන සෑම මහ මැතිවරණයකදීම පැරණි යයි හඳුන්වනු ලබන වමේ පක්ෂ විසින් ප්‍රදර්ශනය කරන ලද චරිත ලක්ෂණය වන්නේ මන්ත්‍රී අසුනක් වෙනුවෙන් (ඇතැම්විට ඇමති පදවියක් ද සහිතව) තමන්ට අනන්‍ය වූ දේශපාලන පිළිවෙත ධනපති දේශපාලන පක්ෂ ඉදිරියෙහි උගස්කරනු ලැබීමය. ඇතැම්විට එම වරදානය ආණ්ඩුවේ සංස්ථාවක සභාපති පදවියකට ලඝු වුවද, එය පිළිගැනීමට ද වමේ නායකත්වය සූදානම්ව සිටියේය.

වමේ පැරණි පක්ෂ ද්වය එවැනි ප්‍රවේශයක් කරා අවතීර්ණ වී තිබෙන්නේ අහඹු දේශපාලන වැරදීමක ප්‍රතිවිපාකයක් ලෙස නොව දේශපාලන අවස්ථා ලාභය ඇස්තමේන්තු කරමින් අනුගමනය කෙරෙන දැනුවත් චාරිත්‍රයක මට්ටමින් වීම අවාසනාවකි. උදාහරණයක් වශයෙන් 1976 වසරෙහි ලංකා සමසමාජ පක්ෂය එවකට පාලක සභාගයෙන් නෙරපා හරිනු ලැබීමෙන් පසු ඔවුන් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන ලද මහජන හමුවලදී ප්‍රතිඥාවක මට්ටමින් කියාසිටියේ, දකුණු පක්ෂ සමඟ සන්ධානගත නොවන අතර ඉදිරි දේශපාලන සන්ධාන වමේ පක්ෂවලට පමණක් සීමාවෙන බවකි. (සමසමාජ නායකයෝ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයන්ට ද ආරාධනා කළහ.) එහෙත් එම ප්‍රතිඥාව අමතක කරන ලද්දේ 1980 දශකයේ මැද භාගයේ ගිවිසගත් එක්සත් සමාජවාදී පෙරමුණේ නිරෝගී පැවැත්මෙහි අවසානය දැකීමටත් පෙරම(1994) යළිත් ධනේශ්වරය සමඟ සන්ධානගත වෙමිනි.

1994 න් පසුව ලංකා සමසමාජ පක්ෂය පමණක් නොව කොමියුනිස්ට් පක්ෂය විසින් ද යළි පණගන්වන ලද්දේ ධනපති දේශපාලන පක්ෂ සමඟ සන්ධාන දේශපාලනයයි. ශ්‍රී ලංකාවේ සමාජවාදයට ඇති මඟ පැහැදිළි කරන කොමියුනිස්ට් පක්ෂය න්‍යායික විශ්ලේෂණයක නිරතවෙමින් කියා සිටින්නේ ‘සමාජවාදයට යොමු වූ විප්ලවය වර්ධනය කිරීම සඳහාත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටුකිරීම සඳහාත් එක්සත් දේශපාලන පෙරමුණක් පිහිටුවීම අවශ්‍ය කරන’ බවයි.

“එය (එක්සත් දේශපාලන පෙරමුණ),කම්කරු පන්තියේ නායකත්වය යටතේ පිහිටුවිය යුතු අතර, කම්කරු පන්තිය සහ කෘෂිකාර්මික කම්කරුවන් හා ගොවීන් අතර සන්ධානය එහි අරටුව විය යුතුය” (ශ්‍රී ලංකාවේ සමාජවාදයට මග – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සටන්මගේ නව සංස්කරණය)

එහෙත් එම න්‍යායික විශ්ලේෂණ දේශපාලන භාවිතය සමඟ ගළපන විට න්‍යාය සහ භාවිතය අතර මතුවෙන පරස්පරය සැතපුම් ගණනාවක පරතරයක් ප්‍රදර්ශනය කරයි. දේශපාලන ව්‍යාපාරයක න්‍යායික පසුබිම සිඳී ගිය කල්හි ඉස්මතුවෙන පදවිලෝභය සහ බල තණ්හාව විසින් එවැනි ව්‍යාපාරයක් (පක්ෂයක්) තල්ලුකර දමනු ලබන්නේ යළි කිසිසේත්ම ගොඩගත නොහැකි තරමේ අගාධයකටය. සංවිධානය තුළ ගොඩනගාගත් පෞද්ගලික ඒකාධිකාරය හෝ නිලබලය උපයෝගී කරගනිමින් (පාක්ෂිකයන් නොදැනුවත්ව) තමා විසින් තමාව යෝජනා කරගනු ලැබ හෝ ව්‍යවස්ථාදායකයට රිංගා ගැනීම වැනි අපකීර්තිමත් ක්‍රියාවන් එවැනි සංවිධාන කෙරෙන් වාර්තා කෙරුනොත් එය කිසිසේත්ම විශ්මයට කරුණක් නොවිය යුතුය.

ඊටත් වැඩියෙන් හානිදායක තවත් ප්‍රවේශයන් රාශියකි. සමාජවාදී සමාජයක් ඉලක්ක කරගත් වාමාංශික පක්ෂයක ප්‍රමුඛ කාර්යභාරයක් වන්නේ ධනේශ්වර සමාජ අවධියේ තහවුරු කරගන්නා ලද ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමයි. එහෙත් මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි මෙහි ඉහත සඳහන් කරන ලද පැරණි වාමාංශික පක්ෂ දෙක එම වගකීම ඉටුකරන ලද්දේ කෙසේද යන්න සමාජයට රහසක් නොවේ. අත්තනෝමතික බලය පාවිච්චි කරමින් අගවිනිසුරුවරිය (ශ්‍රියානි බණ්ඩාරනායක) ඉවත්කරනු ලැබීම, 17 සංශෝධනයේ කොමිසන් සභාවන්හි ක්‍රියාකාරිත්වය අක්‍රිය කරනු ලැබීම, 18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති පදවියේ නිල වාර ගණන වෙනස්කරනු ලැබීම සහ එවැනි ජනාධිපති ධූර අපේක්ෂකයකුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම ආදී වශයෙන් ප්‍රජාතන්තවාදී ආයතන පද්ධතිය වැනසීමේ අපරාධයට හවුල්වීම වමේ ඉතිහාසයට එකතු නොවිය යුතුව තිබුණ අවස්ථාවන් නොවන්නේ ද?

ඉහත සඳහන් කරන ලද අතීතයෙන් බැහැරවෙමින් සමකාලීන දේශපාලනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විපරම් කිරීමක දී වුවද, පැරණි වමේ පක්ෂවල දේශපාලන නිරෝගීභාවය තවදුරටත් ප්‍රශ්න සහගත වන්නේ අත්දැකීම් පාඩම් බවට පත්කර නොගනිමින් එකම වරද පුන පුනා සිදුකිරීමෙහි ලා යොමුවෙන දෘෂ්ටිමය ඌණතාවයයි. ඉකුත් ජනාධිපතිවරණ දෙක සහ පිළිවෙලින් පැවැත්වුන මහ මැතිවරණ දෙකේ දී මෙන්ම ඉන් අනතුරුවත් පැරණි වම වර්ගවාදී මෙන්ම අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් සමඟ සන්ධානගතවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ එම දෘෂ්ටිමය ඌණතාවයයි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.