18 June, 2026

Blog

සරත් නික්මගොස් දශක හතරකට පසු…

අරුණ ජයසේන –

ආචාර්ය අරුණ ජයසේන

1986 මැයි 18 වෙනිදා සියල්ල අන්ධකාරයේ ගිලෙමින් තිබුණු රාත්‍රියේ රත්නපුර නව නගරය දෙස සිට කොළඹ දෙසට අලුත් පාර බෑවුමේ වේගයෙන් ඇදී ආ සුදු පැහැති Datson 120Y රථය ඉදිරිපසින් පැමිණි ජීප් රථයේ මුහුණට මුහුණ ගැටිණ. විශාල ශබ්දයක් නංවමින් ගුවනේ භ්‍රමණය වී පාරේ අනෙක් අන්තයට පෙරලී, විකෘතිව ගිය රථයෙන් මුදාගත් සිව් දෙනෙක් කඩිනමින් රත්නපුර රෝහලට රැගෙන ගියද, රියැදුරු ඇසුණේ බරපතල තුවාල ලබාසිටි පුද්ගලයා රෝහලට ඇතුලත් කරන විටත් දිවියෙන් සමුගෙන සිටියේය. ඉතා කෙටි කාලයක් තුල අනතුරේ පුවත කනවැකුණු විවිධ පිරිස් රටේ නන්දෙසින් රත්නපුර රෝහල වෙත ඇදී එන්නට පටන් ගත්හ. දේශපාලන අධිකාරියේ විවිධ පක්ෂ කණ්ඩායම් වලට අයත් ඉහලපෙළේ නායකයන් ගේ සිට පහල කම්කරුවන් දක්වා විශාල පිරිසක් රෝහලේ රැස්කමින් ද, ඉන් බොහෝ දෙන හඬා වැටෙමින් ද සිදුවූ ඛේදවාචකයේ වික්ෂිප්ත හැඟීම් වල ගිලී ගියෝය. පසුදා උදැසන ඔහුගේ දේහය රත්නපුර මිල්ලවිටිය සිය නිවසට රැගෙන එන මඟ දෙපස රොදබඳිමින් සිටි ජනතාවෝ මහා හඬින් විලාප දෙමින් සිය අසහාය නායකයා අවසන් වරට පිළිගත්හ. සබරගමුවේ ඈත ගම් නියම්ගම් පමණකින් නොව දිවයිනේ හතර දෙසින් විසල් ජන ගඟක් මිල්ලවිටියට ආදී ආවේ, මැයි 18 වෙනිදා සිදුවූ මාරක අනතුරෙන් අකාලයේ රටට අහිමිව ගිය සරත් මුත්තෙට්ටුවේගම මහතා වෙත සිය අවසන් ගෞරව දැක්වීමටය. ඒ මීට හරියටම වසර හතලිහකට උඩදී ය.

සරත් මුත්තෙට්ටුවෙගම

1935 අප්‍රේල් 29 වන දින සබරගමුවේ රදළ පරම්පරාවකට දාව උපත ලද සරත් සිය මුලික අධ්‍යාපනය හමාර කරන්නේ එවක ලාංකේය ප්‍රභූ දරුවන් වැඩිදෙනා යොමු කෙරුණු ගුරුතලාව හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල වලිනි. පසුව කොළඹ නීති විද්‍යාලයට ඇතුලත් වූ ඔහු එවක ප්‍රබලම වාමාංශික ශිෂ්‍ය සංවිධානයක් වූ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේත්, කොමියුනිස්ට් තරුණ සම්මේලනයේත් සාමාජිකත්වය ලබන්නේ විද්‍යාත්මක සමාජවාදය ගැනත්, රටතුල මෙන්ම ලොවපුරා ප්‍රබලව මතුවෙමින් පැවති වාමාංශික ව්‍යාපාරයේ දීප්තිය හා ශක්තිය කෙරෙහි පොදුවේ තාරුණ්‍යය තුල ඇතිවූ දැඩි ආකර්ෂණය නිසා විය යුතුය. විශේෂයෙන්ම, 1953 හර්තාලය සහ ඉන්පසු සිදුවූ ලංකාවේ වාමවාදී දේශපාලන විපර්යාස පිළිබඳ එකල නීති ශිෂ්‍යයෙක්ව සිටි සරත් උනන්දු වුවාට සැක නැත. 1956 දී නීතිඥයෙකු ලෙස දිව්රුම්දීමෙන් පසු ඔහු යලි රත්නපුරයට පැමිණෙන්නේ, සිය වෘත්තීය කටයුතු ඇරඹීමට සමගාමීව තරුණ දේශපාලනඥයෙක් ලෙස ස්ථාවර වීමට ඔහු කෙරෙහි වූ විභවතාවය පිළිබඳ මනා අවබෝධයෙන් යුක්තවයි.

සරත් 1957දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබන විටත් පක්ෂයේ ශිෂ්‍ය හා තරුණ අංශ තුල ජනප්‍රිය නායකයෙකි. ඔහු සතුව පැවති වමේ ව්‍යාපාරයටම ගැලපෙන අකර්ශනීය චරිතයත්, සංවිධාන හැකියාවත් පිළිබඳ පක්ෂ නායකයන් තුල පැවතියේද ඉහල විශ්වාසයකි. එම වසරේම කුරුවිට පුස්සැල්ල ගම්සභාවට තරඟ කොට ඉන් ජයලබන සරත් ඉන් පසු 1959 රත්නපුර පළාත් ආණ්ඩු සභාවට පිවිසෙන්නේ පුළුඟුපිටිය කොට්ඨාශය වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයෙන්ද ජය ලබමිනි. සරත් පළමු වරට පාර්ලිමේන්තුවට තරඟ කරන්නේ 1960 මහා මැතිවරණයේදී නමුත්, 1970 මහා මැතිවරණය දක්වා ඔහුට පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නොහැකි විය. ඒ වාමාංශික දේශපාලන කඳවුර තුල එවක පැවති විවිධ හැලහැප්පීම් මෙන්ම සම්ප්‍රදායික සම්මුතීන් නිසාය.

කෙසේ නමුත්, ප්‍රාදේශීය මැතිවරණ ජය ලබමින් නිරන්තර ජනතා නියෝජකත්වය රැකගත් සරත්, සිය නීතිඥ වෘත්තිය හරහා මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ විවිධ වගකීම් හොබවමින් කෙටි කාලෙකින් ජාතික තලයේ කැපීපෙනෙන දේශපාලන චරිතයක් බවට පත්විය. මෙහි සඳහන් කලයුතු වැදගත්ම කාරණය නම්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ රැඳී සිටීමට අත්‍යවශ්‍යම සාධකයක් වන ප්‍රචාරණය පිළිබඳ සරත් සතුව තිබූ තියුණු ඉව හා පරිකල්පනයයි. සරත් ගේ නීති වෘත්තීය අත්දැකීම් මෙන්ම දේශපාලන පිටියේ විවිධ සිදුවීම් සහ රසමුසු අවස්ථා ගැන ලියැවුණු කතා එවක පුවත්පත් සියල්ලම පාහේ මහත් අභිරුචියෙන් යුතුව ප්‍රසිද්ධියට පත්කලෝය. ඒ රටේ විවිධ මට්ටමේ ජනමාධ්‍යකරුවන් සමඟ ඔහු පවත්වාගෙන ගිය කිට්ටු සම්බන්ධකම් නිසාය. එපමණක් නොව කිනම් දේශපාලන මත දැරුවත් එවක සිටි වෘත්තීය බුද්ධිමතුන් මෙන්ම මධ්‍යම පාන්තික කොටස් සරත් කෙරෙහි විශ්වාසය තැබුවෝය. සරත් වටා ගොඩනැඟුණු සංස්කෘතික සහ සමාජ ප්‍රාග්ධනය ඊට හේතුවයි. මේ සියල්ලටම වඩා ඔහු සතුවූ ප්‍රසන්න සහ මානුෂික ගති ලක්ෂණ, පුළුල් සමාජ-දේශපාලන දැනුම, අවංකභාවය මෙන්ම නිසග හාස්‍ය මුසු සංවාද පිළිබඳ ඔහු හඳුනා සිටි සියල්ලන්ටම තිබුණේ අති ප්‍රබල අකර්ෂණයකි.

70 මහා මැතිවරණයේදී කලවාන ආසනය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන සරත්, පාලක සමගි පෙරමුණු රජයේ කොටස්කරුවකු වුනත්, 1971 කැරැල්ලෙන් පසු රජය පාර්ශවයෙන් ඉදිරිපත් කල අපරාධ යුක්ති කොමිෂන් පනතට විරුද්ධව ඡන්දය භාවිත කරමින් සිය ස්වාධීන මතය වෙනුවෙන් පෙනී සිටියේය. සමගි පෙරමුණු රජයේ මෙන්ම සිය පක්ෂයේම පාර්ලිමේන්තු කණ්ඩායමේ මතයටද එකඟ නොවී සරත් පෙනීසිටියේ කැරැල්ලට සහභාගිවූ තරුණ හා ශිෂ්‍ය කණ්ඩායම් කෙරෙහි සානුකම්පික ස්ථාවරයක ය. අපරාධ යුක්ති කොමිෂන් පනතට විරුද්ධ වීම නිසා ඔහු ආණ්ඩු පක්ෂ කණ්ඩායමෙන්ද ටික කාලෙකට ඉවත්කර තැබිය.

සරත් මියයන විට සිය සක්‍රිය දේශපාලනයේ හිනිපෙත්තටම නැඟී සිටි වාමාංශික නායකයෙකි. 1977 මහා මැතිවරණයෙන් පරාජය ලැබූවද, 1981 කලවාන අතුරු මැතිවරණට මුහුණ දී විශිෂ්ට ලෙස ජයලබා දෙවන වරටත් පාර්ලිමේන්තු අසුන දිනාගත් හෙතෙම එවක ව්‍යවස්ථාදායකයේ වඩාත් කැපීපෙනෙන විපක්ෂ මන්ත්‍රීවරයා බවට පත්විය. 1977 මහා මැතිවරණයෙන් දිනාගත් හයෙන් පහක අති බහුතර ආසන සංඛ්‍යාවේ ආනුභාවයෙන් මහත් උද්යෝගයට පත්ව සිටි දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිමල්ලවව සිටගත් එකම වාමාංශික නායකයා ඔහු ය. වර්තමාන අර්ථයෙන් ගත් කල, 1977 මහා මැතිවරණයේදී සිදුවූයේ පාර්ලිමේන්තුවේ සමාජවාදී වල්පැල උදුරා දමා, දක්ෂිණාංශික මල්පැල ශ්‍රමදානයෙන් සිටවීමයි. අන්ත පරාජයෙන් සුන්බුන්ව ගිය විපක්ෂයට හිමි වූයේ අතේ ඇඟිලි ගණනටත් අඩු මන්ත්‍රී සංඛ්‍යාවකි. කෙසේ නමුත්, 1981 කලවාන අතුරු මැතිවරණයෙන් ඔහුට ජය ගත හැකි වූයේ දීර්ඝ කාලයක් පුරා ඒ වෙනුවෙන් ගෙනගිය දැඩි අරගලයක ප්‍රතිඵල වශයෙනි.

1977 ජේ. ආර්. රජයේ බිහිවීමත් සමග ඉදිරියට පැමිණි ප්‍රතිපත්තිමය පීලිපැනීම් ලාංකේය දේශපාලනයේ බරපතල හැරවුම් ලක්ෂයක් බැව් අවිවාදිතය. ඉන් පැනනැඟුණු දේශපාලන සංශයන් ට අමතරව වර්ධනය වූ අතුරු ආබාධ වර්තමානය දක්වා සියලු සමාජ, ආර්ථික සහ දේශපාලන වපසරීන් හී නිරන්තරයෙන් විද්‍යමානය. 1980 ජූලි මහා වැඩවර්ජනය මර්ධනය කිරීමේ අටියෙන් 40000 ට ආසන්න රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් එක් රැයින් සිය රැකියා වලින් දොට්ට දැමීමේ සිද්ධියේ සිට, 1981 යාපනය සංවර්ධන සභා ඡන්දය හරහා 1983 කළු ජූලිය දක්වා ගොඩනැඟුණු වාර්ගික අන්තවාදයේ ප්‍රතිඵල වසර තිහකට අසන්න සන්නද්ධ අරගලයකට පාර කැපීමත්, රජයේ පසුපස සැඟවුණු බළල් අත් මෙහෙයවීමෙන් මුදාහල ජූලි භිෂණයේ වරද වමේ පක්ෂ (3ක්) වෙත පවරා, ඒවා තහනම් කොට නායකයන් අත්අඩංගුවට ගැනීමත්, සරත් පාර්ලිමේන්තුවේ සිදුකල සුවිසල් පෙරළියට උදෘත සැපයූ සිදුවීම් අතර ප්‍රමුඛ ය. 1987න් පසු ඇරඹි දකුණේ ශිෂ්‍ය නැගිටීම් වලට හේතු වූ ධනපති අණපනත් වලට එරෙහිව හඬ නැඟීමට ඔහු ජීවත්ව නොසිටියද, 1982 සිට 1986 දක්වා පැවති ශිෂ්‍ය ගැටළු බහුතරය පාර්ලිමේන්තු සංවාදයට රැගෙන ආවේ සරත් ය.

පසුගිය වසර 40 පුරා විවිධ අවස්ථාවන් හිදී සරත් පිළිබඳ මතකය අවධි කරන්නට හේතුවූ විවිධ සිද්ධීන් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කල කෙටි කාලසීමාව තුල රටට ඉතිරිකොට ගොස් ඇත්තාක් මෙනි. මන්ද, ලාංකේය දේශපාලනයේ මෑත දශක කිහිපය තුල මතුව ආ බහුතරයක් අර්බුද පිළිබඳ මූලික කතිකාව සරත් විසින් අරඹා ගොස් තිබු බැවිනි. සරත් දිවිසැරිය නිමවන්නේ, එකී කතිකාවේ මූලාරම්භකයෙක් වශයෙනි. එවක පාර්ලිමේන්තුව තුල එවන් අනුභූතීන් ඉතා සුක්ෂමව මතුකළ හැකි පරිචයත්, ව්‍යක්ත සහ තියුණු බවත් ගැබ්ව තිබුණේ ඔහු තුල ය. නොඑසේ නම්, එකී කතිකාවේ වාමාංශික මැදිහත් වීමේ තීව්‍රභාවය සරත් ගේ ඛේදනීය වියෝවෙන් පසු කෙමෙන් වියැකෙන්නට පටන්ගන්නේ ඔහුට අනන්‍ය දේශපාලන භූමිකාව තුලින් සනිටුහන් වන්නට තිබූ ගැඹුරු ප්‍රතිරෝදය වෙනුවට ඇති සාමාන්‍ය, සද්භාවවාදී සහ නොමේරු විග්‍රහයන්ගෙන් ඔබ්බට එම කතිකාව ගොඩ නොනැඟුණු නිසා ය.

1982 අප්‍රේල් මස ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කිරීමේ විශේෂ සැසිවාරයේදී සරත් කල කතාව තවමත් බොහෝ දෙන ගේ මතකයෙන් ගිලිහී නොයන්නේ පැවති තත්ත්වය යටතේ ඉතා සුක්ෂමව සිය මොහොත තෝරාගැනීමෙන්ද, කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරින් උක්ත කතිකාවට මුලපිරිමෙන් ය. නව පාර්ලිමේන්තුවේ පළමු හැන්සාඩ් වර්තාවටම තමන් මෙන්ම තම පක්ෂය නියෝජනය කල මතය අන්තර්ග්‍රහණය කරවීමට සැලැස්වීය. සම්පිණ්ඩනයක් ලෙස ගත්කල, සරත් කතාව ආරම්භ කරන්නේ, එජාප රජය මඟින් කඩිමුඩියේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක් ඉදිකිරීමත්, රජයෙන් සිදුකෙරෙන නගර අලංකරණයත් කෙරෙහි සිය පක්ෂය දක්වන විරෝධාකල්පයේ ස්වභාවය පැහැදිලි කරමිනි. එය හුදු නව්‍යත්වයට හෝ අලංකාරීකත්වයට දැක්වූ ප්‍රතිවිරෝධයක් නොව, රටේ පවත්නා තත්ත්වයට සාපේක්ෂව ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමකටද යන්න ගැන දැක්වූ ප්‍රතිචාරයක් බව ඔහු කියා සිටියේය.

දිනෙන් දින අර්බුදය කරා ඇදෙමින් ඇති ලෝක ධනපති ක්‍රමයේ නව මුහුණුවර යනුවෙන් සරත් වෙන්කොට හඳුන්වන්නේ අලුතෙන්ම ලංකාවට හඳුන්වාදුන් ‘නව ලිබරල්’ විවෘත වෙළඳපොල ආර්ථිකය ගැනයි. ඉන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන තර්ජණීය අවිනිශ්චිතතාවය පිළිබඳ සරත් ඉඟි කරන්නේ ඒ වන විටත් ලංකාවේ දේශපාලන අනාගතය ශීඝ්‍රයෙන් ඇදී යමින් තිබුණු අගාධය ගැන ද යම් පුර්විකාවක් සපයමිණි. එකී නව ආර්ථික උපායයන් කිසිසේත් රට මුහුණදී ඇති අර්බුධ සමනය නොකරන බවත්, ඉන් තව තවත් අදායම් විෂමතාවය බරපතල ලෙස වර්ධණය වන බවත් ඔහු සඳහන් කළේය. නව ආර්ථික ප්‍රතිපත්ති නිසා විදේශ වත්කම් වල සිදුවූ ශීඝ්‍ර අඩු වීම හා ඒවා උපදවන (තේ, පොල්, රබර් වැනි) නිෂ්පාදන වල මිල බිඳවැටීම මෙන්ම උද්ධමනය නිසා ඉහල යන ජිවන වියදම නිසා සාමාන්‍ය ජන ජීවිතයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ දියවන්නාවේ නව පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කළේ සරත් ය. ධනපති ක්‍රමය අති උත්කෘෂ්ට එකක් යයි සැම විට වර්ණනා කල දක්ෂිණාංශය විසින් සිදුකරමින් පවතින්නේ, තව තවත් සමාජ පරතරයන් පුළුල් කරමින්, දුප්පතුන් තව තවත් පරිහාණිය කරා ගෙනයාමක් බැව් සරත් සඳහන් කළේය.

රට ගමන් කරමින් සිටින ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා යලිත් අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතන වලින් ණය ලබාගැනීමට යෝජනා කෙරෙමින් තිබූ පරිසරයක, සරත් සැළකර සිටියේ, එම ක්‍රියාමාර්ග සඳහා අනුගමනය කලයුතු කොන්දේසි හරහා දුප්පතුන් වෙනුවෙන් සැපයෙන සලාක සහ සුබසාධන වැඩපිළිවෙලවල් වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් බරපතල කප්පාදුවට ලක් කිරීමට සිදුවන බවයි. ඊට අමතරව, රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් දිනාගත් නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා තර්ජනයට ලක් කෙරෙන අහිතකර ප්‍රතිපත්ති ගැන තීන්දු ගැනීමට අනාගතයේ සිදුවන බවත් අවධාරණය කළේය. රටේ ධනපති කොටස් පිනවීමට විනිමය නීති ලිහිල් කිරීමත්, විවිධ බදු සහන ලබාදීමත්, නව ආයෝජන කලාප හඳුන්වා දෙමින් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම තුලින් සිදුවන්නේ රට යලිත් යටත් විජිතයක තත්ත්වයට හෙලීමක් බවත්, එයින් අප ජාත්‍යන්තර ධනේශ්වරයේ ගොදුරුබිමක් බවට පත්වන බවත් පැවසීය. මේ සියල්ල සිදුවන්නේ පාලකයන්ගේ මනෝරාජික ‘සිංගප්පූරු’ සිහිනය සැබෑ කරවීමට බැව් මුලින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ සරත් ය. එය හර සුන් නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් බවත්, විධායක ජනාධිපති හා සමානුපාතික ඡන්ද ක්‍රමය හරහා ගොඩනැඟන ද්වී පක්ෂ ක්‍රමය හරහා අවසානයේ සිදුවන්නේ ධනේශ්වර ක්‍රමයට අභියෝගයක් එල්ල නොවන පරිදි සියලු පද්ධතීන් වෙනස් කිරීමක් බව ද සඳහන් කලේය.

සිය දීර්ඝ කතාව තුල සරත් ප්‍රකාශ කලේ පවත්නා ක්‍රමයට එරෙහිව ගොඩනැඟෙන ජනතා විරෝධතා හරහා මුලින්ම පරිහානියට පත්වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බවත්, ලිබරල් පාර්ලිමේන්තුවාදය හා නැඟී එන ධනපති සංවර්ධන මාවත කිසිසේත් නොපෑහෙන බවත්ය. ධනපති උවමනාවන් වෙනුවෙන් ගෙන ආ විවිධ ව්‍යුහාත්මක වෙනස්කම් තුලින් ජීවන වියදම, විරැකියාව, ගොවි හා ධීවර ප්‍රශ්ණ, තරුණ හා ශිෂ්‍ය ගැටළු ඉහලයාම නිසා තව තවත් අර්බුදය උත්සන්න වන අතර එය වෙනස් කල හැකිවන්නේ අධිෂ්ඨානශීලී හා සටන්කාමී අරගල වලින් පමණක් බව ද අවධාරණය කළේය. සැබෑ ජනතා නියෝජනය ලඟා කරගත හැක්කේ අලංකාර සහ විශාල ගොඩනැඟිලි වලින් නොවන බවත්, රටේ පවත්නා සමාජ ක්‍රමය කුමක්ද යන්න මත බවත්,

රටේ කම්කරු – ගොවි ජනතාව බලය ලබාගෙන, නිෂ්පාදනය, බෙදාහැරීම, හුවමාරුව ජනතාව අතට පත්වන, ආර්ථික ක්‍රමය විද්‍යාත්මක සමාජවාදය වන අවධියක මේ අලංකාර ගොඩනැඟිල්ල තුල ගැබ්වන පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම රටේ පොදු ජනතාව නියෝජනය කරනවා ඇත.” යන්න සිය කතාව අවසන් කරමින් සරත් පවසා සිටියේය.

සරත් තම දිවිගමන හමාරකොට වසර 40ක් ගෙවීයන්නේ ලංකාවේ System Change උදෘතය ඔස්සේ පැනනැඟුණු ජනතා අරගලයකින් එක් ධනපති ආණ්ඩුවක් පන්නා දමා, තවත් එකක් මැතිවරණයකින් පරාජයකොට, ඊට ප්‍රතිවිරෝධී ප්‍රගතිශීලි යැයි ස්වයං-ප්‍රකාශිත, වාමාංශික ආණ්ඩුවක් හා ජනාධිපතිවරයෙකු ජනතාව විසින් තෝරා පත්කරගත් වකවානුවකය. සරත් 1982 පාරිලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කල දින පැවසු දෑ හා සසඳන කල අප කෙතරම් දුරක් ඔහු සඳහන් කල විකෘතියේම ගමන් කොට ඇත්දැයි ප්‍රශ්න කල හැකි මෙන්ම ප්‍රශ්න කල යුතු යුගයකට එළැඹ සිටින්නෙමු. පසුගිය දශක හතර පුරා රටක් හා ජනතාවක් වශයෙන් අප මුහුණ දුන් සියළු තත්ත්වයන් දෙස හැරී බලන කල, සරත් දැරූ මතය කෙතරම් සාධනීය දැයි පිරික්සිය හැක. නොයෙක් දේශපාලන බල පෙරලීන්, අන්තර් වාර්ගික යුද්ධ ගැටුම්, තරුණ කැරළි, සංවර්ධන උපාය මාර්ගික එළඹුම්, භූදේශපාලනික පීඩනයන් තුලින් අප ඇද වැටී ඇත්තේ පතුලක් නොපෙණෙන ප්‍රපාතයකටය. වඩාත් උත්ප්‍රාසය දනවන කරුණ නම්, විද්‍යාත්මක සමාජවාදය පෙරටුකොට නිර්මාණයවූ, වාමාංශික ක්‍රමය පිළිබඳ විශ්වාසය තැබූ, දේශපාලන ව්‍යාපාරයක් විසින් ගොඩනඟන ලද වර්තමාන ආණ්ඩුව, කෙතරම් දුරට ඉන් විනිර්මුක්තව, ඉහත කී අර්බුදයටම හේතුසාධක වූ ආර්ථික මොඩලයටම හිරවී සිටින යථාර්තයක, 40 වසරකට ප්‍රථම සරත් ඉදිරිපත්කල මතය යලි කියවීමට සිදුව තිබීමයි.

සැබවින්ම, පසුගිය දශක කිහිපය පිරික්සා බලන කල අප තවමත් ධනපති ආර්ථික මොඩලයෙන් පිටත කිසිවක් ක්‍රියාවට නැංවිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තෙමු. කුමන නමකින් හැඳින්වුවද, පුළුල් සමාජ ක්‍රම වෙනස්කම් (System Change) යෝජනා කරමින් බලය ලබාගන්නා වාම ලිබරල් දේශපාලන ව්‍යාපෘති වලට පවත්නා ක්‍රමයෙන් බැහැර විකල්ප ආර්ථික යෝජනාවක් හෝ අත්හදා බැලීමක් හෝ සිදුකිරීමට අපොහොසත් වීම කණගාටුවට කරුණකි. පසුගිය වකවානුව පුරා සිදුවූ නව ලිබරල් සමාජ-ආර්ථික-දේශපාලන විපර්යාසයේ තිව්‍රතාවය ඒ තරමටම ප්‍රබල සංසිද්ධියකි. වර්තමානයේ ක්‍රියාත්මක බහුතරයක් දේශපාලන කණ්ඩායම්, සමාජ ක්‍රමයේ වෙනස්කම් ලෙස අර්ථ දක්වන්නේ තමන් බලයේ සිටියානම් මෙම ක්‍රමය ම කෙතරම් සාර්ථකව කරනවාද යන මැසිවිල්ලයි. අනෙක් අතින් ගත්කල, පසුගිය වසර 40 පුරා ලෝක පරිමාණයෙන් සිදුවූයේද සංවිධානාත්මක කම්කරු පන්ති ව්‍යාපාර බිඳ දමමින්, අධිරාජ්‍යවාදී නව ලිබරල් ක්‍රමයට ප්‍රාණ වායුව සපයන පරිදි, ඊනියා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට මුක්කු ගසන ගෝලීය දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමයි. එයින් කිසිසේත් මෙතුවක් බිඳවැටී ඇති ජනතා අභිලාෂ සාක්ෂාත් කල නොහැකි බව යලි යලිත් ඔප්පුකර හමාරයි.

සියලු නිෂ්පාදන මාධ්‍යයන් ගේ හිමිකාරිත්වය ඉතා සුළුතර ධනපතීන් කොටසක් මත කේන්ද්‍රගත කිරීමටත්, පවතින සියලු අර්බුද හමුවේ ධනපති ක්‍රමය කෙසේ හෝ තර්ජනයකින් තොරව පවත්වාගෙන යාමටත්, අවසන එය අධිරාජ්‍යවාදය වර්තමාන ස්වරුපයට අනුකූල කිරීමටත් හැර පොදු මහත් ජනතාව වෙනුවෙන් වෙනත් කිසිවක් මෙම ක්‍රමයට සැලසිය නොහැක. මිට වසර 40 කට පෙර සරත් නිර්දය ලෙස විවේචනය කල නව ලිබරල් ධනපති ආකෘතිය විසින් රටේ දේශපාලනය, ජනතා අභිලාශ මෙන්ම මානව සමාජ ජීවිතය ගිලගෙන හමාරය. කලින් කල මතුවන ධනේශ්වරයේ අර්බුද හමුවේ ඊට ප්‍රතිවිරුද්ධව ගොඩනැඟිය යුතු ජනතා ව්‍යාපාර සහ දේශපාලන කණ්ඩායම් එහිම ගොදුරක් බවට පත්කොට ඇත. ක්‍රම විරෝධී යයි පෙනී සිටින කණ්ඩායම් වල ප්‍රතිරෝදය හුදෙක් එම ක්‍රමයම වෙනත් මුහුණුවරකින් ස්ථාපිත කරනු විනා ප්‍රගතිශීලි වෙනසකට තවමත් මුලපුරා නැත.

සරත්ගේ වියෝව ගැන ශෝකය ප්‍රකාශ කරනු වස් රත්නපුරයේ එල්ලා තැබුණු බැනරයක මෙසේ සඳහන්ව තිබුණි. සරත් ඔබ මියගියේ නැත, මියගියේ අපයි.’ සැබවින්ම සරත්ගේ වියෝව සංකේතවත් කලේ ලාංකේය වමේ ව්‍යාපාරය ලංවෙමින් සිටි අවසාන කාර්තුව යයි කෙනෙකුට තර්ක කල හැක. ඉන් ඔබ්බෙහි සිදුවූ, කල කී සියලු දෑ දෙස බලන කල, රටේ වමේ ව්‍යාපාරය මෙතෙක් ආ දුර වර්තමානයේ වාමාංශික යයි කියාගන්නා ආණ්ඩුවෙන්ම වටහා ගත හැක. කවදාටත් වඩා එහි පෙනෙන මතවාදී – දෘෂ්ඨිවාදී සෝදාපාළුව ඊට හොඳම සාක්ෂියයි. කෙතරම් ආකර්ශනීය මතවාදී අභිලාශ ගොඩනැඟුවත්, ඒවා ප්‍රයෝගිකව දිනාගැනීමට අපොහොසත්, ඉච්ඡාභංග ඛේදාන්තයක සිරවී සිටින වර්තමාන වම ඉන් මුදාගැනීමට නම් සරත් එදා නැවැත්වූ තැනින් කතිකාව යලි ඇරඹිය යුතුය. ඔහු පැවසු පරිදි අධිෂ්ඨාණශීලී සහ සටන්කාමී ජනතා අරගල දියත් කිරීමට ස්වයංවිවේචනාත්මක ආරම්භයන් ගත යුතුය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.