කසුන් කාරියවසම් –
“ජල පාත්‍රය ලාකඩ දියෙන් හෝ කෂා වර්ණයෙන් හෝ නීල වර්ණයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ ගැවසුණේ වේ ද, මනා ඇස් ඇති පුරුෂයෙක් එයින් ස්වකීය මුහුණ බලන්නේ තත් වූ පරිද්දෙන් එය දැන නො දකින්නේ ය. එය දැන නො ගන්නේ ය.” – සංගාරව සූත්‍රය, අංගුත්තර නිකාය
පැරැණි පාලන තන්ත්‍රයේ මහජනයා දේශපාලනික වශයෙන් පෙළැඹවීමේ පෙරමුණුවල, විශේෂයෙන් ම ජාත්‍යන්තර සබඳතා පෙරමුණේ න්‍යායාචාර්යවරයකු ලෙසින් මොහාන් සමරනායක ඉතා ඉහළින් ගෞරවයට පාත්‍ර වී සිටියි. ඔහු තුළ පවතින අධිරාජ්‍ය විරෝධී සහ සෝවියට් නැඹුරු චින්තනමය භාවිතාව නිසා, පැරැණි මහින්ද රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ වාමාංශික සහ දක්‍ෂිණාංශික දෙපාර්ශ්වයම මහා විදග්ධ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයකු ලෙසින් ඔහුව අගයයි. එ තුළින්, ඔවුහු තමන්ගේ බුද්ධිමය මට්ටම ද ලෝකයට අනාවරණය කරති.
මොහාන් සමරනායකගේ පොතේ ප්‍රධාන මතය වන්නේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇතිවුණු වර්ණ විප්ලවය හුදෙක් ම බටහිර අරමුදල්වල ප්‍රතිඵලයක් බවත් බිඳ වැටුණු පාලනය පරිපූර්ණ එකක් බවත් ය. මෙම මතයෙන් මොහාන්ගේ බුද්ධිමය ඌනතාව පමණක් නොව වර්ණ විප්ලවයට ගොදුරුවුණු පාලන තන්ත්‍රයේ බුද්ධිමය ඌනතාව ද මොනවට නිරූපණය කෙරෙයි.
වර්ණ විප්ලවයට පැහැදිළිව ම බටහිර මැදිහත්වීමක් තිබුණු බව සත්‍යයකි. එවැනි බටහිර මැදිහත්වීමකට මුහුණ දුන් එක ම රට ශ්‍රී ලංකාව නොවේ. බටහිර අධිරාජ්‍යවාදී බලවේග විසින් වර්ණ විප්ලව මෙහෙයවීමේ ඉතිහාසය සෝවියට් දේශයේ පෙරස්ත්‍රොයිකාව දක්වා දිව යයි. එතැන් සිට මේ දක්වා ක්‍රියාත්මක කරවන ලද සියළු ම වර්ණ විප්ලව අධිරාජ්‍ය බලවේග විසින් ඒවාට ගොදුරු වූ හෝ මුහුණ දුන් පාලන තන්ත්‍රවලට උරුම කර දුන් හෝ ඒ වෙනුවෙන් ම නිර්මාණය කරන ලද බාහිර සාධකවල ප්‍රතිඵල වෙයි. අධිරාජ්‍යවාදී බලවේග විසින් එ කී සාධක නිර්මාණය කරන ලද්දේ අදාළ පාලන තන්ත්‍ර පෙරළා දැමීම වෙනුවෙනි.
බිඳ වැටුණු පාලන තන්ත්‍රය 2004 වසරේ දී ස්ථාපිත කරගනු ලැබුවේ ප්‍රමාණවත් බහුතර බලයක් නැති සන්ධාන ආණ්ඩුවක් වශයෙනි. මහින්ද රාජපක්‍ෂ විසින් භාරගත්තේ ඒ වන විට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක ගැළැපීම් වැඩසටහන් කිහිපයක් සහ වෙළෙඳපොළ නියාමනයෙන් ඉවත් කරවීමේ දැවැන්ත වැඩපිළිවෙළක් හරහා ගමන් කරමින් තිබුණු රටකි. ඒ වනවිට, රට විශාල වශයෙන් කාර්මිකහරණයකට ද ලක් කර තිබිණි. එම කාර්යයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වී තිබුණු සාපේක්‍ෂ ඵලදායිතාවේ පිරිහීම හේතුවෙන් රටට නිදන්ගත ගෙවුම් ශේෂ හිඟයක් ද උරුම වී තිබිණි. එම හිඟය පියැවීම සඳහා, මහින්ද රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ විසැඳුම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වෙත ගොස් ඔවුන්ගේ උපදෙස්වලට අනුගත වී තවදුරටත් නව ලිබරල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවත් ඉදිරියට මෙහෙයවීම ය.
2004 වසර වන විට, දශක කිහිපයක් මුළුල්ලේ ඇවිළුණු සිවිල් යුද්ධය ද උත්සන්න වී පැවැති අතර එය ද ආංශික වශයෙන් නව ලිබරල් ප්‍රතිසංස්කරණ හා බැඳුණු රෝග ලක්‍ෂණ සහිත වර්ධනයකි.රට තුළ පැවැතුණු වාර්ගික ප්‍රතිවිරෝධතා සිවිල් යුද්ධය පුපුරායාමේ හේතුවෙන් තවදුරටත් වර්ධනය විය. සැබැවින් ම, වාර්ගික ප්‍රතිවිරෝධතා උත්සන්න වූයේ ද නව ලිබරල් ප්‍රතිසංස්කරණ හේතුවෙන් ජනතාවගේ ද්‍රව්‍යමය අවශ්‍යතා ප්‍රමාණවත් අයුරින් සපුරාගැනීමට නො හැකිවීම සාධකයක් බවට පත්වීමෙනි.
මෙවැනි සාධක විසින් කුළුගන්වන ලද වාර්ගික යුද්ධවලට මුහුණදුන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවේ. රටවල් ගණනාවක් ම එම ඛේදවාචකයට ගොදුරුවිය. නව ලිබරල් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමෙන් පසු යුගෝස්ලාවියාවේ, සෝමාලියාවේ, රුවන්ඩාවේ ද පශ්චාත් සෝවියට් රාජ්‍යයන් ගණනාවක ද වාර්ගික පදනමින් සිවිල් යුද්ධ ඇවිළිණි.
ජාත්‍යන්තර වර්ධනයන්, විශේෂයෙන් පශ්චාත් සෝවියට් වර්ධනයන් සමීපව නිරීක්‍ෂණය කරන මොහාන් සමරනායක වැනි කෙනකුට මෙම ප්‍රධාන කරුණ මගහැරීම මවිතය දනවන සුළු කාරණයකි.
රාජපක්‍ෂ පාලනයට උරුම වූ ප්‍රධාන ගැටලු දෙකක් තිබුණු බව අපි දනිමු. එකක් කාර්මිකහරණයට ලක් කළ ඵලදායිතාව හීන ආර්ථිකය ය. අනෙක අඛණ්ඩව උත්සන්න වෙමින් පැවැති සිවිල් යුද්ධය ය.
රාජපක්‍ෂ පාලනය කාර්මිකහරණයේ බරපතලකම හඳුනාගැනීමට අපොහොසත් වූවා පමණක් නොව, සිවිල් යුද්ධයට එහි වූ සමීප සම්බන්ධතාව හඳුනාගැනීමට ද අපොහොසත් විය. (අද පවා ඔවුනට මෙම අවබෝධය නැත). දෙවනුව, ජනප්‍රියවාදී, කෙටිකාලීන කාල ක්‍ෂිතිජයක් තුළ, මෙම ගැටලුව බැරෑරුම් ලෙසින් විමසා බැලීමට අවශ්‍ය දේශපාලන දිරිගැන්වීම ද ඔවුනට නො ලැබිණි. මන්ද යත්, මෙම දිගුකාලීන නිදන්ගත ගැටලු සැබැවින් ම වසර පහෙන් පහට සක්‍රීය වන ජනප්‍රියවාදී, මහජනයා කුළුගැන්වීමේ මැතිවරණ උවමනාවෙන් බොහෝ ඈත් වූ එකකි.
රාජපක්‍ෂ පාලනය පස් අවුරුදු මැතිවරණ චක්‍රයට අනුගත වී ජනප්‍රියවාදී සමතුලිතතාව තුළ “ජනතා ගැටලු විසැඳීම” සඳහා මාර්ග දෙකක් සොයාගත්තේ ය. එයින් එකක් වූයේ සිවිල් යුද්ධය සඳහා යුදමය විසඳුමක් ලබාදීම ය. (මෙම ලිපියේ විෂය පථයෙන් ඔබ්බට විසිරී ඇති එම යුද්ධයේ ඉතා සංකීර්ණ ගතිකතාවලට ලබාදුන් එක ම විසඳුම වූයේ එය ය). දෙවැන්න වූයේ දකුණේ ජනතාව බලමුලුගැන්වීමේ නියෝජිතයන් පවත්වාගෙන යෑම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය ව්‍යාප්තවාදය ඉදිරියට දැමීම ය. මෙම රාජ්‍ය මූල්‍ය ව්‍යාප්තියට විවිධ මාවත් හඳුනාගෙන තිබූ අතර ඒවාට විවිධ සහනාධාර ලබාදීම් ද ආයතනික ව්‍යාප්තිය ද ඇතුළත් විය.
නව සම්භාව්‍ය ආර්ථික න්‍යායෙන් පුන පුනා මොනවා කීවත් මූලික වශයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණවාදයේ වරදක් නැත. කෙ සේ වුව ද, මූල්‍ය ප්‍රසාරණවාදය ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි බලපෑම් ඇති කරන්නක් බැවින් එම ප්‍රතිපත්තිය අනුගමනය කරන විට මූල්‍ය ගුණක ප්‍රවාහයන් ජනනයවීම කෙරෙහි විධිමත් අවධානයක් යොමු කළ යුතු ය. නිදසුනක් ලෙස, කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩිකිරීමේ විධිමත් සැලැස්මක් නොමැතිව පොහොර සහනාධාරය ලබාදීමෙන් අවසානයේ දී රාජ්‍ය මූල්‍ය හැකියාව අවසන් කර එ මඟින් රාජ්‍ය ණය වැඩිකිරීම පමණක් සිදුවනු ඇත. ඵලදායිතාව වැඩිකිරීම කෙරෙහි අවධානයකින් තොරව මූල්‍ය ප්‍රසාරණවාදයට යොමු වූ කල, එය කෙටි කලක දී ගෙවා අවසන් කළ නො හැකි මහා ණය කන්දක් සහ පාලනය කළ නො හැකි උද්ධමනයක් බිහි කරනු ඇත.
රාජපක්‍ෂ පාලන සමයේ දී, මෙම ව්‍යාධිය පැහැදිළිව ම දැකගත හැකි විය. කාර්මීකරණ වටපිටාවක් තුළ මූල්‍ය ප්‍රසාරණවාදය ප්‍රතිපත්තියක් බවට පත් කරගත හොත් ඒ හේතුවෙන් මුල දී උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවිය හැකි ය (දකුණු කොරියාවේ සහ වෙනත් තැන්වල මෙය සිදුවිය). එ නමුත් කාලයත් සමඟ එය නිදන්ගත ණය ගොඩගැසීමකට තුඩු දෙන්නක් බවට පත් නො වී උද්ධමනය අතරමැදි ආර්ථික සංක්‍රමණ අත්දැකීමක් පමණක් බවට පත් කරනු ඇත. කෙ සේ වුව ද, පස් – අවුරුදු කෙටි දැක්ම විසින් මෙහෙයවන ලද රාජපක්‍ෂ පාලන තන්ත්‍රය මෙය තේරුම්ගැනීමට අසමත් විය.
රාජපක්‍ෂ පාලනය යුද්ධය ජයග්‍රහණය කළ නමුත් ආර්ථික පෙරමුණේ දී පරාජයට පත්විය. මෙම කරුණ 2015 මැතිවරණ සමයේ දී එම පාලනය අත්පත් කරගත් පරාජයෙන් ප්‍රකට විය.
2015 දී බලයට පත් වූ යහපාලන රජය මූල්‍ය ප්‍රසාරණවාදය අතහැර නව ලිබරල් ප්‍රතිසංස්කරණ ඉතා ප්‍රබල අයුරින් ක්‍රියාත්මක කරන්නට පටන්ගත්තේ ය. වසර පහක පාලන කාලයේ දී, එම රජය බැඳුම්කර වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් බිලියන 12 කට ආසන්න මුදලක් ණයට ගත්තේ ය. එ මඟින් රට වඩාත් ණයගැති බවට වූවා පමණක් නොව, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළෙඳපොළ සමපේක්‍ෂක බවින් ඉතා ඉහළ එකක් වන බැවින් ණය ආපසු ගෙවීම් පුරෝකථනය ද අසීරු වී ආර්ථිකය වඩාත් අස්ථාවර විය. යහපාලන රජය රාජපක්‍ෂ පාලනය විසින් හඳුන්වා දී තිබුණු පොහොර සහ ඉන්ධන සහනාධාර වැනි දේ ඇතුළත් රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණවාදී ප්‍රතිපත්තිය අත්හැර දැමුවේ ය. ඒ හේතුවෙන් සහ වෙනත් කරුණු නිසා යහපාලන රජය ඉතා කෙටි කාලයක දී තම ජනප්‍රිය බව අහිමි කරගත් අතර 2019 සහ 2020 මැතිවරණවලින් පරාජයට පත්විය.
ගෝඨාභය යුගය මහින්ද රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ ප්‍රතිපත්ති සහ භාවිතාවන්ගෙන් සැළැකිය යුතු ලෙස වෙනස් වූ බවක් පෙන්නුම් කළේ ය. අඩුම තරමින්, මහින්ද රාජපක්‍ෂ පාලන තන්ත්‍රය දෘෂ්ටිවාදාත්මකව ම රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණවාදය පිළිගෙන සිටියේ ය. එහෙත්, ගෝඨාභය කිසි විටෙකත් මූල්‍ය ප්‍රසාරණවාදයට දෘෂ්ටිමය වශයෙන් කැපැ වී සිටියේ නැත. ඔහු මූලික වශයෙන් ම බලය ලබාගත්තේ යහපාලන රජයට එරෙහිව ගොඩ නැගී තිබුණු බලවත් මහජන අප්‍රසාදයේ ප්‍රතිඵලයක් වශයෙනි.
තමන් කළ යුත්තේ කුමක් දැ යි තේරුම්ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිළිව ම අසමත් විය. පැවැති තත්ත්වය බැරෑරුම් ලෙස තේරුම්ගැනීමේ උවමනාවක් ද ඔවුන් තුළ නො වී ය. පවතින ගැටලුවලට ප්‍රශස්ත ප්‍රතිපත්තියක් සොයාගැනීමට වඩා ජනතාවාදය හුදෙක් ම මහජන සම්බන්ධතා කළමනාකරණයක් දක්වා ලඝු කරන ලදී. ගෝඨාභය පොහොර සහනාධාරය අවසන් කළා පමණක් නොව රසායනික පොහොර භාවිතය ද මුළුමනින් ම අවසන් කර දැම්මේ ය. එම තීරණයට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් එල්ලවිණි. ගෝඨාභය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන අනුමැතිය මුළුමනින් ම අහිමි කරගත් බව එයින් පැහැදිළිව ම ඇඟැවිණි.
ලෝකය ඒක-ධ්‍රැව ලෝක රටාවෙන් බහු-ධ්‍රැව ලෝක රටාවකට පරිවර්තනය වෙමින් තිබේ. මෙය දැන් යම් දුරකට කවුරුත් දන්නා සාමාන්‍ය දැනුමක් බවට පත් වී තිබේ. ජේපී මෝගන් චේස් (JPMorgan Chase) පවා “බහු-ධ්‍රැව ලෝකයේ වෙළෙඳාම් කරන්නේ කෙ සේ ද?” යන්න විස්තර කරන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළේය. මෙවැනි දේ සිදුවෙමින් තිබිය දී, මෙම වෙනස්කම් බොහොමයක් සිදුවන ආසියාවේ සිටින ජාතියක් වශයෙන් අපි එම යථාර්ථය තේරුම්ගැනීමට අපොහොසත් වූයෙමු. මෙම වර්ධනය කාර්මිකකරණය සඳහා සහ දිගු කලක් අපට අහිමි වී තිබෙන ස්වෛරීභාවය නැවත අත්පත් කරගැනීමේ අපගේ සැබෑ අභිලාසයන්ට මුළුමනින් ම අනුකූල වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බුද්ධිමය බංකොලොත්භාවය හේතුවෙන් ඔවුන් මෙය තේරුම්ගැනීමට අපොහොසත් වූවා පමණක් නොව කෙටිකාලීන උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ විදේශ ප්‍රතිපත්තියේ ගොදුරක් බවට ද පත්විය.
මොහාන් සමරනායක හඳුනාගැනීමට අපොහොසත් වූ වර්ණ විප්ලවයේ පසුබිම මෙයයි. ඔහු තම විශ්ලේෂණයේ දී වර්ණ විප්ලවය හුදෙක් ම බටහිර කුමන්ත්‍රණයක් ලෙසින් ලඝු කර දක්වයි. මෙම ආඛ්‍යානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඔවුනගේ ක්‍රියාකාරීත්වය සාධාරණීකරණය කරන ආඛ්‍යානයක් ලෙසින් ද ඉදිරිපත් වී තිබෙන බව පෙනෙන්ට තිබේ. මහජනයාගේ දැවැන්ත ප්‍රතික්‍ෂේප කිරීමකට ලක් වී තිබියදීත්, පැරැණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එයට සම්බන්ධ පක්‍ෂ එය පැහැදිළිව විශ්ලේෂණය කිරීමට අපොහොසත් වී ඇත්තේ මැතිවරණ ඉලක්ක කරගත්, මහජන සම්බන්ධතා උපාය මාර්ගයට සීමා වූ ලෝක දෘෂ්ටියට මෙම දිගුකාලීන නැඹුරු ප්‍රවණතා ග්‍රහණය කරගත නොහැකි බැවිනි.
ඉදිරිමග
ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය සහ තවත් රටවල් කිහිපයක පාලන තන්ත්‍ර වර්ණ විප්ලවවලට ගොදුරු විය. එ නමුත් වර්ණ විප්ලව ඇති වී ඒවායේ ගොදුරු බවට පත් නො වූ පාලන තන්ත්‍ර ගැන කිව හැක්කේ කුමක් ද? වර්ණ විප්ලව කිහිපයක් ම සිදු කරවන ලද චීනය ගැන කිව හැක්කේ කුමක් ද? බටහිර රටවල් චීනයේ මාක්ස්-ලෙනින්වාදී පාලනයට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන චීනය ගැන කිව හැක්කේ කුමක් ද? වසර කිහිපයකට පෙර, හොං-කොං ප්‍රදේහයේ දී පරාජයට පත් කරන ලද වර්ණ විප්ලවය මතක ද?
අපි ඉරානයත් සළකා බලමු.
1979 දී, ඉස්ලාමීය විප්ලවවාදී පාලන තන්ත්‍රය ස්ථාපිත කිරීමෙන් පසු මේ දක්වා ගත වී තිබෙන දශක කිහිපයක කාලය මුළුල්ලේ එක්සත් ජනපදය විසින් එයට එරෙහිව පාලන තන්ත්‍ර වෙනස්කිරීමේ මෙහෙයුම් කිහිපයක් සිදු කළා පමණක් නොව මෑතක දී තමන් සන්නද්ධ කණ්ඩායම්වලට ආයුධ පවා ලබා දුන් බව ද එක්සත් ජනපදය පිළිගත්තේ ය. මෑතක දී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන රාජ්‍යයන් දෙක ම එක් වී ඉරානයට එරෙහිව මහා හමුදා මෙහෙයුම් කිහිපයක් ම සිදු කළ අතර එ රට ඉහළ ම නායකයින් ගණනාවක් ද ඝාතනය කළහ.
මේ තරම් අඛණ්ඩ, දීර්ඝ කාලීන ප්‍රහාර මාලාවක් එල්ලවෙමින් තිබිය දී පවා ඉරානයේ විප්ලවීය ඉස්ලාමීය පාලන තන්ත්‍රය තම ඔරොත්තු දීමේ හැකියාව මැනැවින් පෙන්නුම් කරයි; එය දැන් මුළු කලාපයේ ම එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව ආධිපත්‍යය තහවුරු කරගෙන සිටියි. වර්තමාන යුද්ධයෙන් පසු, ඉරානය කලාපීය බලවතකු පමණක් නොව ගෝලීය සුපිරි බලවතකු බවට ද පත්වන බව නිසැක ය.
කුඩා පරිමාණ විරෝධතා කිහිපයක් නිසා එක් රටක පාලන තන්ත්‍රය ඉක්මනින් ම බිඳ වැටුණ ද තවත් පාලන තන්ත්‍ර දැවැන්ත හමුදාමය මැදිහත්වීම්වලට පවා යටත් කරගත නො හැක්කේ මන්ද?
ශ්‍රී ලංකාව ජංගම ගිණුමේ හිඟය සහ ජාතික අයවැයේ හිඟය වශයෙන් ද්විත්ව හිඟයකින් පීඩාවට පත්ව සිටියි. එ ලෙසින් ම, ශ්‍රී ලාංකික දේශපාලන පක්‍ෂ ද තමන් මුහුණදෙන ගැටලු හඳුනාගෙන ඒවාට විසැඳුම් සෙවීමේ බුද්ධිමය නො හැකියාව සහ මතවාදයක් මත පදනම්ව මහ ජනතාව බලමුලුගැන්වීමේ නො හැකියාව යන ද්විත්ව ඌනතාවට ගොදුරු වී සිටිති.
මෙම ඌනතා දෙක එකිනෙක මත රඳා පවතියි. ගැටලුව හඳුනාගැනීම යනු බුද්ධිමය වියුක්තකරණය ය. යමකු බුද්ධිමය වියුක්තකරණයේ නිරතවන විට, ඔහු තුළ දෘෂ්ටිමය අවබෝධයක් ඇතිවෙයි. මෙම දෘෂ්ටිමය අවබෝධය විසින් ඔහු දෘෂ්ටිවාදයක් මත පදනම් වූ මහජන බලමුලුගැන්වීමකට යොමුවෙයි. එය කිසිදු අයුරකින් මහජන සම්බන්ධතා කළමනාකරණය මත පදනම් වූ ආත්ම වංචාවක් නොවෙයි.
චීනයේ පළමුවැනි පස් අවුරුදු සැලැසුම ඉදිරිපත් කරන අවස්ථාවේ මාඕ ත්ස-තුං පැවැසුවේ “අපේ පක්‍ෂය 15 වැනි සැලැසුම ඉදිරිපත් කරන විට චීනය ඇමරිකා එක්සත් ජනපදයට වඩා දියුණු වී සිටිනු ඇත” කියා ය. මෙම 2026 වසරේ දී, චීනය තමන්ගේ 15 වැනි පස් අවුරුදු සැලැසුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබීය. අන්තර්ජාල ප්‍රවේශයක් තබා එවැන්නක් ගැන අදහසක් පවා නො තිබුණු කාලයක, මාඕ ත්ස-තුං නමැති ඒ ශ්‍රේෂ්ඨ මිනිසා 1953 දී එවැනි අනාගත පුරෝකථනයක් ඉදිරිපත් කළේ කෙ සේ ද? ශ්‍රී ලංකාවේ අපට උවමනාවටත් වඩා සියලු විශ්ලේෂණාත්මක දත්ත තිබිය දී පවා මේ වන විට සිදු වී ඇති අතීත සිදුවීමක් ග්‍රහණය කර ගැනීමටවත් නො හැකි වී ඇත්තේ ඇයි?
පැරැණි පාලන තන්ත්‍රයට සහ එයට සම්බන්ධ පක්‍ෂවලට අර්බුද හඳුනාගැනීම උදෙසා කිසිදු බුද්ධිමය වියුක්ත කරණයේ හැකියාවක් නොමැති අතර එ බැවින් ම ඔවුන්ට මතවාදයක් මත පදනම්ව ජනතාව බලමුලුගැන්වීමේ හැකියාවක් ද නොමැත. දෘෂ්ටිවාදයෙන් ඒත්තු නො ගැන් වූ අනුගාමිකයෝ (පාක්‍ෂිකයෝ) බාහිර ප්‍රහාරවලට ලක්වන විට ඉතා ඉක්මනින් ම අඩපණ වෙති. දෘෂ්ටිවාදයක් නොමැති විට, නායකයෝ ද ස්වීය ආත්ම සන්තර්පණය සහ භෞතිකමය වාසි වෙනුවෙන් පමණක් ම ක්‍රියා කරති. එ බැවින්, ඔවුහු ද ඉතා ඉක්මනින් වෙහෙසට පත්වෙති.
2022 අරගල මෙහෙයුම උත්සන්න වූ විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එයට සම්බන්ධ කිසිදු පක්‍ෂයකට හෝ එම වර්ණ විප්ලවයට එරෙහිව මහජන බලමුලුගැන්වීමක් ඇති කරවීමට නො හැකි විය. එවැනි මහජන සහයෝගයක් නො ලැබීමට හේතුවූයේ ගෝඨාභය පිටුපස හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිටුපස හෝ එවැනි දෘෂ්ටිවාදී ව්‍යාපාරයක් නො තිබීම ය. එය හුදෙක් ම ආත්මාර්ථකාමිත්වය සහ මහජන සම්බන්ධතා ව්‍යාපාර මත පදනම් වූ ජනතා බලමුලුගැන්වීමක් පදනම් කරගත් දේශපාලන පෙරමුණක් විය. අතරමග දී ගෝඨාභය රටින් පලා ගිය අතර, පාර්ලිමේන්තුවේ ඉතිරිව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමන්ට එල්ලවුණු පීඩනයට යටත් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අත් එසැවීම ඇරැඹූහ.
එ නමුදු, එක්සත් ජනපදය විසින් තම ජනාධිපතිවරයා පැහැරගෙන ගොස් රටේ පාලන තන්ත්‍රය දැවැන්ත පීඩනයකට ලක් කළ විට පවා වෙනිසියුලාවේ මධුරෝට පක්‍ෂපාතී ජනතාව තවමත් දැවැන්ත විරෝධතා මෙහෙයවමින් සිටිති. එ හෙයින්, එක්සත් ජනපදය විසින් ජනාධිපති මධුරෝ ඉවත්කිරීමේ අරමුණ භෞතික වශයෙන් සාක්‍ෂාත් කරගත්ත ද එම බලහත්කාරකම නො සළකා ජනතාව ඉදිරියට ආ නිසා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී කඳවුරට වෙනිසියුලාවේ වර්ණ විප්ලවයක් සිදුකිරීමට නොහැකි විය.
තම පොත ලියද්දී, උක්ත ජාත්‍යන්තර වර්ධනයන් දැකගැනීමෙන් මොහාන් සමරනායකව වළක්වන ලද බාධාව කුමක් ද?
සැබැවින් ම, එම බාධාව පසුගිය අප්‍රේල් මාසයේ දී ඉන්දීය ප්‍රාන්ත මැතිවරණවල දී ඇති වූ දෙයට වඩා වෙනස් දෙයක් නො වේ. එම ප්‍රාන්තවල කාලයක් තිස්සේ බලය තහවුරු කරගෙන සිටි පාලක පක්‍ෂ පරාජයට පත්වූයේ ඔවුන් ඒ වන විට තමන්ගේ ජනතාව බලමුලුගැන්වීමේ හැකියාව අහිමි කරගෙන තිබීම හේතුවෙනි. ඇත්තෙන් ම, පැවැති ප්‍රාන්ත ආණ්ඩු යටතේ සිටි ජනතාව (විශේසයෙන් කේරළ ප්‍රාන්තයේ ජනතාව) ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවලට වඩා සාපේක්‍ෂව හොඳ සමාජ – ආර්ථික ජයග්‍රහණ ලබාගෙන සිටිති. එහෙත් එම ජනතාව දෘෂ්ටිවාදාත්මකව බලගැන්වීමට එම පාලන තන්ත්‍ර අසමත් වූහ.
දෘෂ්ටිවාදාත්මක විශ්වාසය සම්බන්ධයෙන් ගත් කල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එහි සභාග පක්‍ෂවල මට්ටම කේරළයේ බලයේ සිටි පාලන තන්ත්‍රයෙන් පමණක් නොව තමිළ්නාඩුවේ බලයේ සිටි පාලන තන්ත්‍රයෙන් පවා සැළැකිය යුතු ලෙසින් දුරස් පිරිහුණු එකකි. එය හුදෙක් ම දූෂිත, ආත්මාර්ථකාමී සහ දෘෂ්ටිවාදාත්මක විශ්වාස වෙනුවට මහජන සම්බන්ධතා ව්‍යාපාර මත පදනම් වී මෙහෙයවන දේශපාලක කල්ලියක් පමණක් බවට පත් වී තිබේ. තවත් සෑහෙන කලකට පසු ඔවුන් නැවතත් බලය ලබාගත්ත ද, එම බලය එක් මැතිවරණ චක්‍රයකට වඩා රැකගැනීමට ඔවුනට නො හැකි වනු ඇත.
දිගු කලක් තිස්සේ අප විසින් අහිමි කරගෙන තිබෙන ස්වෛරීභාවය නැවත දිනාගැනීමට, කාර්මිකකරණය අවුලුවාලීමට සහ ඒක-ධ්‍රැව ලෝකයෙන් ඉවත් වී බහු-ධ්‍රැව ලෝකයේ තම ස්ථානය සොයාගැනීමට හැකි දේශපාලන ව්‍යාපාරයක් අපගේ මාතෘභූමියට අවශ්‍ය වී තිබේ. මෙම අංශ තුන ම පවතින්නේ එකිනෙක හා සුසංයෝගයෙනි.
තම විශ්ලේෂණයේ දී, මොහාන් සමරනායක නො සළකා හැරි තීරණාත්මක කරුණ මෙයයි.
ගමනින් අඩක් පමණක් යන අය කිසිසේත් ම ගමන් කර නැත!