
විජයානන්ද ජයවීර
ඇතැම් රූපවාහිනී තිරවල දිස් වෙන ආකාරයට අනුව වී ගොවීන් මුහුණ දෙන අස්වැන්න අලෙවි කර ගැනීමේ ප්‍රශ්නය ලාල් කාන්ත ඇමැතිවරයා ඉලක්ක කරගත් මාලිමා ආණ්ඩු විරෝධීන් යොදා කෙරෙන මීඩියා වැඩක් බව මාලිමාලෝලීන්ට සිතිය හැකිය. එහෙත් වී වගා කිරීම ජීවනෝපායක් ලෙස පවත්වාගෙන යාමට වී ගොවියාට කලක් තිස්සේ ම අසීරු වී ඇති බවත් එයට ප්‍රමාණවත් විසඳුම් යෝජනා කිරීමට මේ දක්වා කිසිදු ආණ්ඩුවක් අපොහොසත් වූ බවත් අප අමතක කළ යුතු නැත. මිලියන 6.1 වන ලංකාවේ ඇති නිවාස ඒකක වලින් 30% ක් වී වගාවේ නිරත වන අතර එක් ගොවි නිවසක් නිපයන වී වලින් පවුල් තුනක වාර්ෂික සහල් පරිභෝජනය සැපයෙන බව උපකල්පනය කළ හොත් මුලු රැකියා නියුක්තියෙන් 26%ක් වන වි ගොවියන්ගේ විභවතා කෙරෙහි බලපාන කරුණු කිසිසේත් ම නො සලකා හැරිය හැකි ඒවා නොවේ. මේ විෂය පිළිබඳ මා විශේෂඥයෙකු නොවන නමුත් ග්‍රාමීය ජන ජීවිතය තුෂ්ටිමත් එකක් කිරීම අරමුණු කර ග්‍රාමීය ආර්ථිකයට විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලමින් මාස කිහිපයකට පෙර ම විසින් ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායට සලකා බැලීම සඳහා යවන ලද ලියවිල්ලක අඩංගු විවිධ සංක්ෂිප්ත යෝජනා අතුරින් ඒ සම්බන්ධයෙන් අදාළ වන එක් යෝජනාවක් මෙතැන දී සාකච්ඡාවට ලක් කිරීමට කැමැත්තෙමි.
මෙයට මා පෙලඹ වු එක හේතුවක් වූයේ තරුණ මාලිමා ඇමතිවරයෙකු වන වෛද්‍ය සුනිල් රණසිංහ පුරුදු හණමිටි සම්ප්‍රදායෙන් පිටට පැන මේ ප්‍රශ්නය ගැන විසඳුම් කල්පනා කිරීමට තැත් කරන බව පෙන්නුම් කරන පෝස්ටුවක් අද ෆේස්බුක් පිටුවක පළ වී තිබුණ බැවිනි. ගොවිතැන කාර්යක්ෂම කිරීමට නම් කුඹුරුවල නියර ඉවත් කළ යුතු බව ඔහු යෝජනා කරන වග වෙනත් අයෙකු විසින් පළ කළ එම තනි වැකි පෝස්ටුවේ සඳහන් කර තිබුණි. ගොවිතැන් කිරීමේ ඇති මූලික ව්‍යුහාත්මක ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමෙන් තොරව ගොවියන් මුහුණ දෙන අස්වැන්න අලෙවි කිරීම මුල්කරගත් ප්‍රශ්න ආමන්ත්‍රණය කළ නොහැකි බව මේ මාලිමා දේශපාලනඥයා අවබෝධ කර ගනිමින් සිටින බව පැහැදිලිය. මා ජනාධිපති කාර්ය සාධක බලකායට යැවූ අර කී එක් කෙටි යෝජනාවේ මෙසේ සඳහන් විය.
“බොහෝ ගොවීන්ට කුඹුරු ගොවිතැනින් වැඩි ආදායමක් ලබා ගැනීමට නො හැකි වන්නේ ඔවුන්ගේ භුක්තියට උරුම ව ඇති කුඹුරු ප්‍රමාණය අඩු නිසා ලබාගත හැකි අස්වැන්න සීමිත වීම නිසයි. තනි තනි ගොවීන් තම තමන්ගේ කුඹුරු හුදකලාව වගා කරනවා වෙනුවට තමන්ට හිමි ඉඩම් ප්‍රමාණයට අනුව කොටස් අයිතිය ලැබෙන යාය සමාගම්/සමුපකාර පිහිටුවා කළමනාකරණය සහ ආයෝජනය ප්‍රශස්ත මට්ටමකට නංවා දියුණු කෘෂි තාක්ෂණය යොදා වඩා කාර්යක්ෂමව කන්න තුනක් වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් හා ආදායමක් ලබා ගත හැකිය. යාය සමාගම්/සමුපකාරවල අවශ්‍ය මූලධනය අඩු පොලී බැංකු ණය සහ ආයෝජන බැදුම්කර අලෙවිය මගින් ලබා දී ව්‍යවසායික කළමනාකරණය සඳහා ගොවි තරුණ තරුණියන් පුහුණු කොට නවීන කෘෂි තාක්ෂණය යොදා පරිසර හිතකාමී කෘෂි නිෂ්පාදන ලෙස (climate smart agriculture)දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළවලට යැවිය හැකිය. ඒ සඳහා විවිධ බෝග වර්ග වගා කිරීමට සහ අතරමැදියෙකුගෙන් තොරව නිෂ්පාදන අසුරා හෝ අගය එකතු කොට වෙළඳ පොළට යැවීමට මෙවැනි යාය සමුපකාර වලට කළ හැකි විය යුතුය. එමගින් ග්‍රාමීය තරුණ තරුණියන්ට ද කෘෂි ක්ෂේත්‍රයේ නවොත්පාදන බිහි කිරීම ඇතුළුව වඩා ඵලදායී අභිමානවත් රැකියාවල නිරත වීමට අවස්ථාව සැලසේ. ආරම්භයේ දී කෘෂි ආර්ථික විද්‍යා ආයතන වල මග පෙන්වීම යටතේ සුදුසු ප්‍රමාණයේ කුඹුරු යායවල මෙවැනි යාය සමුපකාර නියාමක ව්‍යාපෘති ආරම්භ කොට අගයා බැලිය යුතු ය. “
සබැඳි ගොවිතැන (joint farming) යනුවෙන් හැඳින්වෙන එවැනි ක්‍රම ගැන Promoting the Development of Agricultural Cooperatives යනුවෙන් සාරා එල්ඩර් සහ ෆ්ලොරනේසියා සර්මින්ටියෝ ( Sara Elder and Florencia Sarmiento) චීනය, ඊශ්‍රායලය, රුවන්ඩාව සහ සෙනෙගාලය ආදි රටවල අත්දැකීම් ඇසුරෙන් සැකසූ පර්යේෂණ පත්‍රිකාවක් 2024 නොවැම්බරයේ දී කැනඩාවේ පිහිටි තිරසාර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර ආයතනය (IISD) සිය ප්‍රකාශනයක පළ කළේ ය. එම පත්‍රිකාව සුළු ගොවියන් විසින් විවිධ මාදිලියේ සමුපකාර හා පොදු සමාගම් ක්‍රම යටතේ සබැඳි ගොවිතැන කාර්යක්ෂමව ලාභදායක කරගන්නා ආකාරය සඳහන් කරයි.
මහා යායක හෝ කුඩා යාය කිහිපයක සාමූහික කළමනාකරණ ප්‍රවේශයක් යටතේ මහා පරිමාණ ව්‍යාපාර වසයෙන් ගොවිකම සමග සිය නිෂ්පාදන සෘජු ව අළෙවි කර ගැනීම සඳහා සාමුහිකව සංවිධානගත වීමෙන් තොරව සැලකිය යුතු ප්‍රතිලාභයක් දැනට පවතින අලෙවි බල ව්‍යුහය තුළ ගොවීන්ට ලබා ගත නො හැකිය. අර තරුණ ඇමතිවරයා කුඹුරු වලින් නියර ඉවත් කළ යුතුයැ’යි කීම අප තේරුම් ගත යුත්තේ ඒ අර්ථයෙනි. ඒ නිසා අදාළ අධ්‍යන ආයතන සහ විශේෂඥයින් සම්බන්ධ කර ගෙන තෝරා ගත් යායවල ගොවීන් අතර අවබෝධය ඇති කොට නියාමක වැඩපිළිවෙළක් හරහා සබැඳි ගොවිතැන හඳුන්වාදීමට කෘෂිකර්මය කරවන මැති ඇමතිවරු නිර්භය විය යුතුය. ‘ගොවීන්ට වී වලට වැඩි මිලක් දුන්නොත් හාල්මිල ඉහළ යවන්නට සිදුවනවාය කියමින්’ ළත වෙනවාට වඩා ගොවීන්ට වී නිෂ්පාදනය සහ සහල් අළෙවිය යන දෙකෙන් ම දැනට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන අන්දමේ රැඩිකල් ව්‍යුහාත්මක වෙනසක් නැතහොත් සිස්ටම් චේන්ජ් එකක් වී ගොවිතැනෙහි ඇති කිරීමට කටයුතු කළ යුතුය.