
Jehan Perera
‘දිට්ව’ සුළිකුණාටුව යනු 2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වාභාවික විපතයි. මෙයින් පුද්ගලයන් 640කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර, 170කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති. රට පුරා මිලියන 2.2කට අධික ජනතාවක් පීඩාවට පත්වූහ. මෙහි ආර්ථික පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් සියයට හතරකට සමාන වේ. මෙවැනි පරිමාණයේ ආපදාවකට තනිව මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. අන්තර්ජාතික සහාය අත්‍යවශ්‍ය වූ අතර එය ඉක්මනින්ම ලැබිණි. හදිසි සහන, තාක්ෂණික විශේෂඥතාව සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය සහාය ලබාදුන් පළමු රට ඉන්දියාවයි. අනෙකුත් දකුණු ආසියාතික රටවල් ද මානුෂීය ආධාර ලබාදුන්හ. මාලදිවයින් ජනතාව ඔවුන්ගේ රජයට වඩා වැඩි දායකත්වයක් එකතු කර ලබාදුන්හ. මෙම ප්‍රතිචාරය මානුෂීය සහනයට එහා ගිය වැදගත්කමක් ගනී. දකුණු ආසියාවේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය ජාතිකත්වය සහ ආගම ඉක්මවා යා හැකි බව එයින් පෙනීගියේය.
දකුණු ආසියාව බොහෝ විට කලාපීය සහයෝගීතාවයට වඩා දේශපාලන එදිරිවාදිකම් සමඟ සම්බන්ධ වේ. කලාපයේ රටවල් අතර සබඳතා යුද්ධ, දේශසීමා ආරවුල්, ආරක්ෂක ගැටළු සහ දේශපාලන අවිශ්වාසය මගින් හැඩගැසී ඇත. මෙම බෙදීම් නිසා සහයෝගීතාව සඳහා ඵලදායී ආයතන ගොඩනැගීමට කලාපයට නොහැකි වී තිබේ. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (SAARC) අත්දැකීම් මෙම ගැටළුව මනාව පැහැදිලි කරයි. 1985 දී පිහිටුවන ලද SAARC සංගමය මගින් වෙළඳාම, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය, දරිද්‍රතාවය පිටුදැකීම සහ ආපදා කළමනාකරණය යන ක්ෂේත්රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරිණි. දශක හතරකට පසු එහි වාර්තාව බලාපොරොත්තු සුන්කරවන සුළුය. සාමාජික රටවල් අතර දේශපාලන මතභේද හේතුවෙන් සමුළු පැවැත්වීම ඇනහිට ඇති අතර (අවසාන සමුළුව 2014 දී පැවැත්විණි), බොහෝ කලාපීය වැඩසටහන් ප්රකාශනවලට පමණක් සීමා වී ඇත.
ASEAN සංවිධානය සමඟ පවතින වෙනස කැපීපෙනේ. අග්නිදිග ආසියාව ද භෞමික ආරවුල්, මතවාදී බෙදීම් සහ දේශපාලන වෙනස්කම්වලට මුහුණ දී ඇත. එහෙත් ASEAN සංවිධානය හැකි සෑම විටම ආර්ථික සහ ක්‍රියාකාරී සහයෝගීතාව දේශපාලන මතභේදවලින් වෙන්කිරීමට තෝරාගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස, අද ASEAN කලාපය තුළ වෙළඳාම කලාපයේ මුළු වෙළඳාමෙන් හතරෙන් එකක් පමණ වේ. දකුණු ආසියාවේ එම අගය තවමත් පවතින්නේ සියයට පහක් පමණ වැනි සුළු ප්රතිශතයකය. මෙම අසාර්ථකත්වයේ ආර්ථික පිරිවැය කලාපයේ සෑම රටක්ම දරා ඇත. දේශගුණික විපර්යාස වෙනස් ප්‍රවේශයක් අනුගමනය කිරීමට අවස්ථාවක් ලබාදෙයි. එය දේශපාලන ආරවුල් විසඳීම සඳහා ආදේශකයක් නොවන නමුත්, සහයෝගීතාවය අත්‍යවශ්‍ය සහ දේශපාලනික වශයෙන් කළ හැකි ක්ෂේත්රයක් එයින් සැපයේ. ගංවතුර, සුළි කුණාටු, නියඟය සහ තාප තරංග ජාතික සීමාවන් හඳුනන්නේ නැත. රටවල් දේශපාලන ගැටළු සම්බන්ධයෙන් එකඟ නොවූවත්, තමන් මුහුණදෙන පාරිසරික අවදානම් එකම බව පිළිගත හැකිය.
දිට්වා බලපෑම්
සන්නද්ධ ගැටුම් වැළැක්වීම සඳහා වූ ගෝලීය හවුල්කාරිත්වය (GPPAC) විසින් මෙම සතියේ කත්මණ්ඩු නුවරදී සංවිධානය කරන ලද දේශගුණය, සාමය සහ ආරක්ෂාව පිළිබඳ සමුළුව, දේශගුණික විපර්යාස තවදුරටත් හුදෙක් පාරිසරික ගැටලුවක් පමණක් නොවන බවට පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු කළේය. දකුණු ආසියාතික රටවල වෘත්තිකයන්, විද්වතුන්, රජයේ නිලධාරීන් සහ තරුණයන්ගේ මෙම හමුව ජාතික වෙනස්කම් අභිබවා ගිය හදවත් සහ සිත්වල හමුවීමක් විය. එය තවත් වැදගත් කරුණක් ඉස්මතු කළේය. දේශගුණික විපර්යාස සඳහා ඵලදායී ප්‍රතිචාර දැක්විය හැක්කේ රජයන්ට පමණක් නොවේ. ඒවා වඩාත් සෘජුවම බලපෑමට ලක්වන ප්රජාවන්ගේ අත්දැකීම්වලින් දැනුවත් විය යුතුය. එක් සිද්ධි අධ්‍යයනයක් වූයේ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ අත්දැකීමයි. එයින් පැහැදිලි වන්නේ ප්‍රජා සහභාගීත්වය දේශගුණික ප්‍රතිපත්තියේ කොටසක් විය යුත්තේ ඇයිද යන්නයි. ප්‍රකෘතිමත් වීම යනු හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැගීම පමණක් නොවේ. එය ජීවනෝපායන් යථාතත්ත්වයට පත් කිරීම, ඉඩම් ගැටළු විසඳීම සහ පීඩාවට පත් ප්‍රජාවන් සහ රාජ්‍ය ආයතන අතර විශ්වාසය නැවත ගොඩනැගීමයි.
සමුළුවේදී ඉදිරිපත් කළ කරුණු වලදී, කලාපීය උපාය මාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය (RCSS) සහ ජාතික සාම සභාව (NPC) විසින් ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ප්රජාවන්ගේ අත්දැකීම් අනාගත ආපදා ප්‍රතිචාර සඳහා පාඩම් ලෙස ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ කාර්යය කත්මණ්ඩු සමුළුවේදී ඉදිරිපත් කළ අතර, තාක්ෂණික විශේෂඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පමණක් බොහෝ විට ආධිපත්‍යය දරන සාකච්ඡාවකට ප්‍රජා හඬ එක්කරන ලදී. මෙම පර්යේෂණය දැඩි ගංවතුර සහ නායයෑම්වලට ලක් වූ ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමුකළේය. භෞතික විනාශය දෙස පමණක් බැලීම වෙනුවට, එය ජීවනෝපායන්, ඉඩම් හිමිකාරිත්වය, නැවත පදිංචි කිරීම්, වන්දි ගෙවීම් සහ සමාජ ඒකාබද්ධතාවය කෙරෙහි ඇති වූ බලපෑම පරීක්ෂා කළේය. සොයාගැනීම්වලින් පෙන්නුම් කළේ, ප්‍රකෘතිමත් වීම මන්දගාමී වන්නේ මානුෂීය ආධාර නොමැතිකම නිසා නොව, විසඳිය නොහැකි සමාජීය සහ පරිපාලනමය ගැටළු හේතුවෙන් බවයි.
සමීක්ෂණයට ලක් වූ බොහෝදෙනෙකට තම නිවාසවලට අමතරව භෝග, ගොවිබිම් සහ ආදායම් මාර්ග ද අහිමි වී තිබිණි. සමහර පවුල් ආපදාවෙන් මාස ගණනාවකට පසුවත් පාසල්වල, තාවකාලික කූඩාරම්වල හෝ ඥාතීන්ගේ නිවාසවල දිගටම ජීවත් වූහ. බොහෝදෙනෙක් අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් කිරීම අවශ්‍ය බව පිළිගත්තද, ඔවුන්ට අවශ්‍ය වූයේ තම ජීවනෝපායන් අහිමි නොවනු ඇති බවට හෝ තම ප්රජාවන්ගෙන් වෙන්නොවනු ඇති බවට සහතිකයක් ලබා ගැනීමටයි. බොහෝදෙනකුට, විශාලතම ගැටළුව වූයේ ඉවත් කිරීමම නොව, නැවත පදිංචි කිරීමෙන් පසු ගොවිබිම්, පාසල්, සෞඛ්‍ය සේවා සහ ආගමික ස්ථාන වෙත ප්‍රවේශ වීම පිළිබඳ අවිනිශ්චිතතාවයයි. සමීක්ෂණයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා ද ඉස්මතු විය. සම්මුඛ සාකච්ඡාවට ලක්වූවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් පැවසුවේ නැවත පදිංචි කිරීමේ තීරණ ගැනීමට පෙර තමන්ගෙන් උපදෙස් ලබා නොගත් බවයි. සුළු පිරිසක් පමණක් තම අදහස් නිසි ලෙස සලකා බැලූ බව විශ්වාස කළහ. ප්රජාවන්ගෙන් ලැබුණු ප්‍රබලම පණිවිඩය වූයේ නැවත පදිංචි කිරීම ඔවුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය යුතු බවත්, හැකි සෑම විටම පවතින ප්‍රජාවන් විසිරුවා හැරීම වෙනුවට ඔවුන්ව එකට තබාගත යුතු බවත්ය.
ශ්‍රී ලංකාවෙන් ඔබ්බට
පර්යේෂණයෙන් ඉස්මතු වූ තවත් ගැටලුවක් වූයේ ශ්‍රී ලංකාවේ වතු ප්රජාවන්ගේ විශේෂ අවදානම් සහගත බවයි. නිවාස වලට හානි වූ පවුල්වලට පවතින සම්පූර්ණ වන්දි මුදල ලබාගැනීමට නොහැකි වූයේ ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ ජීවත් වූ නිවාස සඳහා නීත්‍යානුකූල අයිතියක් ඔවුන් සතු නොවීම නිසාය. එබැවින් දේශගුණික ආපදා මගින් සුළිකුණාටුවට බොහෝ කලකට පෙර සිට පැවති ඉඩම් හිමිකාරිත්වය සහ රාජ්‍ය ආධාර සඳහා සමාන ප්‍රවේශයක් ලබාගැනීම සම්බන්ධ දීර්ඝකාලීන ගැටළු නිරාවරණය විය. මෙම සොයාගැනීම් මත පදනම්ව, නිර්දේශ අතරට නැවත පදිංචි කිරීමේ වැඩසටහන් මගින් ප්‍රජා ජාල සහ ජීවනෝපායන් ආරක්ෂා කළ යුතු බවත්, වතු පවුල්වලට ඉඩම් අයිතිය සඳහා වැඩි ආරක්ෂාවක් ලැබිය යුතු බවත්, වන්දි ක්‍රියා පටිපාටි සරල කළ යුතු බවත්, ආපදා සැලසුම් කිරීමේදී ප්‍රජාවන් වඩාත් සම්පූර්ණ ලෙස සහභාගී විය යුතු බවත් ඇතුළත් විය. ඔවුහු ශක්තිමත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම වඩා හොඳ සන්නිවේදනයක් සහ ආපදා ප්‍රතිසාධන අරමුදල් කළමනාකරණයේ වැඩි විනිවිදභාවයක් සඳහා ද ඉල්ලා සිටියහ.
මෙම ගැටළු ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ඒවා නොවේ. දකුණු ආසියාව පුරාම දේශගුණික ආපදා මගින් මෙවැනිම දුර්වලතා නිරාවරණය වෙමින් පවතී. බංග්ලාදේශයේ ගංවතුර, නේපාලයේ ග්ලැසියර දියවීම, ඉන්දියාවේ තාප තරංග හෝ මාලදිවයිනේ වෙරළ ඛාදනය වුවද, ආපදා ප්‍රකෘතිමත් වීම මූල්‍ය සම්පත් මත පමණක් නොව ඵලදායී රාජ්‍ය ආයතන සහ ප්‍රජා සහභාගීත්වය මත ද රඳාපවතින බව රජයන් වටහා ගනිමින් සිටී. රටවල් එකිනෙකාගේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට බොහෝ අවකාශයන් පවතී. SAARC සංවිධානයට තම නැතිවී ගිය අදාළත්වය යම් ප්‍රමාණයකට නැවත ලබා ගත හැක්කේ මෙතැනදීය. ආපදා කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව සහ කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ගිවිසුම් සහ ආයතන දැනටමත් එහි පවතී. පුළුල් දේශපාලන ආරවුල් හේතුවෙන් සෑම ක්ෂේත්රයකම ප්‍රගතිය වළක්වා ගැනීමට ඉඩදීම වෙනුවට, සහයෝගීතාවය සැමට ප්රතිලාභ ගෙන දෙන ගැටළු කෙරෙහි සාමාජික රටවලට අවධානය යොමු කළ හැකිය. ඒකාබද්ධ ආපදා සූදානම, කලාපීය පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, විද්‍යාත්මක සහයෝගීතාව, මානුෂීය ආධාර සහ දේශගුණික අනුවර්තනය යන ක්ෂේත්‍ර ප්‍රායෝගිකව ප්‍රගතියක් ලබාගත හැකි ක්ෂේත්‍ර වේ. දකුණු ආසියානු සහයෝගීතාවයේ සහ සැලකිල්ලේ මෑත කාලීන ප්රතිලාභියෙකු ලෙස, ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් ඇත.
සියලුම දකුණු ආසියාතික රටවල මිතුරෙකු ලෙස, SAARC සහයෝගීතාව පුනර්ජීවනය කිරීමේදී ශ්‍රී ලංකාවට පහසුකම් සපයන්නකුගේ භූමිකාවක් ඉටුකළ හැකිය. අනෙකුත් රටවල තම සගයන් සමඟ අත්දැකීම් සහ ලබාගත් පාඩම් බෙදාහදා ගැනීම තුළින් සිවිල් සමාජ සංවිධානවලට රජයන් අතර සහයෝගීතාවයට අනුපූරක වෙමින් පහළ මට්ටමේ සිට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට උපකාර කළ හැකිය. දේශගුණික විපර්යාස දකුණු ආසියාව බෙදා වෙන්කරන දේශපාලන මතභේද ඉවත් නොකරනු ඇත. එහෙත් එය රජයන්ට තම අරමුණු පොදු වන තැන්වලදී එකට වැඩ කිරීමට බලගතු හේතුවක් නිර්මාණය කරයි. ‘දිට්වා’ සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවේ අවදානම් සහගත බව මෙන්ම ආපදාවකදී ප්‍රතිචාර දැක්වීමට අසල්වැසි රටවල කැමැත්ත ද පෙන්නුම් කළේය. ඊළඟ පියවර විය යුත්තේ එම මානුෂීය ප්‍රතිචාරය තිරසාර කලාපීය සහයෝගීතාවයක් බවට පත්කිරීමයි. දේශගුණික සහයෝගීතාව යනු දකුණු ආසියාතික රජයන් සහ සිවිල් සමාජයන් එකට වැඩ කරන වැඩසටහනක් බවට පත්විය හැකිය.