12 August, 2026

Blog

අධිකරණයේ ස්වාධීනත්වය, නිරන්තරභාවය සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

ජෙහාන් පෙරේරා  –

ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව තුළ අතීතයේ පැවැති දණ්ඩමුක්ති සංස්කෘතියට (වරදක් කර දඬුවම් නොලැබී බේරී යාමේ සංස්කෘතිය) අභියෝග කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් විමර්ශන සහ නඩු පැවරීම්වලට මුහුණදෙමින් සිටිති. දේශපාලන තරාතිරම හෝ සමාජ තත්ත්වය කුමක් වුවත් කිසිදු පුද්ගලයකු නීතියට ඉහළින් නොසිටින පද්ධතියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට හැකිවේද යන්න මෙකී වත්මන් මොහොතේ ඇති වැදගත්කම ප්‍රශ්නයයි. මෙලෙස වගවීම පිළිබඳ තබන විශ්වාසය, බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව සංකීර්ණ නඩු තීන්දු තීරණය කිරීමට සමත් ස්වාධීන අධිකරණ පද්ධතියක් මත බෙහෙවින් රඳාපවතී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය සංශෝධනය කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ මෙවැනි පසුබිමකය. එමෙන්ම අනෙකුත් අධිකරණ පාලනය වන නීති සංශෝධනය කරමින් එම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසද වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂ දේශපාලන පක්ෂ, අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට මින් සිදුවිය හැකි බලපෑම් පිළිබඳව කණස්සල්ල පළකර ඇත. ඔවුන් සිය විරෝධතා පොදු සමාජය වෙත ගෙන ගොස් ඇති මුත්, ඊට මෙතෙක් ලැබී ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ තරම් සාමාන්‍ය ජනතාව රජයේ අභිප්‍රායයන් පිළිබඳව සැක පහළ කරන බවක් පෙනෙන්නට නැත. අතීතයේ සිදුවූ, සැඟවුණු මෙන්ම ප්‍රසිද්ධ දූෂිත සහ අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනට සාර්ථක ලෙස නඩු පැවරීම් විශාල සංඛ්‍යාවක් සිදුවීම මහජන බලාපොරොත්තු ඉටුවීමකි. නඩු ගොඩගැසී තිබීම සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් රඳවා ගැනීමේ අවශ්‍යතාවය පදනම් කරගනිමින් රජය මෙම යෝජිත වයස් දීර්ඝ කිරීම ප්‍රධාන වශයෙන් සාධාරණීකරණය කර ඇත. අධිකරණ හමුවේ නඩු මිලියන 1.1 ක් පමණ විභාග වෙමින් පවතින බව සඳහන් කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ පුළුල් උත්සාහයක එක් කොටසක් පමණක් බව අවධාරණය කළේය.

කෙසේවෙතත්, මෙම සංවාදය විනිසුරුවරුන් වසර දෙකකට පසුව විශ්‍රාම ගත යුතුද නැද්ද යන ක්ෂණික ප්‍රශ්නයෙන් ඔබ්බට යා යුතුය. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදුන් පරිදි, මෙහි ඇති විශාලතම ගැටලුව වන්නේ අධිකරණ පද්ධතියේ දැනට පවතින තත්ත්වයයි. නඩු තීන්දු ප්‍රමාද වීම, නඩු විශාල ලෙස ගොඩගැසීම, අධිකරණ පරිපාලනයේ පවතින සීමාවන් සහ ප්‍රමාණවත් ආයතනික ධාරිතාවක් නොමැතිකම යන සියල්ල සාධාරණත්වය ඉටුකර ගැනීමට බාධාවක් වේ. එමනිසා, මෙම වත්මන් මොහොතේ වැදගත්කම වටහා ගත යුත්තේ සිදුකරනු ලබන විමර්ශන හෝ නඩු පැවරීම් සංඛ්‍යාවෙන් පමණක් නොව, රාජ්‍ය බලය සහ වගවීම ක්‍රියාත්මක වන පද්ධතියේ ගැඹුරු වෙනසක් ඒවායින් නිරූපණය වන්නේද යන්න මතය. පද්ධතිමය වෙනසක් (Systems change) සඳහා පුද්ගලයන් වෙනස්කිරීම හෝ තනි තනි නඩුවලට ලුහුබැඳීමට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. යම් නිශ්චිත රජයක අභිප්‍රාය මත පදනම් නොවී, වගවීම යනු රාජ්‍ය පාලනයේ ස්ථාවර ලක්ෂණයක් බවට පත්වන සේ ආයතනික භාවිතයන්, දිරිගැන්වීම්, සබඳතා සහ සම්මතයන්ගේ වෙනසක් ඊට අවශ්‍ය වේ.

අධිකරණයේ ස්වාධීනත්වය

අතීතයේ පැවැති දණ්ඩමුක්ති සංස්කෘතිය පිටුදැකීමට බරපතල උත්සාහයන් ගන්නා මෙවැනි කාලයක අධිකරණයේ ස්වාධීනත්වය සහ නිර්භයභාවය විශේෂයෙන් වැදගත් වේ. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නීතියට හසුනොවන බවට වරක් සිතූ පුද්ගලයන් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන හරහා විමර්ශන සහ නඩු පැවරීම් සිදුකෙරෙමින් පවතී. මෙම ක්‍රියාවලියේ විශ්වසනීයත්වය අවසානයේ රඳාපවතින්නේ බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව සංකීර්ණ නඩු තීරණය කිරීමට අධිකරණයට ඇති හැකියාව මතය. අධිකරණයට ගොඩගැසී ඇති විශාල නඩු සංඛ්‍යාවකට මුහුණදීමට සිදුවන අතරම, මහජනතාවට දැඩි ලෙස බලපාන වැදගත් නඩු විසඳීමට සිදුව ඇති මොහොතක, පළපුරුදු අධිකරණ නායකත්වයක් රඳවාගැනීම සාධාරණත්වය ඉටුකිරීමේ ක්‍රියාවලියේ ස්ථාවරත්වයට සහ නිරන්තරභාවයට උපකාරී වේ.

ආයතන සුවිශේෂී අභියෝගවලට මුහුණදෙන විට නායකත්වය ඉතා වැදගත් වේ. ආයතන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නේ නැත. ඒවා ක්‍රියාත්මක වන්නේ එහි සේවය කරන පුද්ගලයන් හරහා වන අතර ඒවා නායකත්වය මත රඳාපවතී. ව්‍යාපාරයක්, විශ්වවිද්‍යාලයක්, රෝහලක් හෝ අධිකරණයක් වේවා, සෑම සාර්ථක ආයතනයක්ම දක්ෂ නායකත්වයක් මත පදනම් වේ. නීති සහ පටිපාටි වැදගත් නමුත් අවසානයේ තීරණ ගන්නේ මිනිසුන්ය. මෙම මොහොතේදී ශ්‍රී ලංකාව සතුව වගවීම වෙනුවෙන් කැපවූ දේශපාලන නායකත්වයක් මෙන්ම, බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව සංකීර්ණ නඩුවලට තීන්දු දීමට කැමැත්ත පෙන්වා ඇති අධිකරණ නායකත්වයක්ද පවතී. අද දින ලබාදෙන ඇතැම් අධිකරණ තීන්දු අධික ලෙස දැඩි බවක් පෙනෙන්නට තිබුණද, චූදිතයන්ගේ වරද නීතිමය වශයෙන් තීරණය කර ඇති අතර ඒවා අභියාචනයට යටත් වේ.

වත්මන් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, 2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිතේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ධුරයෙන් පහකර, ඒ වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමත් සමඟ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුද සමයේ අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වෙමින් රට අනතුර දෙසට ගමන් කරමින් තිබියදී, විනිසුරු සුරසේන මූලිකත්වයෙන් යුත් අභියාචනාධිකරණය 2018 දෙසැම්බර් මුල් භාගයේදී තහනම් නියෝගයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රාජපක්ෂට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම තාවකාලිකව වළක්වන ලදී. එම මාසයේම පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි ව්‍යවස්ථාපිත අභියෝගය තහවුරු කළේය. එම කාල පරිච්ඡේදයේ වැදගත්කම නම්, ඉතා මතභේදාත්මක දේශපාලන ගැටුමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහ නීතිමය ක්‍රියාවලීන් හරහා විසඳීමට අධිකරණයට සිදු වූ අතර, ඔවුන් එය ස්වාධීනව සහ නිර්භයව ඉටුකිරීමයි.

ආයතන සුවිශේෂී අභියෝගවලට මුහුණදෙන විට අධිකරණ නායකත්වය විශේෂයෙන් වැදගත් වන්නේ මන්දැයි මෙම අත්දැකීමෙන් පැහැදිලි වේ. මහාචාර්ය උයන්ගොඩගේ විශ්ලේෂණය මෙහිදී ප්‍රයෝජනවත් වන්නේ අධිකරණ ස්වාධීනත්වය යන්න විශ්‍රාම යන වයස හෝ පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයකට පමණක් ලඝු කිරීමට එරෙහිව එයින් අනතුරු අඟවන බැවිනි. විනිසුරුවරුන්ට තවත් වසර දෙකක් ලබාදීමෙන් පමණක් ඔවුන් තම ස්වාධීනත්වය පාවා දී එම වෙනස සිදුකළ ආණ්ඩුවට පක්ෂපාතී වනු ඇතැයි අදහස් නොවේ. තමන්ව පත්කළ ආණ්ඩුවල නායකයන්ගේ කැමැත්තට එරෙහිව තීන්දු ලබා දී ඊට දැඩි වන්දියක් ගෙවීමට සිදු වූ විනිසුරුවරුන් පිළිබඳ උදාහරණ කිහිපයක්ම ශ්‍රී ලංකාවේ පවතී. අපගේ මතකයේ ඇති එවැනි නාමයන් දෙකක් වන්නේ හිටපු අග්‍රවිනිශ්චයකාරවරුන් වන නෙවිල් සමරකෝන් (1984) සහ ශිරාණි බණ්ඩාරනායක (2013) ය.

නිරන්තරභාවය තහවුරු කිරීම

සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස මේ අවස්ථාවේදී වෙනස්කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වය හීනවන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කණස්සල්ලක් මතුකර ඇත. 2026 මැයි මාසයේදී ජනාධිපතිවරයා වෙත යැවූ සන්නිවේදනයේදී නීතිඥ සංගමය පෙන්වාදුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා පවතින විශ්‍රාම වයස් සීමාවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට පැවත එන බැවින් ඒවා හිතුමනාපයේ වෙනස් නොකළ යුතු බවයි. වඩාත් බරපතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ගැටලුව මතුවන්නේ, කුමන විනිසුරුවරුන්ට සේවා කාලය දීර්ඝ කරන්නේද සහ කාට නොදෙන්නේද යන්න තීරණය කිරීමට විධායකයට බලය ලැබෙන්නේ නම් පමණි. 22 වැනි සංශෝධනයෙන් සලසා ඇති පරිදි සියලුම විනිසුරුවරුන්ට සමානව බලපාන පොදු රීතියක් පැවතීම, ධුරයේ රැඳී සිටින්නේ කවුරුන්ද යන්න රජයට තෝරා බේරා තීරණය කළ හැකි පද්ධතියකට වඩා මූලික වශයෙන් වෙනස් වේ.

අධිකරණ ස්වාධීනත්වය රඳා පවතින්නේ තනි තනි විනිසුරුවරුන්ගේ හැසිරීම මත පමණක් නොව, විනිසුරුවරුන් සේවය කරන කොන්දේසි දේශපාලන අරමුණු සඳහා වෙනස් නොකරන බවට වන මහජන විශ්වාසය මතය. මෙම කරුණෙහිදී, ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවටත්, ඒ සමඟ තවත් වසර ගණනාවක් ඵලදායී ලෙස වැඩකිරීමේ හැකියාව පවතින බවටත් සාධාරණ තර්කයක් ඉදිරිපත් වී ඇත. සැබවින්ම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳ මෙම මහජන අවධානය යොමුව ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රජය අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. වසර හයකට පෙර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. ජයසිංහම් පෙන්වාදුන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 දක්වා ඉහළ නැංවිය යුතු බවයි.

කෙසේවෙතත්, ‘අඛණ්ඩභාවය’ යන්න අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා විකල්පයක් ලෙස ඉදිරිපත් නොකළ යුතුය. විනිසුරුවරුන් තවත් වසර දෙකක් ධුරයේ තබාගැනීමෙන් පමණක් පවතින දැවැන්ත නඩු ගොඩගැසීමට විසඳුම් සෙවිය නොහැක. මහාචාර්ය උයන්ගොඩ අවධාරණය කර ඇති පරිදි, අධිකරණ පරිපාලනය, පටිපාටිමය ප්‍රමාදයන්, කාර්යමණ්ඩල හිඟය සහ සාධාරණ කාලයක් ඇතුළත සාධාරණත්වය ඉටුකර ගැනීමට පුරවැසියන්ට ඇති හැකියාව ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේම ධාරිතාව සම්බන්ධයෙන් ගැඹුරු ගැටලු පවතී. එබැවින් විශ්‍රාම ගැන්වීමේ වයස පිළිබඳ සංවාදය, පළපුරුදු විනිසුරුවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව මෙම පුළුල් ආයතනික අඩුපාඩු විසඳීමට ලැබෙන අවස්ථාවක් කරගත යුතුය.

දණ්ඩමුක්ති සංස්කෘතිය අහෝසි කිරීම සඳහා රජය සහ රාජ්‍ය ආයතන කටයුතු කිරීම ආරම්භ කරන තෙක් ශ්‍රී ලංකාව දිගු කලක් බලා සිටියේය. මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා දේශපාලන නායකත්වය, අධිකරණ නායකත්වය, වෘත්තීය නීති බලාත්මක කිරීමේ අංශ සහ ස්වාධීන නීති වෘත්තිය යන සියල්ලටම ඉටුකිරීමට කාර්යභාරයක් ඇත. එහෙත් මෙම අඛණ්ඩභාවය කෙරෙහි මහජන විශ්වාසය ඇති වන්නේ විනිවිදභාවය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට ගරුකිරීමද ඊට ඇතුළත් වන්නේ නම් පමණි. පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඉදිරි විවාදයේදී මේ පිළිබඳව අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වේ. කෙටුම්පත් නීතිය පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා විට ඊට සංශෝධන සිදුකිරීමට තමන් සූදානම් බව ආණ්ඩුවේ නායකයන් ප්‍රකාශ කර ඇත. මෙහි අරමුණ විය යුත්තේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි අධිකරණයේ අඛණ්ඩභාවය පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකාව ලබාගැනීමට පටන් ගෙන ඇති ප්‍රගතියට සහාය වීම සඳහා 22 වැනි සංශෝධනය සම්මත කිරීම මෙම ආලෝකයෙන් දැකිය යුතුව ඇත.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment