26 September, 2026

Blog

සාමය ගොඩනඟන සිවිල් සමාජ අවකාශය සුරක්ෂිත කරනු

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

අන්තර්ජාතික සාම දිනය සැප්තැම්බර් 21 වැනිදා සමරන ලදී. ඒ වන විට ශ්‍රී ලංකාව ලබා ඇති සැබෑ ජයග්‍රහණයක් මෙන්ම මුහුණදීමට ඇති අභියෝගාත්මක පරීක්ෂණයක් ද දක්නට ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර තේමාව වූයේ ‘සාමය උදෙසා ආයෝජනය කරන්න: සැමට, සෑම තැනකම, සෑම දිනකම’ යන්නයි. එමෙන්ම දේශීය වශයෙන් ක්‍රියාත්මක වෙමින් පතුලේ සිට තිරසාර සාමයක් ගොඩනගන ‘සාමයේ එදිනෙදා නිර්මාණකරුවෝ’ද මෙහිදී ඇගයීමට ලක්විය. 2026 ගෝලීය සාම දර්ශකයට අනුව රටවල් 163 ක් අතුරින් ශ්‍රී ලංකාව ස්ථාන 30ක් ඉදිරියට පැමිණෙමින් 97 වැනි ස්ථානයේ සිට 67 වැනි ස්ථානය දක්වා උසස් වී ඇත. එම කාලසීමාව තුළම, ගෝලීය සාමකාමී බව අඛණ්ඩව 12 වැනි වසරටත් පහත වැටී ඇති අතර, එය දර්ශකය ආරම්භ කළ දින සිට වාර්තා වූ අඩුම මට්ටමයි. එහිදී දකුණු ආසියාව කලාපීය වශයෙන් දැඩිම පසුබෑමට ලක්ව තිබේ. මෙහි ඇති පරීක්ෂණය වන්නේ, සාමයේ එම නිර්මාණකරුවන් ක්‍රියාත්මක වන සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන්නේද යන්නයි.

ශ්‍රී ලංකාවේ මෙම ඉදිරි ගමන සැබෑ එකක් වන අතර, එය ඇගයීමට ලක්විය යුතුය. මීට සති කිහිපයකට පෙර නිකුත් කරන ලද මෙවර සමාලෝචනයේදී, දූෂණයට එරෙහිව ගත් පියවර, දේශපාලන ඝාතන, අනිවාර්යයෙන් අතුරුදහන් කරවීම් සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් සහ පරීක්ෂණ මෙන්ම ජාතිවාදය සම්බන්ධයෙන් නිල වශයෙන් දිගින් දිගටම සිදුකරන හෙළාදැකීම් අගයමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා මෙම ප්‍රගතිය පිළිගෙන ඇත. කෙසේවෙතත්, ශ්‍රේණිගත කිරීමක් මගින් සටහන් කරන්නේ යම් නිශ්චිත මොහොතක පවතින තත්ත්වයයි. එය එම තත්ත්වය සදාකාලිකව පවතිනු ඇති බවට සහතිකයක් නොවේ. තිරසාර සාමය සාධක තුනක් මත රඳාපවතිනු ඇත. එනම්, ගැටුම්වලට තුඩුදුන් නිරාකරණය නොවූ හේතූන් සඳහා රජය විසඳුම් ලබාදෙන්නේද, අතීත සහ වර්තමාන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ශක්තිමත් කරන්නේද, සහ පහළ මට්ටමේ සිට සාමය ගොඩනඟන සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කරන්නේද යන්නයි. පළමු කරුණු දෙක සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය තවමත් අසම්පූර්ණය. තෙවැනි කරුණ ගත්කල, යෝජිත රාජ්‍ය නොවන සංවිධාන (NGO) පනත් කෙටුම්පත මගින් අනෙක් කරුණු දෙක වෙනුවෙන් පෙනීසිටින සංවිධානම දුර්වල කිරීමේ තර්ජනයක් මතුවී ඇත.

ශ්‍රී ලංකාව වඩාත් ඉහළ ස්ථානයකට පැමිණීම වළක්වන්නේ රට තුළ යුද්ධය පෝෂණය කළ සහ ලොව පුරා පැතිර යන අන්තර්ජාතික ගැටුම් පෝෂණය කරන කරුණුමය. එනම් පටු අරමුණු සහිත ජාතිවාදය හෙවත් ජාතිකවාදය, දූෂණය සහ නීතිවිරෝධී බවයි. සමතුලිතතාය, වගවීම සහ නීතියේ ආධිපත්‍යය ඊට ඇති පිළියම් වේ. වත්මන් ආණ්ඩුව මේවා වෙනුවෙන් කැපවී සිටින අතර, එය මෑත අතීතයේ පැවැති ආණ්ඩුවලට වඩා සැලකිය යුතු ඉදිරි පියවරකි. එහෙත් මෙම පදනම තදින් අල්ලාගෙන සිටින්නේ ආණ්ඩු පමණක් නොවේ. සාමය ගොඩනැගෙන්නේ ගම්මාන, රැකියා ස්ථාන සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළය. සාමය ගොඩනඟනු ලබන්නේ අතුරුදහන් වූ තම ආදරණීයයන් ගැන සත්‍යය ඉල්ලා සිටින පවුල්, අක්‍රමිකතා හෙළිදරව් කරන ජනමාධ්‍යවේදීන් සහ නීතිඥයන්, මෙන්ම දෙමළ, මුස්ලිම් සහ සිංහල ජනතාව ප්‍රායෝගික සහයෝගීතාවයකට ගෙන එන ප්‍රජා සංවිධාන විසිනි.

අසම්පූර්ණ වැඩකටයුතු

2025 ඔක්තෝබර් සිට 2026 ජූලි දක්වා කාලය ආවරණය කරමින් වත්මන් මානව හිමිකම් මණ්ඩල සැසියට ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ, තවමත් කොපමණ වැඩ ප්‍රමාණයක් කිරීමට ඉතිරිව ඇත්ද යන්නයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තවමත් ක්‍රියාත්මක වන අතර, එමගින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා නොමැතිව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම් සිදුවේ. එම පනත අහෝසි කරන තෙක් එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසත්, දීර්ඝ කාලයක් රඳවා තබාගෙන සිටින පිරිස් නිදහස් කරන ලෙසත් වාර්තාව ඉල්ලා සිටී. හමුදාව භාරයේ පවතින ඉඩම් නිදහස් කර නොමැති අතර, අනුස්මරණ කටයුතු සඳහා සහයක් නොමැත. තවද ඉඩම් සහ ආගමික ස්ථාන සම්බන්ධයෙන් පවතින ආතතීන් තවදුරටත් පවතී. මඩකලපුව දිස්ත්‍රික්කය, මෙවැනි ගැටලු තවමත් පවතින ආකාරය මනාව පැහැදිලි කරයි. පශු සම්පත් සඳහා වෙන්වූ මයිලත්තමඩු සහ මාධවනයි තණබිම් ආරවුල විසඳන ලෙස පසුගිය වසර තුන ඇතුළත ජනාධිපතිවරුන් දෙදෙනකු වන රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක එහි සංචාරය කරමින් උපදෙස් ලබා දී තිබිණි. මෙය දෙමළ ගොවීන් සහ පිටතින් පැමිණි සිංහල වගාකරුවන් අතර පවතින ආරවුලක් වන අතර එය තවමත් විසඳී නොමැත. ජනාධිපතිවරුන් දෙදෙනකු උපදෙස් දී පවා කිසිවක් සිදුනොවන්නේ නම්, එහි වරද ඇත්තේ රාජ්‍ය යන්ත්‍රණය තුළය. විසඳා නොමැති ආරවුලක් එලෙසම පවතින්නේ නැත. එය ඊළඟ අර්බුදයට පාර කපයි.

වගවීම සම්බන්ධයෙන්ද ඇත්තේ එකම රටාවකි. අත්අඩංගුවේ පසුවන්නන්ට වධහිංසා පැමිණවීම් සහ සිදුවූ මරණ මෙන්ම ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජය නිරීක්ෂණය කිරීම් සහ බියගැන්වීම් පිළිබඳව ද වාර්තාවේ ලේඛනගත කර ඇත. වසර දෙකකට පෙර මුතූර්හිදී ‘Action Contre la Faim’ හි සහන සේවකයන් දාහත්දෙනකු ඝාතනය කිරීම වැනි බරපතල නඩු වසර ගණනාවක් තිස්සේ ඇණහිට ඇත. ඊටත් වඩා සංවේදී සිදුවීමක් වන්නේ, 1990 දී යුද හමුදාව විසින් එකම දිනකදී පුද්ගලයන් 158 දෙනෙකු රැගෙන ගිය වන්දාරමූලයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සරණාගත කඳවුරේ සිදුවීමයි. ඔවුන් නැවත කිසිදිනෙක දක්නට ලැබුණේ නැත. ඊට වගකිව යුතු නිලධාරීන් කවුරුන්දැයි පසුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට පත් වූ කඳවුර භාර නිලධාරී ඩොක්ටර් ටී. ජයසිංගම් විසින් හඳුනාගන්නා ලදී. දශක තුනකට වැඩි කාලයක් ගතවී ඇතත් එම නිලධාරීන්ගෙන් තවමත් ප්‍රශ්න කර නොමැත. මෙම සිදුවීම් තවමත් මතකයේ පවතින්නේ පවුල්වල සාමාජිකයන්, දිවි ගලවාගත් අය සහ ස්වාධීන සාක්ෂිකරුවන් ඒවා අමතක කිරීමට ඉඩ නොදෙන බැවිනි. මේ අතර පරීක්ෂණ කොමිෂන් සභා කිහිපයක්ම තමුන්ගේ පරීක්ෂණ අවසන් කර ඇති නමුත් ඉන් ඔබ්බට කිසිවක් සිදුවී නොමැත.

දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව සහ ගැටුම්වලින් පසු වෙනත් සමාජයන් විසින් අත්‍යවශ්‍ය යැයි සොයාගන්නා ලද්දේ ‘සංක්‍රාන්ති යුක්තිය’ ලෙස හැඳින්වෙන පදනම් ස්ථම්භ හතරයි. එනම් සත්‍යය, වගවීම, හානිපූරණය සහ නැවත සිදුනොවීම තහවුරු කිරීමයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය අනුව සත්‍යය යනු අතුරුදහන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව විශ්වසනීය, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සහ අනුස්මරණ කටයුතු සඳහා සහාය දැක්වීමයි. වගවීම යනු මුතූර්, වන්දාරමූලයි සහ ඊට සමාන නඩු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ විශ්වසනීය ලෙස චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් උසස් තනතුරුවලින් ඉවත්කිරීමයි. හානිපූරණය යනු වින්දිතයන්ට වන්දි ලබාදීම සහ හමුදාව භාරයේ පවතින ඉඩම් නැවත ලබාදීමයි. නැවත සිදුනොවීම යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ඒ යටතේ රඳවා සිටින පිරිස් නිදහස් කිරීම සහ මයිලත්තමඩු වැනි දේශීය ආරවුල් ප්‍රමාද වී උග්‍ර වීමට පෙර නිරාකරණය කිරීමයි. අතීතය වළලා දමන රටකට ඉන් ගැලවිය නොහැක. අතීතය ඊළඟ පරම්පරාව තුළින් නැවත මතුවනු ඇත.

සිවිල් සමාජය

රාජ්‍ය නොවන සංවිධාන (NGO) පනත් කෙටුම්පත වඩාත්ම කණගාටුදායක වන්නේ මෙවැනි පසුබිමක් යටතේය. යෝජිත ව්‍යවස්ථාව මගින් සිවිල් සමාජ සංවිධාන පාලනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට රාජ්‍යයට පුළුල් බලතල හිමිවේ. රාජ්‍ය නොවන සංවිධාන සඳහා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවය බලාත්මක කිරීම (එය සෑම වසර තුනකට වරක්ම අලුත් කළ යුතුය), වාර්තා වේලාවට ලබානොදීම හෝ රාජ්‍ය නොවන සංවිධානයක මූලික කාර්යය සාමය ගොඩනැගීම වන විට (උදාහරණයක් ලෙස) හදිසි ගංවතුර සහන සඳහා වියදම් කිරීම වැනි කරුණු වෙනුවෙන් ලියාපදිංචිය අවලංගු කිරීම සහ වසාදැමීමට සිදුවීම ඇතුළු දැඩි දඬුවම් ඊට ඇතුළත් වේ. මෙයින් ඔවුන්ගේ ලියාපදිංචිය සහ ක්‍රියාකාරකම් කෙරෙහි අධික බලයක් නිලධාරීන්ට හිමිවන බවට සිවිල් සමාජ කණ්ඩායම් අනතුරු අඟවා ඇත. ශ්‍රී ලංකාවේ නිලධාරීන් අතීතයේදීද මෙවැනි බලතල අනිසි ලෙස භාවිත කර ඇත. ඵලදායී පාලනයකින් තොරව අමතර බලයක් ලබාදීමෙන් සිදුවන්නේ තවදුරටත් අනිසි භාවිතයන් සිදුවීමයි. නිසි නියාමනයක් තුළ ලියාපදිංචිය සඳහා පැහැදිලි නිර්ණායක, ස්වාධීන ලියාපදිංචි කිරීමේ නිලධාරියකු සහ අධිකරණය හමුවට අභියාචනා කිරීමේ අයිතිය තිබිය යුතුය. සාධාරණීකරණය කළ නොහැක්කේ, ප්‍රතිපත්ති පරීක්ෂා කරන, අක්‍රමිකතා හෙළිකරන හෝ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සංවිධානවලට බලපත්‍ර අත්හිටුවන පාලන ක්‍රමයකි.

ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ බලතල තුලනය වීම මතය. වගවීම වෙනුවෙන් පෙනීසිටින පිරිසද එම තුලනයේ කොටස්කරුවන් වේ. මෙහි ඇති පරස්පර විරෝධය පැහැදිලිය. වගවීම, සමානතාව සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කැපවී සිටින රජයක්, එම කරුණු ඉටුකර ගැනීමට බලපෑම් කරන සංවිධානම දුර්වල කිරීමට සූදානම් නොවිය යුතුය. වඩාත්ම අවදානමට ලක්වන්නේ උතුරේ සහ නැගෙනහිර අතුරුදහන්වීම්, ඉඩම්, අනුස්මරණ සහ සංහිඳියාව වෙනුවෙන් ක්‍රියාකරන සංවිධානයන්ය. මන්ද රාජ්‍යයේ ක්‍රියාකලාපය වඩාත්ම දුර්වල ස්ථානය සහ ස්වාධීන සාක්ෂිකරුවන්ගේ අවශ්‍යතාවය වැඩිම ස්ථානය එය වන බැවිනි. ඔවුන්ගේ හඬ නිහඬ කිරීමෙන් ඔවුන් ඉදිරිපත් කරන දුක්ගැනවිලි නැතිවන්නේ නැත. සිදුවන්නේ එම දුක්ගැනවිලි සාමකාමීව නිරාකරණය කරගන්නා මාර්ගය වැසීයෑමයි. රජය මීට නම්‍යශීලී වන බවක් පෙනෙන්නට තිබීම අගය කළ යුතු නමුත්, තාවකාලිකව නැවැත්වීම යනු සම්පූර්ණයෙන් ඉවත්කර ගැනීම ගැනීම නොවේ. මෙම පනත් කෙටුම්පත ඉවත් කරගත යුතු අතර, ඒ වෙනුවට ගෙන එන ඕනෑම නීතියක් අදාළ පාර්ශ්වයන් සමග සැබෑ සාකච්ඡාවකින් පසුව කෙටුම්පත් කළ යුතුය.

අන්තර්ජාතික සාම දින තේමාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින සාමය උදෙසා ආයෝජනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ, කාලයත් සමඟ කැපවීමයි, එහි ප්‍රතිඵල ලැබෙන්නේ සෙමිනි. ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 30 කින් ඉහළ යෑම එහි මුල්ම ප්‍රතිඵලය පමණක් වන අතර ඊට වඩා දෙයක් නොවේ. එය තවදුරටත් ගොඩනගා ගත හැක්කේ රජය සිය කැපවීම් ක්‍රියාවෙන් පෙන්වන්නේ නම් පමණි: රාජ්‍ය නොවන සංවිධාන පනත ඉවත් කර ගැනීම හෝ මූලික වශයෙන් නැවත සංශෝධනය කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හෝ අත්හිටුවීම, සහ මුතූර්, වන්දාරමූලයි සහ මයිලත්තමඩු ගැටලුවලට විසඳුම් ලබාදීමයි. ගෝලීය දර්ශකයක ඉහළ ස්ථානයක් ලැබීම සාර්ථකත්වයේ සහතිකයක් නොවේ. ශ්‍රී ලංකාවේ මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම දිරිගන්වන සුළු ආරම්භයක් වන නමුත්, එය පවතිනු ඇත්තේ පුරවැසියන්ට අදහස් දැක්වීමට, ප්‍රශ්න කිරීමට සහ සංවිධානය වීමට ඇති අවකාශය ආරක්ෂා කළහොත් පමණි. සාමය ගොඩනැගෙන්නේ පහළ සිට වන අතර, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන රජයක් සිවිල් සමාජය තර්ජනයක් ලෙස නොව සහකරුවෙක් ලෙස සලකනු ඇත.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment