27 September, 2026

Blog

ආණ්ඩුවකට​ රජයකට රාජ්‍ය බලය අයිති නැත, එය මහජනතාව සතුය

මහින්ද ගුණරත්න –

ආචාර්ය මහින්ද ගුණරත්න

මෑතක සිට වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් මැසිවිලි නඟන්නේ තමන්ට ආණ්ඩු බලය ලැබුණද, රාජ්‍ය බලය ලැබී නොමැති බවටයි. නමුත්, ඔවුන් තවමත් තේරුම් ගෙන නොමැත්තේ රජයට රාජ්‍ය බලය පමණක් නොව, දේශපාලන බලයද ලැබී නොමැති බවයි. මෙම දේශපාලන බලය නොලැබුණේ පසුගිය ජනාධිපතිවරණයේදීය. එසේ නම්, ජාතික ජන බලවේගය (මාලිමාව) ට 2024 ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණේ කුමක්ද? ඔවුන්ට ලැබුණේ පාලන බලතල, හෙවත් ව්‍යවස්ථාවට අනුකූලව රජයක් පවත්වාගෙන යාමේ බලය පමණි. 1972 ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ජනරජයක් වූ දින පටන් පත්වූ සෑම රජයකටම පාලන බලය අත්වූ අතර රාජ්‍ය බලය නිසඟයෙන්ම අහිමි විය. නමුත් පැවති ආණ්ඩු කිහිපයකම දේශපාලන බලයද හිමිකර ගැනීමට සමර්ථ විය.

මෙම පාලන බලතල මූලික ස්වරූප දෙකකින්, එනම් විධායක සහ ව්‍යවස්ථාදායක බලය ලෙස, මහජනතාව විසින් නිශ්චිත කාලයකට තාවකාලිකව පවරා දෙන අතර, එය රජය නැතහොත් පාලන තන්ත්‍රය සහ මහජනතාව අතර සිදු වන ගිවිසුම්ගත බල හුවමාරුවකි. මෙම බල හුවමාරුව විවිධ මැතිවරණ හරහා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයන්හි සිදු වන අතර, රජය විසින් මෙම ගිවිසුමේ කොන්දේසි කඩ කළහොත්, පාලන බලය ඔවුන්ගෙන් වෙනත් කණ්ඩායමකට, එනම් වෙනත් දේශපාලන පක්ෂයකට, එළඹෙන මැතිවරණයකදී මහජනතාව විසින් පවරා දෙනු ලැබේ.

මෙම පාලන බලතල අප රටේ ලබා දෙන හා ලබා ගන්නා ආකාරය සහ ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදයේ සිට දහහතරවන පරිච්ඡේදය දක්වා ඉතා විධිමත්ව අර්ථ දක්වා තිබෙන අතර, මැතිවරණ දෙකක් තුල මහජනතාව සහ රජය අතර ඇති වන ගැටලු නිරාකරණය කර ගන්නේ කෙසේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොස්වන පරිච්ඡේදයේ සිට ඉදිරියට අධිකරණය, එහි ව්‍යුහය, සංයුතිය, බලතල සහ ක්‍රියාපටිපාටිය වශයෙන් විධිමත්ව දක්වා ඇත. එබැවින් දැන් අප පසුගිය මැතිවරණවලදී වත්මන් රජයට ලැබුණේ සහ නොලැබුණේ කුමක්දැයි මඳක් විමසා බලමු.

මාලිමාවට ලැබුනේ කුමක්ද?

2024 ජනාධිපතිවරණයට මාලිමාව ලකුණින් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායකට ආණ්ඩු කිරීමේ, නැතහොත් පාලන බලතල ලැබුණද, දේශපාලන බලය නොලැබුණේ අදාළ මැතිවරණයේදී සරල බහුතරය, එනම් ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 50%ක් සහ එක් වැඩි ඡන්දයක්, ලබා ගැනීමට නොහැකි වූ නිසාවෙනි. ඔහුට ලැබුණේ 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් වන අතර, ප්‍රතිවාදී අපේක්ෂකයන් විසින් බහුතර ඡන්ද ප්‍රමාණය, එනම් 57.69%ක්, ලබා ගන්නා ලදී. ඒ අනුව, අපට ඇත්තේ දෙවන මනාපයද ගණන් කිරීමෙන් පසු බලයට පත්වූ ජනාධිපතිවරයෙකු මිස, මැතිවරණයේදී සරළ බහුතරය ලබා දේශපාලනිකව ප්‍රතිඅපේක්ෂකයන් පරාජය කර දේශපාලන බලය ද අත්පත් කරගත් විධායක ජනාධිපතිවරයෙකු නොවේය. මෙවැනි දෙයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ධුරය පිහිටුවීමෙන් පසු සිදු වූයේ පළමු වතාවටය.

කෙසේ වෙතත්, පසුව පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමා නියෝජිතයන් 159 දෙනෙකු තේරී පත්වී, ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට රජය සමත් වූ බැවින්, ඔවුන්ගේ පාලනයට සුජාතභාවයක් ලැබුණද, ජනාධිපතිවරණයේදී සිදුවූ ඇබැද්දිය වසා දැමීමට එය සමත් වන්නේ නැත. ඇයිද යත්, ජනතාව සතු විධායක බලය, නැතහොත් පාලන බලතල, ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනුයේ ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන විධායක ජනාධිපතිවරයා විසින් වන අතර, පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනුයේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පමණක් වන නිසාය. තවද, මෙම ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් ජනමත විචාරණයකදී සෘජුවම ක්‍රියාත්මක කරන බැවින්, ව්‍යවස්ථාදායක බලයද බෙදී ගිය, පවරා දුන් බලයක් මිස නිරපේක්ෂ, ආසක්ත බලයක් නොවේ.

එසේ ජනතාව විසින් තාවකාලිකව පවරා දෙනු ලැබූ විධායක බලය ජනාධිපතිවරයා විසින් සෘජුවමද, අග්‍රාමාත්‍ය ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය මගින් සහ රාජ්‍ය සේවය මගින්ද ක්‍රියාත්මක කරවන්නේය. තවද, මෙයට පළාත් සභා සහ පළාත් පාලන ආයතනද ඇතුළත් වන අතර, ඒ සඳහාද ඡන්ද පවත්වමින් මහජන නියෝජිතයන් තෝරා පත් කර ගනු ලබයි. දැන් අපට මතුවන ගැටලුවක් වනුයේ, එසේ නම්, රාජ්‍ය සේවය නැතහොත් රාජ්‍ය යාන්ත්‍රණය ස්ථිර හෝ නිරපේක්ෂ ව්‍යුහයක්ද යන්නයි. එයද එසේ නොවන්නේ, රාජ්‍ය සේවය ක්‍රියාත්මක කරනුයේද තාවකාලිකව විධායකය විසින් පවරා දෙන තාවකාලික බලයකින් මිස එයටම හිමි නිරපේක්ෂ බලයකින් හෝ අධිකාරිත්වයකින් නොවන බැවිනි.

තවද, රාජ්‍ය සේවයට පත්වන නිලධාරීන්ද නිශ්චිත, සීමිත කාලයකට රාජකාරියේ නිරත වන්නේ තනතුරට අනුව පවරා දුන් බල රටාවකට අනුගතවයි. මෙසේ බලය පැවරීම හා හුවමාරු කිරීමේ අපූර්වත්වය වන්නේ මෙම සමාජ ගිවිසුම්ගත ක්‍රියාවලිය අධිකරණයටද අදාළ වීමයි. ඒ අනුව, විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන ත්‍රිවිධ බලයම මහජනතාවගෙන් පවරා ගත්, මහජනතාව විසින් පවරා දුන් තාවකාලික බලය යටතේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනෙකුත් නීති ප්‍රතිපාදන වල සඳහන් සංවරණ හා තුලන නියාමයන්ට අනුකූලව ක්‍රියාවේ යෙදවිය යුතුය. එහිදී ඔවුන් කරන හෝ නොකර සිටින කාර්යයන් සඳහා මහජනතාවට වගවීමට නීතියෙන් බැදී සිටියි. තවද, ඔවුන් එසේ ඉටු කරන සියලු කාර්යයන් සඳහා මහජනතාවන්ගෙන් වැටුප් හා දීමනා ලබති. එබැවින් විධායක, ව්‍යවස්ථාදායක, සහ අධිකරණ පද්ධතීන්හි සේවයේ නියුතු සියලූම දෙනා මහජනතාවගේ සේවකයන් මිස ඊට වැඩිමනත් යමෙක් නොවේ.

ඒ අනුව, මහජනතාව ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රය වන අතර, එය බලයේ මූලය වේ. එනිසාම, අප ප්‍රජාතන්ත්‍රවාදයේ බලකණු තුනක් වෙනුවට හතරක් පිළිබඳ ප්‍රවාදය තීරණාත්මකව ඉදිරියට ගෙන ක්‍රියාවේ යෙදවිය යුතුය. නමුත්, මහජනතාවගේ සහ රාජ්‍යයේ අවාසනාවට, අප මේ කරුණ නොදන්නවා හෝ හිතාමතාම නොසලකා හරිනවා පමණක් නොව, මැතිවරණ දෙකක් අතරතුර රාජ්‍ය පාලනයෙන් සහ පාලනයේ තීන්දු–තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් මහජනයා සම්පූර්ණයෙන්ම බැහැර කරයි. එබැවින්, අප දැන් විමසා බැලිය යුත්තේ රාජ්‍යය සහ රාජ්‍ය බලය යනු කුමක්ද, එය අයිති කාටද යන්නයි.

රජයන් එයි, රජයන් යයි, නමුත් රාජ්‍යයන් පවතියි

රාජ්‍යයක් යනු නිශ්චිත භූගෝලීය සීමාවක පිහිටි, ස්ථිරව පදිංචි ජනගහනයකින් සහ ස්වෛරීභාවයෙන් යුත්, නීත්‍යානුකූලව හිමි බලයකින් ක්‍රියාත්මක වන රජයකින් සමන්විත ස්වාධීන සමාජ, ආර්ථික සහ දේශපාලනික ව්‍යුහයකි. තවද, රාජ්‍ය බලය යනු රාජ්‍යයක් පාලනය කිරීම සඳහා අදාල රටට නීත්‍යානුකූලව සහ ස්වාධීනව හිමිවන උත්තරීතර අධිකාරිය සහ බලාත්මක කිරීමේ බලයයි. හුදු ආණ්ඩු බලයට නැත්නම් රජයකට හිමිවන පාලන බලයට වඩා රාජ්‍ය බලය වෙනස් වනුයේ එය අදාල රාජ්‍යයේ සියලුම සංවිධාන, ආයතන සහ ව්‍යුහයන් වලට වඩා උත්තරීතර වීමෙනි. නීතිය බලාත්මක කිරීමට, ක්‍රියාත්මක කිරීමට, හා යුක්තිය පසිඳලීමට, දඬුවම් පැමිණවීමට, සහ යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ රාජ්‍යයටයි. එබැවින් රාජ්‍යය ස්ථාවර ව්‍යුහයක් වන අතර රජයන් මාරු වුවද රාජ්‍යය සහ එහි මූලික බලය සහ අධිකාරීත්වය නොවෙනස්ව පවතියි.

රාජ්‍යයේ බලය සහ එහි මූලය වනුයේ මහජනතාව සහ ඔවුන් සතු පරමාධිපත්‍යයේ බලයයි. එවිට ආණ්ඩුව නැත්නම් රජය යනු රාජ්‍යයේ නියෝජිතයා වන අතර රජය ක්‍රියාත්මක වනුයේ සිය පරමාධිපත්‍යයේ බලය මත මහජනතාව විසින් සීමිත කාලයකට පවරා දුන් බලයක් මතය. එබැවින් රජයක් යනු නිශ්චිත කාලයක් සඳහා රාජ්‍යය පාලනය කිරීමට පත්වන පරිපාලන යාන්ත්‍රණයක් වන අතර එය මහජනතාවගෙන් හිමිවූ නීත්‍යානුකූල බලයක් මත ක්‍රියාත්මක වේ. සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජවල මෙම බලය ලැබෙන්නේ සහ අහිමි වන්නේ මැතිවරණ සහ දේශපාලනික ක්‍රියාකාරිත්වය තුලය. ඒ අනුව, මහජනතාව සතු රාජ්‍ය බලය අත්කර ගැනීමට නොහැකි අතර එය පැහැර ගැනීම නීත්‍යානුකූල සහ ප්‍රජාතාන්ත්‍රික වන්නේ නැත.

තවද, රාජ්‍ය බලය අත්කර ගැනීම යනු රාජාණ්ඩුවකට හෝ ඒකාධිපති ආණ්ඩුවක ඇති සුවිශේෂී ලක්ෂණයක් මිස, කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක හෝ ජනරජයක බලයට පත්වන කිසිඳු රජයකට කිසිසේත්ම අත්වන බලයක් නොවේ. රාජ්‍ය බලය යනු රටේ අයිතියයි. රාජධානියක හෝ ඒකාධිපති රාජ්‍යයක රටේ අයිතිය අයත් වන්නේ රජුට හෝ රැජිණටය; නැතහොත් ඒකාධිපති පාලකයාට හෝ පාලක පන්තියටය. එවැනි රාජාණ්ඩුවකට උදාහරණයක් ලෙස එක්සත් රාජධානිය දැක්විය හැකිය. මෙහිදී පාලකයාට රිසිසේ රාජ්‍ය බලය පරිහරණය කළහැකි වුවද වත්මන් රාජාණ්ඩු පවතින රාජ්‍යයන්ගේ පවා එසේ නොවන්නේ පාලකයා නාමික රජෙක් හෝ රැජිණක් වන බැවිනි. නූතන ලෝකයේ එසේ හිතුවක්කාරී ලෙස රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින්නේ සහ භාවිතා කරනුයේ ඒකාධිපතියන් බලයේ සිටින රාජ්‍යයන්ගේ පමනි.

නමුත් අප රට හෝ ඉන්දියාව වැනි ජනරජයක රාජ්‍ය බලය අයත් වන්නේ පුරවැසියන්ට වන අතර, එය මහජනතාව සතු පොදු දේපළකි. එය අත්හළ නොහැකිය. ඒ බව අපගේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදයේ තුන්වන වගන්තිය යටතේ පැහැදිලිව අර්ථ දක්වා සඳහන් කර ඇත. ඒ අනුව, “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය”.

තවද, ඡන්ද බලය හරහා ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇත. එසේම, ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති සංවරණ සහ තුලන නියමයන් මගින් බලය අයුතු ලෙස භාවිතා කිරීම පාලනයට ක්‍රමවේදයන් පනවා ඇත. උත්තරීතර ව්‍යවස්ථාව, ස්වාධීන අධිකරණ පද්ධතිය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඉන් මූලිකත්වය ගනී.

එබැවින්, ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයක් පවතින රටක, කිසිදු රජයකට රාජ්‍ය බලය අත් වන්නේ නැත. එසේ රාජ්‍ය බලය ලැබෙන බවක් අපගේ ව්‍යවස්ථාවේ අර්ථගන්වා සඳහන් කර ඇත්තේද නැත. එනමුත් දැන් වත්මන් ආණ්ඩුවට ඇවැසි වන්නේ මෙසේ කිසිසේත්ම අත්හළ නොහැකි ජනරජයේ මහජනතාවගේ පරමාධිපත්‍යයේ බලයද?

රජයන් එයි, රජයන් යයි, නමුත් රාජ්‍යයන් පවතියි. ඒ සියල්ලට වඩා ඉහලින් මහජනතාව සහ ඔවුන්ගේ පරමාධිපත්‍යයේ බලය පවතියි. රටක රාජ්‍ය බලය සතුවන්නේ මහජනතාවට මිස ඔවුන්ගේ තාවකාලික නියෝජිතයන්ට හෝ ඔවුන් ක්‍රියාත්මක වන රජය නැමති තාවකාලික යාන්ත්‍රණයට නොවේ. එබැවින්, නිශ්චිත කාලයකට ව්‍යවස්ථානුකූලව මහජන ඡන්දයෙන් පාලන බලය ලබාගෙන සදාකාලිකව බලයේ ඉදීමට රාජ්‍ය බලය ගැනීම වැනි සිහින දැකීම රෑ වැටුණු වලේ දවල් වැටීමකි.

තවද, ජවිපෙය 1971 හා 1988-89 වකවානුවේ සියලුම මාක්ස්–ලෙනින්වාදී න්‍යායන් හා භාවිතයන් බැහැරලමින් රාජ්‍ය බලය පැහැර ගැනීමට නිසරු උත්සාහයන් දරා, දැන් තමන්ගේම ආණ්ඩුවට එරෙහිව කැරලි ගසන්නට යනවාද යන උභතෝකෝටිකය නැගෙනුයේ ඔවුන් මේ අතීත සිදුවීම් ද නැවතත් කරලියට ගෙන එමින් සිටින බැවිනි. එනිසා, ජවිපෙය ස්වයං විවේචනාත්මක වීමට හෝ වත්මන් ගෝලීය අත්දකීම් වලින් ඉගෙන ගැනීමට අකමැති නම්, කාල් මාක්ස්ගේ ජනප්‍රිය කියමනක් වන “ඉතිහාසය නැවත නැවතත් සිදු වේ; පළමුව එය ශෝකාන්තයක් ලෙසද, දෙවැනුව හාස්‍යයක් ලෙසද” යන ප්‍රකාශයෙන් හෝ නිසි අවබෝධය ලබන්නේ නම් එය අප මව්බිම සුවපත් කරන මූලික ප්‍රවේශයක් වනු ඇත.

ආණ්ඩුව දැන් කල යුත්තේ කුමක්ද?

එබැවින් වත්මන් රජයේ ප්‍රධානීන් සහ එහි න්‍යායාචාරීන් දැන් වහාම කල යුතුව ඇත්තේ රාජ්‍ය බලය පිළිබඳව අඬා වැලපෙන්නේ නැතිව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වූ පරිදි “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ගොඩනැගීමට වහාම ක්‍රියාත්මක වීමය. තවද, ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978) කියවා බැලීමය. එයට අමතරව, මාක්ස්–ලෙනින්වාදයට අනුව රාජ්‍යය තේරුම් ගැනීම සඳහා ෆෙඩ්රික් එංගල්ස් ගේ පවුල, පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ සැටි (1884), ලෙනින් ගේ රාජ්‍යය (1919), මෙන්ම රජය සහ විප්ලවය (1917) යන කෘති කියවා බැලීමය.

මේ පිලිබදව වැඩිදුරත් අධ්‍යනය කරන, වර්තමාන සමාජ දේශපාලනික වාස්ථවිකතාවයන්ට ගැළපෙන පරිදි රාජ්‍යය පිළිබද කොමියුනිස්ට්වාදී චින්තනය සහ න්‍යාය සුපෝෂිත වූ ආකාරය හැදෑරීමට උත්සුක වන්නන් වහාම හැදෑරිය යුතු චින්තකයන් දෙදෙනෙකු වන්නේ ඇන්තෝනියෝ ග්‍රාම්ස්චි (1891-1937) සහ නිකොස් පවුලන්සාස් (1936-1979) ය.

ග්‍රාම්ස්චි ට අනුව රජය යනු හුදෙක් රාජ්‍ය යාන්ත්‍රනය, හමුදාව සහ පොලිසිය වැනි ආයතන පමණක් නොව, පාසල්, පල්ලි සහ මාධ්‍ය වැනි ආයතන හරහා මහජන මතය පාලනය කරන සංස්කෘතික ආධිපත්‍යය ද රාජ්‍ය බලයේ කොටසක් වන්නේය. මෙහිදී රජය (පාලක පන්තිය) එම අධිකාරය යොදා තම නියෝග සහ නීති ජනතාව මත බලහත්කාරයෙන් පැටවීමට කටයුතු කරන අතරම සමාජීය ආධිපත්‍යය මගින් තමාගේ දෘෂ්ටිවාදයන් සාධාරණීකරණය කරමින් මහජනතාවගේ “ස්වෙච්චා කැමැත්ත” හෝ සම්මුතිය ලබා ගැනීමට කටයුතු කරයි. ඒ අනුව පවතින වාමවාදී ආණ්ඩුව ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයේ සියලුම බර අවි මහජනතාවට එරෙහිව භාවිතා කරනවාද යන පැනය අපට නිතැතින්ම මතුවේ.

කෙසේ නමුත්, නිකොස් පවුලන්සාස් රාජ්‍යයේ ස්වභාවය පිළිබද මාක්ස්වාදී මතය විවේචනය කරන අතර ඔහුට අනුව රාජ්‍යය යනු සමාජ පන්තීන් අතර පවතින ගැටුම් සහ බල තුලනයන් නිසා ඇතිවන සමාජ සම්බන්ධතාවකි. එහිදී ධනේශ්වර පාලක පන්තිය සිය පැවැත්ම සඳහා යම් සාපේක්ෂ ස්වාධීනත්වයක් රාජ්‍යය කෙරෙහි පවත්වාගෙන යන අතර එය තම අභ්‍යන්තර ගැටුම් කළමනාකරණයට සහ කම්කරු පන්තියේ යම් ඉල්ලීම් ඉටුකර ඔවුන්ගේ කැමැත්ත දිනා ගැනීමට යොදා ගනී. නමුත් නූතන ධනේශ්වර රාජ්‍යයන් පවතින ගැටුම් නිසාම විධායක බලය කේන්ද්‍ර කර ගත් අධිකාරිවාදී රාජ්‍යයන් කරා ගමන් කරයි. එබැවින් මාක්ස්–ලෙනින්වාදී නිර්ධන පන්ති ආඥාදායකත්වය වෙනුවට ඔහු යෝජනා කරන්නේ රාජ්‍ය ආයතන වඩාත් ජනතාවාදී කරමින් ප්‍රජා මට්ටමේ මහජන ව්‍යාපාර සහ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ස්ථාපිත කරමින් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක්” කරා සංක්‍රමණය විය යුතු බවයි.

මෙයට අමතරව වත්මන් සමාජයේ ගෝලීයකරණය, විද්‍යා–තාක්ෂණය සහ නව ලිබරල්වාදී දේශපාලන රටාව තුළ රාජ්‍යය හා බලය ක්‍රියාත්මක වන ආකාරය විග්‍රහ කළ සමකාලීන මාක්ස්වාදී න්‍යායවාදීන් (බොබ් ජෙසොප්, ඩේවිඩ් හාවී, ස්ලාවෝයි ජිජැක්, මයිකල් හාඩ්, සහ ඇන්තෝනියෝ නෙග්‍රි වැනි අය) අවධාරණය කරනුයේ ගෝලීයකරණය හමුවේ ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම සඳහා ජාතික රාජ්‍යයන්හි බල ව්‍යූහයන් බහුවිධ ආයතනයන් ලෙස සකස් වන බවය. එහිදී, පොදු දේපළ පෞද්ගලීකරණය සහ සුභසාධන රාජ්‍යය කප්පාදු කිරීම මගින් මහජනතාවගේ අයිතීන් කොල්ලකන බව, සංස්කෘතිය, ජනමාධ්‍ය සහ නව තාක්ෂණය වැනි “මතවාදී රාජ්‍ය උපකරණ” ඇසුරින් ජන මනස පාලනය කරන බව සහ ධනවාදය ස්වයංව පිළිගැනීමට සලස්වන බවත් එබැවින් ගෝලීය ධනවාදී  බල ව්‍යූහයට එරෙහිව නැඟී සිටිය හැක්කේ සමස්ත පීඩිත ජනතාවගෙන් සැදුම්ලත් ගෝලීය විකල්ප බලවේගයන්ට පමණක් බවත්ය.

මේ අනුව වත්මන් ආණ්ඩුව දැන් වහාම කළ යුතුව ඇත්තේ කම්කරු පන්ති ආඥාදායකත්වයක් හෝ තනි පක්ෂ පාලනයක් ගැන සිතමින් තමන්ගේම රජයට සහ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසීමට සිහින දකිනවා වෙනුවට අවම වශයෙන් පවුලන්සාස් යෝජනා කරන පරිදි සහ රජයේ මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි ජනතා හිතවාදී සමාජ–ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින්, රාජ්‍ය ආයතන සහ ව්‍යූහයන් නම්‍යශීලී, ජනතාවාදී ආයතනයන් බවට පත් කරමින්, සංවර්ධනයේ තීන්දු තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී ජනතා සහභාගිත්වය උපරිම වන ව්‍යුහයන් ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක් කරා සංක්‍රමණය වීමට අවැසි පුරවැසි පවුරු පදනම් සැකසීම නොවේද? එසේ කළහොත් 2029 යේ එළඹෙන මැතිවරණ පිලිබඳ කලබල වීමට සහ බලය හැරදා පලා යාමට සිදුවේයැයි බිය වීමට සිදුවන්නේ නැහැ නොවේද?

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment