
ජෙහාන් පෙරේරා
ශ්‍රී ලංකාව තුළ සාමය තේරුම් ගන්නා ආකාරයේ වැදගත් වෙනසක් සිදුවෙමින් පවතී. සාමය ගොඩනැගීම යනු ආණ්ඩුවලට, දේශපාලනඥයන්ට සහ සාම සංවිධානවලට පමණක් සීමා වූ වගකීමක් නොව, එය අධ්‍යාපනික ආයතනවල ද වගකීමක්ය යන අදහස අවම වශයෙන් විද්වත් ප්‍රජාවගෙන් කොටසකගේ හෝ මනසට කාන්දු වෙමින් පවතින බව පෙනීයයි. මෙය අන්තර්ජාතික සාම දිනයේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය සංරක්ෂණ විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද උත්සවයකදී පැහැදිලිව දැකගත හැකිවිය. විශ්වවිද්‍යාලයක වෛද්‍ය සහ හෙද පීඨයක් විසින් සාමය ගොඩනැගීම තමන්ගේ ශාස්ත්‍රීය හා වෘත්තීය වගකීම්වලට අදාළ කරුණක් ලෙස තීරණය කර තිබීම හේතුවෙන් මෙම උත්සවය සුවිශේෂී එකක් විය.
සාමය ගොඩනැගීම බොහෝවිට සැලකෙන්නේ ගැටුමකින් පසුව, එනම් සටන් නතර වී ප්‍රජාවන් අතර සබඳතා නැවත ගොඩනැගීමේ ක්ෂණික කාර්යය ඇති වූ විට සිදුකරන දෙයක් ලෙසය. එහෙත් ආණ්ඩුවලට සහ සාම සංවිධානවලට පමණක් තනිවම සාමය තිරසරව පවත්වාගෙන යා නොහැක. එය දිගුකාලීන එකක් බවට පත්වීමට නම්, සාමයේ අගයන් සහ භාවිතයන්, සමාජයක් විසින් සිය තරුණ පරම්පරාවට අධ්‍යාපනය ලබාදෙන ආයතනවලම කොටසක් බවට පත්විය යුතුය. එමනිසා විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සාමය ගොඩනැගීමේදී ඉතා වැදගත් වේ. සාමකාමී සංස්කෘතියක පදනම ගොඩනැගීමට හෝ අමතක කර දැමීමට හැකියාව පවතින්නේ මෙවැනි ස්ථාන තුළදීය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය සංරක්ෂණ විද්‍යා පීඨයේ අත්දැකීම මගින් මෙහි ප්‍රායෝගික අර්ථය පිළිබඳ හොඳ උදාහරණයක් සපයයි. එහි පීඨාධිපති මහාචාර්ය තිල්ලයිනාදන් සාතානන්දන්ගේ නායකත්වයෙන් යුත් පීඨය විසින් වෛද්‍ය පීඨයක සාමාන්‍ය ශාස්ත්‍රීය සීමාවන්ගෙන් ඔබ්බට ගිය උත්සවයක් සංවිධානය කරන ලදී. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු ව්‍යාපෘති යෝජනාවලි ලිවීමට සහ පර්යේෂණ ප්‍රදානයන් (Research grants) සඳහා ඉල්ලුම් කිරීමට දක්ෂයන් පිරිසකි. මෙම අවස්ථාවේදී, සෞඛ්‍ය සංරක්ෂණ විද්‍යා පීඨයේ සාමාජිකයන් එම කුසලතා භාවිත කරමින් UNESCO ප්‍රදානයක් සඳහා ඉල්ලුම් කළ අතර, අන්තර්ජාතික සාම දින උත්සවයක් පැවැත්වීම සඳහා එම ප්රදානය දිනාගැනීමට සමත් විය. මෙහි ඇති වැදගත්කම රැඳී ඇත්තේ රුපියල් 200,000ක ප්රදානය තුළ නොව, සාමය ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීමට විශ්වවිද්‍යාලයේ ආයතනික ශක්‍යතාව සහ සම්පත් භාවිත කිරීමට ගත් තීරණය තුළය. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මෙම උත්සවය සාර්ථක විශ්වවිද්‍යාල වැඩසටහනකට වඩා වැඩි යමක් ලෙස තේරුම් ගත යුතුය. එය සාමය පිළිබඳ චින්තනයේ සිදුවූ සුවිශේෂී ආකෘතිමය වෙනසක් (Paradigm shift) නියෝජනය කරයි.
ආයතනික කැපවීම
මෙම සාම දින උත්සවය සඳහා උපකුලපති මහාචාර්ය පී. පෙරතීපන් ඇතුළු විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ සහයෝගය ලැබුණු අතර, ඊට සහභාගී කරවා ගැනීම සඳහා ආසන්නයේ පිහිටි ද්විතීයික පාසල් වෙතද සබඳතා ව්‍යාප්ත කරන ලදී. උත්සවය ඉතා අලංකාර ලෙස සංවිධානය කර තිබිණි. ආසන්න පාසල්වල සිසුන් ද එකතු කරගනිමින්, තනි, යුගල සහ සමූහ ගායකයන්, නර්තන ශිල්පීන් සහ රංගන ශිල්පීන් විසින් භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික හා නූතන නර්තන හා ගීත ඇතුළත් සංස්කෘතිකාංග ඊට ඇතුළත් විය. සාමය ගොඩනැගීමේ පොදු තේමාව සහ ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් කතිකාවතක් (Panel discussion) ද පැවැත්විණි. ඉන්පසුව සිසුන් අතර සංවාදයක් පැවැත්වූ අතර, එහිදී සෑම සිසුවකුම කතාකළේ තමන් අදහන ආගම හැර වෙනත් ආගමක් වෙනුවෙනි. මෙය ඉතා වැදගත් වේ, මන්ද සාමය ගොඩනැගීම යනු සම්මන්ත්‍රණවලදී විශේෂඥයන් විසින් පමණක් සාකච්ඡා කරන අදහසක් ලෙස පමණක් පැවතිය නොහැකි බැවිනි. බහුල සමාජයක ජීවත් වීම සඳහා ජනතාවට අධ්‍යාපනය ලබාදීමට සහ සූදානම් කිරීමට ආයතන කටයුතු කරන ආකාරයේ කොටසක් බවට එය පත්විය යුතුය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය සේවා විද්‍යා පීඨය (Faculty of Health-Care Sciences), මීට වසර දහයකට පමණ පෙර අනිවාර්ය මූලික පාඨමාලාවක් ලෙස විෂය මාලාවට හඳුන්වාදුන් ‘සාම වෛද්‍ය විද්‍යාව’ (Peace Medicine) පිළිබඳ පාඨමාලා මොඩියුල හරහා ආදර්ශවත් ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇත. ජ්‍යෙෂ්ඨ අධ්‍යයන සාමාජිකයන් දෙපළක් වන ආචාර්ය කුවේරියල් එලියාස් කරුණාකරන් සහ ආචාර්ය තිල්ලයිනාදන් සතානන්දන් විසින් රචිත Peace Medicine – A Health Care Concern (සාම වෛද්‍ය විද්‍යාව – සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ වැදගත් අංශයක්) නම් ග්‍රන්ථය මීට වසර පහකට පෙර ප්‍රකාශයට පත්කරන ලදී. මෙම සාම වෛද්‍ය විද්‍යා මොඩියුලය මගින් වෛද්‍ය සදාචාරය, කරුණාව, සාධාරණත්වය, සමාජ මානුෂීයභාවය සහ ප්‍රජා සම්බන්ධතාව යන මූලධර්ම සෞඛ්‍ය අධ්‍යාපනයට සහ භාවිතයට ඒකාබද්ධ කරයි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ටී. ජයසිංහම් සිය හඳුන්වාදීමේ සටහනෙහි මෙසේ සඳහන් කළේය: “මෙම පොත සෞඛ්‍ය සංරක්ෂණ විද්‍යා පීඨයේ පාඨමාලාවක් ලෙස දැනටමත් ක්‍රියාත්මක වන තේමාවකට කරන ලද හඳුන්වාදීමකි.”
යුද්ධයෙන් සහ හිංසනයෙන් සිදුවන හානිය වෙනත් ඕනෑම කෙනකුට වඩා හොඳින් දන්නේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය සේවකයන්ය. හිංසනය මගින් ඉතිරි කර යන තුවාල සහ මානසික පීඩනයන් සඳහා ප්‍රතිකාර කරන්නේ එම පිරිසයි. රෝහලකදී, රෝගියකුට ප්‍රතිකාර කිරීමට පෙර ඔවුන්ගේ ආගම හෝ ජාතිය කුමක්දැයි අසන්නේ නැත. සෞඛ්‍ය සංරක්ෂණය යනු දිනපතා සාමය ප්‍රායෝගිකව භාවිත වන එක් ස්ථානයකි. එබැවින් පීඨය විසින් තමන්ගේ වෘත්තීය වගකීම, සාමය ගොඩනැගීමේ පුළුල් සමාජ වගකීම සමග සම්බන්ධ කිරීමට මගක් සොයාගෙන ඇත. දැන් පවතින පැනය නම්, සාමය ගොඩනැගීම අධ්‍යාපනයේම විඥානයේ කොටසක් බවට පත්වන පරිදි, මෙම අත්දැකීම රට පුරා ඇති විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නැවත ප්‍රතිනිර්මාණය කළ හැකිද යන්නයි. එය ප්‍රමාණවත් මට්ටමකින් සිදුවුවහොත්, පහසුවෙන් වෙනස් කළ නොහැකි සාමකාමී සංස්කෘතියක් නිර්මාණය වීම ආරම්භ විය හැක.
දේශීය ක්‍රියාකාරීත්වය
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මෙම උත්සවය, එක්සත් ජාතීන්ගේ මෙවර අන්තර්ජාතික සාම දිනයේ තේමාව වූ ‘සාමය වෙනුවෙන් ආයෝජනය කරන්න – සැමට, සෑම තැනකම, සෑම දිනකම’ (Invest in Peace – For Everyone, Everywhere, Every Day) යන්නට ඉතා මැනවින් ගැලපේ. මෙමගින් ‘සාමයේ එදිනෙදා නිර්මාතෘවරු’, එනම් දේශීයව ක්‍රියාකරමින්, ස්ථාවරත්වයට පදනම දමමින් සහ පහළ සිටම තිරසර සාමයක් ගොඩනගන ජනතාව ඇගයීමට ලක්කරයි. ආයෝජනය පිළිබඳව තබන අවධාරණය වැදගත් වේ. ආයෝජනයක් යන්නෙන් අදහස් කරන්නේ යම් දෙයක් කැපකිරීමයි: කාලය, ධෛර්යය සහ සම්පත්. අද ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් නොමැත. නමුත් යුද්ධයක් නොමැති වූ පමණින් ස්වයංක්‍රීයවම සාමකාමී සංස්කෘතියක් නිර්මාණය වන්නේ නැත. රටේ ගැටුමට පෝෂණය වූ සාධක ලෝකයෙන් අතුරුදහන් වී නොමැත. ජාතිවාදය, දූෂණය සහ නීතිය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම යනු ගැටුමක අමුද්‍රව්‍ය වේ. විසඳානොගත් තැවීම්, පෙනීසිටින පක්ෂග්‍රාහීකම් සහ අන් අයගේ පීඩාවන් හඳුනාගැනීමට අපොහොසත් වීම ද එසේමය.
තමන්ගේ අතීතය දෙස නොබලන රටකට ඉන් ගැලවීමක් නැත. අතීතය ඊළඟ පරම්පරාවට නැවත පැමිණිය හැක. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මෙම අත්දැකීම විශ්වවිද්‍යාලවල මෙන්ම අනෙකුත් අධ්‍යාපන ආයතනවල ද රට පුරා ව්‍යාප්ත කළ යුත්තේ එබැවිනි. මෙහි අරමුණ විය යුත්තේ සෑම ශාස්ත්‍රීය විෂය ධාරාවක්ම සාම අධ්‍යයනය බවට පත්කිරීම නොවේ. ඒ වෙනුවට සාමය ගොඩනැගීම අධ්‍යාපනයේම විඥානයේ කොටසක් බවට පත්විය යුතුය. වෛද්‍ය පීඨයකට සාම වෛද්‍ය විද්‍යාව දියුණු කළ හැකි බව නැගෙනහිර විශ්වවිද්‍යාලය පෙන්වා දී ඇත. නීති පීඨයකට යුක්තිය, අයිතිවාසිකම් සහ සාමය අතර පවතින සබඳතාව විමසා බැලිය හැක. අධ්‍යාපන පීඨවලට විවිධ ප්‍රජාවන් තුළ සේවය කිරීම සඳහා ගුරුවරුන් සූදානම් කළ හැකි අතර, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවන්ට, ප්‍රජාවන් තමන්ගේ ඉතිහාසය තේරුම් ගන්නා විවිධ කතිකාවන් පරීක්ෂා කළ හැක. තමන් උගන්වන දේට සාමය ගොඩනැගීම අදාළ කර ගැනීමට සෑම ආයතනයකටම තමන්ගේම ක්‍රමයක් සොයාගත හැක.
ශ්‍රී ලංකාව තුළ අතීතයේදී බොහෝ ප්‍රකාශන, ප්‍රතිඥා සහ වැඩසටහන් තිබී ඇත. වැදගත් වන්නේ ඒවා මගින් හැසිරීම්වල සහ ආයතනික භාවිතයන්හි වෙනස්කම් ඇති කරන්නේද යන්නයි. සාමය ගොඩනැගීමට නම් මගහැර යනවාට වඩා අභියෝගාත්මක ගැටලුවලට මුහුණ දීම අවශ්‍ය වේ. ඊට විවිධ අනන්‍යතාවලට ගරුකිරීම මෙන්ම එම අනන්‍යතාවන් අතර පාලම් තැනීම ද අවශ්‍ය වේ. අතීතයේ විසඳානොගත් ගැටලුවලට පිළිතුරු සපයන අතරම වර්තමානයේ ඇති ගැටලුවලට ද මුහුණදීම ඊට අවශ්‍ය වේ. ඊට සත්‍යය, වගවීම, වන්දි ගෙවීම සහ නැවත සිදු නොවන බවට සහතික වීම අවශ්‍ය වේ. තවත් ප්රජාවකගේ අයිතිවාසිකම් මගින් තමන්ගේ අයිතිවාසිකම් අඩු නොවන බව ජනතාව ඉගෙන ගැනීම ඊට අවශ්‍ය වේ. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවැති අන්තර්ජාතික සාම දින උත්සවය යනු, යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක අවම වශයෙන් ඇතැම් ආචාර්යවරුන් හෝ තමන්ගේ වගකීම් ගැන සිතන ආකාරයේ සිදුවූ වෙනසකට සාක්ෂියකි. සාමය වෙනුවෙන් ආයෝජනය කළ යුතු අතර, වඩාත්ම වැදගත් ආයෝජනය වන්නේ අනාගතය උරුම කරගන්නා අයගේ මනස තුළ කරනු ලබන ආයෝජනයයි.