20 May, 2024

Blog

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව; ඉල්ලකය වරදවාගත් අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල

අජිත් අමරසිංහ –

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

පළමුවෙනි කොටස 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය  ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්, කමිටුවේ අනිත්  ඇමතිවරුන්ගේ කවුරුන්දැයි මේ ප්‍රකාශනයේ කොතැනකවත් නැත. මෙසේ නමක් ගමක් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුව, එසේම නමක් ගමක් සොයාගත නොහැකි “විසිපස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් නිලධාරි කමිටුකට මේ ලියවිල්ල සැකසීම බාරදුන්” බව මේ ලියවිල්ලේ පුර්විකාවේ සාඩම්බරයෙන් සඳහන් වේ. ලියවිල්ලේ නම් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුවට හා විද්වත් නිලධාරි කමිටුවක ඉතා භාරදුර වැඩක් පැවරී තිබුණු බව මේ ලියවිල්ලේ පිට කවරයේ මාතෘකාවෙන් පෙනේ. එනම් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් සකස් කොට එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

තැනූවෙක්  නැති සුඛෝපභෝගී නිවෙස් මිහිපිට පහළවීම වීම, අයිතිකරුවන් නැති මැණික් මලු නිවෙසටම ගෙනැවිත් භාරදීම වැනි හාස්කම් ගැන අධිකරණයේදී පවා කියවෙන ශ්‍රී ලංකාව වැනි පින් බිමක් තුල, ලියු අයෙක් සොයාගත නොහැකි මෙවැන් ප්‍රතිපත්ති මාලාවක් පරාධුර්භුතවීම අරුමයක් නොවේ. මෙවැනි කර්තෘ අඥාත ප්‍රතිපත්ති ප්‍රකාශන පහළකිරීම වත්මන් රජයේ මෝස්තරයක් වේ තිබේ. එය මේ රජයට අරුමයක් නොවුනත්, අපට එය කරුමයක් වී ඇත්තේ වැරදීමකින්වත් මේ ලියවිල්ලේ සඳහන් වී ඇති කරුණු ක්‍රියාත්මක කලහොත් එහි හොඳ හෝ නරක විපාක විඳීමට සිදුවෙනුයේ අප රටේ අනාගත පරපුරට වීමයි.  දැනට අධිකරණයන් කිහිපයකින් ඇප ප්‍රතික්ෂේප වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයෙකු ගැන විශ්වාසය පලකල, ජනතා විශ්වාසය කිසිසේත්ම නැති, ඉදිරිපත් කරන ඕනෑම දෙයකට බහුතර අනුමැතිය ගත හැකි, වත්මන් පාර්ලිමේන්තුව මේ ලියවිල්ලේ අගමුල නොවිමසා අනුමත කිරීම ස්ථිර බැවිනි.

සුජාත නොවන ලියවිල්ල

රටක අධ්‍යාපනයේ දිශානතිය තීරණය කිරීම භාරදුර කාර්යයකි. ඒ දිශානතිය තීරණය කරන්නේ රටේ විධායකය හෝ ව්‍යවස්ථාදායකය නම් ඒ ආයතන රටේ මහජනතාවගේ සැබෑ නියෝජිතයන් විය යුතුය. අද අප රටේ ජනාධිපතිව සිටින්නේ මහජනතාව විසින් පත්කරගත් අයෙකු නොව, මහජන ඡන්දයකදී 2.1% ක් වැනි කුඩා ප්‍රතිශතයක් ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයක නායකයෙකි. එසේම වත්මන් අගමැති හා ඇමති මණ්ඩලය මේ ජනාධිපතිවරයා හෝ බලයෙන් පහවුණු ජනාධිපතිවරයෙකු  විසින් පත්කල අයයි. මෙවන් තත්ත්වයක් යටතේ මහජන මතය නියෝජනය නොකරන ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයේ කිහිපදෙනෙකු විසින් මේ රටේ අධ්‍යාපනයේ දිශාව තීරණය කිරීම විද්වතුන් යැයි තමන් හඳුන්වාගන්නා නිර්නාමික විසිපස් දෙනෙකුට භාරදිමම බරපතල වරදකි. අවම වශයෙන් මෙවැනි ලියවිල්ලක් සකස්කිරීමට ප්‍රථම වත්මන් පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව මේ කටයුත්තට සම්බන්ධ කරගැනීම මේ කටයුත්ත සිදුකල අයගේ වගකීම වී තිබිණි. මේ සියලු කරුණු විමසා බැලීමේදී මෙම ලියවිල්ල සුජාත ලියවිල්ලක් නොවේ.

එසේම මේ ලියවිල්ල සකස්කල පිරිසට තමන් කවුරුන්දැයි හඳුන්වා ගැනීමට නොහැකිවීම විමති සහගත මෙන්ම, වගකීම් විරහිත ක්‍රියාවකි. පියෙකු නොමැති නිසා මේ ලියවිල්ල අවජාතකද වේ. සුජාත නොවන, අවජාතක වන මෙම ලියවිල්ල ගැන, එහි සුජාත අවජාතක බව නොසලකා විමසීම අපගේ වගකීමයි. එයට හේතුව අප රටේ අධ්‍යාපන ක්‍රමය ගැන විමසීමට කදිම අවස්ථාවක් මේ වගකීම් විරහිත ක්‍රියාව මගින් මඟපාදන නිසාය.

වචන හරඹය

මේ ලියවිල්ලේ විධායක සාරාංශයේ දැක්වෙන පරිදිම, විෂයානුබද්ධ ඉගැන්වීම් වලට සීමාවී තිබෙන, තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අපේ අනාගත පරපුර ලොව සමඟ ඉදිරියට ගෙනයා හැකි වාහකයක් නොවේ. “අධ්‍යාපනය  මානව ප්‍රාග්ධන සංවර්ධයේ ප්‍රධානම මෙහෙයුම් යාන්ත්‍රණය”  බව මේ ලියවිල්ලේ සඳහන් වෙයි. එසේම එහි සඳහන් වන්නේ 2021 මාර්තු මස සිට, එනම් ශ්‍රී ලංකාව බංකොලොත් ප්‍රකාශ කල යුගයේ සිට ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ පැනනැගී ඇති ආර්ථික අභියෝගය තේරුම්ගෙන “රජය විසින් ආර්ථික ස්ථාවරත්වය  තහවුරු කරමින් යලි සංවර්ධන ඉලක්ක ලඟා කරගැනීම උදෙසා  සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේම පුර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමේ”  අභිලාෂයෙන් මේ ලියවිල්ල ඉදිරිපත් කරන බවයි. මේ ලියවිල්ලේ සඳහන් කරුණු සලකා බලනවිට මේ ආර්ථික ස්ථාවරත්වය වහාම ඇතිකර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලකට සරිලන ලෙස අධ්‍යාපනය වෙනස් කිරිමේ අභිලාශයෙන් එය සකස්කොට ඇති බව නම් නොපෙනේ. සැබවින්ම එය අද සිට තව වසර 24 කින්, 2048 දී එනම් ලංකාවට  නිදහස ලැබී අවුරුදු සියයකින් එළඹෙන වසරේදී   ලංකාව සංවර්ධිත රටක් බවට පත්කරන්නේ යැයි කියන දේශපාලන හිස් කථාවට සරිලන ලෙස අධ්‍යාපන ක්‍රමය වෙනස් කලයුතු යැයි හුමිටි දෙන ලියවිල්ලකි.

“පාසල්වල  විෂයානුබද්ධ ඉගැන්වීම් වලට සීමාවී තිබෙන, තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය සමස්ථ වශයෙන්ම වෙනස් කලයුතු” බව මේ ලියවිල්ලේ සඳහන් වේ. මෙය මේ ලියවිල්ලේ නිර්නාමික කතුවරුන් පමණක් නොව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන විමසන ඕනෑම අයෙකු පවසන කරුණකි. මේ ලියවිල්ල පුරා දක්නට ඇති ප්‍රධානම දුර්වලතාවය  නම් අධ්‍යාපන විද්‍යාව යම් පමණකට හදාරන ලද ඕනෑම අයෙකු දන්නා සරල කරුණු  බරපතල භාෂාවකින් පුන පුනා පැවසීමයි. මේ බොහෝ කරුණු විදේශික අධ්‍යාපනඥයන්ගේ ලියැවිලි වලින් කරන ලද “කට් ඇන්ඩ් පේස්ට්” (cut & paste) වාක්‍යයන් වේ. වචන හරඹයන්ගෙන් ඔබ්බට ගොස් අපේ අධ්‍යාපනයේ මිහිමත ඇති ගැටළු හඳුනාගත් බවක් නම් මේ ලියවිල්ලේ නොපෙනේ.

නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුද?

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඕනෑම වෙනසක් ඇති කිරීමට යෝජනා කරන ලියවිල්ලක මුලින්ම සඳහන් විය යුතු කරුණක් නම් එය ඉදිරිපත් කරන්නන්  නිදහස් අධ්‍යාපනය යන සංකල්පය පිළිගන්නේද නැත්ද යන්නයි. ලොකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රම ගැන ගැඹුරින් හදාරා හෝ නොගැඹුරින් අතපත ගා  ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට තැත් දරන ඕනෑම කෙනෙකු සිහියේ තබාගත යුතු වැදගත් කරුණක් ඇත. එනම් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය, ශ්‍රී ලාංකික සමාජය සමඟ ගසට පොත්ත මෙන් ඇලී-ගැලී පවතින බවයි. මේ පොත්ත ගැලවීමට උත්සාහ දරන්නා, ගසට කොතරම් පොහොර දැමීමට උත්සාහ කලත් ජනතා වෛරයට පාත්‍ර වේ. තමන් නිදහස් අධ්‍යාපනය සුරැකීමට තමන් බැඳී සිටින්නේදැයි මේ ලියවිල්ලේ කතුවරුන් කිසිතැනක නොපවසයි.

මේ කරුණ ගැන වැඩිදුර විමසීමට ප්‍රථම නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිර්වචනය කරගත යුතුය. මේ ගැන විවිධ නිර්වචන ඇති මුත්, “රජය විසින් හෝ වෙනත් ආයතන විසින් ශිෂ්‍යයන්ගෙන් මුදල් අය නොකර පවත්වාගෙන යනු ලබන උසස් මට්ටමේ අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය” යැයි අර්ථ දක්වා මේ කරුණට අවතීර්ණ වෙමු. විවිධ රටවල් විවිධ මට්ටමින් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාව බොහෝ කලක් තිස්සේ  ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ඉහල මට්ටමේ නිදහස් අධ්‍යාපනයක් පවත්වාගෙන යනු ලබයි. ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල වැනි ජාත්‍යන්තර ආයතන වල නිගමනයන්ට අනුව පවා, අප රටේ ආර්ථික දර්ශක වලට සාපේක්ෂව, ඉතා හොඳ මානව සම්පත් දර්ශකයක් (human development index) පවතින්නේ අප රටට උරුම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය නිසාය. එනිසා කොතරම් අඩුපාඩු තිබුණත් රටේ ඕනෑම ශිෂ්‍යයෙකුට මුදල් නොගෙවා විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සුරැකීම අතිශයින්ම වැදගත්ය. එසේම අධ්‍යාපනය ලොවේ අනෙකුත් රටවලට සමාන්තර ඉහල මට්ටමේ අධ්‍යාපනයක් විය යුතුය.

මෙම ලියවිල්ලේ 15 වෙනි පිටුවේ අමුතු වාක්‍යයක් ඇත. ඒ මෙසේය “මුල් ළමාවිය සිට 12+ දක්වා පාසල් අධ්‍යාපනය සඳහා සිසුන්හට ගෙවීමට ඇති හැකියාවට කිසිදු බාධාවක් නොවන පරිදී අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය අරමුදල් සාමාන්‍ය අධ්‍යාපනය වෙත යොමු කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය”. මෙහි සාමාන්‍ය අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයයි.  නිදහස් අධ්‍යාපනය සුරැකීම ගැන අවධානයකින් යුතුව මේ වාක්‍යය ලියුවේ නම් එය මෙසේ වෙනස් විය යුතුය.  “මුල් ළමාවිය සිට 12+ දක්වා පාසල් අධ්‍යාපනය සඳහා සිසුන්හට නොගෙවීමට ඇති හැකියාවට කිසිදු බාධාවක් නොවන පරිදි අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය අරමුදල් සාමාන්‍ය අධ්‍යාපනය වෙත යොමු කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.” සිතාමතා  මෙවනි වැරදි ප්‍රකාශයක් කිරීමෙන්ම මේ ලියවිල්ලේ සැඟවුණු කතෘවරුන්ගේ අභිමතාර්ථය මුදල් ගෙවන සාමන්‍ය අධ්‍යාපනයකට මේ රට තුල මුල්තැන දීම බව පැහැදිලිය.

මේ ලියවිල්ලේ විවිධ තැන්වල ඉස්මතු කරන අදහසක් නම් රජයට අධ්‍යාපනයේ මුළු බරපැන දැරිය නොහැකි නිසා අධ්‍යාපනයේ කොටසක් පුද්ගලික අංශයට භාරදිය යුතු බවයි. මේ තර්කය මුළුමනින්ම වැරදිය. සිදුවිය යුත්තේ රජයට කුමන ආර්ථික අපහසුකම් තිබුණත් අධ්‍යාපනය හා සෞඛ්‍යය ගුණාත්මක බැවින් ඉහල අයුරින් පවත්වාගෙන යාම ඕනෑම රජයක මුලික වගකීම වීමයි. රජය අන් සියලුම වියදම්වලට වඩා අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මූලිකත්වය  දිය යුත්තේ අප රට දිවෙන රෝදවල කඩ ඇන දෙක ඒවා වන නිසාය. මේවාට රජය කරන වියදම වියදමක් නොව අනාගතය සඳහා කෙරෙන ආයෝජනයකි. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඇදවැටුණු අපේ රටට නැවත හිස එසවීමට හැකිවන්නේ මේ රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්නව, දැනුමින් සන්නද්ධව සිටියොත් පමණි. පවතින සංගණන අනුව පසුගිය වසර දෙක තුල රටේ දුප්පතුන් සංඛ්‍යාව දෙගුණ වී ඇත. පවුල් පිටින් දුප්පත්වෙමින් පවතින මෙවන් අවධියක මුදල් නොගෙවා අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරැකීම වෙනුවට, මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරැකීම ගැන කතා කිරීම හිත්පිත් නැති ආමානුෂික ක්‍රියාවකි.

නිදහස් අධ්‍යාපනය පිළිබඳව ඇති තවත් දුර්මතයක් නම් නිදහස් අධ්‍යාපනය විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය පවතින රටවලට නොගැලපෙන සමාජවාදී සංකල්පයක් බවයි. විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය පවතින යුරෝපයේ බොහෝ රටවලද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම මත ක්‍රියාත්මක වන ලොවේ බොහෝ රටවලද ඇත්තේ නිදහස් අධ්‍යාපනයයි. මේ රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇත්තේද අතලොස්සකි. කරුණු නිසි ලෙස නොදැනගෙන අධ්‍යාපන ක්‍රම පිළිබඳ විශාරදයන් ලෙස පෙනී සිටින අය ඕනෑම ලියවිල්ලට නිදහස් අධ්‍යාපනය දුර්වල කිරීමේ සංකල්ප කිහිපයක් ඇතුළු කොට ඒ සංකල්ප වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වදියි. එවිට සිදුවන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමස්ත ලියවිල්ලේ කරුණු අමතකවී නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුද නැත්ද යන්න ගැන දෙපිලකට බෙදී සටන් කිරීමයි. මේ සටන නිසා සිදුකල යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවධානය නොලැබී යයි.

පුද්ගලික අධ්‍යාපනයට යම් තැනක් ඇත්තේ ගුණාත්මක බැවින් ඉහල, රජය විසින් ලබාදෙන, නිදහස් අධ්‍යාපනයට අනුගත නොවීමට යම් සාමාජීය හේතුවක් නිසා තීරණය කරන සමාජ තීරුවට ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාදීමටය. එසේ වුවත් අධ්‍යාපනය රජය විසින් නියාමනය කල යුතුය. මේ ලියවිල්ලේ කිසිදු තැනක හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති ජාත්‍යන්තර පාසල් නමින් හඳුන්වන පාසල් නියාමනය කිරීමට කිසිදු යෝජනාවක් ඇතුළු නොවන්නේ ඇයි දැයි වටහා ගත නොහැක. මේ පාසල්වල ඉගැන්වෙන විෂය මාලාවන්, ගුරුවරුන්ගේ ප්‍රමිතිය හා අයකරන ගාස්තු, රජය විසින් පිහිටවනු ලබන යම් අධිකාරියක් මගින් අධීක්ෂණය කලයුතු වන්නේ, මෙම පාසල්වලින් බිහිවන්නේද අප රටේ පුරවැසියන් බැවිනි.

මධ්‍යගතද? විමධ්‍යගතද?

මේ ලියවිල්ලේ ඇති අනෙක් බරපතල අවුල නම් පවතින අධ්‍යාපන ක්‍රමය මධ්‍යගත හෝ විමධ්‍යගත ලෙස පවත්වා ගත යුතුද, එසේ නම් ඒ අධ්‍යාපනයේ කුමන අංගද යන්න ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකිරීමයි. එහි එක් තැනක ස්වයං පාලනයක් ඇති නව ආයතන, පළාත් අධ්‍යාපන මණ්ඩල, පාසල් කළමනාකරණ මණ්ඩල ඇතිකොට  ඒ ඒ ආයතන අතර තරඟයක් ඇතිකොට, ඉගැනීම නව්‍යකරණයකට භාජනය කල යුතු බව සඳහන් වේ. මෙය නිදහස් අධ්‍යාපනයේ අක්මුල් දුර්වල කරන ඉතා භයානක යෝජනාවකි. මේ ස්වයං පාලන මණ්ඩලවලට විවිධ අයුරින් මුදල් සොයාගැනීමේ බලතල ලබාදිය යුතු බව තවත් තැනක සඳහන් වේ. මේ ස්වයං පාලන මණ්ඩල අවසාන වශයෙන් කෙලවර වනු ඇත්තේ මුල්‍යමය වශයෙන් ස්වාධින,  සිසුන්ගෙන් මුදල් අයකර ගන්නා ආයතන ලෙසිනි. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් මේ රටේ අධ්‍යාපනය තෝරාගත් පිරිසකගේ මෙවලමක්ව පැවති කල තිබු “පාසල් සමාගම්” යුගයකට අප රට ආපසු හැරී ගමන් කරනු ඇත.

පවතින පුහුණු විෂයමාලා විශේෂඥවරුන්ගේ හිඟය නිසා නිසා අද ජාතික අධ්‍යාපන ආයතනයේ විවිධ අංශ පවා පවත්වා ගෙනයනු ලබන්නේද  අසීරුවෙනි. මෙවන් තත්ත්වයක් යටතේ මේ ලියවිල්ලේ අපේක්ෂිත වෙනස්කම් වල සඳහන් වන අයුරින් පළාත්වලට ස්වයංපාලිත තත්ත්වයක් ලබාදීම කිසිසේත්ම ප්‍රයෝගික නොවේ. මේ ලියවිල්ල පිළියෙළ කිරීමේදී ලංකාව වැනි කුඩා රටක් බවත්, ආර්ථික අගාධයකට වැටී සිටින බවත් අප රට අධ්‍යාපනය සඳහා වියදම් කරන්නේ කුඩා මුදලක් බවත් අමතක වී ඇති බව පෙනී යයි. අධ්‍යාපනයේ විවිධ අංශ විමධ්‍යගත කිරීමෙන් සිදුවන්නේ ඒ සඳහා යන වියදම අධික වී අධ්‍යාපන සේවය කඩාකප්පල් වීමයි.

මුල් ළමාවිය අධ්‍යාපනය

මේ ලියවිල්ලේ 29 වෙනි පිටුවෙහි මුල් ළමාවිය එනම් පෙර පාසල් අධ්‍යාපනයේ ඇති ප්‍රශ්න හා  වියවුල් පිලිබඳ සඳහන්ව ඇත. අමාත්‍යංශ, කාර්යාංශ, ආයතන, පළාත් සභා, පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික ආයතන මගින් පාලනය වන පෙර පාසැල් හා මොන්ටිසෝරි ලෙස පෙර හඳුන්වා දැන් “මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන” හඳුන්වන මේ ආයතන බොහොමයක් නොදරුවන්ට අකුරු හා ඉලක්කම් උගන්වන ආයතන බවට පත්වී තිබේ. තම දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරවීමේ ආශාවෙන් පෙලන දෙමව්පියන් විශාල මුදලක් වැයකොට තම දරුවන් ” ජාත්‍යන්තර ළමා පාසල් ” වලට දරුවන් ඇතුළු කරයි. මේ ආයතන අධීක්ෂණය සඳහා ඇති මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලය ජාතික අධ්‍යාපන ආයතනය වෙත අන්තර්ග්‍රහණය කිරීම මේ ලියවිල්ලේ ඇති වැදගත් යෝජනාවකි. මේ කාර්යාංශය ඉන්පසුව මේ ආයතනවල විෂය නිර්දේශ, ඉගැන්වීම අධීක්ෂණය කිරීම, පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණුව විධිමත් කිරීම වැනි දෑ සිදුකල යුතුය.

මේ ආයතන වල ගුරුවරියන් බොහෝ දෙනෙකු පොදු කම්කරු නීතිට වලට පවා යටත් නොවී, ඉතා අඩු වැටුපකට, විශාල මානසික පීඩාවකින්, තාවකාලික පදනමින් වැඩ කරයි. මොවුන්ගේ ජිවන මට්ටම ඉහල දමා, මනා පුහුණුවක් ලබාදී, “මොන්ටිසෝරි ටීචර්” සමාජයේ  ගෞරවයට ලක්වන කාන්තාවක් බවට පත්නොකොට ඔවුන් දිගු කාලීන වෘත්තිකයන් බවට පත්කළ නොහැක. එවැනි වෙනසක් නොකර දරුවාන්ගේ බුද්ධි වර්ධනයේ වැදගත් අවධියක ඉගැන්වීම භාරව සිටින මේ කාන්තාවන්ගෙන් දරුවනට උපරිම පල ලබාදිය නොහැක.

ප්‍රාථමික අධ්‍යාපනය

පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා පාසල් කාලය දරුවන්ගේ මුලික ජිවන කුසලතා වර්ධනය උදෙසා කැපවිය යුතු බව මේ ලියවිල්ලේ ඇති සඳහන නිවැරදිය. එසේ වුවත් මේ කාල පරාසය තුල මුලික ජිවන කුසලතාවයන් වන ආවේග පාලනය, නිවැරදි චින්තනය, පුද්ගලයන් සමඟ සන්නිවේදනය, තර්කානුකුලව සිතීම, අභියෝග භාරගැනීම, තම උත්සාහයෙන් ඉගැනීම වැනි ඉගැන්වීමට හෝ ඉගැනීමට දැනට ඇති බාධා හඳුනාගැනීමක් හෝ එවැනි බාධාවන් මඟ හැරවීමට ගතයුතු පියවර ගැන කිසිදු සඳහනක් මේ ලියවිල්ලේ නැත.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය දරුවන්ගේ බුද්ධි වර්ධනයේ එක් එක් අවස්ථාවේ වර්ධනය කලයුතු හැකියාවන් මොට කරන අයුරුත්, එය පිරිපුන් මිනිසෙකු බිහිකිරීමට බලපාන අයුරුත් පිළිබඳව මා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් මිට වසර දහයකට ප්‍රථම පාර්ලිමේන්තු කමිටුව්කදී කරුණු ඉදිරිපත්කර, අධ්‍යාපන අමාත්‍යංශයේදී ද, දිවයිනේ ප්‍රධාන නගර රැසකදී ද සම්න්ත්‍රණ මාලාවක් පවත්වන ලදී. මේ දේශන වල අඩංගු කරුණු පුවත්පත්වල ලිපි මාලාවක් ලෙස පලවී පසුව පොතක් ලෙස එලිදැක්විණි. මේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් මේ දක්වා වැදගත් පියවරක් ගෙන නැත.

මේ  ජිවන කුසලතා පාසල තුලදී ඉගැන්වීමට නම් පළමුවෙන්ම ඒ කුසලතාවයන් වැඩි දියුණුවන අන්දමේ විෂය නිර්දේශයක් මේ අවධියට තැනිය යුතුය. දෙවනුව ඒ විෂය නිර්දේශයට අනුව ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් කිරීමට දැනට සිටින ගුරුවරුන් පුහුණුකල යුතුය. මේ දෙක සිදුකලත් පාසල් දරුවන් ජිවන කුසලතා වැඩි දියුණුවන අන්දමේ අධ්‍යාපනයක් ලබා ගැනීමට දෙමවුපියන් හා දරුවන් සුදානම් නොවේ නම් මේ අභිමතාර්ථය ඉටුනොවේ.

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අමතකවීම

මේ ප්‍රතිපත්ති රාමුවේ කිසිම තැනක පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ගැන හෝ එය ප්‍රාථමික අධ්‍යාපනයට ඇතිකරන බලපෑම ගැන හෝ සඳහනක් නොකරයි. මෙය මහ පොලවේ යථාර්තය හඳුනානොගත් ලියවිල්ලක් බව තවදුරටත් තහවුරු වන්නේ එලෙසිනි.  තමන් අධ්‍යාපන විශේෂඥයන් ලෙස හඳුන්වාගන්නා අහසෙහි සිටින අය  ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ගේ මුලික ජිවන කුසලතා වර්ධනය උදෙසා කැපවිය යුතු බව සඳහන් කලත්,  පොළවෙහි සැබවින්ම සිදුවන්නේ තුන්වෙනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා දෙමවුපියන් හා දරුවන් මේ සියල්ල අමතක කොට භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණය කේන්ද්‍ර කරගත් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට සුදානම් වීමයි. මේ කිසිවක් ජිවන කුසලතා දියුණු කිරීමට ඉවහල් වන ක්ෂේත්‍ර නොවේ. රැකියා වෙළඳපොලට නොගැලපෙන, තම යුතුකම් හා වගකීම් නොදන්නා පුරවැසියන් බිහිවන්නේ බුද්ධි වර්ධනයේ වැදගත් අවස්ථාවක් වන ප්‍රාථමික අධ්‍යාපන යුගයේ ජිවන කුසලතා වර්ධනය නොවීම නිසාය. ඒ බව අපේ අධ්‍යාපන විශේෂඥයන් හඳුනාගන්නා තෙක්  උසස් අධ්‍යාපනයේ කුමන වෙනස්කම් කලත් පලක් නොවේ.

මෙයට විසඳුමක් ලෙස අපේ පඬිවරුන් යෝජනා කරනු ඇත්තේ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමයි. මෙය දැනට පවතින සමාජ දේශපාලන යථාර්තය යටතේ සිදුකල නොහැක්කකි. වසර 40 වැනි කෙටි කාලයක් තුල 20% සිට 80% ක් දක්වා සීග්‍රයෙන් වර්ධනය වී ඇති අප රටේ මධ්‍යම පංතික සමාජ ස්ථරයේ අපේක්ෂාවන්ට සරිලන අන්දමේ පාසල් පද්ධතිය වැඩි දියුණු කිරීමට මේ දක්වා පැවති කිසිම රජයක් සමත්වී නැත. ඒ නිසා ජනප්‍රිය පාසල් අතලොස්සට තම දරුවා ඇතුළු කරගැනීමට මධ්‍යම පාංතික දෙමවුපියන් දරන උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මිට දශක කිහිපයකට පෙර දරුවනට බරක් නොවෙන විභාගයක්ව පැවති පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද බලු පොරයක්ව ඇත. “හොඳම පාසල ලඟම පාසල” වැනි හිස් සටන් පාඨවලින්ද මේ තරඟය නැති කළ නොහැක. ඒ, තම දරුවාට ජනප්‍රිය පාසලකට ඇතුළුවීමට හැකි වුවහොත් ලැබෙන අධ්‍යාපනය කෙසේ වෙතත් සමාජ පිළිගැනීම වැඩි බව මේ දෙමවුපියන් දන්නා නිසාය. ජනප්‍රිය පාසලක ආදි සිසුවෙකුවිම තම දරුවාගේ අනාගතයට ඇතිකරන බලපෑම  විශාල බව දන්නා අප රටේ සුවිසල් මධ්‍යම පංතිය කිසිවිටකත් මේ විභාගය අවලංගු කිරීමට ඉඩ නොදෙනු ඇත. තමන් මේ විභාගය අවලංගු කරන්නේ යැයි සිංහනාද කල අපේ  අධ්‍යාපන ඇමතිවරුන් කිහිපදෙනෙකු හිමින් සීරුවේ පල්ලම් බැස්සේ, එවැන්නක් කිරීම තම දේශපාලන අනාගතයට සුබදායක නොවන බව දැනගත් නිසාය.

මෙවැනි අන්තෝජටා බහිජටා ප්‍රශ්නයකට ඉදිරිපත් කලහැකි එක් විසඳුමක් නම් මේ විභාගය හත්වැනි ශ්‍රේණිය කල් දමා ජනප්‍රිය පාසල් වල පන්ති හයවැනි ශ්‍රේණියේදී නොව අටවෙනි ශ්‍රේණියට පසුව පළල් කිරීමයි. මේ මගින් මධ්‍යම පංතික දොලදුක සංසිදෙනු අතර, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් පස්වෙනි ශ්‍රේණිය දක්වා  මුලික ජිවන කුසලතාවයන් වර්ධනය කෙරන අන්දමේ අධ්‍යාපනයකට යොමු කල හැකිය. මෙයට සමගාමිව දැනට පවතින මුළු පාසල් සංඛ්‍යාව වන (2021) 10,141 න් 38%ක් වන පස්වැනි ශේණිය දක්වා ළමුන් සිටින පාසල් 3393 හි පන්ති 7 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දක්වා පුළුල් කල යුතුය. දැනට ප්‍රාථමික ශ්‍රේණිවල ශිෂ්‍ය සංඛ්‍යාව වන ලක්ෂ 16 කින් ලක්ෂ 6 ක්  ඉගෙනුම ලබන්නේ මේ කුඩා ප්‍රාථමික පාසල් වලය. මෙවැන්නක් තුලින් ජනප්‍රිය පාසල්වල තදබදය අඩුවෙනු ඇති අතර, කුඩා පාසල් වැසීයාමද අඩුවනු ඇත.

කනිෂ්ඨ ද්විතියික යුගය

හයවැනි ශ්‍රේණියේ සිට දහවෙනි ශ්‍රේණිය දක්වා කාලය වන මෙය මේ ලියවිල්ලේ අඩුම අවධානය යොමුකර ඇති කොටස වේ. එය ජීවිතය සඳහා පදනම යොදන කාලය ලෙස මේ ලියවිල්ලේ සඳහන්ව ඇතිමුත් ඒ කුමන පදනමක් දැයි මේ ලියවිල්ලේ සඳහන් නොවේ. සැබෑ ලෙසම සාක්ෂරතාවය හා සාමාන්‍ය දැනුම වර්ධනය කරගතයුතු අවධිය වන මේ වයසේදී භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණය කේන්ද්‍ර කරගත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සුදුසුවේ. එසේම වයස අවුරුදු 12 වන විට වෙනත් පාසැලකට අනුගත විය හැකි වයසකට දරුවා මුහුකුරා ගොස් ඇත.

දැනට කනිෂ්ඨ ද්විතියික අවධියේ පාසැල් විෂයමාලාවේ ලක්ෂණය නම් අනවශ්‍ය විෂය කරුණු සහිත විෂයයන් රාශියක් ළමුන්ට ඉගැන්වීමයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුදැනුම ඇතිව හෝ නැතිව මේ ඉගැනුම් බර වැඩිකිරීම විදුහල්පතිවරුන්ගේ අභිරුචිය මත සිදුවේ. මේ කාලය තුල, මා දන්නා කොළඹ නගරයේ එක් ජනප්‍රිය රජයේ පාසලක දරුවන් සිංහල, දෙමල, ඉංග්‍රීසි වලට අමතරව තවත් භාෂා දෙකක් දරුවන්ට ඉගැන්විණි. සමස්තයක් ලෙස භාෂා පහක්වන මේ ප්‍රමාණය ගැන ඇසු මා පවසා සිටියේ තවත් එක් භාෂාවක් ඉගැන්වුවහොත්, මේ පාසලෙන් “ශඪ් භාෂා පරමේෂ්වර” රැසක් බිහිකර ගතහැකි බවයි. සත්‍ය වශයෙන් සිදුවනුයේ විෂය කරුණු වැඩි නිසා කිසිදු කරුණක් සිතෙහි නොරැඳීමයි.

එසේම මේ කාලය දරුවා සමුහ ක්‍රීඩාවන්ට සිත යොමුකල යුතු අවධියයි. ප්‍රාථමික ශ්‍රේණිවලදී අසංවිධිත සෙල්ලම් වල නිරත විය යුතු දරුවා ඉන්පසුව සංවිධිත ක්‍රීඩාවල නිරතවිය යුතුය. කණ්ඩායමක් ලෙස වැඩකිරීම, නායකත්වයට ගරු කිරීම, නායකත්වය දීම, ඉලක්කයකට වැඩ කිරීම ක්‍රීඩාව තුලින් ශාරීරික සුවයට වැඩිමනත් ලෙස දරුවා ලබන දැනුම් වේ. මෙවන් වැදගත් අධ්‍යාපන අංශයක් වන “ක්‍රීඩා අධ්‍යාපනය ” යන වචනය පවා පිටු 31 ක මේ ලියවිල්ලේ කොතැනක වත් සඳහන් නොවේ.

ජ්‍යෙෂ්ඨ ද්විතියික හා ජ්‍යෙෂ්ඨ අවධිය

මේ අවධියන් පිලිබඳ මෙතෙක් පලවූ ලියවිලි හෝ ක්‍රියාත්මක කල වැඩපිළිවලට අමතර කිසිදු නව කරුණක් මේ ලියවිල්ලේ අඩංගුව නැත. පාසලේ දරුවන් ගතකල  යුතු වසර ගණන අඩු කිරීමට මේ ලියවිල්ලේ ඇති යෝජනාව හා අනෙකුත් යෝජනා මිට පෙර කිහිප වතාවක් විවිධ ලියවිලිවල පැවසී තිබිණි.

*දෙවෙනි කොටස ලබන සතියේ පළවේ.

*එක්සත් ජනරජ පෙරමුණේ සභාපති වන ලිපියේ රචකයා, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිලිබඳ කමිටුවේ හිටපු සාමාජිකයකු වූ අතර වත්මන් අධ්‍යාපනයේ ක්‍රමයේ ගැටළු ගැන පොත් හා ලිපි සම්පාදනය කර ඇත්තෙකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.