එළඹෙන ජනාධිපතිවරණය වැනි අතිශයින්ම තීරණාත්මක මැතිවරණයකදී එකිනෙකාට මඩ ගසා ගැනීම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන අංගයකි. හුදෙක් බොරු චෝදනා හෝ කලින් කරන ලද දුෂණ චෝදනා මතක් කරමින් අපහාස උපහාස කරනු දැකීම ලංකාවේ අපට අතිශයින්ම සාමාන්‍ය අත්දැකීමකි. සමාජ මාධ්‍ය පරිහරණයත් සමඟ මෙය ඉතා බරපතල තත්ත්වයකට පත්ව තිබේ. එනම් කිසිවෙකු විසින් කරන ලද සම්පුර්ණ කතාවක් තමන්ට අවශ්‍ය කොටස පමණක් සංස්කරණය කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමයි. එහිදී අදාළ කතාව කරන ලද පුද්ගලයා අපේක්ෂා කළ පණිවුඩය සමාජගත වීම වෙනුවට සිදුවන්නේ ඔහු කළ කතාවට හාත්පසින්ම විරුද්ධ මතයක් සමාජගත වීමයි.
මා විසින් මෙම ලිපිය ලිවීමට පෙළඹ වූ සිද්ධිය වන්නේ මා සේවය කරන ආයතනයේ සුළු සේවකයෙකු මා වෙත පැමිණ ඇසු ප්‍රශ්නයකි. ඔහුගේ සාක්ෂරතාවය ඉතාමත්ම පහළ මට්ටමක පවතී. මා මේ කරුණ මෙහි සටහන් කරන ලද්දේ ඔහුට අපහාසයකට නොව මෙවැනි විකෘති කරන ලද කතා මගින් නොමඟ යැවීමට ඉලක්කගත ජන කොටස පිළිබඳව අදහසක් ලබා දීමටයි. ඔහු මාගෙන් අසන ලද ප්‍රශ්නය මෙයයි. “මහත්තයා, මාලිමාවේ කට්ටිය දිනුවොත් මගේ බැංකුවේ තියෙන සල්ලි ටිකත් ඒ ගොල්ලෝ ගනීවිද? මට තව ලොකු කාලයක් වැඩ කරන්න බෑ. ඒ නිසා එකතු කර ගත්ත පොඩි ගානක් තියෙනවා. මේ ප්‍රශ්නේ වෙන කෙනෙක්ගෙන් අහන්න බෑ, විහිළුවට ගන්නවනේ. ඒකයි මහත්තයගෙන්ම ඇහුවේ” එය අසා මට ද සිනහ පහළ විය. එහෙත් මෙවැනි අසත්‍ය කතා පතුරුවා සාක්ෂරතාවයක් නොමැති ජන කොටස් භීතියට පත් කරමින් ඡන්ද ලබා ගැනීමට දරන පිළිකුල් සහගත ව්‍යාපාරයේ බරපතලකම දෙවනුව මගේ සිතට ආවේය. මාගේ පිළිතුර මෙසේ විය. “ඔයා මහන්සියෙන් හම්බ කරපු සල්ලි ගන්න එයාලට නෙවේ කාටවත් බෑ. එයාල එහෙම කරන්නේ නෑ. ඕන වුණත් එයාලට එහෙම කරන්නත් බෑ”
ජනතාව අතර මෙවැනි කුකුසක් ඇති වීමට පාදක වන්නේ ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති විසින් සම්මුඛ සාකච්ඡාවක දී ලබා දෙන ලද පිළිතුරක කොටසක් සංස්කරණය කොට සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කිරීමයි. එනිසා ඒ පිළිබඳව මාගේ අදහස් කියවීමට ප්‍රථම ඔබ ඔහුගේ සම්පූර්ණ කතාවට සවන් දිය යුතු බවට මම යෝජනා කරමි. “ඇත්ත කතාව – එඩිට් එකේ ඉතුරු ටික“.
ඔබ ඔහුගේ සම්පූර්ණ කතාවට සවන් දුන්නේ යැයි යන විශ්වාසය මත මම ලිපියේ ඉතුරු කොටස ලියන්නට පටන් ගනිමි. අසත්‍ය සමාජගත වන වේගයෙන් සත්‍ය සමාජගත නොවන බව අපි සැවොම හොඳින්ම දනිමු. එහි වාසිය ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් විසින් මේ මොහොතේ ලබා ගන්නා බව පෙනෙන්නට තිබේ. ඒ අනුව ඔවුන් විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් ද නරඹන ලෙසට ආරාධනා කරමි. මෙය හුදෙක් ඔබගේ විනෝදාස්වාදය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. අහිංසක මිනිස්සු ජීවිත කාලෙම ඉතුරු කරපු සල්ලි වලට ශොට් එක දෙන්නද යන්නේ මෙයාලා?
පුරවැසියෙකු හා ඡන්ද දායකයෙකු ලෙස මා වඩාත්ම සැලකිලිමත් වන්නේ මාගේ බැංකු ගිණුමේ ඇති මුදල් රජය විසින් පවරා ගැනීම වැනි හිතළු ගැන නම් නොවේ. ඩබ්ලිව්.ඩී ලක්ෂමන් සහ අජිත් නිවාඩ් කබ්රාල් යන අයවලුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන් ලෙස කටයුතු කළ සමයේ මුදල් අච්චු ගැසීම හේතුවෙන් මාගේ බැංකු ගිණුමේ ඇති මුදල්හි වටිනාකම අඩු වීම බැංකු ගිණුමෙන් මුදල් සොරා ගැනීමටත් වඩා බරපතල දෙයකි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල දෙගුණයකින් වැඩි වී තිබීම යනු රුපියල් දහසක වටිනාකම රුපියල් පන්සියයක් බව නොවේද? ඔබ නොදැනුවත්වම ඔබේ බැංකු ගිණුමේ වටිනාකම හරි අඩකින් අඩු වී තිබේ. මීට පෙර ඔබගේ මාසික ජීවන වියදම පනස් දහසක් නම් දැන් එය ලක්ෂයකින් හෝ පිරිමසා ගැනීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය ඔබගේ බැංකු ගිණුමේ මුදල් සොරා ගැනීමට සමාන නොවේද?
රුපියල් ලක්ෂයකින් පවුලේ වියදම් පිරිමසා ගැනීමට නොහැකි තත්ත්වයකදී එයින් ඔබ්බට ඔබ උපයන සෑම රුපියලකටම බදු ගෙවන්නට සිදු වීම සහ ඔබ පරිභෝජනය කරන සෑම භාණ්ඩයකටම සහ සේවාවකටම VAT බදු වැනි වක්‍ර බදු ඔස්සේ ඔබෙන් ලබා ගන්නා සියලු බදු මුදල් රජය විසින් ඔබේ මුදල් පවරා ගැනීමක් නොවන්නේ ද? දැන් ඔබට තර්කයක් තිබෙන්නට පුළුවන. බදු ගෙවීම තමන්ගේ බැංකු ගිණුමේ මුදල් රාජසන්තක කිරීමකට සමාන වන්නේ කෙසේද යන්න එම තර්කය විය හැකිය. මාගේ පෞද්ගලික අදහස නම් වර්තමාන බදු අනුපාත යටතේ ඍජුව සහ වක්‍රව රජයට ගෙවන බදු කප්පම් ගෙවීමකට හා සමාන බවයි. ඔබ හා මා විසින් මෙපමණ කාලයක් තිස්සේ ගෙවන ලද බදු මුදල් අවභාවිතා කරමින් පාලකයන් අපගේ ජීවිත වලට අත්කොට ඇති ඛේදනීය ඉරණම හිතළුවක් වූ ස්ථාවර තැන්පතු රාජසන්තක කිරීමකට වඩා බරපතල කරුණකි.
ඔබගේ දේශපාලන මතවාදයන් විවිධ විය හැකිය. ඔබගේ ඡන්දය ඔබේ අයිතියකි. එය ඔබට අවැසි පරිදි භාවිතා කිරීම ඔබ සතු කාර්යයකි. එහෙත් මෙවැනි අසත්‍ය කටකතා පැතිර වීමට දායක නොවීමත්, එවැනි කටකතා වලට රැවටී, බිය වී සිටින කෙනෙකු වෙත සත්‍ය පැහැදිලි කර දීමත් පුරවැසියෙකු ලෙස ඔබගේ වගකීමක් බව මම විශ්වාස කරමි.